ප්‍රේමසිරි කේමදාස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්‍රේමසිරි කේමදාස

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
උපත ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා
1937 ජනවාරි මස 25 වැනිදා
මියගියේ 2008 ඔක්තෝබර් මස 24 වන දින
කොළඹ
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය , පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය
ප්‍රසිද්ධ වන්නේ තනු රචක, සංගීත අධ්‍යක්ෂක
ආගම බෞද්ධ
කලත්‍රයා සේනාධිආරච්චිගේ සෝමලතා පෙරේරා
දරුවෝ වයන්තා අනූපා කේමදාස , ධනේෂා ගයාත්‍රි කේමදාස
මව්පියෝ ඇලන් පෙරේරා , සයිමන් පෙරේරා
වෙබ් අඩවිය
http://premasirikhemadasa.com/


කේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ‍ක්ෂේත්‍රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

ජීවන තොරතුරු[සංස්කරණය]

ළමා කාලය[සංස්කරණය]

තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු ‍නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.

කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.

කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.

ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය. [1]

තනු රචකයෙක් වශයෙන්[සංස්කරණය]

සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.

ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ‍ක්ෂේත්‍රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු ඒ වන විට ත් සිනමා ‍ක්ෂේත්‍රය තුළ ලබා තිබූ ප්‍රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපටයට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්‍යාවී හැඳින්විය හැක.

ටෙලිනාට්‍ය සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාං‍කේය සංගීතයට තවත් අග්‍රගණ්‍ය කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්‍රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‍ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.

කේමදාස ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලට ද, දායක වූවේ ය.

ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.

කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්‍රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්‍රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්‍රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.

ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය. මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ ව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියවුන් ය.

හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මයෙන් අනතුරුව ද ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති ව කේමදාස ශූරීහු නැවත සංගීත ‍ක්ෂේත්‍රයට පිළිපන්නේ ය. මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ්‍ය ගෞරව සහිත ව දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ ය. එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින් ම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.


චිත්‍රපට සඳහා දායකත්වය[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය වෙනත් සටහන්
1965 සප්ත සොයා පළමු ඒකල අධ්‍යක්ෂණය
1966 සැනසුම කොතැනද? එක්සත් ලංකා රසික සංගමය(1966) අතින් සම්මානයට පාත්‍ර විය
සීතල වතුර
කපටිකම ලතා වල්පොල ගේ කුරුලු රෑන් ගීතය සහ පසුබිම් සංගීතය
1967 රෑණ ගිරව්
මනමාලයෝ
1968 ගොළු හදවත සරසවි සම්මානයට සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සඟරාවේ සම්මානයට පාත්‍ර විය.
වනසරා
බයිසිකල් හොරා
1970 නාරිලතා සරසවි සම්මානයට පාත්‍ර විය.
මොකද උනේ? විචාරක සම්මානය
1971 සීයෙ නෝට්ටුව
1972 නිදානය විචාරක සම්මානය
1975 අහස් ගව්ව විචාරක සම්මානය
1976 ජනක සහ මන්ජු
1978 බඹරු ඇවිත් ජනාධිපති සම්මානය
1980 වසන්තයේ දවසක් OCIC සහ ජනාධිපති සම්මානය
හංස විලක්
1982 කලියුගය
සොල්දාදු උන්නැහේ ජනිධිපති සම්මානය(පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී)
1983 යුගාන්තය OCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
වසන්තත්තිල් ඔරු මානවිල් දකුණු ඉන්දීය චිත්‍රපටයකි. OCIC සම්මානයට පාත්‍ර විය.
රිදී නිම්නය ජනාධිපති සම්මානය
1984 තුන්වෙනි යාමය OCIC සම්මානය
1985 හිමකතර ජනාධිපති සම්මානය
1986 යුගාන්තය OCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
1987 මල්දෙණියේ සිමියොන් OCIC සම්මානයට පාත්‍ර විය.
1990 සඳකඩ පහණ සරසවි සම්මානයට පාත්‍ර විය.
සිරි මැදුර සරසවි, OCIC සහ ස්වර්ණ සංඛ සම්මානයට පාත්‍ර විය.
1992 දොළොස් මහේ පහන සරසවි සම්මානය
මධුසමය OCIC සහ ස්වර්ණ සංඛ සම්මානය
1994 සුරබිදෙන ස්වර්ණ සංඛ සම්මානය
ලොකු දුව
1995 මීහරකා ස්වර්ණ සංඛ සම්මානය
1996 මාරුතය ස්වර්ණ සංඛ සම්මානය
1999 ජුලියට්ගේ භූමිකාව OCIC සහ ජනාධිපති සම්මානයට පාත්‍ර විය.
2002 අග්නිදාහය සිග්නිස් සම්මානය හා සරසවි සම්මානය
මතු යම් දවස
2005 ගරිල්ලා මාකටින් ජනාධිපති සම්මානය, සිග්නිස් සම්මානය සහ සරසවිය සම්මානය
2006 අම්මාවරුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අවසන් සිනමා නිර්මාණය
2007 භේරුණ්ඩ පක්ෂියා සිග්නිස් සම්මානය
2009 එකමත් එක රටක
කණ්‍යාවී

ප්‍රේමසිරි කේමදාස පදනම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දුෂ්කර පලාත්වල ජීවත් වන සංගීත හැකියාවන් සහිත අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1992 වර්ශයේ දී කේමදාස පදනම ආරම්භ කරන ලදි. [2] මෙම පදනම මගින් පවත්වන පාඨමාලා සහ පුහුණු සියල්ල නොමිලේ පැවැත්වීම විශේෂත්වයකි.

කේමදාස පදනම හරහා සංගීතයට අත් පොත් තබා දිවයිනේ සුපතල ගායකයන් සහ සංගීතඥයන් බවට පත් වූ සිය ගණනක් කලාකරුවන් වර්තමානය වන විට දේශීය ව සහ අන්තර්ජාතික ව කීර්තියට පත් වූ නිර්මාණවලට දායකත්වය දක්වා තිබේ. ආරම්භක දිනයේ දී ම රුපියල් මිලියන 3.7ක ආදායමක් ඉපයූ ‘දොරමඩල‘ ඔපෙරාව, ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව වූ ‘පිරිනිවන් මංගල්‍යය‘ මෙන්ම ‘සොඳුරු වර්ණදාසි‘ සහ ‘අග්නි‘ ඔපෙරා ද කේමදාස පදනමේ අනභීභවනීය නිෂ්පාදනයන් ය.

ජාතීන් අතර ඇති එදිරිවාදිකම් දුරුකරලීම තුළීන් සාමාජීය සහ සංස්කෘතික පෙරලියක් ඇති කිරීමට හැකි දර්ශනයක් ජාතියට දායාද කිරීම ආරම්භයේ සිට ම කේමදාස පදනයේ මුඛ්‍ය අරමුණක් විය. සංගීතයට මෙන්ම අනෙකුත් කලාවන්ට ද අත්‍යාවශ්‍ය වන සාමුහිකත්වය සහ ගරුත්වය සහිත වූ, මනුෂ්‍යත්වයට ගරු කරන න්‍යායපත්‍රයක් මත පිහිටා කටයුතු කිරීම කේමදාස පදනමේ අනන්‍යතාවය යි.

ප්‍රේමසිරි කේමදාසයන් 2008 වසරේ දී අභාවප්‍රාප්ත වීමෙන් අනතුරු ව කේමදාස පදනම නව අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග ප්‍රතිසංවිධානය වූ අතර සෞන්දර්යාත්මක බැඳීම් වර්ධනය කිරීමේ ත්, සංගීතමය දයානුග්‍රහය දැක්වීමේ ත් ‘මාස්ටර්‘ගේ මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යාමට ඔවුහු ඇප කැප වී ක්‍රියා කරති.

බලන්න[සංස්කරණය]

අග්නි ඔපෙරාව

පරිශීලන[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රේමසිරි_කේමදාස&oldid=283035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි