නව යටත්විජිතවාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නව යටත්විජිතවාදය (Neocolonialism) යන්න අද්‍යතන ගෝලීය සමාජය තුළ අපට අත්විඳීමට සිදුවී ඇති නව ප්‍රවණතාවක් වශයෙන් පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම 20 වන සියවසේ මැද භාගය වනවිට යටත්විජිත බිඳවැටීමට ලක්වීම තුළ එසේ අහිමිවන යටත්විජිත රාජ්‍යයන් තවදුරටත් තම අණසක යටතේ පවත්වා ගැනීමට සහ සම්භාව්‍ය යටත්විජිතවාදය තුළ යටත්විජිත බවට පත්වී සිටි ඇතැම් රාජ්‍යයන් පසුව තාක්ෂණික අතින් බලවත් වී එම තාක්ෂණික ක්‍රමවේද මඟින් වෙනත් රාජ්‍යයන් ඔවුන්ගේ බලයට යටත් කර පාලනය කිරීම පිණිස නව යටත්විජිතවාදය භාවිතයට ගනිමින් සිටියි. මේ වර්තමාන ලෝකයේ පරිධියේ රටවලට ඉමහත් බලපෑමක් ඇතිකරනු ලබන එම නවයටත්විජිතවාදය පිළිබඳ ප්‍රායෝගිකව සහ සංකල්පීයව විශ්ලේෂණය කිරීම පිණිස තබන සටහනකි.

හැඳින්වීම[සංස්කරණය]

නව යටත්විජිතවාදය නැතහොත් යටත්විජිත රහිත අධිරාජ්‍යවාදය සංකල්පීයව කුමක්දැයි යන්න හඳුනා ගැනීමට ප්‍රථම යටත්විජිතවාදය හෙවත් යටත්විජිත සහිත අධිරාජ්‍යවාදය යනු කුමක්දැයි හඳුනා ගත යුතුය. එනම් යම් කිසි රාජ්‍යයක් තවත් රාජ්‍යයක් තම අණසකට නතු කර ගැනීම නැතහොත් තම ආධිපත්‍යයට අවනත කර ගැනීම යටත්විජිතවාදය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. එහෙත් මෙම නතුකර ගැනීම නව යටත්විජිතවාදයෙන් වියුක්තව පැහැදිලිව සංකල්පගත කිරීම සඳහා යටත්විජිතවාදය මඟින් යම්කිසි රාජ්‍යයක් සමන්විත වන භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය නැමැති සාධක හතරෙහිම අයිතිය අධිරාජ්‍යවාදීන් සතු කරගනු ලැබීම සහ නව යටත්විජිතවාදය තුළ එවැනි සෘජු තත්වයක් සෘජුව විද්‍යාමාන නොවුණ ද වක්‍රාකාරයෙන් විවිධ උපක්‍රම ඔස්සේ එම සාධක හැසිරවීම සඳහා උත්සාහ කිරීමත් දැක ගත හැකිවේ. මෙහි දී යටත්විජිතවාදය පිළිබඳ සියවස් හතරකට අධික කාලයක ප්‍රායෝගික අත්දැකීම් රාශියක් යටත්විජිතයක් වශයෙන් පැවති අප රටට උරුමව තිබේ. ඒ 1505 වර්ෂයේ සිට 1948 වර්ෂය දක්වා පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් අප රටේ විවිධ ප්‍රදේශ ඔවුන්ගේ යටත්විජිත ලෙස පවත්වාගෙන යනු ලැබූ නිසාය. එහෙත් 1948 වර්ෂයේ දී අප ඉංග්‍රීසි ජාතිකයින්ගෙන් දේශපාලනික වශයෙන් නිදහස ලබා 1972 වර්ෂයේ දී පූර්ණ නිදහස අත්පත් කර ගනියි.

ඒ අනුව සම්භාව්‍ය යටත්විජිතවාදය තුළ දැකිය හැකිවූ ආක්‍රමණශීලිත්වය, අවිආයුධ දරමින් සටන් වැදීම ආදී ලක්ෂණ නව යටත්විජිතවාදය තුළ දී දැකිය නොහැකි වේ. එහෙත් එකී ලක්ෂණයන්ම වෙනත් ස්වරූපයකින් ක්‍රියාත්මක වන බව දැකිය හැකිවේ. බොහෝ විට පැරණි යටත්විජිතවාදය තුළ දී එහි උපක්‍රම පැහැදිලිව හඳුනා ගත හැකි සාදෘශ්‍ය තත්වයක පැවතුන ද නව යටත්විජිතවාදය තුළ එහි උපක්‍රම හඳුනා ගත නොහැකි අදෘශ්‍යමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් නව යටත්විජිතවාදයේ ඇති භයානක ස්වරූපය ඉස්මතු වේ. කෙසේ වුවත් අප රට වැනි පරිධියේ රාජ්‍යයන් පීඩාවට පත්කළ පැරණි යටත්විජිතවාදය දැන් නව යටත්විජිතවාදය හෙවත් යටත්විජිත රහිත අධිරාජ්‍යවාදය නමින් යටත්විජිතවාදයේ නව න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිය.

විශේෂයෙන්ම යටත්විජිත පවත්වාගෙන යනු ලැබූ රාජ්‍යයන් එකී යටත්විජිත රාජ්‍යයන්ට දේශපාලන නිදහස ලබා දුන්න ද ඔවුන්ගේ ආර්ථික සහ සංස්කෘතික ප්‍රතිපත්තීන් එම යටත්විජිත රාජ්‍යයන් තුළ තවදුරටත් බලාත්මකව පවත්වාගෙන යනු පිණිස අනුගමනය කරන්නා වූ ක්‍රියාවලියක් වශයෙන් ද මෙම නව යටත්විජිතවාදය ලෙස හැඳින්විය හැකිය. එනම් මෙම තත්වය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව බලවත් රාජ්‍යයන් තම යටත්විජිත රාජ්‍යයන් අත්හැරීමෙන් පසු එම රාජ්‍යයන් කෙරෙහි අනුගමනය කරනු ලැබූ ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැකිවේ. එහි දී සංවර්ධනය වෙමින් පවතින රටවල අභ්‍යන්තර කටයුතු කෙරෙහි මැදිහත්වීම සහ එම කාර්යයන් කෙරෙහි සිදුකරනු ලැබූ බලපෑම් පිළිබඳ අවධානය යොමු කළ හැකිය.

නව යටත්විජිතවාදයේ ස්වරූප[සංස්කරණය]

ඒ අනුව මෙම නව යටත්විජිතවාදී ක්‍රියාවලිය පහත ආකාරයට ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් යටතේ අවධානයට යොමු කළ හැකිය

  1. ආර්ථික නව යටත්විජිතවාදය
  2. සමාජයීය හා සංස්කෘතික නව යටත්විජිතවාදය
  3. තාක්ෂණික නව යටත්විජිතවාදය

මෙහි දී එම එක් එක් සාධක පිළිබඳ පුළුල් විශ්ලේෂණයකට එළඹීම තුළ නව යටත්විජිතවාදයේ සංකීර්ණ ස්වභාවය අවබෝධ කරගත හැකිවේ.

ආර්ථික නව යටත්විජිතවාදය[සංස්කරණය]

ආර්ථික නව යටත්විජිතවාදය ලෙස හඳුනාගත හැකිවන්නේ ආර්ථිකමය වශයෙන් අප රට වැනි පරිධියේ රාජ්‍යයන් නව යටත්විජිතකරණයට ලක්කිරීමයි. ඒ සඳහා විවිධ උපක්‍රම ගණනාවක් අනුගමනය කරනු ලබන අතර මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ ආර්ථික අතින් පසුගාමී තත්වයක පසුවන රාජ්‍යයන්ට සහන සැලසීමේ අරමුණ මත පදනම් වෙමින් ධනවත් රටවල් සිය ආර්ථික නව යටත්විජිතවාදය මෙම රටවල් කෙරෙහි ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරීමයි. ඒ සඳහා ලොව ධනවත් රටවල් මෙන්ම ඔවුන්ගේ ආධාර මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ප්‍රමුඛ වී කටයුතු කරනු ලබයි.

ඒ ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා බලවත් රාජ්‍යයන් විසින් සිදු කරනු ලබන ආයෝජන පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් ධනවාදී රාජ්‍යයන්වල විශාල ප්‍රාග්ධනයක් හිමි බහුජාතික සමාගම් අප වැනි තුන්වැනි ලෝකයේ රටවල සිදුකරනු ලබන ආයෝජන තුළින් ආර්ථිකමය වශයෙන් නව යටත්විජිතවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරනු පෙනේ. ඒ අනුව මෙරට තුළ ද 1948 වර්ෂයේ නිදහස ලබා ගැනීමෙන් පසු විවිධ ආයෝජන ගණනාවක් සිදු කර ඇති බව පෙනේ. නිදසුන් ලෙස බ්‍රිතාන්‍ය ආධාර සහිතව වික්ටෝරියා ජලාශය ඉදිකිරීම, ජපන් ආධාර ඇතිව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිකිරිම, චීන ආධාර සහිතව බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීම මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී චීන ආධාර සහිතව අධිවේගී මාර්ග ඉදිකිරිම, ලක් විජය බලාගාරය (නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය) ඉදි කිරීම, නෙළුම් කුළුණ ඉදිකිරීම හා කොළඹ වරාය නගරය ඉදිකිරීම ආදිය පෙන්වා දිය හැකිය. මෙහි දී මෙම සෑම ව්‍යාපෘතියක් තුළ දී ම ආධාර සපයනු ලබන රට විසින් නියම කරනු ලබන කොන්දේසි සමූහයකට එකඟව කටයුතු කිරීමට සිදු වේ. ඒ අනුව ජපානයෙන් මෙරටට රූපවාහිනී සංස්ථාව ප්‍රදානය කිරීමේ දී වසර 10 ක් ගතවන තුරු ජපානයෙන් පමණක් රූපවාහිනී යන්ත්‍ර මිල දී ගත යුතු බවට නියම කිරීමත් පසුගිය රජය සමයේ දී චීනයේ ආධාර සහිතව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුළ ද චීනයේ ශ්‍රමිකයින්ට එම ව්‍යාපෘතිවල රැකියා ලබා දියයුතු බවට සිදු කළ නියමයන් මෙන්ම අධිවේගී මාර්ග යනාදියෙන් ලැබෙන ආදායමෙන් යම්කිසි ප්‍රමාණයක් වසර ගණනාවක් යන තුරු එම රටට ලබා දිය යුතු වීම ආදී වූ කොන්දේසි ගණනාවක් පැනවීම සිදුවී තිබේ. කෙසේ වුවත් එම සියලු කොන්දේසිවලට යටත්ව ණය ලබාගෙන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම සිදු වේ.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා පොදු රාජ්‍ය මණ්ඩලය වැනි රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ලෝක මට්ටමේ මුල්‍ය ආයතන විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ආධාර ප්‍රදානය කිරීමේ දී ද කොන්දේසි ගණනාවකට යටත්ව කටයුතු කිරීමට සිදුවේ. එහි දී එම මුල්‍ය ආයතනවල උපදෙස් අනුව බදු මුදල් ඉහළ දැමීම ආදී වූ මහජනයාට අහිතකර කොන්දේසිවලට පවා එකඟව කටයුතු කිරීමට සිදුවේ. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සාකච්ඡා කිරීමේ දී දෙවන ලෝක යුද්ධයෙන් පසු පිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මන්ද යත් වර්තමානයේ දී ලෝකයේ රාජ්‍යයන් 193 ක් සාමාජිකත්වය දරනු ලබන ලොව විශාලතම සංවිධානය බවට මෙම එ.ජා.සංවිධානය පත්ව ඇති නිසාය. මෙම සංවිධානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මතුපිටින් අවධානය යොමුකිරීමේ දී එය නව යටත්විජිතවාදය ලොව පුරා පතුරවන වාහකයක් ලෙස නොපෙනුණ ද එම සංවිධානයට ආධාර ලබා දෙන ප්‍රමුඛ පෙළේ රාජ්‍යයන්වල ක්‍රියාකාරිත්වය ආදී වූ සාධක ගණනාවක් විශ්ලේෂණය කිරීමේ දී ඔවුන්ගේ මෙම ආර්ථිකමය නව යටත්විජිතවාදී ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධකර ගත හැකිවේ. ඒ අනුව එ.ජා. සංවිධානයට විශාලතම ආධාර සපයනු ලබන්නේ ඇමරිකානු එක්සත් ජනපදය විසිනි. එය ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී 22% කි. දෙවනුවට සහ තෙවනුවට විශාලතම ආධාර ප්‍රමාණය ජපානයෙන් සහ ජර්මනියෙන් සැපයේ. ඒ පිළිවෙලින් 12% සහ 8% ආදී ප්‍රමාණවලිනි. එක්සත් රාජධානිය එ.ජා. සංවිධානයට ආධාර සැපයීම අතින් පසුවන්නේ සිවුවන ස්ථානයේය. ඒ 6% ක ප්‍රතිශතයකිනි. මෙම සංවිධානයට ආධාර සපයනු ලබන රටවල් අතර චීනය පසුවන්නේ ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව ආදී රටවලට පසුපසිනි. ඒ අනුව චීනය සපයනු ලබන ආධාර ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සලකන කළ 3% ක ප්‍රමාණයකි.

තව ද ඇමරිකානු ආධාර මත යැපෙන නිසා ඇමරිකානු නව ලිබරල් ෆැසිස්ට්වාදී න්‍යායපාත්‍රානුකූලව එ.ජා. සංවිධානය කටයුතු කරමින් සිටින බව ද රහසක් නොවේ. එනම් අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින පරිධියේ රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර සැපයීමේ දී එ.ජා. සංවිධානය සහ එයට අනුබද්ධිත සංවිධාන ඇමරිකාවේ උපදෙස් අනුව කටයුතු කිරීමට පෙළඹීම ද දැකිය හැකිවේ. ඒ අනුව ඇමරිකාවට සෘජුව අනෙකුත් රාජ්‍යයන්වල අභ්‍යන්තර කටයුතු කෙරෙහි මැදිහත් වීමට නොහැකි වුව ද එ.ජා. සංවිධානයේ කටයුතු වක්‍රාකාරව පාලනය කරමින් ඒ සඳහා මැදිහත් වීමට අවස්ථාව සලසා ගෙන ඇති බව පෙනේ. විශේෂයෙන්ම එ.ජා. සංවිධානයේ මැදිහත්වීමෙන් ඇතැම් රාජ්‍යයන් සඳහා සම්බාධක පැනවීම මඟින් එම රටවල ආර්ථිකය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම ඔස්සේ ඇමරිකාව මෙම ලෝක සංවිධානය මඟින් නව යටත්විජිතවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කරයි.

එ.ජා. සංවිධානයට පසුව දෙවනුවට ලෝකයේ විශාලතම සංවිධානය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයයි. මෙම සංවිධානය පිහිටුවා ගනු ලබන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි. එනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වුව ද එම රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංවිධානයේ මැදිහත් වීමෙන් සිදුවේ. කෙසේ වුවත් 1965 වන තෙක්ම මහා බ්‍රිතාන්‍යය මෙම සංවිධානයේ මූලිකත්වය ගනිමින් අනෙකුත් රටවල් අතර සම්බන්ධීකරණය ඇතිකිරීම සඳහා කටයුතු කළ ද 1965 වර්ෂයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය පිහිටවූ නිසා පොදු රාජ්‍ය මණ්ඩලයේ සෑම රටක්ම සම තත්වයට පත්විය. කෙසේ වුවත් එ.ජා. සංවිධානයට පසුව ලොව දෙවනුවට විශාලතම සංවිධානය වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලය ද ආර්ථික නව යටත්විජිතවාදය පරිධියේ රටවල් කෙරෙහි ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පැවසිය හැකිය.

විශේෂයෙන්ම ආර්ථික නව යටත්විජිතවාදයේ එක්තරා ස්වරූපයක් ලෙස ලෝක සංවිධාන සහ ධනවත් රාජ්‍යයන් විසින් යම් යම් හේතු මත පදනම්ව ඇතැම් රටවල් සඳහා ආර්ථික සම්බාධක පැනවීම සඳහා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ කියුබාවට එරෙහිව ඇමරිකාව විසින් සම්බාධක පැනවීමයි. එසේම භාණ්ඩ අපනයනය කිරීමේ දී විවිධ සහන ලබා දීම සහ විවිධ හේතු මත පදනම්ව එම සහන ලබා නොදීමට ක්‍රියා කිරීමත් ආර්ථික නව යටත්විජිතවාදයේ ස්වරූපයක් ලෙස ද සැලකිය හැකිවේ. වර්තමානයේ දී මෙරටට භාණ්ඩ අපනයනය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් ලබාදී තිබූ ජී එස් පී ප්ලස් සහනය අහිමිවීම සහ එය නැවත ලබා ගැනීම සඳහා උත්සාහ කිරීම ඒ සඳහා නිදසුනක් වශයෙන් ගෙනහැර දැක්විය හැකි අතර එම සහනය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මඟින් මෙරට දේශපාලනික සහ සමාජයීය සාධක කෙරෙහි සිදුවන බලපෑම්ද මෙකී ආර්ථික නව යටත්විජිතවාදයේ ප්‍රතිඵල වශයෙන් හඳුන්වාදීම ද වඩාත් සාධාරණය.

සමාජයීය හා සංස්කෘතික නව යටත්විජිතවාදය[සංස්කරණය]

නව යටත්විජිතවාදයේ ස්වරූපයක් වශයෙන් සමාජයීය හා සංස්කෘතික වශයෙන් නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වීම ද පරිධියේ රාජ්‍යයන් තුළ දැකිය හැකි ප්‍රධාන අර්බුදයක් බවට පත්ව තිබේ. එනම් බලවත් හා ධනවත් රාජ්‍යයන් තම වාණිජ අරමුණු සාධනය කර ගැනීම උදෙසා පරිධියේ රාජ්‍යයන් තුළ ව්‍යාප්ත කරනු ලබන සමාජයීය සහ සංස්කෘතික සාධක මඟින් ද නව යටත්විජිතකරණයකට මඟ පෑදී තිබේ.

ඒ ඔස්සේ මූලික වශයෙන්ම පරිධියේ රාජ්‍යයන්හි ආහාර සංස්කෘතික කෙරෙහි ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් සිදුකර ඇති බලපෑම පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් කොකා කෝලා සහ පෙප්සි වැනි කෝලා පාන වර්ග සඳහා පරිධියේ රාජ්‍යයන්වල ජනතාව හුරු කිරීම මේ යටතේ සිදුවී තිබේ. එමඟින් කෘත්‍රිම පාන සංස්කෘතිය සහ මැක්ඩොනල්ඩ්කරණය නම් ක්ෂණික ආහාර සංස්කෘතිය ද සංස්කෘතික නව යටත්විජිතවාදයේ ස්වරූපයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මෙම ආහාර සංස්කෘතිය මඟින් බටහිර රටවල බහුජාතික සමාගම්වලට පරිධියේ රාජ්‍යයන්වල ධනය ගලා යාම පමණක් නොව පිළිකා ආදී වූ බෝ නොවන රෝගවලට පරිධියේ රටවල පුරවැසියන් ගොදුරු වීම ද දැවැන්ත සමාජ අර්බුදයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. මෙම තත්වය තුළ සංස්කෘතික නව යටත්විජිතවාදයේ ස්වරූපයක් ලෙස ව්‍යාප්ත කරන ලද ආහාර සංස්කෘතිය ඉදිරි වසර ගණනාවක කාලය තුළ පරිධියේ රටවලට මුහුණ දීමට සිදු වන ප්‍රමුඛතම සෞඛ්‍ය ගැටලුවලට හේතුවක් බවට පත් වී ඇති බව ද පැවසිය හැකිය.

තාක්ෂණික නව යටත්විජිතවාදය[සංස්කරණය]

වර්තමානය වන විට පරිධියේ රටවල් මුහුණ පා සිටින නව යටත්විජිතවාදයේ තවත් එක් සුවිශේෂී පැතිකඩක් ලෙස තාක්ෂණික නව යටත්විජිතවාදය පෙන්වා දිය හැකිය. එනම් බටහිර රටවල නව තාක්ෂණික මෙවලම් පරිධියේ රාජ්‍යයන් තුළ භාවිතයට හුරු කිරීම තුළ මෙම තත්වය නිරිමාණය වී ඇති බව පැවසිය හැකිය. ඒ අනුව මුල් යුගයේ දී ගුවන්විදුලිය මඟින් ඇරඹි මෙම තත්වය ඉන් අනතුරුව රූපවාහිනිය, චන්ද්‍රිකා තාක්ෂණය, ජංගම දුරකතනය, පරිගණකය සහ අන්තර්ජාලය මඟින් වර්තමානය වන විට සමස්ත ලෝකය එකම තාක්ෂණික ක්‍රියාවලියක් මඟින් පාලනය කිරීමට සමත්ව සිටියි. එමඟින් එම තාක්ෂණික ක්‍රමවේද සඳහා පහසුකම් සපයනු ලබන ලොව ධනවත් රාජ්‍යයන් සහ ලොව දැවැන්ත සමාගම් නව යටත්විජිතවාදයේ නූතන පාලකයින් ලෙස කටයුතු කරමින් සිටියි.

ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, දකුණු කොරියාව, ජපානය හා චීනය වැනි ලොව ධනවත් රාජ්‍යයන් ද එම රටවල ක්‍රියාත්මක වන මයික්‍රෝසොෆ්ට්, ගූගල්, ෆේස්බුක්, සෝනි, සැම්සුන්, එල්ජී වැනි දැවැන්ත සමාගම් ඔවුන්ගේ නව තාක්ෂණික ක්‍රමවෙද සහ නව තාක්ෂණික මෙවලම් මඟින් ලෝකය පාලනය කරමින් සිටියි. එනම් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෝකයේ 90% කට වඩා වැඩි පරිගණක ප්‍රමාණයක භාවිත කරන්නට හුරු වී තිබීම තුළ පරිගණක ක්ෂේත්‍රය තුළ ඇමරිකානු තාක්ෂණික නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය අවබෝධ කර ගත හැකිවේ. එසේම අන්තර්ජාලය හා සම්බන්ධ නිෂ්පාදන හා සේවා සැපයීමේ දී ගූගල් සමාගම ලොව ප්‍රමුඛතම සමාගම ලෙස කටයුතු කරමින් සිටීම සහ ලොව ප්‍රමුඛතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙමින් තිබීම ද පෙන්වා දිය හැකිය. එනිසා ලොව අනෙකුත් රාජ්‍යයන් අන්තර්ජාලය තුළ කටයුතු කිරීමේ දී මෙම දැවැන්ත බහුජාතික සමාගම්වල සේවාවන් ලබා ගැනීමට සිදුවී තිබීම අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබීම මෙම තාක්ෂණික නව යටත්විජිතවාදයෙන් වියුක්තව කටයුතු කිරීමට ඇති නොහැකියාව පෙන්නුම් කරනු ලබයි. තව ද සෝනි, සැම්සුන් සහ එල්ජී වැනි සමාගම්වල නිෂ්පාදන ලොව පුරා බහුල වශයෙන් භාවිත කරන්නට පෙළඹී තිබීම තුළ ද තාක්ෂණික නව යටත්විජිතවාදයක් ගොඩනැඟී ඇති බව ප්‍රකාශ කළ හැකිය. තව ද බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ ඇතුළු විවිධ රථ වාහන අනෙකුත් රාජ්‍යයන් භාවිත කිරීම තුළ ද තාක්ෂණික නව යටත්විජිතවාදයේ ව්‍යාප්තවාදය ක්‍රියාත්මක වෙමින් පවතින බව අධ්‍යයනය කළ හැකිය.

මෙම තත්වවලට අමතරව ඇමරිකාවේ ජීපීඑස් චන්ද්‍රිකා පද්ධතියේ සේවාවන් අනෙකුත් රටවල් විසින් භාවිත කරමින් තිබීමත් කාලගුණ දත්ත ලබා ගැනීම ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා ධනවත් රටවල් විසින් අභ්‍යාවකාශ ගත කරන ලද චන්ද්‍රිකාවල සේවය මුදල් ගෙවා ලබා ගන්නට සිදු වී තිබීමත් තාක්ෂණික නව යටත්විජිතවාදයේ ස්වරූපයකි. එමඟින් තාක්ෂණික වශයෙන් ධනවත් රාජ්‍යයන් විසින් අනෙකුත් රටවලට සිය ආධිපත්‍යය පතුරවමින් කටයුතු කරන බව පැවසිය හැකිවේ.

සමාලෝචනය[සංස්කරණය]

කෙසේ වුවත් මෙම නව යටත්විජිතවාදයෙන් වියුක්තව අප රට වැනි පරිධියේ රටවලට කටයුතු කළ හැකිද යන්න පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පවත්නා වර්තමාන සංකීර්ණ ආර්ථික හා දේශපාලන සන්දර්භය තුළ එය සාක්ෂාත් කර ගත නොහැකි තත්වයක් බව පැවසීම වඩා සාධාරණය. එනම් මෙම තත්වවලින් වියුක්තව කටයුතු කිරීමට නම් ශක්තිමත් දේශීය ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගත යුතුය. එසේ කටයුතු කරමින් මූලිකවම බටහිර රාජ්‍යයන්වල මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන නව යටත්විජිතවාදයෙන් වියුක්තව කටයුතු කිරීමට උත්සාහ දරණ රාජ්‍යයක් ලෙස චීනය පෙන්වා දිය හැකි අතර ඔවුන්ගේම පරිගණක මෙහෙයුම් පද්ධතියක්, ගූගල්, ෆේස්බුක් හා විකිපීඩියා ආදී වූ අන්තර්ජාල සේවා ප්‍රතික්ෂේප කරමින් බයිදු හා කිව්කිව් නැමැති අන්තර්ජාල සේවා සහ ඔවුන්ගේම ජීපීඑස් චන්ද්‍රිකා පද්ධතියක් භාවිත කිරීමට මේ වන විට චීනය උත්සාහ දරමින් සිටියි.

ඒ අනුව බලන කල පැවසිය යුතු වන්නේ මෙම නව යටත්විජිතවාදයෙන් වියුක්තව කටයුතු කිරීම ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවක් ලෙස ඉස්මතු වුවත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිසේත් සරල නොවන බවයි. එනම් රටක දේශපාලන ප්‍රතිපත්තීන්වල ප්‍රතිසංස්කරණ ද ඇතුළුව ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩනඟා ගැනීම වඩාත් වැදගත් වන අතර එහි දී ජාත්‍යන්තර වශයෙන් එල්ලවන බලපෑම්වලට මුහුණ දීමේ ශක්තියක් ද පැවතිය යුතුය. කෙසේ වුවත් මෙම නව යටත්විජිතවාදයේ ව්‍යාප්තවාදී ස්වරූපයෙන් වියුක්තව කටයුතු කිරීමට උත්සාහ දරණ ආසියානු කලාපයේ රාජ්‍යයන් ද්විත්වයක් වන චීනය සහ ඉන්දියාව කටයුතු කරන ආකාරය ආදර්ශයක් වශයෙන් සලකා කටයුතු කළ හැකි වේ. එමෙන්ම බටහිර රාජ්‍යයන් වෙතින් උත්කර්ෂයට නැංවුණු නව යටත්විජිතවාදය වර්තමානය වන විට ආසියානු කලාපයේ චීනය වැනි රාජ්‍යයන් මඟින් ප්‍රතිඋත්කර්ෂයට නැංවෙමින් ක්‍රියාත්මක වෙමින් තිබීම මඟින් මෙම නව යටත්විජිතවාදය අද්‍යතනයේ රාජ්‍යයන් පාලනය කිරීමේ මූලික අවියක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද සඳහන් කළ හැකිය. එනිසා පරිධියේ රාජ්‍යයක් වශයෙන් මෙම තත්වයෙන් වියුක්තව කටයුතු කිරීම අතිශය අපහසු සහ සංකීර්ණ කටයුත්තක් වන නමුත් ඒ සඳහා යම් තරමක උත්සාහයක් හෝ දැරීම වැදගත් වන බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නව_යටත්විජිතවාදය&oldid=387215" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි