Jump to content

මහීෂාසුරමර්දිනී මණ්ඩප

විකිපීඩියා වෙතින්
මශීෂාසුරමර්දිනී මණ්ඩප
මහීෂාසුරමර්දිනී ලෙන් දේවාලය
මහීෂාසුරමර්දිනී ගලෙන් නෙළූ මණ්ඩපය
මූලික තොරතුරු
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයකාංචීපුරම් දිස්ත්‍රික්කය
ජනපදයතමිල් නාඩු
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකපල්ලව රාජවංශ
අභිලේඛන1984දී යුනෙස්කෝවේ ආසියා-පැසිෆික් යටතේ අභිලේඛිත

මහීෂාසුරමර්දිනී මණ්ඩපය (ලෙන් දේවාලය; යම්පූරි ලෙස ද හැඳින්වේ)[1] යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන 7වන සියවසට අයත් පල්ලව රාජවංශයේ ඉන්දියානු ගලෙන්-නෙළූ ගෘහනිර්මාණ ශිල්පය සඳහා මනා නිදසුනකි. මෙම ලෙන් දේවාලය ඇතුළු මාමල්ලපුරම්හි සෙසු ලෙන් කඳුගැටයක් මත ප්‍රදීපාගාරයක් අසල පිහිටා ඇත. මෙය පුරාතන විශ්වකර්ම ස්ථපතිවරුන්ගේ අනර්ඝ නිමැවුමක් ලෙස සැලකේ. මාමල්ලපුරම් හෙවත් මහාබලිපුරම් යනු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ චෙන්නායිවලට දකුණින් පිහිටි කුඩා ගම්මානයකි.[2] මෙම දේවාලය ඇතුළත් මහාබලිපුරම් ස්මාරක සමූහය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස අභිලේඛනය කෙරිණි.[3] මෙම දේවාල විශේෂ ලක්ෂණ ගණනාවකින් යුතු අතර, ගර්භගෘහ තුනෙහි ඇති බිත්ති තුන මත ඇති අනර්ඝ කැටයම්වලට ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමි වේ. ඉන් එකක විෂ්ණු පෙන සත්ක ඇති නාගයකු වන ආදිසේෂ නාගයා මත වැතිර සිටිනු නිරූපිත ය. තවත් කැටයමක දේවාලයේ ප්‍රධාන දේවතාවිය වන දුර්ගා මී ගව හිසක් සහිත මහීෂාසුර වනසන අයුරුත්, තෙවන ගර්භගෘහයෙහි නැවත විෂ්ණුගේ ප්‍රතිමාවකුත් දැකගත හැක.[4][5] මෙම ලෙන තුළ පුරාණවල (ක්‍රි.ව. 5වන සියවසට අයත් සංස්කෘත බසින් රචිත හින්දු මිත්‍යා කථා) එන දර්ශන රැසක් දැකගත හැක.

පුරාවෘත්තය

[සංස්කරණය]

පුරාවෘත්ත අනුව, අභිභවනය කළ නොහැකි යැයි පැවසුණු මහීෂාසුර නම් අසුරයාව දුර්ගා විසින් මරාදමන ලදී. ඉන් අනතුරුව ඇයට මහීෂාසුරමර්දිනී (මහීෂාසුර මර්දනය කරන්නිය) යන නාමය භාවිතා විය. මෙම ග්‍රැනයිට් ගලෙන් නෙළූ දේවාලය තුළින් දුර්ගා දේවියගේ නැවත උපතක් ලෙස සැලකෙන මහීෂාසුරමර්දිනී‍ දේවතාවියගේ රුව නිරූපණය කොට ඇත. මේ නිසා මෙම දේවාලය ද "මහීෂාසුරමර්දිනී ලෙන් දේවාලය" නම් විය. ගුහාවේ ඇතුළු කැටයම් මගින් මෙම සටන නිරූපිත ය. එහි අත් ගණනාවක් ඇති දෙවඟන දුන්නක් සහ හීයක් දරා සිංහයකු මත නැග මහීෂ සහ ඔහුගේ අනුගාමිකයින් ලුහුබඳිනු නිරූපිත ය.[6]

ඉතිහාසය

[සංස්කරණය]

මෙම ලෙන පල්ලව රාජවංශයේ නරසිංහවර්මන් මාමල්ල (ක්‍රි.ව. 630–668) රාජ්‍ය සමයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. මෙම නගරයට එම නාමය හිමිවූයේ ද මෙම රජුගේ නාමය ඇසුරෙනි.[7] ලෙනෙහි ගෘහනිර්මාණ ශිල්පය මගින් බටහිර ඉන්දියාවේ කැටයම්වල භාවිතා වූ මහා ආගමික තේමාවන් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ යැයි පැවසේ. මෙම ලෙනෙහි කුළුණු සිංහ රූ මත නංවා තිබීම හේතුවෙන් එමගින් සංක්‍රාන්ති යුගයක් නිරූපණය වේ යැයි සිතිය හැක. එසේම ලෙනෙහි වන කැටයම් පල්ලව රජුන් වන Iවන මහේන්ද්‍රවර්මන් සහ රාජසිංහ හෙවත් මාමල්ල යනුවෙන් හැඳින්වුණු Iවන නරසිංහවර්මන් රජ සමයේ දියුණු වූ කලා ලක්ෂණවලින් යුතු බැව් පෙනේ. මෙම කලා ශෛලිය මාමල්ලගේ පුත් Iවන පරමේශ්වරවර්මන් විසින් ඉදිරියට ගෙනයන ලදී.[8] ඓතිහාසික පර්යේෂණ අනුව ද මහාබලිපුරම් නගරය ස්ථාපිත කෙරුණේ එය මාමල්ල ලෙස නම් කිරීමෙන් පුසව බව සනාථ වී තිබේ. මේ නිසා මෙහි ඇති ලෙන් සහ සියලු රථ ද ඔහුගේ රාජ්‍ය සමයේ ක්‍රි.ව. 650 වර්ෂයට අයත් යැයි සැලකිය හැක.[9]

භූගෝල විද්‍යාව

[සංස්කරණය]

මහීෂාසුමර්දිනී ලෙන හෙවත් මණ්ඩපය පිහිටා ඇත්තේ මහාබලිපුරම් නගරයේ සෙසු ලෙන් සමග දිවෙන කඳු කලාපයක ය. මෙය ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටා ඇත. වර්තමානයේ කාංචිපුරම් දිස්ත්‍රික්කයට අයත් මෙය, චෙන්නායි නගරයේ (අතීතයේ මදුරාසි) සිට 58 කිලෝමීටර (36 mi) දුරින් ද, චිංගල්පේට් සිට 20 සැතපුම්s (32 km) පමණ දුරින් ද පිහිටා ඇත.[10] මෙය ආසන්නයේ ප්‍රදීපාගාරයක් ද පිහිටා ඇත. 8වන සියවසට අයත් ව්‍යූහමය දේවාලයක් වන ඕලක්කනේස්වර දේවාලය (මහීෂාසුර දේවාලයක් ලෙස වරදවා හඳුන්වා ඇත) මෙම ලෙන අසල උස් ස්ථානයක පිහිටි අතර, මේ නිසා මාමල්ලපුරම් අවට චමත්කාර දර්ශනයක් මවා පායි. මෙම කලාපය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්ව ඇත්තේ මෙයට කිලෝමීටර කිහිපයක් දකුණින් න්‍යෂ්ටික බල මධ්‍යස්ථානයක් පිහිටි හෙයිනි. මේ නිසා ඡායාරූපකරණය තහනම් ය.[11]

සැලැස්ම

[සංස්කරණය]

ලෙනේ පූජාස්ථානය නැගෙනහිරට මුහුණලා පිහිටි අතර එහි කුටි තුනක් දක්නට ලැබේ. එහි අභ්‍යන්තර මිනුම් සැලකූ විට දිග 32 අඩි (9.8 m)ක්, පළල 15 අඩි (4.6 m)ක් සහ උස 12.5 අඩි (3.8 m)ක් වේ. දෙපස පිහිටි සෙසු කුටිවලට සාපේක්ෂව ප්‍රධාන මධ්‍ය කුටීරයේ මධ්‍ය නෙරුමක් ඇත. ප්‍රසාදමුඛයේ ඉදිරිපස භික්තිශීර්ෂයේ කූඩු හෙවත් අශ්වලාඩම්-හැඩැති කවුළු 10ක් දක්නට ලැබේ. මේවායේ අසම්පූර්ණ කැටයම් ඇත. භික්තිශීර්ෂයෙහි ගේබල්-වහලැති අර්ධ-සම්පූර්ණ පූජාස්ථාන පහක කැටයම් දැක්වේ. ප්‍රසාදමුඛයෙහි අන්තයේ නෙරු කුළුණු දෙකක් සහ කුළුණු සතරක් දැකගත හැක. ප්‍රසාදමුහුණතෙහිම කොටසක් වන මේවා සම්ප්‍රදායික පල්ලව ගෘහනිර්මාණ ශිල්පයෙන් යුතුව කැටයම් කොට ඇත. මධ්‍ය කුටිය ඉදිරියේ කුඩා මුඛමණ්ඩපයක් (ප්‍රවේශ ද්වාමණ්ඩපයක්) ඇති අතර, ඒවායේ පල්ලව ශෛලියෙන් යුතු සිංහ පාදම් සහිත කැටයම් කුළුණු දෙකක් දැකගත හැක.[12]

ගෘහනිර්මාණ ශිල්පය

[සංස්කරණය]
ශිව, පාර්වතී සහ ඔවුන්ගේ පුත් ස්කන්ධ දැක්වෙන සුප්‍රකට ශිව සෝමස්කන්ධ පනේලය
මහීෂාසුරමර්දිනී ලෙන තුළ දක්නට ඇති වැතිරගත් විෂ්ණුගේ රුව

මෙම මණ්ඩපය මහාබලිපුරම්හි වැදගත්ම ලෙන් අතරින් එකකි. මෙය දුර්ගා දේවතාවියගේ නැවත උපතක් ලෙස සැලකෙන මහීෂාසුරමර්දිනී දෙවඟනට කැපකොට ඇත. මණ්ඩපය තනා ඇත්තේ කඳු ගැටයේ ගල් මුහුණතෙහි ග්‍රැනයිට් පාෂාණය තුළට කැනීමෙනි. ලෙන් පිවිසුමේ කැටයම් කොට ඇති බරාඳය දිගු අතර, එය කුටි තුනක් සමග සංයුක්ත ය;[7] මින් මධ්‍යයේ වූ කුටියේ පිවිසුම දෙපස ද්වාරපාල රූ දැකගත හැක. මධ්‍ය කුටියේ පසුපස බිත්තියේ සෝමස්කන්ධ පනේලයක් වේ. මෙම පනේලයෙහි රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටින ශිව සහ ඔහුගේ භාර්යාව වන පාර්වතී යන දෙදෙනාම කිරීට-මුකුට පැළඳ සිටියි. ඔවුන් දෙදෙනා මධ්‍යයේ පුත් ස්කන්ධ අසුන්ගෙන සිටියි. මෙම පනේලය තුළ ශිවගේ වාහනය වන නන්දි ගව රුව ද දැකගත හැක. ශිවගේ ප්‍රබල බැතිමතකු වන චණ්ඩේස‍ගේ රුව ශිව, බ්‍රහ්ම සහ විෂ්ණු යන ත්‍රිත්ව දේවතාවුන්ගේ රූවලට වම් පසින් කැටයම් කොට ඇත. මෙම ත්‍රිත්ව දේව රූ ප්‍රධාන කැටයම වන ශිව සහ පාර්වතීට පසුපසින් නිරූපණය කොට ඇත. මෙම ත්‍රිත්ව දෙවිවරුන්ගේ කැටයම මගින් හිඳගත් ශිව, පාර්වතී සහ ස්කන්ධ කෙරෙහි ඔවුන් ප්‍රීතියෙන් පසුවන බැව් නිරූපණය වේ. තනි තනි නිරූපණයෙහි සැලකූ විට බ්‍රහ්මගේ රුව හිස් සතරක් සහ අත් සතරක් සහිතව ඉහළ අත්වලින් ජල කෙණ්ඩියක් සහ අක්ෂමාලාවක් දරා සිටින අයුරින් දැක්වේ. ඔහුගේ පහළ දකුණත ඉහළට ඔසවා ඇත්තේ ශිව අගය කරන විලාසයෙනි. වම් අත කටක මුද්‍රාවෙන් යුතු ය. විෂ්ණු ද අත් සතරක් ඇතිව නිරූපණය කොට ඇත. ඔහු සිය ඉහළ දෑත්වලින් චක්‍රයක් සහ ශංඛයක් දරාසිටියි. පහළ වමතින් ශිව කෙරෙහි අගය කරන විලාසයක් පෙන්වන අතර, පහළ දකුණත ද කටක මුද්‍රාවෙන් යුතු ය. පනේලයෙහි ඉහළ කොටසේ බ්‍රහ්ම සහ විෂ්ණු අතර සූර්ය රුව ද කැටයම් කොට ඇත. වම්පස කුටියේ පසුපස බිත්තියේ ද වෙනත් බ්‍රහ්ම නිරූපිත පනේලයක් දැකගත හැක. නමුත් දකුණුපස කුටියේ නැවත වරක් ශිවගේ පනේලය දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයින්ගේ අදහස වන්නේ එහි මුලින් විෂ්ණුගේ පනේලයක් නිර්මාණය කරන්නට අදහස් කරන්නට ඇති බවයි. මෙම ගුහාවේ ශිව ඵලක ප්‍රමුඛව පැවතීමට තවත් හේතුවක් ලෙස මෙකල රාජ්‍ය පාලනය කළ රජවරුන් වෛෂ්ණව ආගමේ සිට ශෛව ආගම වෙත යොමුවීම ද යෝජනා වී ඇත.[12] මීට අමතරව මෙම ලෙනෙහි ඇති සෝමස්කන්ධ පනේලය ධර්මරාජ රථය, වෙරළාන්ත දේවාලය සහ අතිරණචන්ද ලෙනෙහි දක්නට ලැබෙන මීට සමාන කැටයම්වලින් තරමක් වෙනස් ය. පුරාවිද්‍යාඥයින් යෝජනා කරන්නේ එහි ඇති පනේලය රාජසිංහ යුගයේ නිමවන්නට ඇති බවයි.[12]

ගුහාවේ උතුරු බිත්තිය දුර්ගා දෙවඟන සහ මී ගව-හිසැති මහීෂාසුර අතර සටන නිරූපණය කරයි. මෙම පනේලය මගින් අයහපත පරදා යහපත ජයගැනීම සංකේතවත් කෙරේ. මෙම කැටයම් පල්ලව යුගයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකේ. මෙම යුධ දර්ශනයෙහි, දුර්ගා අත් අටක් සහිතව නිරූපණය කොට ඇති අතර, රෞද්‍ර පෙනුමැති සිංහයකු මත නැග සිටියි. ඇය සිය දකුණුපස හස්තයන්හි ඛාඩ්ග (අසිපතක්), ධනුෂ් (දුන්නක්), බාන (ඊතල), ඝණ්ට (සීනුවක්) දරාසිටින අතර, වම්පස අත් සතරෙහි පාස, සංඛ සහ කෙටේරියක් දැක්වේ. සහායකයකු විසින් දුර්ගාගේ හිසට ඉහළින් ඡත්‍රයක් අල්ලාගෙන සිටියි. යුධබිමේ සිටින ඇය සිය සෙබලියන් සහ වාමනයින්ගෙන් සැදි හමුදාවක් පිරිවරා සිටියි. මෙහි ඇය ඊතලවලින් මහීෂාසුර හට විදීමට සැරසෙයි. මේ නිසා අසුරයා සිය අනුගාමිකයින් සමග පලායාමට සැරසේ. මහීෂාසුර ද මුගුරක් දරා සිටියි.[6][12]

මහීෂාසුරමර්දිනී ලෙන තුළ දක්නට ලැබෙන මහීෂාසුර මැඬලන දුර්ගාගේ රුව

ගුහාවේ දකුණුදිග මුහුණතෙහි විෂ්ණු අනන්තසයන ඉරියව්වෙන් නාගයකු මත වැතිර සිටිනු නිරූපිත ය. මෙහි ඔහුගේ අත් දෙකකින් ආදිසේෂ නැමැති පෙණ පහක් ඇති නාගයාගේ දරණය අල්ලාගෙන සිටියි. විෂ්ණුගේ පාදය අසල ආක්‍රමණ ඉරියව්වකින් යුතුව මධූ සහ කෛතාභ නැමැත අසුරයින් දෙදෙනාගේ රුව ද දැකගත හැක. අසුරයින් පසුබසින් අවස්ථාවක් මින් දැක්වේ. එයට හේතුව ආදිසේෂ ඔවුන් වෙත ගිනිදැල් පිඹීමයි. මේ පිළිබඳ අවධානයක් යොමුනොකරන විෂ්ණු ආදිසේෂව පිරිමදින්නේ ඔහුව අගය කරමිනි. මෙම පනේලයෙහි ගන (වාමන) රූ දෙකක් ද වේ. මෙම වාමනයික් විෂ්ණුගේ ආයුධපරුෂයින් (පුද්ගලාරෝපිත ආයුධ) වේ. පිරිමි ගන රුව ශංඛ හෙවත් පංචජන්‍ය ලෙසත් ස්ත්‍රී ගන රුව විෂ්ණුගේ ගදා කෞමෝදකි ලෙසත් හැඳින්වේ. මෙම පනේලයෙහිම පහළ අන්තයෙහි තවත් රූ තුනක් දැකගත හැක. එනම් ඔහුගේ චක්‍රය හෙවත් සුදර්ශන, ඔහුගේ ඛඩ්ග (අසිපත) ලෙස නන්දක සහ භූදේවිගේ රුවයි. මේ තුනම ආයුධ-පුරුෂ රූ වේ.[12]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Madras literary society (1881). J.C. Morris (ed.). The Journal (afterw.) The Madras journal of literature and science (Public domain ed.). p. 98. සම්ප්‍රවේශය 18 March 2013.
  2. ^ "General view of the entrance to the Varaha Cave Temple, Mamallapuram". British Library. සම්ප්‍රවේශය 2008-11-18.
  3. ^ "Group of Monuments at Mahabalipuram". World Heritage. සම්ප්‍රවේශය 2007-02-08.
  4. ^ Shobhna Gupta (2003). Monuments Of India. Har-Anand Publications. pp. 35–. ISBN 978-81-241-0926-7. සම්ප්‍රවේශය 7 February 2013.
  5. ^ Rina Kamath (1 September 2000). Chennai. Orient Blackswan. pp. 124–. ISBN 978-81-250-1378-5. සම්ප්‍රවේශය 7 February 2013.
  6. ^ a b Karen Schreitmüller; Mohan Dhamotharan; Beate Szerelmy (14 February 2012). Baedeker India. Baedeker. pp. 589–. ISBN 978-3-8297-6622-7. සම්ප්‍රවේශය 7 February 2013.
  7. ^ a b "General view of the façade of the Yamapuri or Mahishasuramardhini Cave Temple, Mamallapuram". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012.
  8. ^ G. Jouveau-Dubreuil (1 December 1994). Pallava Antiquities – 2 Vols. Asian Educational Services. pp. 30–. ISBN 978-81-206-0571-8. සම්ප්‍රවේශය 3 January 2013.
  9. ^ Trudy Ring; Robert M. Salkin; Sharon La Boda (1995). Asia and Oceania: International Dictionary of Historic Places. Taylor & Francis. pp. 912–. ISBN 978-1-884964-04-6. සම්ප්‍රවේශය 7 February 2013.
  10. ^ Ayyar, P. V. Jagadisa (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN 978-81-206-0151-2. සම්ප්‍රවේශය 7 February 2013.
  11. ^ "Arjuna's Penance". Lonely Planet. සම්ප්‍රවේශය 30 December 2012.
  12. ^ a b c d e "Mahabalipuram – The Workshop of Pallavas – Part II". Mahishasurmardini Cave Temple. puratattva.in. සම්ප්‍රවේශය 23 February 2013.