ආකාශ ගංගාවරෝහණය (මහාබලිපුරම්)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
උන්නත කැටයමේ සමීප දසුනක්
ආකාශ ගංගාවරෝහණය
ආකාශ ගංගාවරෝහණය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමයGroup of Monuments at Mahabalipuram
පිහිටීමභාරත ජනරජය විකිදත්ත සංස්කරණය කරන්න
ඛණ්ඩාංක12°37′00″N 80°11′30″E / 12.6167°N 80.1917°E / 12.6167; 80.1917
නිර්ණායකCultural: i, ii, iii, vi
සමුද්දේශ249
අභිලේඛනය1984 (8වන සැසිය)

ආකාශ ගංගාවරෝහණය යනුවෙන් හඳුන්වන්නේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම්හි පිහිටි ස්මාරකයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. අඩි 96 x අඩි 43 (29m x 13m) ප්‍රමාණයෙන් යුතු මෙය ඒකශිලාවන් දෙකක සීමාවේ නිර්මිත දැවැන්ත එළිමහන් ශෛලමය උන්නත කැටයමකි. මෙම අල්ප උන්නත කැටයම මගින් භගීරථගේ මූලිකත්වයෙන් පූජනීය ගංගා නදිය දෙව්ලොව සිට පෘථිවිය කරා අවරෝහණය වීම පිළිබඳ පුරාවෘත්තය නිරූපණය වේ. ගංගා නදියේ ජලය සතුව අද්භූත බලයක් ඇතැයි විශ්වාසයක් පවතියි. ආකාශ ගංගාවරෝහණය සහ අර්ජුනගේ තපස යන දර්ශන මෙම පල්ලව උරුම අඩවියෙහි නැටය්ම කොට ඇත.[1][2] මෙම කැටයම ඉන්දියාවේ අනෙක් ප්‍රදේශවල දක්නට නොලැබෙන විශිෂ්ටතම ශෛලම කලා නිර්මාණයක් ලෙස සැලකේ.[3] මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරුණු මහාබලිපුරම් ස්මාරක සමූහය අතුරින් එකකි.[4]

භූගෝල විද්‍යාව[සංස්කරණය]

අර්ජුන අල්ප-උන්නත කැටයම මහාබලිපුරම්හි මධ්‍යයේ පිහිටා ඇති අතර, එය ‍බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ සිට ස්වල්ප දුරකින් මුහුද දෙසට මුහුණලා පිහිටියේ ය. වෙරළාසන්න දේවාලය පිහිටියේ ද මෙහි ය. මෙම ස්ථානය වෙත චෙන්නායි නගරයේ සිට බටහිරින් වූ මාර්ගයේ සිට සැතපුම් 36කට (58 km) අධික දුරක් සහිත අතර, චෙංගල්පෙට් සිට සැතපුම් 20ක (32 km) දුරක් ඇත.[5]

ඉතිහාසය[සංස්කරණය]

මෙම කැටයම නිර්මාණය කොට ඇත්තේ බුදු දහම අභිබවා හින්දු ආගම ලද ජයග්‍රහණය සැමරීම පිණිසයි. වර්තමානයේ මහාබලිපුරම් යනුවෙන් හඳුන්වන ප්‍රදේශය ‍මුලින් හඳුන්වා ඇත්තේ පල්ලව රාජවංශයේ (ක්‍රි.ව. 4සිට 9වන සියවස් තෙක් පාලනය ගෙන ගිය) Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630–668) රජුගේ විරුද නාමයක් වූ[6] මාමල්ලන් හෙවත් "මහා මල්ලවයා" යන නාමය ඇසුරෙනි. ඔහුගේ පියා වූ Iවන මහේන්ද්‍රවර්මන් රජු ජෛන ආගම අත්හැර හින්දු ආගම වැළඳගත් තැනැත්තෙකි. මාමල්ලපුරම්හි ගෘහනිර්මාණ වැඩි ප්‍රමාණයක් 7වන සියවසේ මාමල්ල යුගයට අයත් යැයි සැලකේ. මෙකල පිහිටි ගලෙහිම පෘෂ්ඨ කැටයම්කරණය සඳයොදාගන්නා ලදී. ඒ වනතෙක් නිර්මාණකරණය සඳහා යොදාගෙන තිබුණේ දැව හෝ ලිහිල් පාෂාණ වැනි මාධ්‍යයන් ය.[6][7] මෙය ඉන්දියාවේ යුනෙස්කෝ ලෝක උරුම අඩවි 25 අතුරින් එකකි.[8] ආරක්ෂිත ස්මාරකයක් වන මෙහි සියලු නඩත්තු කටයුතු ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI) විසින් චෙන්නායි කවය වෙත පවරා ඇත. මෙහි දක්නට ලැබෙන විවෘත අල්ප-උන්නත කැටයම් (ආකාශ ගංගාවරෝහණය ද ඇතුළුව) යුනෙස්කෝව විසින් 1984දී මහාබලිපුරම් ස්මාරක සමූහය යටතේ හඳුනාගත් ලෝක උරුම අඩවි ප්‍රවර්ග හතරෙන් එකක් ද වේ.[4][9] මෙම අල්ප-උන්නත ශෛලමය කැටයම් 7වන සියවසේ ආදි "උත්කෘෂ්ඨ" කැටයමක් ලෙස වාර්තා වේ. පල්ලවය්නගේ අනුප්‍රාප්තික රාජවංශයක් වූ චෝළයන් පවා දේවාල කැටයම් ක්‍රමවේදය අනුගමනය කළ ද, ඔවුන් දේවාල ඉදිකළේ 9වන සියවසේ පසු කාලයේ ය. මෙම පල්ලව රාජවංශයේ උරුමය එම යුගයේ ප්‍රතිමාකරුවන්ගෙන් පැවතෙන්නන් විසින් ඉදිරියට ගෙන යන ලදී. වර්තමානය වන විට, එය නගරයේ සංස්කෘතියේම අංගයක් බවට පත්වී ඇත.[10]

සැලැස්ම[සංස්කරණය]

මහාබලිපුරම්හි හාත්පස දර්ශනය

මෙම අනන්‍ය අල්ප-උන්නත කැටයම නැගෙනිහරට මුහුණලා පිහිටා ඇත. මහා කෞශල්‍යයකින් යුතුව නිමවා ඇති මෙය විවෘත පරිසරයේ දැවැන්ත රෝස ග්‍රැනයිට් පර්වත දෙකක කැටයම් කොට ඇත්තේ ස්වාභාවික දර්ශනයක් මවමිනි.[11] මෙම ගල් පර්වත 15 m x 30 m (අඩි 49 x අඩි 98) යන මිනුම්වලින් යුක්ත ය. මින් බොහෝ ප්‍රතිමා ජීව ප්‍රමාණයෙන් යුතුව කැටයම් කොට ඇත. මෙහි ස්වාභාවික පැල්ම, එනම් ලම්බාකාර බෙත්ම දක්ෂ ලෙස කැටයම් කොට ඇත. එය පර්වත දෙක අතර පිහිටා ඇති අතර, එය සම්පූර්ණ පාෂාණයේම නිර්මිත මිත්‍යාමය කථා පුවතේම කොටසක් ලෙස දැක්වේ. ගංගා නදිය සංකේතවත් කිරීමට ජලය මුදාහැරීම සඳහා මෙහි පර්වතය මුදුනේ ජල ටැංකියක් තිබී ඇත. එය පර්වතයේ පැල්ම ඔස්සේ ගලාහැළුණු අතර එමගින් ගංගා නදිය ශිවගේ හිසෙහි බැඳි වර්ණකවලින් ඇදහැළෙනු මවාපෑවේ ය. මෙම දර්ශනය උත්සව අවස්ථාවල දී නිර්මාණය කෙරුණු අතර, පර්වතයේ පැල්මේ මුදුනෙහි ගඩොලින් තැනූ ජල භාජනයක් තිබීමෙන් ජලය මුදාහැරීමට ගත් උත්සාහය පිළිබඳ සාක්ෂි ලැබේ. මෙම අල්ප උන්නත කැටයමෙහි රූප සියයකට වඩා (146ක් සඳහන් කොට ඇත) දක්නට ලැබෙන අතර, ඒ අතර දේව රූප, මිනිසුන්, අර්ධ-මිනිසුන් සහ සත්ත්ව රූප ද වේ.[2][3][12][13][14]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

කැටයම් පුවරුවක් නරඹන ස්ත්‍රීන් පිරිසක්

ගිරි කුල බෙදා ඇති පැල්මෙහි කැටයම් කොට ඇති ප්‍රතිමාවලින් ශිවගේ නියෝගය මත ගංගා නදිය පෘථිවිය වෙත අවරෝහණය වූ විශ්වීය පුවත (ශිව වන්දනාව හා සම්බන්ධ ජනප්‍රිය කතා පුවතකි) මෙන්ම මෙම දර්ශනය නරඹන දෙවිවරුන්, ‍දේවතාවියන්, මිත්‍යා රූ වන කින්නර, ගාන්ධර්ව, අප්සරා, ගණ, නාගයින් සහ ගෘහස්ථ හා වන සත්ත්වයින්ගේ රූ ද නිරූපණය වේ. මෙම කැටයම වෙත බොහෝ අවස්ථාවල දී "ලෝක ප්‍රකට" සහ “අනන්‍ය කලා ජයග්‍රහණයක්” වැනි අත්‍යුක්තියන් භාවිතා කෙරේ. මෙහි සම්පූර්ණ කැටයම් සංඛ්‍යාව 146ක් පමණ වේ යැයි සැලකේ.[3][4][15] මෙම විවෘත අල්පෝන්නත කැටයමේ දැක්වෙන හස්ති රූප ද ජීව ප්‍රමාණයෙන් යුතු වන අතර, එ ඉන්දියාවේ හොඳම සත්ත්ව කැටයම ලෙස සැලකේ. මෙහි ඇති තවත් සිනහ උපදවන දර්ශනයක් වනුයේ ඍෂිවරුන්ගේ යෝගී ඉරියව් අනුකරණය කරන වඳුරන් නිරූපිත කැටයම් ය.[13][16] ශිවගේ රුව කින්නර රූපවලට යාබදව දක්යා ඇත. මෙම කින්නර රූ විශාල සංඛ්‍යාවක් කැටයමෙහි ඉහළ කොටසේ දැකගත හැක. මෙම රූ අර්ධ මිනිස්, අර්ධ පක්ෂි ලක්ෂණ සහිත මානවරූපී සත්ත්ව කොට්ඨාසයක් වන අතර  පුරාතනයේ සිටම ඉන්දීය කලාවේ ජනප්‍රිය අංගයකි. පිරිමි කින්නරයා සංගීත භාණ්ඩයක් දරා සිටින අතර, කින්නරිය අත්තාලමක් දරා සිටියි. ගංගාව ඉදිරිපිට (පැල්මෙහි වම් පස) ශිවගේ රවු දැක්වනෙ අතර, ඔහු භගීරථ ඍෂිවරයා සමග සිටගත් ඉරියව්වකින් දැක්වේ. භගීරථ එක් පාදයකින් සිටගෙන වන්දනාවේ යෙදෙන අතර, ඔහු පෘතිවිය වෙත ගලාබසින් ගංගා නදියේ බල මහිමය පරීක්ෂා කරයි. ශිව දෙවියන් පශුපත ලෙස අර්ථකථනය කෙරෙන ආයුධයක් දරා සිටින අතර, ඔහු විසින් එය අර්ජුනට හට ලබා දී තිබිණි.[3] කැටයමේ නිරූපිත ගණ රූ මගින් නිරූපණය වන්නේ සිය සම්පූර්ණ දිවියම ශිව දෙවියන්ට කැපකළ ජනයාගේ රූපයි. මේ නිසා ඔවුන් සදහටම ශිවගේ ආසන්නයේ රැඳ සිටීමට වරම් ලබා ඇත. ගංගා නදිය දෙව්ලොව සිට ගලා බසින විට එය දිගේ පිහිනන දිව්‍යමය නාග රුවක් ද වේ. පුරාතන ඉන්දීය කලාවේ සම්ප්‍රදායික අංගයක් වන මෙම සත්ත්ව රුව අර්ධ මනුෂ්‍ය, අර්ධ සර්ප මානවරූපී සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන් මගින් සශ්‍රීකත්වය සහ පරිසරයේ ආරක්ෂක ගුණාංග නිරූපණය වේ යැයි සැලකේ. මෙම රූ පැල්මට මුහුණලා කැටයමේ මධ්‍යයේ පමණක් නොව, පනේලය මුදුනේ ජලය ඇතුළු වන මාර්ගයේ ද දැකගත හැක. මෙමගින් හින්දු ආගමික විශ්වාස තුළ නාග වන්දනාවේ ව්‍යාප්තිය නිරූපණසංකේතවත් වේ.[3][17]

බෙත්මේ දකුණු පසින් පිහිටි විෂ්ණු දේවාලයේ සමීප දසුනක්

මෙම අල්පෝන්නත කැටයමේ ඒකාබද්ධව දක්වා ඇති කැටයම් තුළින් මුල්කාලීන ඉන්දීය කලා ශිල්පියාගේ "සියලු ජීවීන්ගේ විශිෂ්ට අඛණ්ඩතාව" පිළිබඳ සංකල්පය නිරූපණය වේ යැයි මතයක් පවතියි. කැටයම්වල දක්වා ඇති හස්ති රූප එයටම අනන්‍ය අතර, ජීව ප්‍රමාණයේ හස්ති රූප පසුපස අලි පැටවුන්ගේ රූප ද වේ. තවත් විශේෂ දර්ශනයක් වනුයේ නහය සාරන මුවාගේ රූපයයි.[17] හස්ති රූප රංචුවක් ලෙසින් ගංගාව වෙත දිය පානය පිණිස ගමන් කරනු දැක්වේ. පිරිමි හස්තියා පසුපසින් ඇතින්න සිටිනු දැකගත හැක. පනේලය තුළ පිරිමි හස්තියා සමග අලි පැටවුන් තිදෙනකු ද, ඇතින්න සමග ඇලි පැටවුන් දෙදෙනකු ද සිටිනු කැටයම් කොට ඇත.[3]

වම් පසින් සූර්යයාත් සහ දකුණු පසින් චන්ද්‍රයා නිරූපිත කැටයමක් ද පනේලයෙහි වේ. කිම්-පුරුෂ හෙවත් විශාල කන් සහ හින්වැස්මක් සමිත වාමනයකු බෙරයක් වයමින් සිටිනු දැකගත හැක.[3]

පනේලයෙහි ඉහළ කොටසේ හිමාලය දැකගත හැකි අතර, මෙය මෙම කැටයමෙන් ආකාශ ගංගාවරෝහණය නිරූපණය වන බව සනාථ කරන්නකි. විශාල කේසර සහිත කැලෑ සිංහයින් සහ බැටළු රූ මගින් හිමලයානු වාසභවන සංකේතවත් කොට ඇත.[3] පනේලයෙහි ඉහළ වම්පස ගංගාව දෙසට පියඹා එන දේවතා රූ සහ දිව්‍යමය යුවළවල් දැකගත හැක. මෙම කොටසේ සිංහ සහ වානර රූ ඇතුළු සත්ත්ව රූ කිහිපයක් ද දැකගත හැක. කින්නර යුවළ දෙකක් සහ දිව්‍යමය පෙම් යුවළවල් තුනක් පැල්මෙහි වූ ගංගාව වෙත පියඹා එනු කැටයම් කොට තිබේ. දඩයම්කරුවන් සහ දඩයම් දර්ශන ද මෙම කැටයමෙහි වේ. දුන්නක් රැගත් දඩයම්කරුවකු සහ දඩයම පිණිස ගසක් යට සැඟවී සිටින දඩයම්කරුවන්ගේ රූ දෙකක්, දඩයම්කරුවන් දෙදෙනාට පහර දීමට සැරසෙන සිංහයකු සහ වනාන්තර දර්ශන කිහිපයක් කැටයම තුළ දක්නට ලැබේ. පහළින් ඇති තවත් දර්ශයක් වන්නේ වානර රූ කිහිපයක්, සිය ලෙන තුළ සිටින සිංහයකු සහ එය ඉදිරිපිට සිටින මුවන්ගේ කැටයමයි. කොතළයක් රැගත් දඩයම්කරුවකු සහ දඩයම් කළ සත්ත්වයින් රැගත් තවත් දඩයම්කරුවකු ද දැකගත හැක.[3] මෙහි ඇති තවත් ප්‍රමුඛ දර්ශනයක් වන්නේ පැල්මට දකුණින් පනේලයෙහි පහළ කෙළවර පිහිටි දේවාලයක කැටයමයි. මෙම දේවාලය සරල වන අතර, එය තුළ විෂ්ණු දෙවියන්ගේ රුව කැටයම් කොට ඇත. දේවාලයේ පියස්ස විසිතුරු අතර, එය ද්‍රෞපදී රථයට සමාන ය. එහි සමචතුරස්‍ර වක්‍රාකාර ශිඛරයක හැඩය ගත් කුළුණක් වේ. කෙසේනමුත්, එහි මුදුන පැතලි වන අතර, එහි මධ්‍යයේ ස්තූපි සමග කූඩු නම් අංගය දැකගත හැක. මෙහි කෙළවරවල් මල් ලියකම්වලින් අලංකාර කොට ඇත. මෙහි ඉහළ පරාලයේ ද මිනිස් මුහුණ සහිත කූඩු කැටයම් කොට ඇත. එම බාල්කයට ඉහළින් වන ස්තරයේ සිංහ කැටයම් දැකගත හැක. ශිඛරාකාර වහළයට සමචතුරස්‍රාකාර අංගයක් ආධාර වේ. දේවාලය ඉදිරිපිට සිටින ඍෂිවරයකු සිය ශිෂ්‍යයින්ට අනුශාසනාවක් සිදු කරයි. මෙම දර්ශනයට පහළ අසුනෙහි ගුහාව තුළ සිටින සිංහයකු සහ එයට පහළින් මුවන් යුවළක් කැටයම් කොට ඇත. දේවාලයේ පසෙකින් ඉබ්බකුගේ රුවක් දැක්වෙන අතර, එමගින් ජලාශ්‍රිත පරිසරය සංකේතවත් කෙරෙයි.[3]

කැටයමේ සමීප දසුනක්

අර්ථ නිරූපණ[සංස්කරණය]

එක් අර්ථ නිරූපණයක් වන්නේ කැටයමෙහි තනි පාදයකින් සිටගෙන සිටින රුව අර්ජුනගේ බවයි. ඔහු මහාභාරත යුද්ධයේ දී ආධාර පිණිස ශිවගෙන් වරයක් ලබා ගැනීමට තපසක යෙදෙයි. මෙම තපස පිළිබඳකථා පුවත මහාභාරත වීර කාව්‍යයෙහි කිරාතාර්ජුනියා නම් උපසිරැසිය යටතේ දක්වා ඇත. අර්ජුන ‍විසින් ලබාගත් මෙම වරම පශුපත නම් ශිවගේ වඩාත්ම බලගතු අවියයි. මෙම අවස්ථාව හා සම්බන්ධ මිත්‍යා කථාපුවත අනුව, අසුරයින් අර්ජුනව මරාදැමීමට සූකරයකු යවා ඇත. මෙම අවස්ථාවේ අර්ජුනව ආරක්ෂා කිරීමට ශිව කිරාත (දඩයම්කරුවකුගේ) වේශය ලබාගත්තේ ය. අර්ජුන සහ ශිව යන දෙදෙනාම ඊතල විද සූකරයාව මරා දමති. දෙදෙනාම මෙම සූකරයාව මරාදැමීම සම්බන්ධයෙන් කීර්තිය හිමි කරගැනීමට දෙදෙනාම වාදයක පැටලෙන අතර, ඉන් ඇතිවන සටනෙන් ශිව ජයගනියි. අනතුරුව සිය සැබෑ වේශය හෙළිකරන ශිව අර්ජුනහට ආශිර්වාද කොට අර්ජුන තපසෙහි යෙදෙමින් සිටීමෙන් බලාපොරොත්තු වූ අවිය ඔහුට ලබා දෙයි.[2][11][16]

මෙම අල්පෝන්නත කැටයම නිමවා ඇත්තේ ගල් පර්වත දෙකක් සහ ඒ අතර වූ පැල්ම මත ය. පැල්මට ඉහළින් ජලය රැස්කිරීමේ තටාකයක් වූ අතර, අතීතයේ එහි ජලය පැල්ම දිගේ ගලායන්නට ඇත. පැල්මෙහි පාෂාණය මත අංජලී මුද්‍රාවෙන් යුත් නාග රූ දැකගත හැක. මෙම නදිය මගින් ගංගා දේවතාවිය හෝ ශිවගේ හිසෙන් පැන නගින ගංගා නම් ගඟ නිරූපණය වේ යැයි සිතිය හැක. මෙය මෙම කැටයම අර්ථකථනය කෙරෙහි පදනම සපයයි. අර්ජුනට වඩා මෙහි තපසෙහි යෙදෙන රුව මගින් භගීරථ නිරූපණය වේ යැයි පුළුල් පිළිගැනීමක් ඇත. ජනප්‍රවාද අනුව භගීරථ විසින් තපසෙහි යෙ‍දුණේ ගංගා නදිය ‍පෘථිවිය මතට අවරෝහණය වී එහි ජලයෙන් සිය ඥාතියාගේ අළු සෝදාහැර සියලු පව් ශෝධනය කරගනු පිණිස ය. දෙව්ලොව සිට ගංගා පෘථිවිය මතට ඇදහැලීම බිඳ දැමීමට ඇය ශිවගේ කේශ කලාපය මතට ඇදවැටී නොයෙකුත් ශාඛාවලට බෙදෙයි. මෙම විස්මයජනක අවස්ථාව කැටයම්වලින් නිරූපණය කොට ඇති අතර, එය මිනිසුන් සහ සතුන් විසින් නරඹනු දක්නට ලැබේ.[2][11]

තපසෙහි යෙදෙන යෝගිවරයා පිළිබඳ තවත් අර්ථ නිරූපණයක් නම් එමගින් ජනතාවගේ සතුට සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් ගංගා නදිය පෘථිවිය වෙත වැඩමවීමට දැඩි තපසක නිරත වන භගීරථ නිරූපණය වේය යන්නයි. පැල්මේ ඇති නාග රූප මගින් සශ්‍රීකත්වය සහ ධනය නිරූපණය වේ යැයි සැලකේ. ශිව සහ සෙසු දෙවිවරුන් ශාන්තුවරයිනට ආශිර්වාද කරනු නිරූපිත ය. මෙම දර්ශනය තවත් අලංකාර කරමින් රජවරුන්ගේ, ඍෂිවරුන්ගේ, කලාකරුවන්ගේ සහ සත්ත්වයින්ගේ රූ කැටයම් කොට ඇත.[16]

මෙම මිත්‍යාව පිළිබඳ තවත් අර්ථ නිරූපණයක් පනේලයේ දැක්වෙන තනි පාදයෙන් සිටගත් බළලාගේ රුව සම්බන්ධව ඉදිරිපත් කොට ඇත. මෙය කිසියම් තපසක් විය හැක. මෙය පංචතන්ත්‍රයේ එන තාපසයකුගේ කථා පුවතක් හා සම්බන්ධව දක්වා ඇතැවි ඇතැම්හු පවසති. එහි එහි පැවසෙන්නේ බළලකු පක්ෂියකු අල්ලා ගැනීමේ අරමුණින් උපායයක් ලෙස මෙසේ ව්‍යාජ තපසක නිරතවන බවයි.[3][13][17]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "The Descent of the Ganges – Story of Bhagirata". indiantemples.com. සම්ප්‍රවේශය 2007-03-03. 
  2. 2.0 2.1 2.2 2.3 Upinder Singh (1 September 2008). A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century. Pearson Education India. පිටු 634–. ISBN 978-81-317-1120-0. https://books.google.com/books?id=H3lUIIYxWkEC&pg=PA634. Retrieved 25 February 2013. 
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 "Mahabalipuram – The Workshop of Pallavas – Part IV". Open Air Bas-Reliefs. Puratatva.com. සම්ප්‍රවේශය 26 February 2013. 
  4. 4.0 4.1 4.2 "Group of Monuments at Mahabalipuram". UNESCO. සම්ප්‍රවේශය 2007-03-03. 
  5. P. V. Jagadisa Ayyar (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. පිටු 157–. ISBN 978-81-206-0151-2. https://books.google.com/books?id=NLSGFW1uZboC&pg=PA157. Retrieved 7 February 2013. 
  6. 6.0 6.1 Pippa de Bruyn; Keith Bain; David Allardice; Shonar Joshi (18 February 2010). Frommer's India. John Wiley & Sons. පිටු 333–. ISBN 978-0-470-64580-2. https://books.google.com/books?id=qG-9cwHOcCIC&pg=PA333. Retrieved 7 February 2013. 
  7. James Hurd (8 September 2010). Temples of Tamilnad: Travels in South India. Xlibris Corporation. පිටු 63–. ISBN 978-1-4653-1921-0. https://books.google.com/books?id=MaDQ5nqymXAC&pg=PA63. Retrieved 7 February 2013. 
  8. http://whc.unesco.org/en/statesparties/in
  9. "A monumental effort". Front Line India's National Magazine from the publishers of The Hindu. 8 November 2003. Archived from the original on 10 April 2013. සම්ප්‍රවේශය 26 February 2013. 
  10. Sarina Singh; Amy Karafin; Anirban Mahapatra (1 September 2009). South India. Lonely Planet. පිටු 63, 387–. ISBN 978-1-74179-155-6. https://books.google.com/books?id=8KnLFpjEHpUC&pg=PA387. Retrieved 7 February 2013. 
  11. 11.0 11.1 11.2 "Sculpture of the descent of the Ganges, Mamallapuram". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012. 
  12. "A bas-relief gone dry at Mamallapuram". The Hindu. 6 December 2012. සම්ප්‍රවේශය 26 February 2013. 
  13. 13.0 13.1 13.2 "Arjuna's Penance". Lonely Planet.com. සම්ප්‍රවේශය 25 February 2013. 
  14. "Mahabalipuram". UCLA Education, South Asia. සම්ප්‍රවේශය 30 December 2012. 
  15. "Advisory body evaluation" (pdf). UNESCO. සම්ප්‍රවේශය 26 February 2013. 
  16. 16.0 16.1 16.2 Karen Schreitmüller; Mohan Dhamotharan; Beate Szerelmy (14 February 2012). Baedeker India. Baedeker. පිටු 589–. ISBN 978-3-8297-6622-7. https://books.google.com/books?id=bGgf_LkeG2kC&pg=PA589. Retrieved 26 February 2013. 
  17. 17.0 17.1 17.2 "Mamallapuram". Frontline: India’s national Magazine from the publishers of The Hindu. සම්ප්‍රවේශය 26 February 2013. 

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 12°37′00″N 80°11′30″E / 12.61667°N 80.19167°E / 12.61667; 80.19167