ව්‍යවස්ථානුකූලවාදය

විකිපීඩියා වෙතින්

ව්‍යවස්ථානුකූලවාදය දිගු ඓතිහාසික කාල සීමාවක් තුළ විකාශනයට ලක් වූ දේශපාලන සංකල්පයක් වේ. ඉපැරණි ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය මඟින් මෙන්ම රෝම සමූහාණ්ඩු ක්‍රමය මඟින්ද ව්‍යවස්ථානුකූලවාදය පිළිගැනීමට ලක් වී තිබුණි. මධ්‍යතන යුගයේදී යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් අභාවයට ගොස් රාජාණ්ඩු පාලන ක්‍රම ඇති වී ඒවා පරම බලවත් ආණ්ඩු බවට පත් වීමත් සමඟම ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ පිළිගැනීම්ද අභාවයට ගියේය. එහෙත් දිගු කලකට පසුව, රෝම සූහාණ්ඩු ක්‍රමයෙන් පසුව නැවත වරක් 17 වන ශතවරුශයෙන් පසු කාලයේදී පමණ 'ව්‍යවස්ථානුකූලවාදය යුරෝපයේ බලවත් දේශපාලන පිළිගැනීමක් වශයෙන් ඉදිරිපත් වන්නට විය. පරම බලැති රාජාණ්ඩු වලට විරුද්ධව නැඟී සිටි එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල මධ්‍යම පංතිය ලිබරල්වාදී දේශපාලන මතවාදය යටතේ සීමාන්විත ආණ්ඩු වල (limited governments) අවශ්‍යතාව ඉදිරිපත් කරන ලද්දේ මේ අවධියේදීය. එමෙන්ම ආණ්ඩුවේ බලය සීමාවට ලක් කිරීමේ ප්‍රධානතම දේශපාලන විධික්‍රමය වශයෙන් ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රම හෝ ව්‍යවස්ථානුකූලවාදය හෝ පිළිගත යුතු යැයි ලිබරල්වාදීන් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ මේ අවධියේදීය. ව්‍යවස්ථානුකූලවාදය නූතන දේශපාලන පිළිගැනීමක් වශයෙන් වර්ධනය වීමට පටන් ගන්නේ ලිබරල්වාදයේම එක් දේශපාලන පිළිගැනීමක් වශයෙනි. 1688 බ්‍රිතාන්‍යයේ සිදු වූ උත්කෘෂ්ඨ විප්ලවය, 1789 ප්‍රංශ මහා විප්ලවය, 1776 ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ව්‍යවස්ථානුකූලවාදයේ වැදගත් දේශපාලන ජයග්‍රහණ වශයෙන් හැඳින්විය හැකිය.

ගොනුව:පැරණි පාර්ලිෙම්න්තුව.jpg

ව්‍යවස්ථානුකූලවාදයේ මූලික අර්ථය නම් ආණ්ඩුකරණය සිදු කළ යුත්තේ නීති වලින් හා රෙගුලාසි වලින් ඇති කරන සීමාවන් යටතේ යන්නය. වෙනත් ආකාරයකින් දැක්වුවහොත් ව්‍යවස්ථානුකූලවාදයෙන් තහවුරු කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් නියම කොට ඇති විධි නියම වල සීමාවට යටත්ව ආණ්ඩුකරණය සිදු කළ යුතු බවය. මෙය පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමක හෝ පුද්ගලික අභිලාෂය මත ක්‍රියාත්මක වන ඒකබලවාදී ආණ්ඩුකරණය පිළිබඳ සංකල්පයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ පිළිගැනීමක් වේ.

ඒ අනුව ව්‍යවස්ථානුකූලවාදය නීතියේ උත්තරීතරත්වය මත පදනම් වන දේශපාලන පිළිගැනීමක් වේ. ඉන් තහවුරු කෙරෙන්නේ පරම බලැති ආණ්ඩු වලට හා පාලන ක්‍රම වලට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හා සීමාන්විත ආණ්ඩු ක්‍රමය සම්බන්ධ මූලධර්ම සමුදායකි. ඒ නිසා ව්‍යවස්ථානුකූලවාදය හඳුනා ගත යුත්තේ 'බෙදීගිය බලය සහිත ආණ්ඩු ක්‍රමයක්' වශයෙනි. අැත්ත වශයෙක්ම ව්‍යවස්ථානුකූලවාදය යටතේ සිදු වන්නේ ආණ්ඩුවක බලය නීතියෙන් සංවරණයට ලක් කිරීමයි. ඒ නිසා ව්‍යවස්තානුකූලවාදය හැදෑරීමෙන් යම් දේශපාලන ක්‍රමයක ආණ්ඩු බලයට ප්‍රතිරෝධයක් ඇති වන පරිදි නීතිය ව්‍යවහාර කොට ඇත්තේ කෙසේදැයි අවබෝධ කර ගැනීමටද හැකි වේ.

ව්‍යවස්ථානුකූලවාදය ස්වාධිපති පලය ව්‍යවහාර කිරීම කිශ්චිත බවට පත් කරයි. ආණ්ඩුවේ බලයට සංවරණයක් සපයන බැවින් එය පාලිතයන්ගේ අයිතිවාසිකම් වල ආරක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂාව තහවුරු කරන දේශපාලන පිළිගැනීමකි.

ආණ්ඩුක්‍රමයෙහි ලා දේශපාලන ආයතන වල ස්ථාවරභාවය, ඒවාට අදාළ කාර්යභාර සහ දේශපාලන සමාජය සංවිධානගත වී ඇති රාමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පෙන්නුම් කෙරේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ආණ්ඩුවක බලය හා යටත්වැසියන්ගේ අයිතිවාසිකම් අතර ඇති සම්බන්ධතාවද පැහැදිලි කෙරේ.

පෙර කී පරිදි ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රමයක් යන්නෙන් ගම්‍ය වන්නේ නීතියේ සීමාවෙන් බැඳුණු ආණ්ඩුක්‍රමයකි. ඒ අනුව ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් යනු යහපත් රවහිරතා අවකාශයක්( positive restraints universe) ඇතුළත ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයකි.එයින් අදහස් වන්නේ ව්‍යවස්ථානුකූල නීතිය ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට අවහිර වන පරිදි පිහිටුවීම නොවේ. එහෙත් ආණ්ඩු බලය අනිසි ආකාරයෙන් භාවිතා කිරීම වලක්වාලීම එයින් සිදු කෙරේ. එය ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වේ.

ආණ්ඩුවේ අධිකාරියට ව්‍යවස්ථානුකූල විධි නියම වලින් දක්වන අවහිරය දේශපාලන ක්‍රමයෙන් දේශපාලන ක්‍රමයට වෙනස් වේ. ඇතැම් දේශපාලන ක්‍රමයක ආණ්ඩුවේ බලය මත වැඩි ව්‍යවස්ථානුකූල අවහිරයක්, එනම් ප්‍රතිරෝධයක් යොදා තිබියහැකි අතර තවත් ක්‍රමයක අඩු ප්‍රතිරෝධයක් ගොඩ නංවා තිබිය හැකිය. මේ නිසා වෙනත් ඕනෑම කෘත්‍යාත්මක සංකල්පයක් (Functional concept) මෙන් ව්‍යවස්ථානුකූලවාදයද ධ්‍රැව දෙකක් අතර, එනම් අඩු අවහිරතාව හා වැඩි වැඩි අවහිරතාව යන ධ්‍රැව දෙක අතර කුමන හෝ ලක්ෂයක ස්ථානගත වී තිබිය හැකිය. ආණ්ඩුවේ බලය මත ව්‍යවස්ථානුකූලප්‍රතිරෝධය වැඩි වීම සිවිල් සමාජයේ නිදහස හා පුරවැසි අයිතිවාසිකම් වැනි අංශ වල පැවැත්මට හිතකර යඅයි පොදුවේ පිළිගැනීමට ලක් වේ.

මුලාශ්‍ර[සංස්කරණය]

දේශපාලන විද්‍යාව න්‍යාය, සංකල්ප, මතවාද : කීර්ති ආරියදාස

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවස්ථානුකූලවාදය&oldid=568494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි