Jump to content

මුල්ලේරියා සංග්‍රාමය

විකිපීඩියා වෙතින්
ටිකිරි කුමාරයා

ශ්‍රී ලාංකික ඉතිහාසයේ ජනතාව තොලග රැව්දුන් කවියකි. එහි එක් පදයකින් කියවුණේ ‘මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා‘ යනුවෙනි. මේ 1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුගීසි හමුදා සහ ටිකිරි කුමාරයා (රාසිං දෙවියන්) හෙවත් මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදාව අතරය. පෘතුගීසි හමුදාව මෙසේ සීතාවක නම් උප රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණියේ කෝට්ටේ හෙවත් ප්‍රධාන රාජධානියේ එවක නීත්‍යනුකූල රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජතුමාගේ නියමය පරිදි එසේ කරන්නේය යැයි ප්‍රකාශ කරමිනි මෙම ඓතිහාසික සංග්‍රාමයේදී ටිකිරි කුමරුගේ හමුදා අතින් පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

ඓතිහාසික පසුබිම

[සංස්කරණය]

1562 වර්ෂය වන විට පරංගි නොහොත් පෘතිගීසි ජාතිකයන් කොලොම්තොට එනම් කොළඹ කොටුව ආශ්‍රිතව බලකොටු බැඳගැනීම මහත් තර්ජනයක්ව තිබුණි. මේ වන විට ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ රාජ්‍ය හෙබවූ බුවනෙකබාහුගේ රජුගේ මුණුබුරු දොන් ජුවන් ධර්මපාල නොහොත් දොම් ජුවම් ධර්මපාල පෙරිය බණ්ඩාර ඔහුගේ ‍දෙමව්පියන් වූයේ වීදිය බණ්ඩාර හා සමුදදේවී ය. මෙකල සීතාවක රාජ්‍යත්වය දැරූයේ බුවනෙකබාහු රජුගේ මළණුවන් වූ මායාදුන්නේ රජතුමා වූ අතර සුප්‍රසිද්ධ ටිකිරි කුමාරයා යනු ඔහුගේ පුතණුවන් ය. කෙසේ වෙතත් කාලයක් තිස්සේ කොට්ටේ රාජ්‍ය හා සීතාවක රාජ්‍ය අතර යුධ ගැටුම් ඇතිවිය. මේ අතර සීතාවක රාජධානිය මෙකල ප්‍රභලතම රාජධාණිය වූ අතර එයට මූලිකම සාධකය වූයේ 12 වැනි වියේ සිටම යුද බිමේ මහා දස්කම් පෑ ටිකිරි කුමරුය. අති දක්ෂ අශ්වාරෝහකයෙකුවූ ටිකිරි කුමරු කුඩා කල සිටම අංගම් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස ප්‍රකට ය.

මුල්ලේරියා සටනේ මූලාරම්භය

[සංස්කරණය]

අතිශය ප්‍රභල ටිකිරි කුමරු ප්‍රමුඛ සීතාවක රාජධානිය කොට්ටේ ධර්මපාල රජුට මෙන්ම පතිකාල් (පෘතුගීසි) හමුදාවටද බරපතල තර්ජනයක්ව පැවති මෙම යුගයේ කෝට්ටේ ධර්මපාල රජු හා ප්‍රතිකාල් හමුදා නායකයෝ සීතාවකට එරෙහිව යුධ පිඹුරුපත් සකසන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෝට්ටේ හමුදාව හා පරංගි හමුදාව එක්ව 1562 වර්ෂයේදී සීතාව රාජධානිය ආක්‍රමණය කිරීමට සේනාව මෙහෙයවූ අතර පළමුව මුල්ලේරියාවේ අඹතලේ කඳවුරට පහර දෙන අදහසින් හේවාගත වෙල කඳවුරු ලා ගත් හ. මෙම ස්ථානය වර්තමාන අඹතලේ මංසන්ධියේ සි පරණ පාරේ රණබිම මාවත ආසන්නයේ පැවත් බව සැලකේ. එම නිසාවෙන්ම මෙම භූමිය හේවාගත වෙල නමින් ප්‍රකට වී ඇත. දක්ෂ අශ්වාරෝහකයෙකු මෙන්ම අංගම් සටනේ ප්‍රවීණයෙකු වූ ඒකනායක මුදලි මෙකල සීතාවක රාජකීය හමුදාවේ ප්‍රධානියා විය. ඉහත ආකාරයට හේවාගත වෙලට එක්රොක් වූ ප්‍රතිකාල් හමුදාවෝ විනාශ කරන්නට සැලසුම් සකස් කළේ ඒකනායක සෙන්පතිය. මේ අතර පියරජුගේ උපදෙස් මත ටිකිරි කුමරු දහදාහක සේනාවක් සමඟ හේවාගම් කෝරළයේ කඳවුරුලාගෙන සිටි අතර ටිකිරි කුමරුගේ ඉල්ලීම පරිදි කොරතොට ආරච්චිවරු ප්‍රමුඛ අංගම් සටන් ශිල්පීන් සමූහයක් මුල්ලේරියාවට පැමිණ සිටියේ ය. මේ බව රාජාවලියේ දැක්වෙන්නේ මෙසේ ය. “වික‍්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ ප‍්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ.“

අගෝස්තු 23 වන දිනය

[සංස්කරණය]

1562 අගෝස්තු 23 වැනි දිනට පහන් වෙන්නට හෝරා තුනක් තිබියදී තම අංගම් ශූරයින් පිරිවරාගත් ටිකිරි කුමරු ප්‍රමුඛ කොරතොට කුරුපුපු ආරච්චි මුල්කොටගත් හමුදාව හේවාගත වෙළේ පෘතුගීසී කඳවුරේ පසු බාගය බලා රහසින් ගමන් කළ අතර කඳවුරු බැඳගෙන සිටි පෘතුගීසීන් වෙත නිර්දය ලෙස කඩා පැන ඔවුන්ට තම තුවක්කුවලට උණ්ඩ දමා ගැනීමටවත් අවසරයක් නොදී පහර දෙන්නට විය. මෙවිට ක්ෂණිකව කඩා වැදුණු රාජසිංහ කුමරු හා සේනාධිපති ඒකනායක මුදලි ස්වකීය සේනා මෙහෙයවා බිහිසුණු සටනක යෙදුණ අතර පෘතුගීසීන්ට අඩියක් හෝ පස්සට ගන්නට නොදී සීතාවක සේනාව අභීතව සටන් කලෝ ය. මේ සටනින් පරංගි හමුදාව 1600ක් දෙනා මිය ගිය පව සඳහන් වන අතර දොන් ජුවන් ධර්මපාලගේ ස්වදේශ හමුදාව පළා ගිය බව කියවේ. මෙම සටන්දී පරංගි සෙන්පති බැල්තරාර් ගෙඩිස්ද මරණයට පත්වූ අතර පරංගි හමුදාවේ ලෙයින් මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණ බව කියවේ. මේ බව රාජාවලියේ දැක්වෙන්නේ මෙසේ ය. “පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන් ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප‍්‍රතිකාලූන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප‍්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප‍්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප‍්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ.[1]“ මෙම මුල්ලේරියා සටන පිළිබඳව පෝල් ඊ පීරිස් මහතා ලියු පෘතුගීසි යුගය නම් ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි’ "මේ අවස්ථාවේදී රාජසිංහ පෞද්ගලිකවම අණදීම භාරගත්තේ ය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන් කරුවෝද ඇත් අස හමුදාවලින් ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන් ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ලකර අතර කොරතොට හා ‍හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය.[2]


සටන් අවසන් වූ පසු විජයග්‍රහණය සැමරීමට මුල්ලේරියාව ආසන්නයේ පෘතුග්‍රීසින් කඳවුරුලා සිටි තැනක සීතාවක හමුදාවෝ පැමිණ කොඩි සිටුවූහ. මෙම ස්ථානයට එබැවින් "කොඩිගහවත්ත" යනුවෙන් හැදින්විය. අද මුල්ලේරියාව නගරයට කිලෝ මීටරයක් ආසන්නයෙන් කොටිකාවත්ත යනුවෙන් ඇත්තේ එම නගරයයි.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලය

[සංස්කරණය]

කඩුවෙල සිට අවිස්සාවේල්ල දෙසට වන්නට අදටත් පිහිටා ඇති රන් කඩු පත්තිනි දේවාලය මෙම යුධ සංග්‍රාමයේ එක් සංධිස්ථානයකි. එකල කඩුවෙල කඩවත නමින් පරසිද්ධ බලකොටුව වූ මෙම දේවාල භූමියේ සිට සේනාව මෙහෙය වු රාජසිංහයන් පෘතුගීසින්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග‍්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වු එම භාරය ඔප්පු කරනු වස් එහි තැනවු පත්තිනි දේවාලය අදටත් ”රන්කඩු දෙවොල” ලෙස හැඳින්වේ

කොරතොට අංගක්කරුවෝ

[සංස්කරණය]
කොරතොට සම්ප්‍රදායේ වත්මන් අංගම්පොර සටන්කරුවන් පිරිසක්

උක්ත මුල්ලේරියා මහා සංග්‍රාමයට වගකිවයුතු පාර්ශවයක් ලෙස අදටත් නොනැසී පවතින සටන් පරම්පරාවක් ලෙස කොරතොට ආරච්චිවරුන්හඳුනාගත හැකිය. කඩුවෙල සිට මද දුරත් අතුරුගිරිය මාර්ගයේදී හමුවන කොරතොට ග්‍රාමය ආශ්‍රිතව අදටත් නොනැසී තම සටන් හරඹයන් පවත්වාගෙන එන මොවුන් සම්බන්ධව පෘතුගීසි යුගය ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේ ය. ”කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප‍්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වු පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගිසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වුහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප‍්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය.” ඔවුන් ගැන කියැවෙන තවත් ජනකවියක් මෙසේ ය.

රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට
ඉලංගමට හේවාකම් දුන් කලට
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට

වර්තමාන තත්ත්වය

[සංස්කරණය]

මුල්ලේරියා මහා සංග්‍රාමය යනු මෙරට ජනතාවගේ තොලග රැඳි මහා වික්‍රමයක් වනවාත් සමඟම එහි උරුමය හිමි මුල්ලේරියා භූමියෙන් එම ගෞරවය මකන්නට ඉතිහාසයේ දී ගත් උත්සාහයන් අනන්තය. එහි එක් ප්‍රතිභලයක් වන්නේ මුල්ලේරියා ප්‍රදේශයේ මානසික රෝහලක් පිහිටුවීමයි. මෙසේ මකා දමන්නට උත්සාහ කෙරුණ මුල්ලේරියා සටන නැවතත් සිහිපත් කරනුවස් මුල්ලේරියා වෙළ ආග්‍රිතව අංගම් මඩුවක්,ගාරයක් හා පුස්තකාලයක් ආදීකොටගත් සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

450 වන යුධ ජයග්‍රහණ සැමරුම

[සංස්කරණය]

2012 අගෝස්තු මස 23 වන දින සවස 6.30 සිට මුල්ලේරියා වැව් ඉස්මත්තේදී ගරු මැති ඇමතිවරුන් ඇතුළු 600කට අධික ආරාධිත ප්‍රභූ පිරිසක් සහ 2500කට අධික මහජනතාවගේ සහභාගීත්වයෙන් ‘මුල්ලේරියා රණබිම විජයග්‍රහණ සැමරුම 450‘ පැවැත්වෙනු ලැබිණ. මෙම උත්සවයට සුබපතා ගරු ජනාධිපතිතුමන්ගේ ලිඛිත පණිවිඩයක්ද ලබා දී තිබුණ අතර පැය 3කට අධික කාලයක් තිස්සේ පැවති උත්සවය එදා මුල්ලේරියා යුධ ජයග්‍රහණය වත්මන් පරපුරට නැවත නැවතත් පසක් කර දුන්නා කිවහොත් නිවැරදි ය.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

[සංස්කරණය]
  1. ^ රාජාවලිය - ඒ. වී. සුරවිර 1964
  2. ^ පෘතුගීසි යුගය - පෝල් ඊ පීරිස්
  1. mulleriyawa.blogspot.com
  2. www.mulleriyawa.org සංරක්ෂණය කළ පිටපත 2018-09-09 at the Wayback Machine
  3. mulleriyabattlefield.blogspot.com
  4. www.korathotaangam.com සංරක්ෂණය කළ පිටපත 2014-08-14 at the Wayback Machine
  5. සිංහල ත්‍රාසජනක ක්‍රීඩා - ප. එ. ප. දැරණියගල (අනුවාදක හේරත් ම. අභයරත්න)
  6. rankadupoojava.blogspot.com
  7. Mulleriyawe Satana (1562)- The Battle of Mulleriyawa (1562)
  8. 450th anniversary of the Battle of Mulleriyawa

වැඩිදුර කියවීම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මුල්ලේරියා_සංග්‍රාමය&oldid=697686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි