ගාමිණී ෆොන්සේකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගාමිණී ෆොන්සේකා
Great Gamini.jpg
උපත ගාමිණී ෆොන්සේකා
මාර්තු 21, 1936(1936-03-21)
මරණය සැප්තැම්බර් 30, 2004(2004-09-30) (වයස 68)
ජා ඇල, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දරුවන්
  • දමිත් ෆොන්සේකා
  • චමිල ෆොන්සේකා
  • තනූජා ෆොන්සේකා
  • ඉෂාර ෆොන්සේකා
(s)

විලියම් ෆොන්සේකා (පියා)

ඩේසී ෆොන්සේකා (මව)

සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා (දෙමළ: காமிணீ பொன்சேகா ) වන මොහු අග්‍රගණ්‍ය නළුවෙකුද, දේශපාලනඥයෙකුද වෙයි. සිංහල සිනමාවේ සක්විති යනුවෙන් විරුදාවලි ලබයි.

සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා උපත ලැබූයේ 1936 මාර්තු 21 වැනි දින දෙහිවලදීය. මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලනි. සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටත ම චරිතාංග නළුවෙකු වන ගාමිණී ෆොන්සේකා දකුණු ඉන්දියානු ආධිපත්‍යයට නතු වූ වේදිකා නාට්‍ය හා දකුණු ඉන්දීය සිනමා රංගනය පිටු දැක සිංහල සිනමා මාධ්‍යයට උචිත යථාර්ථවාදී රංග සම්ප්‍රදායක් මෙරට තුළ ගොඩ නැංවීමෙහි පුරෝගාමියෙකු ද වන ගාමිණී සිංහල සිනමාවේ පෙරළියක් ඇති කළ රංගන වේදියෙකි. එකල බොහෝ නළුවන් දකුණු ඉන්දියානු සම්භවයට නතු වීමත් පිරිමි පෞරුෂත්වයෙන් විනිර්මුක්ත වූ ස්ත්‍රී සුකුමාරත්වයන් සමඟ රඟපෑ නළුවන් හට ද පුරුෂාකාර ස්වභාවයක් මුල් වරට රඟමින් රංගනවේදය කියා දුන්නේ ඔහු ය.

තම ද්වීතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ගාමිණී ෆොන්සේකා සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වූයේය. ප්‍රථමයෙන් ඔහුට අවශ්‍ය වූයේ කැමරාකරුවකු ලෙස සේවය කිරීමටයි. මෙම බලාපොරොත්තුව ඔස්සේ ගමන් කළ ඔහුට ඩේවිඩ් ලීන්ගේ "ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" (Bridge on the River Kwai) සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (1956) යන චිත්‍රපට වලට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය. රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශණයකට පෙනී සිටිමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබූ ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනකටද ඔහු රංගනයෙන් දායක වූයේය.

"රන්මුතු දූව" හිදී ඇරඹූ ඔහුගේ ක්‍රියාදාම රංගනය "චණ්ඩියා", "ගැටවරයෝ", "සොරුන්ගෙත් සොරු" වැනි චිත්‍රපටවල සිට ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ 'සූර' චිත්‍රපට මාලාව දක්වා ගාමිණී වර්ධනය කර ගත්තේ එම චරිතාංගයේම විවිධ පැතිකඩය.

එදා මෙදාතුර අති විශිෂ්ටතම චරිතාංග රංගනය ඉදිරිපත් කළ ගාමිණීගේ එම විශිෂ්ටතම රංගනය ඇතුළත් වූයේ නිධානය හි ය.

"නිධානය" හැරුණු කොට "පරසතු මල්", "වැලිකතර", "සරුංගලය" හා "යුගාන්තය" ගාමිණී ගේ අග්‍රගණ්‍ය චරිතාංග නිරූපණ රැගත් චිත්‍රපට ලෙස ගත හැකිය.

ළමා සහ තරුණ අවධිය[සංස්කරණය කරන්න]

ගාමිණී ෆොන්සේකා උපත ලැබුවේ 1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදීය. ඔහු විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව උපන් තෙවන දරුවාය. ප්‍රෙස්බිටීරියන් ආයතනයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුයේය. ශාන්ත තෝමස් විද්‍යාලයේදී අරිසෙන් අහුබුදු ගුරුතුමන්ගෙන් සිංහල ද, පසුව සුසිල් ප්‍රේමරත්න චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍ර ශිල්පයද හැදෑරූ ගාමිණී එම අංශ දෙකටම දක්ෂයකු වූයේ ය. පාසලෙහිදී සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනීමෙහිලා දස්කම් පෑ ගාමිණී එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි ඩී.එස්. සේනානායක මහතා විසින් පිරිනමන ලද සිංහල සාහිත්‍යය දක්ෂතා ඇඟයීමේ ත්‍යාගයකට පවා හිමිකම් කීවේය. විෂය පිළිබඳ දක්ෂතා පෑමට අමතරව ගාමිණී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසද පාසලේ ප්‍රසිද්ධියක් ඉසිලීය.

බාල අවධියේ ගාමිණී ජීවත් වූ ගාමිණීගේ මහගෙදර පිහිටි "රත්මලානේ" සිරිමල් උයනේ වත්ත කොනක ද්‍රවිඩ ජාතික බාබර් කෙනකුට බාබර් සාප්පුවක් දමා ගැනීමට ගාමිණීගේ පියා විලියම් ඉඩ දී තිබුණි. කුඩා ගාමිණී, වත්තේ දුව පැන යන විට ඔහුව වඩාගෙන සැලූනයට ගෙන යන කරණවෑමියා සිඟිති ගාමිණීගේ හිස ක්‍රීම් ආදිය ගා පීරා හැඩ වැඩ කරනු ලබයි. එහි වූ බිත්තිවල එල්ලා ඇත්තේ එකල ඉන්දීය සිනමාවේ එම්.ජී. ආර්. වැනි ද්‍රවිඩ මහා නළුවන්ගේ සේයාරූය. ඒවා පෙන්නා පුංචි ගාමිණීට ද්‍රවිඩ කරණවෑමියා "පුංචි මාතියා කවදාහරි පුංචි මාතියත් අපේ මේ පෙරිය ඇක්ටර්ල වගේ බයිස්කෝප්වල ලොකුම ලොකු ඇක්ටර් කෙනෙක් වෙන්න ඕනෑ." යැයි කියයි. ගාමිණීගේ සිතට එසේ "නළුකම" පිළිබඳ ව ආශාවක් ඇති කරනු ලැබුවේ මේ ද්‍රවිඩ කරණවෑමියා බව පසු කාලයක ඔහු පැවසුවේ ය.

සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වීම සහ 1960 දශකය[සංස්කරණය කරන්න]

ගාමිණී වෘත්තාන්ත සිනමාවට සම්බන්ධ වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයෙනි. "රේඛාව" සැබෑ දේශීය සිනමාවක උපත වූවා සේම එයින් සිනමාවට අලුත් පරපුරක්ද පිවිසුණා හ. අයිරාංගනී සේරසිංහ, විලී බ්ලේක්, ටයිටස් තොටවත්ත, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මෙන්ම ගාමිණී ද ඒ අලුත් පරපුරට අයත් වූයේය. ගාමිණී රේඛාවට සම්බන්ධ වූයේ කාර්මික ශිල්පියකු ලෙසිනි. එසේ වු නමුදු ඔහු එහි සුළු චරිතයක් ද රඟපෑවේය. නිවැරදි ලෙස එය රඟපෑමක් නොව හුදු පෙනී සිටීමක් පමණි.

එම අවදියේදී ම වාගේ ඔහුට ලංකාවේ දී රූගත කළ ඩේවිඩ් ලීන්ගෙ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයට ද සම්බන්ධ වන්නට අවස්ථාවක් ලැබිණි. තෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් ය. සිනමාවේ හි කාර්මික පැතිකඩ ගැන ගාමිණී හට ඉන් පෘථුල අවබෝධයක් ලැබී ය. "බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" චිත්‍රපට කණ්ඩායම විවේක අවස්ථවල දී ප්‍රදර්ශනය කළ මි. මී. 16 චිත්‍රපට නැරඹීමට ද ගාමිණීට භාග්‍යය උදා වූයේ ය. ඉන් වැදගත් සන්ධිස්ථානයක් වූයේ ඔහු නැරඹූ මාලන් බ්‍රැන්ඩෝ රඟපෑ විවා සපාටා, පෝල් මුනි රඟපෑ ද ස්ටෝරි ඔෆ් ලුවී පාස්චර් වැනි චිත්‍රපට පළමු වතාවට දැකගැනීමට හැකි වූ ගාමිණී එම චිත්‍රපටවල එම නළුවන් රඟපෑ ආකාරය ස්වයං අධ්‍යයනය කළේ ය. මෙරට අන් කිසිදු නළුවකු නොලද තවත් සුවිශේෂ වරමක් ගාමිණී මෙහිදී අත්පත් කර ගත්තේය. ඒ "බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" චිත්‍රපටයේ සර් ඇලෙක් ගිනස්, විලියම් හෝල්ඩන් වැනි නළුවන් සජීවීව රඟපාන අයුරු දැකගන්ට ලැබීම ය. ගාමිණී පසු කලෙක තම රංග ලීලාව සකස් කර ගැන්මෙහිලා ඒ අත්දැකීම් මහෝපකාරී වන්නට ද ඇත.

එස්.කේ. ඕජා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ දෛවයෝගය(1959) ගාමිණී චරිතයක් වශයෙන් රඟපෑ පළමු චිත්‍රපටය වූවා ය. ඔහු එහිදී "මානමූල"ගේ චරිතය සඳහා රඟපෑවේ ය. ඔහුගේ මේ ප්‍රථම රංගනය එවක සිටි ජයවිලාල් විලේගොඩ වැනි විචාරකයන්ගේ නිර්දය විවේචනයට හසු වූයේ ය. "පිරිමියෙක් නිසා" ගාමිණී ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම චිත්‍රපටය වූයේ ය. එහි රංගනය ද ජයවිලාල් විලේගොඩගේ විවේචනයට හසු වූයේ ය. එහිදී ජයවිලාල් කියා සිටියේ මාලන් බ්‍රැන්ඩෝ පාට් දැමීමට උත්සාහ නොකර වර්ණනාවෙන් හිස උදුමවා නොගතහොත් ගාමිණීට හොඳ අනාගතයක් තිබෙන බවය.

ඉන් අනතුරුව ඔහුට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් "තම්මිට" නම් චරිතය රඟපෑමට අවස්ථාවක් හිමි විය. එහි දී ඔහුගේ රංගනය එහි ප්‍රධාන චරිතය රඟපෑ ආනන්ද ජයරත්නට ද වඩා කැපී පෙනෙමින් දක්ෂ අන්දමින් ඔපනැංවීය ය. මෙහි ප්‍රධාන චරිතයට ආනන්ද ව යොදා ගැනීම වැරදි තේරීමක් බව ආචාර්ය පීරිස් පශ්චත්තාපයෙන් යුතුව පසු කලෙක කියා තිබිණි.

ඉන්පසුව අදට වැඩිය හෙට හොඳයි, රන්මුතු දූව, ගැටවරයෝ, සූර චෞරයා, ආත්ම පූජා, ගම්පෙරළිය, චණ්ඩියා, සොරුන්ගෙත් සොරු ආදී චිත්‍රපට රඟපා එවකට සිනමාවේ යෝධ පිම්මක් නඟිමින් සිනමාවේ එකම වීරයා වූයේ ය. සුපිරි නළුවෙකු ලෙස හැටේ දශකය තුළ නැඟී සිටි අතර ම පරසතුමල් චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයෙකු බවටද පත්වූයේ ය. එහිදී ගාමිණී රඟපෑ බොනී මහත්තයාගේ චරිතය අගනා ලෙස ඉදිරිපත් කළේ ය.

ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූයේ මයික් විල්සන් විසින් එතෙරින් ගෙන ආ තාක්ෂණය යොදා නිපද වූ රන්මුතු දූව යි. එය ගාමිණී රඟපෑ සුවිශේෂ චිත්‍රපටයක් ද වේ. මන්ද එය ගාමිණී ප්‍රථම වතාවට තරුවක් බවට පත් වූ චිත්‍රපටියයි. "රන්මුතු දූවේ" ඔහු වීර වික්‍රමාන්විත චරිත රඟපෑවේ ය. 1962 දී තිරගත වූ "රන්මුතු දූවේ" සිට 1982 තිරගත "සක්විති සුවය" චිත්‍රපටය දක්වා වූ දෙදශකය සිංහල සිනමාවේ ගාමිණී ෆොන්සේකා යුගය වූයේ ය.

වාණිජමය චිත්‍රපට වලට දායක වනවාට අමතරව ඔහු ගම්පෙරළිය (1964) වැනි කලාත්මක සිනමා කෘති වලටද දායක වුයේය. ටයිටස් තොටවත්තයන්ගේ චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රථමවරට දුෂ්ඨ චරිතයකට පණපෙවීය. මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සොරුන්ගෙත් සොරු චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ජේම්ස් ‍බණ්ඩා ලෙසය. මෙම චරිතය ශ්‍රී ලාංකිය ජේම්ස් බෝන්ඩ් ලෙස බොහෝදෙනකු හඳුන්වයි.

ගාමිණී ප්‍රථම වතාවට චරිතාංග නිරූපණයේ නියැලෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළියෙනි. එහි "ජිනදාස ළමාහේවා" ගේ චරිතයට පණ පෙවුවේ ඔහුය. ජිනදාස යනු හකුළා ගත් පෞරුෂයෙන් යුතු චරිතයකි. රන්මුතු දූව වැනි වූ චිත්‍රපටයක වීර වික්‍රමාන්විත චරිතයක රඟපෑ නළුවා මෙබඳු චරිතයක් නිරූපණය කරන්නේ කෙසේ ද යන්න ගම්පෙරළියේ කතෘ මාර්ටින් වික්‍රමසිංහයන්ට පවා ප්‍රශ්නයක්ව තිබිණි. එහෙත් ගාමිණී තම රංග ප්‍රතිභා මහිමයෙන් ජිනදාසගේ චරිතයේ බාහිර හා අභ්‍යන්තර සුවිශේෂතා මැනවින් හඳුනාගෙන එය සාර්ථකව නිරූපණය කළේ ය.

"ගම්පෙරළිය" තිරගත වූ පසු චිත්‍රපටය විචාරය කළ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා තම විචාරය හමාර කළේ මෙපරිද්දෙනි. "ගම්පෙරළිය වූ කලී චිත්‍රපට බලන, නොබලන හැම කෙනකු විසින්ම වරක් දෙවරක් නොව කීප වරක්ම නැරඹිය යුතු චිත්‍රපටයකි. ඒ කොතෙක් බැලුවත් ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම් නිසා තවත් වරක් නැරඹිය යුතුමය" ලෙස සඳහන් කළේ ය.

පසුව, ගාමිණී පරසතු මල් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට ද ප්‍රවිෂ්ට වන්නේ ය. චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාමින් එය අධ්‍යක්ෂණය කිරීම ඕනෑම සිනමාවේදියකුට කිසියම් අභියෝගාත්මක කාර්යක් වුවද ගාමිණී ප්‍රථම වතාවට "පරිපූර්ණ චරිතයක්" (ROUND CHARACTERS) නැතහොත් වඩාත් සංකීර්ණ චරිතයක්(COMPLEX CHARACTERS) රඟපෑවේ ය.

ඉන් පසුව ද ඔහුගේ ම සොරුන්ගෙත් සොරු හි ද ගාමිණී, ප්‍රධාන නළුවා ලෙසින් මෙන් ම නිෂ්පාදනයෙන් ද එක් වූයේ ය. එය ලංකාවේ මුල්ම සිංහල "ජේම්ස් බොන්ඩ්" වර්ගයේ චිත්‍රපටයයි.

1970 සහ 1980 දශක[සංස්කරණය කරන්න]

ඔහු රංගනයට අවතීර්ණ වූ යුගය දමිළ චිත්‍රපට අනුකාරක යුගයකි. දමිළ චිත්‍රපට අනුකාරක දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් නළුවන් යොදා තම වුවමනාව අනුව දමිළ නළුවන් අනුකාරක යුගයක් බිහි කළේ ය. ගාමිණී රඟපෑ බොහෝ වාණිජ ධාරාවේ චිත්‍රපට දෙමළ අනුකාරක චිත්‍රපටයන් වේ. නමුදු ඔහු කිසි දිනක එම චිත්‍රපටවල රඟපෑ දමිළ නළුවන් අනුකරණය නො කළේ ය. එම චිත්‍රපටවල දමිළ නළුවන්ගේ රංගනය පුස්සක් කර ඔහු තම ආවේණික ශෛලියකින් රංගනය ඉදිරිපත් කළේ ය.

ගාමිණී හට අනෙක් බොහෝ නළුවන්ට සේ එකම ආරේ චිත්‍රපට නොව විවිධ ගණයේ චිත්‍රපට රංගනය සඳහා ලැබුවේ ය. විලී අබේනායක (නිධානය), වික්‍රම රන්දෙණිය (වැලිකතර), ධාරා (හුලවාලි), සෙබස්තියන් ස්වාමි (දෙවියනි ඔබ කොහිද), නඩරාජා (සරුංගලේ), සවිමන් කබලාන (යුගාන්තය) වැනි චරිත ඊට මාහැඟි නිදසුන්ය. එවායෙන් බොහොමයක් ම පරිපූර්ණ චරිත වීම ද තවත් සුවිශේෂත්වයකි ය. මේ එක් එක් චරිත රංගනයට ගාමිණී හට ඊටම ආවේණික වූ රංගනයක් ද ඉදිරිපත් කර තිබුණේ ය. නළුවකු ලෙස ගාමිණීගේ සුවිශේෂත්වය වූයේ ඔහු එවකට ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල සරල, සැහැල්ලු, ඒකාංශ චරිත රඟපෑමත් සම්භාව්‍ය සිනමා කෘතීන්හි සාරගර්භ චරිත රඟපෑමත්ය. එකී සිනමා ප්‍රවාහයන් දෙකෙහිම වඩාත්ම සාර්ථක නිළිය මාලිනී ෆොන්සේකා නම් නළුවා ගාමිණී ෆොන්සේකා වේ. ගාමිණී "පරසතු මල්" චිත්‍රපටයේ බීමත්ව නිවෙසේ ඉහළ මාලයේ ලී සොල්දරය මත දෑත් දෙපසට විහිදා සිටින සෙවණැලි රූපය සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවක් වනුයේ යම් සේද ඔහු 'සූරයන්ගෙත් සූරයා' චිත්‍රපටයේ එක අතකින් බ්‍රීෆ් කේසය ද අනෙක් අතකින් රිවෝල්වරය ද රැගෙන සිටින රූපය ද එලෙසම සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවකි. මේ රූප රාමු දෙකේම සිංහල සිනමාවේ ප්‍රධාන ධාරාවන් දෙක මූර්තිමත් කෙරෙන සංකේතාත්මක වටිනාකමක් පවතී.

ගාමිණි ෆොන්සේකාගේ රංග ප්‍රතිභාව එකකට එකක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කර ඔපනැංවූ ආකාරයක් ලෙස "ගම්පෙරළිය" හි ඔහුගේ රංගනය ගත හැක. ගම්පෙරළිය චිත්‍රපටයේ ජිනදාසගේ චරිතය රඟපෑ ගාමිණී එහි තෙවැනි කොටස වන යුගාන්තයේ සවිමන් කබලාන ගේ චරිතය ද නිරූපණය කළේය. නමුත් "යුගාන්තයේ" ගාමිණීගේ රංගනය දුටු කිසිදු ප්‍රේක්ෂකයකුට එමගින් "ගම්පෙරළියේ" ජිනදාස සිහිපත් වූයේ නැත.

තමාම අධ්‍යක්ෂණය කරනු ලැබූ සාගරයක් මැද චිත්‍රපටයේ චරිත දෙකකට පණ පොවමින් තම දක්ෂතව මෙතෙකැයි කියා මැනිය නොහැකි බව පෙන්වා දුන්නේ ය. එහි ද පරස්පර චරිතාංගනයක යෙදුන ඔහු දොස්තර මොලදන්ඩට ද අනික දේශපාලනඥ ෆෙඩ්රික් රාමනායක ලෙසත් රඟපෑවේ ය. මේ චරිත දෙකේම රංග ලීලා එකිනෙකට පරස්පරය.

ගාමිණී ඔහොම හොඳද චිත්‍රපටයේ එක් අවස්ථාවක විසුළු ස්වරූපයකින් යුක්තව කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් කෙසෙල් කැනක් ඔසවා ගෙන යයි. "නිධානයේ" විලී අබේනායක ලෙස අති විශිෂ්ට චරිතාංග නිරූපණයක යෙදෙන්නේ මේ නළුවාම යැයි සිතන්නට කිසිදු ප්‍රේක්ෂකයකුට එමඟින් අනුබල නොදෙයි.

එසේම ගාමිණී නම් තරුණයාගේ අගය දැන ගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා, ඔහුගේ නිධානයට ද ඔහුව එක්කර ගැනීය. එහි සාර්ථකත්වය හිනි පෙත්තෙහි ඉහලට ම ගියේ ගාමිණීගේ ප්‍රතිභාපූර්ණ රංගනය ද නිසාවෙනි. ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ විශිෂ්ඨත ම උත්කෘෂ්ඨත ම චරිතාංග නිරූපණය ලෙස සලකනුයේ ආචර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1970) චිත්‍රපටයේ විලී අබේනායක චරිතයෙන් ඉදිරිපත් කළ රංගනයයි. නිධානය චිත්‍රපටය එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකේ. සිනමා කෘතියක් වශයෙන් ගත් කල "නිධානයේ" ගාමිණීගේ රංගනය ඉක්ම වූ රංගනයක් හෝ චිත්‍රපටයක් තරම් නොවේ.

ගාමිණී ඩී බී නිහාල්සිංහගේ වැලිකතර තුළින් ද අතිවිශිෂ්ට ම රංගනයක් ඉදිරිපත් කළේ ය.

ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි ගාමිණී විනෝදාත්මක හා වාණිජ සිනමාවෙ හි සූරයා බවට පත් කළේ ය. තවද ඔහු රඟ පෑ නීල් රූපසිංහයන්ගේ හතරදෙනාම සූරයෝ ද ගාමිණී ජනප්‍රියත්වයේ ඉහළටම ගෙන ආ විශිෂ්ඨ නිර්මාණයකි.

1972 දී බැප්ටිස් ප්‍රනාන්දු, ප්‍රේම් ජයන්ත් සමඟ එක්ව ගාමිණී සහනය නිෂ්පාදනය කළේ ය. චිත්‍රපට 108ක රඟපෑ ඔහු චිත්‍රපට 10ක් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ය. පරසතු මල්, උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, කොටි වලිගය, බාඳුරා මල්, රෑ මනමාලි, සක්විතිසුවය, නොමියෙන මිනිසුන් හා අන්තිම රැය එම චිත්‍රපටයි.

1980 දී සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරුංගලේ’ චිත්‍රපටයේ දී ගාමිණී, යාපනයේ ද්‍රවිඩ ලිපිකරුවකු වූ නඩරාජා ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළේය.

ගාමිණී විසින් විවිධ දේශපාලන තේමාවන් ඔස්සේ සෘජුව ම චිත්‍රපට සෑඳීම සාගරයක් මැද තුළින් ඇර‍ඹුවේ ය. අවසාන කාලයේ "ප්‍රභාකරන්" පිළිබඳ ආශ්‍රිත වූ තීන්දුව (Judgement) නමින් චිත්‍රපටයක් කිරීමට ගිය ද විවිධ හේතූන් මත එය නැවතුණේ ය. ඉන් කලකිරීමකට පත් ව පසෙකට වී සිටි ගාමිණී යළිත් දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කරන්නට වුව "යකඩ යකා" තුළින් පෙරළිකාර චරිතයක නිරූපණයක යෙදෙන්නට සූදානම් වුව ද එවකට දේශපාලන පෙරළි සිදු වී චිත්‍රපට සංස්ථා බාර ඇමැති ලෙස විජිත හේරත් පත්වීමෙන් පසු "යකඩ යකා" සංස්ථාව මඟින් නිපදවීම නැවැත්විම නිසා එයද වැළකී ගියේ ය. "බලනවකො අයිසෙ' මෙච්චර හරියක් සිනමාවට කරපු මටත්, මේ යක්කු මෙහෙම කළානෙ..." යනුවෙන් විටෙක කලකිරීමෙන් බොහෝ තැවුලට පත් ව "යකඩ යකා" චිත්‍රපටය නිපදවද්දී ගාමිණී ෆොන්සේකා එකල පැවසුවේ අතිශය කලකිරීමෙනි.

සිනමා ක්‍රියාන්විතය[සංස්කරණය කරන්න]

Gaminifo.jpg
ගාමිණී තරුණ කාලයේ

ඔහු මියයන විට චිත්‍රපට 108කට දායකත්වයක් ලබා දී ඇත. එම චිත්‍රපට 108න් චිත්‍රපට 86ක්ම ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබූ අතර, ඉන් චිත්‍රපට 19ක සහය චරිතද, චිත්‍රපට 10ක් තම අධ්‍යක්ෂණයෙන්ද, චිත්‍රපට 2ක් නිෂ්පාදකයෙකු ලෙස සිනමාව වෙත දායක වී ඇත. 1964හි සිට 1997 වසර දක්වා සරසවිය සම්මාන උළෙලෙහි කුමන හෝ සම්මානයක් හිමිකරගැනීමට සමත්විය.

වසර චිත්‍රපටිය චරිතය
1959 දෛවයෝගය මානමූල
1960 සන්දේශය තම්මිට
1960 පිරිමියෙක් නිසා
1962 දස්කොන්
1962 රන්මුතු දූව
1963 ගම්පෙරළිය ජිනදාස
1963 අදට වැඩිය හෙට හොඳයි
1964 ගැටවරයෝ ජයසේන ප්‍රනාන්දු
1964 ධීවරයෝ
1965 චණ්ඩියා චණ්ඩියා
1965 සුදෝ සුදු
1965 ආදරයයි කරුණාවයි
1965 සත පනහ
1965 යටගිය දවස
1966 සැනසුම කොතැනද
1966 සීතල වතුර
1966 සීගිරි කාෂ්‍යප
1966 පරසතු මල් බොනී මහත්තය
1966 ඔබ දුටු දා
1966 සැනසිලි සුවය
1967 සොරුන්ගෙත් සොරු
1967 ඉපදුනේ ඇයි
1967 රෑන ගිරවු
1967 ඔක්කොම හරි
1967 සූර චෞරයා
1968 දෙහදක දුක
1969 ඔබ නැති නම්
1969 බඩුත් එක්ක හොරු
1969 සූරයන්ගෙත් සූරයා
1969 පාරා වළලු
1969 මී මැස්සෝ
1970 ආත්ම පූජා
1970 ඔහොම හොඳද
1971 හතරදෙනාම සූරයෝ
1971 වැලිකතර ඒ.එස්.පී රණ්දෙනිය
1972 සහනය
1972 නිධානය විලී අබේනායක
1972 එදත් සූරයා අදත් සූරයා
1972 ආදරේ හිතෙනවා දැක්කම
1972 මිරිඟුව
1973 හොඳට හොඳයි
1973 සදහටම ඔබ මගේ
1973 හොඳම වෙලාව
1973 හොඳයි නරකයි
1974 කස්තුරි සුවඳ
1974 ඔන්න බබෝ බිල්ලෝ එනවා
1974 සැනකෙළිය
1975 හිත හොඳ මිනිසෙක්
1975 රත්තරන් අම්මා
1975 ආවා සොයා ආදරේ ගාමිණී
1975 රජගෙදර පරවියෝ
1975 සිරිල් මල්ලී
1975 සූරයා සූරයමයි
1976 කවුද රජා
1976 හුලවාලී ධාරා
1976 නිල්ල සොයා
1976 නයනා
1977 යකඩයා ජිනදාස හෙවත් යකඩයා
1977 චින් චින් නෝනා
1977 දෙවියනි ඔබ කොහෙද සෙබස්තියන් ස්වාමි
1977 චණ්ඩි පුතා
1978 චණ්ඩි ශ්‍යාමා
1978 ආශා දෑසින්
1978 හිත මිතුරා
1978 අප්සරා
1978 සීතා දේවී
1979 අමල් බිසෝ
1979 මිනිසුන් අතර මිනිසෙක්
1979 සරුංගලේ නඩරාජා
1980 මල් කැකුළු
1980 උතුමාණෙනි
1980 මයුරිගේ කතාව
1980 සංඛපාලී
1981 චංචල රේඛා
1981 තවාලම
1981 බාඳුරා මල
1981 රිදී තැල්ල
1981 සාගරයක් මැද දොස්තර මොලදහ්න්ඩ / දේශපානඥ පෙඩ්රික් රාමනායක
1982 සක්විති සුවය
1982 මිසිස් මල්ලිකා
1982 හෙලෝ ශ්‍යාමා
1985 යුගාන්තය සයිමන් කැබිලාන
1986 යලි හමුවෙන්නයි
1986 කොටි වලිගය
1986 පූජා
1987 සත්‍යග්‍රහණය
1987 අහිංසා
1989 ශක්තිය ඔබයි අම්මේ
1991 උතුර දකුණ
1993 සාජන්ට් නල්ලතම්බි
1994 නොමියෙන මිනිසුන්
1994 ශක්ති
1994 පවන රළුවිය
1995 මම බය නෑ ශ්‍යාමා
1995 දෙමෝදර පාළම චුට්ටෙ අයියා
1996 ලොකු දුව
1997 අපායෙ තත්පර අසූ හාරදාහක්
1998 අන්තිම රැය
නිධානය චිත්‍රපටයෙහි කැපී පෙනෙන දර්ශණයක්

නිෂපාදන දායකත්ව[සංස්කරණය කරන්න]

වසර චිත්‍රපටිය අධයක්ෂක
1967 සොරුන්ගෙත් සොරු මයික් විල්සන්
1972 සහනය ජේ. සෙල්වරත්නම්

සම්මාන[සංස්කරණය කරන්න]

ගාමිණී ෆොන්සේකා සම්මාන හා නිර්දේශ

සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
සරසවිය සම්මාන
15 15
ජනාධිපති සම්මාන
1 1
දීපශිකා සම්මාන
1 1
ස්වර්ණ සංඛ
1 1
වෙනත්
4 4
එකතුව
ලබා ගැනීම් 22
නිර්දේයන් 22
වසර සම්මානය චිත්‍රපටිය
1964 හොඳම නළුවා ගම්පෙරළිය
1965 සරසවිය හොඳම නළුවා සම්මානය ධීවරයෝ
1966 ජනප්‍රිය නළුවා (ස්වර්ණ සංඛ)
1967 සරසවිය හොඳම නළුවා සම්මානය පරසතු මල්
1967 සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය
1968 සරසවිය හොඳම නළුවා සම්මානය සොරුන්ගෙත් සොරු
1968 සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය
1969 සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය
1972 ජනප්‍රිය නළුවා (දීපශිකා සම්මාන)
1976 හොඳම නළුවා කස්තුරි සුවඳ
1980 සරසවිය හොඳම නළුවා සම්මානය සරුංගලේ
1980 සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය
1981 සරසවිය හොඳම නළුවා සම්මානය උතුමාණෙනි
1981 සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය
1982 සරසවිය හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මානය සාගරයක් මැද
1982 සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය
1986 සරසවිය හොඳම නළුවා සම්මානය යුගාන්තය
1986 සරසවිය රණ තිසර සම්මාන
1986 හොඳම නළුවා (ජනාධිපති සම්මාන) යුගාන්තය
1987 විචාරක සම්මානය
1995 සරසවිය හොඳම නළුවා සම්මානය නොමියෙන මිනිසුන්
1997 යූ.ඩබ්ලිව්. සුමතිපාල Commemorating සම්මානය

දේශපාලන ක්‍රියාකාරිත්වය[සංස්කරණය කරන්න]

ගාමිණී රංගනයේ දී මුල් යුගය සිට ම ඇසුරු කළ ද්‍රවිඩ ජාතික සිනමාකරුවන් හා ශිල්පීන්ට ගාමිණී බොහෝ ළෙන්ගතු වූවාය. 1983 වසරේ දී සිංහල අන්තවාදීන් විසින් ගිනි ඇවිල වූ "කළු ජූලියේදී" ඔහු, කඩුගන්නාවේ තම නිවසට දිවි බේරා ගැනීමට දිව ආ අසරණ ද්‍රවිඩ ජාතික ජීවිත රැසක් බේරා ගනු ලැබුයේ අහසට වෙඩි තබා සිංහල අන්තවාදීන් පළවාහරිමිනි. එය ගාමිණී සිනමාවට පමණක් නොව සැබෑවට ම වීරයෙකු බව ප්‍රදර්ශනය කළේ ය. 1989 දී ගාමිණී ෆොන්සේකා දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වුයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමෙනි. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබවීය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඇයගේ වකවානුවේදී ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා‍ ලෙස පත් කළේය. ඒ ගාමිණී අන්‍යෝන්‍ය ජාතිකයන් සමඟ සුහදශීලිව කටයුතු කළ ආකාරය දැන සිටි නිසාවෙනි. දේශපාලනික වශයෙන් ඔහු සෘජුව සිටියේ ය. කීමට ඇති දේ කෙලින් ම ඉහළම තානාන්තරය ඇත්තාටද කිවේය. එකතරා අවස්ථාවක දී ඔහු රන්ජන් රාමනායක මහතාට ද, ඔහුගේ සෘජු බව පැසසුමට ලක් විය. නමුත් අවසන් කාලයේ දී ඔහු හට ද දේශපාලනය කලකිරී ඇති සෙයකින් ඔහු අනෙක් කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ දේශපාලනය සඳහා එක් නොවන ලෙසට ය.

වියෝව[සංස්කරණය කරන්න]

ඇමැතිවරයා ලවා යකඩ යකා වාරණය කරවූ කුමන්ත්‍රණය දිගටම පැවතිය දී 2004 ඔක්තෝබර් මස 1 දින එය ගැන යළි සළකා බලමු යැයි තීරණයක් ගත්තද ඊට පෙර දින සක්විති කිරුළ හැර වයස අවුරුදු 68 දී ජා ඇල පිහිටි තම නිවසේදී ගාමිණි ෆොන්සේකා මෙලොවින් ගොසිනි. යකඩ යකා සිනමාවට ගෙන ඒමට ගාමිණීගේ පැතුම ඉටු නොවීම නිසාවෙන් ඔහු අවසන් භාගය ඒ ගැන සිතමින් කලකිරීමෙන් ගත කළ බවද කියවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගාමිණී_ෆොන්සේකා&oldid=383431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි