ආගමික නිදහස
මෙම ලිපිය |
ලිබරල්වාදය |
---|
පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
ආගමික නිදහස යනු ඕනෑම පුද්ගලයෙකුට හෝ ප්රජාවකට පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ තම ආගම ඇදහීමට, ඉගැන්වීමට, වත් පිළිවෙත් අනුගමනය කිරීමට, සහ වන්දනා මාන කිරීමට නිදහස තිබිය යුතුය යන මූලධර්මයයි. එමෙන්ම කිසිම ආගමක් හෝ ඇදහිල්ලක් විශ්වාස නොකිරීමට පුද්ගලයෙකුට ඇති අයිතියත් මෙයට අයත් වේ. ආගමික නිදහස යන සංකල්පයට ඓහික ලිබරල්වාදය ඇතුලත් වන අතර, ඓහිකවාදයෙහි වඩාත් අධිකාරවාදී ස්වරූපයන් එයට අයත් නොවේ.
ආගමික නිදහස යනු මූලික මිනිස් අයිතිවාසිකමක් බව ලොව පුරා බොහෝ පුද්ගලයන් සහ බොහෝ ජාතීන් විසින් පිළිගැනේ. ලොව වැදගත්ම මානව හිමිකම් පිළිබඳ සම්මුතීන් වන එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, ඇමරිකානු මානව හිමිකම් සම්මුතිය, යුරෝපානු මානව හිමිකම් සම්මුතිය, සහ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය යනාදිය මගින් ආගමික නිදහස ආරක්ෂා කෙරේ. රාජ්‍ය ආගමක් සහිත රටක 'ආගමික නිදහස' යන්නෙන් අදහස් කෙරෙන්නේ එම රාජ්‍ය ආගම හැර වෙනත් ආගම් අදහන කණ්ඩායම් වලට තම ආගම ඇදහීමේ නිදහස හිමි වන බවත්, එම වෙනත් ආගමික කණ්ඩායම් වලට හෝ නිරාගමිකයන්ට රාජ්‍යය විසින් හිංසන සිදු නොකෙරෙන බවත් ය.
ආගමික නිදහස යටතේ අඩුම තරමේ විශ්වාසයට නිදහස තිබිය යුතුය. එනම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට තමන් කැමති ආගමික විශ්වාසයක් ඇදහීමට හෝ නොඇදහීමට අයිතිය තිබිය යුතුය. එහෙත් ඇතැමුන්ට අනුව මෙය ප්‍රමාණවත් නොවන අතර පුද්ගලයෙක් හට ආගමික වත් පිළිවෙත් යනාදිය සිදු කිරීමට ද ආගමික නිදහස යටතේ අයිතිය තිබිය යුතුය. ආගමික නිදහස ගැන සළකා බැලීමේදී ඇතිවන ගැටලුවක් වන්නේ ලෞකික නීතියට එරෙහිව යන ආගමික වත් පිළිවෙත් සඳහා වුවද ආගමික නිදහස යටතේ අවසර ලැබිය යුතුද යන්නය. මෙම ගැටලුව ලොව පුරා විවිධ අධිකරණ බලප්‍රදේශ වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.