Jump to content

කාර්මික විප්ලවය

විකිපීඩියා වෙතින්
කාර්මික විප්ලවය
c. 1760 – c. 1840
A Roberts loom in a weaving shed in 1835
Location
Key events
Chronology
Proto-industrialization Second Industrial Revolution

කාර්මික විප්ලවය (ඉංග්‍රීසි:  Industrial Revolution) යනු මිනිසාගේ දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් දශක 6 පුරාවට කාර්මික හා තාක්ෂණීක ක්ෂේත්‍රයේ සිදුකළ පුළුල් වෙනසයි.අඩ සියවසක් යනතුරු කාර්මික විප්ලවය එන්ගලන්තයේ පමනක් දැකිය හැකි විය. දහඅට වන ශත වර්ෂයේ නව සොයාගැනීම් සමග ගෘහ කර්මාන්ත, වාණිජ මහා පරිමාණ කර්මාන්ත බවට පත්වෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය යාන්ත්‍රීකරණයත් සමග සමාජයේ අනෙකුත් අංශ කෙරේද බලපෑම් සිදුකෙරිණි. එය හුදෙක් ආර්ථිකයට පමනක් නොව සමාජ, දේශපාලන තත්ත්වයන්ටද විහිද ගිය ඵකකි. කාර්මික විප්ලවය ලෙස හදුන්වන මෙම පෙරළිය සමග ඵක් අතක පැවති ශ්‍රමය, ධනය දෙක දෑතකට යාමත්, ඵනිසා ධනපති හා නිර්ධන පන්ති බිහිවීමත් සිදුවිය. මෙම කාර්මික විප්ලවයත් සමග ඇතිවූ ක්‍රියාදාමයත් එහි ප්‍රතිවිපාකත් පිළිබඳ විවරණයක් මෙහි වෙයි.

කාර්මික විප්ලවය ඇතිවීමට පිටුබල සැපයූ සාධක

[සංස්කරණය]

18 සහ 19 වැනි ශත වර්ෂවලදී එංගලන්තයේ කාර්මික ක්‍ෂ්ත්‍රයේ වෙනස්වීම් රාශියක් ඇතිවිය. අන් රටවලට පෙර එංගලන්තයේ ‍මෙවැන්නක් ඇතිවීමට, දියුනුවට බාධාවක්ව පැවති වැඩවසම් ක්‍රමය බිඳවැටීමත් සමග නිෂ්පාදන සාධක සංචලනයත් ස්වයංපෝෂිත බව අතුරු දහන්වීම කාර්මික භාණ්ඩ අලෙවියට හිතකර වීමත් බලපෑහ. කාර්මික විප්ලවය ඇති වීමට ප්‍රදාන ලෙස බලපෑවේ වෙළදාම දියුණු වීම වෙයි. මේ අනුව මුලින්ම ප්‍රවේණිදාස විමුන්තිය උදාවීම බ්‍රිතාන්‍යයේ සිදුවීමත් සමග ශ්‍රමය නිදහස් වීමත්,ඒකාධිකාර ලිහිල් වීමත් තරඟය වර්ධනය වීමත්, ‍ශ්‍රේණි ක්‍රමය බිඳවැටීමත් සිදුවිය. එමගින් කාර්මික වර්ධනය ඉක්මන්විය. මෙකල බ්‍රිතාන්‍යයේ දේශපාලන ස්ථාවරත්වය ද කාර්මික දියුණුවට වාසිදායක විය. අන් රටවලට වඩා බ්‍රිතාන්‍යය රජය කර්මාන්ත කරුවන්ට සහයෝගී වැඩපිළිවලක් අනුගමනය කිරීමත්, නිර්බාධවාදී ප්‍රතිපත්තියත්, ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් පැවති වාසිදායක තත්ත්වයත්, යටත් විජිතවලින් අඩුමිලට අමුද්‍රව්‍ය සපයාගත හැකි වීමත්, දියුණු ප්‍රවාහන පහසුකම් ද පුද්ගල ආකල්ප අතින් ප්‍රගතිශීලී ලක්ෂණ පෙන්නුම් කිරීමත්, කතෝලික පල්ලියෙන් මිදී කටයුතු කිරීම නිසා ලාභ ඉපයීම අන් රටවල් මෙන් පාපකාරී ක්‍රියාවක් ලෙස නොසැලකීම නිසා ලැබුණ පිටු බලයත් කාර්මික විප්ලවය ඇතිවීමට හේතු සාධක විය.


කාර්මික විප්ලවය වර්ධනය සඳහා කෘෂිකාර්මික විප්ලව‍යෙන් ලැබුණු පිටිවහලද ප්‍රබලවෙයි.කාර්මික සංවර්ධනයේදී මුලින්ම පැනනගින අවශ්‍යතාවයක් නම් කර්මාන්තවලට අවශ්‍යය ශ්‍රමය ලබාගැනීමයි. කෘෂි අංශයේ ආහාර අර්බුධ‍යෙන් ජයගැනීම සඳහා නවීන වගා ක්‍රම සොයාගැනීමත්, නව ‍බෝග වර්ග භාවිතය, මහා පරිමාණ ගොවිපලවල් බිහිවීම, සාමූහික වගාව වෙනුවට පෞද්ගලික වගාව ඇරඹීම, නිෂ්පාදනය යාන්ත්‍රීකරණය හා ඵලදායීතාව වර්ධනය හා වෙළඳපලට යොමුවූ කෘෂිකර්මයක් බිහිවිය. ඒමත අතිරික්ත නිෂ්පාදනයක් බිහිවිය.මෙය කෘෂිකාර්මික විප්ලවය ලෙසින් හදුන්වයි. මෙසේ කෘෂි ශිල්පක්‍රම වෙනස්වීම නිසා ශ්‍රමයට ඉල්ලුම අඩුවී ශ්‍රමය වෙනුවට යන්ත්‍ර භාවිතා කරන ලදී. එනිසා අතිරික්ත ශ්‍රමයට ගම හැරදා යාමට සිදුවිය. ඉඩම් ප්‍රතිංවිධානය නිසා නීත්‍යානුකූල අයිතිය ඔප්පුකළ නොහැකිවූ විශාල පිරිසකට ගම අතහැර ඵලා යාමට සිදුවිය. ඉඩමට අයිතිය කිව නොහැකිව නගරයට සංක්‍රමනය වූ පසුව ශ්‍රම සැපයුම පුළුල් විය. මේ නිසා ශ්‍රමය අඩු මිලට ලබාගත හැකිවී‍මෙන් කර්මාන්තශාලා හිමියන්ට තරඟකාරී අන්දමට භාණ්ඩ නිපදවීමට හැකි විය. කෘෂිකර්මයේ වෙනස්කම් සිදුනොවිනි නම් නගරවල ශ්‍රම සැපයුම වර්ධනය නොවේ.එපමනක් නොව කර්මාන්තවල සේවය කළ පුද්ගලයන්ගේ පෝෂණ මට්ටම් පවත්වා ගනිමින් ඵලදා වර්ධනයට අවශ්‍යය ආහාර ලබා ගැනීමට ද මේ කෘෂිකාර්මික දියුණුව ඉවහල්විය. එ‍සේ නොවුනි නම් ආහාරවල මිල නැග උද්ධමනය නිසා කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා සටන්කරනු ඇත. වැටුප් වැඩිවීමෙන් නිෂ්පාදන වියදම වැඩිවී කාර්මික සංවර්ධනය අඩාලවනු ඇත.


කර්මාන්තවලට මුලපිරුවේ කෘෂිකර්මය දියුණුව තුලින් ධනය රැස්කරගෙන සිටි ඉඩම් හිමියන්ය. ඔවුන්ගේ කෘෂි අතිරික්තය මූල්‍ය ආයතනවල තැන්පත් කරනලදී කර්මාන්ත කරුවන්ට එයින් ණය ලබා ගත හැකි විය. ඒ අනුව කෘෂි වෙනස් වීම් තුළින් රටේ ඉතුරුම් වැඩිවීමෙන් ප්‍රාග්ධනය ලෙස ඒවා යොදාගැනීමට හැකිවීම කාර්මික වර්ධනය වේගවත් කිරීමට හේතුවිය. විදේශ ආධාර හෝ ණය ලබාගැනීමට මෙකල නොහැකිවීමෙන් කෘෂි අංශයේ වෙනස්වීම් ඇතිනොවන්නට ප්‍රාග්ධන හිඟය මතු වීමෙන් කාර්මික සංවර්ධනය ඇතිනොවන්නට ඉඩතිබිණි.


1760-1830 අතර කාලය තුළ බ්‍රිතාන්‍යය ආර්ථිකයේ සිදුවූ තාක්ෂණික සොයාගැනීම් රාශිය නිෂ්පාදනයේ ලා යොදාගැනීම හේතුවෙන් මූලික පෙරළියක් හටගත් බවද එනිසා එයට කාර්මික විප්ලවය යන නම යෙදුනු බවද සඳහන්වෙයි.

කාර්මික විප්ලවය සමග ශ්‍රමය ධනය දෙක දෑතට යාම

[සංස්කරණය]

කර්මික විප්ලවයේ එක් වැදගත් සිදුවීමකි එක් අතක පැවති ශ්‍රමය,ධනය දෙක දෙඅතකට ගොස් පන්ති දෙකක් නිර්මාණය විම. දීර්ග කාලයක් තිස්සේ මිනිසා ස්වභාව ධර්මය හා ගැටෙමින් ස්වකීය අවශ්‍යතා ඉටුකරගත්තේ දෑතේ වීර්යයෙනි. මේ තුළ කුලියට වැඩකිරීමක් දැකගත නොහැකි විය. වැටුපකට ශ්‍රමය විකිණීම ආරම්භ වූයේ කාර්මික විප්ලවයත් සමගය. ඒ හා සමග ශ්‍රමය පිළිඹඳ වැඩි අවධානයක් යොමුවිය. සම්පත් සතුවූ පිරිස් යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම නිසා ඔවුන් ආයෝජකයන් බවට පත්විය. එමෙන්ම ඔවුන් සම්පත් ඒකරාශී වූ ප්‍රදේශවල කර්මාන්ත ආරම්භ කිරීම සිදුකෙරිණ.යන්ත්‍ර භාවිතයත් සමග ස්වභාව ධර්මය සමග වඩාත් සාර්ථකව ගැටී අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගත හැකිවිය. ජලය,සුලං වැනි ස්වභාවික බලශක්ති වෙනුවට වාෂ්ප බලය වැනි කෘතිම බලශක්ති ප්‍රයෝජනයට ගනු ලැබීය. එනිසා විශාල භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීමට හැකිවිය.

කර්මික විප්ලවයත් සමග සිදුවූ නව සොයාගැනීම්

[සංස්කරණය]

1760-1830 අතර කාලය තුළ බ්‍රිතාන්‍යය ආර්ථිකයේ සිදුවූ තාක්ෂණික සොයාගැනීම් රාශිය නිෂ්පාදනයේ ලා යොදාගැනීම හේතුවෙන් මූලික පෙරළියක් හටගත් බවද එනිසා එයට කාර්මික විප්ලවය යන නම යෙදුනු බවද සඳහන්වෙයි. එනිසා විශාල භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීමට හැකිවිය. දර වෙනුවට ගල් අඟුරු යොදාගැනීම සමග ගල් අඟුරු කර්මාන්තය ද දියුණු විය. 1770 වන විට බ්‍රිතාන්‍යය ලොව ප්‍රධානම ගල් අඟුරු නිෂ්පාදකයාවිය. ගෘහ්‍ය ක්‍රමය අභාවයට ගොස්,කර්මාන්තශාලා ක්‍රමය මුල්තැන ගනිමින් නිෂ්පාදන සංවිධානය ද වෙනස් විය.විශාල යන්ත්‍ර තැනීමෙන් පසුව අනෙකුත් නිෂ්පාදන ඒවටා රොක් විය.මුලදී වැඩපල වැදගත් වුවත් පසුව නිෂ්පාදන ඒකකය බවට පත්වූයේ කර්මාන්තශාලාවයි. ශ්‍රේණි ක්‍රමය අභාවයට ගියේය.තරඟකාරී නිෂ්පාදන ආරම්භ විය. නිෂ්පාදන ව්‍යූහය හා ආර්ථිකයේ සැකැස්ම වෙනස්වී කෘෂිකර්මයට තිබූතැන කර්මාන්තවලට හිමිවිය.ජාතික ආදායම, ජාතික නිමැයුම, සහ සේවා නියුක්තිය තුළ කර්මාන්ත වලට ප්‍රමුඛත්වය ලැබිණ.කර්මාන්ත ආශ්‍රයකොට ජීවත්වන අයගේ සංඛ්‍යාව වැඩිවිය. කාර්මීකරණය සමග නාගරීකරණය ද සිදුවිය.

නිෂ්පාදන සාධක වල ශ්‍රමය හා භූමිය වෙනුවට සාපේක්‍ෂකව ප්‍රාග්ධනයට මුල්තැන ලැබිණ. මෙම වෙනස්වීම් සමාජ පන්ති තුළින් නිරූපනය කරමින් පෙර ප්‍රධාන පන්ති දෙක වූ ඉඩම් හිමි රදළයන් හා ප්‍රවේණිදාස ගොවීන් වෙනුවට ධනපති පන්තිය හා නිර්ධන පන්තිය වැදගත් විය. දේශපාලන වෙනස්වීමට එය හේතුවිය.පාර්ලිමේන්තුව තුළ රදළ බලය අඩුවී කර්මාන්ත හිමි මධ්‍යම පන්තිය නැගී ආවේය. නැතහොත් වැඩවසම් ක්‍රමය අභාවයට ගොස් ධනේෂ්වර ක්‍රමය තහවුරුවිය. ශිල්පීයමය වෙනස්වීම් ප්‍රවාහන දියුණුව තුළින් ද හදුනාගත හැකිය. කාර්මික ක්‍ෂ්ත්‍රයේ වෙනස්වීම් වලට අනුකූලව මහා මාර්ග හා ඇල මාර්ග ප්‍රවාහනය දියුණු විය.වි‍ශේෂයෙන්ම වාෂ්ප බලය යොදා නාවික ගමනා ගමනය දියුණුවීම වැදගත්ය. විශාලම බලපෑම දුම්රියප්‍රවාහනය මගින් සිදුවිය. 1963 ජෙම්ස් වොට් වාෂ්ප බලය දියුණු කළ පසුව දුම්රිය සඳහා එය යොදාගත්තේ ජෝජ් ස්ටීවන්සන්ය. වාෂ්ප බලය යොදා දුම්රිය ධාවනය කිරීමෙන් පසුව විදුලිබලයෙන් දුම්රිය ධාවනය කිරීම නිසා මිනිසාගේ ගමන්වේගය වැඩිවිය.

නව සොයාගැනීම් සමග කැපීපෙණුනු කර්මාන්ත

[සංස්කරණය]

කාර්මික විප්ලවය තුළ නව සොයාගැනීම් සිදුවූ මූලික කර්මාන්ත කිහිපයකි.

පේෂ කර්මාන්තය/රෙදි කර්මාන්තය

කාර්මික නිෂ්පාදන ඇරඹියේ රෙදි කර්මාන්තයෙනි. නවෝත්පාදන හා නව්‍යතාවයන් රාශියක් සිදුවූයේ එම අංශ තුළයි. ක්‍රි.ව.1585 දී පවා බ්‍රිතාන්‍යය තුළ රෙදිපිළි කර්මාන්තය පැවතියද ශත වර්ෂ ‍දෙකක් පමණ වෙනස් වූයේ නැත. රෙදිපිළි කර්මාන්තය දියුණු කිරීමට රෙදිපිළි කර්මාන්තයේ ප්‍රධාන අංශ දෙකවන නූල්කැටීම හා රෙදි විවීම යාන්ත්‍රීකරණය,රෙදි විවීම වේගවත් කිරීම සදහා 1733දී ජෝන් කේ විසින් “දුවන නඩාව “නම් උපකරණයක් සොයා ගන්නා ලදි.එහෙත් නූල් කැටීම වේගවත් නොවිනි.එම යුගයේදී මිනිසුන් 6ක් දිනකදී වියන නූල් ප්රමානය 1 රෙදි වායන්නෙකුට 1 දිනකට සෑහිණි.මෙම අවශ්‍යතා දුරුකර කරලමින් 1764 දී ජේම්ස් හාගීව්ස් නූල් කැටීම සදහා “ජෙනී යන්ත්‍රය“ නම් උපකරණය නිපදවීය.

අතින් කැරකවීමේදී ජෙනී යන්ත්‍රය තුළ වූ අපහසුතා මගහරවමින් 1769 දී රිචඩ් ආක්රයිට් "ජල රාමුව" සොයාගත්තේය. මෙසේ නිපදවූ ජල රාමුවේ අපහසුතා විය.

  1. විශාල වීම නිසා නිවෙස් වල තබා ගැනීම අපහසු විය.
  2. වේගවත් ජල පහරක් අවශ්‍ය වීම.

මෙම අපහසුතා මගහරවමින් ජෙනී යන්ත්‍රය හා ජල රාමුවේ තාක්ෂණය කැටි කර 1779 දී සැමුවෙල් කොම්ප්ටන් විසින් “මියුල් යන්ත්‍රය“ නිපදවා ඇත.මෙයින් ශත්තිමත් සියුම් නූල් නිපදවා ඇත. 1785 දී එඩ්මන් කාට්රයිට් "බලවේග යන්ත්‍රය" සොයා ගැනීම මගින් රෙදි විවීම යාන්ත්‍රීකරණය වීමත් මගින් සිදුවිය. ඒ මගින් අත් යන්ත්‍ර අභාවයට ගිය අතර අත් යන්ත්‍ර මගින් වැඩිහිටියකු නිපදවූ ප්‍රමාණය මෙන් හතර ගුණයක රෙදි ප්‍රමාණයක් විවීමට දැන් කුඩා ළමයකුට හැකි විය.නූල් කැටීම හා රෙදි විවීම සම්පූර්ණයෙන් යාන්ත්‍රීකරණය වූවිට රෙදි පිළි කර්මාන්තය දියුණු විය. එමනිසා අමුද්‍රව්‍ය වලට ඉල්ලුම වැඩිවී කපු නිෂ්පාදනය ඉහළයාම කැපී පෙනිණි.

යකඩ හා වානේ කර්මාන්තය

එංගලන්තය නම් යපස් බහුල රටකි.කාර්මික විප්ලවයේදී මුලින්ම වෙනස්වීම් වලට ලක්වෙමින් අනාගත සංවර්ධනයේලා පදනම දැමූ තවත් කර්මාන්තයකි, යකඩ නර්මාන්තය. ගල් අගුරු පිලිස්සීමෙන් යකඩ උනුකිරීම සිදුවිය. විවිධ යන්ත්‍ර සොයාගැනීමත් සමග ඉතා උසස් ගනයේ යකඩ නිෂ්පාදනයට හැකිවිය. එහෙත් යකඩ ශක්තියෙන් හා කල්පැවැත්මෙන් අඩු හෙයින් එම අවශ්‍යතාව සපුරාලමින් වානේ සොයාගැනිණි. යකඩ උනු කිරීම සදහා භාවිතා කල උපායන්

  • 1730 - ඒබ්‍රහම් ඩර්බි - ගල් අගුරු යොදා යපස් උනු කිරීම - වාත්තු කල යකඩ නිපදවීමේ හැකිවීම
  • 1784 - හෙන්රි කොට් - රෝලර් යන්තය - පදම් කළ යකඩ නිපදවීමට
  • 1856 - හෙන්රි බේසර්මන් - යකඩ වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපද වීමේ ක්‍රමය
  • 1860 - පෙරීමාටින් හා එමලි මාර්ටින් යුවල - විවෘත උදුන්
  • 1870 - විලියම් සීමන්ස් -විදුලි උදුන - යපස් උණු කරන

ගල් අගුරු කර්මාන්තය

ඒ සඳහා විවිධ වර්ගයේ උඳුන් භාවිතාවිය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ගල් අගුරු අවශ්‍ය විය. එයින් කාර්මික දියුණුව සමග ගල් අගුරුවල ඉල්ලුම වැඩි විය. ගල් අගුරු, කාර්මික විප්ලවයේදී ප්‍රධානත්වය ගත් අනිත් කර්මාන්තයයි. ඈත අතීතයේ සිට එංගලන්තයේ ගල් අගුරු කර්මාන්තය පැවතියේය. එහෙත් ගල් අගුරු ආකර තුළට ජලය පිරීම ආකර තුළ විෂවායු පිරී තිබීම වැනි බාධක නිසා එහි දියුණුවක් නොවීය. 1736 දී ජෙම්ස් වොට් වාෂ්ප යන්ත්‍රය අංග සම්පූර්ණ කළ පසු ආකර තුළ ජලය ඉවත් කළ හැකිවිය. 1837 ආකර තුළට පිරිසිදු වාතය ඇතුලු කිරීමේ ක්‍රම සොයාගැනීමත් සමග ගල් අගුරු නිෂ්පාදනය වැඩිවිය. බ්‍රිතාන්‍යය ලෝකයේ ප්‍රධානම ගල් අගුරු නිෂ්පාදකයා බවට පත්විය.

සේව්‍ය සේවක ගැටුම්

[සංස්කරණය]

‍මෙසේ දියුණු වූ කර්මාන්ත මගින් සමාජයේ බිහිවූ කම්කරු හා ධනපති පන්ති දෙකතුල වූ පරමාර්ථ එකිනෙකින් වෙනස් විය. ශ්‍රමිකයින් ශ්‍රමය සඳහා ඉහළ වැටුප් බලාපොරොත්තු වූ අතර ආයෝජකයන් නිෂ්පාදනය මගින් ඉහළ ලාභ අපේක්‍ෂාකරයි. ආයෝජකයන් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ශ්‍රමය, ප්‍රාග්ධනය, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර වැනි නිෂ්පාදන සාධක වලින් ලාභය වැඩිකර ගැනීමට හෝ පාඩු අවමකර ගැනීමට පිරිවැය අඩුකළ හැකි එකම සාධකය ශ්‍රමය වෙයි. පුද්ගල වැටුප් අඩුකිරීම හෝ සේවක සංඛ්‍යාව අඩු කිරීම මගින් එය සිදුකරයි. එමගින් සේවක සේව්‍ය ගැටම් ඇතිවෙයි. මෙසේ කාර්මික විප්ලවයට පෙර එක් අතක පැවති ශ්‍රමය හා ධනය දෑතකට යාමෙන් කාර්මික සබඳතා බිහිවිය. කාල්මාක්ස්ට අනුව ශ්‍රමය හා ධනය එක අතකට ගමන් ගතහොත් මෙම සේව්‍ය සේවක ගැටුම් වලක්වාලිය හැකියයි පවසයි. නමුත් මේ දක්වා කිසිඳු රටකට එය කළ නොහැකිවී ඇත.කළ හැක්කේ හැකිතාක් දුරට සේව්‍ය සේවක සබඳතා සාමතාමීව පවත්වා ගැනීමයි. මේ සඳහා සාමාන්‍ය ගිවිසුමක් මගින් අදාල දෙපාර්ෂවය සම්බන්ධයෙන් කොන්දේසි සකසයි. එහෙත් කාර්මික විප්ලවයෙන් මුල්කාලීනව මෙම කොන්දේසි සකස්කිරීම බොහෝවිට සේවායෝජකයෝ අතින් සිදුවිය. සේවකයාට සිදුවූයේ මෙම‍ කොන්දේසි වලට යටත්ව කටයුතු කිරීමයි. ඒ අනුව සේවායෝජකයාගේ පිරිවැය අඩුකර ගැනීම සඳහා වැටුප් අඩුකිරීම නිසා ශ්‍රමය සූරාකෑම සිදුවිය. එකල පැවති රාජ්‍ය නිර්බාධීත්වය නිසා මෙම තත්ත්වය වඩා බරපතල විය.








මෙවන් පරිසරයක් තුළ ශ්‍රමිකයින්ගෙන් කෲර ලෙස වැඩ ගැනීම නිසා අර්බුධකාරී තත්ත්ව ඇති විය. රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව සුබසාධනය ඇතිකළ නොහැකි බව මෙකල ඇතිවූ මාක්ස්වාදී විප්ලවීයයන්ගේ මතය විය. පසුකාලීනව රාජ්‍ය නිර්බාධවාදීත්වය රාජ්‍ය සුබසාධනවාදී ප්‍රතිපත්තියක‍ට නැඹුරු විය. මෙහිදී වරප්‍රසාද නොමැති හෝ ඌන වරප්‍රසාද සහිත ශ්‍රමික කොටස්‍වලට මැදිහත්වීම සිදුවිය. මෙහිදී සේවායෝජකයන්ගේ ප්‍රබලත්වය නිසා ශ්‍රමිකයාට තනිව කේවල්කිරීමේ ශක්තියක් නොමැත. මේ නිසා කම්කරුවන් සංවිධානය වී කේවල් කිරීමේ ශක්තිය ඇතිකර ගනී. කාර්මික විප්ලවයට පසු ශ්‍රමිකයන් සාමූහික කේවල් කිරීම සඳහා යොමුවිය. මේ සඳහා කම්කරු නීති පිටුබල සපයයි.

කාර්මික විප්ලවයේ ප්‍රතිඵල

[සංස්කරණය]
  • කාර්මික විප්ලවයේ වැදගත්ම ප්‍රතිඵලය ලෙස ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ විමත් සමග යාන්ත්‍රික යුගක් ආරම්භ විය.විප්ලවයට පෙර භාවිත වූ බලශක්ති ප්‍රබව ලෙස මිනිස් බලය, සත්ව ශක්තිය, සුළං හා ජලය වෙනුවට වාෂ්ප බලය, විදුලි බලය ලෙස වෙනස් වීමත් මුල්කාලීන යන්ත්‍රවන ලී යන්ත්‍ර වෙනුවට යකඩ හා වානේ වලින් තැනූ යන්ත්‍ර ලෙස බලශන්තිය වෙනස්වීමට අනුකූලව විශාල යන්ත්‍ර බිහිවීමත් සිදුවිය.


  • දේශීයව පමණක් නොව විදේශ ඉල්ලුමද සපුරාලන පරිදි නිෂ්පාදන සිදුවීය. නවීන යන්ත්‍ර සූත්‍ර, බලශක්තිය, ලෝහ වර්ග භාවිතය සමග නිෂ්පාදන පර්මාණය විශාලවී මහා පරිමාණ නිෂ්පාදනයේ වාසි ලැබීය. මේ යටතේ ශ්‍රම විභජනය හා විශේෂ ප්‍රාගුන්‍ය දැකිය හැකිවිය.











  • කාර්මික විප්ලවයත් සමග ආර්ථිකයේ ඇති වූ තරඟකාරී බව නිසා නිෂ්පාදනය සීඝ්‍රයෙන් වැඩිවිය. කලින් පැවති ශ්‍රේණි ක්‍රමය අනුව නිෂ්පාදනය ඒකාධිකාරී ස්වරූපයක් තිබිණ. කාර්මික විප්ලවයත් සමග ශ්‍රේණි ක්‍රමය බිඳවැටී නිදහස් වෙළඳපල ආර්ථිකය තහවුරු විය. පෞද්ගලික අංශය ප්‍රසාරණය විය. එංගලන්ත‍යේ වැඩවසම් ක්‍රමය බිඳවැටී ධනවාදී ආර්ථිකය ඇතිවිය. කාර්මික විප්ලවය නිසා නිෂ්පාදන වියදම් අඩු විය. එමනිසා අඩු මිලට භාණ්ඩ සැපයිය හැනිවිය. එය බ්‍රිතාන්‍යයට ලෝක වෙළඳපල ආක්‍රමනය කිරීමට පිටුබල සැපයීය. "ලෝකයේ කර්මාන්ත ශාලාව" යන විරුදාවලිය දිනා ගැනීමට ඇය සමත්විය.


  • සාරාංශයක්ව ගත හොත් කාර්මික විප්ලවයෙන් ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් අලුත් යුගයක් උදාවිය.සම්පත් වලින් උපරිම ඵලදාව ගත හැකි විය. නිෂ්පාදනය වැඩිවී වියදම අඩු වීම සමග මිනිසාගේ විවේකය වැඩිවිය. එනිසා අතිරේක කටයුතුවල යෙදීමට ඔහුය අවකාශ ලැබුණු අතර ඒ තුළින් සමාජ වර්ධනක් දැකිය හැකිවිය.
  • කාර්මික විප්ලවය නිසා කාර්මීකරණයත් සමග නාගරීකරනයද සිදුවිය. වැඩි ජනගහනයක් කර්මාන්ත හා නගර ආශ්‍රිතව ජීවත් වීමට සංක්‍රමණය වීම නිසා ගම වෙනුවට නගරය ඉස්මතුවිය.











  • කාර්මික විප්ලවයේ මූලික ලක්ෂණය වූ යාන්ත්‍රීකරණය, කර්මාන්තශාලා ක්‍රමය, නාගරීකරනය නිසා බිහිවූ නව විශාල කම්කරු පිරිස නිසා නිර්ධන පන්තිය ලෙස වෙනම කොටසක් නිර්මාණයවිය. එමෙන්ම කාර්මීකරණය සමග ජනගහන තදබදය, නිවාස හිඟය, නගරවල සෞඛ්‍යය හා සනීපාරක්‍ෂාව පිළිබඳ ගැටළු ලෙස අලුත් සමාජ ප්‍රශ්න මතුවිය.
  • මේ තත්ත්වය එකල කර්මාන්ත හිමියන්ට හිතකරවිය. ශ්‍රමය සුලභ වීම නිසා අඩුමිලට කම්කරුවන් යොදාගන්නා ලදී. මෙහිදී ශ්‍රමය සූරාකෑම, වැඩිහිටි පිරිමින්, කාන්තාවන්, ළමුන් අයුතුලෙස සේවයේ යොදවාගැනීම සිදුවිය. ශ්‍රමිකයන්ට දිනකට පැය 12-19 අතර කාලයක් රැකියාවේ සිටීමට සිදුවූ අතර කෑමගැනීමේ පහසුකම්, වාතාශ්‍රය ලැබීමේ පහසුකම් නොවිණි. වරදක් සිදුවූ විට දරුණු වධහිංසාවලට ලක්වූ අතර ඔවුන්ට ලැබුණු වැටුප සිලිම් 3ක් වැනි අවම අගයක් ගැනිණි. දෙමාපියන්ට රැකියා ලබාගතහැකි වූයේ දරුවන් කැටුව ගියහොත් පමණි. දරුවන් යන්ත්‍ර ලෙස සලකමින් අනතුරුදායක වෘත්තීන්හි යොදවනු ලැබීය. කම්කරුවන්ගේ තත්ත්වය මෙසේ දුක්ඛිතව අයහපත් තත්ත්ව මැද සේවය කිරීමත් නිසා රෝග බෝවීම සීඝ්‍රවිය.



  • එංගලන්තය කාර්මික විප්ලවය තුළින් නිෂ්පාදනය ජයගත්තත් මේ සමාජ අසහනය දිනීමට අසමත්විය. ජාත්‍යන්තර තත්ත්වයක් හා නමක් ඇතිකර ගත්තත් ඒ ස්වකීය වැසියන් විශාල පිරිසකට අසාධාරනයක් ඇති කරමිණි.මේ පිළිබඳ යමක් කිරීමට යොමුවූයේ කම්කරු උද්ඝෝෂණයත් සමගය. ඒ අනුව සමාජ ප්‍රතිශෝධනයක් සඳහා රජය පියවර ගති.

පිංතූර ගැලරිය

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

පාද සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

වැඩිදුර අධ්‍යයනය සඳහා

[සංස්කරණය]
  • ඊරියගම, තිස්ස, ed. (1992). බ්‍රිතාන්‍යය ආර්ථික ඉතිහාසය. කොළඹ 9: මැණික් ප්‍රින්ටර්ස්.{{cite book}}: CS1 maint: location (link)
  • ඊරියගම, තිස්ස, ed. (1998). කාර්මික විප්ලවය.
  • සවුත්ගේට්, ජෝජ් ඩබ්ලියු,, ed. (1960). එංගලන්තයේ ආර්ථික ඉතිහාසය. ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.{{cite book}}: CS1 maint: extra punctuation (link) CS1 maint: multiple names: editors list (link)

භාහිර සබැඳි

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=කාර්මික_විප්ලවය&oldid=591710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි