කින්නර

කින්නර යනු ලංකාවේ සිටින ජන කණ්ඩායමකි. ඔවුන් ශ්‍රී ලංකාවේ අතීත කුල වැඩවසම් ක්‍රමය තුළ පැවති කුල දූරාවලියට අනුව පහත්ම කුල ප්‍රවර්ගයට අයත් ජන කොටසකි. එ සේ ම මොවුහු රොඩී කුලයට වඩා උසස් කුලයක් වූ හ. සමාජ හා මානව විද්‍යාඥයෝ ඇතැම් අවස්ථාවල මොවුන් වෙන ම ප්‍රාථමික ජන කොටසක් ලෙසත් උපසංස්කෘතියක් ලෙසත් විග්‍රහ කරති. එම්. ඩී. රඝවාන් සඳහන් කරන්නේ ඔවුන් ප්‍රාථමික ජන කණ්ඩායමක් ලෙස යි.
කින්නර ජනයා ගේ ආරම්භය හා බැඳුණු ජනප්‍රවාද
[සංස්කරණය]කින්නර ජනයා ගේ ආරම්භය හා බැඳුණු එක් ජනප්‍රවාදයක් මෙසේ ය. ක්‍රිස්තු වර්ෂ 164-192 කාලය තුළ අනුරාධපුර රාජධානියේ රජ කළ භාතිය තිස්ස රජුට සතුරු සේනාවක් සමග යුද්ධ කිරීමට සිදුවිය. ඒ වන විට දරු ප්‍රසූතියට ආසන්න ව සිටි අගබිසොව තනිකරදමා යාම අනතුරු සහගත යැ යි සිතූ රජු අගබිසොව කැටුව ම යුද පෙරමුණට ගියේ ය. අවාසනාවට රජු යුද්ධයෙන් පැරැදි. පලායන අතරතුර අගබිසොවට විළිරුදා ඇති වූයෙන් අවට සොයාබැලුව කම්මලක් දැක එයට ගොස් කිනිහිරට පිට දී සිටියදී කුමරකු වැදුවා ය. කුමරා රැගෙන පලාගිය හොත් කුමරු ගේ ජීවිතය ද අවධානම් බව දැන කුමරු කිනිහිර මත තබා පලා ගියා ය. උදාසන වැඩට පැමිණි කම්මල්කරුවා කිනිහිර මත සිටි දරුවා දැක කිනිහිරය දුන් පුතා යන අදහසින් කින්නර පුතා යැ යි නම් කර ආදරයෙන් හදාවඩා ගත්තේ ය. ජනප්‍රවදයට අනුව කින්නර ජනතාව ඔහු ගෙන් පැවැතෙන්නෝ ය. වෙයි.
මේ හා බැඳුණු තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ භාතිය තිස්ස රජු තනි ව යුද්ධයට ගිය බවත් රජු ගේ පරාජය සැළවූ දරු ප්‍රසූතියට ආසන්නව සිටි අගබිසොව සතුරනට හසුවේ යැ යි බියෙන් රජ මැඳුරින් පැනගොස් ආරක්ෂා සහිත ස්ථානයක් සොයමින් යද්දී විළිරුදාව දැඩි වූයෙන් අසල තිබූ කම්මලක් දැක එයට ගොස් කිනිහිරට පිටදී කුමරකු වැදූ බවති. පසුව ආරක්ෂාව පතා කුමරු කිනිහිර මත තමා බිසොව පලාගියා ය. කම්මල්කරුවා පැමිණැ කිනිහිර මත සිටි දරුවා දැක කින්හිර මට දුන් පුතා කින්නර පුතා යැ යි නම් කර හදාවඩා ගත්තේ ය. ඔහු ගෙන් කින්නර ජනයා පැවතෙන බව මෙම ජනප්‍රවාදයට අනුව පැවසේ.
තවත් ජනප්‍රවාදයකට අනුව අතීතයේ සිටි එක්කරා රජකු ගේ එක්තරා බිසොවක් රජුට නොදැනීම ගැබ්ගත්තා ය. මෙය සැළවූ රජ කෝපයට පත් ව ඇය රජ මැඳුරින් පිටමන් කළේ ය. පසුව ඇය සිඟමින් විසුවා ය. දිනක් සිඟමන් යදිමින් ගමන් කරද්දී විළිරුදාව දැඩි වූයෙන් අසල කම්මලක් දැක එයට ගොස් කිනිහිරට පිටදී කුමරකු වැදුවා ය. පසුව ඇය ආරක්ෂාව පතා කුමරා කම්මලෙහි දමා පලා ගියා ය. පසුදා කම්මලට පැමිණි කම්මල්කරුවා කුමරා හදාවඩා ගත්තේ ය.ඔහු ගෙන් කින්නරයන් පැවැතෙන්නේ යැ යි මෙම ජනප්‍රවාදයට අනුව සඳහන් වෙයි.
තවත් පුවතක දැක්වෙන්නේ මොවුන් අතීතයේ කම්මල් කරුවනට වතුර හා කත් ඇදීම කළ කුලයක් බවත් ඔවුන් තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බැවින් රජු ඔවුන් ගේ හිස් කිනිහිරට තබා පොඩි කර යුතු යැ යි කෝපයෙන් අණ කළ නිසා ඔවුනට කින්නර යන නම භාවිත කරන බව යි.
මේ ආකාරයට ඔවුන් හා බැඳුණු ජනප්‍රවාද රැසක ම කින්නර හා ආචාරී හෙවත් කම්මල්කරුවන් අතර සම්බන්ධයක් කියැවේ. මීට අමතරව තවත් කින්නර ජනයා ගේ ආරම්භය හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී.
කින්නර සමාජ සංවිධානය (සිංහල රජ දවස)
[සංස්කරණය]මොවුන් ගේ පවුල් ක්‍රමය න්‍යෂ්ටික පවුල් ක්‍රමයක් විය. ඔවුන් අතර ඇවැස්ස ඥාතී විවාහ බහුල ව සිදුවී ඇති අතර දීග හා බින්න විවාහ දක්නට ලැබිණ. ඔවුන් කුඩා කණ්ඩායමක් වූ බැවින් ඔවුනොවුන් අතර ඉතා කිට්ටු සම්බන්ධයක් පැවතිණ. කින්නර සමාජය බොහෝ විට පැරණි ග්‍රාමීය ජනසමාජයකට සමාන සමාජ සංවිධාන මට්ටමක් පැවති පීතෘ මූලික සමාජ ක්‍රමයක් ඔවුන් අතර පැවතිණ.
ඔවුන් ගේ ප්‍රධාන අර්ථක්‍රමය වූයේ කළාල විවීම යි. හණ ආශ්‍රිත නොයෙක් නිෂ්පාදන ද ඒ අතර විය. අතීතයේ ප්‍රකට දුම්බර පැදුරු අලංකාර ලෙස සකස්කර ඇත්තේ මොවුන් විසිනි. රාජකීය භාණ්ඩාගාරයට ප්‍රාදේශිය ප්‍රධානීන්ට පැදුරු කළාල බුමුතුරුණු බිත්ති හා මේස සැරසිළි වාමර ආදී සැපයීම පෙර රජදවස මොවුන් ගේ රාජකාරිය විය. අතීතයේ දී ඔවුහු තමන් නිපැයූ කළාල බුමුතුරුණු පැදුරු ආදී නිෂ්පාදන ගොවියනට හා වෙනත් අයට සපයා භාණ්ඩ හුවමාරු හෙවත් ඍජු හුමාරු ක්‍රමයට තමනට වුවමනා කලමනා ලබාගත් හ . එ කල මොවුනට ගොවිතැන තහනම් කර්මාන්තයක් විය.
මොවුන් ගේ ද්වාර කර්ම චාරිත්‍ර දෙස අවධානය යොමු කිරීමේ දී මොවුන් සිංහල කුල දූරාවලියේ පහත් ම කුලයකට අයත් බැවින් මහාසමාජය තුළ පැවති ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර මොවුනට තහංවි විය. දරු උපතක දී සියලු වින්නඹුකම් සමූහයේ වැඩිහිටි කාන්තාවක විසින් සිදුකැරේ. ඔවුහු දරු උපතින් 04 වන මාසයේ දී මව ගේ දකුණු අතෙහි මැතිරූ නූලක් ගැට ගසති. පිටියේ දෙවියන් නමින් හැඳින්වුණු දෙවියකුට මව හා දරුවා ආරක්ෂා කරදෙන ලෙස භාරවෙති. දරු ප්‍රසූතියෙන් හතරවන දිනේ දී මව ඖෂධ යෙදූ ජලයෙන් නාවති.
මොවුන් ගේ දැරියක වැඩිවිය පැමිණීමේ චාරිත්‍රය තරමක් උස්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. දැරිය පළමු ඔපස්වීම තම මවට දන්වයි. ඉන්පසු මව ඇය පිරිමින් ගේ දෘෂ්ටියට හසු නොවන සේ අඳුරු කාමරයක රඳවයි. දැරිය ගේ නැන්දාවරු දෙ දෙනෙක් නැකැත් අසන්නට යති. මෙම අවදියේ දී දැරියට ආහාර පාන ආදිය දීම ද සීමාවකට යටත් ව සිදු කෙරෙයි. මහා සමාජයේ මෙන් කින්නර මල්වර මංගල්‍යයට රෙදි නැන්දා ගේ සේවය නොලැබේ. ඒ රදා හෙවත් රෙදිසෝදන කුලයේ අයට තමනට වඩා පහත් කුලයනට තම සේවය ලබාදීමට බැඳී නොසිටින බැවිනි. එ බැවින් දැරිය ගේ මව විසින් එම චාරිත්‍ර සිදුකෙරෙයි. කිරිගසක් යටට දියණිය කැඳවා ඖෂධ මිශ්‍ර වතුරින් ඇය නහවා පසු ව වස්දොස් යාමට කළය බිඳ දමයි. කින්නර මල්වර මංගල්‍යය බොහෝ දුරට මහා සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර වලට සමාන යි.
කින්නර විවාහ මංගල්‍යය කිසිදු උස්සවශ්‍රීයක් නොගනී. දියණියක වැඩිවියට පත්වූ පසු ඇගේ ඇවැස්ස මස්සිනා කුමන හෝ අවස්ථාවක ඇය කැඳවාගෙන යයි. මෙහි දී කිසිදු චාරිත්‍ර වාරිත්‍රයක් අනුගමනය නො කෙරෙයි. ඇවැස්ස නෑනා මස්සිනා විවාහය ඔවුන් අතර ප්‍රධානම විවාහ ක්‍රමය වන අතර දීග හා බින්න ක්‍රමයට එ නම් මනාලිය මනාලයා ගේ නිවසට යාම හා මනාලයා මනාලිය ගේ නිවසට යාම සිදුවිය. මොවුන ගේ විශේෂත්වය නම් එකගෙයිකෑම වැනි විවාහක්‍රම ඔවුන් අතර නොපැවතීම යි. එ සේ ම විවාහය තුළ චාරිත්‍ර වාරිත්‍ර නොතිබුණු අතර කිසිදු උස්සවශ්‍රීයක් නො විය. එ සේ මහා සමාජයේ සම්මත චාරිත්‍ර වාරිත්‍ර ඔවුනට තහංචිය.
මරණයක් සිදුවූවිට අවට නිවෙස් වලට දන්වා මියගිය පුද්ගලයාගේ ආත්මය ජීවත්ව සිටින අයකුට හිංසා කිරීමට ඉඩ නොලැබෙන ලෙස විවිධ ශාන්තිකර්ම අනුගමනය කර සුසානභුමිය ගෙනවිත්දමති. බෞද්ධාගමික වතාවත් කිරීමට එ කල මොවුනට අවසර නොලැබිණ.
වර්තමානයේ කින්නර ජනයා වේගයෙන් මහා සමාජයට අනුගතවෙමින් පවතී. අතීතයේ ඔවුනට පැති බාධක තහංචි වර්තමානයේ සම්පූර්ණයෙන් ඉවත්කර ඇත.
ඇඳුම් පැළඳුම්
[සංස්කරණය]අතීතයේ පැවැති සම්ප්‍රදායට අනුව කින්නර ජනයාට ද උඩුකය වැසෙන ලෙස ඇඳීම තහංචි ය. කින්නර පුරුෂයෝ මෙන් ම ස්ත්‍රීහු ද ඉනට රෙදි කඩක් හැඳ උඩුකය නග්නව තබා ගත් හ. එහෙත් 18 වන සියවසින් පසු ක්‍රිස්තියානි මිෂනාරීන් ගේ බලපෑමෙන් මොවුනට තිබූ තහංචි ඉවත් කැරිණි. විශේෂයෙන් ස්ත්‍රීනට උඩුකය වැසෙන ලෙස වස්ත්‍ර හැඳීමට අවසර ලැබිණ. රඝවාන් වැනි විද්වතුන් පවසන්නේ මිෂනාරීන් ගේ මෙම ක්‍රියාමාර්ග මඟින් සමාජය තුළ යම් ප්‍රගතියක් ඇති කළ බව යි.
මූලාශ්‍ර
[සංස්කරණය]- Ariyapala M.D (1956) Sociaty Mediaeval Ceylon Development of Cultureal Affair
- කුමාරස්වාමි ආනන්ද (1962) මධ්‍යකාලීන සිංහල කලා කොළඹ සංස්කෘතික දෙපාර්තුමේන්තුව
බාහිර සබැදුම්
[සංස්කරණය]- http://www.divaina.com/2013/12/18/badada03.html සංරක්ෂණය කළ පිටපත 2018-10-15 at the Wayback Machine