බූන්දල ජාතික උද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛපෙ‍ලේ රටවල් අතරට අයත් රටකි. එය ලෝක ව්‍යාප්ත ජෛව විවිධත්ව ස්ථාන පිළිබදව කල පර්යේෂණ ඇසුරින් නම් කරන ලද ස්ථාන 25 අතරටද ලංකාව අයත් වීමෙන් තහවුරුවේ. මේ සදහා ප්‍රමුඛ බලපෑමක් බූන්දල ජාතික වනෝද්‍යානයෙන් සිදු‍වේ. කලපු පරිසර පද්ධතියත්, වැලි කඳුත්, මහා සාගරයට විවෘත වී තිබිමත්, වන ගහනයන් පැවතීමත් බූන්දල වනෝද්‍යානයේ පාරිසරික හා ජෛව අගය වැඩිදියුණු කරයි.

1969 දෙසම්බර් මස 12 වන දින ගැසට් අංක 14887 යටතේ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. තවද මෙහි ආරක්ෂාව වඩාත් හොදින් තහවුරු කරනු වස් 1992 දෙසැම්බර් 31 දින බූන්දල ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කළේය. එසේම 1996 දී ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට අන්තර් ජාතික වටිනාකමක් හිමිකරගත් තෙත් බිමක් වු බූන්දල ජාතික වනෝද්‍යානය ජාත්‍යන්තර ලේඛනයක් යටතට ගොනු කරනු ලැබු රැම්සා ලේඛනයේ වටිනාම තෙත් බිම් අතරට මෙම තෙත්බිම ද එක් කරනු ලැබීය.

ගමන්මග
මුහුදු සීමාව

පිහිටීම[සංස්කරණය]

බූන්දල ජාතික වනෝද්‍යානය දකුණු මුහුදු තීරයේ හම්බන්තොට සිට කිරිඳිඔය අතර පිහිටා ඇත. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගරයට උතුරු දෙසින්ද යාල ජාතික උද්‍යානයට දකුණු දෙසින්ද, බටහිරින් හම්බන්තොට බූන්දල මහා මාර්ගයෙන්ද, නැගෙනහිරින් කිරිඳි ඔයින්ද මායිම් වී ඇති අතර හෙක්ටයාර් 6216 ක බිම්ප්‍රමානයක් පුරා පැතීරි ඇත

භූගෝලීය පිහිටීම[සංස්කරණය]

ජෛව විවිධත්වය

භූගෝලීය වශයෙන් බූන්දල වනෝද්‍යානයෙ ප්‍රධාන කලාප 03 ක් දැකිය හැක.

  1. වෙරළ තීරය හා වැලිකඳු සහිත ප්‍රදේශ.
  2. කලපු හා බාහිර වෙරළ තැනිතලා කලාපය.
  3. අභ්‍යන්තර වෙරළ කලාපය.

බූන්දල ජාතික වනෝද්‍යානය තුල පිහිටි කලපු හා වෙරළ තැනිතලා කලාපයද විශාල වැදගත්කමක් දක්වයි. මෙම කලපු නම්

  1. මහලේවාය කලපුව.
  2. කොහොලන්කල කලපුව.
  3. මලල කලපුව.
  4. ඇඹිලිකල කලපුව.
  5. බූන්දල ලේවාය කලපුව.

ශ්‍රි ලංකාවේ පාංශු සිතියමට අනුව මෙම ප්‍රදේශයෙ ප්‍රධාන පස් වර්ග තුනක් දැකිය හැක. එනම්

  1. රතු දුඹුරු පස
  2. ලෝ හියුමස් ග්ලේ පස
  3. රෙගසෝල් පස

දේශගුණය[සංස්කරණය]

බූන්දල ජාතික වනෝද්‍යානය හම්බන්තොට නගරයෙ පිහිටා ඇති හෙයින් එහි උණුසුම් වියළි ස්වරූපයක් දැකිය හැක. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1074 පමණ වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වයද සෙල්සියස් අංශක 27.1 පමණ වන අතර ප්‍රදේශයේ සාපේක්ශ ආද්‍රතාව 76% - 81% ක් ලෙස වාර්තාවේ. වෙරළාසන්න ප්‍රදේශයක් බැවින් මෙම භූමි‍යෙ නිරතුරුවම සැර සුළග පවති.

බූන්දල ශාක හා සත්ව ප්‍රජාව[සංස්කරණය]

ශාක ප්‍රජාව[සංස්කරණය]

අභ්‍යන්තරය.jpg
Kmn.jpg

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බැවින් මෙහි පවතින තුරුලතාවන් ශුෂ්ක කලාපයට ඔරොත්තු දෙන පරිදි හැඩගැසුණු ගහකොළ වලින් ප්‍රධාන ලෙසම සමන්විත වේ. බූන්දල වනෝද්‍යානයේ සිදුකර ඇති අධ්‍යයන අනුව පවුල් 47 කට අයත් ශාක විශේෂ 90 ක් වාර්ථාවෙයි. මේ අතර කාෂ්ඨිය ගස් වර්ග 16 ක්, පැළෑටි වර්ග 37 ක්, ආරෝගක පැළවර්ග 16 ක් හා පඳුරු ශාක වර්ග 21 ක් ආදි ලෙස දැකිය හැක. එවැනි කාශ්ඨිය ගස් අතර පලු , ගන් සූරියා , බුරුත , දිවුල් , ආදී ගස්ද පැළෑටි වර්ග ලෙස නීරමුල්ලිය , මුඩුමහන , මදුරුතලා , හෙලමල් ආදියද වැල් වර්ග අතරින් ආරෝහණ , හාතවාරිය ආදියද ප්‍රධාන වේ. මෙහි දැකිය හැකි ප්‍රමුඛ ශාක කාණ්ඩය වන්නේ පඳුරු ශාකයන්ය. ඒ අතරින්ද වියළි බව‍ට ඔරොත්තු දෙන ශාක බහුලව පවති.

සත්ව ප්‍රජාව[සංස්කරණය]

බූන්දල වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුරුලු පාරාදීසයක් ලෙසයි. ලංකාවේ වෙසෙන නේවාසික ජලජ පක්ෂීන් සියල්ලම පාහේ දැකිය හැකි මෙම භූමි භාගය තුළ නිරතුරුවම පක්ෂින් 20000 කට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කළහැක. මෙහි දැනට කර ඇති පර්යේෂණ අනුව පවුල් 150 කට අයත් කුළ 53 ක‍ට ගැනෙන පක්ෂි විශේෂ 53 ක් වාර්තා වී ඇත. මේ අතරින් සංචාරක පක්ෂි විශේෂ 50 ක් පමණ දැකගත හැකි අතර ඉන් විශේෂ 08 ක් දුර්ලභ වේ. බුන්දල වනෝද්‍යානය තුල දැකිය හැකි එකම ආවේණික පක්ෂියා වන්නේ වළිකුකුළාය. මීට අමතරව ජාත්‍යන්තර වශයෙන්ද වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති පැස්තුඩුවා, දම් සිලු‍ටු දෑ තුඩුවා ද දැකිය හැක. ලංකාවේ විශාලම පක්ෂියා වන බහුරු මානාවා හා ඉතා දුර්ලභ පක්ෂියා වන අලිමානාවා ආදි පක්ෂි විශේෂ දැකගත හැක. බූන්දල වෙනත් රටවලින් පැමිණෙන නෙකවිදියේ පක්ෂීන්ගේ ද, දේශිය පක්ෂීන්ගේ ද පෝශක බිමක්, ලැගුම් බිමක්, ආරක්ෂක බිමක් මෙන්ම අභිජනන බිමක් ලෙසින් ද වැදගත්කමක් උසුලයි.

කුරුල්ලන්.jpg
පක්ෂින්.jpg
කවුඩා.jpg


කුරුල්ලන් සදහා ප්‍රසිද්ධියක් ඉසුලුවද අනෙක් සතුන් දිවිගෙවීම අතින් ද බූන්දල පොහොසත්ය. කොටියා, වළසා වැනි මස් බුදින්නන් නැති වුවද ගොඩබිම වසන විශාලම ක්‍ෂිරපායි සත්වයා වන අලින් 30 පමණ නේවාසිකව වාසය කරයි. ඊට අමතරව දිවියා, ගෝනා, වලහා ආදි සතුන් ද ගොඩබිම වසන විශාලතම උරගයා වන කිඹුලා ඇතුලු කුළ 06 ක‍ට අයත් උරග විශේෂ 10 ක් පමණද වාර්තාවේ. තවද ලංකාවේ වෙසෙන කැස්බෑවන් විශේෂ 03 ක් මේ ආශ්‍රිත මුහුදු තීරයේදී දැකගත හැක. බූන්දල‍ට අයත් ජලාශ්‍රිත ප්‍රදේශවල කුළ 06 කට අයත් මතස්‍ය විශේෂ 10 ක් පමණ වාර්තිවී ඇති අතර උභය ජීවින්ද කුළ 03 කට අයත් විශේෂ 06 ක් පමණ වාසය කරයි. මේ ආදී ලෙස සත්ව ප්‍රජාව අතින් බූන්දල ඉතා වැදගත් වනෝද්‍යානයක් වේ.

Sudu.jpg
අලි.jpg
Mal.jpg

ජෛව විවිධත්වය, ‍ඓතිහාසික , සංස්කෘතික අගය , විද්‍යාත්මක වටිනාකම හා අද්විතීයත්වය යන පරිසර පද්ධතියක වටිනාකම තක්සේරු කරන සියලු සාධකයන්ගෙන් පොහොසත් බූන්දල තෙත්බිම මතු පරපුරේ පාරිසරික දැනුම අවබෝධය සදහාද සුරක්ෂිතව පැවතිය යුතු ව‍ටිනා බිමකි. එය වඩාත් වැදගත් වන්නේ අප පරිසරය රැකගන්නේ නම් පරිසරයද අපව රකින්නේය යන පාඩම වඩාත් හොදින් අපට 2004 වසර අග භාගයේදී පැමිණි සුනාමි අනතුරින් පසක් කරදුන් බැවිනි. මේ නිසා මෙවැනි වටිනා වනජීවි වාසස්ථාන සංරක්ෂණය කර පවත්වාගෙන යාම අපකාගේත් පොදු ජාතික වගකීමකි.

මූලාශ්‍ර[සංස්කරණය]

දිවයින ඉරිදා සංග්‍රහය (මීවිත) 2005 පෙබරවාරි 13 ඉරිදා

මෙම අඩවියත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

පිංතූර එකතුව[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බූන්දල_ජාතික_උද්‍යානය&oldid=395122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි