පුරාතන රෝමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රෝමානු ශිෂ්ටාචාරයේ ක්‍රිපූ 510 සිට ක්‍රිව 480 දත්වා බල ප්‍රදේශ  :

පුරාතන රෝමය යනු ක්‍රිපූ 8වන සියවස තරම් ඈත කාලයේදී ඉතාලියානු අර්ධද්වීපයෙහි වර්ධනය වීම ඇරඹූ මහත් සඵල ශිෂ්ටාචාරයකි. රෝම නගරය කේන්ද්‍රගතව මධ්‍යධරණී මුහුද අසබඩ පිහිටි මෙය, පුරාතන ලෝකයේ විශාලතම අධිරාජ්‍යයන් අතුරින් එකක් බවට විකාශනය විය.[1]

එය පැවැති සියවස් ගණනාව තුලදී, රෝමානු ශිෂ්ටාචාරය, රාජාණ්ඩුවක සිට කතිපයාධිපත්‍ය සමූහාණ්ඩුවක් දක්වාද, එයින් පසුව අත්‍යන්ත ලෙසින් ඒකාධිපති ස්වරූපයක් ගත් අධිරාජ්‍යයක් බවටද පරිවර්තනය විය. යටත් කර ගැනුම සහ සමාග්‍රහණය තුලින් නිරිත දිග යුරෝපය, අග්නි දිග යුරෝපය සහ බෝල්කනයද, මධ්‍යධරණී පෙදෙසද අභිභවනය කෙරුමට එය සමත් විය.

ඉතිහාසය[සංස්කරණය]

රෝමානු කාලානුක්‍රමය[සංස්කරණය]

බයිසැන්ටියානු අධිරාජ්‍යය බටහිර රෝමානු අධිරාජ්‍යය රෝමානු අධිරාජ්‍යය රෝමානු ජනරජය රෝමානු රාජධානිය

සොයාගැනුම පිළිබඳ පුරාණෝක්තිය[සංස්කරණය]

ජනප්‍රවාදය පරිදී, ක්‍රිපූ 753දී රෝමය සොයාගැනුනේ වෘක ධෙනුවක් විසින් ඇතිදැඩි කර ගත් රොමියුලස් සහ රීමස් විසිනි.

රෝමය සොයාගැනුමේ පුරාණෝක්තිය පරිදී, ක්‍රිපූ 753 අප්‍රේල් 21 දිනදී නගරය සොයාගැනුනේ, ට්‍රෝජානු කුමරු එනියස් ගෙන් පැවත එන[2] සහ, ඇල්බා ලොංගාහි නුමිතෝර් නම් ලතින් රජුගේ මුණුපුරන්වූ රොමියුලස් සහ රීමස් නම් නිවුන් සොහොයුරන් විසිනි. අමියුලියස් නම්වූ ඔහුගේ සොහොයුරා විසින් නුමිතෝර් රජු සිහසුනෙන් නෙරපන ලද අතර, නුමිතෝර්ගේ දූ කුමරිය, රියා සිල්වියා විසින් නිවුන්නු දෙදෙනට උපත ලබා දුනි. [3][4] අඟහරු නම්වූ , රෝමානු යුද්ධයට අධිපති දෙවියා විසින්, රියා සිල්වියා දූෂණය කොට නිශේචනය කරන ලද බැවින්, නිවුන්නු දෙදෙන අඩක්-දිව්‍ය යැයි සැලකෙයි.

රොමියුලස් සහ රීමස් විසින් සිහසුන යළි පැහැර ගනියි යයි බියවූ නව රජ ඔවුන් ගිල්වා මරා දැමීමට අණ කළේය. [4] වෘක-ධේනුවක් (හෝ සමහරක් කතා පරිදී එඬේරෙකුගේ බිරිය) විසින් මොවුන් බේරා ගෙන ඇතිදැඩි කරනු ලදුව, ඔවුන් පමණට වියපත් වූ විට, ඔවුන් විසින් ඇල්බා ලොංගා සිහසුන නුමිතෝර් වෙත යලි හිමි කර දුනි. [5][6]

ඉන්පසු නිවුන්නු විසින් ඔවුන්ගේම නගරය අරඹන ලද මුත්, රෝමානු රාජධානියේ පිහිටුම් ස්ථානය පිළිබඳ මත ගැටුමක් නිසා, රොමියුලස් විසින් රීමස් මරා දැමුනු බව කියවෙතත්, සමහරක් මූලාශ්‍ර විසින් පැවසෙන්නේ කවුරුන් විසින් නගරය පාලනය කරන්නේද හෝ කවුරුන් විසින් නගරයට නම් තබන්නේද යන්න මත අරගලය ඇතිවූ බවයි.[7] රොමියුලස්, නගරයෙහි නමෙහි මූලාශ්‍රය විය.[8] නගරය වෙත ජනයා ආකර්ෂණය කර ගැනුම සඳහා, දිළිඳු, නෙරපා දැමුණු, සහ අනවශ්‍ය පුද්ගලයන් සඳහා රෝමය අභයභූමියක් විය. මෙය රෝමයට ප්‍රශ්නයක් වූයේ, එහි විශාල කම්කරු පිරිසක් සහිත වුවත් ගැහැණුන් විරහිත වීම නිසායි. අසල පිහිටි සුළු නගර හා ගෝත්‍ර වෙත ගිය රොමියුලස්, විවාහ බන්ධන ගිවිසුම් ඇති කර ගැනුමට උත්සාහ කළද, රෝමය අනිෂ්ටයන් ගෙන් පිරී පැවතුණ නිසා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. ජනප්‍රවාද පවසන්නේ, ලතින්වරුන් විසින්, උත්සවයක් සඳහා සබීනේවරුන් වෙත ආරාධනා කළ අතර, එහිදී ඔවුන්ගේ අවිවාහක තරුණියන් ඩැහැගැනීම නිසා, ලතින්වරුන් හා සබීනේවරුන් අතර සංකලනයක් ඇතිවූ බවයි. [9]

ග්‍රීක ඉතිහාසඥ හෙලිකානෙසස්හී දියොනීසියුස් විසින් සටහන් කොට ඇති තවත් ජනප්‍රවාදයක් පරිදී, ට්‍රෝජානු යුද්ධයේදී මුල් නගරය විනාශයට පත් වීම නිසා, නව ට්‍රෝයි නගරයක් සඳහා ස්ථානයක් සොයමින් මුදුදු ගවේෂණයෙහි යෙදී සිටි ට්‍රෝජානුවන් කණ්ඩායමකට, එනියස් කුමරු නායකත්වය දුනි. රළු මුහුදේ බොහෝ කලක් ගත කළ මොහුන්, ටයිබර් ගංගාවේ ඉවුරෙහි ගොඩ බටහ. ඔවුන් ගොඩ බැස වැඩි කල් ගත වීමට පෙර, යළි මුහුදු ගමනෙහි යෙදීම පුරුෂයන්ගේ අභිප්‍රාය වුවද, එම ස්ථානය හැර යාමට ඔවුන් සමග ගමනේ යෙදුනු ස්ත්‍රීන් හට අවශ්‍ය නොවේ. රෝමා යන නමැති එක් කාන්තාවක් යෝජනා කලේ, මුහුදු අසබඩ ඇති ඔවුන්ගේ නැව් ස්ත්‍රීන් විසින් ගිණිගත් කිරීමෙන් පිටවී යාම වැලැක්විය යුතු බවයි. පළමුවෙන්, රෝමා සමග පුරුෂයන් කිපුණ මුත්, ඔවුන් විගසින් තේරුම් ගත්තේ මෙම ස්ථානය පදිංචි වීමට යෝග්‍ය බවයි. නැව් ගිණිබත් කල කාන්තාවගේ නමින් ජනාවාසය නම් ලැබීය. [10]

රෝමානු කිවි වර්ගිල් විසින්, ඔහුගේ වීර කාව්‍යය අනීඩ්හී මෙම ජනප්‍රවාදය යළි පවසයි. අනීඩ්හී, ට්‍රෝජානු කුමරු ඒනියස් විසින් නව ට්‍රෝයි නගරයක් සොයැ ගැනුම දේව කැමැත්ත විය. වීර කාව්‍යයෙහිද, යළි මුහුදට යෑම ප්‍රතික්ෂේප කලේ ස්ත්‍රීන් වුවද, ඔවුහූ ටයිබර් ඉවුරේ නොසිටියහ. ඉතාලියට ලඟාවූ ඒනියස් කුමරුන්ට, ලැවිනියා විවාහ කර ගැනීම රුචි වුවත්, ඇයගේ පළමු විවාහ යෝජක, ටර්නස් හා යුද වැදීමට සිදුවෙයි. කාව්‍යයට අනුව, ඇල්බානු රජවරු පැවත. එන්නේ, ඒනියස් ගෙන් වන බැවින්, රෝමයේ නිර්මාතෘ රොමියුලස් ඔහුගෙන් පැවතෙන්නෙක් වෙයි.

රාජධානිය[සංස්කරණය]

ගමනාගමනයට හා වෙළෙඳාමට මධ්‍යස්ථානයක්වූ ටයිබර් ගංගාව අසබඩ නැව් තොටක් අවට තැනුනු ජනාවාස මතින් රෝම නගරය නැගී ආවේය.[11] පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව, රෝම ග්‍රාමය, ක්‍රිපූ 8වන සියවසෙහි පමණ බිහිවුවත්, ඉතාලියේ ලතින් ගෝත්‍රය විසින් පැලන්ටීන් කන්ද මුදුනේ, ක්‍රිපූ 10වන සියවසෙහිදී පමණ ඈත අතීතයෙහිදී, මෙය බිහි කලා විය හැකිය.[12][13]

එත්‍රෑරියාවට උතුරින් මින් පෙර ජනාවාස ඇති කර ගත්, එට්‍රස්කන්වරු, ක්‍රිපූ 7වන සියවසෙහි අග වන විට ප්‍රදේශයේ දේශපාලන පාලනය ඇති කර ගනිමින් ප්‍රභූකාන්ත්‍රික හා රාජකීය ප්‍රභූ ජන රාශි නිමවූ බවක් පෙනෙන්නට ඇත. 6වන සියවසෙහි අග වන විට එට්‍රස්කන්වරුහට ප්‍රදේශයේ බලය අහිමිවූ බවක් පෙනෙන අතර, මෙම අවස්ථාවෙහිදී, මුල් ලතින් සහ සබීනේ ගෝත්‍ර විසින්, ඔවුන්ගේ පාලකයන්ට බලය භාවිතා තිරීමේදි මහත්වූ ප්‍රතිබාධක සහිත ජනරජයක් පිහිටුවමින් ඔවුන්ගේ රජය යළි-නිමවා ඇත. [14]

රෝමානු සම්ප්‍රදාය සහ පුරාවිද්‍යාත්මක සාධක විසින් දැක්වුනේ, ෆෝරම් රොමානුම් ඇතුලතවූ සංකීර්ණයක, රජුගේ බල ආසනය පැවතුනු බවත් ආගමික කේන්ද්‍රයක් ඇරඹෙමින් පැවති බවත්ය. නූමා පොම්පීලියස් යනු රොමියුලස්ගේ අනුප්‍රාප්තික ලෙසින් රෝමයේ දෙවන රජ බවට පත්වූ තැනැත්තේ විය. ඔහු විසින් රෝමයේ විශාල ගොඩනැගිලි ව්‍යාපෘති ඇරඹූ අතර, ඒවා අතර රීජා නම් ඔවුගේ රජ මාලිගයද පවිත්‍ර කන්‍යා සංකීර්ණයද විය.

ජනරජය[සංස්කරණය]

කැපිටොලින් කෞතුකාගාර වෙතින් වන මෙම උඩුකය, සාම්ප්‍රදායිකව සැලකෙන්නේ ලූකියුස් ජූනියුස් බෲටස්ෆග් ආලේඛ්‍යයක් බවයි.

සම්ප්‍රදාය සහ ලිවි වැනි පසුකාලීන ලේඛකයන් ප්‍රකාර, රෝමානු ජනරජය පිහිටුවන ලද්දේ ක්‍රිපූ 509 පමණ වන අතර,[15] එය සිදුවූයේ, ලූකියුස් ජූනියුස් බෲටස් විසින්, රෝමයේ රජවරුන් සත් දෙනාගෙන් අවසානයාවූ, සාඩම්බර ටර්ක්වින් රජු, බලයෙන් නෙරපා හැර, වාර්ෂිකව තේරී පත් වන වරණිත නිලධාරින් සහ බොහෝ නියෝජිත සභා වලින් සැදි ක්‍රමයක් සංස්ථාපනය කළ විටය. [16]

තාක්ෂණය[සංස්කරණය]

බැබිලෝනියානු ගණක රාමුව පදනම් කොට ගොඩ නැඟූ රෝම ගණක රාමුව ප්‍රථම ජංගම ගණන ක්‍රමය වූ අතර එමඟින් රෝම වීජ ගණනය කිරීම් වේගවත් විය. පුරාණ රෝමය ඒ කාලයේ හැටියට දියුණු තාක්ෂණික ඥානයකින් යුක්ත වූවන් සිටින්නක් විය. 19 වන හා 20 වන ශත වර්ෂය දක්වා එය එලෙසම පැවතිණ. නමුත් වෙනත් සංස්කෘතීන් හි තාක්ෂණයන් පිළි ගැනීමේ හා සංකලනය කිරීම අතින් රෝම ශිෂ්ටාචාරය විශේෂ ප්‍රගතියක් හෝ උනන්දුවක් දැක්වූයේ නැත. බොහෝ ප්‍රායෝගික රෝම චාරිත්‍ර පූර්ව ග්‍රීක ක්‍රමයට අයත් වූ ඒවා විය. නව අදහස් ඇති වූයේ කලාතුරකිනි. බහු සාමාජික පවුලක් ඥානවන්ත ලෙස පාලනය කළ හැකි රණ ශූරයකු විශිෂ්ටයකු ලෙස රෝම සමාජයේ සැලකුණි. රෝම නීතියන් බුද්ධිමත් භාවයට හෝ නව සොයා ගැනීම්වලට දීමනා කළේ නැත. විද්‍යාඥවරු හෝ ඉංජිනේරුවරු යන වචන එකල නොපැවතිණි. වැඩි දියුණු වීම් සිදු වූයේ නම් සිදු වූයේ කර්මාන්ත පාදක කොට ගත් ඒවායෙහිය. කම්කරුවන් / ශිල්පීන් නව තාක්ෂණ, වෙළඳ රහස් ලෙස ඊර්ෂ්‍යාවෙන් සැලකූහ. එහෙත් පසුව රෝම ආධිපත්‍යයට විශාල තත්වයක් ගෙන දෙමින් හා යුරෝපයට ම බල පවත්වමින් අත්‍යවශ්‍ය තාක්ෂණික විප්ලව විශාල සංඛ්‍යාවක් රෝමය පුරා පැතිරෙන්ට විය.

ඉංජිනේරු කර්මාන්තය

රෝම තාක්ෂණික උසස්භාවය සහ රෝම උරුමය ඉංජිනේරු කර්මාන්තය තුළින් වඩ වඩාත් ඉහල නැංගේය. තවද සිය ගණන් මහා මාර්ග, පාලම්, වාරි මාර්ග පද්ධති , නාන ස්ථාන, ශාලා සහ රඟ මඬල තැනීමට එය හේතු විය. කොලෝසියම, පොන්ට් ඩු ගාඩ් සහ පැන්තියම තවමත් රෝම ඉංජිනේරු කර්මාන්තයේ හා සංස්කෘතියේ සිහිවටන ලෙස පවතී.

ගෘහ නිර්මාණ ශිල්පය

ග්‍රීක සම්ප්‍රදානුකූල රෝම සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ රෝමවරු විශේෂ කීර්තියක් ලබා සිටියහ. රෝම සමූහාණ්ඩු කාලයේ එය ග්‍රීක ගෘහ නිර්මාණයට ඉතා සර්වසම ලෙස පැවතුණි. එහි ග්‍රීක ගෘහ නිර්මාණය සමඟ සසඳන කල්හි වෙනස්කම් කීපයක් ඇතත් ක්‍රමවත් ලෙස ‍ගොඩනැඟිලි ඉදිකිරීම රෝමවරු ග්‍රීසියෙන් ඉගෙන ගත්තක් විය. කම්පොසයිට් හා ටුස්කාන් සහ ශිඛර ගෝලාර්ධය (එට්‍රස්කානු ආරුක්කුව මුල් කර ගත්) හැරුණු විට සමූහාණ්ඩුවේ අවසානය දක්වා රෝමය සතුව තිබුණේ අඩු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම ගණනකි.

ක්‍රි. පූ. 3 වන ශත වර්ෂයේ දී මුලින්ම නිෂ්පාදනය කරනු ලැබූ කොන්ක්‍රීට්, රෝමවරු භාවිතයට ගන්නට පටන් ගත්තේ ක්‍රි.පූ. 1වන ශත වර්ෂයේ දීය. පොසොලානා හි මූලාරම්භය ලැබූ කොන්ක්‍රීට් ප්‍රබල සිමෙන්තියක් වූ නමුත් එය කෙටි කලක් තුළ ඉවත් වී ප්‍රධාන රෝම ගොඩනැඟිලි අමුද්‍රව්‍ය කිරිගරුඬ පත් විය. ක්‍රි.පූ. 1 වන සියවසේ දී විටුවියස් විසින් ලියන ලද ඩී ආචිටෙක්චූරා නම් ග්‍රන්ථය ඉතිහාසයේ ප්‍රථමවරට ගෘහ නිර්මාණ ශිල්පය පිළබඳ ලියවුණු සංග්‍රහය ලෙස සැලකේ. ක්‍රි.පූ. 50 දී පමණ සිරියාවේ නළයකින් පිඩ වීදුරු බඩු සෑදීමේ කලාව සොයා ගැණුනු පසු රෝමය ද ක්‍රි.පූ. 1 වන සියවසේ අග භාගය වන විට එය භාවිතයට පටන් ගත්හ. ලුසියස් කොර්නේලියස් සුල්ලාගේ යුද්ධ ව්‍යාපාර අතරතුර මොසායික් අධිරාජ්‍යය ලබා ගත්තේය. රෝමයේ කොන්ක්‍රීට් භාවිතයේ ඉතිහාසය ගැන කියවෙන ලිපිය.


මහාමාර්ග


රෝම පුරවරය හා ඉතාලියේ දකුණු දිග ප්‍රදේශ යා කළ ඇපියන් මාර්ගය (වියා ඇපියා) අදටත් භාවිතයට ගත හැකි සේ පවතී. රෝම අධිරාජ්‍යයේ බිඳ වැටුමට අවුරුදු දහස් ගණනකට පසුව වුව ද භාවිතයට ගත හැකි සේ, බිම් ගඩොල් ඇල්ලූ රෝම මහා මාර්ග කොන්ක්‍රීට් මඟින් ශක්තිමත් වූයේය. අධිරාජ්‍යය පුරාවමට විහිදුණු යෝධ සහ කාර්යක්ෂම ප්‍රවාහන ජාලයක් සංස්ථාපනය වී තිබීම රෝමයේ බලය හා ප්‍රභූත්වය වැඩි කිරිමට හේතු විය. එය ඇත්තෙන්ම ඉදි වූයේ රෝම මහා හමුදාවට පෙළට ගමන් කිරීමට පහසු වීම සඳහාය. නමුත් මෙම මහා මාර්ගවල අති විශාල ආර්ථික වැදගත්කමක් තිබිණි. “සියළු මහා මාර්ග රෝමයට මඟ පෙන්වීය” යන කියමනේ උපත සඳහා එය බලපා තිබුණි. රෝම ආණ්ඩුව විසින්, මහා මාර්ගය අතරතුර තනා තිබූ නැවතුම්පළවල් නඩත්තු වූ අතර එම ස්ථානවලදී ගමන්කරුවන්ට ආහාර පාන සපයන ලදී. තවද අවශ්‍ය ස්ථානවල පාලම් තැනීම ද විසි හතර පැයේ කි.මී. 800ක් (සැතපුම් 500ක්) ගමන් කළ දූතයන් වෙනුවෙන් අශ්ව සේවා මුර පද්ධතියක් පිහිටුවීම ද රෝම ආණ්ඩුව මඟින් සිදු විය.

වාරිමාර්ග පද්ධති

ප්‍රංශයේ පොන්ට් ඩූ ගාඩ් යනු ක්‍රි.පූ. 19 වන සියවසේ දී තැනුණු රෝම ඇළ මාර්ගයකි. එය ප්‍රංශයේ ප්‍රධාන පෙළේ සංචාරක තිප්පොලක් වන අතර ලෝක උරුමයක් ලෙස ද සැලකේ.

රෝමවරු විශාල ඇළ මාර්ග සංඛ්‍යාවක් තැනූයේ කෘෂිකර්මාන්තයට උපකාරී වීම සඳහා සහ නඟරවලට හා කාර්මික ජනපදවලට අවශ්‍ය ජලය සැපයීම සඳහාය. රෝම පුරවරයේ කි.මී. 350 ක (සැතපුම් 220ක) සංයුක්ත දිගකින් යුත් ඇළ මාර්ග 11ක් තනා තිබිණි. බොහෝ ඇළ මාර්ග වූයේ පොළව යටය. බෝක්කු මඟින් ඒවා පිටතට විවෘත වන්නට සකස් කර තිබුණි.සමහර අවස්ථාවන් හි දී මීටර 50ට (අඩි 165ට ) වඩා ගැඹුරු පහත් බිම් හරස් කරන්නට සිදු වුණි. ඉහල වූ ජලයට බලය යෙදීමට නැමුණු නළ භාවිතා කෙරිණි.


කාණු පද්ධති

රෝමවරු සනීපාරක්ෂාවෙහි ද ප්‍රධාන දියුණු කිරීම් කළහ. සනීපාරක්ෂක හා වෙනත් සාමාන්‍ය කටයුතු යන ද්විත්වයම සඳහා ප්‍රයෝජනයට ගත් තර්මායි නම් වූ ප්‍රසිද්ධ නාන ස්ථාන ගැන රෝමවරු ප්‍රසිද්ධය. බොහෝ රෝම නිවෙස්වල ජලය යොදන වැසිකිලි, ගෘහාශ්‍රිත, ජල නළ, සංකීර්ණ කාණු පද්ධති තිබිණි. අපද්‍රව්‍ය ටයිබර් නදියට රැගෙන යාමට ක්ලෝකා මැක්සිමා කාණුව තිබිණි. රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමට හේතු වුණු ළඳරු මරණ අනුපාතිකයේ සහ ජනගහණයේ පිරිහීම සඳහා කාණු සෑදීමට යොදා ගත් ඊයම් ජල නළවල විෂ භාවය හේතු වුණු බව සමහර ඉතිසාඥයින් පවසයි. එම ඇළවල්වල ජලය රජයේ හා පෞද්ගලික බැහැර කිරීම් පද්ධති හරහා නොනවත්වාම ගලාගිය නිසා කරාම භාවිතා වූයේ සුළු වශයෙනි.


RomanAbacusRecon.jpg

සමාජය[සංස්කරණය]

ජනරජය හා පසුව අධිරාජ්‍යය පැවති කාලයන්හිදී නගරයේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සහ ආගමික කේන්ද්‍රස්ථානය වූ රෝමානු සංවාද මණ්ඩපය

රෝම අධිරාජ්‍ය නගරය එකල පැවැති විශාලතම නාගරික මධ්‍යස්ථානය වූ අතර, මිලියන 14 ක ඉහළ-අග ඇස්තමේන්තුවක් සහ 450,000 ක පහළ-අග ඇස්තමේන්තුවක්ද සහිතව, මිලියනයක පමණ ජනගහණයක් (19වන සියවසෙහි මුල් භාගයෙහි ලන්ඩනය ලොව විශාලතම නගරයව පැවැති කල එහි විශාලත්වය තරම්) සහිත විය. [17] [18][19] රෝමයේ පොදු ඉඩ කඩ තුල අස් කුර බිම ගැටෙන හඬ හා යකඩ අස් රිය රෝද ඇතිලෙන හඬ කෙතරම් ගිගුම්දුනිද යත් ජුලියස් සීසර් වරෙක යෝජනා කලේ දිවා කාලය තුල අස් රිය ගමනාගමනය තහනම් කල යුතු බවයි.

සටහන්[සංස්කරණය]

  1. ක්‍රිස් ස්කාරේ, ද පෙන්ගුයින් හිස්ටොරිකල් ඇට්ලස් ඔෆ් ඒන්ෂන්ට් රෝම් (ලන්ඩනය: පෙන්ගුයින් පොත්, 1995).
  2. ඇඩ්කිංස්, 1998. පිටුව 3.
  3. ද ෆවුන්ඩිං ඔෆ් රෝම්. සම්ප්‍රවේශය 8 මාර්තු 2007.
  4. 4.0 4.1 ලිවි, 1998. පිටුව 8.
  5. ඩුරාන්ට්, 1944. පිටු 12–14.
  6. ලිවි, 1998. පිටු 9–10.
  7. රොගන්, හෙසර්, හාස්ට්‍රප්, ඔම්නිබස් අයි, එච්. ඇස්චිහොග් සහ සමාගම 1996
  8. ලිවී, 1998. පිටු 10–11.
  9. මිත්ස් ඇන්ඩ් ලෙජන්ඩ්ස් - රෝම්, ද වුල්ෆ්, ඇන්ඩ් මාර්ස්. සම්ප්‍රවේශය 8 මාර්තු 2007.
  10. මෙලර්, රොනල්ඩ් සහ මැක්ගී මාර්නි, දි ඒක්ෂන්ට් රෝමන් වර්ල්ඩ් පි. 15 (සම්ප්‍රෙව්ශය 15 මාර්තු 2009)
  11. a
  12. මටියිසාක්, 2003. පිටුව 19.
  13. ඩුයිකර්, 2001. පිටුව 129.
  14. ඒන්ෂන්ට් රෝම් ඇන්ඩ් ද රෝමන් එම්පයර් මයිකල් කෙරිගන් විසින්. ඩෝලිං කින්ඩර්ස්ලි, ලන්ඩනය: 2001. ISBN 0-7894-8153-7. පිටුව 12.
  15. ලැංග්ලි, ඇන්ඩෲ සහ සූසා, ඩි ෆිලිප්, "ද රෝමන් ටයිම්ස්", කැන්ඩ්ල් වික් මුද්‍රණාලය, මැසචුසට්ස්
  16. Matyszak, 2003. පිටු 43–44.
  17. ඩයිකර්, 2001. පිටුව 149.
  18. ඇබිස්ට්‍රැක්ට් ඔෆ් ද පොපියුලේෂන් ඔෆ් ඒන්ෂන්ට් රෝම්. ග්ලෙන් ආර්. ස්ටෝරි විසින්. හයිබීම් රිසර්ච්. ලියන ලද්දේ 1997-12-1. සම්ප්‍රවේශනය 22 අප්‍රේල් 2007.
  19. The Population of Rome විට්නි ජේ. ඕට්ස් විසින්. මුල් ප්‍රකාශය ක්ලැසිකල් ෆිලොලොජි තුල. වෙළුම. 29, අංක. 2 (අප්‍රේල් 1934), pp101-116. සම්ප්‍රවේශනය 22 අප්‍රේල් 2007.
"http://si.wikipedia.org/w/index.php?title=පුරාතන_රෝමය&oldid=275693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි