Jump to content

ජෛව විවිධත්වය

විකිපීඩියා වෙතින්

දකුණු ලක බලපිටියේ මාදු ගඟ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැම්සා තෙත් බිමකි. ලංකාවේ රැම්සා තෙත් බිම් තුනක් දක්නට ලැබෙන අතර වඩාත්ම සෞන්දර්යාත්මක තෙත් බිම මෙයයි. මෙය අභය භූමියක් ලෙස 2006 ජුනි මස ප්‍රකාශයට පත්කොට ඇත. හෙක්ටයාර 2300 ක් පුරා මෙය විහිදි ඇති අතර දූපත් 25 කින් සමන්විත මාදු ගඟ මහ සමුදුරක් මෙනි. එය ගැඹුරු ය. සොදුරු ය. පැහැදිලි මුත් රළු ය. තවද එය ශාන්ත මෙන්ම මනරම් ද වේ.

මාදු ‍තෙත් බිම.jpg ආවේනික සත්ත්ව සහ ශාක වර්ග මෙන්ම දුර්ලභ කඩොලාන වර්ග අතින් මාදු ගඟ පොහොනි වී ඇත. එය පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයකි. පරිසර වේදීන්ට පර්යේෂණ භූමියකි. ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතකි. අධ්‍යාපනය හදාරන්නන්ට නිදසුන් සහිත පුස්තකයකි. එවන් වූ සුවි‍ශේෂී වැදගත් කමක් ඇති මාදු ගං කොමළිය අභිෂේක ලබන්නේ එය රැම්සා තෙත් බිමක් වූ මොහොතේ ය. එහෙත් අතීතයේ සිටම ඈ නිහඬ සුන්දරත්වයකි.

ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම සංස්කරණය එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය බැලූ බැල්මට කලපුවක් මෙන් දිස් වුවද එහි පවතින ජෛව විවිධත්වය සහ ජෛව සංයුතිය නිසා මෙය තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස නම් කොට ඇත. තෙත් බිමක් ලෙස හැදින්විය හැක්කේ සාර්ථක ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. මාදු ගඟ තෙත් බිම් පරිසරය කලාප කිහිපයකට බෙදා දක්වා ඇත. මේවා විවිධ කාර්යයන් හා වටිනාකම් මත කලමණාකරනයට ලක්කොට ඇත. වර්තමානයේ මාදුගඟ තෙත් බිම් පරිසරයේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගත් බලධාරීන් විසින් මාදු ගඟ අවට මීටර් 500 ක ප්‍රමාණය රක්ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත.

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. කලකට ඉහත දී මාදු ගඟ ආශ්‍රිතව දූපත් 64 ක් පමණ පිහිටා තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි. මෙහි බොහෝ දූපත් ගොඩබිම් ප්‍රදේශ වන අතර ඇතැම් දූපත් කළුගල් වලින් නිර්මාණය වී ඇත. මෙහි ඉතාම කුඩා ම දූව වන සතපහේ දූව ද කළුගල් වලින් නිර්මාණය වූවකි. මෙම දූපත් අතරින් දූපත් කිහිපයක් හැරුණ කොට ඉතිරි සියලුම දූපත් ජනාවාස වී ඇත. එයින් විශාලම දූපත වන්නේ මාදූවයි.

මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වය සංස්කරණය මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර සහ සැල්වීනියා වර්ගයේ ශාක වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්, උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා, කොළවඳුරා, දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය.

මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය සංස්කරණය මාදු ගඟ පිළිබඳව අවදානය යොමු කිරී‍මේ දී මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මාදු ගඟ අවට ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය සඳහා මාදු ගඟ අවට පරිසරය බෙහෝ විට උපයෝගී කර ගනී. ඒ අතර වැදගත් ස්ථානයක් මිරිදිය ධීවර කර්මාන්තයට හිමිවේ. මෙයට මූලිකව පදනම වී ඇත්තේ කළපුව ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දහසක් පමණ මාදු ගඟ ආශ්‍රිතව අපට හදුනාගත හැක. ඉස්සන් ඇල්ලීම සදහා යොදාගනු ලබන රිටිපන්න ක්‍රමය ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වී ඇත. ඉස්සන් ඇල්ලීමට භාවිත කරන තවත් ක්‍රමයක් ලෙස ජාකොටු ක්‍රමය දැක්විය හැකිය. කුරුඳු වගාව මඟින් සිය ජීවනෝපාය සරිකර ගනු ලබන ජනතාව මෙම මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ. කුරුඳු වගාව මෙන්ම පොල් වගාව ද මෙම ප්‍රදේශය පුරා ජනප්‍රිය වූ තවත් ජී‍වනෝපායකි. මීට අමතරව මාදු ගඟ ආශ්‍රිතව පන් කර්මාන්තය, පොල් රා කර්මාන්තය, කොහු කර්මාන්තය, දැව සහ ලී බඩු සෑදීමේ කර්මාන්ත ද දක්නට ලැබේ. සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත. දේශීය විදේශීය සංචාරකයින් මාදු ගඟ නැරඹීම සඳහා පැමිණෙන අතර ඒ සඳහා ලී ඔරු, ෆයිබර් ඔරු, අඟුල්, මෝටර් බෝට්ටු ආදිය භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවනවා සේම එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මෙම මාදු ගං කොමළිය ඉමහත් පිටුවහලක් වී ඇතිබව අපට පෙනී යයි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය

[සංස්කරණය]

ශ්‍රී ලංකාව ඉතා හොඳ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටකි.රට ප්‍රමාණයෙන් කුඩා වුව ද වෙනස් දේශගුණික තත්වයන් හා භූමි ලක්‍ෂණ නිසා පුළුල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දක්නට ලැ‍‍බෙන අතර ජෛව විවිධත්වය ඉහළ වේ.ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදා සාකච්ඡා කළ හැකි ය.එනම්,


1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති.

2.රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති.

3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති.

4.කෘෂිකාර්මික පරිසර පද්ධති.


ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය

[සංස්කරණය]

ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන 'මෙන්ඩෝරා' නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. ආවේණික කටුසු විශේෂයක් වන 'කුරු බෝදිලියා' හෙවත් ඳුකර කටුස්සා හමුවන්නේ මීටර් 1300ට වඩා උස් කඳුකර වනාන්තර වලිනි.මෙන්ම 'පෙති අග කටුස්සා' නැමති සතුන් හමුවන්නේ මීටර් 800ට වඩා උස නකල්ස් කඳුකරයෙන් පමණි.නමුත් වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපය නිසා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී.


ශ්‍රී ලංකාවේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති හා ජෛව විවිධත්වය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති කිහිපයක් ඇත. එනම්, පිටාර තැනිතලා, ගොහොරු බිම්, ඇළ දොළ හා ගංගා, ජලාශ හා පොකුණු වශයෙනි.ශ්‍රී ලංකාවේ තෙත් බිම් වලින් බොහොමයක් දේශීය මෙන්ම විදේශීය වටිනාකමකින් යුක්ත බව හඳුනාගෙන ඇති අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ එක් තෙත් බිමක් ලෙස බූන්දල රැම්සා පරිශ්‍රය හැඳින්විය හැක. මේ තෙත් බිම් ආශ්‍රිතව විශාල ජෛව විවිධත්වයක් දැකිය හැකිය.එනම්,ජලජ ශාක ( ඕලු, කෙකටියා, දිය හබරල) ආවේණික මත්ස්‍ය විශේෂ(පුල්ලි අගිරවා) සංචාරක පක්‍ෂි විශේෂ හා ආවේණික උරග වර්ග දැකිය හැකිය.ඉන් බොහොමයක් ජාතික හා ජාත්‍යන්තර තර්ජනයට ලක්වී ඇති විශේෂ වේ.

වෙරලබඩ හා සාගරික පද්ධතිවල ජෛව විවිධත්වය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගරික පද්ධති කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, කඩොලාන, ලවණ වගුරු,වැලි කඳු හා වෙරළ, මුහුදු පැළ හා තෘණ භූමි, කලපු හා මෝයවල්, කොරල්පර ආදී වශයෙනි. කොරල්පර ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර ඒවා ශාක හා සත්ත්ව ජීවීන් සඳහා වාසභූමි ලෙස වැදගත් වේ. හොඳින් වැඩුණු කොරල්පර ශ්‍රී ලංකාවේ ඇතිමුත් ඉන් බොහොමයක් වැලිගලින් හා ගලින් සෑදුණු ය.මන්නාරම බොක්කේ හා කල්පිටිය අර්ධද්වීපයේ බටහිර ගැඹුරු මුහුදේ හොඳින් වැඩුණු කොරල්පර තිබේ.දේශීය කොරල් ගණ 68 ක විශේෂ 183ක් ඇති බව වාර්තා වී ඇත. සුලභව දක්නට ලැබෙන කොරල් ගණ නම්, Acropora, E chinopora,Goniastrea වේ.පර අතරෙහි මොලස්කාවන්, මුහුදු මල් හා මුහුදු කැකිරියන් වැනි අපෘෂ්ඨ වංශික සත්ත්ව‍යින් හා කොස්සා,ඇටිස්සා ගිරා මත්ස්‍යයා වැනි කොරල් මත්ස්‍ය විශේෂ 350 කට කොරල්පර ආරක්‍ෂාව සපයයි.ගැඹුරු මුහුදේ ද කැන්ද මෝරා, සුදුවළිග මෝරා වැනි විලෝපීය මත්ස්‍යයන් ද කකුළු විශේෂ 201 ක් පමණ ද ජීවත් වේ. කලපු ආශ්‍රිත කඩොලාන විශේෂ ද දැකිය හැකිය.

මුහුදු ඉකිරි

කෘෂිකාර්මික පරිසර පද්ධති

[සංස්කරණය]

කෘෂිකාර්මික පරිසර පද්ධතිවල ජෛව වවිවිධත්වයක් දැකිය හැකිය. කෘෂිකාර්මික බෝග වගාව මේ ආශ්‍රිතව බහුලව දැකිය හැකිය. එළවළු, පළතුරු, අල වර්ග මෙන්ම කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබුනැටි වැනි බෝග ද සත්ත්ව නිෂ්පාදන ද මේ ආශ්‍රිතව දැකිය හැකිය. මෙම කෘෂිකාර්මික පරිසර පද්ධතිය ආශ්‍රිතව විවිධත්වයෙන් යුතු කෘමි විශේෂ ද දක්නට ලැබේ . එමෙන්ම වෙනත් සතුන් විශේෂ රැසක් එයින් හඳුනා ගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෛව_විවිධත්වය&oldid=568497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි