මහගම සේකර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මහගම සේකර
උපත සේකර
1929 අප්‍රියෙල් මස 7 වැනිදා
මරණය 1976 ජනවාරි මස 14 වන දින
කොළඹ
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
රැකියාව රජයේ ලලිත කලායතනයේ විදුහල්පති
ප්‍රසිද්ධ වන්නේ ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂක
මව්පියෝ මහගම ගේ ජෝන් සිංඤෝ

මහගම සේකර(1929–1976) අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය. එසේ ම හෙතෙම චිත‍්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත‍්‍ර කලාවට ය. [1] කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත‍්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.

ළමා කාලය[සංස්කරණය]

මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අප්‍රියෙල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.

හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.


'විසල් සුදු ඩිමයි කඩදාසි මත'

'තබා මහ කවකටුව දිග රූල'

'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'

'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'

'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'

'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

තුංමං හංදිය[සංස්කරණය]

මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි.

එක් පාරක් ආපහු ගෙදර යන පාර ය. අනෙක් පාරෙන් ගියොත් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග‍්‍රීසි ඉගෙන ගත හැකි ය. තුන් වැනි පාර දිගේ යන්නට ඇත්තේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ය. (තුංමංහංදිය සිවු වැනි මුද්‍රණය 1984 පිටුව 140 – 141) මේ ආකාරයට ම මහගමසේකරට තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් එළැඹිණි. ඔහු ද සිරිසේන මෙන් කොළඹට විත් මරදාන කාර්මික විද්‍යාලයයට බැඳී චිත‍්‍ර කලාව ඉගෙනීමට පටන් ගත්තේ ය. ඒ 1948 දී ය.

‘43 කණ්ඩායම’[සංස්කරණය]

1948 පමණ වන විට මේ රටේ ‘43 කණ්ඩායම’ ඔස්සේ නූතනවාදී චිත‍්‍රකලා සම්ප‍්‍රදායයක් ගොඩනැඟී අවසන් බව අප සිහි කටයුතු ය. එකල කාර්මික විදුහලේ චිත‍්‍ර ශිල්පය ඉගෙනීමට සිදුවූයේ ඉංග‍්‍රීසි භාෂා මාධ්‍යයෙනි. එසේ ම එහි ඉගැන්වූ චිත‍්‍ර කලාව ද පර්යාලෝක නීති රීති ගුරු කොටගත් බටහිර යථාර්ථවාදී චිත‍්‍ර කලාව විය. කාර්මික විදුහලේ සමාජ සංස්කෘතික පසුබිමත් එකී චිත‍්‍ර කලා රීතියත් සේකරට ඒ තරම් ම ඇල්ලුවේ නැති බවක් පෙනෙන්ට තිබේ.

භූමි දර්ශන ඇඳීමත් ප‍්‍රභූන් ගේ ආලේඛ්‍ය චිත‍්‍ර ඇඳීමත් චිත‍්‍ර කලාව නොවන බව සේකර වටහා ගෙන තිබුණේ ය. එය ඉතා ව්‍යක්ත ව ප‍්‍රකාශ කර ඇති අවස්ථාවක් ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංචේ එයි. “යුරෝපීය චිත‍්‍ර ශිල්පීන් අනුගමනයෙන් සුන්දර දේශ දර්ශන පිටපත් කිරීමක් හෝ මැති ඇමැති ආදී ප‍්‍රභූන් ගේ තෙල් සායම් හෝ දිය සායම් හෝ වර්ණ චිත‍්‍ර ඇඳීමක් හෝ සේකර කවදාකවත් ප‍්‍රිය නො කෙළේ ය.

ඓතිහාසික ස්ථාන චිත‍්‍රපට නැඟීමට උත්සුක නොවූ හේ සාම්ප‍්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කෙළේ ය. (1990 පිටුව 33)

ඊට මඳක් සමාන අදහසක් ආචාර්ය කේ. ජයතිලක විසින් ද කරනු ලැබ ඇත. “... ඔහු මරදාන ටෙක්නිකල් කොලිජියේ ඉතා ප‍්‍රකට චිත‍්‍රඥයන්ගෙන් චිත‍්‍ර කලාව හදාළ නමුත් ඔවුන් ගේ චිත‍්‍ර සම්ප‍්‍රදායයන්ට යට නො වූ තමා ගේ ම චිත‍්‍ර සම්ප‍්‍රදායක් ගොඩනඟා ගෙන තිබිණි.

(ඉහත ‘දිවයින’ පත‍්‍රයේ ලිපිය) එකරුණ තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංච ලියන ජයදාස කුමාරගේ ගේ මේ අදහස් ද උපුටා ගැනීම මැනවැ යි සිතමි. දේශීය හෝ ස්වාධීන චිත‍්‍ර කලාවක් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට එදා කාර්මික විද්‍යාලයානුබද්ධව පැවැති චිත‍්‍ර ශිල්පීය අංශයෙන් සේකරට එතරම් පිහිටක් ලැබුණේ නැත.

ලන්ඩනයේ චෙල්සි චිත‍්‍ර ශිල්පායතනයෙන් උපාධි ලබා පැමිණ සිටි ආචාර්ය භවතුන් විසින් බටහිර චිත‍්‍ර කලාවම ශ්‍රේෂ්ඨ තන්හි ද සැලැකුණු එවැනි යුගයක සේකර ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කිරීමට පටන්ගත්තේ ය. (25 පිටුව)

1949 දී චිත‍්‍ර කර්ම ගුරු විභාගයට පෙනී සිටි සේකර ඊළඟ වසරේ දී චිත‍්‍ර ගුරුවරයකු ලෙස නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලට ඇතුළු වූයේ ය.

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ[සංස්කරණය]

Skara art.jpg

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ

චිත‍්‍ර ප‍්‍රදර්ශන[සංස්කරණය]

මහගමසේකර අවස්ථා තුනකට වඩා චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වා නැත. 1954 දී ජාතික කලා පෙරමුණේ වාර්ෂික චිත‍්‍ර ප‍්‍රදර්ශනයට සේකර ඉදිරිපත් කළ ’මව හා දරුවා’ නම් වූ චිත‍්‍රය මහාචාර්ය ගුණපාල මලලසේකර මිලට ගත් බව සඳහන් ව ඇත.

1969 අපෙ‍්‍ර්ල් 22 - 29 දිනවල කොළඹ කලා භවනේ දී සේකර චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වා ඇත. හැත්තෑව දශකයේ දී සේකර ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් කොළඹ සමුද්‍රා හෝටලයේ සෙරන්ඩිබ් කලාගාරයේ දී ද පවත්වා ඇත.

සේකර ගේ චිත‍්‍රයකට පළමු වතාවට සම්මානයක් ලැබුණේ 1956 දී ජාතික කලා පෙරමුණ සංවිධානය කළ චිත‍්‍ර තරගයක දී ය. ඒ ඔහු ගේ ‘මහභිනිෂ්ක‍්‍රමණය’ නම් වූ චිත‍්‍රයට ය.

සේකර ‘ලංකාදීප’ හා ‘රසවාහිනි’ යන පුවත්පත් සඟාවනට ‘සේකර ගේ ජරමර’ යන නමින් විකට කාටුන් නිර්මාණය කෙළේ ය. උපහාස රසය සේකර ගේ කවිවලත් දක්නට ලැබුණු විශේෂ ලක්‍ෂණයකි.

සේකර පොත් ගණනාවකට ම කංචුක නිර්මාණය කර ඇත. ඔහු මුලින් ම පොතක් සඳහා පිට කවරයක් ඇන්දේ ආචාර්ය කේ. ජයතිලක ගේ ‘දෛවයෝගය විචාරය’ (1953) නමැති විචාර ග‍්‍රන්ථයට ය.

ජී. එස්. ප‍්‍රනාන්දු ආදීන් එතෙක් පවත්වාගෙන ආ පොත් පිට කවර සම්ප‍්‍රදායය මුළුමනින් ම උඩුයටිකුරු විප්ලවයකට භාජනය කරන ලද්දේ සේකර විසින් ආරම්භ කරන ලද පිට කවර නිර්මාණ මඟින් බව ආචාර්ය කේ. ජයතිලක කියා සිටී. (දිවයින ඉහත සඳහන් ලිපිය) හැටේ දශකයේ දී හොඳ පොතක සලකුණ බවට පත් වූයේ සේකර ගේ කංචුක චිත‍්‍ර නිර්මාණ රැගත් පොත් ය.

සේකර නිර්මාණය කළ ‘ඉලස්ටේ‍්‍රෂන්’ ඔහු ගේ ළමා පොත් කීපයක එයි. (පුංචි අයට කයිකතන්දර, සරු පොළොවක් අපට ඇතේ, කොටි වලිගය, ළමා ගීත) සේකර ගේ ඇතැම් කවි ද (සංයුක්ත කවි?) චිත‍්‍රවල හැඩරුව ගනී.

සේකර තම බිරිය ගේ සාරි සඳහා නිර්මාණය කළ බතික් හා බිරිය හා දියණියන් සඳහා නිර්මාණය කළ එම්බ්‍රොයිඩර් ඔහු ගේ වෙබ් අඩවියේ දක්නා ලැබේ. එයින් විශේෂයෙන් ම එම්බ්‍රොයිඩර් ඉතා ම නිර්මාණශීලි බව කිය යුතු ය.

තුංමංහංදිය’ චිත‍්‍රපටය සඳහා මුද්‍රණය කර ඇති පෝස්ටරය ද සේකර ගේ නිර්මාණයකි. ඒ චිත‍්‍රපටයේ ආරාධනා පත‍්‍රය ද ප‍්‍රචාරක පති‍්‍රකා ද (විශේෂයෙන් මෝටර් රථවල ඇලවීම සඳහා භාවිතා කළ ස්ටිකරය) සේකර විසින් ම නිර්මාණය කරන ලද්දකි.

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ නිසි විචාරක ඇගැයීමකට ලක් වූයේ ද යන්න සැක සහිත ය. ඔහු ගේ චිත‍්‍ර ගැන විචාරශීලි අවධානයක් යොමු කර ඇත්තේ් එල්. පී. ගුණතිලක, සිරිනිමල් ලක්දුසිංහ, ෂෙල්ටන් ආරච්චිගේ හා චන්ද්‍රගුප්ත තේනුවර යන අය පමණක් විය යුතු ය.

විදේශීය චිත‍්‍ර ශිල්පීන් වෙතින් ලද ආභාසය[සංස්කරණය]

එල්. පී. ගුණතිලක හා සිරිනිමල් ලක්දුසිංහ ලියූ ලිපිවලට ද (‘මහගම සේකර හා කලා නිර්මාණ’ නම් වූ පොතේ එම විචාර ලිපි පළ වී ඇත) සේකර විදේශීය චිත‍්‍ර ශිල්පීන් වෙතින් ලද ආභාසය ගැන කරුණු දක්වා ඇත. විශේෂයෙන් පියෙට් මොන්ඩි‍්‍රයන් (1872 - 1944), ජුලියෝ ගොන්සාලේස්(1876 - 1942) යන දෙදෙන ගැන ඔවුන් විශේෂයෙන් සඳහන් කර තිබේ. ලක්දුසිංහ ගේ ලිපියේ ඉන්දීය චිත‍්‍ර ශිල්පීන් වන ජමිනි රෝයි, අම්රිතා ෂාර්ගිල් ගැන ද කරුණු දක්වමින් සේකර ඔවුනට ඇලුම් කළ ආකාරය පහදයි.

ලක්දුසිංහ ගේ ලිපිය තවත් ආකාරයකින් වැදගත් ය. මන්ද යත්, ශ‍්‍රී ලංකාවේ සමකාලීන චිත‍්‍ර කලාව ඇසුරෙහි සේකර ස්ථාන ගත කරන්නේ කෙලෙස ද යන්නට පැහැදිලි පිළිතුරක් ඉන් මතුවන බැවිනි. මහගම සේකර ශ‍්‍රී ලංකාවේ චිත‍්‍ර කලාව සම්බන්ධයෙන් දරන්නේ භාරතීය සමකාලීන චිත‍්‍ර කලාව විෂයයෙහි සුප‍්‍රකට බෙංගාලි චිත‍්‍ර ශිල්පිනියක වූ අම්රිතා ෂාර්ගිල් දැරූ ස්ථානයට සමාන තැනක් බව හේ කියයි.

ශ‍්‍රී ලංකාවේ මෙන් ම භාරතයේ ද අද්‍යතන චිත‍්‍ර සම්ප‍්‍රදායය සකසා ගැනීම පිළිබඳ ප‍්‍රයත්නයේ දී ප‍්‍රවණතා තුනක් මතු වූ බව ලක්දුසිංහ කියයි. එනම්

  • (2) දෙවැනි ප‍්‍රවණතාව ප‍්‍රංශයේ වර්ධනය වූ ‘නූතන’ චිත‍්‍ර ව්‍යාපාරය අනුව යමින් අධි නූතන සම්ප‍්‍රදායයක් බිහි කිරීමේ වෑයම යි.
  • (3) තුන් වන ප‍්‍රවණතාව මුල් ශෛලීන් දෙකෙහිම සංයෝගයක් කෙරෙන් නූතන දේශීය චිත‍්‍ර සම්ප‍්‍රදායය බිහි කිරීමට ගත් වෑයමකි.

අම්රිතා ෂාර්ගිල් මෙන් ම සේකර ද වැටෙනුයේ මේ තුන්වන ගණයට බව ලක්දුසිංහ කියයි.

මහගම සේකර කෙරෙහි වඩාත් බලපෑමක් කර ඇති ශිල්පියා ජමිනි රෝයි බව අප අදහසයි. ඔහු ගේ ‘කිංග් ඔෆ් ද එලිෆන්ට්’, ‘ඩාන්සින් ගර්ල්’, ‘ද රෙඩ් හෝස්’, ‘කව්’, ‘ද හෙඩ් ඔෆ් ද සන්තාල්’, ‘සන්තාල් මදර් ඇන්ඩ් චයිල්ඩ්’ වැනි චිත‍්‍ර සැලැකිල්ලට ගැනීමේ දී ඒවායින් සේකර ලද්දා වූ අනුප‍්‍රාණය කැපී පෙනේ.

‘තුංමංහංදිය’ නවකතාවේ සිරිසේනට කාර්මික විද්‍යාලයයේ දක්නට ලැබෙන චිත‍්‍ර ගැන කර ඇති සටහන සේකර ගේ්ම ආකල්ප විය යුතු යැයි සිතේ. “චිත‍්‍ර ශිල්පය ගැනත් ලෝකයේ විවිධ රටවල චිත‍්‍ර ශිල්පීන් හා ඔවුන් ගේ චිත‍්‍ර ගැනත් ලියන ලද පොත පත රාශියක් කාර්මික විද්‍යාලයයේ පුස්තකාලයේ තිබේ.

ඉංග‍්‍රීසියෙන් ලියා ඇති බැවින් මේවා කියැවීමට මට පුළුවන්කමක් නැත. නමුත් එකී ශිල්පීන් විසින් අදින ලද චිත‍්‍ර මේ පොත්වල වර්ණයෙන් මුද්‍රණය කර ඇති බැවින් මම බොහෝ විට මේ පොත් පුස්තකාලයෙන් ගෙන පෙරළා බලමි. ජෙමිනි රෝයි. පෝල් ක්ලී. පිකාසෝ. බලි ඇදුරන්ගේ චිත‍්‍රවල මෙන් ගැමි ගතියක් ජෙමිනි රෝයි ගේ චිත‍්‍රවල ඇත. පෝල් ක්ලීගේ චිත‍්‍ර හරියට ළමයින් අදින චිත‍්‍ර වගේ ය.

පිකාසෝ ගේ චිත‍්‍ර මට නොතේරේ. මාතෘකා පාඨ කියවා බලා වුව ද ඒවායේ අර්ථ වටහා ගැනීමට මට නුපුළුවන. එහෙත් මේවා දෙස කොපමණ වේලාවක් වුවත් බලා සිටිය හැක. සිත් අදිනා ගතියක් මෙන් ම පෙර නොවූ විරූ අලුත් ගතියක් ද ඒවායේ ඇත. මට නොතේරුණාට කුමක් හෝ තේරුමක් මේවායේ ද තිබිය යුතු ය. (තුංමංහංදිය පිටුව - 123)

නිසි විචාරක අවධානයක් යොමු නොවීමේ විපාකය නිසා දෝ සේකර නමැති චිත‍්‍ර ශිල්පියා යටපත් ව සේකර නම් වූ කවියා බිහි වූ බව පෙනේ. එහි ප‍්‍රතිවිරුද්ධ දේ සිදු වූයේ ජෝර්ජ් කීට්ට ය. එහි දී ජෝර්ජ් කීට් නමැති කවියා යටපත් වී ජෝර්ජ් කීට් නම් වූ චිත‍්‍ර ශිල්පියා බිහි වූයේ ය.

ආරාධනාව[සංස්කරණය]

1969 දී යුනෙස්කෝ සංවිධානය වෙතින් ලැබුණු ආරාධනාවකට අනුව අමෙරිකාවට ගිය සේකරට ඉන් පසු නිව්යෝක්, ලන්ඩන් හා පැරිස් යන නගරවල නූතන චිත‍්‍ර කලාගාරයන් දැක ගැනීමේ අවස්ථාව ලැබිණි.

චීනය, රුසියාව වැනි රටවල පවා ඔහු ගේ චිත‍්‍ර, ප‍්‍රදර්ශනවලට තබා ඇත.

සේකර චිත‍්‍ර ඇදීම සඳහා භාවිතා කෙළේ දේශීය අමුද්‍රව්‍යවලින් සකසා ගත් වර්ණ ය. ඇතැම් අවස්ථාවක ඔහු පින්සලය වෙනුවට බෝඹු කෝටු පවා යොදා ගෙන ඇත.

1972 රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ධූරයට පත් සේකර 1973 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ අධ්‍යාපන නිලධාරි තනතුර ද හෙබැවූයේ ය. 1976 ජනවාරි මස 14 වන දින මේ අද්විතීය කලාකරුවාණෝ අභාව නියාමයට නතු වූහ.

මේ ලිපිය අවසන් කළ යුතු වන්නේ විද්වතකු විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් අදහසක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමෙනි. මහගම සේකර ගේ ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහයට පෙරවදනක් ලියන මහාචාර්ය ජෝතිය ධීරසේකර (දැන් මහාචාර්ය ධම්ම විහාරී නාහිමි) මෙසේ කියා ඇත.

‘මහගමසේකර ප‍්‍රබුද්ධ ඇසුරෙන් හෙළි කරන අදහස්වලට සරිලන, ඒවා උද්දීපනය කිරීමට ප‍්‍රමාණවත් චිත‍්‍ර කලා සම්ප‍්‍රදායයක් සහ මූර්ති කලා සම්ප‍්‍රදායයක් නොපමාව අප අතර බිහි කිරීම අත්‍යවශ්‍ය ය.”

ඒ අදහස ප‍්‍රකාශනයට පත් වූයේ 1977 දී ය. එතෙක් මෙතෙක් ගෙවුණු කාල පරිච්ඡේදයේ දී එකී කාර්ය භාරය ඉටු කිරීමට සමත් චිත‍්‍ර හෝ මූර්ති ශිල්පියකු අපේ රටින් බිහි වී ඇද්ද? එසේ නොවන්නේ නම් එබඳු සම්ප‍්‍රදායයක් ඇති කිරීමේ භාර දූර වගකීම වර්තමාන චිත‍්‍ර හා මූර්ති කලා ශිල්පීන්ට භාරවනු ඇති බව කියනු කැමැත්තෙමි.

සුනිල් මිහිඳුකුල


ප්‍රකාශන[සංස්කරණය]

අනුවාද[සංස්කරණය]

  • ධවල සේනාංකය - (1956)

ශ්‍රීමත් ආතර් කොනන් ‍ඩොයිල්ගේ "ද වයිට් ‍කම්පනි" නම් කෘතියේ අනුවාදයකි

ළමා සාහිත්‍ය[සංස්කරණය]

  • පුංචි අයට කයි කතන්දර - (1958)
  • සරු පොළවක් අපට ඇතේ - (1973)
  • කොටි වලිගය - (1990)

කාව්‍ය[සංස්කරණය]

  • ව්‍යංගා (‍කේ. ජයතිලක සමඟ) - (1960)
  • සක්වා ලිහිණී - (1962)
  • හෙට ඉරක් පායයි - (1963)
  • මක්නිසාද යත් - (1964)
  • රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
  • බෝඩිම - (1970)
  • නොමියෙමි - (1973)
  • ප්‍රබුද්ධ - (1977)

නාට්‍ය[සංස්කරණය]

  • සද්දන්ත සහ තවත් නාටක - (1961)
  • මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
  • හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)

නවකතා[සංස්කරණය]

  • තුංමංහංදිය - (1967)
  • මනෝමන්දිර - (1971)

ඇලකුරු පෙළ<nowiki>ආකෘතිකරණය-නොකල පෙළ මෙහි රුවන්නආකෘතිකරණය-නොකල පෙළ මෙහි රුවන්න</nowiki>

කෙටිකතා[සංස්කරණය]

  • මහගම සේකරගේ කෙටි කතා සහ චිත්‍ර - (1981)

ගීත රචනා[සංස්කරණය]

  • මහගම සේකරගේ ගීත - (1972)
  • මහගම සේකර, නොපළ ගීත - (1984)

චිත්‍රපට තිර රචනා[සංස්කරණය]

ශාස්ත්‍රීය[සංස්කරණය]

  • සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ෂණ - (2001)

සම්මාන[සංස්කරණය]

1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය

1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය

1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

==ආශ්‍රිත==
  1. දිවයින 2007 ජනවාරි 11
"http://si.wikipedia.org/w/index.php?title=මහගම_සේකර&oldid=292999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි