ආත්ම පූජා

විකිපීඩියා වෙතින්

(ගාමිණි ද්විත්ව චරිත රඟපෑ ආත්ම පුජා)

ප්‍රංශ ජාතික සුප්‍රසිද්ධ ලේඛක ඇලෙක්සැන්ඩර් ඩුමා 1844 නවකතාවක් ලියනවා “ද කෝසිකන් බ්‍රදර්ස්” (Corsican Brothers) නමින් , මෙය ලොවපුරා අසීමිත ප්‍රසිද්ධියක් ලබනු ඇතැයි ලියන අවස්ථාවේ ඔහු කෙසේවත් සිතන්නට නැතිව ඇති.පසු කලෙක මෙම කතාව ආශ්‍රයෙන් බටහිර චිත්‍රපට රැසක් නිපදවුණා.මිට අමතරව අපේ අසල්වැසි ඉන්දියාවේ 1949 තිරයට පැමිණි අපුර්ව සහෝදර්රල්ගල් දමිළ භාෂාවෙන් ද ,1964 අග්ගි පිඩිගු තෙලිඟු භාෂාවෙන් ද ,1971 නිරුම් නෙරුප්පුම් දමිළ භාෂාවෙන් ද ,1972 ගෝරා ඕර් කාලා හින්දි භාෂාවෙන් ද මේ අනුව නිපදවුණු අතර ලංකාවේ,සිංහල භාෂාවෙන් මේ අනුව නිපදවූ චිත්‍රපටය ලෙස  1970 තිරයට පැමිණි මුලින්ම දෙබිඩි දරුවෝ නමින් නම් කර තිබු ආත්ම පුජා සලකන්න පුළුවන්.සිනමාස් සමාගම වෙනුවෙන් කේ.ගුණරත්නම් නිපද වූ මෙය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර අදට වැඩිය හෙට හොඳයි,උඩරට මැණිකේ,ධීවරයෝ,අල්ලපු ගෙදර,සුර චෞරයා,අටවන පුදුමය වැනි සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කර සිටි එම.මස්තාන්.කොහොම වුනත් ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙකු වූ ඔහුට මෙම චිත්‍රපටය සම්පුර්ණ කිරීමට පෙර මෙරට හැරදා නැවත ඉන්දියාවට යන්නට සිදුවීමේ ප්‍රතිඵල වුණේ මෙහි ඉතිරි වැඩ නිම කරන්නට සිදු වුණේ ගාමිණි පොන්සේකාට වීමයි.ඒ වුනත් චිත්‍රපට නාමාවලියේ අධ්‍යක්ෂක ලෙස මස්තාන් ගේ නම සටහන් වනවා.

ගාමිණි පොන්සේකා ද්විත්ව චරිත රඟපාන මෙහි ඔහු සමග ක්ලැරිස් ද සිල්වා, එච්.ඩි.කුලතුංග,ඩොමී ජයවර්ධන,ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න,රෝයි හඳපාන්ගොඩ,දොන් සිරිසේන,බි.එස්.පෙරේරා,ඇන්තනි සි පෙරේරා,ක්‍රිස්ටි ලෙනාඩ්,සේනාධීර රූපසිංහ,ශාන්ති ලේඛා,තලතා ගුණසේකර,පද්මා සිරිවර්දන,නෙල්සන් කරුණාගම,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,මනෝන් මානි,හර්බට් අමරවික්‍රම,ඊ.එම.පි.බණ්ඩාර,ජස්ටින් පිරිස්,ග්‍රේස් ජයමාන්න,රන්ජනී පෙරේරා,ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු  රඟපෑ අතර  ගාමිණි පොන්සේකා ද්විත්ව රඟපෑම හේතුවෙන් චරිත දෙකම එකම රුපරාමුවක පෙනී සිටින සමහර අවස්තාවල එම.කේ.ධර්මදාස නමැති නළුවෙක් යොදාගත් බවද කියනවා.

අනෙකුත් ශිල්පින් අතර ඒ.වී.එම.වාසගම් හා වී.වාමදේවන් කැමරාවෙන්, එම.කේ.රොක්සාමි සංගීතයෙන්, කරුණාරත්න අබේසේකර ගීත රචනයෙන්, මොහිදීන්,බෙග්,එච්.ආර්.ජෝතිපාල.සුජාතා අත්තනායක,එම.එස්.ප්‍රනාන්දු සමග ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ගායනයෙන්, ඊ.ආර්.එරත්න දෙබස් හා තිර රචනයෙන් , ඩබ්.කේ.ඩි රුබන් සංස්කරණයෙන් ආත්ම පුජා හැඩ කළ  බව කිව හැකියි.

මෙහි කතාවට අනුව යුරෝපයේ අසල්වැසි රටවල් දෙකක් අතරින් එක රටක් පාලනය කරන සොලමන් සිගේරා ගේ නිවුන් දෙබිඩි දරුවන් දෙදෙනා ශල්‍ය කර්මයකින් ඉවත් කරනවා. නමුත් එක් අයෙකුහට දැනෙන සියලුම හැඟීම් එක දරුවෙකුහට දැනීම මෙහි විශේෂත්වයක්. මාක්ස් අල්මේදා නම්  නුදුරු රටේ පාලකයා සොලමන් සිගේරා ගේ රාජ්‍යය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලය ලෙස සොලමන් හා ඔහුගේ බිරිඳ මියයනවා. මේ අවස්ථාවේ දරු දෙදෙනාගෙන් එක් අයෙකු රාජකිය වෛද්‍යවරයාත් අනෙක් දරුවා  රජුගේ හිතවතෙකු විසිනුත් බේරා ගන්නවා මාක්ස් අල්මේදා ට හසු වන්නට නොදී. මේ අනුව ජෙරී  නමැති දරුවා වනයේ මෙන්ම හෙන්රි  නමැති අනෙක් දරුවා නගරයේද ඇති දැඩි වන අතර වැඩිවියට පත්වන මොවුන් දෙදෙනාගෙන් හෙන්රිගේ පෙම්වතිය වන්නේ ඩොරින් නමැති කුමාරිකාවක්.ඩොරින් ව දක්නට ලැබීමෙන් ජෙරී ද ඇයට පෙම් කිරීමට ගන්නා උත්සාහයේදී හෙන්රි හා ජෙරී අතර ද ගැටුම් ඇති වන අතර අවසානයේ මාක්ස් අල්මේදා හට විරුද්ධව තම රාජ්‍යය නැවත මුදා ගැනීම සඳහා වන සටනේ දී ජෙරී මියයනවා.කෙසේ නමුත් අවසානයේ මාක්ස් අල්මේදා පරදවා හෙන්රි තම පියාගේ රාජ්‍යය යළි දිනා ගන්නවා.

මෙම චිත්‍රපටය සඳහා ගාමිණි ට හා කුලතුංග ට කඩු සටන් උගන්වා ඇත්තේ දකුණු ඉන්දීය නළු එම.ජි.ආර් හට කඩු සටන් ඉගැන්වූ ශිල්පියෙකු ලවා බවද කියවෙන අතර විශේෂ සිදුවීම් වන්නේ සිංහල චිත්‍රපටයක යුරෝපිය ඉතිහාසගත පසුබිමක් නිර්මාණය කිරීම වගේම ඊට ගැළපෙන අයුරෙන් ඇඳුම් පැළඳුම් සකස් කර තිබීමයි.

1970 මැයි මාසේ 18 වනදින මරදාන ගාමිණි,වැල්ලවත්ත සෑපයාර්,මහනුවර වෙම්බ්ලි,නුගේගොඩ ක්වින්ලන් ඇතුළු සිනමාස් මණ්ඩලයේ සිනමාහල් රැසක තිරගත වීම ඇරඹෙන ආත්ම පුජා දින දෙකකින් හෝ තුනකින් පමණ බොරැල්ල ලිඩෝ සිනමාහලෙත් තිරගත වුනත් ඒ ජුනි 09 දක්වා පමණයි.හේතුව ඒක් පුල් දෝමාලි හින්දි චිත්‍රපටය සඳහා ඉඩ ලබාදීම පිණිස මෙය ලිඩෝ සිනමාහලෙන් ඉවත් කරනවා. නිදහස් ලංකාවේ තවත් යුග පෙරළියක් ආසන්නයේ මෙය තිරගත වීමත් අමතක නොවන තවත් කරුණක් බව කිව යුතුයි. ඒ තමයි 1947 සිට මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ  මුල්වරට එහි නියමිත කාලය වන වසර පහේ කාලය සම්පුර්ණයෙන්ම නිමාවන තුරු බලයේ සිටි අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ගේ රජය මැයි 27 දින පැවති මහා මැතිවරණයෙන් පරාජය වීම.එවර මැතිවරණය මෙරට කලාකරුවන්ටත් ස්විශේසි එකක් වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණ වටා ආත්ම පුජා චිත්‍රපටයේ දුෂ්ඨ චරිතයක් රඟපෑ ඩොමී ජයවර්ධන සමග කලාකරුවන්  රැසක්  හා මෙහි වීර චරිත නිරුපණය කළ ගාමිණි පොන්සේකා සමග කලාකරුවන් රැසක්  ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂය වටාත් පෙළ ගැසී සිටීමෙන්.ඒ වගේම මැතිවරණයෙන් පසු ගාමිණි පොන්සේකා ප්‍රශ්න කිරීමකට කොළඹ අපරාධ විමර්ශන අංශයට කැඳවා තිබු බවත් 1970 ජුනි මාසයේ පුවත්පත් වාර්තා කර තිබුණා. ඒ වගේම දේශපාලන විරුද්ධවාදීන් ඔහුගේ චිත්‍රපට ප්‍රචාරක පුවරු ගිනිතබා තිබු බවත් වාර්තා වූ සිදුවීමක්,බොහෝ විට ඒ මෙම චිත්‍රපටයේ වන්නට පුළුවන් මන්ඳ ඒ වනවිට ඔහුගේ තිරගත වෙමින් තිබු අලුත්ම චිත්‍රපටය මෙය පමණක් වීමයි.

මරදාන හන්දියේ ඉදිකර තිබු ආත්ම පුජා චිත්‍රපටයේ දැවැන්ත දැන්වීම් පුවරුව එකල මරදානේ පදිංචි ලාබාල වියේ සිටි අපගේ නෙතට නිතර හසුවූ දසුනක් වී තිබුනත් එම අවස්ථවේ  චිත්‍රපටය නැරඹීමේ අවස්තාවක් අපට හිමි නොවූ අතර පසුව මෙය නැරඹීමට ලැබෙන්නේ 1978 වසරේ ගාමිණි සිනමාහලේ ම නැවත ප්‍රදර්ශනය කළ අවස්ථාවකයි.

අපුර්ව සහෝදර්රගල් (1950 මරදාන එල්පින්ස්ටන්), නිරුම් නෙරුප්පුම් (1972 කොළඹ සෙයින්ස්තාන්),ගෝරා ඕර් කාලා (1975 කොළඹ සමන්තා) තරම් වැඩි දින ගණනක් මෙය ලංකාවේ සිනමාහලක තිරගත නොවීම ඇත්තෙන්ම අවධානයට ගත යුතු සිදුවීමක් වන නමුත් එයටත් හේතුවක් තිබෙනවා ඒ තමයි අනෙක් චිත්‍රපට තුන බොහෝ විට තිරගත වුණේ සිනමාහල් එකක හෝ දෙකක පමණක් වීම. නමුත් ආත්ම පුජා මුළු රටේම සිනමාහල් 10කට වැඩි ප්‍රමාණයක එකවර තිරගත වූ අතර මෙහි ප්‍රධාන සිනමාහල වූ මරදානේ ගාමිණි සිනමාහලේ තිරගත වුණා දින 51ක්.

මෙම  චිත්‍රපටය 1983 කළු ජූලියට හසුව විනාශ වී ඇති බවක් බොහෝ අය කියන නමුත් කළු ජූලියෙන් පස්සේ එනම් 1983 වසරේ අග මහනුවර වෙම්බ්ලි,රත්නපුර ඉම්පීරියල්,මාතර බ්‍රෝඩ්වේ යන සිනමාහල්වල මෙය තිරගත වී තිබෙන බව එවකට පුවත්පත් පරික්ෂා කර බලන විට පෙනී යන කරුණක්.කලින් මේ වගේම කළු ජූලියේ ගින්නට හසුවුවායයි සලකා තිබු  සුර චෞරයා, වන මෝහිනී,අල්ලපු ගෙදර,ඔහොම හොඳද,සුරයන්ගේත් සුරයා,ඔන්න බබෝ බිල්ලෝ එනවා වැනි චිත්‍රපටවල ඩි.වී.ඩි.පිටපත් අද වෙළඳ පොළේ  දකින්නට තිබෙනවා වගේම මෙම චිත්‍රපටයත් අනාගතයේදී ඒ අයුරෙන්ම දැකගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු තැබීමට පුළුවන්.

"https://si.wikipedia.org/w/index.php?title=ආත්ම_පූජා&oldid=653582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි