වෙරළාන්ත දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(වෙරළාසන්න දේවාලය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
වෙරළාන්ත දේවාලය
Mamallapuram (167).jpg
වෙරළාන්ත දේවාල සංකීර්ණය
මූලික තොරතුරු
පිහිටීමමාමල්ලපුරම් හෙවත් මහාබලිපුරම්, කාංචිපුරම් දිස්ත්‍රික්කය
අනුබැඳියාවහින්දු ආගම
ජනපදයතමිල් නාඩු
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශිල්පය
නිර්මාපකනරසිංහවර්මන් II, පල්ලව රාජවංශය
වෙරළාන්ත දේවාලය, මහාබලිපුරම්
මහාබලිපුරම්හි වෙරළාන්ත දේවාලය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
Shore Temple (Detail of North Face, 2011-05-28).jpg
මාමල්ලපුරම් (මහාබලිපුරම්) හි වෙරළාන්ත දේවාලය (ක්‍රි.ව. 700–728)
Gopurum at Mahabalipuram.JPG
ගෝපුරය, මහාබලිපුරම්
Shore Temple - Deities.JPG
ශිව පාර්වතී දෙවිවරුන්
Idol inside miniature shrine, Shore Temple.jpg
කුඩා පූජාස්ථානයක්
118px
කුඩා කැටයම් කළ පූජාස්ථානයක් සහිත සිංහයකු සමග සිටින දුර්ගා
The Lord.JPG
වැතිරගත් ඉරියව්වෙන් සිටින විෂ්ණු
Shore Temple 8-3.jpg
ශෛලමය කැටයමක්

වෙරළාන්ත දේවාලය (නිර්මාණය ක්‍රි.ව. 700–728) එනම ලබා ඇත්තේ එය බෙංගාල බොක්කේ වෙරළ තීරයේ ඇතිවාක් මෙන් දිස්වන බැවිනි. ක්‍රි.ව. 8වන සියවසේ නිර්මාණය වූ මෙය ග්‍රැනයිට් කුට්ටි යොදාගෙන තැනූ දේවාලයකි‍. ‍මෙය ගොඩනගා ඇත්තේ ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ චෙන්නායිවලට දකුණින් පිහිටි මහාබලිපුරම් ගම්මානයේ බෙංගාල බොක්ක දෙසට නෙරා ගිය උස්වූ තුඩුවක් මත ය. මෙය නිර්මාණය වූ අවධියේ, එනම් පල්ලව රාජවංශයේ IIවන නරසිංහවර්මන් රජ සමයේ මෙම ගම්මානය කාර්යබහුල තොටුපළක්ව පැවතිණි.[1] මහාබලිපුරම් ස්මාරක සමූහයට අයත් එක් ස්මාරකයක් වන මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස වර්ගීකරණය කරන ලදී.[2] මෙය දකුණු ඉන්දියාවේ පිහිටි පැරණිතම ව්‍යූහමය ශෛලමය දේවාල අතුරින් (ගලෙහි-නෙළූ දේවාලවලට එදිරිව) එකක් ලෙස සැලකේ.[1]

භූගෝල විද්‍යාව[සංස්කරණය]

වෙරළාන්ත දේවාලය, එක් විශාල දෙවොලක් සහ කුඩා දෙවොලවල් දෙකක් වශයෙන් දේවාල තුනකින් සැදි දේවාල සංකීර්ණයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ දකුණු පසින් මහාබලිපුරම්හි පිහිටියේ ය. මහාබලිපුරම් අතීතයේ මාමල්ලපුරම් යනුවෙන් හැඳින්විණි. පල්ලව රාජවංශ සමයේ මෙය වරාය නගරයක් ලෙස පැවතිණි. එකල රාජධානියේ අගුනවර පිහිටා තිබූයේ කාංචිපුරම්හි ය. මෙය පල්ලව රාජවංශය විසින් ඉදිකරන ලද්දේ එය රාජවංශයේ වෙළඳ තොටුපළ ලෙස පැවති හෙයිනි.[3][4]

ඉතිහාසය[සංස්කරණය]

නාවිකයන් විසින් වෙරළාන්ත දේවාලය සප්ත පැගෝඩා ලෙස හඳුන්වා තිබේ. වෙරළ තීරයේ පිහිටි මෙම උසැති ගොඩනැගිල්ල ඈතට දිස්වූ හෙයින් එය යාත්‍රාකරණයේ දී මංසලකුණක් ලෙස භාවිතා විය. මෙය නාවිකයන්ට දැකපුරුදු පැගෝඩාවක් හෙවත් ස්තූපයක් මෙන් දිස්වූ හෙයින් එම නාමය භාවිතා වී ඇත.[5]

ක්‍රි.ව. 7වන සියවසේ මැදි භාගයේ Iවන නරසිංහවර්මන් (මාමල්ල ලෙස ප්‍රකට විය. මොහුගේ නාමය අනුව මාමල්ලපුරම් නම්කෙරිණි) රජු විසින් ලෙන් දේවාල සහ ඒකශිලා රථ තනමින් ආරම්භ කළ ගෘහනිර්මාණ ශෛලියේ උච්චස්ථානය මෙම දේවාල සංකීර්ණය තුළින් නිරූපණය වේ.[4][6] අතිරණචන්ද ලෙන, පිඩාරි රථ සහ ව්‍යාඝ්‍ර ලෙන වැනි ඇතුළට කැනීමේ සහ කලා ඉවත් කිරීමේ ක්‍රමවේදය අනුව තැනූ ව්‍යූහයන් මෙයට පසුකාලීන යුගයන්හි ඉදිවුව ද, වෙරළාන්ත දේවාල සංකීර්ණයේ ඇති විශිෂ්ට ගෘහනිර්මාණ ක්‍රමවේදයේ ගෞරවය පල්ලව රාජවංශයේ රාජසිංහ හෙවත් (ක්‍රි.ව. 700–728) හෙවත් IIවන නරසිංහවර්මන් රජුට හිමි වේ. වර්තමානය වන විට අනුමාන කෙරෙන්නේ මෙම දේවාල සංකීර්ණය වෙරළ තීරයේ ගිලී ගිය දේවාල සමුහය අතුරින් අවසන් දේවාලය බවයි. මේ බවට සාක්ෂි 2004 සුනාමියේ දී මෙහි සහෝදර දේවාලවල නටබුන් හමුවීමෙන් ‍ලැබේ.[3][7] වෙරළාන්ත දේවාලයේ ගෘහනිර්මාණ ශෛලිය පල්ලවයන් පරාජය කොට තමිල් නාඩුවේ පාලනය ගෙනගිය චෝළයන් විසින් ඉදිරි‍යට ගෙන යන ලදී.[8]

2004 දෙසැම්බර් සුනාමිය හේතුවෙන් කොරමැන්ඩල් වෙරළෙහි ඇද වැටුණු, සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් ගල් කුට්ටිවලින් තැනූ පැරණි දේවාලයක නටබුන් නිරාවරණය විය. මේ අනුව යුරෝපීයයන්ගේ දිනපොත්වල සඳහන් සප්ත පැගෝඩාවන්ගෙන් කොටසක් මහාබලිපුරම් වූ බවට වන මතය අලුත් විය. ඒ අනුව සෙසු දේවාල සය මුහුදෙන් යටවී ඇති බව පැවසිණි. සුනාමිය හේතුවෙන් 7වන සහ 8වන සියවස්වල පල්ලව යුගයේ දේවාලවල බිත්ති අලංකාර කිරීමට භාවිතා වූ සිංහ, හස්ති සහ මොනරුන්ගේ ප්‍රතිමා අනාවරණය විය.[9]

2004 දෙසැම්බර් 26 දින ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමියෙන් දේවාලයට අවට භූමිය යටවූ නමුත්, දේවාලයට ඉන් විශාල හානියක් සිදුනොවී ය. එයට හේතුව මිනිත්තු කිහිපයකට පසු සාගර ජල මට්ටම යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීමයි. සුනාමිය හේතුවෙන් දෙවොල ඉදිරිපිට පිහිටා තිබූ බලි පීඨය (පූජාසනය), බෝට්ටු ජැටිය වෙත වූ පියගැට සහ වෙරළාන්ත දේවාලයේ පාදමේ පිහිටා තිබූ වරාහ ප්‍රතිමාවක් සහිත කුඩා පුජාස්ථානයට හානි සිදු විය. දේවාලයේ අත්තිවාරම් දැඩි ග්‍රැනයිට් පාෂාණයෙන් තනා තිබූ බැවින්, සුනාමි තරංගවලින් එයට විශාල හානියක් සිදු වූයේ නැත. දේවාල භූමිය වටා පිහිටුවා තිබූ රළකඩන ද දේවාලයේ ආරක්ෂාවට ඉවහල් විය.[10]

කුඩා ශිව දේවාලයක ඵලකයකින් හමුවූ අභිලේඛන දෙකක් අනුව දේවාල තුනක නම් සඳහන් වේ. ඒවා ක්ෂත්‍රීයසිංහ පල්ලවේශ්වර-ගෘහම්, රාජසිංහ පල්ලවේශ්වර-ගෘහම් සහ පිලිකොණ්ඩරුලිය‍-දේවර් නම් විය. සම්පූර්ණ දේවාල සංකීර්ණයම ජලශයන (ජලයෙහි සැතපීගත්) යනුවෙන් හඳුන්වා ඇත. මේ අනුව සනාථ වන්නේ මෙහි කැනීමට ඇති පළමු පූජාස්ථානය විෂ්ණු පූජාස්ථානය බවයි. විෂ්ණු පූජාස්ථානයේ උඩළිපතෙහි වූ අභිලේඛනයේ ද මේ බව නරපතිසිංහ පල්ලව විෂ්ණු ගෘහ යනුවෙන් සඳහන් කරයි. මෙහි නරපතිසිංහ යනු රාජසිංහගේ පදවි නාමයකි.[5]

පුරාවිද්‍යාඥයකු විසින් නිරීක්ෂණය කොට ඇත්තේ: "දේවාලය මුහුදු වෙරළේ අන්තයේ නිර්මාණය කොට එය අනතුරුවලට භාජනය වන පරිදි තනා තිබීමෙන් නිර්මාණකරුවන් අස්වාභාවික බලවේග පිළිබඳ විශ්වාසය තබා ඇති බවට සැකයක් පවතින බවයි."[11]

ගොනුව:Kathak Danseuse Namrata Rai at Sea Shore Temple.jpg
කථක් නර්තන ශිල්පිනී නම්රිතා රායි වෙරළාන්ත දේවාලයේ දී

මාමල්ලපුරම් ඉන්දියානු නර්තන මංගල්‍යය[සංස්කරණය]

මාමල්ලපුරම් නර්තන මංගල්‍යය සෑම වර්ෂයක දෙසැම්බර්-ජනවාරි අතර කාලයේ තමිල් නාඩුවේ මාමල්ලපුරම්හි පැවැත්වේ. මෙම නර්තන මංගල්‍යය සංවිධානය කරනු ලබන්නේ තමිල් නාඩු රජයේ සංචාරක දෙපාර්තමේන්තුව විසිනි. භරතනාට්‍යම්, කුචිපුඩි, කථක්, ඕදිෂි, මෝහිනී අට්ටම් සහ කථකලී ප්‍රවීණ නිර්තන ශිල්පීන් අනර්ඝ පල්ලව ශෛලමය ප්‍රතිමා පසුබිමෙහි නර්තනයෙහි යෙදේ. අතිශයින් විචිත්‍ර නර්තන මංගල්‍යයක් වන මෙය මාසයක් පුරා පැවැත්වෙන අතර අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් මේ සමග සම්බන්ධ වේ.[12]

පුරාවෘත්තය[සංස්කරණය]

මූලිකව වෙරළාන්ත දේවාලය මහාබලිපුරම්හි සප්ත පැගෝඩා අතුරින් එකක් ලෙස හඳුනාගැනුණ ද, පුරාතන හින්දු පුරාවෘත්තයක් අනුව මෙම පැගෝඩාවන් හා සම්බන්ධ මිත්‍යාමය සම්භව කතා පුවතක් යෝජනා වී ඇත. හිරන්‍යකාසිපු කුමරු විෂ්ණු දේව වන්දනාව ප්‍රතික්ෂේප කළේ ය. කුමරුගේ පුත්‍රයා වූ ප්‍රහ්ලාද විෂ්ණු හට අතිශයින් ප්‍රිය කරමින් ගෞරව දැක්වූ අතර ඔහු සිය පියාගේ අවාසනාව පිළිබඳ විවේචනය කළේ ය. හිරන්‍යකාසිපු ප්‍රහ්ලාදව පිටුවහල් කළ අතර, පසුව සිය කෝපය අඩුවූ පසු ඔහුව සිය නිවස වෙත කැඳවී ය. පියා සහ පුත්‍රයා විෂ්ණුගේ ස්වභාවය පිළිබඳ වාදයක පැටලුණහ. විෂ්ණු සිය නිවසේ බිත්ති ඇතුළු සෑමතැනකම සිටින බවට ප්‍රාහ්ලාද පැවසීමත් සමග ඔහුගේ පියා කුළුණකට පා පහරක් එල්ලකළේ ය. අනතුරුව සිංහ හිසක් සහිත මිනිසකුගේ විලාසයෙන් කුළුණෙන් ඉස්මතු වූ විෂ්ණු හිරන්‍යකාසිපුව මරාදැමී ය. ක්‍රමයෙන් ප්‍රහ්ලාද රජු බවට පත් වූ අතර ඔහුට බලි නම් මුණුපරකු විය. බලි විසින් මෙම භූමියේ මහාබලිපුරම් ගොඩනගන ලදී.

මහාබලිපුරම්හි ස්මාරකවල වූ විශිෂ්ටභාවය කෙරෙහි දෙවිවරුන් ඊර්ෂ්‍යාවෙන් පසුවූ බව පුරාණෝක්තිවල සඳහන් වේ. ඔවුන් විසින් ජලගැලුම් ඇති කළ අතර ඒ හේතුවෙන් නගරයේ බොහෝ ප්‍රදේශ මුහුදෙන් යට විය. වර්තමානයේ දක්නට ඇති ස්මාරක ස්වල්පය වැනි සුළු ගොඩනැගිලි ප්‍රමාණයක් ඉන් ශේෂ වූ බැව් කියැවේ..[9]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

සැලැස්ම[සංස්කරණය]

ඉන්දියාවේ මහාබලිපුරම්හි වෙරළාන්ත දේවාලය

වෙරළාන්ත දේවාල සංකීර්ණයේ දේවාල තුනම තනා ඇත්තේ එකම වේදිකාව මත ය. උතුරු අන්තයෙන් බැලූ විට දේවාල ධර්මරාජ රථයේ පිටපතක් මෙන් දිස්වේ.[5] නැගෙනහිරට මුහුණලා පිහිටි ප්‍රධාන වෙරළාන්ත දේවාලයේ ප්‍රධාන දේවතාවා වන ශිව ලිංගය වෙත හිරු කිරණ පතිත වේ. මෙම භූමියෙහි පිහිටි ගලෙන් නෙළූ සෙසු ස්මාරක මෙන් නොව, මෙය ගල් කුට්ටි යොදා ගොඩනැගූ මහල් පහකින් යුත් හින්දු දේවාලයකි. යාබද ගල් වැඩපළකින් රැගෙන ආ කැටයම් කළ ග්‍රැනයිට් ගල් කුට්ටිවලින් මෙය තනා තිබේ. මෙය දකුණු ඉන්දියාවේ පිහිටි පැරණිතම වැදගත් ව්‍යූහාත්මක දේවාලය වේ. මෙහි පිරමිඩාකාර ව්‍යූහය අඩි 60ක් (18 m) උසින් යුතු වන අතර, එය ගොඩනගා ඇත්තේ අඩි 50 (15 m) සමචතුරස්‍රාකාර වේදිකාවක් මත ය. මෙහි ඉදිරිපස පිහිටි කුඩා දෙවොල සැබැවින්ම මෙහි මුල් ද්වාරමණ්ඩපය විය.[13][14] මෙය ද ගොඩනගා ඇත්තේ මනාව කැපූ දේශීය ග්‍රැනයිට්වලිනි.[15] වෙරළාන්ත දේවාලය ජනප්‍රියම දේවාල අතුරින් එකක් ද වේ. මෑතකාලීන කැනීම් කටයුතුවල දී වැලි යට සැඟව තිබූ නව ව්‍යූහයන් ගණනාවක්ම අනාවරණය විය.[14][16]

දේවාලය පූජාස්ථාන තුනකින් සමන්විත ය. ප්‍රධාන පූජාස්ථානය සහ කුඩා දෙන පූජාස්ථානය ශිව දෙවියන්ට පුදකළ ඒවා වේ. ‍කුඩා තෙවන පූජාස්ථානය වැතිරගත් විෂ්ණුහට පුදකොට ඇති අතර, ඇතැම්විට එහි විෂ්ණු පූජාස්ථානයට ඇතුළුවන අයුරින් ජල සම්පාදනයක් සිදුවන්නට ද ඇත. ශිව පූජාස්ථාන ද්විත්වය ප්‍රලම්බ හැඩයක් ගනියි. මෙහි ප්‍රවේශය තීර්යක් අඹරා වහලක් සහිත ගෝපුරයක් ලෙසින් වේ. එහි ශිඛර ද්විත්වය පිරමිඩාකාර සැලැස්මකින් යුතු අතර, එහි සෑම ස්තරයක්ම නෙරා ඇති අගුවලින් සමන්විත ය. මේ නිසා අඳුරු පැහැ සෙවණැලි ඇති වේ.[1] විෂ්ණු පූජාස්ථානයේ පිටත බිත්තිය සහ සීමා ප්‍රාකාරයේ ඇතුළත පෙදෙස අතිශයින් කැටයමින් විසිතුරු කොට ඇති අතර, එහි මුදුනේ නන්දි ගව‍යාගේ විශාල ප්‍රතිමා රැසක් දැකගත හැක.[13] දේවාලයේ පිටත බිත්ති නෙරි කුළුණු මගින් වෙන්කොට ඇති අතර, ඒවායේ පහළ පෙදෙස්වල සිටගත් සිංහ රූ ගණනාව්ක කැටයම් කොට ඇත.[17] දේවාලයේ බිත්තිවල නන්දි ගවයාගේ විශාල ප්‍රතිමා දක්නට ලැබේ.[18]

ලක්ෂණ[සංස්කරණය]

ශිව, උමා සහ ඔවුන්ගේ පුත් ස්කන්ධ දැක්වෙන ශිවස්කන්ධ පනේලය

දේවාලයේ ගර්භගෘහය තුළ ශිවලිංගය තැන්පත් කොට ඇත. ඝනකම් පිටත බිත්තිය සහ කුඩා මණ්ඩපය අතර වූ අවකාශය ප්‍රදක්ෂිණා කටයුතු සඳහා භාවිතා වන්නට ඇත. එහි පසුපසින් ප්‍රතිවිරුද්ධ දිශාවලට මුහුණලා ඉදිකළ කුඩා පූජාස්ථාන දෙකකි. ක්ෂත්‍රීයසිංහේශ්වර වෙනුවෙන් පුදකළ ඇතුළු පූජාසනය වෙත ගමන්කළ යුත්තේ පැසේජයක් තුළිනි. විෂ්ණු හට පුදකළ අනෙක් පූජාස්ථානය පිටතට මුහුණලා පිහිටා ඇත. සිය සිංහ වාහනය මත අසුන්ගත් දුර්ගා‍ගේ රුවක් ද දැකගත හැක. මෙහි සිංහ රුවේ ලයෙහි කුටීරයක් ලෙස කුඩා පූජාසනයක් තනා ඇත.[14]

වෙරළාන්ත දේවාලය තුළ ශිව පූජාස්ථාන දෙකක් සහ ඒ අතරමැද කුඩා විෂ්ණු පූජාස්ථානයක් තනා තිබීම තුළින් වෙනස්, තරගකාරී ආගමික සම්ප්‍රදායයන් සංසිඳුවීමට ගත් උත්සාහය වටහාගත හැක.[1]

දේවාලවල පියැසි පංච රථවලට සමාන අයුරින් අලංකාර කොට ඇත. පියැසිවල මුදුනේ කොතක් වැනි ව්‍යූහයක් වේ. මෙමගින් එහි වූ ආගමික ස්වභාවයත්, එය සම්පූර්ණ කළ දේවාලයක් බවත් වටහාගත හැක. ශිව වෙනුවෙන් පුදකළ පූජාස්ථාන ද්විත්වයෙහි ශිඛරවල ඇති අෂ්ටාස්‍රාකාර ස්වභාවය හේතුවෙන් එය ද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශෛලියට අයත් බව පෙන්නුම් කරයි.[5] කුළුණුවලට පහළින් සිද්ධස්ථානයේ බිත්ති බොහෝමයක් කැටයම්වලින් තොර හිස් ස්වභාවයක් ගන්නා නමුත්, කුළුණුවල පාදම සිංහ කැටයම්වලින් අලංකාර කොට ඇත.[19] මෙම පූජාස්ථානවල පිටත මුහුණවත්වල මෝස්තර පංච රථවල දක්නට ලැබෙන මෝස්තරවලට සමාන ය. නමුත් මෙම‍ දෙවොල මුහුදට සමීපව පිහිටීම නිසා ලවණ මිශ්‍ර සුළඟ හේතුවෙන් මෙම කැටයම් තරමක් ඛාදනය වී ඇත.[18]

දේවාලයේ දක්නට ලැබෙන වඩාත් සුවිශේෂී ලක්ෂණ ලෙස නැගෙනහිරට මුහුණලා පිහිටි ක්ෂත්‍රීයසිංහේශ්වර දේවාලයේ ගර්භගෘහයේ ඇතුළත බිත්තිවල කැටයම් කොට ඇති සෝමස්කන්ධ පනේලය සහ ධරලිංගය සැලකේ. ධරලිංගය ගර්භගෘහය තුළ වන්දනාවට පාත්‍ර වූ අතර, අඩි 12 (3.7 m) ප්‍රමාණයේ සමචතුරස්‍රයක හැඩය ගන්නා අතර එහි උස අඩි 11 (3.4 m) කි. ධරලිංගය හෙවත් ශිවලිංගය රාජසිංහ ශෛලියෙන් යුතුව නිමවා ඇති අතර, එය කළු බැසෝල්ට් පාෂාණයෙන් කැටයම් කොට ඇත. මෙහි මුහුණත් දහසයක් ඇති අතර, මුදුනේ කිරුළක් ගොඩනැගෙන පිරිදි එහි රැළි යොදා ඇත. ලිංගයේ මුදුන හානි වී ඇත. එහි සම්පූර්ණ උස අඩි 6ක් (1.8 m) වන අතර, අඩියක ප්‍රමාණයක් අත්තිවාරම තුළ ගිල්වා ඇත්තේ ස්ථායී බව රැකගැනීම උදෙසායි.[5] දේවාලයේ කුඩා පූජාස්ථානයක වූ පාෂාණමය පුවරුක ශිව ඔහුගේ දේවිය වූ පාර්වතී සහ ඔවුන්ගේ දරුවා වන කාර්තිකේය නිරූපිත අල්ප-උන්නත කැටයමක් දක්නට ලැබේ. මෙම ශිලා කැටයම සෝමස්කන්ධ පනේලය ලෙස හඳුන්වයි. මෙයට සමාන තවත් පනේල දෙකක් දේවාලයේ ප්‍රවේශ ආරුක්කුවේ දැකගත හැක. මෙවැනි පනේලයක් පරමේස්වරවර්මන්ගේ යුගයට අයත්, යාබදව පිහිටි ධර්මරාජ රථයෙන් ද හමුවේ.[5][20][21] ගර්භගෘහයට පිවිසීමට පෙර හමුවන පළමු කුටීරය වන අර්ධමණ්ඩපය තුළ දකුණු පසින් බ්‍රහ්මගේ ප්‍රතිමාවක් වේ. එහි උතුරු බිත්තියේ විෂ්ණුගේ රුව දැකගත හැක. ශිව ත්‍රිපුරන්ථක ලෙසින් සිටින රුවක් සහ දුර්ගාගේ රුව ප්‍රධාන පූජාස්ථානයේ උතුරු බිත්තියේ පසුපස දැකගත හැක. ප්‍රධාන පූජාස්ථානය වටා පැදකුණු කළ හැකි ප්‍රදක්ෂිණා පථයක් ද වේ.[5]

ප්‍රධාන දේවාලයට පසුපසින් වූ කුඩා ශිව දේවාලය මහල් දෙකකින් යුත් ව්‍යූහයක් වන අතර, එය වක්‍රාකාර ග්‍රිවයක් වටා අෂ්ටාස්‍රාකාර ශිඛරයක් සහිත පිරමිඩාකාර පේසාමය ව්‍යූහයකි. කලසක් සහ කොතක් ශිඛරයට ඉහළින් සවිකොට ඇත. බිත්ති ශීර්ෂවල වූ කූඩු (අශ්ව ලාඩම් හැඩැති අරුක්කුමය නෙරුම්) සහ කුඩා පූජාස්ථාන ව්‍යූහයේ සෑම මට්ටමකම දක්නට ලැබේ. ඇතුළු ඵූජාස්ථානයේ පසුපස බිත්තිය සෝමස්කන්ධ පනේලයක් මගින් විසිතුරු වී ඇත. මෙම පූජාස්ථානය ඉදිරිපිට මණ්ඩපයක් දැකගත හැකි නොවේ. (ඇතැම්විට විනාශ වන්නට ඇත) පිටත බිත්තිවල පනේල දෙකක් දැකගත හැක. ඉන් එකක් ඒකපාදමූර්ති නම්‍ වේ. මෙහි ශිව, බ්‍රහ්ම සහ විෂ්ණු නිරූපිත ය. දෙවන පනේලය තුළ පෙන පහක් සහිත නාගයකුගේ සෙවණ යට සිටින නාගරාජයකු දැක්වේ.[5]

අනන්ශායී විෂ්ණු (අනන්ත නාගයා මත වැතිරගත් විෂ්ණුගේ හිඳි ඉරියව්ව) රුව විශාල ක්ෂත්‍රීයසිංහේශ්වර දේවාලය සහ රාජසිංහ පල්ලවේශ්වර දේවාලය අතර වූ කුඩා ඍජුකෝණාස්‍රාකාර පූජාස්ථානයක් තුළ කැටයම් කොට ඇත. විෂ්ණුහට අත් සතරක් ඇති නමුත්, ඒවායේ දරා තිබූ දෑ දක්නට නැත. (විනාශ වී ඇත) දේවාල ව්‍යූහයේ ඍජුකෝණාස්‍රාකාර ශිඛරය ද දක්නට නැත. දර්ශීය කූඩු මෝස්තර සහ කුඩා සමචතුරස්‍රාකාර පූජාස්ථාන මෙහි බිත්තිශිර්ෂයේ කොටසකි. බාහිර බිත්තිවල ක්‍රිෂ්ණා විසින් කේසි අසුරයාව වනසා දමන අයුරු සහ ක්‍රිෂ්ණා කාලිය (පෙන සතක් ඇති නාගයා) සමග නර්තනයෙහි යෙදෙන අයුරුත් නිරූපිත ය. එහිම කිඹුලකුගේ මුඛයෙන් ගජේන්ද්‍ර (හස්තියකු) මුදාගන්නා විෂ්ණු ගරුඩා මත හිඳ සිටිනු දක්නට ලැබේ. මෙහි උඩළිපතේ වූ පල්ලව ග්‍රන්ථ අක්ෂරවලින් යුත් අභිලේඛනය අනුව පෙනීයන්නේ මෙය දේවාල සංකීර්ණයේ පැරණිතම පූජාස්ථානය බවයි.[5]

දේවාල වටකොට පිහිටි සමස්ත අංගණ ප්‍රාකාරය ශිවගේ වාහනය වන නන්දි ගවයාගේ විශාල ප්‍රතිමාවලින් අලංකාර කොට ඇත.[18] එහි යාලි සහ වරාහ රූ ද දැකගත හැක.[10]

සිංහ ඒකශිලාව[සංස්කරණය]

දේවාල සංකීර්ණයේ අංගණ ප්‍රාකාරය ඇතුළත ක‍ඳෙහි ජිද්‍රයක් සහිතව අර්ධ වශයෙන් කැටයම් කළ සිංහයකුගේ ප්‍රතිමාවක් දැකගත හැක. මෙම රූපයේ පසුපස දුර්ගාගේ කුඩා රූපයක් කැටයම් කොට ඇත. මෙමගින් දුර්ගාගේ මහීෂාසුරමර්දිනී ස්වරූපය නිරූපණය වේ. සිංහයාගේ විවෘත මුඛය තුළින් දුර්ගාගේ ප්‍රියතම වාහනය වශයෙන් සිංහයාගේ කාර්යභාරය පෙන්වා දී ඇත. සිංහයාගේ පාදයක් මත දුන්නක් අතැති ආරක්ෂිකාවකගේ රුවක් ද වේ.[5]

ක්ෂුද්‍ර පූජාස්ථානය[සංස්කරණය]

වෙරළාන්ත දේවාල සංකීර්ණයේ ඇති ක්ෂුද්‍ර පූජාස්ථානය

1990දී, ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI) විසින් ළිඳක ආකාරයේ ස්ථානයක් තුළ පැවති භූවරාහගේ රුව සහිත ක්ෂුද්‍ර පූජාස්ථානයක් සොයාගන්නා ලදී. මෙය පල්ලව රජ නරසිංහවර්මන් මාමල්ල (ක්‍රි.ව. 638–660) රාජ්‍ය සමයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. මෙය වටා රාජසිංහ (ක්‍රි.ව. 700-728) සමයේ ඉදිකළ ඉලිප්සාකාර ළිඳක් දක්නට ලැබේ. මේවා මව් පාෂාණය මත කැටයම් කොට ඇති අතර, වෙරළාන්ත දේවාල සංකීර්ණයේ ඇති වැතිරගත් විෂ්ණු රුව ද එවැන්නකි.[22] මෙම ක්ෂුද්‍ර පූජාස්ථානය ද ශිව කැපකළ එකකි. මෙහි පැති දහසයක් සහිත පාදම ද මව් පාෂාණයෙන් කැටයම් කළ එකකි. මෙහි වක්‍රාකාර බිත්තිය සහ උපරිව්‍යූහය ව්‍යූහාත්මක වර්ගයේ ඒවා වේ. මෙහි නෙරි කුළුණු මත සිංහ රූ දැකගත හැක. මෙය එයටම අනන්‍ය වූ තනි මහල් දේවාලයක් වූ බවත්, එය පල්ලව යුගයේ වෙනත් දේවාලවල දක්නට නොලැබෙන්නක් බවත් වාර්තා වේ. මෙහි වක්‍රාකාර ශිඛරය වේසර ශෛලියෙන් යුතු ය. ශිඛරය පිහිටුවා ඇත්තේ වක්‍රාකාර ග්‍රිවයක් මත වන අතර එහි සතර පැත්තේ කූඩු සහ මහා-නාසික දැකගත හැක. මේ සෑම නාසිකාවකම ගනේෂගේ රුව දැකගත හැක. ශිඛරයට ඉහළින් වූ කලස දක්නට නැත.[5] භූවරාහ කැටයම මගින් වරාහ හෙවත් වල් ඌරකු ලෙසින් විෂ්ණුගේ නැවත උපතක් නිරූපණය වේ. මෙම රුව අසාමාන්‍ය ස්වරූපයකින් යුක්ත ය. රටේ අනෙක් ප්‍රදේශවලින් හමුවන වරාහ රූ‍ මෙන් නොව, මෙහි භූදේවියගේ හෝ සාගරයේ රූප දක්නට නැත. මෙම කැටයම මගින් වරාහයා සාගරයේ පිහිනා යමින් භූදේවිය හෙවත් පෘථිවි මාතාව මුදාගැනීමට දරන උත්සාහය නිරූපණය වේ. මෙම සංකේතවාදය පුරාණෝක්තිය අදහස් කරන්නේ මෙම දේවාලය සාගර ජලයට යටවී පැවතියේ නම් පමණි.[5] මෙම ප්‍රතිමාව කැඩී ගොස් ඇති අතර, එහි පාදමේ පල්ලව රජකු වන රාජසිංහගේ පදවි නාම ඇතුළත් අභිලේඛනයක් දැකගත හැක. පූජාස්ථානයට වටා ඇති බිත්ති මගින් මුහුදෙන් වැලි රැගෙන ඒම වැළකුණු අතර, එහි ද ඉහළම ස්තරයේ අභිලේඛනයක් දැකගත හැක. පල්ලව-ග්‍රන්ථ අක්ෂරවලින් යුතු මෙහි රජුව අර්ජුන හා සමාන කොට දක්වා ඇත.[5][22]

සංරක්ෂණය[සංස්කරණය]

ASI මගින් වෙරළාන්ත දේවාලය වටාම දිය කඩන පවුරක් ඉදිකොට ඇත්තේ දේවාලයට තවදුරටත් සිදුවන හානිය අවම කිරීමටයි.[5] රළු මුහුද සහ ලවණ මිශ්‍ර සුළං මගින් හානි වූ දේවාල ව්‍යූහවලට ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කොට ඇති අතර, එහි දී ඛාදන වාරක ඉදිකිරීම, බිත්ති කඩදාසි පල්පයකින් පිරියම් කිරීම සහ වෙරළ තීරය දිගේ ඇතැම් ශාක විශේෂ රෝපණය කිරීම සිදුවේ. මෙම පල්ප පිරියම හේතුවෙන් ලවණ ජලය අවශෝෂණය කරයි. මීට අමතරව පාෂාණය තුළට ජලය කාන්දු වීම වැළැක්වීමට රසායනික ප්‍රතිකර්ම ද යොදා ඇත. මෙම ආකාරයේ ප්‍රතිකර්ම මගින් පාෂාණ තුළ තැන්පත්ව තිබූ ජලය ඉවත් කොට එහි ශක්තිමත්භාවය රැකගැනීම ද අරමුණු කෙරිණි. වෙරළාන්ත දේවාලය වටා භූමි අලංකරණය ද සිදු වේ. පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ උද්‍යාන අංශය මගින් වෙරළාන්ත දේවාලය වටා අක්කර 11ක (හෙක්ටයාර 4.4) තෘණ වගාවක් නිර්මාණය කොට ඇත. මීට අමතරව මෙම අලංකරණ වැඩපිළිවෙල තුළ ස්මාරක අවට තොරතුරු පුවරු සවි කිරීම සහ ජල මල් සවි කිරීම ද සිදු වේ.[11]

මේවාත් බලන්න[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 Frank Ching; Mark Jarzombek; Vikramaditya Prakash (2007). A Global History of Architecture. New York: John Wiley and Sons. පිටු 274. ISBN 0-471-26892-5. 
  2. "Group of Monuments at Mahabalipuram". World Heritage. සම්ප්‍රවේශය 2007-02-08. 
  3. 3.0 3.1 "World Heritage Sites – Mahabalipuram: Group of Monuments Mahabalipuram (1984), Tamil Nadu". Archaeological Survey of India by National Informatics Centre. සම්ප්‍රවේශය 30 December 2012. 
  4. 4.0 4.1 "The Shore Temple,Mamallapuram". Onlinenu Library of Encyclopædia Britannica. සම්ප්‍රවේශය 30 December 2012. 
  5. 5.00 5.01 5.02 5.03 5.04 5.05 5.06 5.07 5.08 5.09 5.10 5.11 5.12 5.13 "Mahabalipuram – The Workshop of Pallavas – Part V". Shore Temple. Puratatva.com. 14 September 2010. සම්ප්‍රවේශය 27 February 2013. 
  6. "Shore Temple". Great Buildings.com. සම්ප්‍රවේශය 30 December 2012. 
  7. "Arjuna's Penance". සම්ප්‍රවේශය 30 December 2012. 
  8. "Mahabalipuram". USCLA Education, South Asia. සම්ප්‍රවේශය 2 30 December 2012.  Check date values in: |access-date= (help)
  9. 9.0 9.1 National Geographic (21 October 2008). Sacred Places of a Lifetime: 500 of the World's Most Peaceful and Powerful Destinations. National Geographic Books. පිටු 154–. ISBN 978-1-4262-0336-7. https://books.google.com/books?id=jNqDFSxR8-MC&pg=PA154. Retrieved 7 February 2013.  උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Geographic2008" defined multiple times with different content
  10. 10.0 10.1 "The Shore Temple stands its ground". The Hindu. 30 December 2004. සම්ප්‍රවේශය 30 December 2012. 
  11. 11.0 11.1 "A monumental effort". Front Line India's National Magazine from the publishers of The Hindu. 8 November 2003. සම්ප්‍රවේශය 27 February 2013. 
  12. http://www.webindia123.com/festival/dance/mamalla.htm
  13. 13.0 13.1 "Shore Temple". GreatBuildings. Artifice. සම්ප්‍රවේශය 2007-02-08. 
  14. 14.0 14.1 14.2 "Shore Temple". art-and-archaeology.com. සම්ප්‍රවේශය 2007-02-08. 
  15. Binda Thapar (2004). Introduction to Indian Architecture. Singapore: Periplus Edition. පිටු 51. ISBN 0-7946-0011-5. 
  16. "The Shore Temple stands its ground". Chennai, India: The Hindu. 2004-12-30. සම්ප්‍රවේශය 2007-02-08. 
  17. George Michael (198). The Hindu Temple. Chicago, Illinois: University of Chicago. පිටු 134–135. ISBN 0-226-53230-5. 
  18. 18.0 18.1 18.2 "Shore TempleMamallapuram". Art and Archaeology.com. සම්ප්‍රවේශය 27 February 2013. 
  19. "Mamallapuram". Art and Archaeology.com. සම්ප්‍රවේශය 30 December 2012. 
  20. "Somaskanda". Art and Archaeology.com. සම්ප්‍රවේශය 27 February 2013. 
  21. Rajeshwari Ghose (1 January 1996). The Lord of Ārūr: The Tyāgarāja Cult in Tamilnāḍu : a Study in Conflict and Accommodation. Motilal Banarsidass Publ.. පිටු 12, 36–. ISBN 978-81-208-1391-5. https://books.google.com/books?id=ORwNmkDswqwC&pg=PA36. Retrieved 27 February 2013. 
  22. 22.0 22.1 "World Heritage Sites – Mahabalipuram – Excavated Remains". Archaeological Survey of India through National Informatics Centre. සම්ප්‍රවේශය 27 February 2013.  උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Excavate" defined multiple times with different content

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වෙරළාන්ත_දේවාලය&oldid=412558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි