ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි

විකිපීඩියා වෙතින්
ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි
පෝස්ටරය
අධ්‍යක්ෂණය කලේඩේවිඩ් ලීන්
නිෂ්පාදනය කලේසෑම් ස්පීජල්
තිරචනය සිදු කලේ
මෙය මත පදනම් වෙයිPierre Boulle විසින් රචිත
ද බ්‍රිජ් ඕවර් ද රිවර් ක්වායි
රඟ පාන්නේ
සංගීතය සැපයුවේමැල්කම් ආනල්ඩ්
Cinematographyජැක් හිල්ඩ්යාඩ්
සංස්කරණය කලේපීටර් ටේලර්
Production
company
Distributed byකොලොම්බියා පික්චර්ස්
Release date
  • 2 ඔක්තෝබර් 1957 (1957-10-02) (එක්සත් රාජධානිය)
  • 14 දෙසැම්බර් 1957 (1957-12-14) (එක්සත් ජනපද)
Running time
161 මිනිත්තු
Countryඑක්සත් රාජධානිය
එක්සත් ජනපදය[1]
LanguageEnglish
Budget$2.8 මිලියන[2]
Box office$30.6 මිලියන (initial release)[2]

ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි - The Bridge on the River Kwai (ක්වායි ගඟ මතවූ පාලම) 1957 බ්‍රිතාන්‍ය - ඇමෙරිකානු චිත්‍රපටයකි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලීන් විසිනි.[3]. ප්‍රධාන චරිත ලෙස විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, ඇලෙක් ගිනස් සහ සෙසූ හයකාවා රංගනයෙන් දායක වූහ. ප්‍රංශ ජාතික පියෙර් බෝල් ගේ ද බ්‍රිජ් ඕවර් ද රිවර් ක්වායි (1952) නවකතාව ඇසුරින් චිත්‍රපටය නිපදවා ඇත. මරණයේ මාවත ලෙසද හැඳින්වුණු බුරුම දුම්රිය මාර්ගයේ, එක්තරා පාලමක් ඉදිකිරිම පාදක කරගනිමින් දිවෙන චිත්‍රපටයේ කතාව ප්‍රබන්ධයකි. මෙහි රූ ගත කිරීම් 1950 දශකයේදී ලංකාවේ කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතව සිදුකර ඇත. [4]

30 වන ඇකඩමි සම්මාන උළෙලේ (1958) දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා ඇතුළු සම්මාන 7 ක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය. ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපට අතුරින් එකක් ලෙස මෙය සළකනු ලැබේ.[5][6]

කතාව[සංස්කරණය]

දෙවන ලෝක යුධ සමයේ (1942 - 43) ජපන් අධිරාජ්‍යයට අයත්, ක්වායි නදිය අසල පිහිටි සිර කඳවුරකි. එහි බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පිරිසක් යුධ සිරකරුවන් ලෙස රඳවාගෙන සිටී. කඳවුර භාර නිලධාරියා වන්නේ කර්නල් සයිටෝ නමැති ජපන් ජාතිකයෙකි. යුධ සිරකරුවන් සියළු දෙනා ඔවුන්ගේ නිළතල නොසලකා අළුතින් ඉදිකිරීමට නියමිත දුම්රිය පාලම ඉදිකිරීමේ කටයුතු වල යෙදිය යුතු බව සයිටෝ සිරකරුවන්ට දැනුම් දෙයි. එවිට බ්‍රිතාන්‍ය හමුදා සිරකරුවන් අතර ජෙයෂ්ඨ නිලධාරියා වන ලුතිනන් කර්නල් නිකොල්සන්, සයිටෝට සිහිපත් කර දෙන්නේ ජිනීවා සම්මුතීන්ට අනුව ඉහළ යුධ නිලධාරින් කම්කරු වැඩෙහි නොයෙදෙන බවයි.

පසුදින ද ඉදිකිරීමේ වැඩ වල නියැලීම කර්නල් නිකොල්සන් ඇතුළු ඉහළ යුධ නිලධාරින් ප්‍රතික්ෂේප කරයි. තම අණ පිළිපැදීමට අකමැති නම් ඔවුන්ව වෙඩි තබා මරා දමන බව සයිටෝ කියා සිටී. නමුත් සිර කඳවුරේ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරන මේජර් ක්ලින්ටන්, සයිටෝට පෙන්වා දෙන්නේ සාක්ෂිකරුවන් රාශියක් ඉදිරියේ නිරායුධ මිනිසුන් ඝාතනය කිරීම සයිටෝගේ අවාසියට හේතු විය හැකි බවයි. ඒ අනුව සයිටෝ එම තීරණය වෙනස් කරයි. නමුත් තම අණ පිළිපැදීමට අකමැති වීමට දඬුවම් වශයෙන් එම නිලධාරින් සියළු දෙනාවම අධික උෂ්ණත්වයෙන් යුතු කුඩා කුටිවල සිර කිරීමට නියම කරයි. අනෙකුත් බ්‍රිතාන්‍ය සිරකරුවන්ව පාලම ඉදිකිරීම සඳහා යවනු ලබයි.

බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට පාලම ඉදිකිරීමට නියම වන්නේ ජපන් නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ යි. තම හමුදා ප්‍රධානීන්ගේ අණ පමණක් පිළිපැදීමට හුරුව සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පාලම ඉදිකිරීමේ කටයුතු වල නියැලෙන්නේ නොසැලකිල්ලෙනි. මේ නිසා නියමිත දිනට පාලමේ වැඩ කටයුතු නිම කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙයි. එසේ වුවහොත් එය කර්නල් සයිටෝ ගේ කීර්තිනාමයට කැළලකි. මේ තත්ත්වයෙන් ගැලවීම සඳහා කුමක් කළයුතුදැයි සයිටෝ කල්පනාකාරී වෙයි. ඒ අනුව බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මෙහෙයවීම, ඔවුන්ගේම ඉහළ නිලධාරින් විසින් සිදු කළහොත් පාලම ඉදි කිරීම වඩාත් කාර්යක්‍ෂම වනු ඇති බව සිතන සයිටෝ, වරප්‍රසාද ගණනාවක් ලබා දෙන බවට එකඟ වීමෙන් කර්නල් නිකොල්සන්ගේ සහාය තම කාර්යය සඳහා ලබා ගනී.

මේ අතරතුර සිර කඳවුරේ සිටි ඇමෙරිකානු නාවිකයෙකු වූ කමාන්ඩර් ෂියර්ස් ඉන් පැන යාමට සමත් වෙයි. ඔහු ලංකාවට පැමිණ එහි රෝහලක නේවාසිකව සිටී. ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මේජර්වරයෙකු වන මේජර් වෝඩ්න්, ෂියර්ස්ට දන්වා සිටින්නේ ක්වායි ගඟ හරහා ඉදිකරන පාලම විනාශ කිරීම සඳහා වන කොමාන්ඩෝ මෙහෙයුමකට ඔහු එක් විය යුතු බවයි. ෂියර්ස් එහි සිට පැන ආවෙකු නිසා එම ප්‍රදේශය සහ එහි මිනිසුන් දැන හඳුනාගෙන ගෙන තිබීම මෙයට හේතු වෙයි. තමන් ඉතා අපහසුවෙන් මරණයෙන් ගැලවී ආ බැවිනුත්, තමන් ඇමෙරිකානු නාවිකයෙකු මිස බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු නොවන බැවිනුත් මෙම මෙහෙයුමට එක් වීමට ෂියර්ස් සිය දැඩි අකමැත්ත පල කරයි. නමුත් එවිට මේජර් වෝඩ්න් ඔහුට දැනුම් දෙන්නේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් කොමාන්ඩෝ මෙහෙයුම සඳහා ෂියර්ස් ව බ්‍රිතාන්‍ය හමුදාවට අනියුක්ත කර ඇති බවයි. මේ නිසා ෂියර්ස්ට මෙහෙයුමට එක්වීමට සිදු වෙයි. මේ අනුව කොමාන්ඩෝ මෙහෙයුම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුදානම් වෙයි. ඔවුන් ගුවනේ සිට පාලම ඉදිකරන ප්‍රදේශයට පැරෂුට් ආධාරයෙන් ඇතුළු වෙයි. එහිදී එක් බටයෙක් මිය යයි.

මේ අතරතුර දී නිකොල්සන්ගේ මෙහෙයවීම යටතේ පාලමේ වැඩ කටයුතු නිමා වී තිබෙයි. සම්පූර්ණයෙන්ම පාහේ දැවයෙන් නිමකරන ලද පාලම ශක්තිමත්ව සහ අලංකාරවත් ලෙස නදිය හරහා නැගී සිටියි. කොමාන්ඩෝ කණ්ඩායම දැන් සමන්විත වන්නේ ෂියර්ස්, මේජර් වෝඩ්න් සහ කැනේඩියානු ජාතික ලුතිනන් ජොයිස් ගෙනි. ඔවුහු සියම් කාන්තාවන් පිරිසකගේ ද සහාය ඇතිව පුපුරන ද්‍රව්‍ය ආදිය රැගෙන ක්‍රමයෙන් පාලම කරා ලඟා වෙති. රාත්‍රී කාලයේදී ෂියර්ස් සහ ජොයිස් විසින් පාලම යට පුපුරන ද්‍රව්‍ය රඳවා වෙඩි ලණුව ක් මගින් ඒවා පිපිරවීමේ උපකරණයට සම්බන්ධ කරනු ලබයි. නියමිත වෙලාවට පිපිරවීම සිදුකිරීමට භාර වන්නේ ලුතිනන් ජොයිස් ටයි.

පසුදා උදෑසන වන විට ගඟේ ජල මට්ටම යම් පමණකින් අඩු වී ගොස් වෙඩි ලණුව පෙනෙන්නට පටන්ගෙන තිබුණි. පාලම හරහා පළමු දුම්රිය ගමන එදින සිදුවීමට නියමිතව තිබූ අතර සයිටෝ සහ නිකොල්සන් තම මෙහෙයවීමෙන් සිදු වූ අගනා නිමැවුම පිළිබඳව අභිමානයෙන් පසුවෙති. පාලම මතට පැමිණෙන නිකොල්සන්ට වෙඩි ලණුව ඇස ගැටුනෙන් ඔහු සයිටෝද සමඟ වහා ගං ඉවුරට පැමිණ පරික්ෂා කරයි. ඔවුන් වෙඩි ලණුවේ කෙලවර සොයමින් පැමිණෙන අතර, පිපිරවීම සිදුකිරීමට භාරව සිටින ජොයිස්, තමන්ව ඔවුන් දෙදෙනාට හසු වීමට යන බව දැන දැනම තවදුරටත් පිපිරවීම සිදු කිරීම කල් දමන්නේ දුම්රිය පැමිණෙන විට එය සිදු කිරීමේ අපේක්ෂාවෙනි. ජොයිස්ව හසු වීමෙන් තම වෑයම නිෂ්ඵල වන්නට යන බව ෂියර්ස්ට සහ වෝඩ්න්ට පෙනුනත් ඔවුන් සිටින්නේ අනෙක්පස ඉවුරේ ය. නිකල්සන් සහ සයිටෝ වෙඩි ලණුව කපා දැමීමට සුදානම් වන මොහොතේ ඔවුන් වෙත පනින ජොයිස් සයිටෝව පිහියකින් ඇන ඝාතනය කරයි. මෙය දකින නිකොල්සන් ජොයිස්ට පහර දීමට සුදානම් වන විට, තමන් බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු බවත්, බ්‍රිතාන්‍ය හමුදාවේ අණ පරිදි පාලම පුපුරවා හැරීම සඳහා පැමිණි බවත් ජොයිස් ඔහුට කියා සිටී.

තමන් ඉමහත් කැපවීමකින් ඉදිකළ අගනා පාලම විනාශ වී යනු දකින්නට අකමැති වන නිකොල්සන් උදව් ඉල්ලා කෑ ගසන අතර ජොයිස්ට පිපිරවීම සිදු කිරීමට ඉඩ නොදෙයි. ඒ වන විට දුම්රිය පාලම ආසන්නයට පැමිණෙමින් තිබුණි. නිකොල්සන්ව මරා දමා හෝ පිපිරවීම සිදු කරන්නැයි ෂියර්ස් කෑ ගසමින් ජොයිස්ට උපදෙස් දෙයි. නමුත් නිකොල්සන් මගහැර යාමට ජොයිස්ට නොහැකි වනබව පෙනුනෙන් ඔහුට උදව් දීම සඳහා ෂියර්ස් ද ගඟ හරහා මෙහා ඉවුර වෙත එයි.

මේ අතර නිකොල්සන්ගේ උදව් ඉල්ලා කෑ ගැසීම නිසා පාලම මත සහ අවට සිටි ජපන් සෙබළුන් වෙඩි තැබීම ආරම්භ කරයි. ජොයිස් වෙඩි වැදී මිය යන අතර නිකොල්සන් ගඟ හරහා තමා වෙත ලඟා වීමට උත්සාහ දරණ ෂියර්ස් ව දැක හඳුනාගනියි. එවිට ඔහුට සියල්ල වැටහෙන අතර තමන් කළ මෝඩකම ගැන පසුතැවෙයි. ෂියර්ස් වෙඩි වැදී මිය යන අතර නිකොල්සන් පිපිරවීම සිදු කිරීම සඳහා උපකරණය වෙතට දිව යයි. නමුත් ඔහු අසලම වෙඩිල්ලක් පිපිරී යාම නිසා කම්පනයෙන් ඔහු ඇද වැටෙයි. නැවත නැගී සිටින ඔහු කරකැවෙමින් ගොස් උපකරණය මත ඇද වැටීමෙන් එය ක්‍රියාත්මක වෙයි. මහ හඬක් නගමින් පාලම පුපුරා විනාශ වී යන අතර ඒ මොහොතේම පාලම මතින් ගමන් කරමින් තිබෙන දුම්රිය ද ගඟට ඇද වැටෙයි. ගඟ දිය ඉක්මනින් බොර පැහැයට හැරෙයි. සිය මෙහෙයුම අවසන් කළ මේජර් වෝඩ්න් සියම් කාන්තාවන් ද සමඟ ආපසු යයි. සියල්ල පසෙක සිට බලා සිට කම්පනයට පත් මේජර් ක්ලිප්ටන් "උමතුවක්" "උමතුවක්" යනුවෙන් තමන්ටම කියා ගැනීමත්, ඔහු නොගැඹුරු ගඟ ඔස්සේ ඉහලට ගමන් කරන දර්ශනයත් සමඟ චිත්‍රපටය අවසාන වෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "The Bridge on the River Kwai (1957)". British Film Institute. සම්ප්‍රවේශය 7 July 2014.
  2. 2.0 2.1 Sheldon Hall, Epics, Spectacles, and Blockbusters: A Hollywood History Wayne State University Press, 2010 p 161
  3. "සු.මිගෙන් අහන්න, සිළුමිණ පුවත්පත".
  4. "කැලණි ගං මිටියාවතේ ඉදි වූ තායිලන්තයේ 'ක්වායි' පාලම, සිළුමිණ පුවත්පත".
  5. On the AFI's 100 Years...100 Movies lists, in 1998 (#13) and 2007 (#36)
  6. Roger Ebert. "Great Movies: The First 100". සම්ප්‍රවේශය February 25, 2013.