ප්‍රතිජීවක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ප්‍රතිජීවක ඖෂධ වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ස්ටැෆිලොකොකස් ඕරියස් බැක්ටීරියාව මත ප්‍රතිජීවක ක්‍රියා කරණ ආකාරය පරික්ෂා කිරීමක්.

ප්‍රතිජීවක එසේත් නැත්නම් ප්‍රතිබැක්ටීරියක් යනු, බැක්ටීරියා වැඩීම ප්‍රතිෂේධ කරන හෝ බැක්ටීරියා මරා දමන හෝ කාරකයකි.[1] මෙම පදය බොහෝ විට, ප්‍රතිජීවක(ය) යන පදය හා සමගින්, තුල්‍යාර්ථ ලෙසින් භාවිතා වෙයි. වර්තමානයේ, කෙසේවෙතත්, විවිධ බෝවෙන රෝග සඳහා හේතුවන කාරක පිළිබඳ වැඩි දැනුම සමග, ප්‍රතිජීවක(ය) යන්නෙන් අදහස් වන්නේ, ප්‍රති-දිලීර සහ අනෙකුත් සංයෝගද අඩංගු, පුළුල් ප්‍රතික්ෂුද්‍රජීවි සංයෝග පරාසයක්ය.

සමස්ත විග්‍රහය[සංස්කරණය]

ක්ෂිරපායීන්ට එරෙහිව විශාල වශයෙන් විෂ සහගතවන ස්ට්‍රිචිනීන් හා ආසනික් වැනි රසායනික සංයෝග ප්‍රතිජීවක නාශක සොයාගැනීමට ප්‍රථම භාවිතා කරන ලදී. කෙසේ නමුත් පසුකාලීනව සොයා ගන්නා ලද ප්‍රතිජීවක ඖෂධ මගින් රෝගියා සදහා ඉතා කුඩා හෝ ඇතැම් අවස්ථාවලදී අහිතර කර ප්‍රතිවිපාක කිසිසේත් ලබානොදෙන අතර ඉලක්ක ස්ථානය වෙත ඉතා ඉහළ කාර්යක්ෂමතාවකින් ක්‍රියාකර ප්‍රතිඵල ලබාදේ. බොහොමයක් බැක්ටිරීයාවන්ට එරෙහි ප්‍රතිජීවක ඖෂධ මගින් වෛරස , දිලීර හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියාකාරිත්වයක් නොපෙන්වයි. බැක්ටීරියාවන්ට එරෙහි ප්‍රතිජීව ඖෂධ ඒවා ඉලක්ක කරන කෘත්‍ය අනුව වර්ගී කරණයකට ලක්කරනු ලබයි. වඩාත් පටු ක්ෂේත්‍රයකට විහිදී පවතින ප්‍රතිජීවක ඖෂධ (Narrow – spectrum) ග්‍රෑම් වර්ණකය මගින් වර්ණ ගැන්වෙන හෝ වර්ණ නොගැන්වෙන යන එක්තරා බැක්ටිරීයා කාණ්ඩයක් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරී වේ. මේ අතර වඩාත් පුළුල් ක්‍ෂේත්‍රයකට විහිදී පවතින ප්‍රතිජීවක ඖෂධ (Broad – spectrum) මගින් වඩාත් පුළුල් ක්ෂේත්‍රයක බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කළ හැකිය.

එක් එක් ප්‍රතිජීවක ‍ඖෂධයක පරිසරය අදාල ආසාදනය පිහිටි ස්ථානය, ආසාදනය සිදුවූ ස්ථානයට ප්‍රතිජීවක ඖෂධයට ලගා වීමේ හැකියාව සහ අදාල ක්ෂුද්‍ර ජීවියාට ප්‍රතිජීවක ඖෂධය අක්‍රීය කිරීමට හෝ එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව අනුව නිර්ණය වේ. ඇතැම් බැක්ටීරියාවන්ට එරෙහි ප්‍රතිජීවක ඖෂධ මගින් බැක්ටීරියාවන් මරණයට පත් කරන අතර වෙනත් ප්‍රතිජීවක මගින් බැක්ටිරියාවල ගුණනය වීම වළක්වනු ලබයි.

මුඛ මාර්ගයෙන් ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම ඉතා පහසු වන අතර ඒවා රෝගය වඩාත් උත්සන්න වනාවූ අවස්ථාවන්හිදී ලබාදෙයි. වඩාත් පුළුල්ව සිරුර පුරාම විහිදී පවතින බැරෑරුම් ආසාදනයක් සදහා පුතිජීවක ඖෂධ ශිරා ගත කරනු ල‍ැබේ. ඇතැම් අවස්ථාවල දී ප්‍රතිජීවක ඖෂධ ඇස්වලට යොදන බින්දු හෝ ආලේපණයක් ලෙසට භාවිතා කෙරේ.

පසුගිය වසර කිහිපය තුළ සායනික භාවිතය සදහා අළුත් වර්ගවල ප්‍රතිජීවක ඖෂධ 3 ක් සොයා ගෙන ඇත. මෙමගින් පසුගිය වසර 40 ක කාලසීමාවක් තුළ අළුත් ප්‍රතිජීවක ඖෂධයක් සොයා නොගැනීමන් ඇතිවූ හිස්තැන පිරවුණි. මෙලෙස සොයා ගන්නා ලද නව ප්‍රතිජීවක ඖෂධ පහත සදහන් පරිදි කාණ්ඩ තුනකට බෙදා දැක්වේ.

  1. චක්‍රීය ලිපෝපෙප්ටයිඩ (ඩැප්ටොමයිසීන්)
  2. ග්ලිසිල්සයික්ලීන් (ටිග් සයික්ලීන්) සහ
  3. ඔක්සසෝලිඩිනෝන් (ලිනෙසොලීඩ්) ය.

ටිග් සයික්ලීන් යනු වඩාත් පුළුල් ක්ෂේත්‍රයකට ක්‍රියාකාරීවන ප්‍රතිජීවකයක් වන අතර අනෙක් වර්ග දෙක ග්‍රෑම් ධන බැක්ටීරීයාවන් මගින් සිදුවන ආසාදන සදහා පමණක් එරෙහිව ක්‍රියාකරයි. මෙලෙස නව ප්‍රතිජීවක ඖෂධ වර්ගවල සොයා ගැනීම අවශ්‍ය වනුයේ ප්‍රතිජීවක සදහා බැක්ටීරියාවන් ඇති කරගෙන ඇති ප්‍රතිරෝධීතාවයට එරෙහිව ක්‍රියාකිරීම සදහාය.

ඉතිහාසය[සංස්කරණය]

20 වන ශතවර්ෂය වන තෙක් බැක්ටීරියාවන් මගින් මානවයන් හට ඇති කරන රෝග (ක්ෂය රෝගය, මහාමාරිය හෝ ලාදුරු) සදහා ක්‍රියාකාරීවන ප්‍රතිජීවක ද්‍රව්‍යයන් හදුනාගැනීමට හෝ නිෂ්පාදනය කිරීමට හැකියාව නොතිබුණද මීට වසර 2500 කට ඉහත පුරාතන චීන ජාතිකයන් විසින් ප්‍රතිජීවක ඖෂධ වර්ග භාවිතා කළ බවට සාක්ෂි පවතී. පුරාතන ඊජිප්තු ජාතිකයන් සහ ග්‍රීක ජාතිකයන් විසූ සංස්කෘතීන් තුළ දීලීර වර්ග සහ ශාක වර්ග නොයෙකුත් ආසාදනයන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස භාවිතා කළ බවට තොරතුරු ඇත. මෙමගින් ඉහතින් සදහන් කරන ලද ද්‍රව්‍යවලින් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීමේ ප්‍රතිවිකතාව (Antibiosis) නම් සංසිද්ධිය බිහිවුණි. ප්‍රතිවිකතාවය මුල්වරට විස්තර කරන ලද්දේ 1877 දී ලුවීපාස්චර් සහ රොබට් කොක් විසින් වාතය මගින් ව්‍යාප්ත වන බැසිලස බැක්ටීරියාවක් මගින් බැසිලස් ඇන්ත්‍රසිස් හි වර්ධනය නැවැත්විය හැකි බවට සිදු කළ නිරීක්ෂණයකින් පසුවය. පෙනිසීලියම් විශේෂ වන ඇති ප්‍රතිජීවක ගුණාංග පිළිබදව මුල්ම වරට විස්තර කරනු ලැබුවේ 1897 දී ප්‍රංශයේ විසූ අර්නස්ට් දුෂේන් විසින් කෙසේ නමුත් ඔහු විසින් සිදුකරන ද ක්‍රියාකාරකම් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් පෙනිසිලීන් නම් ප්‍රතිජීවකය සොයා ගන්නා තෙක් විද්‍යාත්මක ප්‍රජාවගේ අවධානයට එතරම් ලක්නොවුණි.

ප්‍රතිජීවක ඖෂධ මගින් සිදු කරන චිකිත්සාව සදහා නූතන පර්යේෂණ ජර්මනිය තුළ ආරම්භ කෙරුණේ 1909 දී පෝල් අර්ලිච් විසින් සල්වාසන් නම් පටු ක්ෂේත්‍රයක ක්‍රියාකාරීවන ප්‍රතිජීවක ඖෂධය සොයා ගැනීමත් සමගය. මෙමගින් එවකට පුළුල්ව ව්‍යාප්තව තිබූ සෞඛ්‍ය ගැටළුවක් වූ උප දංශය රෝගය සදහා කාර්යක්ෂමව ප්‍රතිකාර කෙරුණි. මෙම ඖෂධය එකල වෙනත් ස්පයිරොකීටාවන් මගින් ඇති කරන රෝග සදහා ලබදායි ලෙස භාවිතා කෙරුණද නූතන වෛද්‍ය විද්‍යාව තුළ එය තව දුරටත් භාවිතා නොවේ.

1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් පෙනිසිලීන් නම් ඖෂධය සොයාගැනීමත් සමගම බ්‍රිතාන්‍ය තුළ තව දුරටත් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කෙරුණි. මෙයින් වසර 10 කටත් වඩා වැඩි කාලයකින් පසුව අර්නස්ට් චේන් සහ හොවාඩ් ෆ්ලෝරි විසින් ඇලෙක්සැන්ඩර් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දක්වන ලද අතර ඔවුන් විසින් පෙනිසිලීන්වල වඩාත් පිරිසිදු කරන ලද නිෂ්පාදනයක් සොයා ගත්හ. මොවුන් තිදෙනා 1945 දී වෛද්‍ය විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය හිමිකරගත්හ. 1939 දී රෙනේ ඩූ බෝස් විසින් ග්‍රැමිසිඩීන් නම් ප්‍රතිජීවකය සොයාගත් අතර එය මුල්වරට වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රතිජීවකයවන අතර දෙවන ලෝක යුධ සමයේදී තුවාල කරුවන්ගේ භාවිතය සදහා ඉතා ඉහළ ඵලදායීතාවයකින් යුතුව භාවිතා කරන ලදී. හෝවාඩ්ගේ පෙනිසිලීන් හා සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණවලට නව ජීවයක් ලබාදීම වෙනුවෙන් ඔහු ඩුබෝස් හට සිය කෘතඥතාවය පිරිනමන ලදී.

ප්‍රතිජීවක ඖෂධ යන යෙදුම මුල් අවස්ථාවලදී යොදා ගනු ලැබුයේ දිලීර හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නිස්සාරණය කර ගනු ලැබූ ද්‍රව්‍ය හැදින්වීමටය. නමුත් පසුකාලීනව කෘතිමව හෝ අර්ධ වශයෙන් කෘතිමව නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රතිජීවක ගුණයක් සහිත ඖෂද සදහා ද එලෙස හදුන්වන ලදී. ප්‍රතිජීවක ඖෂධ මගින් බොහොමයක් රෝග සුව කිරීම සදහා උපකාර කළ හැකිය.

අහිතරකර ඵලවිපාක[සංස්කරණය]

භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධය සහ ඉලක්ක කරන ක්ෂුද්‍ර ජීවි විශේෂය අනුව ප්‍රතිජීවක ඖෂධවල අහිතකර ඵලවිපාක විවිධ වේ. මේවා උණ, ඔක්කාරය යන රෝග ලක්ෂණවල සිට වඩාත් බැරෑරුම් ආසාත්මිකතාවයන් දක්වා විවිධ විය හැකිය. වඩාත් බහුලවම ඇතිවන අහිතකර ඵල විපාකය වනුයේ පාචනයයි. මෙය නිර්වායු බැක්ටීරියාවක්වන ක්ලොස්ට්රිඩියම් ඩෙෆිසිලේ නම් බැක්ටීරියාව මගින් ඇති කරන අතර අන්ත්‍රයෙහි සාමාන්‍ය බැක්ටීරියා ගහණයෙහි තුල්‍යතාවය වෙනස් කරන ප්‍රතිජීවක ඖෂධ මගින් එසේ සිදුවේ. මෙලෙස ව්‍යාධිජනක බැක්ටිරීයාවන්ගේ වර්ධනය වීමක් වැළැක්වීම සදහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අවස්ථාවන්හිදී ප්‍රෝබයොටික් නම් ඖෂධ භාවිතා කිරීම සිදු කරනු ලබයි. මෙලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමේදී යෝනිමාර්ගයෙහි සාමාන්‍ය වශයෙන් ජීවත් වන බැක්ටිරීයාවන් විනාශයට පත්කරන අතර එවිට එම ප්‍රදේශවල කැන්ඩිඩා නම් යීස්ට් වර්ගය වර්ධනය වීමෙන් ආසාදනයට ලක්විය හැකිය. වෙනත් අහිතකර ඵලවිපාකයන් වනුයේ ප්‍රතිජීවක ඖෂධ වෙනත් ඖෂධ වර්ග සමග අන්තර් ක්‍රියා දැක්වීමයි. උදා - ක්විනලෝන් නම් ප්‍රතිජීවක වර්ග කෝටිකෝ ස්ටිරෝයිඩ ඖෂධ සමග එකට භාවිතා කරන අවස්ථාවන්හිදී එම රෝගීන්ගේ ඛණ්ඩරාවලට හානිවීමේ අවධානම ඉහළ යයි.

මේ හා සමානවම ඇති තවත් කල්පිතයක් වනුයේ ඇතැම් ප්‍රතිජීවක මගින් උපත් පාලන පෙතිවල කාර්යක්ෂමතාවය කෙරෙහි බලපෑම් ඇති කරන බවයි. කෙසේ වුවද බොහොමයක් අධ්‍යයන මගින් පෙනී ගොස් ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ මගින් උපත් පාලනය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. කෙසේ නමුත් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අවස්ථාවන්හිදී ඉතා සුළු ප්‍රතිශතයක් වූ කාන්තාවන් ප්‍රමාණයක් උපත් පාලන පෙතිවල කාර්යක්ෂමතාවය අඩු බවට අත්දකිති.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Dorlands Medical Dictionary:antibacterial". Archived from the original on 2010-11-17. සම්ප්‍රවේශය 2010-10-29. 
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිජීවක&oldid=394587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි