පංච රථ

විකිපීඩියා වෙතින්
පංච රථ
"පංච රථ, මහාබලිපුරම්"
යුනෙස්කෝ ලෝක උරුම අඩවි
මාමල්ලපුරම් (මහාබලිපුරම්) හි පංච රථ (ක්‍රි.ව. 630–638)

ධර්මරාජ රථ

භීම රථ

අර්ජුන රථ

නකුල සහදේව රථ

පංච රථ (පාණ්ඩව රථ යනුවෙන් ද හැඳින්වේ) යනු බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම්හි පිහිටි ස්මාරක සංකීර්ණයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. පංච රථ ඒකශෛලීය ඉන්දියානු ගලින්‍-නෙළූ ගෘහනිර්මාණ ශිල්පයට මනා නිදසුනකි. පසුකාලීන 7වන සියවසට අයත් යැයි කාලනිර්ණිත මෙය පල්ලව රාජවංශයේ Iවන ‍මහේන්ද්‍රවර්මන් රජු හෝ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630–680; හෙවත් මාමල්ල) සමයේ ඉදිවී යැයි සැල‍කේ. නිරසිංහවර්මන් සමයේ බිහි වූ නව නිමැවුමක් වන මෙය ඉන්දියානු ගෘහිනර්මාණ ශිල්පය තුළ මින් පෙර නොපැවති සම්ප්‍රදායයක් විය. ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතින මෙය ඇතුළත් මහාබලිපුරම් ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස අභිලේඛනය කොට ඇත.

භූමියේ පිහිටි නාම පුවරුවක්, ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, චෙන්නායි කවය
ද්‍රෞපදීගේ රථය

පංච රථ සංකීර්ණයේ ඇති ස්මාරක පහම රථයකට හැඩය අතින් සමානත්වයක් දක්වයි. මෙම රථ තනි, දිගු ග්‍රැනයිට් පාෂාණයකින් කැටයම් කොට ඇති අතර, එහි බෑවුම උතුරු-දකුණු දිශානතිය ඔස්සේ පවතින මඳ බෑවුමකි.[1][2][3] ඇතැම් අවස්ථාවල දී දේවාල ලෙස වරදවා හඳන්වනු ලැබූව ද, Iවන නරසිංහවර්මන්ගේ මරණින් පසුව‍ මෙම ගොඩනැගිලි දෙවියන්ට කැප කිරීමට නොහැකි වූ හෙයින් ඒවා අසම්පූර්ණ ලෙසින් පැවතීම එයට හේතුවයි.[1][3][4] මෙම ව්‍යූහයන් සුප්‍රකට මහාභාරත වීරකාව්‍යයේ එන පංච පාණ්ඩවයන් සහ ඔවුන්ගේ පොදු භාර්යාව වූ ද්‍රෞපදී ඇසුරෙන් නම්කොට ඇත.[2][3][5] ප්‍රමාණය අතින් අවරෝහණ පිළිවෙලට සැලකූ විට රථවල අනුපිළිවෙල ධර්මරාජ රථ, භීම රථ, අර්ජුන රථ, නකුල සහදේව රථ සහ ද්‍රෞපදි රථ ලෙස ලැබේ.

නිරුක්තිය[සංස්කරණය]

මෙම ඒකශෛලීය ස්මාරක නම්කොට ඇත්තේ අර්ජුන, භීම, යුධිෂ්ඨිර ("ධර්මරාජ"), නකුල හා සහදේව යන පංච පාණ්ඩවයන්ගේ සහ ද්‍රෞපදීගේ නම් ඇසුරෙනි. මෙම නම් වැරදි යෙදුමක් යැයි සැලකෙන්නේ මෙම ව්‍යූහයන් මහාභාරතයේ එන චරිත සමග කිසිදු සම්බන්ධයක් නොදැක්වීම නිසායි. එසේම මේවා දෙවියන්ට කැපනොකළ හෙයින් ඒවායේ කිසිදු ආගමික වැදගත්කමක් ද නැත. රථවල පාදමේ සහ මුදුනේ කැටයම් නොකළ පාෂාණ කොටස් තවමත් දැකගත හැකි ය. ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්සණ දෙපාර්තමේන්තුව සනාථ කරන්නේ මේවායේ ඇති අසම්පූර්ණ ස්වභාවය හේතුවෙන් ඒවා විමාන ලෙස හැඳින්විය යුතු බවයි. කෙසේනමුත්, පාණ්ඩව නම් අදවන විට පුළුල්ව භාවිතයට පැමිණ ඇත.[1][6][7][8]

ඉතිහාසය[සංස්කරණය]

මෙම භූමියේ ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති පුවරුවක සඳහන් වන්නේ පල්ලව රාජවංශය විසින් රථවල ආකෘති පාෂාණයෙන් නිර්මාණය කරන්නට යෙදුණේ දැවයෙන් නිමකළ ඒවායේ මූලාකෘති පාදක කරගනිමින් බවයි.[8] පංච රථ කැටයම් කෙරුණේ Iවන මහේන්ද්‍රවර්මන් රජු හෝ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් රජ සමයේ ය. ක්‍රි.ව. 668දී නරසිංහවර්මන්ගේ මරණයත් සමග මෙම පංච රථවල නිර්මාණ කටයුතු අඩාළ විය.[4][9] මෙම ව්‍යූහයන් අසම්පූර්ණ බැවින් ඒවා ඉදිකිරීමේ අරමුණ නොදනී. මහාබලිපුරම් ස්මාරක සමූහයට අයත් කොටසක් ලෙස මෙම පංච රථ 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවි යටතට ඇතුළත් කෙරිණි.[2]

භූගෝල විද්‍යාව[සංස්කරණය]

මෙම ව්‍යූහය පිහිටියේ කාංචීපුරම් දිස්ත්‍රික්කය තුළ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම් (අතීතයේ මාමල්ලපුරම් ලෙස හැඳින්විණි) හි ය. එය අගනගරය වන චෙන්නායි (පෙර මදුරාසි නම් විය) සිට සැතපුම් 35 (56 km) පමණ දකුණින් පිහිටා ඇත.[6] නමුත් චෙංගල්පට්ටු සිට ඇත්තේ සැතපුම් 20ක (32 km) පමණ දුරකි.[10] මෙම ව්‍යූහයන් මෙම භූමියෙහි දක්නට ලැබෙන ඒකශෛලීය ව්‍යූහයන් නවයට අයත් කොටසකි.[11]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

රථවල බිම් සැලැස්ම
මහාබලිපුරම්හි පංච රථවල පිහිටීම පෙන්වන සම්පූර්ණ දර්ශනයක්.
සැලැස්ම

පංච රථ අතුරින් සෑම රථයක්ම ඒකශෛලීය වන අතර, ඒවා තනි රෝස ග්‍රැනයිට් කුට්ටියක් කැටය්ම කිරීමෙන් තනා ඇත. උතුරු-දකුණු දිශානතිය ඔස්සේ මඳ භෑවුමක් සහිතව පිහිටි තනි පාෂාණයකින් ඒවා ගොඩනගා ඇත. සෑම රථයකටම වෙනස් සැලැස්මක් ඇති අතර, ඒවායේ බිම් සැලැස්ම සමචතුරස්‍රාකාර, ඍජුකෝණාස්‍රාකාර හෝ දූරාන්තික සැලැස්මකින් යුතුවිය හැක. මින් විශාලතම රථයේ මිනුම් 42 by 35 අඩි (13 m × 11 m) පරිදි වන අතර, උසම රථය 40 අඩි (12 m) උසැති ය.

නිරූපණය

පංච රථ මගින් ද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශෛලියේ ඇති විවිධත්වය කියාපායි. මේවා මුලින් දැවයෙන් තැනූ දේවාල රථ අනුකරණයෙන් තැනූ බැව් පෙනේ. කෙසේනමුත් මෙම රථ පසුකාලීනව තමිල් නාඩුවෙහි ඉදිවූ ප්‍රමාණයෙන් විශාල දේවාල සඳහා මූලාදර්ශයක් වන්නට ඇත.[5][12] රථවලින් බොහෝමයක් බෞද්ධ විහාර සහ චෛත්‍ය ආභාසයට ගෙන තැනූ බැව් විශ්වාස කෙරේ.[9]

නිර්මිතය

ව්‍යූහාත්මක නිර්මාණ සැකැස්ම සහ කුළුණු හෙවත් ශිඛර මගින් තනි (ඒකතල) සිට ත්‍රිත්ව (ත්‍රිතාල) ශිඛර ක්‍රමය තෙක් ගොඩනැගීම දකුණු ඉන්දියානු ද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශෛලියේ අනන්‍ය ලක්ෂණ කියාපායි. බිත්ති සකසා ඇති අතර, අනුක්‍රමිකව බෙදා වෙන්කිරීම සිදු විය. මෙම බිත්තිවල නෙරුම් සහ අවපාත මගින් නොගැඹුරු නෙරිකුළුණුවල ස්වභාවයක් පෙන්වී ය. බිත්තිවල තැනූ අවකාශ ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුතු වූ අතර, ඒවායේ දේවතාවුන්, අර්ධ-දේවතාවුන්ගේ සහ රජවරුන්ගේ රූ කැටයම් කෙරිණි. මෙම රූ වටා අවකාශය “පත්‍රාකාර වල්ග සහ විවෘත හනු සහිත” ජලජ වන සතුන්ගේ රූ වලින් විසිතුරු කෙරිණි..[13] බිත්ති නෙරිකුළුණු කරුවලින් යුක්ත වූ අතර, ද්වාරමණ්ඩපයේ වූ කුළුණු මගින් නෙරාගිය ලෙනට ආධාර සැපයිණි. ආරුක්කු කවුළු ද රූවලින් අලංකාර කොට ඇත. බිත්තිවල බොරදම් ද නිර්මාණය කොට ඇත.[13]

සංරක්ෂණය

මෙම රථ නිර්මාණයට භාවිතා කළ අමුද්‍රව්‍යය වන ග්‍රැනයිට් පාෂාණයේ දැඩි බව හේතුවෙන් රථ බෙංගාල බොක්ක දෙසින් එන ලවණ මිශ්‍ර සුළං, 13වන සියවසේ සහ 2004දී ඇතිවූ ව්‍යාසනකාරී සුනාමි ආපදාවන්ගෙන් ද ආරක්ෂා විය.[2][3][8]

රථ අතර දක්නට ලැබෙන හස්ති ප්‍රතිමාවක්

වැදගත් ස්නධිස්ථාන[සංස්කරණය]

ධර්මරාජ රථයේ ඇති සුවිශේෂී වාස්තු විද්‍යා ලක්ෂණයක් ලෙස පේසා තුනක් සේ විහිදෙන එහි පිරමිඩාකාර ව්‍යූහය සැලකේ. එය සමචතුරස්‍රාකාර සැලැස්මකින් යුතුව නිමවා ඇත. මෙහි සංරචනය හින්දු දෙවිවරුන් වන හරිහර, [[බ්‍රහ්ම], ස්කන්ධ, අර්ධනාරීශ්වර සහ Iවන නරසිංහවර්මන් රජුගේ කැටයම්වලින් විසිතුරු කොට ඇත. රථයේ නැගෙනහිර මුහුණතේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ලෙස ඓරාවත (අරුත: "සුදු අලියා") මත හිඳගත් ඉන්ද්‍ර දෙවියන්ගේ රුව සැලකේ. එසේම මෙම රථයට යාබදව එහි විවෘත අවකාශයේ නන්දි ගවයාගේ ස්වාධීන ඒකශෛලීය ප්‍රතිමාවක් ද වේ. ඊළඟට හමුවන අර්ජුන රථය අනර්ඝ ප්‍රසාද මුඛයකින් යුතුව විසිතුරු කොට ඇත. එහි සැකැස්ම ධර්මරාජ රථයට සමීප ය. අනතුරුව ඍජුකෝණාස්‍රාකාර සැලැස්මකින් යුත් භීම රථය දක්නට ලැබේ. ඒවායේ දිගු පැති දෙකෙහිම සිංහ රූ මත ගොඩනැගූ කුළුණු දැකගත හැක. නකුල සහදේව රථය එයට යාබදව පිහිටා ඇත. මෙහි සරල සැලැස්මක් සහිත අතර, එහි දූරාන්තිකයේ කිසිදු විසිතුරු කරටයමක් දක්නට නොලැබේ. මෙම රථයට යාබදව හස්තියකු නිරූපිත ඒකශෛලීය ප්‍රතිමාවක් සවිකොට ඇත. මෙම ‍රථ පේළියේ අවසානයට පිහිටි ද්‍රෞපදි රථය සමචතුරස්‍රාකාර සැලැස්මෙන් යුත් අතර, එහි හැඩය ගම්මානයක ඇති සෙවිලි කළ පියස්සක් සහිත පැල්පතක හැඩය ගනියි. මෙම පූජාස්ථානය අභ්‍යන්තරයේ දුර්ගා මාතෘ දේවතාවියගේ කැටයමක් දක්නට ලැබේ.[11][14]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Five Rathas, Plaque at the site, Archaeological Survey of India, Chennai Circle 
  2. 2.0 2.1 2.2 2.3 "Group of Monuments at Mahabalipuram". World Heritage. සම්ප්‍රවේශය 2007-02-08.
  3. 3.0 3.1 3.2 3.3 "Pancha Rathas, Mamallapuram". Arhaeological Survey of India. සම්ප්‍රවේශය 23 October 2012.
  4. 4.0 4.1 "Mahabalipuram". UCLA Education, South Asia. සම්ප්‍රවේශය 30 December 2012.
  5. 5.0 5.1 "The Rathas, monolithic [Mamallapuram]". Online Gallery of the British Library. සම්ප්‍රවේශය 19 February 2013.
  6. 6.0 6.1 Gunther, Michael D. "Pancha Rathas, Mamallapuram". art-and-archaeology.com. සම්ප්‍රවේශය 23 October 2012.
  7. Ring, Trudy; Watson, Noelle; Schellinger, Paul (12 November 2012). Asia and Oceania: International Dictionary of Historic Places. Taylor & Francis. pp. 554–555, 912–. ISBN 978-1-884964-04-6. සම්ප්‍රවේශය 3 January 2013.
  8. 8.0 8.1 8.2 "World Heritage Sites – Mahabalipuram: Group of Monuments Mahabalipuram (1984), Tamil Nadu". Archaeological Survey of India by National Informatics Centre. සම්ප්‍රවේශය 30 December 2012.
  9. 9.0 9.1 "Rock Cut Architecture". culturalindia.net. සම්ප්‍රවේශය 30 December 2012.
  10. Ayyar, P. V. Jagadisa (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN 978-81-206-0151-2. සම්ප්‍රවේශය 7 February 2013.
  11. 11.0 11.1 "A monumental effort". Front Line India's National Magazine from the publishers of The Hindu. 8 November 2003. සම්ප්‍රවේශය 30 December 2012.
  12. "Pancha Rathas". Art-and-Archaeology.com. සම්ප්‍රවේශය 11 January 2012.
  13. 13.0 13.1 Michell 1977, පිටු අංකය: 132.
  14. Schreitmüller, Karen; Dhamotharan, Mohan; Szerelmy, Beate (2012). Baedeker India. Baedeker. pp. 589–. ISBN 978-3-8297-6622-7. {{cite book}}: Unknown parameter |lastauthoramp= ignored (help)

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 12°36′32″N 80°11′23″E / 12.60889°N 80.18972°E / 12.60889; 80.18972

"https://si.wikipedia.org/w/index.php?title=පංච_රථ&oldid=513836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි