වරාහ ලෙන් දේවාලය

විකිපීඩියා වෙතින්
වරාහ ලෙන් දේවාලය
ආදිවරාහ ලෙන් දේවාලය
වරාහ මණ්ඩප
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිර්ණායකයසංස්කෘතික: i, ii, iii, iv
මූලාශ්‍ර249
අභිලේඛනය1984 (8වන සැසිය)

වරාහ ලෙන් දේවාලය (හෙවත් ආදිවරාහ ලෙන් දේවාලය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ තමිල් නාඩුවේ කාංචීපුරම් දිස්ත්‍රික්කයේ මාමල්ලපුරම්හි පිහිටි ශෛලමය ලෙන් දේවාලයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළේ පිහිටියේ ය. ගම්මානයේ කඳුවැටියේ මුදුනක පිහිටි මෙය මාමල්ලපුරම්හි ප්‍රධාන රථ සහ වෙරළාසන්න දේවාලයට 4 km (සැත. 2.5) පමණ උතුරින් පිහිටා ඇත.[1][2] මෙහි 7වන සියවසට අයත් ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයට නිදසුන් සපයන ස්ථානයකි. මෙම දේවාලය පුරාතන විශ්වකර්ම ස්ථපතින්ගේ විශිෂ්ඨ නිමැවුමක් ලෙස සැලකිය හැකි අතර මණ්ඩප හෙවත් ශෛලමය ගුහා අතර ප්‍රමුඛ ස්ථායක් හිමිකර ගනියි. මහාබලිපුරම් ස්මාරක සමූහයේ කොටසක් වන මෙම දෙවොල යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණේ 1984දී i, ii, iii සහ iv යන නිර්ණායක යටතේ ය.[3] මෙම ලෙනෙහි ඇති වඩාත්ම ප්‍රකට මූර්තිය නම් විෂ්ණු දෙවියන්ගේ වරාහ අවතාරය සයුරෙන් භූදේවිය හෙවත් මහී දෙවඟන ඔසවන අයුරු නිරූපිත කැටයමයි. මීට අමතරව මෙහි බොහෝ මිත්‍යා රූ කැටයම් කොට ඇත.[4]

භූගෝල විද්‍යාව[සංස්කරණය]

වරාහ ලෙන් දේවාලය පිහිටියේ මහාබලිපුරම් නගරයේ කඳුගැටයක මහාබලිපුරම් ප්‍රධාන රථ දේවාලසහ වෙරළාසන් දේවාලයට 4 km පමණ උතුරිනි. මෙය ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටියේ ය. වර්තමානයේ කාංචිපුරම් දිස්ත්‍රික්කයට අයත් මෙය, චෙන්නායි නගරයේ (මදුරාසියේ) සිට ආසන්න වශයෙව් 58 km පමණ දුරින් ද, චිංගල්පේත් සිට සැතපුම් 20ක් පමණ දුරින් ද පිහිටා ඇත.[5]

ඉතිහාසය[සංස්කරණය]

මෙම ලෙන් දේවාලයේ ඇති අසුන්ගත් සිංහ රූ මත නැංවූ කුළුණු සහ වර්නගැන්වූ කැටයම් මගින් පල්ලව යුගයේ පැවති සංක්‍රමණ ගෘහනිර්මාණ ශිල්පය පෙන්නුම් කරයි. මෙකල පල්ලව රජවරුන් වූ Iවන මහේන්ද්‍ර වර්මන් සහ රාජසිංහ හෙවත් මාමල්ල නොහොත් Iවන නරසිංහවර්මන් රජවරුන් මේ කෙරෙහි අනුග්‍රහ දැක්වූහ. මෙම සම්ප්‍රදාය මාමල්ලගේ පුත් Iවන පරමේෂ්වර‍වර්මන් විසින් ඉදිරියට ගෙනයන ලදී.[6] ඓතිහාසික පර්යේෂණ අනුව ද පෙනීගොස් ඇත්තේ මහාබලිපුරම් නගරය ස්ථාපනය කෙරුණේ එය මාමල්ලගේ නමින් නම් කිරීමෙන් පසු බවත් සහ ලෙන් හා රථ දේවාල සියල්ල ක්‍රි.ව. 650 පමණ ඔහුගේ රාජ්‍ය සමයට අයත් බවත් ය.[7] මහාබලිපුරම්හි මුලින්ම හඳුනාගැනුණු ස්මාරකය මෙය වුවත්, එය සැඟවී පිහිටීම හේතුවෙන් නරඹන්නන් පැමිණෙන්නේ අඩුවෙනි.[8] පල්ලව ශෛලියේ ඇති වැදගත් ලක්ෂණයක් නම්, ලෙනේ ඉදිරි මුහුණතේ හිඳි සිංහ රූ මත තැනූ කැටයම් කුළුණු දක්නට ලැබීමයි.[9] මෙම ව්‍යූහය මහාබලිපුරම්හි ස්මාරක සමූහයෙන් එකක් වන අතර, 1984දී එය යුනෙස්කෝ ලෝක උරුම අඩවි අතරට එක්කෙරිණි.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

සැලසුම[සංස්කරණය]

වරාහ මණ්ඩපයේ ප්‍රවේශ ප්‍රසාද මුහුණත

මෙම ගුහාව පිහිටියේ කඳුගැටයක වන අතර, එය ඉදිරිපස පිහිටි තවත් ශෛලමය මණ්ඩපයක් නිසා මෙය සැඟවී ඇත. බටහිරට මුහුණලා පිහිටි ගුහා කුටීරය අඩි 33 x 14 (10.1m x 4.3 m) ප්‍රමාණයේ පළලින් යුත් අඩි 11.5ක් (3.5 m) පමණ උසැති ය. මෙහි ප්‍රවේශ මුඛය අෂ්ටාස්‍රාකාර කුළු සතරකිනුත්, අෂ්ටාස්‍රාකාර නෙරිකුළුණු දෙකකිනුත් සමන්විත ය. මින් නෙරිකුළුණු පැතිවලින් ශිලා මුහුණත වෙත නෙරා ඇත.[8] මෙම දේවාලය කුඩා ඒක-ශෛලීය ශෛලමය දෙවොලකි. පාෂාණ මුහුණතේ රෝස ග්‍රැනයිට් පෙදෙසේ කැටයම් කොට තැනූ මණ්ඩපය 7වන සියවසට අයත් යැයි විශ්වාස කෙරේ.[10] මෙම ලෙන මිනුම් අතින් කුඩා අතර, සරල සැකැස්මක් ඇත. විවෘතවීම් වෙන් කරන දාර සහිත කුළුණු කොට්ට හැඩැති කුළුණු ශීර්ෂවලින් සමන්විත අතර, ඒවායේ පාදමේ හිඳි සිංහ රූ දක්නට ලැබේ. ඇතැම් ග්‍රේකො-රෝමානු ගෘහනිර්මාණ ශෛලීන් ද මේ තුළින් හඳුනාගත හැකි අතර, හිඳි ප්‍රතිමා ඉන්දියානු බද්ධ පර්යංක ශෛලියට වඩා යුරෝපීය ගෘහනිර්මාණ ශිල්පයේ එන හිඳශෛලීන්ට සමාන වේ. මේ නිසා මහාබලිපුරම්හි දක්නට ලැබෙන ශෛලිය ද්‍රවිඩ ගෘහනිර්මාණයේ ඉදිරි පිම්මක් ලෙස සැලකිය හැක.[11] ගුහාව ඇතුළත පිහිටි බිත්ති අලංකාර මිත්‍යා රූ කැටයම්වලින් අලංකාර කොට ඇත. ආදිවරාහ ලෙනේ දක්නට ලැබෙන කැටයම් පනේලවල විෂ්ණු මිහිතලය මුදා ගැනීම, විෂ්ණු පියවර තුනක් තැබීම, ගජ ලක්ෂ්මි සහ දුර්ගා දෙවඟන වැනි දර්ශන නිරූපිත ය.[11]

පැති කැටයම් පනේල අතර දක්නට ලැබෙන වරාහ විසින් මහී දෙවඟන හෙවත් භූ දේවිය එසවීම නිරූපිත කැටයම

විශේෂ ලක්ෂණ[සංස්කරණය]

මණ්ඩපයේ පසුපස බිත්තියෙහි, පිවිසුමට මුහුණලා ද්වාරපාලක ප්‍රතිමා දක්නට ලැබේ. මණ්ඩපය තුළ, බිත්ති විශාල කැටයම් පනේල සතරකින් සමන්විත ය. මේවා ස්වාභාවිකවාදී පල්ලව කලාවට උදාහරණ වේ. පැති බිත්තිවල පනේලවල විෂ්ණු ත්‍රිවික්‍රම ලෙස නිරූපිත ය. විශාල පනේලයක් වන උතුරු පනේලය තුළ විෂ්ණුගේ වරාහ අවතාරය විසින් මහී දෙවඟන හෙවත් භූදේවිය ඔසවන අයුරු නිරූපිත ය. මෙමගින් සංකේතාත්මකව මිනිසුන් තුළ ඇති මෝහය දුරු කිරීම අදහස් කෙරේ. මෙම පනේලයෙහි, වරාහ සතුව අත් සතරක් ඇත. ඉන් පසුපසට මුහුණලා වූ අත් දෙකක ශංඛයක් සහ චක්‍රයක් ද, ඉදිරි අත් යුගළින් භූදේවිය ඔසවා සිටිනු ද දක්නට ලැබේ. නමුත් ඔහුට වන්දනා කරන සහායක රූ දක්නට නොලැබේ. කෙසේනමුත්, මුල්කාලයේ මෙම පනේල බදාම තවරා වර්ණ ගන්වා තිබී ඇත.[1][8][4][12] මෙම ගුහාව තුළ සිතුවම් කළ කැටයමක් වන නෙළුමක් මත වැඩ හිඳින දුර්ගා සහ විෂ්ණුගේ වාමන අවතාරය සහිත පනේල ද දැකගත හැක.[13]

පසුපස බිත්තියෙහි පිහිටි ගජලක්ෂ්මි පනේලය මගින් සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දෙවඟන නිරූපිත ය. පනේලය තුළ ගජලක්ෂ්මී රුව ආගමික වැදගත්කමක් ඇතිවන අයුරින් කැටයම් ‍කොට තිබේ. ඇය ඇගේ අතකින් නෙළුම් මල් දරා සිටින අතර, සහායකයින් සිව්දෙනකු ද දක්නට ලැබේ. මෙය "පරිපූර්ණ සුන්දරත්වයකින් සහ ගෞරවනීය මුහුණුවරකින්" යුතුව නෙළා තිබේ. රාජකීය හස්තීන් දෙදෙනකු පරිවාර රූ දෙකක් විසින් දරා සිටින කළ දෙකකට ජලය විසුරුවයි. එක් හස්තියකු ලක්ෂ්මී දේවිය අතින් දරා සිටින බඳුනට ජලය විසුරුවයි. අනෙක් හස්තියා සේවිකාවගේ අතෙහි ඇති කළයට ජලය පුරවන්නට තැත් කරයි. පසුපස බිත්තියේම පිහිටි දුර්ගා පනේලයෙහි මෝහය පරදා ලත් විජයග්‍රහණය නිරූපිත ය. ත්‍රීවික්‍රම පනේලයෙහි විෂ්ණු තුන් ලොවට අධිපති ලෙස දක්වා ඇත. තවත් දර්ශනීය කැටයම් පනේලයක් ලෙස, දුර්ගා විසින් මීගව හිසක් සහිත මහීෂාසුරයා වනසා දමන අයුරු නිරූපිත කැටයම හැඳින්විය හැක. මෙම කැටයම මගින් යහපත් සහ අයහපත් බලවේග අතර සටනක් නිරූපණය වේ. දුර්ගාගේ පාර්ශ්වය විශ්වාසී පෙනුමක් සහිත ගණ රූවලින් ද, මහිෂාසුර සහ ඔහුගේ පාර්ශ්වය අසුරයින් ලෙසින් ද නිරූපිත ය. මෙහි ඇති බ්‍රහ්ම පනේලයේ හිස් තුනක් සහිත බ්‍රහ්ම දෙවියන් සම්භාග හෙවත් සිටි ඉරියව්වෙන් සිටිනු නිරූපිත ය.[14]

ලෙන් දේවාලයේ උතුරු බිත්තියේ ශිව දෙවියන් ගංගාධර ලෙස දක්වා ඇත‍. අත් සතරක් සහිත නිරූපිත ඔහු, ත්‍රිභංග ලීලාවෙන් සිටගෙන සිටියි. කෙසේනමුක්, වම් අත කලවාවලට පහළින් නිරූපණය කොට ඇත්තේ කත්‍යබාලම්බිත ඉරියව්ව සිහිගන්වමිනි පහළ දකුණු අත වරද-හස්ත හෙවත් ආශිර්වාදාත්මක ස්වරූපයෙන් දක්වා ඇත. ඉහළ වම් අත මගින් අක්ෂමාලාවකුත්, ඉහළ දකුණත මගින් "ගංගා නදිය දරා සිටින ඔහුගේ කෙස් රොදක් දරා සිටින" අයුරින් නිරූපිත ය. මෙහි ගංගා නදිය මිනිස් ස්වරූපයෙන් යුතුව, ශිවගේ හිස බැඳි ස්ථානයේ සිට දෙව්ලොව ඔස්සේ අවරෝහණය වන අයුරු නිරූපණය කොට ඇත.[8] මීට අමතරව ලෙනෙහි පනේල අතර, පල්ලව රජවරුන් දෙදෙනකු සහ ඔවුන්ගේ රැජිනියන්ගේ රූ කැටයම් කොට ඇත. ඉන් එක් පනේලයක් ගජලක්ෂ්මී පනේලයට දකුණුපසින් පිහිටා ඇත. මෙහි රජු සිය රාජකීය වස්ත්‍රාභරණ පැළඳ සිහසුනෙහි අසුන්ගෙන සිටියි. ඔහුගේ බිසව ඔහුට පසුපසින් සිටගෙන සිටියි. මෙම පනේලයට පහළින් වූ ශිලා ලේඛනයෙහි "වික්‍රමාන්විත අධිරාජ සිංහවින්න-පෝට්ර (සිංහවිෂ්ණු පෝට්ට)’ යන්න කැටයම් කොට ඇත. ඉහත පනේලයට මුහුණලා තවත් පනේලයක පල්ලව රජකු රාජතේජසින් යුතුව සිය බිසෝවරුන් දෙදෙනා සමගින් නිරූපිත ය. මෙහි පදවි නාමය "වික්‍රමාන්විත අධිරාජ මහේන්ද්‍ර-පෝට්ට" ලෙස සටහන් කොට ඇත. මෙම අභිලේඛන අනුව, පළමු පනේලයෙහි රාජසිංහ හෙවත් නරසිංහ විෂ්ණු රජු ද, දෙවන ඵලකයේ (සිටගත් රජු සිටින) ඔහුගේ පුත් IIIවන මහේන්ද්‍රවර්මන් ද නිරූපණය වේ යැයි සැලකේ.[8]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "General view of the entrance to the Varaha Cave Temple, Mamallapuram". British Library. සම්ප්‍රවේශය 22 February 2013.
  2. George Michell (1977). The Hindu Temple: An Introduction to Its Meaning and Forms. University of Chicago Press. pp. 81–. ISBN 978-0-226-53230-1. සම්ප්‍රවේශය 7 February 2013.
  3. "UNESCO Site 249 – Group of Monuments at Mahabalipuram" (PDF). UNESCO World Heritage Site. 1983-10-15. සම්ප්‍රවේශය 2009-05-18.
  4. 4.0 4.1 "General view of the entrance to the Varaha Cave Temple, Mamallapuram 10032213". Online Gallery of British Library. සම්ප්‍රවේශය 22 February 2013.
  5. P. V. Jagadisa Ayyar (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN 978-81-206-0151-2. සම්ප්‍රවේශය 7 February 2013.
  6. G. Jouveau-Dubreuil (1 December 1994). Pallava Antiquities – 2 Vols. Asian Educational Services. pp. 30–. ISBN 978-81-206-0571-8. සම්ප්‍රවේශය 3 January 2013.
  7. Trudy Ring; Robert M. Salkin; Sharon La Boda (1995). Asia and Oceania: International Dictionary of Historic Places. Taylor & Francis. pp. 912–. ISBN 978-1-884964-04-6. සම්ප්‍රවේශය 7 February 2013.
  8. 8.0 8.1 8.2 8.3 8.4 "Mahabalipuram – The Workshop of Pallavas – Part II". Adi-Varaha Perumal Cave Temple. Puratatva.in. සම්ප්‍රවේශය 23 February 2013.
  9. "Two drawings of sculpture at Mamallapuram". Online Gallery of British Library. සම්ප්‍රවේශය 22 February 2013.
  10. "Mahabalipuram". Art and Archaeology. සම්ප්‍රවේශය 9 January 2013.
  11. 11.0 11.1 Trudy Ring; Noelle Watson; Paul Schellinger (12 November 2012). Asia and Oceania: International Dictionary of Historic Places. Taylor & Francis. pp. 554–555, 912–. ISBN 978-1-884964-04-6. සම්ප්‍රවේශය 3 January 2013.
  12. V. Subburaj (1 December 2006). Tourist Guide to Chennai. Sura Books. p. 18. ISBN 978-81-7478-040-9. සම්ප්‍රවේශය 9 January 2013.
  13. Rina Kamath (1 September 2000). Chennai. Orient Blackswan. pp. 124–. ISBN 978-81-250-1378-5. සම්ප්‍රවේශය 7 February 2013.
  14. "Varaha Cave Temple". Frontline, India's National Magazine, the publishers of The Hindu. සම්ප්‍රවේශය 23 February 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 12°37′00″N 80°01′30″E / 12.6167°N 80.0250°E / 12.6167; 80.0250

"https://si.wikipedia.org/w/index.php?title=වරාහ_ලෙන්_දේවාලය&oldid=410055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි