හරිශ්චන්ද්‍ර විජයතුංග

විකිපීඩියා වෙතින්
හරිශ්චන්ද්‍ර විජයතුංග
Harischandra Wijayatunga
පුද්ගලික තොරතුරු
උපත1931 ඔක්තෝබර් 25
මිනුවන්ගොඩ
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවඅධිනීතිඥ

විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංග (ඉංග්‍රීසි: Harischandra Wijayatunga) ශ්‍රී ලාංකික ලේඛකයකු, පරිවර්තකයකු, ශබ්දකෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන් ම දේශපාලඥයකු වෙයි. විවිධ රාජ්‍ය ආයතනවල තනතුරු දරා ඇති ඔහු වර්තමානයේ සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ධුරය උසුලයි. 1994 සහ 1999 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණ දෙකේ දී එම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඔහු ඉදිරිපත් විය.

වර්ෂ 2005 දී එළි දක්වන ලද පිටු 2000 ක ට අධික ප්‍රමාණයකින් යුක්ත ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ සම්පාදකවරයා ඔහු ය. එමෙන්ම ඔහු සිංහල ශබ්දකෝෂ සම්පාදනය සහ සිංහල අකුරු ප්‍රමිතිකරණය පිළිබඳ වියත් අදහස් ඉදිරිපත් කර ඇත්තෙකි.

ප්‍රජාතන්ත්‍රවාදයෙනුත් ඔබ්බට ගිය මහා සම්මතවාදය හෙවත් සියළු දෙනාගේම කැමැත්ත මත ක්‍රියාකරන පාලන තන්ත්‍රය ඔහුගේ දේශපාලන දර්ශනය යි. එමෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැතිවරණවල දී සහ තව නොයෙකුත් අවස්ථාවල පෙනී සිට ඇත.

පූර්ව අවධිය[සංස්කරණය]

හරිශ්චන්ද්‍ර විජයතුංග උපන්නේ 1931 ඔක්තෝබර් 25 වන දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මැඩෑමුල්ල ගමෙහි ය. දේශීය අක්ෂි වෛද්‍යවරයකු වූ ඩබ්ලිව්. එම්. ඩී. බී. විජයතුංග ඔහුගේ පියා යි. මව අමරාවතී ජයසිංහ වූවා ය. දූ දරුවන් අට දෙනෙකුගෙන් යුතු වූ පවුලේ හතරවැන්නා හරිශ්චන්ද්‍ර විජයතුංග යි.

දෙවන ලෝක යුද්ධ සමයේ ආරක්ෂක පියවරක් ලෙස කොළඹ පැවති පාසල් කොළඹින් පිටතට ගෙන යාමට තීරණය විය. ඒ අනුව කොළඹ නාලන්දා විද්‍යාලය මිනුවන්ගොඩට ගෙන එන ලදි. ඒ වන විට මිනුවන්ගොඩ ආණ්ඩුවේ ද්වී භාෂා පාඨශාලාවෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කරමින් සිටි හරිශ්චන්ද්‍ර සිසුවා මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කිරීමට දෙමව්පියෝ කටයුතු කළහ. යුද්ධය අවසන් වීමෙන් පසුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහි දී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වී 1952 දී එකල ලංකා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වුණු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1955 දී බී. ඇස්. සී. විද්‍යාවේදී උපාධිය ලැබීමට ඔහු සමත් විය.

ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ ආචාර්ය හෙන්රි ජයසේන, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.

වර්ෂ 1990 දී Legal Philosophy in Medieval Sinhale යන නිබන්ධනය කැලණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කිරීමෙන් ඔහු ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය.

වෘත්තීය දිවිය[සංස්කරණය]

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණේය. ඊට අමතරව ඔහු මහනුවර මහමායා බාලිකා විද්‍යාලයයේ රසායන විද්‍යා ගුරුවරයා ලෙස ද කටයුතු කළේය. ඔහුගේ ප්‍රථම කෘතිය වන “මිරිදිය ජීවීහු” ප්‍රකාශයට පත් කරන ලද්දේ මේ කාලයේදී යි. ඉන්පසු ඔහු සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් 1956 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙහි පිහිටු වන ලද සිංහල විශ්ව කෝෂ සම්පාදන කාර්යාලයයේ විද්‍යා අංශයේ ප්‍රධාන සම්පාදක ධූරයට පත් විය. කලක් එහි සේවය කිරීමෙන් පසු ඔහු නැවත ධර්මරාජ විද්‍යාලයයේ ම උප විදුහල්පති ධුරය භාර ගත්තේ ය.

ඔහුගේ ඊළඟ පත් වීම ලැබුණේ 1965 දී වැඩ කටයුතු ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රථම මහා මණ්ඩලයේ ලේකම් ධුරයට යි. අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයයට ශිෂ්‍යයකු වශයෙන් ඇතුළු වූ හෙතෙම 1973 දී අධිනීතිඥයකු වශයෙන් දිවුරුම් දුන්නේය.

තම නීතිඥ දිවියේ ඔහු විසින් කරන ලද සේවාවන් අතර 1971 කැරැල්ලට හසු වූවන් වෙනුවෙන් අපරාධ යුක්ති කොමිසම ඉදිරියෙහි සහ 1977 අගෝස්තු මස රට පුරා ඇවිළී ගිය කෝලාහලය පිළිබඳ ව හිටපු අග්‍ර විනිශ්චයකාර එම්. සී. සන්සෝනි ප්‍රමුඛ ජනාධිපති කොමිසම ඉදිරියෙහි නිස්සරණාධ්‍යාශයෙන් පෙනී සිටීම කැපී පෙනෙයි.

ඉන් අනතුරුව එළැඹුණු 1980 දශකයේ සිංහල බෞද්ධයා පත්‍රයේ ප්‍රධාන කර්තෘ, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂ සහ ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයයේ පාලක සභා සාමාජික යන තනතුරු දැරූ හෙතෙම 1984 – 1990 කාලය තුළ සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු කළේය.

දේශපාලන දිවිය[සංස්කරණය]

විජයතුංග සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ විශ්ව ව්ද්‍යාල සිසුවකුව සිටි අවධියේ ය. එකල පැවති සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ව්‍යාපාරයට ඔහු පළමුව හවුල් වූයේ විශ්ව විද්‍යාලීය සිංහල සංගමය පිහිටුවා ගැනීමෙනි. පසුව, මහනුවර වාසය කරන කාලයේ, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතුවලට සහාය පළ කළේ ය. තම පරමාර්ථය වන සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් නොකෙරෙන්නක් බව තීරණය කළ ඔහු විද්වතුන් පිරිසක් සමඟ 1990 දී සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා ගත්තේ ය. එහි නායක ධුරයට පත් වූ ඔහු මේ දක්වාම එම ධුරය හොබවයි. 1994 නොවැම්බර් 4 දා පැවති ශ්‍රී ලංකාවේ තුන්වන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ විජයතුංග ඡන්ද 32,651 ක් ලබා ගත්තේය. ඉන් සය වසරකට පසු, 1999 දෙසැම්බර් 21 දා පැවැත්වුණු ජනාධිපතිවරණයට ද තම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ඔහු ඡන්ද 35,854 ක් ලබා ගැනීමට සමත් විය. මීට අමතරව 2000, 2001 සහ 2004 යන වසරවල පැවති මහා මැතිවරණවලට ද ඔහු අපේක්ෂකයෙකු වශයෙන් තරඟ කළේ ය.

පුද්ගලික දිවිය[සංස්කරණය]

විජයතුංග 1964 දී එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටි කරුණා පෙරේරා මෙනෙවිය සමඟ විවා විය. ඈ වර්ෂ 2000 දී අභාවප්‍රාප්ත වූවා ය. එම දෙපළ පුතුන් තුන්දෙනෙකු හා එක් දියණියකගේ මවුපියෝ ය. ප්‍රසිද්ධ විද්‍යා ලේඛක අතුල මංචනායක, විජයතුංග ගේ බාල සහෝදරිය ගේ සැමියා වෙයි.

ආසියානු, අප්‍රිකා, යුරෝපීය රටවල් රාශියක මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද සංචාරය කොට අත්දැකීම් ලබා ඇති විජයතුංග ඉන්දියාව, ජපානය, එංගලන්තය සහඕස්ට්‍රේලියාව යන රටවල විද්වතුන්ගේ මණ්ඩල ඉදිරියේ දේශන පවත්වා තිබේ.

හරිශ්චන්ද්‍ර විජයතුංග ලේඛනාවලිය[සංස්කරණය]

විද්‍යා ග්‍රන්ථ

  • මිරිදිය ජීවිහු (1955)
  • ජ්‍යේෂ්ඨ රසායන විද්‍යාව (1956)
  • පොළොවේ කථාන්තරය (1959)

පරිවර්තන ග්‍රන්ථ

  • බ්‍රව්නිං සහ ජෝසෆ් ලියූ ප්‍රායෝගික රසායන විද්‍යාව (1958)
  • ඩරන්ට් ගේ කාබනික රසායනය (1963)
  • මාඕ සේතුං ගේ කලාව හා සාහිත්‍යය (1963)

සාහිත්‍ය ග්‍රන්ථ

  • පහන් වන දා (1961)
  • කුමාරතුංගගේ සමාජ දර්ශනය (1962)
  • සිංහල ශබ්දකෝෂ සම්පාදනයට අලුත් ආකල්පයක් (1977)
  • සිංහල අකුරු අකාරාදී කිරීම සහ ප්‍රමිත කිරීම (2003)
  • හෙවිසි එපා (2007)

ශබ්දකෝෂ

ආගමික ඉතිහාස ග්‍රන්ථ

  • ආගමික නිදහස හා මූලික අයිතිය (2003)
  • ඊර්ෂ්‍යාකාරයා‍ ගේ අණ (2006)

දේශපාලන ග්‍රන්ථ

  • ජාතික සටන (1960)
  • ජනතා ජයග්‍රහණයේ අනාගතය (1963)
  • ලෝකය රක්නා රාජ්‍යතන්ත්‍රය - මහසම්මතවාදය (1991)
  • ව්‍යවස්ථාවත් වැරදියි, ඒ යටතේ කළ වැඩත් වැරදියි (1991)
  • ජාතික අනන්‍යතාවේ න්‍යායික පසුබිම (1992)
  • නේරු-කොතලාවල ගිවිසුම ක්‍රියාත්මක කරමු (1993)
  • වෙනසක පෙරනිමිති (1995)
  • මූලික අයිතිය පෙන්වා උත්තරීතර අයිතිය පැහැර ගැනීම (1996)
  • භීෂණයෙන් තොර සමාජයක් (1999)
  • මාර සෙනඟ ගේ හා දේවදත්තයන්ගේ වැඩ (2003)
  • පෙරලියක නිර්මාතෘ - මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය (2007)

නීති ග්‍රන්ථ

  • නීති නිඝණ්ඩුව (1998)

ඉතිහාස ග්‍රන්ථ

  • යක්කු සහ කුවේණිය (2008)

දේශාටන විස්තර

  • සුන්දර කෙන්යාව හෙවත් මාසෛයන් ගේ රට (2002)


මූලාශ්‍ර[සංස්කරණය]

  • සිංහල බෞද්ධ චින්තනය ට බලපෑ විජයතුංග සාධකය, උදය රාජපක්ෂ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2007 (ISBN 955-20-9519-0)