ගිනි හාවා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Guinea pig වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search


"ගිනී පිග්"
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Rodentia
Suborder: Hystricomorpha
කුලය: Caviidae
Subfamily: Caviinae
ගණය: Cavia
විශේෂය: C. porcellus

කේවි යනුවෙන්ද හඳුන්වනු ලබන ගිනී පිග් රෝඩන්ට් කුලයටත් පවුලටත් ගණයටත් අයත් විශේෂයකි. නම ගිනී පිග් වුවද මොවුන් ඌරු පවුලට අයිති හෝ ගිනියාවෙන් පැමිණි පිරිසක් නොවේ. ඔවුන්ගේ සම්භවය සිදු වී ඇත්තේ අන්දීස් කඳු ආශ්‍රිතවයි. ජීව රසායන විද්‍යාව හා දෙමුහුන්කරණය පදනම් වූ අධ්‍යයනවලට අනුව ඔවුන් වැනි කේවි විශේෂයන්ට ලඟ නෑකමක් දරන හීලෑ කොට්ඨාශයකි.එම නිසා මොවුන් වනයේ ස්වාභාවිකව දැකිය නොහැක. වර්තමාන හා සංරක්ෂණය වූ සතුන්ගේ හිස්කබල සහ ඇටසැකිලි පිළිබඳ රූප විද්‍යාවට අනුව සහ අණුක සළකුණු පිළිබඳ මෑත අධ්‍යයනවලට අනුව මොවුන්ගේ පූර්වජයා බොහෝ දුරට Cavia tschudii විය හැකි බව හෙලිවිනි.

ගිනී පිග් දකුණු ඇමරිකානු ස්වදේශික ගෝත්‍රයන්ගේ ගැමි සංස්කෘතියේ වැදගත් භූමිකාවක් නිරූපණය කරයි. ආහාර ලෙස , දේශීය වෙදකමට මෙන්ම ආගමික සමාජ උත්සව ලෙස ද ඔවුන් යොදා ගනු ලබයි. දකුණු ඇමරිකාවෙන් පිටත මොවුන්ගේ ජනනය වැඩි කිරීමට 1960 සිට උත්සහ දරා ඇත. 16 වන සියවසේ යුරෝපීය වෙළෙඳුන්ගේ හඳුන්වාදීමත් සමගම ගිනී පිග් සුරතල් සතෙකු ලෙස බටහිර ජාතීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. ඔවුන්ගේ හීලෑ ස්වභාවය, ආහාර ලබාදීමේදී හා සුරතල් කිරීමේදී ඔවුන් දක්වන ප්‍රතිචාරය සහ රැක බලා ගැනීමේ සාපේක්ෂ පහසු භාවය නිසා ගිනී පිග් සුරතල් සතෙකු ලෙස ජනප්‍රිය වෙමින් පවතී. ගිනී පිග් පැටව් තරගකාරීව බිහි කිරීම සඳහා වූ සංවිධාන ලොව පුරා බිහි වී ඇත. විවිධ පාට සහ සම්මිශ්‍රණ සහිත විශේෂ ගිනි පිග් වර්ග මොවුන් විසින් බිහි කරනු ලබයි. ගිනී පිග්ලා ගැන ජීව විද්‍යාත්මක පරීක්ෂණ 17 වන සියවසේ සිට සිදු කෙරිණි. මෙම සතුන් 19 වැනි සහ 20 වැනි සියවස්වලදී පර්යේෂණ සඳහා බහුල ලෙස යොදා ගැනිණ.එම නිසා මොවුන් පර්යේෂණ විශේෂයක් ලෙස හැඳින්විණ. නමුත් දැන් මොවුන් වෙනුවට මීයන් වැනි අනික් රොඩන්ට් විශේෂ යොදා ගනී. මොවුන් තවමත් ළමා දියවැඩියාව, ක්ෂය රෝගය, ශීතාද රෝගය සහ ගර්භණී සංකූලතා වැනි මානව රෝගී තත්ව සඳහා පර්යේෂණ නිරූපක ලෙස යොදා ගනී.

ඉතිහාසය[සංස්කරණය]

ගිනි පිග් සතුන් මුලින්ම ගෘහාශ්‍රිතව ඇති කර ඇත්තේ ක්‍රි.පූ. 5000 ක් තරම් ඈත යුගයේදී ආහාර සඳහාය. ඒ දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු ආශ්‍රිත පෙදෙසේ ( වර්තමානයේදී දකුණු කොලොම්බියාව, ඉක්වදෝරය, බොලිවියාව හා පේරු රටවල්)විසූ ගෝත්‍රික ජනතාව විසිනි. එක්වදෝරයේ සහ පේරුහි කරන ලද පුරා විද්‍යාත්මක කැණීම්වලින් ක්‍රි.පූ 500 ත් ක්‍රි.ව 500 ත් අතර යුගයකට අයත් ගිනි පිග් සත්වයන්ගේ චිත්‍ර ආලේපිත පිළිම හමු වී ඇත. පුරාණ පේරු වැසියන් සතුන්ට පුද පූජා පවත්වා ඇති අතර ගිනී පිග් සතුන් නිතරම ඔවුන්ගේ කලාකෘති වල ඇඳ ඇත. ක්‍රි.ව 1200 පමණ සිට 1532 හි සිදු වූ ස්පාඤ්ඤ ආක්‍රමණය වනතුරු සිදු වූ තෝරාගත් විශේෂයන් ජනනය, විවිධාකාරයේ ගිනි පිග් විශේෂ බිහි වීමට හේතු වී ඇත. සමහර නව විශේෂ සඳහා ද පදනම් වී ඇත්තේ ඔවුන්ය. ගිනි පිග් සතුන් එම කලාපයේ ආහාර මූලාශ්‍රයක් ලෙස තවමත් පවතී.අන්දීස් කඳුවැටි ආශ්‍රිතව මොවුන් ගෘහාශ්‍රිතව වාසය කරන අතර නිවැසියන් ආහාරයට ගෙන ඉවත දමන එළවලු කොටස්වලින් යැපේ.ගිනි පිග් සතුන් සම්බන්ධ වන ගැමි සම්ප්‍රදායන්ද බොහෝය.ඔවුන් තෑගි වශයෙන් හුවමාරු වන අතර සමාජ ආගමික උත්සවවල දී යොදා ගනු ලබයි. එසේම ව්‍යවහාරයේදී ඔවුන් උපමා රූපක ලෙසද නිතරම යොදා ගනු ලබයි. ඔවුන්ව පාරම්පරික වෛද්‍යය ක්‍රමයේදී කහ උණ,රක්තවාතය, සන්ධි ප්‍රදාහය හා උණ සන්නිපාතය වැනි රෝග හඳුනා ගැනීමට දේශීය වෛද්‍යයවරයන් විසින් යොදා ගනී. ඔවුන්ව රෝගින්ගේ සිරුරේ ඇතිල්ලීමට යොදා ගනු ලබන්නේ අද්භූත මාධ්‍යයක් ලෙස සලකායි.කලු ගිනි පිග් සතුන් මේ සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් ලෙස සැලකෙයි. සමහර විට රෝගය සුව වී ඇත්දැයි බැලීමට මෙම සතුන් කපා ඔවුන්ගේ බඩවැල් පරීක්ෂා කිරීම සිදු කරයි.මෙවැනි ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමය නොමැති හා එය පිළි නොගන්නා අන්දීස් ප්‍රදේශ වල සුලභව භාවිතා වේ.

ස්පාඤ්ඤ ලන්දේසි හා ඉංග්‍රීසි වෙ‍ළෙඳුන් ගිනී පිග් සතුන් යුරෝපයට ගෙන ආ අතර මෙම සතුන් විදේශීය සුරතල් සතුන් ලෙස ඉහල පැළැන්තිය අතර හා රාජකීයන්(1 වෙනි එළිසබෙත් රැජනද ඇතුලුව ) අතර ඉක්මනින් ජනප්‍රිය විය.ගිනී පිග් සතුන් ගැන දැනට හඳුනාගත් පැරණිම ලියවිල්ල වාර්තා වන්නේ 1947 නි. ඒ සැන් ඩොමින්ගෝවල සතෙකු ගැන ඇති විස්තරයකිනි. මීට හේතුව කේවී සතුන් හිපැනියෝලා දූපත්වලට ආගන්තුක වීමයි.මුලින් විශ්වාස කරන ලද්දේ මෙම සතුන් ස්පාඤ්ඤ සංචාරකයන් විසින් හඳුන්වා දෙන ලද බවයි.කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල මෑතක සිදු කරන ලද කැණීම් වලට අනුව මොවුන් සෙරමික් භාණ්ඩ තනන උයන් පල්ලන් විසින් මීට වසර 2500 කට පමණ පෙර දකුණු ඇමරිකාවෙන් කැරීබියන් දූපත්වලට හඳුන්වා දී ඇතැයි සැලකේ.

නම[සංස්කරණය]

මෙම විශේෂයේ විද්‍යාත්මක නාමය cavia porcellus වේ. Porcellus යන්නෙහි අදහස ලතින් භාෂාවෙන් පුංචි ඌරා යන්න ය. cavia යන්න නව ලතින් භාෂාවෙන් යෙදේ. එය පැමිණ ඇත්තේ වරක ප්‍රංශ ගිනියාවේ විසූ ගෝත්‍රිකයන් කොටසක් වූ ගලිබි ජාතිකයන් මෙම සතුන් හැඳින්වූ cabiai යන නමිනි. එය පෘතුගීසි භාෂාවේ savia සහ එයට එක් වී ඇති ටුපියානු භාෂාවේ sauja(මීයා) ඇසුරෙන් බිඳී ආ වචනයක් විය හැකිය. මොවුන්ට කියුචුවා භාෂාවෙන් (දකුණු ඇමරිකානු ප්‍රාදේශීය භාෂාවකි ) quvi හා jaca යන්නද ඉක්වදෝරය, පේරු සහ බොලිවියා යන රටවල ස්පාඤ්ඤ භාෂාවෙන් cuy හා cuyo යන්නද ව්‍යවහාර වෙයි. මොවුන් ඇති කරන්නන් විසින් මොවුන්ට කේවි යන නමද විද්‍යාත්මක සහ විද්‍යාගාර කටයුතු වලදී සාමාන්‍යය නම වන ගිනී පිග් යන නමද භාවිතා කරනු ලබයි.

මොවුන්ට පිග් යන නම භාවිතා වීමට පටන් ගත් හේතුව පැහැදිලි නැත.මොවුන්ගේ වැඩීම ඌරන්ට සමානය. මොවුන් සිරුරට සාපේක්ෂව විශාල හිසක්, මහත ගෙලක්, රවුම් තට්ටම් සහ වලිගයක් නොමැතිව වැඩේ. මොවුන් නගන සමහර ශබ්ද ඌරන් නගන ශබ්දවලට සමාන වන අතර ආහාර ගැනීමට විශාල කාලයක් වැය කරති. මොවුන්ට කුඩා කූඩු තුළ විශාල කාලයක් සිටිය හැකි අතර එම නිසා පහසුවෙන්ම යුරෝපයට නැව් මගින් ප්‍රවාහනය කරනු ලබයි.

බොහෝ යුරෝපියානු භාෂාවල මෙම සතුන්ගේ නමට ඌරා යන ප්‍රත්‍ය යෙදෙයි. ජර්මානු භාෂාවෙන් කුඩා මුහුදු ඌරු පැටියා යන අදහස ඇති Meerschweinchen යන්න ව්‍යවහාර වේ. එය පෝලන්ත භාෂාවට świnka moska ද රුසියානු භාෂාවට морская свинка ලෙසද හන්ගේරියානු භාෂාවට tengerimalac ලෙසද පරිවර්තනය වී භාවිතා වේ.මෙම නමේ නියම අදහස මධ්‍යයම උසස් ජර්මානු භාෂාවෙන් ඩොල්ෆින් යන්නය. මොවුන් නගන සමහර ශබ්ද ඩොල්ෆින් සතුන් නගන ශබ්දවලට සමාන වේ යන අදහස ඇතුව එය භාවිතා කර ඇත. මොවුන්ට ප්‍රංශ භාෂාවෙන් Cochon d'Inde හා cobaye ලෙසද ලන්දේසි භාෂාවෙන් Guinees biggetje හෝ cavia ලෙසද පෘතුගීසි භාෂාවෙන් cobaia ලෙසද ස්පඤ්ඤ භාෂාවෙන් conejillo de Indias ලෙසද චීන භාෂාවෙන් Holland pigs (荷蘭豬, hélánzhū) ලෙසද සහ ජපන් භාෂාවෙන් モルモット(morumotto) ලෙසද ව්‍යවහාර වේ.

ගිනී පිග් හි ගිනියා යන වචනය ඇති වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. එක අදහසක් නම් මුලදී මොවුන් ගිනියාව මාර්ගයෙන් යුරෝපයට ගෙන්වූ බවත් එම නිසා මිනිසුන් මොවුන් ගිනියාවෙන් ගෙන්වන බවට සිතන්නට පෙළඹුණු බවත්ය. Guinea pig යන වචනය ඉංග්‍රීසි භාෂාවේදී බොහෝ දුර ඈත නොදන්නා රටකට බොහෝ විට යෙදේ. එම නිසා මොවුන්ගේ විදේශිකත්වය හැඟවීමට මෙය යොදාගත්තා විය හැකිය.

පරිසරය හා ගති ලක්ෂණ[සංස්කරණය]

"වර්ණ දෙකකින් යුතු ඇබිසීනියානු ගිනී පිග් සතුන් දෙදෙනෙකු"

ගිනී පිග් සතුන් රෝඩන්ට් විශේෂය සඳහා විශාලය. බර ග්‍රෑම් 700 ත් 1200 ත් අතරය (රාත්තල් 1.5 ත් 2.5 ත් අතර ) දිග සෙ.මී. 25 ත් 30 ත් අතරය (අඟල් 8 ත් 10ත්අතර ). මොවුන් සාමාන්‍යයයෙන් වසර 4 ක් 5 ක් පමණ ජීවත් වේ. නමුත් සමහර සතුන් වසර 8 ක් පමණ ජීවත් වේ. මෙතෙක් වැඩිම කාලයක් ජීවත් වූ සතා ලෙස සැලකෙන්නේ 2007 ගිනස් වාර්තා පොතේ සඳහන් අයුරින් වසර 14 ක් සහ මාස 10.5 ක් ජීවත් වූ ගිනි පිග් සතෙකි.

1990 දශකයේදී, ගිනී පිග් වැනි සතුන් රොඩන්ට් ගණයට අයත් නොවන බවත් වෙනත් ක්ෂීරපායී ගණයක් ලෙස නැවත වර්ගීකරණය කළයුතුය යන විද්‍යාත්මක අදහස ඉදිරිපත් විය. මේ නිසා සිදු කරන ලද බහු පරාස නියදි පරීක්ෂණවලට අනුව දැනට ඇති වර්ග කිරීම නිවැරදි බවට ක්ෂීරපායීන් පිළිබඳ ජීව විද්‍යාඥයින් අතර පොදු එකඟතාවක් ගොඩ නැගී ඇත.

ස්වභාවික පුරුදු[සංස්කරණය]

මොවුන් වනයේ ස්වාභාවිකව හමු නොවෙයි. දකුණු ඇමරිකාවෙන් නිතර හමු වන කේවී විශේෂ වන Cavia aperea, Cavia fulgida හා Cavia tschudii ගෙන් මොවුන් පැවතගෙන එතැයි සැලකේ. ගෘහාශ්‍රිතව සිට වනගත වූවා යැයි සැලකෙන Cavia anolaimae හා Cavia guianae, වැනි කේවි වර්ග 20 වැනි සියවසේදී හඳුනාගෙන ඇත. තණබිම්වලදී හමුවන කේවී සත්තු එළදෙනුන් මෙන් පරිසර විද්‍යාත්මක නිකේතන අත්කර ගෙන සිටිති. ඔවුහු වනයේදී සමාජශීලීව හා පිරිමි සතෙකු, ගැහැනු සතුන් කිහිප දෙනෙකු සහ කුඩා පැටවුන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙති. ඔවුහු තණකොල සහ වෙනත් කොල වර්ග ආහාරයට ගනිමින් කණ්ඩායම් වශයෙන් සංක්‍රමණය වන අතර ආහාර සුරක්ෂිත කිරීමක් සිදු නොකරති. ඔවුහු කූඩු හෝ ගුහා තැනීමක් සිදු නොකරති. බොහෝ විට වෙනත් සතුන් ඉදිකල ගුහාවල හෝ පරිසරයේ හමුවන විවරවල සෙවන මොවුහු ලබාගනිති. මොවුහු නිශාචර හැසිරීමක් දක්වති. විලෝපිකයන් විරල සැඳෑ සහ රාත්‍රී කාලවල මොවුහු වැඩි ක්‍රියාශීලී බවක් පෙන්වති.

ගෘහාශ්‍රිත පුරුදු[සංස්කරණය]

"බළලා මෙම ගිනී පිග් සතුන් දෙදෙනා පිලි ගෙන ඇත. මෙය එක් එක් තනි සත්වයා මත වෙනස් වේ"

ගෘහාශ්‍රිත සතුන්, දෙතුන් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් වශයෙන් දක්නට ලැබේ. ගැහැණු සතුන්ගෙන් යුතු කණ්ඩායම්, ගැහැණු සතෙකු හා බෙලහීන පිරිමි සතෙකුගෙන් යුතු කණ්ඩායම් පොදුවේ දක්නට ලැබේ. මෙම සත්තු අනෙක් ගිනී පිග් සතුන් හඳුනාගැනීමට සහ ඔවුන් සමග බැඳීම් ඇති කර ගැනීමට හැකියාවක් දක්වති. පිරිමි සතුන් ඇසුරෙන් කළ පරීක්ෂණවලින් හෙලි වී ඇත්තේ ඔවුන් එසේ දන්නා ගැහැනු සතුන් සමග සිටින විට දක්වන අන්තරාසර්ග ස්නායු ආවේග ප්‍රමාණය නොදන්නා ගැහැනු සතුන් සමග සිටින විට දක්වන ප්‍රමාණයට වඩා ඉතා අඩු බවය. පිරිමි සතුන්ද කුඩා කාලයේදී හඳුන්වා දුන් විට, ඔවුන්ගේ කූඩුවල ප්‍රමාණවත් තරම් ඉඩක් ඇති විට සහ ගැහැනු සතකු නොමැති විට එකට කණ්ඩායම් ගැසීමට පෙළඹෙති. ගෘහාශ්‍රිත ගිනී පිග් සත්තු වෙනස් ජෛව විද්‍යාත්මක හැසිරීමක් පෙන්වති. කෙටි නින්දක් සහිත දිගු ක්‍රියාශීලී පරිච්ජේද මොවුහු ගත කරති. මොවුහු පැය 24 පුරාම පැතිරුණු අහඹු හැසිරීම් රටාවක් දක්වති. තද ආලෝකයට නිරාවරණය වීමට අකමැතිය. නිතිපතා සිදු කරන චර්යාවන් කිසිවක් නොමැතිය.

හීලෑ සත්තු කූඩු වල ජීවත් වෙති. සතුන් විශාල පිරිසක් අයිති සමහරු මොවුන්ට මුලු කාමරයක්ම වෙන් කර ඇත. කූඩු සඳහා තද වයර් දැල් යොදාගනිති. මෙම දැල් නිසා සමහර විට සතුන් ආබාධ වලට ගොදුරු වන අතර bumblefoot යන ආසාදනයට(පයේ ඇති වන බැක්ටීරියා ආසාදනයකි ) ගොදුරුවීමටද ඉඩ ඇත. මොවුහු කූඩුවල ඉතා අපිරිසිදුව ජීවත් වෙති. ඔවුහු ආහාර බඳුන්වලට පනින අතර ඇතිරිලිවලට මළ පහ කරති. ඔවුන්ගේ මුත්‍රා කූඩු තුල කැටි ගැසෙන නිසා ඉවත් කිරීම අපහසු වෙයි. මොවුන්ගේ කූඩු පිරිසිදු කළපසු සහ කූඩුවෙන් ඉවත් කර නැවත ආපසු දැමූ පසු මොවුහු මුත්‍රා කිරීම මගින් සහ ශරීරයේ යටි කොටස ඇතිල්ලීමෙන් තම බල ප්‍රදේශය ලකුණු කිරීම සිදු කරති.

සාමාන්‍යයයෙන් මෙම සතුන් වෙනත් සත්වයින් සමග එකට ඇති කිරීම අසාර්ථකය. මෙමගින් ආසාදන පැතිරීම වැඩි විය හැකි අතරම අනික් සතුන් මොවුන් කෙරෙහි ප්‍රචණ්ඩ ලෙස ක්‍රියා කිරීමටද ඉඩ ඇත. විශාල සත්තු, මොවුන් තමන්ගේ ගොදුරු ලෙස හඳුනා ගනිති. හාවුන් සමග මොවුහු තරමක සාර්ථකත්වයක් දක්වති.

හැසිරීම[සංස්කරණය]

"ගිනී පිග් සතුන්ගේ අන්‍යෝන්‍ය සත්කාරය"

ගිනී පිග් සත්තු කෑමවලට ඇති සංකීර්ණ මාවත් සොයා ගැනීමට සමත්කම් දක්වති. ඔවුහු එවැනි මං පෙත් මාස ගණනාවක් මතක තබාගෙන සිටිති. ඔවුන්ගේ ශක්තිමත්ම ගැටලු විසඳීමේ ක්‍රමෝපාය චලන වේ. මොවුන්ට කුඩා බාධක පැනිය හැකි වුවද ඉහල නැගිමේදී දුර්වලය. වේගවත්ද නොමැත. මොවුහු පහසුවෙන්ම තිගැස්සෙන අතර එක තැනම ගල් ගැසීම හෝ වේගයෙන් පලා යෑම සිදු කරති. විශාල කණ්ඩායමක් බියට පත් වූ විටකදී නොයෙක් දිශාවලට වේගයෙන් දිව යෑම සිදු කරති. මොවුහු උද්යෝගීමත් වූ විට අහසට කුඩා පිමි පැනීම සිදු කරති. එමෙන්ම මොවුන් පිහිනීමටද ඉතා සමත්ය.

බොහෝ රොඩන්ට් වර්ග මෙන්ම ගිනී පිග් සතුන්ද එකිනෙකා පිරිසිදු කරගන්නා අතර ස්වයං පිරිසිදු කිරීම්ද කර ගනිති. ඔවුන්ගේ ඇස්වලින් වෑස්සෙන කිරි වැනි ද්‍රවයක් කෙස්වල ඇතිල්ලීමක් මෙහිදී සිදු කරති. පිරිමි සතුන් එකිනෙකා ගේ හිස කෙස් සපා ගැනීම මගින් කණ්ඩායම තුල තමාගේ ආධිපත්යන පෙන්නුම් කරති. මෙය කන් සපාගැනීමෙන්, නොයෙක් ශබ්ද පිට කිරීමෙන් හා හිසෙන් පහරදීමෙනුත් පෙන්නුම් කරනු ලබයි.

මොවුන්ගේ දෘෂ්ටිය මිනිසුන්ගේ තරම් ප්‍රබල නොවුනත් අංශක 340 පුඵල් පරාසයක් ගනී. ද්විත්ව වර්ණ දෘෂ්ටියක් මොවුන්ට ඇත. මොවුන්ට දියුණු ආග්‍රානයක්, ශ්‍රවනයක් සහ සන්වේදනයක් පිහිටා ඇත. කථනය තම වර්ගයා අතර සන්නිවේදනයේ ප්‍රාථමික මාධ්‍යය වේ.

අභිජනනය[සංස්කරණය]

ගර්භණී සතෙකු ,පැටවුන් තිදෙනෙකු බිහි කිරීමට සතියකට පෙර

මොවුන්ට අවුරුද්ද මුලුල්ලේම පැටවුන් බෝ කිරීමේ හැකියාවක් ඇත.වසන්තයේදී එය උච්චස්ථානයට පත් වෙයි. අවුරුද්දකට 5 වරක් පමන පැටවුන් බෝ කිරීම සිදු කළහැකිය. ගර්භණී කාලය සාමාන්‍යයෙන් දින 63-68 ත් අතර කාලයක් පවතී. දිගු කාලය හා පැටවුන්ගේ විශාල භාවය නිසා මව් සතුන් මහත් වී හැඩය වෙනස් වේ. අනෙක් රොඩන්ට් විශේෂ මෙන් නොව අලුත බිහිවන පැටවුන් කෙස්, දත්, නිය සහ භාගික දෘෂ්ටියකින්ද යුක්තය. ඔවුහු ඉපදුණු විටම ගමන් කරන අතර මව් කිරි බොන අතර ඝන ආහාරද ගනිති. එක පැටව් ගැසීමකදී පැටවුන් 1-6 ත් අතර ප්‍රමාණයක් උපදින අතර සාමාන්‍යය ප්‍රමාණය 3 කි . මෙතෙක් වාර්තා වී ඇති උපරිම ගණන 17 කි.

බිහි වී පැය 8 කට පසු පැටවකු

පැටවුන් කුඩා ගණනක් උපදින විට පැටවුන්ගේ විශාලත්වය වැඩි නිසා ප්‍රසූත අපහසුතා ඇතිවිය හැකි අතර, පැටවුන් ගණන වැඩි වුවහොත් මළ දරු උපත් සිදුවීමට ඉඩකඩ පවතී. පැටවුන්ගේ බිහිවීම වර්ධනයේ ඉහල අවධියකදී සිදු වන නිසා මවු කිරි හිඟ වීමෙන් පැටවුන් මිය යෑමේ සුලු අවදානමක්ද පවතී. වෙනත් මවුවරුද කිරි දීමට සහය වෙති.

පිරිමි සත්තු සති 3-5 ත් අතරත් ගැහැනු සත්තු සති 4 දී පමණත් ලිංගිකව පූර්ණත්වයට පැමිණෙති. ගැහැනු සතුන්ට ප්‍රසූතියකින් පැය 6 ත් 48 ත් අතර කාලයකදී නැවත ගැබ් ගැනීමට හැකි වුවත් එය සෞඛ්‍යාරක්ෂිත නැත. ගර්භණී අවස්ථාවේ ඇති වන ධූලකරක්ති අවස්ථාව නිසා බොහෝ මව්වරු මරණයට පත් වෙති. මෙය බොහෝ විට උෂ්ණාධික තත්ව නිසා ඇති වෙයි.

ආහාර[සංස්කරණය]

රිදී ඇගවුටි ගිනී පිග් සතෙකු ආහාර ගනිමින්

මොවුන්ගේ ස්වාභාවික ආහාරය තණකොල ය. මොවුන්ගේ දත් ආහාර ඇඹරීමට හැකි අයුරින් පිහිටා ඇති අතර ඒවා ජීවිත කාලය පුරාවටම වර්ධනය වේ. ඔවුන්ට අනෙක් රොඩන්ට් විශේෂවලට වඩා දිග බඩ වැලක් ඇත. මොවුහු තම මළපහද ආහාරයට එක් කර ගනිති.

මොවුන් අලුත් පිදුරු කෑමට කැමතිය. එයට අමතරව ඇල්ෆල්ෆා යන පැලෑටියද මොවුහු විශාල වශයෙන් කෑමට ප්‍රිය කරති. නමුත් මෙම පැලෑටිය ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් මොවුන්ට ස්ථුල බව සහ මුත්‍රා ගල් ඇති කරවයි. මෙහි ඇති අධික කැල්සියම් ප්‍රමාණය මෙයට හේතුවයි. නමුත් විද්‍යාත්මක මූලාශ්‍රවලට අනුව ඇල්ෆල්ෆා ඔවුන්ට ඇමයිනෝ අම්ල, ‍‍ප්‍රෝටීන් සහ තන්තු සපයන මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරති.

අනෙක් බොහෝ ක්ෂීරපායීන් මෙන් නොව මෙම සතුන්ට තමන්ට අවශ්‍යය විටමින් c සංෂ්ලේශණය කර ගත නොහැකි අතර එය ආහාර මගින් ලබා ගත යුතු වේ. විටමින් c හිඟ වුවහොත් මොවුන් ශීතාද රෝගයට ගොදුරු විය හැකිය. මොවුන්ට දිනකට විටමින් c මිලි ග්රෑම් 10 ක් පමණ (ගර්භණී නම් 20 ක්) පමණ අවශ්‍යය වන අතර ඒවා නැවුම් එළවලු සහ පලතුරු මගින් (ඇපල්, කැරට්, ගෝවා හා නිවිති වැනි ) ලබා ගත හැකිය. මොවුන් සඳහා වන සමබල ආහාර වේලකට කැල්සියම් මැග්නීසියම් පොස්පරස් පොටෑසියම් සහ හයිඩ්‍රජන් අයන මෙන්ම E,A,D යන විටමින් වර්ගද අවශ්‍යය වේ. සම බර නොවන ආහාරවලින් නොයෙක් සංකූලතා හා ප්‍රසව අපහසුතා ඇති විය හැකිය. ඔවුන්ගේ ආහාර පුරුදු වයස් ගත වූ පසු වෙනස් කළනොහැකි අතර අලුත් ආහාර වර්ග පුරුදු කිරීමට නොහැකිය. අලුත් පිදුරු හා වෙනත් ආහාර කෑමට දීම වඩාත් සුදුසුය. නිරතුරුව ආහාර දීමට පුරුදු වූ සතෙකුට ආහාර නොමැති වුවහොත් ඔවුන් තම කෙස් සැපීම සිදුකරති. මොවුන්ගේ දත් නිරතුරුව වැඩෙන නිසා මොවුන් රෙදි පත්තර කොල, රබර් ප්ලාස්ටික් වැනි දේ ලෑටි ගෑමට පුරුදුව සිටියි.

කැකිල්ල, bryony, buttercup, charlock, deadly nightshade, foxglove, hellebore, hemlock, Lily of the Valley, mayweed, monkshood, privet, ragwort, rhubarb, speedwell, toadflax, සහ wild celery වැනි ආහාර, ලූණු, අයි වී සහ ඕක් කොල වැනි දේ මෙම සතුන්ට විෂ සහිතය.

සෞඛ්‍යය[සංස්කරණය]

වක්‍රගලස්ථම්ත්වය රෝගයෙන් පෙළෙන සතකු

මෙම සතුන් ලක්වන පොදු අසනීප ලෙස ස්වසන රෝග, උදරාබාධ, ශීතාද රෝගය, විසර ගෙඩි හා උකුණන් සහ දිලීර නිසා ඇති වන රෝග දැක්විය හැකිය.

කීඩෑ කුෂ්ඨ නිසා කෙස් යාම, සුලු තුවාල හා ඇල්ලීමේදී ඇති වන වේදනාව රෝග ලක්ෂණ ලෙස ඇති විය හැකිය. උකුණන් නිසා ද මෙම සත්තු පීඩා විඳිති. කෙස් යෑම නොයෙක් හෝමෝන විපර්යාස නිසාද ඇතිවිය හැකිය.

පිදුරු, බට වැනි ආගන්තුක ද්‍රවය ඇසට ඇතුලු වීම නිසා වේගයෙන් ඇසිපිය ගැසීම, ඇසෙන් කඳුලු ගැලීම හා ඇසේ පටලයක් බැඳීම සිදු විය හැකිය. පිදුරු හා දුහුවිලි නිසා කිවිසුම් යෑම ද ඇති විය හැකිය. අධික ලෙස කිවිසුම් යෑමට බොහෝ විට කාලගුණ වෙනස්වීම් ද බලපායි. මෙය නිව්මෝනියාව ද විය හැකි අතර එසේ වුවහොත් තත්වය උග්‍ර වීමට ද ඉඩ ඇත.

මොවුන්ගේ ශරීරය තරබාරු නිසා අධික සීතලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. සාමාන්‍යය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 101-104 (සෙල්සියස් 38-40) අතර අගයක් ගනී. ඔවුන් අවට ප්‍රශස්ථ වායු උෂ්ණත්වය සෙල්සියස් 18 ත් 24 ත් වන අතර 32 ට වඩා වැඩි උවහොත් ඔවුන් හයිපර්තර්මියාවට ගොදුරු වී මිය යා හැකිය ( මෙය ගර්භනී සතුන්ට අධිකව බලපායි ). මොවුන් සුලං සහිත හා නියඟය සහිත පරිසරයටත් ආර්ද්‍රතාව 30%-70% පිටත පරිසරයටත් සුදුසු නොවේ.

බොහෝ රෝගවල රෝග ලක්ෂණ රෝගය උත්සන්න වන තුරු පෙන්නුම් නොකරන අතර පෙනිසිලින් වැනි ප්‍රතිජීවක ඖෂධවලට මොවුන් දක්වන අධික සංවේදීතාවය නිසා ප්‍රතිකාර කිරීම අපහසුය. මොවුන්ගේ පාරම්පරික ජානමය රෝගාබාධ ද වාර්තා වී ඇත.

සුරතලුන් ලෙස[සංස්කරණය]

සතකු අල්ලාගෙන

මොවුන් මුල සිටම හොඳින් ඇති කළහොත් ඇල්ලීමට සහ රැගෙන යාම්වලට කීකරු වෙති. එසේ වූ විටක සපන්නේ හෝ සූරන්නේ කලාතුරකිනි. මොවුන් කුලෑටි සතුන් කොටසක් වන අතර අවස්ථාවක් ලැබුණද කූඩුවෙන් මිදී පලා යෑමට උත්සහ නොකරති. එසේ වුවද පුරුදු පරිසරයක නිදහසේ යෑමට සැලසූ විට ඔවුහු නිතරම විමසිල්ලෙන් ගමන් කරති. මොවුන් තම ස්වාමියාට පුරුදු වූ විට ඔහු හෝ ඇය පැමිණෙන විට විසිල් නාදයක් පිට කරති. එමෙන්ම ඔවුන් තමන්ට කෑම ලබා දෙන ප්ලාස්ටික් බඳුන්වල ශබ්දයට හා කෑම තබා ඇති ශීතකරණයේ දොර විවෘත වන ශබ්දයට ද විසිල් නාදයකින් ප්‍රතිචාර දක්වති.

විශේෂිත රෝගී අවස්ථාවකදී හැරුණු විට මෙම සතුන් යුගල් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් තැබිය යුතුය. තනිවම සිටීම නිසා මොවුන් මානසික ආතතියට සහ විශාදයට ගොදුරු විය හැකිය. පිරිමි සතුන් වුවද කුඩා කළසිටම එකට තැබුවහොත් හොඳින් කණ්ඩායම් ලෙස ක්‍රියා කරති. ඔවුන් විරසක වන්නේ සම්පත් හිඟ වුවහොත් පමණි.

ගෘහාශ්‍රිත සතුන් විවිධ විශේෂවලින් ඇත. ඒ යුරෝපයට හා ඇමරිකාවට හඳුන්වා දුන් පසු සිදු වූ වර්ධනයන්ය. මොවුන් කෙස් සහ වර්ණ සංයෝජනයන් ගෙන් වෙනස්කම් දක්වයි. ඉංග්‍රීසි ශෝතයර්, ඇබිසිනියන්, පෙරුවියන්, ශෙල්ටී, ටෙක්ස්සෙල් යනු සාප්පුවලින් මිලදී ගැනීමට ඇති ජනප්‍රිය වර්ග කීපයකි.

සංස්කෘතික හා මාධ්‍ය බලපෑම[සංස්කරණය]

එළ නිල් පාට, තැඹිලි සහ සුදු සැටින් පේරු ගිනී පිග් සතෙකු(දිග ලොම් සහිත )

මිනිසුන්ගේ ගෘහ ජීවිතයේදී මොවුන් දක්වන ජනප්‍රිය භාවය නිසා මොවුන් සංස්කෘතියට සහ මාධ්‍යයටද එකතු වී ඇත. මොවුන් සිටින සාහිත්ය කෘති කිහිපයක් නම් Beatrix Potter ගේ The Fairy Caravan හා Michael Bond ගේ Olga da Polga series for children, C. S. Lewis ගේ The Magician's Nephew හා The Chronicles of Narnia series, Ellis Parker ගේ ButlerPigs Is Pigs හා David Gerrold ගේ The Trouble with Tribbles වේ.

එමෙන්ම Shredderman Rules, Dr. Dolittle, Nick Jr. ගේ Wonder Pets හා Walt Disney Picturesල ගේ G-Force යන චිත්‍රපටහී දී මොවුහු චරිත නිරූපනය කරති. ගිනී පිග් සතුන් විද්‍යාත්මක පරීක්ෂණවලට යොදා ගැනීම 17 වන සියවස දක්වා ඈතට දිව යයි. එහිදී මාකෙලෝ මැල්පිගි හා කාලෝ ෆ්රැකස්සාටි යන විද්‍යාඥයන් දෙපල මෙම සතුන් යොදාගෙන ජෛව විජ්ජේදනයක් සිදු කර ඇත. 1980 දී අන්තෝනියෝ ලැවොයිසියර් තම කැලරිමීටර් පරීක්ෂණයට මෙම සතුන් යොදාගෙන ඇත. 19 වන සියවසේදී සොයා ගැනුණු රෝග පිළිබඳ විෂ බීජ න්‍යාය පිළිබඳ පර්යේෂණවලටද යොදාගනු ලැබුවේ මෙම සතුන්ය. මෙම සතුන් කිහිප විටකදී අභ්‍යයවකාශයටද යවා ඇත.

Guinea pig යන ඉංග්‍රීසි වචනය ඕනෑම පර්යේෂණයක් සඳහා උපමා රූපකයක් වශයෙන් යෙදේ.

විද්‍යාත්මක පර්යේෂණ[සංස්කරණය]

ගිනී පිග් සතෙකු පරීක්ෂා කරන සත්ව විද්‍යාඥයෙකු

මෙම සත්තු 20 වැනි සියවස අග භාගය වනතෙක්ම ජනප්‍රිය විද්‍යාගාර සතුන් කොටසක් වූහ. 1960 දශකයේදී එක්සත් ජනපදයේ පමණක් වාර්ශිකව මෙම සතුන් මිලියන 2.5 ක් පරීක්ෂණවලට ලක් කර ඇත එම ප්‍රමාණය 1990 දශකය මැදදී 375,000 ක් දක්වා අඩුවූ අතර දැන් එම ප්‍රමාණය පර්යේෂණ වලට ලක් කරන මුඵ සත්තු ප්‍රමාණයෙන් 2% කි. 20 වැනි සියවස මැද භාගයේ සිට මොවුන් වෙනුවට මීයන් යොදා ගැනීම ආරම්භ වුනි.

මොවුන් තවමත් ක්ෂය රෝගය සහ ශීතාද රෝගය ආශ්‍රිත පරීක්ෂණ සඳහා යොදා ගනිති. මොවුන් සතුව අසාමාන්‍යය ඉන්සියුලින් විකෘතියක් පවතී. මෙය ප්‍රති ඉන්සියුලින් ප්‍රති දේහ නිපදවීමට යොදාගනිති.

ලොම් රහිත ගිනී පිග් විශේෂ 1980 දශකයේ සිට චර්ම රෝග පර්යේෂණ සඳහා යොදා ගනිති. සමහර ලොම් රහිත විශේෂ සුරතලුන් ලෙස ඇති කරනු ලබන අතර මොවුන් ස්කිනිපිග් ලෙස හඳුන්වයි.

ආහාර[සංස්කරණය]

මෙම සතුන් මුලින් ම ආහාර සඳහා ඇති කර ඇත්තේ අන්දීස් කඳු වැටිවලය. ඔවුන්ව අන්දීස් ප්‍රදේශවාසීන් විසින් සාම්ප්‍රදානුකූලව විශේෂ උත්සව අවස්ථා සඳහා වෙන් කර ගෙන සිටි සතුන් කොටසකි. නමුත් 1960 දශකයේ සිට සාමාන්‍යය මිනිස් පාරිභෝජනයට ගෙන ඇත. එය පේරු රාජ්‍යයයේ සහ බොලිවියාවේ ආහාරවල ප්‍රධාන අංගයකි. ඉක්වදෝරයේ සමහර ප්‍රදේශ වල සහ කොලොම්බියාවේ ද මෙය ආහාරයට ගනී. මොවුන් සඳහා වැය වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක් වීමත් ගමේ මෙන්ම නගරයේත් ඇති කළහැකි වීමත් නිසා සාම්ප්‍රදායික ආහාර වන ගව මස් හා සූකර මස්වලට වඩා මේවා ලාබදායී වී ඇත. මෙම සතුන් ගමේ සහ නගරයේ වෙළඳසැල්වලින් මිලදී ගත හැකිය. මේවා ‍ප්‍රෝටීන් අධික සහ මේදය හා කොලෙස්ට්‍රෝල් අඩු ආහාරයකි. හා මස් සහ කුකුල් මස්වලට සමානය. මේවා බැද, තම්බා හෝ කර කර ආහාරයට ගත් හැකි අතර ඉක්වදෝරයේ දී සුප් සෑදීමටද යොදා ගනිති.

දකුණු ඇමරිකාව[සංස්කරණය]

පේරුහි මිනිස්සු වර්ෂයකට මෙම සතුන් මිලියන 65 ක් පමණ ආහාරයට ගනිති. මෙම සතුන් පේරු හීදී තවමත් වැදගත් ආගමික කටයුතුවලදී පාවිච්චි වේ. මෙයට අමතරව පේරුහිදී සහ ඉක්වදෝරයේ නොයෙකුත් උත්සව අවස්ථා සඳහා මෙම සතුන් භාවිතා වේ. සමහර විටකදී මොවුන්ට විවිධ ඇඳුම් අන්දවා තරඟ සඳහා යොදා ගනිති.

නිව්යෝක් නගරයේ සිටින අන්දීස් සංක්‍රමණිකයන් මොවුන් ඇති කර මස් සඳහා විකිනීම සිදු කරති. පේරු පර්යේෂණ විශ්වවිද්‍යාල විසින් 1960 දශකයේ පටන් වඩා විශාල ගිනී පිග් විශේෂ බිහි කිරීමට පර්යේෂණ පවත්වයි. මෙයට සමාන්තරව විශ්වවිද්‍යාල විසින් මොවුන් බිහි කිරීමේ ක්‍රමවේද වෙනස්කිරීමට පර්යේෂණ පවත්වනු ලැබ ඇත. 1990 හා 2000 දශකවලදී මෙම විශ්වවිද්‍යාල විසින් වඩා විශාල සතුන් යුරෝපයට එක්සත් ජනපදයට සහ ජපානයට අපනයනය කිරීම ආරම්භ කරන ලදී.

උප සහරා අප්‍රිකාව[සංස්කරණය]

බටහිර අප්‍රිකාවේ මෙම සතුන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් ගෙන ඇත. මෙම සතුන් අප්‍රිකාවට හඳුන්වාදුන් කාලය සහ වර්ෂය තහවුරු වී නොමැත. කැමරූන් රාජ්යෙයේ මෙම සතුන් විශාල ලෙස පැතිරී ඇත. කොන්ගෝ ජනරජයේදී මෙම සතුන් අර්ධනාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද ටැන්සානියාවේදී ද මෙම සතුන් හමුවේ.

අනෙත් බටහිර රටවල[සංස්කරණය]

මේ හැරුණු විට මස් පිණිස ගිනි පිග් සතුන් ආහාරයට ගැනීම අනෙක් යුරෝපානු රටවල්වල සංස්කෘතිකමය වශයෙන් තහනම් මාතෘකාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගිනි_හාවා&oldid=307200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි