ගොර්යෝහි තේජෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
තේජෝ (태조)
ගොර්යෝහි තේජෝ රජ
Goryo Taejo Wangkun 2.jpg
රාජ්‍ය සමයජූලි 25, 918 – ජූලි 4, 943
අභිෂේකයජූලි 25, 918
පූර්වප්‍රාප්තිකයාගුං යේ
අනුප්‍රාප්තිකයාගොර්යෝහි හ්යේජොං
උපත31 ජනවාරි 877
සොංගක්, එක්සත් සිල්ලාව
මරණය4 ජූලි 943 (66 වියැති)
වල්ලභයාසින්-උයි අගබිසව,
ජංහ්වා අගබිසව (ගොර්යෝවේ දෙවන රජ ගොර්යෝහි හේයේජොංගේ මව)
දරුවන්ගොර්යෝහි හ්යේජොං,
ගොර්යෝහි ජොංජොං,
ගොර්යෝහි ග්වංජොං
වංශයවං ගෘහය
පියාවං ර්යුං
කොරියානු නම
හංගුල්태조
හංජා太祖
සංශෝධිත රොමානුකරණයතේජෝ
මෙකන්–රයිෂවර්‍තේජෝ
උපන් නම
හංගුල්왕건
හංජා王建
සංශෝධිත රොමානුකරණයවං ගොන්
මෙකන්–රයිෂවර්වං කෝන්
මරණාපර නම
හංගුල්신성대왕
හංජා神聖大王
සංශෝධිත රොමානුකරණයසින්සොං-දේවං
මෙකන්–රයිෂවර්සින්සෝං තේවං

ගොර්යෝහි තේජෝ (ජනවාරි 31, 877 – ජූලි 4, 943) හෙවත් තේජෝ වං ගොන් (වං කොන්, 왕건) යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සියවසේ සිට 14වන සියවස දක්වා පැවති කොරියාවේ ගොර්යෝ රාජවංශයේ ආරම්භක පාලකයායි. තේජෝ රජු විසින් 918 සිට 943 දක්වා කොරියාව පාලනය කරන ලදී.[1]

පසුබිම[සංස්කරණය]

877දී තේජෝ, සොංදෝ (නූතන කේසොං) නුවර ප්‍රමුඛ වෙළඳ පවුලක උපන්නේ ය. මෙම වෙළෙන්දන් විසින් යේසොං ගංගාවේ වෙළඳාම පාලනය කරන ලදී. ඔහුගේ පියා වූ වං යුං (왕륭, 王隆) චීනය සමග වෙළඳාමෙන් විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට සමත් විය. ඔහුගේ පූර්වජයන් පුරාතන ගොගුර්යෝ රාජ්‍යයේ සීමාවේ විසූ බැවින්, වං ගොන් ගොගුර්යෝවෙන් පැවතෙන්නෙක් ලෙස සැලකිණි.[2] වං ගොන්, සිය පෙළපත ගොගුර්යෝ වංශවත් පෙළපතක් යැයි පවසා ඇත.[3]

බලයට පත්වීම[සංස්කරණය]

තේජෝ සිය වෘත්තිය ආරම්භ කළේ පසුකාලීන තුන් රාජධානි (හන්ජා:後三國時代) අවුල් සහගත තත්ත්වයට පත්ව ඇති යුගයකයි. සිල්ලා රාජධානියේ පසුකාලීන වර්ෂයන්හි බොහෝ ප්‍රාදේශීය නායකයින් සහ මංකොල්ලකරුවන්, ජනතාවගේ තත්ත්වය වැඩිදියුණු කිරීමට ශක්තිමත් නායකත්වයක් හෝ ප්‍රතිපත්ති නොවූ ජින්සොං රැජිනට එරෙහිව කැරලි ගසන්නට විය. මෙම කැරලිකරුවන් අතරින් වයඹදිග පෙදෙසේ ගුං යේ (궁예; 弓裔) සහ නිරිතදිග පෙදෙසේ ග්යොං හ්වොන් (견훤; 甄萱) බලය අතින් වර්ධනය විය. බොහෝ අනෙක් කැරලි කණ්ඩායම් පරාජය කළ ඔවුහු ප්‍රාදේශික සිල්ලා නායකයින් සහ මංකොල්ලකරුවන්ට එරෙහිව සටන් කළහ. 895දී, ගුං යේ විසින් සොංදෝ පෙදෙස පිහිටි සිල්ලාවේ වයඹදිග කලාපය වෙත සේනා මෙහෙයවන ලදී. තේජෝගේ පියා වූ වං යුං (පසුව ගොර්යෝහි සේජෝ) ඇතුළු බොහෝ ප්‍රාදේශික වංශිකයින් ක්ෂණිකව ගුං යේට යටත්වූහ. සිය පියාව අනුගමනය කළ වං ගොන් තේබොං රාජ්‍යයේ අනාගත පාලකයා වූ ගුං යේ යටතේ සේවය කරන්නට වූයේ ය.

යුධ අණදෙන නිලධාරියකු ලෙස වං ගොන් දැක්වූ දක්ෂතාව වටහාගත් ගුං යේ ඔහුව සෙන්පති තනතුරට උසස් කොට සිය සොහොයුරකුට මෙන් සැලකී ය. 900දී ප්‍රාදේශීක වංශිකයන්ට සහ චුංජු ප්‍රදේශයේ පසුකාලීන බෙක්ජේ හමුදාවන්ට එරෙහිව සාර්ථක ආක්‍රමණයක් මෙහෙයවීම හේතුවෙන් ඔහු තවත් රජුගේ ප්‍රසාදයට ලක් විය. 903දී, ග්යොං හ්වොන් සිල්ලාවට එරෙහි යුද්ධයේ නිරතව සිටින විට ඔහු විසින් හුබෙක්ජේ (ක්‍යුම්සුං, පසුව නාජු) හි නිරිතදිග වෙරළතීරය වෙත නාවික ආක්‍රමණයක් දියත් කරන ලදී. තවත් යුධ ව්‍යාපාර මාලාවක් මෙහෙයවූ ඔහු සිල්ලාවේ පාලනය යටතේ පැවති දරිද්‍රතාවෙන් පෙළුණු ජනයා යටත් කරගත්තේ ය. ඔහුගේ නායකත්වය සහ උදාරභාවය මහජනයාගේ පැසසුමට ලක් විය.

913දී, අලුතෙන් පිහිටුවූ තේබොං රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස වං ගොන්ව පත්කෙරිණි. එහි රජු වූ ගුං යේ තමන් බුදුන් වහන්සේට සම්බන්ධ බව පවසාගන්නට වූ අතර, සිය ආගමික අදහස්වලට විරුද්ධ වූ ජනයාට දඬුවම් පැමිණවී ය. බොහෝ භික්ෂූන්ට දඬුවම් කළ ඔහු සිය බිසව සහ පුතුන් දෙදෙනාට ද දඬුවම් පැමිණවී ය. මේ නිසා ජනතාව ක්‍රමයෙන් ඔහුගෙන් දුරස් වන්නට වූහ. ඔහුගේ මිල අධික චාරිත්‍ර සහ දැඩි පාලනය නිසා ජනතා අප්‍රසාදය වැඩි විය.

සිහසුනට පත්වීම සහ ගොර්යෝව පිහිටුවීම[සංස්කරණය]

කොරියාවේ රජවරු
ගෝර්යෝ
  1. තේජෝ 918–943
  2. හ්යේජොං 943–945
  3. ජොංජොං 945–949
  4. ග්වංජොං 949–975
  5. ග්යොංජොං 975–981
  6. සොංජොං 981–997
  7. මොක්ජොං 997–1009
  8. හ්යොන්ජොං 1009–1031
  9. දොක්ජොං 1031–1034
  10. ජොංජොං II 1034–1046
  11. මුන්ජොං 1046–1083
  12. සුන්ජොං 1083
  13. සොන්ජොං 1083–1094
  14. හොන්ජොං 1094–1095
  15. සුක්ජොං 1095–1105
  16. යේජොං 1105–1122
  17. ඉන්ජොං 1122–1146
  18. උයිජොං 1146–1170
  19. මියොංජොං 1170–1197
  20. සින්ජොං 1197–1204
  21. හුයිජොං 1204–1211
  22. ගංජොං 1211–1213
  23. ගෝජොං 1213–1259
  24. වොන්ජොං 1259–1269
  25. යොංජොං 1269
  26. වොන්ජොං 1269–1274
  27. චුංන්‍යොල් 1274–1308
  28. චුංසොන් 1308–1313
  29. චුංසුක් 1313–1330
    1332–1339
  30. චුංහ්යේ 1330–1332
    1339–1344
  31. චුංමොක් 1344–1348
  32. චුංජොන් 1348–1351
  33. ගොංමින් 1351–1374
  34. යු 1374–1388
  35. චං 1388–1389
  36. ගොංග්යැං 1389–1392

918දී, තේබොං රාජ්‍යයේ ඉහළම සෙන්පතීන් සිව්දෙනා වූ හොං යු (홍유; 洪儒), බේ හ්යොංග්යොං (배현경; 裵玄慶), ෂින් සුං-ග්යොම් (신숭겸; 申崇謙) සහ බොක් ජිග්යොම් (복지겸; 卜智謙) රහසිගත මුණගැසී ගුං යේව සිහසුනෙන් පහකොට වං ගොන්ව සිංහාසනාරූඪ කිරීමට සැලසුම් කළහ. මුලින් වං ගොන් මෙම අදහසට විරුද්ධ වුවත්, පසුව එකඟ විය. එම වර්ෂයේ දී ම, ගුං යේව සිහසුනෙන් නෙරපූ අතර එහි අගනුවර වූ චෝර්වොන් අසදී ඔහුව ඝාතනය කෙරිණි. මෙම කෙටි කාලීන රාජ්‍යයේ රජු‍ ලෙස ඔවුහු වං ගොන්ව පත්කළහ. වං ගොන් විසින් රාජ්‍යයේ නාමය ගොර්යෝ ලෙස වෙනස්කොට ගොර්යෝ රාජවංශය ඇරඹී ය. ඊළඟ වර්ෂයේ එහි අගනුවර සිය මුල් ගම වූ ගේග්යොං වෙත ගෙනයන ලදී.

බුදු දහම රාජ්‍යයේ ජාතික ආගම ලෙස නම්කළ රජු බල්හේ පාලනය යටතේ පැවති කොරියාවේ උතුරු කොටස් සහ මැංචූරියාව ආක්‍රමණයට අදහස් කළේ ය. 926දී ඛිටන් ආක්‍රමණිකයන් විසින් බල්හේ රාජ්‍යයට අයත් වූ මැංචූරියාවේ විශාල කොටසක් සහ සයිබීරියාවේ කොටසක් ආක්‍රමණය කළ අතර, බල්හේ රාජ්‍යයේ අවසන් කිරුළහිමි කුමරු වූ දේ ග්වං-හ්යොන්ගේ නායකත්වයෙන් එහි බහුතරයක් ජනයා ගොර්යෝ වෙත පලා ආහ. බල්හේ සහ ගොර්යෝව එකම සම්භවයක් (ගොගුර්යෝ රාජ්‍යයේ අනුප්‍රාප්තික රාජ්‍ය) සහිත ජනයාගෙන් සමන්විත වූ හෙයින් බල්හේ ජනයා තමන්ගේම ජනයා ලෙස තේජෝ රජු විසින් පිළිගන්නා ලදී.[4] අනතුරුව ඔහු ගොගුර්යෝවේ පැරණි අගනුවර වූ අත්හැර දමා තිබූ ප්‍යෝංග්යෑං නුවර අල්ලා ගත්තේ ය. ප්‍රාදේශි වංශ ආක්‍රමණය කොට තම ඍජු අණසකට ගැනීම වෙනුවට ඔහු සන්ධානයන් ඇතිකරගත්තේ ය.

පසුකාලීන තුන් රාජධානි යුද්ධය[සංස්කරණය]

927දී, හුබෙක්ජේ රාජ්‍යයේ ග්යොන් හ්වොන් සිල්ලාවේ අගනුවර වූ ග්යොංජු වෙත සේනා මෙහෙයවා එහි රජු වූ ග්යොංගේ රජුව මරණයට පත්කළේ ය. අනතුරුව ගොර්යෝවට එරෙහිව සටන් වැදීමට ප්‍රථම ඔහු සිය රූකඩයක් වූ ග්යොංසුන් රජුව සිහසුනෙහි තැබී ය. මෙම පුවත අසා, නැවත පැමිණෙමින් සිටි තේජෝ දේගු අසල ගොංසන් පෙදෙසේ දී අශ්වාරෝහක භටයින් 5000ක් සමග ග්යොන්ගේ හමුදා ආක්‍රමණය කිරීමට තීරණය කළේ ය.[5] ඔහු හුබෙක්ජේ හමුදා සමග සටන් කළ ද, ඉන් ඔවුනට බරපතල ලෙස හානි සිදු වූ අතර වං ගොන්ගේ හමුදා පරාජයට පත් විය. එහිදී ඔහුගේ හමුදාවේ විශාල පිරිසක් මියගිය අතර, වං ව රජු බවට පත්කළ කිම් නක් සහ ෂින් සුං-ග්යොම් සෙන්පතීන් ද මියගියේ ය. කෙසේනමුත්, ඉක්මණින් යථා තත්ත්වයට පත් වූ ගොර්යෝව සාර්ථකව හුබෙක්ජේ හමුදා පරාජය කිරීමට සමත් විය.

935දී, සිල්ලාවේ අවසන් රජු වූ ග්යොංසුන් රජු තමන්ට සිය රාජ්‍යය රැක ගත නොහැකි බව වටහාගෙන සිය රාජ්‍යය සමග තේජෝට යටත් විය. ඔහුගේ යටත් වීම සතුටින් පිළිගත් තේජෝ ඔහුට කුමාර පදවියක් පිරිනමා ඔහුගේ දියණියව විවාහකොට ගත්තේ ය. (වං ගොන්හට රැජිනියන් සයදෙනකු විය. ඊට අමතරව සෑම ප්‍රාදේශීය නායකයකුගේම දියණියන්ව ද සිය බිරියන් කොටගත්තේ ය) මේ හේතුවෙන් ග්යොන් හ්වොන් වික්ෂිප්ත විය‍. සංජු ප්‍රදේශය පාලනය භාරව සිටි ග්යොන්ගේ පියා ද කැරැලි ගසා ගොර්යෝවට යටත් විය. ඔහුට රජකුගේ පියා ලෙස පිළිගැනීම හිමි විය.

එම වර්ෂයේ දී ම, ග්යොන් හ්වොන්ගේ වැඩිමහල්ම පුත්‍රයා වූ ග්යොන් සින්ගොම් (හන්ජා:甄神劍) සිය සොයුරන් වූ යැංගොම් සහ යොංගොම් සමග එක්ව සිය පියාණන්ට විරුද්ධව කුමන්ත්‍රණය කළහ. එයට හේතුව ඔවුන්ගේ පියා විසින් ඔවුන්ගේ අර්ධ-සොයුරු ගුම්ගං හට සිහසුන පැවරීමට අදහස් කිරීමයි. ග්යොන් හ්වොන්ව පිටුවහල් කොට ගුම්සන්සාහි සිරගත කෙරිණි. නමුත් ඔහු ගොර්යෝව වෙත පලාගියේ ය. ඔහුට ද තේජෝගේ පියාට මෙන් සැලකිලි හිමි විය.

ගොර්යෝ විජයග්‍රහණය සහ එක්සත් කිරීම[සංස්කරණය]

936දී, වං විසින් පසුකාලීන බෙක්ජේ රාජ්‍යයේ සින්ගොම්ට එරෙහිව සිය අවසන් ආක්‍රමණය දියත් කරන ලදී. සින්ගොම් තේජෝට එරෙහිව යුධ වැදුණ ද, රාජ්‍යයේ අභ්‍යන්තර අරගල හේතුවෙන් ඔහුට තේජෝට යටත් වීමට සිදු විය. මෙලෙසින් වං ගොන් අවසානයේ හුබෙක්ජේ රාජ්‍යය නිල වශයෙන් යටත් කොටගෙන එක්සත් සිල්ලා යුගයෙන් පසු නැවත වරක් රාජ්‍යය එක්සත් කළේ ය. 943 වනතෙක් රාජ්‍ය පාලනය සිදුකළ ඔහු රෝගයකින් මියගියේ ය.

තේජෝ සිය සතුරන්ව පවා රාජ්‍ය පාලනයට සම්බන්ධ කොටගත්තේ ය. ඔහු විසින් පරාජය ‍කළ නොයෙකුත් රාජ්‍යයන්හි පාලකයින්හට තනතුරු සහ ඉඩම් ප්‍රදානය කරන ලදී. පසුකාලීන බෙක්ජේ, සිල්ලා සහ බල්හේ රාජ්‍යයන් ද මේ වන විට බිඳවැටෙමින් පැවතිණි. එසේම ඔහු සිල්ලාවේ අවසන් කාලයේ බිඳවැටෙමින් පැවති සිය රාජ්‍යයේ ස්ථාවරත්වය සහ ඒකාබද්ධතාව යළි නගාසිටුවීමට සමත් විය.

බල්හේ රාජධානියේ බිඳ වැටීමෙන් පසු එහි අවසන් කිරුළහිමි කුමරු ගොර්යෝව වෙත පලාගියේ ය. එහිදී ඔහුව උණුසුම් අයුරින් පිළිගැනුණු අතර, වං ගොන් විසින් ඔහුව සිය රාජකීය පවුලට ඇතුළත් කරගන්නා ලදී. මෙලෙසින් පැරණි ගොගුර්යෝ රාජධානියේ අනුප්‍රාප්තික රාජ්‍ය ද්විත්වය ඒකාබද්ධ විය.[6]

උරුමය[සංස්කරණය]

තේජෝගේ උඩුකය ප්‍රතිමාවක්

936දී පසුකාලීන තුන් රාජධානි එක්සත් කිරීම කොරියානු ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීමකි. 668දී සිල්ලා රාජ්‍යය විසින් සිදුකළ එක්සත් කිරීමේ දී සිදුවූයේ කොරියානු අර්ධද්වීපයේ ජනයාගෙන් අඩක් සහ ඔවුන්ගේ භූමි ප්‍රදේශ එක්සත් කිරීම පමණි. (එකල ඔවුන් සැලකූයේ තමන් රාජ්‍ය වශයෙන් බෙදී සිටිය ද එකම ජන කොට්ඨාසයක් බවයි) නමුත් අර්ධද්වීපයේ උතුරු පෙදෙස ගොගුර්යෝවේ නැවත උපතක් ලෙස සැලකුණු බල්හේ රාජ්‍යය විසින් පාලනය කරන ලදී. කෙසේනමුත් 936දී වං ගොන් විසින් සිදුකළ එක්සත් කිරීම බොහෝදුරට සම්පූර්ණ එක්සත් කිරීමක් ලෙස සැලකෙයි. (මෙය ඇරඹුණේ 7වන සියවසේ පසුකාලීන සිල්ලා සහ බල්හේ රාජ්‍ය අතර තනි රාජධානියක් ලෙසයි) අනතුරුව කොරියානු අර්ධද්වීපයේ ජනතාව 1948 වනතෙක්ම එක්සත් රාජ්‍යයක් ලෙස පැවතිණි. 1948දී රුසියානු සහ එක්සත් ජනපද හමුදා අතින් කොරියාව උතුරු සහ දකුණු ලෙස කොටස් දෙකකට වෙන් විය.

නූතන නාමයක් වන "කොරියා" යන නාමය සම්භවය වී ඇත්තේ "ගොර්යෝ" යන නාමයෙනි. ගොර්යෝ නාමය "ගොගුර්යෝ" යන නාමයෙන් පැනනැගුණකි. වං ගොන් සිය රාජධානිය ගොගුර්යෝවේ උරුමයක් ලෙස සිතීම එයට හේතුවයි.[4] කොරියානු අර්ධද්වීපය තනි රාජ්‍යයක් ලෙස සම්පූර්ණයෙන් එක්සත් කළ පළමු පාලකයා ලෙස සැලකෙන ඔහුගේ ක්‍රියාකලාපය, වර්තමාන කොරියානු අර්ධද්වීපයේ බෙදීම සඳහා ද ආදර්ශයක් යැයි බොහෝ කොරියානුවන් සලකනු ලබයි.

පවුල[සංස්කරණය]

ගොර්යෝ රාජවංශයේ මුල්කාලයේ කිරුළහිමි කුමරු (හන්ජා:太子) යන නාමය හුදෙක්ම රජුගේ පුතුන් සඳහා වූ රදළ පදවියක් ලෙස සැලකිණි. රාජකීය උරුමකරු සඳහා වෙනම පදවියක් පැවතිණි (හන්ජා:正尹).

  • පූර්වජයන්
    • කුක්ජෝ රජු - ජුංහ්වා රැජින
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. සින්හ්යේ රැජින (신혜왕후)
  2. ජංහ්වා රැජින (장화왕후)
    1. ගොර්යෝහි හ්යේජොං (혜종), 1වන කුමරු
  3. සින්මියොංසුන්සොං රැජින (신명순성왕후) [7]
    1. කිරුළහිමි තේ කුමරු (태자 태), 2වන කුමරු
    2. ගොර්යෝහි ජොංජොං (정종), 3වන කුමරු
    3. ගොර්යෝහි ග්වංජොං (광종), 4වන කුමරු
    4. උප රජ මූන්වොන් (문원대왕), 14වන කුමරු
    5. ජ්‍යුංතොං ගූක්සා (증통국사)
    6. නක්ලං කුමරිය (낙랑공주)
    7. හ්‍යුංබං කුමරිය (흥방공주)
  4. සින්ජොං රැජින (신정왕후)
    1. දේජොං රජ (대종), 8වන කුමරු (6වන රජු වූ සොංජොංගේ පියා)
    2. දේමොක් රැජින (대목왕후), (5වන රජු වූ ග්යොංජොංගේ මව)
  5. සින්සොං රැජින (신성왕후)
    1. ආන්ජොං රජ (안종), 13වන කුමරු (8වන රජු වූ හ්යොන්ජොංගේ පියා)
  6. ජොංදොක් රැජින (정덕왕후)
    1. වංවි කුමරු (왕위군), ජොංදොක් රැජිනගේ 1වන පුත්‍රයා
    2. ඉන්-‍ඒ කුමරු (인애군), ජොංදොක් රැජිනගේ 2වන පුත්‍රයා
    3. කිරුළහිමි වොන්ජං කුමරු (원장태자), ජොංදොක් රජැිනගේ 3වන පුත්‍රයා
    4. ජොහ්-යි කුමරු (조이군)
    5. මුන්හ්යේ රැජින (문혜왕후), ජොංදොක් රැජිනගේ 1වන දියණිය
    6. සොන්-උයි රැජින (선의왕후), ජොංදොක් රැජිනගේ 2වන දියණිය
    7. නොහඳුනන කුමරියක්
  7. හොන්මොහ්ක් මහා ආර්යාව (헌목대부인)
    1. කිරුළහිමි සූම්යොං කුමරු (수명태자)
  8. ජොංමෝක් ආර්යාව (정목부인)
    1. සූන්ආන් වැන්දඹු රජබිසව (순안왕대비)
  9. දොංග්යැංවොන් ආර්යාව (동양원부인)
    1. කිරුළහිමි හ්යෝමොහ්ක් කුමරු (효목태자)
    2. කිරුළහිමි හ්යෝඉයුන් කුමරු (효은태자), 9වන කුමරු
  10. සූක්මොහ්ක් ආර්යාව (숙목부인)
    1. කිරුළහිමි වොන්න්‍යුං කුමරු (원녕태자)
  11. චොනාන්බුවොන් ආර්යාව (천안부원부인)
    1. කිරුළහිමි හ්යෝසුං කුමරු (효성태자)
    2. කිරුළහිමි හ්යෝජි කුමරු (효지태자)
  12. හ්‍යුංබොක්වොන් ආර්යාව (흥복원부인)
    1. කිරුළහිමි ජිහ්ක් කුමරු (태자 직)
    2. නොහඳුනන කුමරියක්
  13. හුදේල්‍යංවොන් ආර්යාව (후대량원부인)
  14. දේම්යොංජූවොන් ආර්යාව (대명주원부인)
  15. ග්වංජූවොන් ආර්යාව (광주원부인)
  16. සොග්වංජූවොන් ආර්යාව (소광주원부인)
    1. ග්වංජූවොන් කුමරු (광주원군), 10වන පුත්‍රයා
  17. දොංසන්වොන් ආර්යාව (동산원부인)
  18. යෙහ්වා ආර්යාව (예화부인)
  19. දේසෝවොන් ආර්යාව (대서원부인)
  20. සෝසෝවොන් ආර්යාව (소서원부인)
  21. සෝජොන්වොන් ආර්යාව (서전원부인)
  22. සින්ජූවොන් ආර්යාව (신주원부인)
  23. වොල්හුවොවොන් ආර්යාව (월화원부인)
  24. සෝහ්වංජූවොන් ආර්යාව (소황주원부인)
  25. සොංමූ ආර්යාව (성무부인)
    1. කිරුළහිමි හ්යෝජේ කුමරු (효제태자)
    2. කිරුළහිමි හ්යෝම්යොං කුමරු (효명태자)
    3. බෝප්ද්‍යුං කුමරු (법등군)
    4. ජලි කුමරු (자리군)
    5. නොහඳුනන ‍කුමරියක්
  26. යුයිසොංබුවොන් ආර්යාව (의성부원부인)
    1. යුයිසොංබුවොන් මහා කුමරු (의성부원대군)
  27. වොල්ක්යොංවොන් ආර්යාව (월경원부인)
  28. මොංල්‍යැංවොන් ආර්යාව (몽량원부인)
  29. හේල්‍යැංවොන් ආර්යාව (해량원부인)

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

2000 වසරේ කථාංග 200කින් යුත් කතාමාලාවක් වූ තේජෝ වං ‍ගොන් තුළ තේජෝ (වං ගුන්) ගේ දිවිය නිරූපිත ය. මෙහි ප්‍රධාන චරිතය චෝයි සූ-ජොං විසින් නිරූපණය කරන ලදී‍.

සිවිලයිසේෂන් III: ප්ලේ ද වර්ල්ඩ් සහ සිවිලයිසේෂන් IV: වෝ ලෝඩ්ස් යන වීඩියෝ ක්‍රීඩාවල "වං කොන්" හෙවත් ගොර්යෝහි තේජෝ රජු කොරියානු අධිරාජ්‍යයේ ක්‍රීඩා චරිතයකි. 2015 MBC කතාමාලාවක් වූ ෂයින් ඕ ගෝ ක්‍රේසි කතාමාලාව තුළ ද ඔහුගේ චරිතය නිරූපිත ය. 2016දී දකුණු කොරියානු රූපවාහිනී නාළිකාවක් වූ SBS නාළිකාව මගින් විකාශය කළ මූන් ලවර්ස්: ස්කාලට් හාට් රියෝ නැමැති මාලානාට්‍යය මගින් අනාගතයෙන් පැමිණි ගැහැනු ළමයකු සහ ගොර්යෝවේ තේජෝ සහ ඔහුගේ පුතුන්ගේ යුගයේ ඇයගේ අත්දැකීම් නිරූපණය වේ. මෙහි තේජෝ රජුගේ චරිතය ජොන් මින්-කි විසින් නිරූපණය කරයි.

සටහන්[සංස්කරණය]

  1. තේබොං සහ ගොර්යෝ රාජ්‍ය සංයුක්ත කළ ඔහු 936දී ගොර්යෝව ස්ථාපනය කරන ලදී.
  2. ර්යු, හොවාර්ඩ් ජිසූ (ඉංග්‍රීසියෙන්). ඕඩර්ලි කොරියා යුනිෆිකේෂන්: විත් ද ගැරන්ටී ඔෆ් ස්ටැබිලිටි ඉන් ඊස්ට් ඒෂියා. එක්ස්ලිබ්‍රිස් සංස්ථාව. පි. 145. ISBN 9781462803323. https://books.google.com/books?id=ZrZ-PuddnnYC&q=Goguryeo+descent#v=snippet&q=Goguryeo%20descent&f=false. Retrieved 18 ජූලි 2016. 
  3. 박, 종기 (කොරියානුයෙන්). 고려사의 재발견: 한반도 역사상 가장 개방적이고 역동적인 500년 고려 역사를 만나다. 휴머니스트. ISBN 9788958629023. https://books.google.com/books?id=Qn6TCgAAQBAJ&pg=PT59#v=onepage&q&f=false. Retrieved 27 ඔක්තෝබර් 2016. 
  4. 4.0 4.1 රොසැබි, මොරිස් (ඉංග්‍රීසියෙන්). චයිනා අමං ඊක්වල්ස්: ද මිඩ්ල් කිංඩම් ඇන්ඩ් ඉට්ස් නෙයිබර්ස්, 10ත්-14ත් සෙන්චරීස්. යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ප්‍රෙස්. පි. 323. ISBN 9780520045620. https://books.google.com/books?id=sNpD5UKmkswC&q=%22As+the+self-proclaimed+successor+to+Koguryo+and+the+protector+of+Parhae+refugees%2C+many+of+them+of+Koguryo+origin%2C+Koryo+considered+the+northern+territories+in+Manchuria+its+rightful+legacy.%22#v=snippet&q=%22As%20the%20self-proclaimed%20successor%20to%20Koguryo%20and%20the%20protector%20of%20Parhae%20refugees%2C%20many%20of%20them%20of%20Koguryo%20origin%2C%20Koryo%20considered%20the%20northern%20territories%20in%20Manchuria%20its%20rightful%20legacy.%22&f=false. Retrieved 1 අගෝස්තු 2016. 
  5. ඉල්-යොන්: සම්ගුක් යුසා: ලෙජන්ඩ්ස් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද ත්‍රී කිංඩම්ස් ඔෆ් ඒන්ෂන්ට් කොරියා, පරිවර්තනය තේ- හුං හා සහ ග්‍රැෆ්ටන් කේ. මින්ට්ස්. දෙවන ග්‍රන්ථය, පිටුව 128. සිල්ක් පැගෝඩා (2006). ISBN 1-59654-348-5
  6. ලී, කි-බායික් (1984). අ නිව් හිස්ට්‍රි ඔෆ් කොරියා. කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්: හාවර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 103. ISBN 067461576X.  "පර්හේ රාජ්‍යය ඛිටන් ආක්‍රමණ හේතුවෙන් බිඳ වැටීමත් සමග, කොගුර්යෝවෙන් පැවතෙන්නන් වූ එහි පාලන පක්ෂයේ බොහෝ දෙනා කොර්යෝ වෙත පලාගියහ. ඔවුන්ට උණුසුම් ලෙස පිළිගත් වං කෝන් ඔවුනට නිර්ලෝභීව ඉඩම් ප්‍රදානය කළේ ය. පර්හේ කිරුළහිමි කුමරු වූ තේ ක්වං-හ්යෝන් වෙත වං ක්යේ ("රාජකීය වං අනුප්‍රාප්තික") යන නාමය ප්‍රදානය කළ වං කෝන් ඔහුගේ නාමය රාජකීය ගෘහයේ නාම ලේඛනයට ඇතුළත් කළේ ය. මෙමගින් ඔවුන් එකම පෙළපතට අයත් වූ බවට අදහස් කෙරුණු අතර, ඔවුන්ගේ ආදිකර්තෘගේ ගෞරවය හිමි චාරිත්‍ර ද ඉටුකරන ලදී. මෙලෙසින් කොර්යෝව පසුකාලීන තුන් රාජධානි පමණක් නොව කොගුර්යෝ පෙළපතේ පර්හේ රාජධානියේ සාමාජිකයන්ව ද සැබෑ ජාතික ඒකාබද්ධතාවකට ලක් කිරීමට සමත් විය."
  7. යු ග්‍යුං-දල්‍ගේ දියණියයි

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • 태조 (in කොරියානු). දූසන් විශ්වකෝෂය. Retrieved 2013-12-16.

බාහිර සබැඳි[සංස්කරණය]

ගොර්යෝහි තේජෝ
උපත: 31 ජනවාරි 877 මරණය: 4 ජූලි 943
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ඔහුම
ගොර්යෝහි රජ
936–943
අනුප්‍රාප්තික වූයේ
හ්යේජොං
දේශපාලනික ධුර
නව තනතුරකි තේබොංහි අග්‍රාමාත්‍ය
913–918
ධුරය අහෝසි කිරීම
"https://si.wikipedia.org/w/index.php?title=ගොර්යෝහි_තේජෝ&oldid=414716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි