ග්යොන් හ්වොන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ග්යොන් හ්වොන්
හංගුල්견훤
හංජා甄萱
සංශෝධිත රොමානුකරණයග්යොන් හ්වොන්
මෙකන්–රයිෂවර්ක්යොන් හ්වෝන්

ග්යොන් හ්වොන් (867 - 27 සැප්තැම්බර් 936, රාජ්‍ය 892-935) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ පසුකාලීන තුන් රාජධානිවලින් එකක් වූ හුබෙක්ජේ රාජධානියේ ආරම්භක රජුගේ නාමයයි. ඇතැම් වාර්තාවල ඔහුගේ නම "ජින් හ්වොන්" (진훤) ලෙස දැක්වේ. එසේම ඔහු හ්වංගන් ‍ග්යොන් වංශයේ ආදිකර්තෘ ලෙස ද සැලකෙයි. ඔහුගේ දිවිය පිළිබඳ වැදගත් වාර්තා සම්ගුක් සගි සහ සම්ගුක් යුසා යන ග්‍රන්ථවලින් හමු වේ. සම්ගුක් සගි ග්‍රන්ථයේ ඔහු පිළිබඳ එක් කථාවක් පමණක් අන්තර්ගත වන අතර සම්ගුක් යුසා මූලාශ්‍රයේ විවිධ ප්‍රභවවලින් උපුටාගත් අන්තර්ගතයන් ඇතුළත් කොට ඇත.[1][2]

පසුබිම[සංස්කරණය]

වාර්තාවල සඳහන් වන්නේ ග්යොන් හ්වොන් උපන්නේ ලී නාමයෙන් මිස, ග්යොන් යන නාමයෙන් නොවන බවයි. බොහෝ වාර්තා සඳහන් කරන්නේ ග්යොන් හ්වොන්ගේ පියා අජාගේ නැමැති ලී වංශයේ ගොවියකු බවයි. වර්තමාන උතුරු ග්යොංසං පළාතේ, මුන්ග්යොංහි ගේයුන්-යුප් ප්‍රදේශයේ උපන් ග්යෝ හ්වොන් දරුවන් සයදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. ඔහුගේ මව ග්වංජු පෙදෙසේ තැනැත්තියක බව සඳහන් වුව ද, ඇගේ සැබෑ අනන්‍යතාවය නොදනී. අජාගේට බිරියන් දෙදෙනකු විය. එනම් සංවොන් ආර්යාව සහ නම්වොන් ආර්යාවයි. ග්යොන් හ්වොන් උපත ලැබූයේ මින් ප්‍රථම බිරියටයි. නමුත් පුරාවෘත්තවල සඳහන් වන්නේ ග්වංජුවලින් පැමිණි ඔහුගේ මව සිය පළමු පුත්‍රයාට උපත ලබාදුන්නේ මිනිසකු සමග වෙස්වලාගත් පණුවකු සම්බන්ධයක් පැවැත්වීමෙන් පසුව බවයි. එසේම ග්යොන් හ්වොන් ව්‍යාඝ්‍ර ධේනුවකගේ කිරි බී වැඩුණු බව පැවසේ.[3][4]

මෙකල ජින්සොං රැජිනගේ පාලනය යටතේ පැවති සිල්ලා රාජසභාව දූෂිත තත්ත්වයට පත්ව තිබූ අතර, දේශපාලන මතභේද දැඩිව පැනනැගිණි. පුළුල්ව ව්‍යාප්ත වූ සාගත හේතුවෙන් රාජ්‍යය ව්‍යාකූල තත්ත්වයට පත් වූ අතර, බොහෝ ජනයා කැරැලි හමුදාවන්ට එක් වූහ. ගම් ප්‍රධානීන් සහ නව හමුදාවන්ගේ පිබිදීම් නිසා රාජ්‍යය පුරා නව බල කඳවුරු නිර්මාණය විය. මංකොල්ලකරුවන්, ප්‍රාදේශීය වංශවතුන් සහ කැරැලි නායකයන්ගේ අරගල හමුවේ රජය ප්‍රබල බදු සැලැස්මක් ඇති කිරීමට උත්සාහ දැරී ය. මේ කාලයේ ග්යොන් හ්වොන්ගේ පියා වූ අජාගේ ප්‍රාදේශික ගොවි කැරැල්ලක් මෙහෙයවා සංජු පෙදෙස මූලස්ථානය කොටගත්තේ ය.[4][5][6]

මුල්කාලීන දිවිය සහ හුබෙක්ජේ පිහිටුවීම[සංස්කරණය]

15වන වියේ දී සිල්ලා හමුදාවට එක් වූ බව පැවසෙන ග්යොන් හ්වොන් ජොල්ලා ප්‍රදේශයේ සිල්ලා හමුදාවන්හි සෙන්පතියකු බවට පත් විය.[7] ඔහුගේ පියා සංජු පෙදෙසේ බලය අත්කරගෙන සිටිය ද, ඔහු ස්වාධීනව ගොවීන් සිය මෙහෙයවීමට නතුකරගත්තේ ය. අනතුරුව අනුගාමිකයන් රැසක් එකතු කරගත්තේ ය. 892දී, ග්යොන් හ්වොන් විසින් වන්සන්ජු සහ මුජින්ජු ප්‍ර‍දේශ යටත් කරගනිමින්, පැරණි බෙක්ජේ රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශය තමන් සතු කරගත් අතර, එම ප්‍රදේශයේ විසූ සිල්ලාවේ විරුද්ධවාදී ජනයාගේ පක්ෂපාතීත්වය හිමි කරගන්නා ලදී.[8]

900දී ග්යොන් හ්වොන් තමන් හුබෙක්ජේ ("පසුකාලීන බෙක්ජේ") රාජ්‍යයේ රජු ලෙස හඳුන්වාගත් අතර, එහි අගනුවර වන්සන්ජු නුවර ස්ථාපනය කළේ ය. රජය ස්ථාපනය කළ ඔහු, චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගත්තේ ය. එසේම හුගොගුර්යෝ රාජ්‍යයේ ගුං යේ සමග අරගලයක යෙදෙමින් සිය රාජධානිය පුළුල් කිරීමට නිරතුරුව උත්සාහ ගත්තේ ය.[1]

රාජ්‍ය සමය[සංස්කරණය]

හුබෙක්ජේහි පාලකයා ලෙස තමන්ව සිංහාසනාරූඪ කරගැනීමෙන් පසු, ග්යොන් හ්වොන් සිල්ලා අගනුවර වූ ග්යොංජු නුවරට නිරිතදිගින් වූ හප්චොන් වෙත සිය හමුදා මෙහෙයවීය. නමුත් මෙම ආක්‍රමණය අසාර්ථක වූ හෙයින් හමුදාවන්ට පසු බැසීමට සිදු විය. අනතුරුව 910දී, සතුරු හුගොගුර්යෝ රාජධානියේ වං ගොන් සෙන්පතියා විසින් නාජු නගරය ආක්‍”මණය කොට යටත් කරගන්නා ලදී. ග්යොන් හ්වොන් සිය කැරැල්ල ඇරඹූයේ ද මෙම නගරයේය. ග්යොන් හ්වොන් යළි මෙම නගරය වං ගෙන් සියතට ගැනීමට උත්සාහ දැරූව ද එය අසාර්ථක විය.[4]

918දී, ජනතාව භීතියට පත් කරවමින් රාජ්‍යය පාලනය කළ ගුං යේ රජුව ඔහුගේම සෙන්පතීන් විසින් සිහසුනෙන් පහකොට මරාදමන ලදී. ඔවුහු සෙන්පති සහ ආග්‍රාමාත්‍යවරයා වූ වං ගොන්ව නව පාලකයා ලෙස සිංහාසනාරූඪ කළ අතර, එලෙසින් ගොර්යෝ රාජවංශය ආරම්භ විය.[9]

920දී ග්යොන් හ්යොන් විසින් හප්චොන් වෙත ප්‍රධාන ආක්‍රමණයක් දියත් කළ අතර, අවසානයේ එම ප්‍රදේශයේ බලය සියතට ගැනීමට ඔහුට හැකි විය. මේ හේතුවෙන් ග්යොංමියොං රජු ගොර්යෝව සමග සන්ධානයකට එළැඹියේ ය. අනතුරුව ග්යොන් වර්තමාන අන්දොං ප්‍රදේශය ආක්‍රමණය කළ මුත්, ප්‍රාදේශික සිල්ලා සෙබලු ඔවුන්ව පැරදවූහ. මෙම සටනින් පසු ග්යොන් හ්වොන්ට ගොර්යෝව සමග සාමයට එළැඹීමට බලකෙරිණි. එහි දී ඇපකරුවන් ලෙස රාජකීය පවුලේ සාමාජිකයන් හවුමාරු කරගැනිණි. කෙසේනමුත් ග්යොන්ගේ බෑනා මියගිය අතර, ග්යොන් විසින් වං ගොන්ගේ මස්සිනාව මරාදමන ලදී. මෙලෙසින් යළි ගොර්යෝව සමග යුද්ධයක් ඇති විය.[4]

927දී, සිය හමුදාව සමග ග්යොන් හ්වොන් විසින්ම සිල්ලා අගනුවර වූ ග්යොංජු ආක්‍රමණය කරන ලදී. ආක්‍රමණයක් සඳහා සූදානම්ව නොසිටි ග්යොංගේ රජු හුබෙක්ජේ හමුදාවන්ට යටත් වීමට වඩා මිය යාම සැපතැයි සිතා සියදිවි හානි කරගත්තේ ය. අනුතරුව ග්යොන් හ්වොන් විසින් කිම් බුව ඊළඟ සිල්ලා රජු ලෙස පත්කොට ග්යොංසුන් රජ යනුවේන සිංහාසනාරූඪ කරන ලදී. නැවත පැමිණෙන විට ග්යොන් හ්වොන්ට වං ගොන්ගේ හමුදා මුණගැසුණු අතර, ඔහු පහසුවෙන්ම ගොර්යෝ හමුදාව පරාජය කොට වංගේ වැදගත් සෙන්පතීන් සහ සෙබලූන් රැසක් මරාදැමී ය. වං අපහසුවෙන් දිවි ගලවා ගත්ත ද, ඔහුගේ හිතවත් ෂින් සුං-ග්යොම් සහ කිම් නක් සෙන්පතීන් අහමි විය. නමුත් තවත් වසරකට පසු වං සිල්ලාවේ ජින්ජු නුවර යටත් කරගැනීමට සමත් විය.[4]

පරිහානිය සහ බිඳ වැටීම[සංස්කරණය]

එකිනෙකා අභිබවා යාමේ අරමුණින් සිටි හුබෙක්ජේ සහ ගොර්යෝ රාජ්‍ය එකිනෙකාට සතුරු ආකල්ප දැරී ය. කෙසේනමුත්, 930දී ගෝචං සටනින් (වර්තමාන අන්දොං) හුබෙක්ජේ හමුදා අන්ත පරාජයකට ලක් වූ අතර ඔවුනට යළි යථා තත්ත්වයට පත්වීමට හැකියාව ලැබුණේ නැත. මෙය වැළැක්වීමට ග්යොන් හ්වොන් ගොර්යෝ අගනුවර වූ ගේසොං ආක්‍රමණය කිරීමට උත්සාහ ගත් නමුත්, 934දී ඔහුගේ හමුදාව නැවත වරක් පරාජයට පත් විය.[1][2][4]

හුබෙක්ජේ රාජ්‍යය යුධ පරාජයන් පමණක් නොව අභ්‍යන්තර අරගල හේතුවෙන් ද දුර්වල වන්නට විය. 935දී, ග්යොන් හ්වොන්ගේ වැඩිමහල් පුත්‍රයා වූ සින්ගොම් සිහසුනේ උරුමය ලාබාල සොහොයුරු ගූම්ගංට හිමි වේ යැයි සිතා යංගොම් සහ යොංගොම් යන අනෙක් සොහොයුරන්ගේ ආධාර ඇතිව ග්යොන් හ්වොන් ව සිහසුනෙන් නෙරපී ය. සින්ගොම් විසින් ගූම්ගං කුමරුව මරාදැමූ අතර, ග්යොන් හ්වොන්ව ග්‍යුම්සන් විහාරයේ සරගත කරන ලදී. නමුත් ඉන් පලායාමට සමත් වූ ග්යොන් හ්වොන් සිය පැරණි සතුරා වූ ගොර්යෝවේ වං ගොන් වෙත පලාගියේ ය. එහිදී ඔහුව පිළිගැනුණු අතර ඔහුට ඉඩම් සහ වහලුන් ලබා දෙන ලදී.[4]

935දී සිල්ලාවේ ග්යොංසුන් රජු නිල වශ‍යෙන් ගොර්යෝවට යටත් විය. එම වර්ෂයේ දීම, ග්යොන් හ්වොන්ගේ ඉල්ලීම මත වං ගොන් දැවැන්ත ගොර්යෝ හමුදාවක් පිටත් කොට හුබෙක්ජේ රාජ්‍යය බිඳ දැමී ය.[1][2][4]

එම වර්ෂයේ දීම ග්යොන් හ්වොන් මියගියේ ආසාදනය වූ ඉදිමුමක් (ටියුමරයක්) නිසායි.[4]

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා[සංස්කරණය]

සිය සතුරු ගුං යේ මෙන් නොව ග්යොන් හ්වොන් ක්‍රියාශීලීව රාජ්‍යෝපායයෙහි නියැළුණේ ය. වුයුඒ සහ පසුකාලීන ටෑං යන චීන රාජධාන විසින් ඔහුව හුබෙක්ජේහි පාලකයා ලෙස නිල වශයෙන් පිළිගන්නා ලදී. මීට අමතරව ඔහු උතුරේ නව ලියාඕ රාජවංශය සමග සන්ධානයක් ඇති කරගැනීමේ බලාපොරොත්තුවෙන් එය පිහිටුවූ ඛිටන්වරුන් වෙත දූතයන් පිටත් කර හැරියේ ය. ඔහුට අවශ්‍ය වූයේ දකුණින් මෙන්ම උතුරින් ද ගොර්යෝව වට කීරීමටයි. ප්‍රධාන වශයෙන්ම වෙළඳ හේතූන් මත ග්යොන් හ්වොන් ජපානය වෙත ද දූතයන් පිටත් කර හැරියේ ය. ග්යොන් හ්වොන් සිය රාජධානිය ඇරඹි ජොලා ප්‍රදේශය මේ කාලයේ නැගෙනහිර ආසියාවේ වෙළඳ මධ්‍යස්ථානයක් වූ අතර, එය ජං බෝගෝ වැනි වෙළඳුන්ට පාදක බිමක් විය.[4]

කෙසේනමුත් මෙලෙසින් රාජ්‍යතාන්ත්‍රික, යුධ සහ වෙළඳ අංශවල සමත්කම් හිමි කරගත්ත ද, ජීවී බවින් යුත් රාජ්‍යයක් පාලනය කිරීමට ග්යොන් හ්වොන් දේශපාලන ඥානයෙන් මඳ වූයේ ය. ඔහුගේ හුබෙක්ජේ රජය සිල්ලාවේ රජයෙන් එතරම් වෙනස් නොවිණි. දේශීය ඉඩම් හිමියන් සහ වෙළෙන්දන් වෙත බලය විකේන්ද්‍රගත වූ අකාර්යක්ෂම පාලන ක්‍රමයක් එහි පැවතිණි. අවසානයේ හුබෙක්ජේ රාජ්‍යයට සිය ජනතාව පවා අණසකට නතු කරගැනීමට නොහැකි වූ අතර, මෙය කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමට ගොර්යෝවට ඉඩ සලසා දුන්නේ ය.[4]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 (කොරියානු) ග්යොන් හ්වොන්දූසන් විශ්වකෝෂයේ ඇති ගිණුම
  2. 2.0 2.1 2.2 (කොරියානු) ග්යොන් හ්වොන්ට බ්‍රිටනිකා කොරියාහි ඇති ගිණුම
  3. ඉල්-යොන්: සම්ගුක් යුසා: ලෙජන්ඩ්ස් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද ත්‍රී කිංඩම්ස් ඔෆ් ඒන්ෂන්ට් කොරියා, පරිවර්තනය තේ-හුං හා සහ ග්‍රැෆ්ටන් කේ. මින්ට්ස් විසිනි. දෙවන ග්‍රන්ථය, පිටුව 125. සිල්ක් පැගෝඩා (2006). ISBN 1-59654-348-5
  4. 4.00 4.01 4.02 4.03 4.04 4.05 4.06 4.07 4.08 4.09 4.10 (කොරියානු) ග්යොන් හ්වොන් සඳහා කොරියානු සංස්කෘතික විශ්වකෝෂයේ ගිණුම
  5. (කොරියානු) අජාගේ සඳහා දූසන් විශ්වකෝෂයේ ඇති ගිණුම
  6. පාක් යොංග්‍යු (박영규), ඇනල්ස් ඔෆ් ද සිල්ලා ඩයිනාස්ටි (신라왕조실록) පි 427-433, වූංජින්, සෝල්, 2004. ISBN 89-01-04752-7
  7. චෝයි යොං බොම් (최용범), කොරියන් හිස්‍ට්‍රි ඉන් වන් නයිට් (하룻밤에 읽는 한국역사), පේපර් රෝඩ්, සෝල්, 2008. ISBN 978-89-92920-61-2
  8. ලී හ්‍යුන්-හී, පාක් සුං-හෝ, යූන් නේ-හ්‍යුන්, පරිවර්තනය කොරියානු අධ්‍යයන ඇකඩමිය, නිව් හිස්ට්‍රි ඔෆ් කොරියා පි 263-265, ජිමූන්දං, පාජු, 2005. ISBN 89-88095-85-5
  9. (කොරියානු) තේජෝ සඳහා දූසන් විශ්වකෝෂයේ ඇති ගිණුම
ග්යොන් හ්වොන්
 මරණය: 936
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
නැත
හුබෙක්ජේහි රජ
892-935
අනුප්‍රාප්තික වූයේ
ග්යොන් සින්ගොම්
ව්‍යාජාටෝප පදවි
පූර්වප්‍රාප්තිකයා
බුයෝ පුං
— නාමික —
බෙක්ජේහි රජ
බෙක්ජේ හිමිකම්පාන්නා
892-935
අනුප්‍රාප්ති නොහැකියාවට හේතුව:
පසුකාලීන තුන් රාජධානි
අනුප්‍රාප්තික වූයේ
ග්යොන් සින්ගොම්
"https://si.wikipedia.org/w/index.php?title=ග්යොන්_හ්වොන්&oldid=387770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි