අංගම්පොර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අංගම්පොර
Angampora.JPG
අංගම්පොර සටන් කරුවන් දෙදෙනෙක් රිටි හරඹයක යෙදෙය අයුරු
ආරම්භක රට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ප්‍රකට නියුක්තයන් දස මහා යෝධයෝ
ඔලිම්පික් ක්‍රීඩා නැත
අර්ථය ශරීර පොරය

අංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි.

මූලික ලක්‍ෂණ[සංස්කරණය කරන්න]

මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, වේගවත් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බව යනාදිය මුලිකත්වය ගනී.

ඇඳුම්[සංස්කරණය කරන්න]

මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳියි.

ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට
නම් ගම් කිය කියා උනුනුන් වේග කොට
අංගම් පොර අරින පෙර සෙබළුන් එවිට
අංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට[1]

අතීතය[සංස්කරණය කරන්න]

ආම්භය[සංස්කරණය කරන්න]

අංගම්පොර සටන් කලාවේ ආරම්භය පිලිබඳව විවිධ ජනප්‍රවාද සහ මත ඇත.

රාවණ ජනප්‍රවාදය[සංස්කරණය කරන්න]

එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 33000කට[2] එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.

අංගම්පොර සටන් කරුවෙකු තවත් සටන් කරුවෙකු සමඟ සටන් කොට මාරාන්තිකව පහරදී ඇති අවස්ථාවක නිරූපන රංගනයක්

ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට වසර 33000කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත.[3] අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය.

ලක්දිව යටත්විජිත යුගය[සංස්කරණය කරන්න]

1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි. රහසිගත යුගයේදී යම්යම් නව සටන් උපක්‍රමයන්ද මෙම ශිල්පයට එකතු කර ඇත.

වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ.[4] සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය.

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, දිවි නැටුම, කොටි නැටුම, ලී කෙළි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.

පුහුණු ලාභීන්[සංස්කරණය කරන්න]

මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර පිරිසිදු සිංහල බෞද්ධ වීම අනිවාර්යය වේ.[5] අංගම් ශාස්ත්‍රය හැදෑරීමේදී, සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මීට හේතුව වශයෙන් සඳහන්ය. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගනුම අරඔන සිසුන් දේශීය යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. සටන් කලාව ඉගෙනීමට පෙර ආධුනිකයෙකුගේ ශරීරය ශිල්පයට ගැළපෙන අයුරින් සකස් කරගත යුතුය. ඒ සඳහා විශේෂ සම්බාහන ක්‍රමවේද සමූහයක් පවතී. ආරම්භයේ පටන්ම ආධුනිකයාගේ ශරීරය සම්බාහනය කරන අතර පසුව ඉදිරියට ශිල්පය හැදෑරීමේදී ඒ ඒ සටන් කොටස් හැදෑරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කරගැනීම සඳහා දිගින් දිගටම සම්බාහන ප්‍රතිකාර දෙනු ලැබේ. ඒවා ආධුනිකයාගේ වයස් ,ශරීර තත්වය ආදී කරුණු මත වෙනස් වේ. එමෙන්ම දේශීය යෝග ක්‍රමයද හෙළ සටන් ශාස්ත්‍රය හා බද්ධව පවතී. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි. ගුරුවරයා විසින් ශිල්පය උගන්වන අවස්ථාවල හා සටන් හැකියාව උරගාබැලීම වැනි වෙනත් විශේෂ අවස්ථා කිහිපයකදී හැරුණු විටහැරුණු විට සාමාන්‍යයෙන් සටන් පුහුණුවීම් සිදුකරන්නේ තමා හා සම ශාස්ත්‍රීය මට්ටමේ පසුවන සටන්කරුවන් සමඟය. ‍පුහුණු වීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද ‍එකතු වේ.

වදන්[සංස්කරණය කරන්න]

කොරතොට අංගංපොර සටන් කරුවන් ඔවුන්ගේ සාම්ප්‍රධායික පනික්කි රණකෙළි පූජාවක යෙදෙන අයුරු

අංගම්පොර ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.

එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සිටියේ මරුවල්ලිය, සුදලිය සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති අංගං මඩු වලය. එම අංගං මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් හරඔ ශාලාව හා ඉලංගම් මඩුව ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉලංගම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. අංගම් ශාස්ත්‍රය තහනම් යුගයේදී මෙම ඉලංගම් මඩුව සටන් පුහුණුව සඳහා යොදා ගනු ලැබීය. පිටතින් බලන අයෙකුට ඔවුන් නැටුම් පුහුණු වනවා සේ පෙනුනද ඒ තුළම සටන් පුහුණුවද සිදු විය. මේ නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රයේ යම් යම් අංග නැටුම් තුළට ආභාෂය වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොටි නැටුම, වලස් නැටුම, ලී කෙලි නැටුම වැනි නැටුම් අංග නිර්මාණය වූ අතර අදටද මෙම නැටුම් අංග තුළ සටන් ඉරියව් නිරූපණය වෙයි. [6].මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පිටි වලදීද යොදා ගැනුනි. කෙසේ වෙතත් යුධ පිටියේදී සටන් හැකියාවන්ද පෙරහැරවලදී නැටුම් හැකියාවන්ද වෙන වෙනම පෙන්වූවා මිස පෙරහැර තුළදී සටන් පෙන්වීමට හෝ සටන් ඇඳුම් ඇඳගෙන සටන් පෙන්වීමක් සිදු කළේ නැත. නමුත් චීනාඩි නම් අංගම්පොර තහනම් යුගයේදී චීන වෙළෙදුන්ගෙන් ලැබුණා යයි සැලකෙන සටන් ක්‍රමයේ ශිලිපීන් සටන් අංග පෙරහැර තුළ පෙන්වූ බව කියැවේ.


පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි අඩවි 9 ක් නිමවූ පසු ලදහැකි උසස් තනතුරක් වෙයි.ආධුකනිකයන්ට සටන් පුහුණුකරවීමේ අයිතිය මෙමඟින් ලබාදෙයි.

මූලික අංග[සංස්කරණය කරන්න]

අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. එය පැරණි සමාජයේ විවිධ යුගවලදී අංගාගත හෙරළ, රක්ඛ රක්ඛාන හෙරළ ආදී විවිධ නම් වලින් හැඳින්වීය. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ (මායා අංගම්) නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. කෙසේ වෙතත් පහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ.

  1. අංගම්
  2. ඉලංගම්
  3. මායා අංගම්
  4. මන්ත්‍ර ශාස්ත්‍රය
  5. රණ බෙර වාදනය
  6. නිල වෙදකම
  7. දේහ ධර්ම විද්‍යාව
  8. හේවා අංගම්
  9. ඉලංගක්කාරම්

ආයුධ[සංස්කරණය කරන්න]

අංගංපොර සටනේ භාවිතා වන අවි ආයුධ කිහිපයක්

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි.

අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ.

ගුරු කුල[සංස්කරණය කරන්න]

සුදලිය[සංස්කරණය කරන්න]

මරුවල්ලිය[සංස්කරණය කරන්න]

කොරතොට[සංස්කරණය කරන්න]

අදින් වසර 33000කට පමණ පෙර ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගක්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තා තානාත්තර ලත් ගෞරවාන්විත සම්ප්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප්‍රදාය රුකගෙන නොනැසී පවත්වාගෙන යති.

වර්තමාන තත්තවය[සංස්කරණය කරන්න]

ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය​. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ​. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලාරි, මලයාලම් සටන්, චීනාඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ​.[7]

මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති.[8] මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී.

ඡායාරූප[සංස්කරණය කරන්න]

අංගම්පොර පිලිබඳ පොත්[සංස්කරණය කරන්න]

ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]

බාහිර යොමු[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. [මග දිගට ජනකතා],මග දිගට ජනකතා නම් ග්‍රන්ථයේ ජන කවියක්
  2. අ ට්‍රෑලි ශ්‍රී ලංකන් ආර්ට්. සන්ඩේ ඔබ්සවර්. 22 නොවැම්බර් 2009. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015. 
  3. අංගම්පොර - ඉපැරණි සිංහලයින්ගේ සටන් කලාව, අංග‍ම්පොර යනු ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු "ශරීරය පිළිබඳ විද්‍යාවයි". අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.
  4. අංගම්පොර සටනේ බලනු මැන අභිමානේ. මවුබිම. 11 ජූලි 2015. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015. 
  5. සියලු ශාස්ත්‍රවල එකතුවක් වූ අංගම්පොර සටන් කලාව. සිළුමිණ. 8 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015. 
  6. හෙළයේ සටන් රහස අංගංපොර, අජන්ත මහන්තාරච්චි.
  7. වගකිවයුත්තෝ, චීනාඩි හා මලයාලම් ශිල්පීන් අංගම්පොර ශිල්පීන් ලෙස විවිධ සම්මේලන වල ලියාපදිංචි වීම
  8. අංගම්හොරු, ව්‍යාජ අංගම්පොර ශිල්පීන් ගැන චිවේජනාත්මක වෙබ් අඩවියක්
"https://si.wikipedia.org/w/index.php?title=අංගම්පොර&oldid=354174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි