ද්‍රෞපදි රථ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ද්‍රෞපදී රථ
Ratha1.JPG
ද්‍රෞපදී රථ
මූලික තොරතුරු
පිහිටීමමහාබලිපුරම්
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයකාංචීපුරම් දිස්ත්‍රික්කය
ජනපදයතමිල් නාඩු,
රටඉන්දියාව

ද්‍රෞපදී රථ යනුවෙන් හැඳින්වෙන්නේ මහාබලිපුරම් හෙවත් අතීතයේ මාමල්ලපුරම් යනුවෙන් හැඳින්වුණු ස්ථානයේ පිහිටි පංච රථ සංකීර්ණයට අයත් එක් ස්මාරකයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටි අතර එය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයට අයත් ය. මෙය ඒකශෛලමය ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයට මනා නිදසුනකි. පසුකාලීන 7වන සියවසට අයත් මෙය පල්ලව රාජධානියේ Iවන මහේන්ද්‍රවර්මන් සහ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630–680; මාමල්ලන් ලෙස ද හැඳින්වේ) රජවරුන්ගේ සමයේ ඉදිවන්නට ඇතැයි සැලකේ. සම්පූර්ණ ස්මාරක සංකීර්ණයම ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතින අතර, 1984දී මෙය ඇතුළත්, මහාබලිපුරම් ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.[3]

රථයකට සමාන අයුරින් මෙය තනි, දිගු ග්‍රැනයිට් පාෂාණයකින් නෙළා ඇත.[3][4][5] ඇතැම් අවස්ථාවල මෙය දේවාලයක් ලෙස වරදවා හැඳින්වුණ ද, මෙම ව්‍යූහයේ වැඩ කටයුතු අවසන් කොට නොමැති හෙයින් එය අභිෂේක කොට නැත.[6] එයට හේතුව මෙහි වැඩ කටයුතු අවසන් වීමට පෙර Iවන නරසිංහවර්මන් මිය යාමයි.[4][5][7] මෙම ව්‍යූහය සුප්‍රකට මහාභාරත වීර කාව්‍යයේ එන පංච පාණ්ඩවයන්ගේ පොදු භාර්යාව වූ ද්‍රෞපදීගේ නාමය ඇසුරින් හැඳින්වූව ද,[3][5][8] මෙහි නාමකරණය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිහාසයෙන් හමු නොවේ.[4] මෙම අවසන් නොකළ ව්‍යූහය දුර්ගා දෙවඟනට පුදකොට ඇත.[9]

භූගෝල විද්‍යාව[සංස්කරණය]

මෙම භූමිය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම් (පෙර හැඳින්වුණේ මාමල්ලපුරම් යන නාමයෙනි) ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය කාංචීපුරම් දිස්ත්‍රික්කයට අයත් ය. මෙය ආසන්න වශයෙන් අගනුවර වන චෙන්නායි (අතීතයේ මදුරාසි නම් විය) සිට සැතපුම් 35ක් (56 km) දකුණින් ද,[10] චෙංගල්පාට්ටුහිට සැතපුම් 20ක (32 km) දුරින් ද පිහිටා ඇත.[11]

ද්‍රෞපදී රථය පිහිටියේ පංච රථවල උතුරු අන්තයේ ය.[12] මෙය දිගටි මාතෘ පාෂාණය මත කැටයම් කොට තනා ඇත. බෑවුමේ ආනතිය උතුරු අන්තයේ සි‍ට දකුණු දිශාව තෙක් විහිදී ඇත.[12]

ඉතිහාසය[සංස්කරණය]

මෙම රථයේ සහ සෙසු රථ සතරේ ලක්ෂණ මෙයට සමාන කිසිදු අතීත ඉදිකිරීමක් හෝ පුරාතන ඉන්දියානු ගෘහනිර්මාණ ශෛලියක් සමග සැසඳිය නොහැක. කෙසේනමුත්, මෙම පංච රථ ඉන්දියානු දේවාල ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රගමනයට පූර්වාදර්ශයක් වී ඇත. සෙස පංච රථ සතර මෙන් මෙම පාෂාණමය රථය ද මින් පෙර පැවති දැවමය නිර්මාණයක අනුරුවක් විය හැක.[13] මෙය ඒකශෛලමය දේවාලයක් ලෙස සැලකුව ද, මේ සඳහා "දේවාලය" යන්න වැරදි ව්‍යවහාරයක් වන්නේ මෙය ඉදිකොට අවසන් නොකළ හෙයිනි.[14] මේ බවට සාක්ෂි ලෙස ශිඛරයේ කොත කැටයම් කොට නොතිබීම දැක්විය හැක. එමනිසා මෙම රථ අභිෂේක කිරීම හෝ පූජාවන්ට භාවිතා වූයේ නැත. සියලු පංච රථ මෙසේ අසම්පූර්ණව පැවතීමට හේතුව ක්‍රි.ව. 668 Iවන නරසිංහවර්මන් රජුගේ මරණය යැයි විශ්වාස කෙරේ.[8][12] මෙයට ජනප්‍රවාදගත පාණ්ඩවයන්ගේ පොදු භාර්යාව වන ද්‍රෞපදී යන්න ව්‍යවහාර වුව ද, ඒ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමු නොවේ. මෙය ඇතුළු සෙසු ස්මාරක 1984දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කරන ලද්දේ "මහාබලිපුරම් ස්මාරක සමූහය" ලෙසයි.[3] මෙම දේවාලය දුර්ගා දෙවඟනට කැපකොට ඇත. එසේවුව ද එම දේවතාවා පිළිබඳ වාර්තා වන්නේ පසු කාලයක ය.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

සියලුම පංච රථ උතුරු-දකුණු දිශානතිය ඔස්සේ පිහිටා ඇති අතර, පොදු පාදමක පිහිටා ඇත.මේවාට පෙර කිසිදු මේ ආකාරයේ ගෘහනිර්මාණ ක්‍රමවේදයක් දක්නට නොලැබෙන අතර, ඒවා පසුකාලීන විශාල දකුණු ඉන්දියානු ද්‍රවිඩියානු දේවාල ගෘහනිර්මාණ සඳහා "මූලාදර්ශ" වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[8] ඒකශෛලික පාෂාණයකින් නිර්මාණය කරන ලද මේවා සාමාන්‍ය ගොඩනැගිලි වැනි ව්‍යූහමය දේවාල ස්වරූපයෙන් යුක්ත අතර, මේ නිසා “සදිසි-ඒකශෛලීය දේවාල ස්වරූපයෙන්” ඇතැයි කියනු ලැබේ.

අර්ජුන සහ නැගෙනිහර බිත්තියේ දුර්ගාගේ රුව සහිත ද්‍රෞපදී රථ; නන්දි රුව ද පසෙකින් වේ.

සැලැස්ම[සංස්කරණය]

ද්‍රෞපදී යනු පංච රථ අතුරින් කුඩාම රථය වන අතර, එය තනි විශාල ග්‍රැනයිට් කුට්ටියකින් නැටයම් කොට ඇත. මෙය කුඩා මඩුවක ස්වරූපයෙන් යුතු අතර, අර්ජුන රථය සමග හවුලේ උපපීඨයක් (ද්විතීයක පීඨිකාවක්) පවතියි.[3][5][15] සමචතුරස්‍රාකාර සැලැස්මෙන් යුත් මෙම රථය බංගලා ("බෙංගාලි බසින් මඩුව") හැඩයක් ගනියි.[12][16] එහි බාහිර මිනුම් අඩි 11 x 11 (3.4 m x 3.4 m) ලෙස යුතු අතර, එහි උස අඩි 18 (5.5 m) ලෙස වේ. උපපීඨයට ඈතින් අර්ජුන රථය සමග පොදු වේදිකාවක් තනන ස්තූපි නම් අංගයක් මව් පාෂාණයෙන් ‍කැටයම් කොට ඇත. මෙය ප්‍රධාන පූජාස්ථානයෙන් වෙන්කොට නැත. පියස්ස වක්‍රරේඛීය ස්වභාවයක් ගන්නා අතර, මුදුනේ අඩි 2.5 (0.76 m) ප්‍රසාණයෙන් යුත් සමචතුරස්‍රයක් වේ.[12] කොත් කැරැල්ල දක්නට නැත. සෙවිලි කළ පියස්ස හෙවත් කූටගරය විමාන පූජාස්ථානයක් ලෙස පවතියි. එය ග්‍රැනයිට් පාෂාණයෙන් කැටයම් කොට ඇති අතර, එය පාෂාණයේ මුදුනෙන් ඇරඹී පාදම තෙක් පහළට විහිදේ.[17][18] පියස්ස පැලක පියස්සකට සමාන අතර, එහි පිරිද්දුම් මෙන් පෙනෙන ස්ථානවල අලංකාර මෝස්තර ඇත. දේවාලයේ පිවිසුම බටහිර මුහුණලා ඇත.[19][20] ප්‍රවේශ ද්වාරය උසැති වේදිකාවක් මත කැටයම් කොට ඇති අතර එම වේදිකාව දරා සිටින්නේ මාරුවෙන් මාරුවට රටාවකට සැකසුණු විශාල හස්ති සහ සිංහ හිස් නිරූපිත ව්‍යූහයක් මගිනි. පිවිසුම් දොරෙහි මුදුනෙහි ද්විත්ව වක් වූ "මකර තොරණ"ක් ද දැකගත හැක. මෙම තොරණ් දර්ශීය මහේද්‍රන්වර්මාගේ ශෛලියෙන් යුතු අතර, රාජසිංහ පාලන සමයේ එය තනි වක්‍රයක් ලෙස සංවර්ධනය විය. පිවිසුම් දොරෙහි මිනුම් 6’ 7” x 2’11” පරිදි වන අතර, දේව රූපය සහිත කුටිය දිගින් අඩි 6.5ක් (2.0 m) සහ පළලින් අඩි 4.5ක් (1.4 m) වේ.[12][15][16][18]

රථයේ ගර්භගෘහයෙහි දක්නට ලැබෙන දෙවිවරුන්ගේ වන්දනාවට ලක්වන දුර්ගාගේ රුව සහිත කැටයම.

ලක්ෂණ[සංස්කරණය]

ද්‍රෞපදී රථයට යාබදව පිහිටි සිංහ ප්‍රතිමාව

දුර්ගාගේ රූ ගණනාවක්ම දේවාලය තුළ දැකගත හැක. විශේෂයෙන්ම මේවා ගර්භගෘහය තුළ මෙන්ම දේනාලයේ නැගෙනහිරට මුහුණලා පිහිටි පිටත බිත්තිය මත ද දැකගත හැක. ශාලාභංජිකාවන් හෙවත් ද්වාරපාලිකාවන් දෙපළක් පිවිසුම් දොරටුව දෙපස වේ. ඒවා ද දේවතාවියගේ ස්වරූපයෙන් යුක්ත ය. මෙම දේවාලය මගින් දුර්ගා දේවතාවියගේ "ආදී ශක්තිය" සහ බල මහිමය නිරූපණය වේ. වම්පස ද්වාරපාලිකාවගේ වමතෙහි දුන්නක් සහ දකුණතෙහි අසිපතක් දැකගත හැක. ගර්භගෘහය තුළ පසුපස බිත්තියෙහි නෙළුමක් මත හිඳගත් දුර්ගා අත් සතරක් සහිතව "සමභංග" ලීලාවෙන් සිටිනු නිරූපිත ය. ඇගේ ඉහළ අත් යුගළ මගින් ශංඛයක් සහ චක්‍රයක් දරා සිටින අතර පහළ එක් අතක් අභය මුද්‍රාවෙන් ද අනෙක් අත ඉඛෙහි ද තබාගෙන සිටියි. ඇය තන පටයක් හැඳ ආභරණ පැළඳ සිටියි.[12] ඇය වටා බැතිමතුන් පිරිවරා සිටින අතර, ඇගේ වම්පස සිටින බැතිමතා සිය හිස ගලවා දීමට උත්සාහ දරන සෙයක් පෙනේ. (තවත් මතයක් අනුව කියැවෙන්නේ ඉන් මල් පූජා කිරීමට දරන උත්සාහයක් නිරූපණය වන බවයි[12]) දකුණුපස සිටින තවත් බැතිමතකු සිය අවයව (ඔහුගේ ගෙල සිඳීමට සූදානම් වන බැව් පෙනේ[12]) පූජා කරන්නට සැරසෙන බැව් පෙනේ. මෙය කපාලිකවරුන් හා සම්බන්ධ හින්දු පිළිවෙතකි. ‍බොහෝ දුර්ගා දේවාලවල මෙවැනි භයානක පූජා දර්ශන නිරූපණය කොට ඇත. මෙය මහීෂාසුරමර්දිනී (මහීෂාසුර නම් අසුරයා වැනසීම) ලෙස ඇගේ දායකත්වය හා සම්බන්ධ ය. විමාන තුළ වූ දුර්ගා රූපවල දේවතාවිය මී ගව හිසක් මත සිටගෙන සිටීමෙන් මහීෂාසුර නිරූපණය කෙරේ.

බෞද්ධ සම්ප්‍රදායයන් අනුව භාවිත වූ හස්ති-සිංහ රූ සංකලනය පල්ලව ගෘහනිර්මාණ ශිල්පය තුළ වැඩිදියුණු විය. මෙම සම්ප්‍රදාය සත්ත්ව රූ මෝස්තර යෙදීමේ දී දැකගත හැකි විය. දුර්ගාගේ වාහනය වන සිංහයාගේ අඩි 6ක් (1.8 m) උසැති ශෛලමය ප්‍රතිමාවක් රථයේ ප්‍රාකාරය හා සම්බන්ධ ගල් කුට්ටියකින් නෙළා ඇත.[12] දේවාලයේ කුටියෙහි ඇති විමාන තුනෙහි නෙරු කුළුණු දෙකක් අතර ද්විත්ව නැමුමක් සහිත "අත්‍යාලංකෘත මකර තොරණක්" දැකගත හැක. රථය ඇතුළත ඇති මධ්‍ය පනේ‍ලයෙහි මුදුනේ රූ අතර ගණ (පිශාච රූ) සතරක් දැකගත හැක. ඔවුන් දුර්ගාගේ පරිවාර ජනයා ලෙස සිටියි. පිටත පැත්තෙහි ඇති තවත් පිශාචයන් දෙදෙනකු කුඩා අසිපත් දෙකක් දරා සිටියි. ඇතුළත් ඇති පිශාච රූ වල දෑත් වන්දනාමාන ඉරියව්වකින් යුක්ත ය.

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. The Culture of India. The Rosen Publishing Group. 2010. පි. 315. ISBN 9780852297629. 
  2. Ramchandani, Indu (2000). Student Britannica India 7 Vols. Popular Prakashan. පි. 5. ISBN 9780852297629. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 "Group of Monuments at Mahabalipuram". World Heritage. Retrieved 2007-02-08.
  4. 4.0 4.1 4.2 "File:Five Rathas, Mahabalipuram.jpg". Archaeological Survey of India, Chennai Circle. Retrieved 9 April 2013.
  5. 5.0 5.1 5.2 5.3 "Pancha Rathas, Mamallapuram". Arhaeological Survey of India. Retrieved 23 October 2012.
  6. Stokstad, Marilyn (2008). Art history. Pearson Education. පි. 333. ISBN 9780131577046. 
  7. "Mahabalipuram". UCLA Education, South Asia. Retrieved 30 December 2012.
  8. 8.0 8.1 8.2 "The Rathas, monolithic [Mamallapuram]". Online Gallery of British Library. Retrieved 19 February 2013.
  9. Allen, Margaret Prosser (1991). Ornament in Indian Arch. පි. 139. 
  10. Gunther, Michael D. "Pancha Rathas, Mamallapuram". art-and-archaeology.com. Retrieved 23 October 2012.
  11. Ayyar, P. V. Jagadisa (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. පිටු 157–. ISBN 978-81-206-0151-2. https://books.google.com/books?id=NLSGFW1uZboC&pg=PA157. Retrieved 7 February 2013. 
  12. 12.0 12.1 12.2 12.3 12.4 12.5 12.6 12.7 12.8 12.9 "Mahabalipuram – The Workshop of Pallavas – Part III". 1. Draupadi Ratha. Indian History and Architecture, Puratattva.in. 2013. Retrieved 20 February. Check date values in: |accessdate= (help)
  13. Moffett, Marian; Fazio, Michael W.; Wodehouse, Lawrence (2003). World History of Architecture. Laurence King Publishing. පි. 75. ISBN 978-1-85669-371-4. https://books.google.com/books?id=IFMohetegAcC&pg=PT75. Retrieved 9 January 2013. 
  14. Stokstad, Marilyn (2008). Art history. Pearson Education. පි. 333. ISBN 9780131577046. 
  15. 15.0 15.1 "World Heritage Sites – Mahabalipuram – Monolithic Temples". Archaeological Survey of India. Retrieved 9 January 2013.
  16. 16.0 16.1 "Draupadi Ratha". Art-and-archaeology.com. Retrieved 20 February 2013.
  17. Gupta, Shobhna (2003). Monuments Of India. Har-Anand Publications. පිටු 32–36. ISBN 978-81-241-0926-7. https://books.google.com/books?id=W4r5iLMVGkAC&pg=PA35. Retrieved 3 January 2013. 
  18. 18.0 18.1 Schreitmüller, Karen; Dhamotharan, Mohan; Szerelmy, Beate (14 February 2012). India Baedeker Guide. Baedeker. පිටු 589–. ISBN 978-3-8297-6622-7. https://books.google.com/books?id=bGgf_LkeG2kC&pg=PA589. Retrieved 3 January 2013. 
  19. "Draupadi Ratha, Mamallapuram". Art-and-archaeology.com. Retrieved 20 February 2013.
  20. "The Five Rathas of Mahabalipuram". Varalaaru. Retrieved 9 January 2013.

"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රෞපදි_රථ&oldid=411909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි