ස්ත්‍රීවාදය

විකිපීඩියා වෙතින්
Atlanta Constitution හි Charlotte Perkins Gilman විසින් ලියූ ස්ත්‍රී වාදය පිළිබඳ ලිපියක්, 1916-12-10.

ලෝකය තුළ ස්ත්‍රීවාදය පැන නගින්නේ පුරුෂයා මගින් ස්ත්‍රිය අසමානත්වයට පත් කෙරෙතියි තර්ක කරමින් ස්ත්‍රියට එරෙහිව ක්‍රියාත්මක වන පුරුෂයන්ගේ පීඩනයට විරෝධය දැක්වීමටත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්ය. ස්ත්‍රීවාදය (ඉංග්‍රීසි:  Feminism) යන පදය ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා කිරීම 19 වන සියවස අගදී ආරම්භ විය. නූතන ර්ථයෙන් ගත් විට ස්ත්‍රීවාදය න්‍යායාත්මක අදහස් මාලාවක්, විග්‍රහාත්මක දෘෂ්ටිවාදයක්, විචාරාත්මක හා විවාදාත්මක අදහස් හෝ මතවාද සමූහයක් මෙන්ම සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වශයෙන්ද හැඳින්විය හැකිය. සමාජයේ ස්ත්‍රී-පුරුෂ අසමානත්වය හා එහි ස්වභාවය පීතෘමූලිකත්වය ස්ත්‍රී-පුරුෂ බල සබඳතාවය හා ලිංගිකත්වය පිළිබඳ නිවැරදි හා විස්තරාත්මක අර්ථකථනයක් සැපයීම ස්ත්‍රීවාදී න්‍යායන්හි මූලික අරමුණය"(ලියනගේ,වළාකුලුගේ : 37). ධාරා තුනකින් යුත් ස්ත්‍රීවාදයේ විවිධ ප්‍රවේශ දැකිය හැකිය. ලිබරල්වාදී, මාක්ස්වාදී, සමාජවාදී, රැඩිකල්, පශ්චාත් නූතනවාදී ස්ත්‍රීවාදයන් ඉන් ප්‍රධාන වේ.මෙම ලිපිය තුළින් සාරාංශ ගතකොට ඇත්තේ පීතෘමූලිකත්වය පිළිබද ස්ත්‍රීවාදී පොදු මතයයි.

මාතෘමූලික සමාජය[සංස්කරණය]

අතීත යුගයන්හිදී ඒක විවාහ සම්ප‍්‍රදායක් නොතිබුණු අතර බහු විවාහ ක‍්‍රමයක් පැවතී ඇත. එනම්; ස්ත‍්‍රී, පුරුෂ දෙපාර්ශවයටම තමන් කැමති ඕනෑම පුද්ගලයන් ප‍්‍රමාණයක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ අවකාශ තිබී ඇත. එහි ප‍්‍රතිඵලය වූයේ දරුවන්ගේ පියා කවරෙක් ද යන්න නිශ්චිතවම නිගමනය කළ නොහැකි වීමයි. නමුත් මවගේ අයිතිය පිළිබඳව ගැටළු මතු නොවූයේ ස්ත‍්‍රීන් විසින් දරුවන් බිහි කරන බැවිනි. එහෙයින් දරුවන්ගේ අයිතිය මව් පාර්ශවයෙන් තීරණය විය.

මේ අනුව සමාජ සංවර්ධන ඉතිහාසයේ ආරම්භකම, වනචාරී හා ම්ලේච්ඡ අවධි වලදී ලිංග අසමානත්වයේ වැඩි වාසි අත්වූයේ පුරුෂයාට නොව ස්ත‍්‍රියට ය. මෙම සමාජවල ද ලිංග භේදයට අනුව සැකසුන ශ‍්‍රම විභජනයක් ක‍්‍රියාත්මක විය. ආහාර රැස් කර ගැනීම පුරුෂයාට පැවරුණ ප‍්‍රධාන කාර්යය වූ අතර ස්ත‍්‍රීන්ට භාර වූයේ ගෘහස්ථ රාජකාරිය. නමුත් ස්ත‍්‍රිය හා පුරුෂයා සමාන තත්ත්වයෙන් සැලකූ අතර කිසිඳු පාර්ශවයක් අඩුතක්සේරුවට ලක්ව නොසිටි බව මාක්ස්වාදී ෆෙඞ්රිච් එන්ගල්ස් (Freidrich Engels) තම "පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇති වූ සැටි" යන ග‍්‍රන්ථයෙන් පෙන්වා දෙයි. මෙම සමාජවල පෞද්ගලික දේපොළ ක‍්‍රමය පැවතියේ නාමමාත‍්‍ර තලයකය. පැවති නිෂ්පාදන ක‍්‍රියාවලියට ඉතා සරල ආම්පන්න පමණක් යොදා ගනු ලැබීය. දරුවන්ගේ අයිතිය මව් පාර්ශවයට අනුව තීරණය වීම නිසා පැවති සරල දේපොළ උරුමය වුවද අවරෝහණය වූයේ ස්ත‍්‍රියගේ පාර්ශවයෙනි. ඒ අනුව ස්ත‍්‍රිය භාරයේ පැවති දේපොළ ඇගේ අභිමතය පරිදි ගැහැණු දරුවන් හට පවරා දෙනු ලැබීය.

"එන්ගල්ස්ගේ මතයට අනුව කාන්තාව පීඩනයට ගොදුරු කර ගැනීමට මුල පුරන සර්ව විශ්වීය ඓතිහාසික පරාජය ඇයට අත්වන්නේ ම්ලේච්ඡ අවධියේ දී ය. මෙහි දී වන සතුන් අල්වා හීලෑකොට රංචු වශයෙන් පාලනය කිරීමට පටන් ගන්නා ලදී. ඒ කටයුතුවල මූලිකත්වය පුරුෂයා විසින් දරන ලද අතර එය පෞද්ගලික දේපොළ ක‍්‍රමයේ ආරම්භය විය. කාන්තාව මත සිය ආධිපත්‍යය ව්‍යාප්ත කිරිමේ අවකාශය ක‍්‍රමානුකූලව ඒ හරහා පුරුෂයා විසින් තහවුරු කර ගන්නා ලදී. එමෙන්ම එතැන් සිට මස් මාංශ හා අනෙකුත් සත්ව නිෂ්පාදන ආරම්භක සමාජවල අර්ථ ක‍්‍රමයේ තීරණාත්මක සාධක බවට පත් වේ" ( ජයසිංහ 2006: 78,79 ).

ක‍්‍රමයෙන් නිවස තුළ තම ආධිපත්‍යය පතුරුවාලීමට අර්ථ ක‍්‍රමයේ කේන්ද්‍රය, සතුන්ගේ අයිතිය වීම විශේෂයෙන් වැදගත් විය. මේ පරිවර්තන හමුවේ ස්ත‍්‍රියගේ තත්ත්වය පහත වැටුණු අතර ඇය හුදෙක් පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා ඉටුකරන වස්තුවක් බවටත් දරුවන් බෝ කිරීමේ උපකරණයක් බවටත් පත් වූ බව එන්ගල්ස් පෙන්වා දෙයි.

පෞද්ගලික දේපොළ හිමිකාරිත්වය පුරුෂයා සතුවනවාත් සමඟම එය තමාගේ පාර්ශවයෙන් ඉදිරියට ගලා යාම ඔහුට අවශ්‍ය විය. ඒ අනුව ස්වකීය දරුවන් වෙන්කර හඳුනාගැනීමේ අවශ්‍යතාවය මතු විය. එය තහවුරු කරගනු පිණිස ස්ත‍්‍රියට එතෙක් හිමි ව තිබූ ලිංගික නිදහස සීමා කරන්නට විය. අවසානයේ ශිෂ්ටාචාර අවදියේ දී "ඒක විවාහ සම්ප‍්‍රදාය" ස්ථාපිත විය. එතැන් සිට පවුල පාලනය කිරීමේ බලය පුරුෂයා අත සංකේන්ද්‍රනය වන අතර මෙය "පීතෘ මූලික පවුල" වශයෙන් හඳුනාගත හැකිය.

පීතෘමූලිකත්වය[සංස්කරණය]

පීතෘමූලිකත්වය හෙවත් patriarchy යන්න ග‍්‍රීක බසින් බිඳී ආවකි. "පුරුෂ මූලිකත්වය සහිත පවුල" විස්තර කෙරෙන පදයක් ලෙස "පීතෘමූලිකත්වය" හඳුනාගත හැකිය. මෙම සංකල්පය මානව ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමඟ වර්ධනය වූවකි. ක‍්‍රිස්තු පූර්ව යුගවල දී පැවති මානව ශිෂ්ටාචාරවල ද ස්ත‍්‍රීන්ට කටයුතු කිරිමට සිදු ව ඇත්තේ පුරුෂ ආධිපත්‍යයට නතුව බව ඓතිහාසික මූලාශ‍්‍ර පෙන්වා දෙයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ සමහර දිළිඳු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම සඳහා පියවරුන් සිය දියණිවරුන්ව වෛශ්‍යා වෘත්තියට, ශ‍්‍රමයට හෝ විවාහය සඳහා විකිණූ බව සඳහන් වේ.

"පුරෝගාමී සමාජ විද්‍යාඥයෙකු වූ මැක්ස් වෙබර් (Max Weber) පවසන ආකාරයට පීතෘමූලිකත්වය යන සංකල්පයෙන් පවුලේ වැඩිමහල් පුරුෂයා, වයසින් අඩු පිරිමි සාමාජිකයන්, ස්ත‍්‍රීන් හා දැසි දස්සන් මත පතුරුවන ආධිපත්‍යය විස්තර කෙරේ. එහෙත් ස්ත‍්‍රීවාදී අර්ථකථනයට අනුව පීතෘමූලිකත්වය යන්නෙන් විස්තර කෙරෙන්නේ ස්ත‍්‍රින් මත පැටවෙන පුරුෂයන්ගේ ආධිපත්‍යය, පුරුෂයන් විසින් ස්ත‍්‍රීන් පාලනය කරනු ලබන ආකාරය හා ස්ත‍්‍රීන්ට සමාජය සලකන ආකාරය මෙන්ම කාලාන්තරයක් තිස්සේ එය වර්ධනය වූ ආකාරයත් ය. බොහෝමයක් ස්ත‍්‍රීවාදීන් වෙබර්ගේ අදහස තුළ ඇති "වැඩිමහල් පුරුෂයෙකු විසින් පාලනය කරනු ලැබීම" යන්න නොසලකා හැර, සමස්ථයක් ලෙස සියලුම පුරුෂයින් විසින් සෑම ‍ෙක්‍ෂ්ත‍්‍රයක් තුළ දී ම ස්ත‍්‍රීන්ව පාලනය කරනු ලැබීම හා පුරුෂයා ස්ත‍්‍රියට වඩා ඉහළ ස්ථරයක ස්ථානගත කිරීම පීතෘමූලිකත්වය ලෙස විස්තර කරන අතර එය විශ්වීය දෙයක් ලෙසද පෙන්වා දී ඇත. පීතෘමූලික සමාජයේ පවුල තුළ දී මෙන්ම එයින් පිටතදීත්, ස්ත‍්‍රිය සූරාකෑමට ලක්වන බවත්, සම්ප‍්‍රදායික විරුද්ධ ලිංගික විවාහය හා ප‍්‍රචණ්ඩත්වය වැනි දෑ පුරුෂයා විසින් ස්ත‍්‍රින්ව සූරාකෑමට හා පාලනයට කිරීමට යොදාගනු ලබන දෑ බවත් ස්ත‍්‍රීවාදීහු පෙන්වා දෙති" (ලියනගේ, වළාකුළුගේ 2006 : 30,31).

මේ අනුව පවුල තුළ පමණක් නොව, සමාජ, ආර්ථික, ආගමික හා දේශපාලන ඇතුළු අනෙකුත් ක්‍ෂේත‍්‍ර තුළ දී ද පීතෘමූලිකත්වය නිසා ස්ත‍්‍රිය පුරුෂයාට වඩා අප‍්‍රධාන තත්ත්වයකට පත් වේ . එසේම නිරතුරුවම පුරුෂයාගේ ආධිපත්‍යයට නතු වීමට ඇයට සිදු වේ. විරුද්ධලිංගිකයන් අතර වන සමාජ සබඳතා තීරණය කරනු ලබන්නේත් ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවය අතර සියලූම සමාජ අසමානකම් නිර්මාණය වීම සඳහා මූලික වන්නේත් පීතෘමූලිකත්වය බව රැඩිකල් ස්ත‍්‍රීවාදීන්ගේ මතයයි.

මෙම පීතෘ මූලික සමාජ සබඳතා නිර්මාණය කර ඇත්තේ ධනවාදය විසින් බවට සමාජවාදීන්ගේ මතයයි. ධනපති සමාජය තුළ ධනපතීන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ස්ත‍්‍රීන්ව සූරාකෑමට ලක් කරන බව ඔවුන් පෙන්වා දෙයි. එහෙයින් ස්ත‍්‍රීන්ට විමුක්තිය උදාකර ගැනීමට නම් ධනවාදී සමාජක‍්‍රමය වෙනස් කළ යුතුබව ඔවුන් පෙන්වා දෙයි.

"ස්ත‍්‍රිය සහ පුරුෂයා අතර අසමානත්වය නිර්මාණය වී පුරුෂයාගේ ආධිපත්‍යය ස්ත‍්‍රිය මත පැටවීම, දෙපාර්ශවය අතර වන ලිංග භේදය මත ආරම්භ වන බව ෂුලාමිත් ෆයර්ස්ටෝන් (Cshulamith Firestone - 1972) තම නමැති කෘතියෙන් පෙන්වා දෙයි" (ජයසිංහ. 2006: 65,66). ස්ත‍්‍රිය හා පුරුෂයා අතර ඇති අසමානතාවන් මෙන්ම ශ‍්‍රම විභජනයද සෘජුවම ජීව විද්‍යාත්මක සාධක මත ඇරඹෙන බව ඇයගේ මතයයි. ස්ත‍්‍රිය සිය ජීව විද්‍යාත්මක උරුමයේ ප‍්‍රතිඵලයක් ලෙස අඩු වරප‍්‍රසාද ලබන බව ඇය පෙන්වා දෙයි. මාසික ඔසප් වීම, දරුවන් දැරීම හා මව්කිරි ලබාදීම යන සියල්ලක්ම ස්ත‍්‍රියට එරෙහිව පවතින කායික බාධාවන්ය. මෙම කාල සීමාවන් තුළ දී විශේෂයෙන් ම ගැබිනි කාල සීමාවේදී මෙන්ම මව්කිරි ලබාදෙන සමයේ දී ඇයට පුරුෂයා මත යැපීමට සිදුවේ. එහිදී ඇයගේ කායික රැකවරණය පිළිබඳ වගකීම කිනම් ඥාති සබඳතාවය මත වුවද පුරුෂයා විසින් හෝ, රජය විසින් දැරිය යුතුය. අනෙකුත් සත්ත්ව විශේෂයනට සාපේක්‍ෂව මනුෂ්‍ය දරුවා වැඩිහිටියන් මත යැපෙන කාලය වැඩි නිසා ඒ හා සමාන කාලයක් ස්ත‍්‍රියට ද පුරුෂයා මත යැපීමට සිදුවේ. මෙම අන්තර් රැඳියාවේ ප‍්‍රතිඵලයක් ලෙස පුරුෂයා තුළ අධිපතිවාදී මානසිකත්වයක් නිර්මාණය වන අතර එමඟින් ස්ත‍්‍රිය හා පුරුෂයා අතර අසමානත්වයක් ගොඩනැගෙන බව ෆයර්ස්ටෝන් පෙන්වා දෙයි.

පීතෘමූලිකත්වය පිළිබඳ මෙම අදහස් එකිනෙකට සමාන නොවූවත් මෙකී කිනම් ආකාරයෙන් වුවද නිර්මාණය වූ පීතෘමූලික සමාජය විසින් ස්ත‍්‍රිය පහත්, අප‍්‍රධාන, පුරුෂයාට අවනත විය යුතු හා ඔහු මත යැපිය යුතු තත්ත්වයට පත් කරනු ලැබ ඇති බව පොදු මතයයි. මේ අනුව පුරුෂයා විසින් මූලිකත්වය හා බලය ලබා ගැනීමෙන් ස්ත‍්‍රිය සූරාකෑම හා වෙනස් කොට සැලකීම සිදු කරනු ලබයි.

"පීතෘ මූලික සමාජ ක‍්‍රමයේ පවුල් ඒකකය සලකා බැලූ විට පවුල තුළ සියළු වැඳගත් තීන්දු, තීරණ ගැනීම පුරුෂයා විසින් සිදු කරනු ලැබේ. එහිදී ද වැඩිමහලු බව විශේෂ වේ. ස්ත‍්‍රියට සිදු වන්නේ කිසිඳු අදහස් දැක්වීමකින් තොරව ඊට එකඟ වීමටය. පීතෘ මූලික පද්ධතියක් තුළ ස්ත‍්‍රී ජීවිතයේ, පහත ‍ සඳහන් ෙක්‍ෂ්ත‍්‍ර පුරුෂයන් විසින් පාලනය කරනු ලැබේ" (භාසින් 1994: 5-10).

KathyAngerer.jpg

1.ස්ත‍්‍රීන්ගේ නිෂ්පාදන හෙවත් ශ‍්‍රම ශක්තිය[සංස්කරණය]

ස්ත‍්‍රිය විසින් ගෘහය තුළ සිදු කරනු ලබන කාර්යයන් සඳහා කිසිඳු වටිනාකමක් හිමි නොවන අතර කුටුම්භය තුළ ප‍්‍රධාන ආදායම් උපයන්නා බවට පත් වන්නේ පුරුෂයාය. බොහෝ විට රැකියාවක් සඳහා පිටතට යාමට ස්ත‍්‍රියට අවසර නොලැබෙන අතර රැකියාවක් සිදු කළ ද, ඒ සඳහා සාපේක්‍ෂ වශයෙන් අවම වටිනාකමක් හිමි කර දෙනු මෙන්ම රැකියාවට අමතරව ගෘහස්ථ කර්තව්‍යන් නිසි ලෙස සිදු කිරීමේ පූර්ණ වගකීම ද ඇය මත පැටවේ.

"සිල්වියා වොල්බි විසින්, ‘පීතෘමූලික නිෂ්පාදන විධිය’ යනුවෙන් හඳුන්වනු ලැබ ඇති ක‍්‍රමය යටතේ, කාන්තාවන්ගේ ශ‍්‍රමය, ඔවුන්ගේ සැමියන්ද, නිවසේ ජිවත් වන වෙනත් අය විසින්ද පැහැර ගනු ලබයි" (භාසින් 1994: 6).

රැකියාව සම්බන්ධව සලකා බැලූ කල, පුරුෂයන් විසින් අඩු මුදලට තම ශ‍්‍රමය විකිණීමට ස්ත‍්‍රින්ට බල කෙරෙන අවස්ථා ඇත. නැතහොත් උසස් රැකියාවලින් ස්ත‍්‍රීන් බැහැර කෙරෙනු හෝ ගෘහ නිෂ්පාදනය යටතේ සූරා කෑමට ලක් කරනු ලැබේ. රැකියා ස්ථානවලදී පුරුෂයාට සාපේක්‍ෂව අවම වැටුපක් ස්ත‍්‍රියට ලැබෙන අතර උසස් වීම් සඳහා ලැබෙන ඉඩප‍්‍රස්ථා අවමය. පහළ හෝ මධ්‍යම මට්ටමේ රැකියා ඔවුන්ට හිමි වන අතර තීරණ ගන්නා මට්ටමේ තනතුරු සුලභ වශයෙන් දරන්නේ පුරුෂයන් ය.


2.ස්ත‍්‍රීන්ගේ ලිංගිකත්වය[සංස්කරණය]

ලිංගික කටයුතුවලදී ද පුරුෂයා, මූලික වන අතර ඒ සඳහා ස්ත‍්‍රියගේ කැමැත්ත හෝ අකමැත්ත බොහෝ විට සලකා නොබැලේ. ස්ත‍්‍රිය, පුරුෂයාට අවැසි විටෙක ලිංගික කටයුතු සඳහා යොදා ගැනෙන උපකරණයක් බවට පත්ව තිබේ. පුරුෂයන්ගේ අභිලාෂයන් හා අවශ්‍යතාවයන් අනුව ලිංගික සේවා සැපයීම ගැහැණුන් මත පැවරී ඇති, බැඳීමකින් යුතු අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් බවට පත් කර තිබේ.

"මගේ සැමියාට වුවමනා වන ඕනෑම විටෙක මගේ සිරුර ඔහුට අවනත කළ යුතුය. ඒ ගැන කැමැත්ත හෝ අකැමැත්ත පළ කිරීමේ අයිතියක් මට නැත. මෛථුන්‍යයට මම බිය වෙමි. එයින් මට කිසි ප‍්‍රීතියක් ගෙන නොදෙයි" (භාසින් 1994 : 3).

විවාහයෙන් පරිභාහිර ස්ත‍්‍රී ලිංගිකත්වය ක‍්‍රියාත්මක කිරීම වළකාලන සදාචාරමය හා නෛතික පාලන පද්ධතියක් පීතෘමූලික සමාජය පුරා ක‍්‍රියාත්මක වන අතර පුරුෂ අනාචාරය පිළිබඳ එවැනි තහනමක් දක්නට නොමැත. ස්ත‍්‍රී ලිංගිකත්වය පාලනය කරනු උදෙසා ඔවුන්ගේ ඇඳුම්, හැසිරීම්, සංචලතාව ආදී සෑම කටයුත්තක්ම දැඩිව පරිපාලනය කරනු ලැබේ. ස්ත‍්‍රීන් කෙරෙහි වූ පුරුෂයන්ගේ ලිංගික පාලනය තුළින් ස්ත‍්‍රීන් දූෂණයට ලක් කිරීමත් ගණිකා වෘත්තියෙහි යෙදවීමත් සිදු කෙරේ.

File 4020. Palestinian women with children, Jerusalem 2005.jpg


3.ස්ත‍්‍රී ප‍්‍රජනන ශක්තිය[සංස්කරණය]

පුරුෂ මූලික සමාජ ක‍්‍රමයක් තුළ ස්ත‍්‍රියට තම ශරීරය කෙරෙහි වූ පාලනය ද ඉවත් කෙරේ. තමන්ට දරුවන් අවශ්‍ය ද, කී දෙනෙකු අවශ්‍යද, ඔවුන් බිහි කරන්නේ කුමන කාලයේ ද, උපත් පාලන ක‍්‍රම උපයෝගී කර ගන්නවාද, ගබ්සාවක් සිදු කර ගැනීම අවශ්‍යද යනාදිය තීරණය කිරීමේ නිදහසක් ස්ත‍්‍රියට නොමැත. මෙම කරුණු තීරණය කරනු ලබන්නේ පුරුෂයන්ගේ පාලනය සහිත වූ රාජ්‍ය නීති සම්පාදන ආයතන, ආගමික ස්ථාන හෝ පුරුෂයන් මඟින් නිර්මාණය කරන ලද සිරිත්, විරිත් ආදිය මඟිනි.

"පවුල් සැලසුම් ක‍්‍රම පාවිච්චි කිරීමට මට උවමනා බැව් සැමියාට කීවෙමි. ඔහු එය ප‍්‍රතික්‍ෂේප කළේ ය. උපත් පාලන සැත්කමක් කර ගැනීමට හෝ ඔහු මට අවසර නොදුන්නේය" (භාසින් 1994: 3).

ආර්ථිකය මඟින් ශ‍්‍රමය සඳහා කෙරෙන ඉල්ලුම අනුව, පීතෘමූලික රාජ්‍යයෙහි ප‍්‍රතිපත්ති හා දෘෂ්ටිය වෙනස් කරනු ලබයි. ඒ අනුව ස්ත‍්‍රියගේ ප‍්‍රජනන ශක්තිය පාලනය කිරීමට හෝ දරුවන් වැඩි වශයෙන් බිහි කිරිමට අනුබල ලබා දෙයි. එසේම පීතෘමූලිකත්වය තුළින් මව්වරුවන් වන සේ ස්ත‍්‍රීන්ට බලකෙරෙන අතර මාතෘත්වය පිළිබඳ තත්ත්වයන් ද නිර්ණය කරනු ලබයි. මාතෘත්වය පිළිබඳ වූ මෙම දෘෂ්ටිය ද ස්ත‍්‍රී පීඩනයේ එක් පදනමක් ලෙස සැලකිය හැකි ය. මන් ද එමඟින් නැවත වරක් ස්ත‍්‍රී, පුරුෂ චරිත බිහිකෙරෙන අතර පීතෘමූලිකත්වය ඉදිරියට ගෙන යාමට උපකාරී වන බැවිනි.


4.ස්තී‍්‍රන්ගේ සචලතාවය[සංස්කරණය]

ස්ත‍්‍රීන්ගේ සචලතාව සීමා කරනු ලබන්නේ, එය අනෙකුත් සෑම ආකාරයකින් ම ස්ත‍්‍රිය පාලනය කිරීමේ උපක‍්‍රමයක් ලෙස ය. ස්ත‍්‍රියට අවශ්‍ය විටෙක අවශ්‍ය තැනක යාමට නොහැකි අතර ඒ සඳහා සකස් කරන ලද සමාජීය නීති පද්ධතියක් පවතී. රාත‍්‍රී කාලයේ දී නිවසින් බැහැරව ක‍්‍රියා කිරීමේ අවකාශය ඔවුන්ට නොමැති අතර දහවල් කාලයේ දී ද ඔවුන්ගේ යාම්, ඊම් සිදු කළ හැක්කේ යම් යම් සීමාවන්ට යටත්වය. එසේ ම නිවසින් බැහැරව යාමට පුරුෂයාගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වේ. මුස්ලිම් ස්ත‍්‍රීන්ට මුහුණු ආවරණ පැලදීමට බල කිරීම, වෙනත් පුරුෂයන් සමඟ ආශ‍්‍රය සීමා කිරීම මඟින් ද ස්ත‍්‍රී සචලතාවය සීමා කෙරෙයි. නමුත් පුරුෂයන් කෙරෙහි මෙම කිසිඳු නීතියක් හෝ තහංචියක් ක‍්‍රියාත්මක නොවන බව ස්ත්‍රීවාදීහු පෙන්වා දෙති.

"මිතුරු මිතුරියන් හමුවීමට හෝ සෙල්ලම් කිරීමට පිටතට යාමට මට අවසර නොතිබිණ."

"මගේ සහෝදරයන්ට ඕනෑම වේලාවක ආපසු ගෙදරට පැමිණිය හැකි විය. එහෙත් මා කළුවර වීමට කලින් ආපසු පැමිණිය යුතුවිය" (භාසින් 1994 : 2).


5.දේපොළ හා වෙනත් ආර්ථික සම්පත්[සංස්කරණය]

දේපොළ හා වෙනත් සම්පත් පුරුෂයන්ගේ පාලනයට අයත් වන අතර සාමාන්‍යයෙන් පියාගෙන් පුතාට දේපොළ හිමිවීමේ ක‍්‍රමයක් පවතී. ව්‍යාපාර, ආර්ථික සංවිධාන සහ දේශපාලන උරුමය පුරුෂ මූලිකව ගලායන බව ස්ත්‍රීවාදීන්ගේ මතයයි. බොහෝ විට තම ස්වාමිපුරුෂයාගේ දේපොළ ස්ත‍්‍රියට අහිමි වේ.මේ අනුව දේපොළ පිළිබඳ අයිතිය ද තීරණය වන්නේ ස්ත‍්‍රියට අවාසිසහගත ආකාරයටය. එක්සත් ජාතීන්ගේ සංගමය ඉදිරිපත් කරන දත්ත අනුව ලෝකයේ මුළු වැඩ පැය ගණනින් 60% සඳහා ස්ත‍්‍රීන් දායක වුවද ඇයට හිමි වන්නේ මුළු ලෝක ආදායමින් 10% ක් පමණි. ලෝකයේ දේපොළවලින් ඔවුන්ට අයත් වන්නේ 1% පමණි.

"මගේ පියාගේ දේපොළවලින් කොටසකට මට හිමිකමක් නැත. මගේ සැමියාගේ දේපොළ ද මට අයත් නොවේ. ඇත්ත වශයෙන්ම මගේ යැයි කිව හැකි නිවසක් මට නැත" (භාසින් 1994 : 3).

සමාජයේ තිබෙන ප‍්‍රධාන ආයතන විශ්ලේෂණය කිරීමේ දී ද ඒවා පීතෘමූලික ස්වරූපයක් දරයි. පවුල, ආගම, සන්නිවේදන මාධ්‍යයන් නීතිය යන සියල්ල පුරුෂයන්ගේ ආධිපත්‍ය යටතේ පවතී. මේවා තුළින් පීතෘමූලික දෘෂ්ටිවාදය පවත්වාගෙන යන අතර එය ස්වභාවික දෙයක් යයි ද පෙන්නුම් කෙරේ. ඒ අනුව පීතෘමූලික සමාජ ක‍්‍රමයක ඕනෑම තත්ත්වයක් තුළ ස්ත‍්‍රිය සමාජානුයෝජනය වන්නේ පවතින ක‍්‍රමය, සාමාන්‍ය හා ස්වාභාවික තත්ත්වයකි යි සලකාය. ඒ තුළින් ඇය නොදැනුවත්වම පීතෘමූලික ආකල්ප, විශ්වාස හා අගය කිරීම් අනුගමනය කරන අතර ඒවා මතු පරපුරට ද දායාද කරයි. මේ අනුව පීතෘමූලික සමාජ ක‍්‍රමයේ අඛණ්ඩ පැවැත්ම අරබයා ස්ත‍්‍රීන් ද අනිවාර්යයෙන්ම දායක වන බැව් පැහැදිළි වේ.

සන්නිවේදන මාධ්‍යයන් ද ස්ත‍්‍රී - පුරුෂ විභේදන දෘෂ්ටිය හෝ පීතෘමූලික දෘෂ්ටිවාදය පැතිර වීම සඳහා පුරුෂයන් විසින් යොදා ගනු ලබයි. මේ අනුව බලන කල පෙනී යන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම්වලට වඩා, පීතෘමූලික සමාජක‍්‍රමය තුළින් ස්ත‍්‍රිය හා පුරුෂයා අතර අසමානත්වයක් නිර්මාණය කර ඇති බව යයි ස්ත්‍රීවාදීහු පෙන්වා දෙති. එනම්; ස්ත‍්‍රිය හා පුරුෂයා අතර සංස්කෘතිකමය ආකාරයෙන් විභේදනයක් නිර්මාණය කර ඇති බවත් එය සමාජගත කර ‘සාමාන්‍යයක්’ බවට පත් කර ඇති බවත් එමඟින් පුරුෂයා විසින් ස්ත‍්‍රිය පීඩනයට පත් කර ඇති බවත්ය.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

ආශ්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

1.භාසින්, කමලා. 1994. පීතෘමූලිකත්වය යනු කුමක්ද?. කොළඹ 05 : සමාජ විද්‍යාඥයන්ගේ සංගමය.

2.රුද්රිගු , වී. දැදිගම .එන්ගල්ස් : පවුල පෞද්ගලික දේපොළ හා රජය ඇති වු සැටි . මොස්කව් : ප‍්‍රගති ප‍්‍රකාශන මන්දිරය.

3.ජයසිංහ, ඒ.කේ.පී. 2006. ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය (බටහිර සංකල්පය). කඩවත: කඩුල්ල ප‍්‍රකාශන.

4.ජයවර්ධන, කුමාරි. 2004. ස්තී‍්‍රවාදය සහ ජාතිකවාදය. කොළඹ 05: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය.

5.මනුරත්න, එම්.ජී. 2004. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා පවුල. වරකාපොල : ආරිය ප‍්‍රකාශන.

6.ලියනගේ, වළාකුළුගේ. 2006. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත‍්‍රීවාදය. කොළඹ 04 : ෆෙඞ්රික් ඊබට් පදනම.

"https://si.wikipedia.org/w/index.php?title=ස්ත්‍රීවාදය&oldid=524190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි