නව යටත්විජිතවාදය අමෙරිකාව සහ ඉරානය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

චාමර සිරිවර්ධන විසිනි

අයි එස් විරෝධී සටනට පණ පෙවූ පර්සියානු මූලධර්මවාදියා

වසර දහස් ගනනක ප්‍රෞඬ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන පර්සියාව නොහොත් වත්මන් ඉරානය ඉස්ලාම්කරණය වීම ඇරඹුනේ හයවන සියවසින් පසුවයි. ආරම්භක අවධියේ ඔටෝමන් අධිරාජ්යයට බලපෑමට ලක්වූ සුන්නි මුස්ලිම් වරු බහුල වූ මෙම ප්‍රදේශය පසු කලෙක ෂියා නිකාය සරණ ගියේ පළමුවන ඉස්මායිල් ෂා තුමා විසින් ඇරඹුන බලාත්කාරී වැඩපිළිවලක් හරහා බවට මතයක් ඇත. ඉස්ලාමයේ ප්‍රධාන ශාඛා දෙක වන සුන්නි හා ෂියා නිකායන් අතර වෙනසට පදනම්ව ඇත්තේ මහමත් තුමාගේ අනුප්‍රාප්තිකයා අරබයා ඔවුනතර ඇති දෘෂ්ඨිමය විරසකයයි. මහමත් තුමා තම අනුප්‍රාප්තික ‘ඉමාම් වරයා’ (අධ්‍යාත්මික මාර්ගෝපදේශකයා) ලෙස බෑනා වූ අලි ඉබ්න් අබි තාලිබ් පත්කල බව ෂියා මුස්ලිම් වරුන්ගේ විෂ්වාසය වන අතර මහමත් තුමා අනුප්‍රාප්තිකයකු නම් නොකොට මිය යාමෙන් පසු එතුමාගේ මාමණ්ඩිය වූ අබු බකර් පළමු කාලිෆ් වරයා (ඉස්ලාමිය පාලකයා) ලෙස තෝරාපත් කොටගත් බව සුන්නි වරුන්ගේ තර්ක කරති. සුන්නි ආගමික පුරාණය මත පදනම්ව නූතන කාලිෆ් දේශයක් ගොඩ නැඟීමට තැත් කරන අයි. එස්. සංවිධානය සමස්ත මුස්ලිම් ජනයාගේ නියෝජනයක් ලෙස සමාජය තුල මතයක් ඇතත් සිය පටු දේශපාලන අභිමථාර්ථයන් මත ඇමෙරිකාව ඊශ්‍රායලය හා ඇතැම් ගල්ෆ් රටවල් විසින් අන්තවාදය පෝෂණය කරන අතර වාරයේ අයි එස් සංවිධානයට එරෙහි විශාලතම කාර්යභාරය ඉටු කෙරුනේද මෙම ෂියා මුස්ලිම් නිකාය හා එහි අනු-බෙදුම් තුලින්ම බව කිසි සේත් බැහැර කොට නොහැක. වහාබ් අන්තවාදයට එරෙහිව ෂියා මුස්ලිම් වරු ඇරඹූ අරගලයේ නියමුවා වූයේ අන් කිසිවෙකු නොව පසුගියදා බැග්ඩෑඩ් නුවරදී ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් ඝාතන කෙරුන ඉරාන ජාතික ක්වාසිම් සොලෙයිමානි ජනරාල් වරයාය. 1957 වසරේ ගිණිකොන දිග ඉරානයේ කර්මන් පලාතේ දුගී පවුලක උපත ලද සොලෙයිමානි වයස දහ අටේදී ජලසම්පාදන සමාගම සුළු කොන්ත්‍රාත් කරුවැකු ලෙස වෘත්තියට එළැඹියේ නය බරින් මිරිකී සිටි තම පියාට සවියක් වනු අටියෙනි. ඔහුගේ ජීවිතය වෙනස් කලේ 1979 ඉරාන විප්ලවයයි. ඊට ක්‍රියාකාරී ලෙස දායක වූ ඔහු ඊලඟ වසරේ සදාම් හුසේන් ඇමෙරිකානු සහාය ඇතිව ඉරානය ආක්‍රමනය කිරීමත් සමඟ හටගත් ඉරාන-ඉරාක යුද්ධයේදී විප්ලවීය ආරක්ෂක බල ඇණියේ (IRGC) 41 වන ඩිවිෂණයේ අණදෙනා ලෙස ඉමහත් භක්තියෙන් යුතුව නව පාලනයට සේවය කලේය. මෙකල ඉරානයේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ සෝවියට් සංගමයයි. 1991 න් පසු ලෝකය මුහුන පෑ අමෙරිකානු ඒකාධිකාරය හමුවේ ඉරානය ඉතා උපායශීලී කටයුතු කලාය. 1998 දී විප්ලවීය ආරක්ෂක බල ඇණියේ බුද්ධි හා විදෙස් මෙහෙයුම් අංශය වූ කුඩ්ස් බලකායේ ප්‍රධානියා ලෙස පත් කරන ලද සොලෙයිමානි ලෙබනනයේ හෙස්බුල්ලා සහ හමස් සංවිධාන ඊශ්‍රායලයට එරෙහිව දැඩි ලෙස සන්නද්ධ කිරීමට කටයුතු කලේය. මෙම කුඩ්ස් (Al-Quds) බලකායට පැවරී ඇති දෘෂ්ඨිමය මෙහෙවර වන්නේ සම්ප්‍රදායික ඉස්ලාම් භූමි ප්‍රදේශ නිදහස් කොට ගැනීමයි. සර්පයන්ට කිරි පෙවීමේ ආදිනව වොෂින්ටනයට පසක් කරවමින් 2001 සැප්තැම්බර් 11 දා තලෙයිබාන් අන්තවාදීන් ලෝක වෙළඳ සංකීර්ණයට පහරදීමත් නිසා ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය කළමණාකරණය කිරීමේ මෙහෙයුමක් ඇරඹීමට ඇමෙරිකාවට සිදුවූ අතර ඒ සදහා ඉරානයේ ආධාර උපකාර ඉතා අවශ්‍ය විය. මේ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ රයන් ක්‍රොකර් ජිනීවාහිදී ඉරාන නියෝජිතයන් සමඟ රහස් සහයෝගිතා එකඟත්වයකට එලැඹුනේය. ඉරාන පාර්ෂ්වයෙන් දූත මෙහෙවර මෙහෙයවන ලද්දේ සොලෙයිමානි විසිනි. එහෙත් 2002 දීඒ කෙටි මධු සමය කෙළවර වීමට හේතු වූයේ ඉරානය ‘අශුද්ධ අක්ෂයේ’ කොටසක් ලෙස ජෝර්ජ් බුෂ් විසින් නම් කරනු ලැබීමයි. අමෙරිකානු ආක්‍රමනය හමුවේ ඉරාකය ඇද වැටීමෙන් පසු අල් කයිඩාවට එරෙහි තනිව යුද වැදුන සොලෙයිමානි ඉරාක මිලිෂියා කණ්ඩායම් ගණනාවක් පුහුණූ කොට සන්නද්ධ කිරීමට කටයුතු කලේය. මෙය SOFA පන්නයේ ගිවිසුමක් මත ඉරාකයේ දීර්ඝ කාලීන ලෙස පදිංචිව සිටීමට ලක ලැහැස්ති වූ ඇමෙරිකානුවන්ට නොරිසි වීම අරුමයක් නොවේ. අරාබි වසන්තයේ වැලි කුණාටුව ඊජිප්තුව හා ලිබියාව සුණු විසුනු කරමින් සිරියාව ට ඇතුළු වෙද්දී සිරියානු ත්‍රස්ත කල්ලි වලට ඩොලර් මිලියන 500ක අවි ආයුධ ලබාදීමට සී අයි ඒ සංවිධානය කටයුතු කලේ ජිහාඩ් වාදීන් යොදවා අසාද් පාලනය පෙරලා දැමීමේ අටියෙනි. මෙම වෑයම වලකා ලීමේ දැඩි අදිටනින් පසුවූ ටෙහෙරානය සොලෙයිමානිගේ අණදීම යටතේ IRGC බල ඇණියක් අසාද්ගේ සහායට නොඑවීනම් ඉතිහාසය වෙනස් වීමට බොහෝ ඉඩ තිබිණ. බටහිර අවි ආයුධ හා ගල්ෆ් රටවල මුල්‍ය ආධාර නොඅඩුව ලද සිරියානු කැරළි කරුවන්ගේ ප්‍රහාර හමුවේ සිරියානු හමුදා පසුබසිමින් සිටියහ. නව තත්වය හමුවේ තමා විසින් ඊශ්‍රායලයට එරෙහිව පුහුනු කල හෙස්බුල්ලා හා හමාස් සාමාජිකයන්ද සටනට කැඳවීමට සොලෙයිමානිට සිදු විය. 2013 දී අල්-නුස්‍රා පෙරමුන බිඳ් දැමීමත් ප්‍රධාන නගර ගණනාවක් යලි අත්පත් කොටගනිමින් පෙරමුණේ යම් සමතුලිතතාවක් ඇති කිරීමට බෂාර් අල් අසාද් ට හැකිවූයේ සිරියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට මේ වනවිට පෞද්ගලිකව නායකත්වය දුන් සොලෙයිමානිගේ ඇපකැප වීම හේතුවෙනි. 2015 වසරේ සිරියාවට කඩා වැදුන අයි එස් සංවිධානය සීග්‍ර ජජයගහණ මාලාවක් අත්පත් කොටගනිමින් ඉදිරියට ගමන් කිරීම නිසා අසීරුවෙන් දිනාගත් මෙම තාවකාලික සමතුලිතතාවය යලි බිඳ වැටිණ. සිරියානු භූමියෙන් සියයට හැත්තෑවක් කැරළි කරුවන්ගේ පාලනයට නතුවෙද්දී සොලෙයිමානිගේ තක්සේරුව වූයේ බලවත් අතිරේක විදේශ සහායක් නොමැතිව දැන් තත්වය සමනය කොට නොහැකි බවයි. අසරණ වූ අසාද්ට වූ එකම බලාපොරොත්තුව වූයේ තම දිර්ඝ කාලීන මිතුරා වූ රුසියාවේ පිහිට පමණි. හදිසි ආධාර ඉල්ලා 2015 ජුලි මාසයේ මොස්කොව් නුවරට යැවුන සිරියානු දූත පිරිසට සොලෙයිමානිද ඇතුලත් කිරීමට අසාද් වග බලාගත්තේ ඔහුගේ දස්කම් හා හැකියාවන් ගැන ඇතිකොටගත් පැහැදීම නිසාය. අයි එස් සංවිධානය විසින් අත්පත් කොටගෙන සිටි ප්‍රදේශ යලි මුදාගෙන පෙරමුන සමතුලිත කිරීම සඳහා සොලෙයිමානි ඉදිරිපත් කල සැලැස්ම රුසියානු සෙනෙවි මණ්ඩලයෙ සිත් ගත්තේය. පශ්චාත් සෝවියට් යුගය තුල දුර්වල වූ ටෙහෙරානය හා මොස්කොව් අතර සබඳතා යලි ගොඩ නැගීමට අඩි තාලම දමන ලද්දේද මෙම සාකච්ඡා අතරතුරයි. අවසානයේ අසාද් ඇමතූ ව්ලදිමීර් පුටින් මෙසේ කීවේළු. “ අපි උදවු කරන්නම්. හැබැයි මෙහෙයුම් සම්බන්ධීකරණය ජනරාල් සොලෙයිමානි ට භාර දෙන්න.” අනතුරුව රුසියන් ගුවන් සහාය ඇතිව දියත් කෙරුන ඇලෙප්පෝ හා පැල්මීරා නගර මුදා ගැනීමේ තීරණාත්මක සටන් වලදී පෙරමුන ගත් සිරියානු හමුදාවේ 4 වැනි යාන්ත්‍රික බල ඇණියට මෙන්ම අසාද් වෙනුවෙන් සටන් වැදුන ලෙබනනයේ Hezbollah, ඉරාකයේ Harakat Al-Nujaba, සහ (Iraqi), Liwaa Abu Fadl Al-Abbas සහ ඇෆ්ගන් හා ඉරාන ස්වේච්චා සටන් කරුවන්ගෙන් සමන්විත Firqa Fatayyemoun යන කණ්ඩායම් වලය අණදෙන ලද්දේ සොලෙයිමානි විසිනි. සිරියානු හමුදා නායකයෝ ඔහුගේ උපදෙස් මත කටයුතු කලහ. කෙටිකලක් තුල අයි එස් සංවිධානයට මෙන්ම ඇමෙරිකානු ආධාර ලත් කැරලි කාර කණ්ඩායම්ද සමූල ඝාතනය කරමින් අසාද් සිරියානු සිවිල් යුද්ධයේ ජය හිමි කර ගනිද්දී සටනේ මහ මොල කරු වූ සොලෙයිමානි ඇමෙරිකාවේ මෙන්ම ඊශ්‍රායලයේ ද දැඩි වෛරයට ලක්වීම අරුමයක් ද නොවේ. පෙන්ටගනය විසින් ඔහු වර්ගීකරණය කරනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ සිය උවමනා එපාකම් වලට ඇති බලවත්ම තර්ජනය ලෙසය. ඉරාක අගමැති පවසන අන්දමට පසුගිය 03 දා සොලෙයිමානි බැග්ඩෑඩයට පැමිණියේ සෞදි අරාබිය හා ඉරානය අතර ආතතිය ලිහිල් කිරීම සඳහා වූ තම යෝජනාවකට පිළිතුරු ලිපියක් ද සමඟය. ඉන් හැඟවේන්නේ ඒ මොහොතේ සොලෙයිමානි රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවරක යෙදී සිටි බවයි. එහෙත් ගුවන් තොර්ට්පල අසලදී හදිසියේ එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් ඔහු ගමන් කල රථ පෙල පුපුරා සුණු විසුණු විය. මුළුමනින්ම පිළිස්සී තිබූ සොලෙයිමානිගේ සිරුර හධුනා ගන්නා ලද්දේ අතේ පැළඳි මුදුවක් ආධාරයෙන් බව කියැවේ. නොසිතූ මොහොතක එල්ල වූ මෙම ප්‍රහාරය හුදෙක්ම ට්‍රම්ප්ගේ හිතුවක්කාරී පෞද්ගලික තීරනයක් බව විලේෂකයෝ පෙන්වා දෙති. අනතුරු උද්ගත වූ හා උද්ගත විය හැකි තත්වයන් පිළිබඳ වෙනම සාකච්ඡා වී ඇති බැවින් එ ගැන මෙහි වැඩිදුර සදහන් කිරිමෙහිලා අනවශ්‍යය. ඉරානයේ ජාතික වීරයකු ලෙස බුහුමන් ලද ක්වාසිම් සොලෙයිමානිගේ සිරුර පූර්ණ රාජ්ය ගෞරව හා සෝසුසුම් මැද මිහිදන් කරන ලද්දේ ඔහු උපත ලද කර්මන් පලාතේදීය. මරනය අපේක්ෂාවෙන් සිටි ඔහු තම අන්තිම කැමැත්ත සකසා තිබූ බවත් තම සොහොන මත 'සොලෙයිමානි සොල්දාදුවා සැතපී සිටී' යනුවෙන් පමණක් සඳහන් කරන ලෙස එහි ඉල්ලා තිබූ බවත් කියති. අවමඟුලට සහභාගී වූ පිරිස දස දහස් ගණනකි. තිස් පස් දෙනෙක් මහා ජනකායට තෙරපී මිය ගිය අතර අධ්‍යාත්මික නායක කොමෙයිනි අවමඟුල් යාඥාව මෙහෙයවන අතර කඳුළු සලනු විදෙස් මාධ්‍ය විසින් ජායාරූප ගතකොට තිබිණ. විෂේශත්වය වූයේ මහා ජනකාය ඇමතූ මරා දැමුන ජනරාල් වරයාගේ 28 වියැති දියනිය එහිදී ඇමෙරිකාවට එරෙහිව විවෘත තර්ජනයක් එල්ල කිරීමය. විප්ලවීය ආරක්ෂක බල ඇණියේ උසස් හමුදා නිලධාරීහූ ලෙයට ලෙය පලි ගන්නා බවට ශපථ කලහ. ක්වාසිම් සොලෙයිමාන් ඇමෙරිකාව කියන අන්දමේ ත්‍රස්තවාදියෙකුද නො එසේනම් ඉරානයේ, ඉරාකයේ සිරියාවේ,ලෙබනනයේ බොහෝ දෙනා අදහන පරිදි ප්‍රාණත්‍යාගියෙකුද යන්න කාලය විසින් තිරණය කෙරෙනු ඇත. දේශපාලනය තුල සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතුවාක් මෙන් ඉතිහාසය තුල ද සදාකාලික වීරන් හෝ දුෂ්ඨයන් නොමැත.

Chamara Siriwardana

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (1) - ACSA ගිවිසුම

හතරවන ඊලාම් යුද්ධයේ ආරම්භක අදියරයේදී ලංකාණ්ඩුව මුහුණ පෑ විශාලතම අභියෝගය වූයේ සටන් විරාම සමය තුල සැපයුම් අතින් බෙහෙවින් ශක්තිමත්ව සිටි එල්ටීටීඊයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් ගුවන් හා නාවුක බලයක් නොමැති වීමය. ඊශ්‍රායල විකුණුම් ලයිස්තු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත් වූ බැවින් ඒ වෙනුවට යුක්‍රේනයෙන් මිග් යානා ලබා ගැනීමට හැකියාව තිබුනද මුහුදු මාර්ග ඔස්සේ නිරුප්‍රදිතව උතුරට ලඟාවූ එල්ටීටීයේ අවි සැපයුම් අඩාල කිරීම ඉතා අසීරු විය. රජයේ හමුදාවට මේ වන විට වැඩිම හානියක් සිදුවූයේ මුහුනට මුහුන ලා කෙරුන කෙටිදුර ගැටුම් වලින් නොව ඈත සිට එල්ල වූ බර අවි හා මෝටාර් ප්‍රහාර නිසාය. මේ තත්වය හමුවේ ලංකාණ්ඩුව අවි සඳහා වැඩි වැඩියෙන් චීනය වෙත යොමු වූ අතර එය ඇමෙරිකාණු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දැඩි කණස්සල්ලට හා කෝපයට හේතුවූ බව රහසක් නොවේ. කලාපය තුල වර්ධනය වන චීන බලය ට මුහුන දීම සඳහාඳැ වනවිට නව උපාය මාර්ග සලකා බලමින් සිටි වොෂින්ටනය ‘සේද මාවතේ’ උපාය මාර්ගික වශයෙන් වැදගත් පිහිටීමක් සහිත ලංකාව දුටුවේ තම ඉන්දු-පැසිපික් බල ඇණිය (US Indo-Pacific Command) සඳහා අතිශය යෝග්‍ය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසය. එහෙයින් උතුරේ යුද්ධය අරබයා සාකච්ඡා කොට විසඳුමකට එළැඹෙන ලෙස බල කරන අතරවාරයේ අනිත් අතට සිය නාවුක හා ගුවන් යාත්‍රා සදහා සේවා ලබා ගැනීමේ එකඟතාවකට නොහොත් ACSA ( Acquisition and Cross-Service Agreement) රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාණ්ඩුවට යෝජනා කලේය. සාමාන්‍යයෙන් වරායෙන් සැපයුම් ලබා ගැනීමේදී අනුගමනය කල යුතු විදේශ අමආත්යාංශයේ දීර්ඝ නිළ විකුණුම් පටිපාටිය සරල කොට ගැනීමේ අරමුණ ඇතිව අත්සන් කෙරෙන මෙම ගිවිසුම මඟින් ඇමෙරිකානු සේවා භටයන්ට රට තුලට ගොඩ බැසීමට අවසර නොතිබිණ. 2002 සටන් විරාම ගිවිසුම මත එල්ටීටීය සමඟ සාකච්ඡා කොට බල බෙදිමේ විසඳුමකට එලැඹිය යුතුය යන ස්ථාවර දැරූ ලෝක බලවතා සමඟ ගිවිසුමකට එලැඹීමෙන් ජාත්යන්තර වශයෙන් තමාට ඇතිවන වාසිය ගැන මනා අවබෝධයකින් පසු වුවද, තම රජය නියෝජනය කල සිංහල ජතික වාදී කණ්ඩායම් ඒ හේතුව නිසාම ඇමෙරිකාව කෙරේ දැඩි කෝපයෙන් පසු වූ හෙයින්ද, මෙමඟින් ලංකාවට අත්වන වෙනත් සෘජු මිලිටරි ප්‍රයෝජනයක් නොමැති හෙයින්ද ලංකාණ්ඩුව කෙරෙන් මුලදී මේ යෝජනාව සඳහා පල වූයේ විනීත අලස බවකි. එහෙත් සිය උපාය මාර්ගික කාලසටහනට අනුව කටයුතු කල වොෂින්ටනයට එසේ නාස්ති කිරිම සදහා කාලයක් නැත. සැප්තැම්බර් 11 සිද්ධියේ අමිහිරි අත් දැකීම් මත එල්ටීටීඊය හමුදාමය වශයෙන් පමණට වඩා බලවත් වනු දැකීමට අකමැත්තෙන් ද පසුවූ අමෙරිකානුවෝ, එල්ටීටීඊ අවි ප්‍රවාහන නැවු ගැන බුද්ධි තොරතුරු ලබා දීමට තමා තුල ඇති සූදානම පිලිබඳවද 2006 දෙසැම්බර් 07 දා ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට කොළබ එවකට ඇමරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් මඟින් සංඥාවක් කලහ. ලංකාණ්ඩුව ගිවිසුම කෙරේ මෙ තාක් දැක්වූ හීන උනන්දුව උද්යෝගීමත් අපෙක්ෂාවක් බවට පත් කරලීමට එම සංඥාව හොඳටම ප්‍රමාණවත් විය.

2007 ජනවාරි 10 බ්ලේක් හමුවූ ගෝටාභය රාජපක්ෂ වසර 10 කාලයක් සඳහා යෝජිත ACSA ගිවිසුම අත්සන් කිරිම සඳහා තමා සූදානම් බව දැනුම් දුන්නේය. එහෙත් නුදුරේදී උතුරේ විශාල මෙහෙයුම් සිදුවිය හැකි බවටද වැඩිදුරටත් ඉඟි කල ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරියා බුද්ධි තොරතුරු වලට අමතරව ‘Justice’ කාණ්ඩයට අයත් අඩි 27 Bosten Whaler වෙරළාරක්ෂක බෝට්ටු මිලදී ගැනීමට තමා තුල ඇති උනන්දුවද නොසැඟවීය. ඒ පිළිබඳ වොෂින්ටනයට දැනුම් දෙන බව පොරොන්දු වූ බ්ලේක් පෙන්වා දුන්නේ ගිවිසුම මඟින් ලංකාවේ හමුදාවට අනියම් උපකරණ (Non-Lethal items) හුවමාරු කොට ගැනීමේ අවස්ථාවක් ලැබෙන බවය. “උදාහරණයක් හැටියට ලංකා හමුදාව පකිස්ථානෙ ආපදා සහන සේවා වල යෙදුනොත් ඔවුන්ට හිම කබා සපන්න කිසිම බාධාවක් නැහැ. ලංකාවට පුළුවන් ඊලඟ වතාවෙ අපේ යාත්‍රාවල් කොලඹට ආවම ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන වලින් ගෙවන්න”, හේ වැඩිදුරටත් කීය. මේ කතා බහ පිළිබඳ වොෂින්ටනයට යැවූ යොමු අංක 07COLOMBO81a කේබල් පණිවුඩයේ තානාපති වරයා සදහන් කලේ යෝජිත ගිවිසුම මඟින් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශාල ප්‍රතිලාභ අත්වන මුත් ලංකාණ්ඩුව මෙම ගිවිසුම අයථා ලෙස හමුදාමය උවමනා සදහා ඈඳා ගැනීමට තැත් කිරීමේ මෙන්ම එය සිංහල හා දමිල ජාතික වාදී කොටස් වල විරෝධයට ලක්වීමෙද අවදානමක් ඇති හෙයින් මෙන්ම නුදුරේදී ලංකාවට පැමිනෙන ස්වාධීන ජාත්‍යන්තර නිරීක්ෂකයන් විසින් එය කොළඹ රජයට යුද සහාය පලකිරීමක් ලෙස වැරදි ලෙස අර්ථ කථනය කිරීමට ද ඉඩ ඇති හෙයින් ඉතා අඩු ප්‍රචාරයක් සහිතව එය අත්සන් කිරීමට තමා යෝජනා කරන බවයි. ඊට පිටස්තර ඡායාරූප ශිල්පීන් සහභාගී නොකර ගැනීම හා ප්‍රකාශයක් නිකුත් නොකිරීම මැනවයි කෙබල් පණිවුඩයේ විශේෂයෙන් සඳහන් කොට තිබිණ. සමස්ථයක් වශයෙන් ගත් කල එය එකිනෙකා කෙරේ අවිශ්වාසයෙන් පසුවූ පාර්ශ්ව දෙකක් තම තමාගේ අභිවෘද්ධිය තකා එලැඹුන අසීරු එකඟත්වයක් ලෙස සැලකිය හැක.

මාර්තු 04 දා අභිනව තැපැල් හා විදුලිසංදේශ ඇමති රවුෆ් හකීම් හමුවූ බ්ලේක් තානාපති තැන ශ්‍රීලනිපයේ ප්‍රතිසංස්කරන වාදී කොටස් හා එජාපයෙන් ආණ්ඩුවට පැමිණි කණ්ඩායම හා එක්ව දේශපාලන විසඳුමක් සඳහා ජනධිපති රාජපක්ෂට බල කරනමෙන් ඉල්ලා සිටියේය. සුළු ජාතීන් වෙනුවෙන් පුළුල් බලය බෙදීමක් ස්ඳහා පෙනී සිටි අයෙකි මේ හකීම්. එහෙත් ඇමතිවරයා කියා සිටියේ ජනාධිපති මෙ ගැන හරි හමන් වචනයක් නොදෙන බවය. (non-committal) තනතුරු වලින් තෘප්තිමත්ව සිටින එජාප කණ්ඩායමද ඒ පිළිබද උනන්දුවක් නොදක්වන බව කී ඔහුගේ අනොඉත් චෝදනාව වූයේ කරුණා පාර්ෂ්වය නැගෙනහිර මුස්ලිම් වරුනට හිරිහැර කරන බවත් පොලිසිය නිහධව සිටින බවත්ය. තානාපති වරයා පෙරළා ආපසු පැමිණියේ බිඳුනු අපේක්ෂා ඇතිවයි.

ACSA ගිවිසුම සඳහා දින නියම වූයේ පසුවදාට, එනම් 2007 මාර්තු 05 දාටය. කොළඹ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ගෝටාහය රාජපක්ෂ ද පෙන්ටගනය වෙනුවෙන් තානාපති බ්ලේක් ද ඊට අත්සන් තැබූහ. පිටු 08 කෙටුම්පත ද අතැතිව සම්ප්‍රදායානුකූලව එදින සවස විදේශ ඇමති බෝගොල්ලගම බැහැ දුටු තානාපති වරයාට පෙනී ගියේ ගිවිසුමට ප්‍රචාරය නොදැන ලෙස කරන ලද ඉල්ලීම ලාංකිකයන් විසින් අකුරටම ඉටු කොට ඇති බවයි. ඇමතිවරයා හෝ විදේශ ලේකම් පාලිත කොහොන පවා උදෑසන අත්සන් තැබුන ගිවිසුම පිළිබඳ හාංකවසියක් දැන නොසිටියහ. කෙසේ වුවද ගිවිසුම ගැන තම සතුට පලකල බෝගොල්ලාගම ඊලඟ සතියට යෙදී ඇති තම ඇමෙරිකානු සංචාරය අතරතුර රාජ්ය ලේකම් ආචාර්ය කොන්ඩලීසා රයිස් හමුවී ඇය හරහා මහින්ද රාජපක්ෂ හා ජෝර්ජ් බුෂ් අතර හමුවක් සංවිධානය කිරීම තමා අපේක්ෂා කරන බව කියා සිටියේය. බ්ලේක්ගේ පිළිතුර වුයේ සුළු ජාතීන් හා බලය බෙදාගැනීමේ යෝජනාවක් ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කොට ගැනීමෙන් අනතුරුව බුෂ් සමඟ හමුවක් සංවිධානය කිරීම වඩාත් පහසු වනු ඇති බවයි. ගිවිසුමේ තීන්ත වියලීමට ප්‍රථමයෙන් ලංකාණ්ඩුව ගිවිසුමේ ප්‍රචාරක වාසිය ලබා ගැනීමට තැත් කරන බවට මෙහිදී ඇමෙරිකානුවෝ සැක කලහ. සමස්ත පටිපාටිය තුල ඔවුන් අනුගමනය කල රහස්‍ය භාවයත්, ඉන් අනතුරුව පවා ලංකාව සමඟ වඩාත් සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ප්‍රදර්ශනය කිරීමට පල කල මැලිකමත් තුලින් පෙනී යන්නේ වොෂින්ටනය මෙම ගිවිසුම විවාහයක් නොව අනියම් සබඳතාවල තත්වයෙහි ලා සැලකූ බවයි. අමෙරිකානුවන්ගේ මේ ආකල්පය ගැන අවබෝධයෙන් පසුවූ ජනාධිපති රාජපක්ෂගේ තර්කය වූයේ ඕනෑම බලය බෙදීමේ යෝජනාවකට දකුණේ ජනයාගේ කැමැත්ත මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරනයේ ආශීර්වාදයද තිබිය යුතු බවයි. “ කොහොම උනත් අපට රටේ ව්‍යවස්තාව උල්ලංඝනය කරන්න බැහැ” ඔහු මානව හිමිකම් නියෝජිතයන් හමුවේ කීය. බලය බෙදීමක් ගැන සලකා බලනු වෙනුවට උතුරේ හමුදා ක්‍රියාකාරකම් වඩාත් උත්සන්න කිරිමට ඔහු කටයුතු කරන බවට වොෂින්ටනය ඇතිකොටගත් හැඟීම හේතුවෙන් ACSA ගිවිසුමට පසු දෙපාර්ශ්වය අතර ඇතිවු‍යේ මිත්‍රත්වයට වඩා විරසකයකි.

Chamara Siriwardene

Sources: Wikileaks (Library of US Diplomacy)

World Socialist Website

Asia Times


ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (2) - ACSA ගිවිසුමින් ඔබ්බට

ACSA අත්සන් කොට තෙදිනකින්, එනම් 2007 මාර්තු 08 දා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්යම ආසියාතික කලාපය භා සහකාර ලේකම් ස්ටීවන් ආර් මෑන් ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ හමුවිය. සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වූයේ පුළුල් ලෙස බලය බෙදීමයි. එහෙත් එල්ටීටීය තුල සාම අපෙක්ෂා නොමැතිබව තර්ක කල ලංකා ආරක්ෂක බලධාරියා සාමාන්‍ය දමිල ජනයාට යුද්ධය අවශ්‍ය නොමැති බව විශ්වාසය පලකොට සිටියේය. “ අර්බුදයට මිලිටරි විසඳුමක් නැති බවත්, යුද්දයෙන් පසු ඔවුන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල ඔවුන්ද අවබෝද කොට ගත යුතුයි. අපේ ඉලක්කය ඒකයි.” අනතුරුව නැගෙනහිර පලාතේ ඉදිරියේ විශාල යුද මෙහෙයුම් සිදු විය හැකි බවට ඔහු ඉඟි කොට සිටියේය. කරුණා පාර්ෂ්වයට නැගෙනහිර පළාතේ පමනට වඩා නිදහසක් ලබා දී ඇතැයි සිවු දිනකට පෙර රවුෆ් හකීම් කල මැසිවිල්ල ගැන ඇමෙරිකානුවන් කරුණු විමසූ කල ගෝටාභය රාජපක්ෂ සිනාසුනේය. “ඔය ගැන මගේ සහෝදරයත් ලඟදි මගෙන් ඇහුව. අපි මේ තරම් උත්සහයක් ගෙන තැගෙනහිර පිරිසිදු කරන්නෙ තව කණායමකට භාර දෙන්න නෙවෙයි. තොප්පිගල අල්ලගත්ත හැටිය අපි මඩකලපුව භාර දෙනව පොලිසියට. නිසි වෙලාවට දෙමල හා මුස්ලිම් පොලිස් භටයන් බඳවා ගැනීමටත් අපි අදහස් කරනවා.” හේ කීය. ඇමෙරිකානුවෝ යන්නට ගියහ. සාකච්ඡාවෙන් ඔවුන් ඇති කොට ගත් හැඟීම නම් ලංකා ආරක්ෂක බළධාරීන් තීරණාත්මක යුද ජයකින් තොරව දේශපාලන විසඳුමක් සාකච්ඡා කිරිමට සූදානම් නැති බවත්, කරුණා පාර්ශ්වය දෙමල ජනයාගේ නියෝජිතයන් ලෙස පිළිගැනීමට කැමැත්තෙන් පසුවන බවය. එහෙත් කරුණාගේ ත්‍රස්තවාදී සම්භවය හේතුවෙන් මෙය සාර්ථක නොවනු ඇතැයි මාර්තු 14 දා වොෂින්ටනයට යැවුන තම 07COLOMBO416_a දරණ කේබල් පණිවුඩයෙන් රොබර්ට් බ්ලේක් සැක පහල කොට සිටියේය. හාස්‍යයට කරුණ වූයේ සමස්ත ක්‍රියාවලිය තුල ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සම්භවය පිළිබඳ ඔහු එවන් සැක සංකා පහල නොකිරීමය. මාර්තු 26 දා එල්ටීටීඊය චෙක් Zlin 143 සැහැල්ලු ගුවන් යානා2ක් යොදාගනිමින් කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පහර දීමට සමත් විය. මෙය ලංකාණ්ඩුව තුල ඇති කලෙ අප්‍රසන්න විමතියකි. පසුදින නෝර්වීජියානු දූත මෙහෙවරේ සම සභාපති තානාපති වරු හමුවූ විදේශ ඇමති බෝගොල්ලාගම හා විදේශ ලේකම් කොහොන පෙරදින එල්ල කල ප්‍රජහාරය හෙලා දකින මෙන් ඉල්ලා සිටියහ. ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ සටන් විරාම සමයේ මෙරටට ගෙන්වූ කන්ටේනර් පරීක්ෂාවට භාජනය නුවූ බැවින් ඒවා තුල මෙම ගුවන් යානා කොටස් ගෙන එන්නට ඇති බවයි. එය එක්තරා ආකාරයක චෝදනාවකට සමාන විය. ඇමෙරිකානු තාමනාපතිගේ ස්ථාවරය වූයේ බෝගොල්ලාගම ඉල්ලසිටින ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීමේ සිරිතක් වොෂින්ටනට නැති බවකි. “අනික ඔබගේ රජය කිව්ව මෙ ප්‍රහාරය නිසා සංචාරකයන් අනාරක්ෂිත වෙන්නෙ නෑ කියල? ” “ඔවුන් පහරදෙන්නෙ හමුදාවට හා රජයේ ගොඩනැඟිලි වලට මිසක් ඇමෙරිකානු සංචාරකයන්ට නෙවෙයි. මානුෂික ආධාර මුවාවෙන් ගුවන් යානා ගෙන්වීම (හා අනුබල දීම) කොහොමටත් 2002 සටන්විරාම කොන්දේසි දරුණු විදියට උල්ලංඝනය කිරීමක්.” බෝගොල්ලාගම කීය. සටන් විරාම ගිවිසුම තවමත් බල පැවැත්වෙන බවට ලංකාණ්ඩුව විසින් සලකනු ලබන්නේදැයි ජර්මන් තානාපති විසින් අසනු ලදුව කොහොන ක්ෂණිකව පිළිතුරු දුන්නේය. “එක මෙතෙන්ට අදාල නැහැ.” “අපි කවද හරි කිව්වද සටන් විරාම ගිවිසුම අවලංගු කරා කියල?” බෝගොල්ලාගමද පෙරළා ඇසීය. අවසන්නයේ සම සභාපති වරුන්ගේ ස්ථාවරය වූයේ තමාට කල හැක්කේ සාකච්ඡා මඟින් ඉක්මන් විසඳුමකට එලැඹෙන ලෙස දෙපාර්ෂ්වයෙන්ම ඉල්ල සිටීම පමණක් බවයි. කෙසේ වුවද අප්‍රේල් 03 දා ටී ඇන් ඒ නායක සම්බන්දන් ලංකාණ්ඩුව උතුරේ සිදුකරන මානව හිමිකම් උල්ලංඟණය කිරීම් ගැන චෝදනා කරමින් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කල ඉල්ලීමට තානාපති දැක්වූ ප්‍රතිචාරය වඩාත් යහපත් වූ බව සැලකිය යුතුය. දෙමල ජනතාව වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන බවට ඇමෙරිකානුවී එහිදී පොරොන්දු වූහ. සම්බම්දන් වැඩිදුරටත් චෝදනා කලේ බලය බෙදීමේ යෝජනාවලිය පිලිබඳ මූලිකත්වය දී ඇත්තේ තම පක්ෂය නොව රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයට බවය. “අපි කියන්නෙ ආණ්ඩුවට ටිකක් රිදෙන්න කණේ පාරක් දෙන්න” සම්බන්දන් අවසානයේ දී යලි ඉල්ලා සිටියේය. ජුනි 13 වනදා තානාපතිවරු හමුවූ හමුවූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මන්ත්‍රී රවි කරුණානායක ලංකාණ්ඩුව උතුරේ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දැඩි ලෙස හෙලා දකිමින් කියා සිටියේ තොප්පිගල මෙහෙයුම් අසාර්ථක බවත් එල්ටීටීඊයේ ගුවන් බලයට මුහුන දීමෙහිලා ශක්තියක් ලංකාවට නැති බවත්ය. “අවාසනාවකට වගේ අපටත් ඉන්නවා අවලස්සන ඇමෙරිකානුවෙක් - ඔහු ගෝටාභය රාජපක්ෂ” හේ බ්ලේක් දෙස හැරී මඳ සිනා පෑය. රජයෙන් මෑතකදි නෙරපා හරිනලද ඇමතිවරයකු වූ මංගල සමරවීරගේ ඉල්ලීම වූයේ බුද්ධි සහයෝගිතාව අත්හිටුවීමට හා ඉහල පෙලේ සිංහල බළධාරීන්ට වීසා සම්බාධක පැණවීමට වොෂින්ටනය නොවලහා ක්‍රියා කලයුතු බවයි. බොහෝ දෙනා අපේක්ෂා නොකල අන්දමින් තොප්පිගල එල්ටීටීඊ බලකොටුව බිඳ වැටිණ. ලංකාණ්ඩුවේ අනතුරු ඇඟවීම නොසලකමින් ජුලි 11 දා කිලිනොච්චියේදී තමිල් සෙල්වම්, පුලිදේවන් හා නඩේසන් හමුවූ නෝර්වේ තානාපති බ්‍රැට්ස්කර් ට පෙනී ගියේ එල්ටීටීඊ නායකයන් තරමක් දුර්මුඛව සිටි බවය. බලාත්කාරයෙන් සැබළුන් බඳවා ගැනීම පිළිබඳ චෝදනාවට පිළිතුරු ලෙස තම සංවිධානයට සෑම පවුලකින්ම සාමාජිකයෙකු උවමනා බව පැවසූ තමිල් සෙල්වම් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන දමිල පවුල් මෙම නීතියෙන් නිදහස් කිරිමට කැමති විය. සිවිල් ඉලක්ක වලට පහරදීම ගැන නැඟූ පැණයට ඔහු හරි හමන් පිළිතුරක්ක් නුදුන්නේය. එල්ටීටී නයකයන්ගෙ චෝදනාව වූයේ හමුදා මෙහෙයුම් අත්හිටුවීම සඳහා බටහිර ප්‍රජාව ප්‍රමානවත් බලපෑමක් ලංකාණ්ඩුවට නොකරන නිසා මේ තත්වය උද්ගත වූ බවකි. මෙය මංගල සමරවීර හා රනිල් වික්‍රමසිංහ යුද්දය අරබයා දැරූ ස්ථාවරයට බොහෝ දුරට සමානය. මේ අතර මානව හිමිකම් ගැටළුව මත ලංකාවට කෙරෙන බ්‍රිතාන්‍ය අතපෙවීම් හෙලා දකිමින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මැයි මස දැවැන්ත උද්ඝෝෂණයක් කල මේ වනවිටත් වාමාංශික සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙස සැලකුන ජනතා විමුක්ති පෙරමුණ මාර්තුවේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර ඇතිකොටගත් ACSA ගිවිසුම ‘රහස් ගිවිසුමක්’ බවට චෝදනා කරමින් එහි අන්තර්ගතය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමිනි. ජුලි 15 දා පාර්ලිමේන්තුව තුල ජවිපෙය හා එජාපය මේ අරබයා කල මහත් කලබගෑනිය නිසා ස්ඇසිය කල්තැබීමට සිදුවී අතර තෙදිනකට පසු ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමතූ ජනාධිපති ගේ මාණ්ඩලික ප්‍රධානී ලලිත් වීරතුංග පැවසූයේ ගිවිසුමේ සැඟවීමට දෙයක් නොමැති බැවින් එය ප්‍රකාෂයට පත් කිරීම වඩා සුදුසු බවයි. ඇමෙරිකා තවත් රටවල් 89ක් සමඟ කලින් කලට මෙවැනි ගිවිසුම් වලට එලැඹ ඇති බවත් හේ පෙන්වා දුන්නේය. සම්ප්‍රදායිකව ඇමෙරිකානු පාක්ෂික ස්ථාවරයක් දරණ එජාපයද විරෝධතාවට හවුල් වීම ගැන තානාපතිවරයා තුල ඇතිවූයේ නොසතුටකි. එහෙත් කල හැකි දෙයක් නුවූයෙන් ලංකාණ්ඩුවට සුදුසු යැයි හැඟෙන පරිදි ක්‍රියා කිරීම ගැන තම විරුද්ධත්වයක් නැති බව පැවසූ හේ ගිවිසුමේ ඇති සංවේදී තොරතුරු, එනම් සේවා දායක ඇමෙරිකානු ආයතන වල නම් ලිපින හා දුරකථන අංක සභාගත නොකරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ලංකාණ්ඩුව විසින් ඉටු කලද, බලය බෙදීම හා මානව හිමිකම් අරබයා තමා විසින්ම දිගින් දිගටම චෝදනා නඟමින් සිටි රටක් සමඟ රාජ්‍යතාන්තික ගිවිසුමකට එලැඹුන බව ලොවට හෙලිදරවු වීම නිසා වොෂින්ටනයට එල්ටීටීය කෙරේ අනුකම්පා කල තම යුරෝපීය සගයන් මෙන්ම තමා කෙරේ විශ්වාසය තැබූ දේශිය විපක්ෂ පාර්ෂ්ව හමුවේ මුහුන පෑමට සිදුවූ අපහසුතාව සුළු පටු නැත. අනිත් අතට ජුලි 20 දා ඉතා කැමැත්තෙන් ගිවිසුම ප්‍රකාශයට පත් කල ලක් රජය ඇමෙරිකාව සමඟ තම සහයෝගීතාව ප්‍රදර්ශනය කෙරෙන අයිතමයක් ලෙස එය අර්ථ දක්වමින්ද, අමෙරිකාව ලවා තමාට බලපෑම් කරවීමට තැත්කල එකී පාර්ෂ්වයන් අධෛර්යමත් කරවීමින්ද ඉමහත් දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිලාභයක් අත්කොට ගත්තේය.

Chamara Siriwardene

Sources: Wikileaks To End a Civil War: Norway's Peace Engagement in Sri Lanka - Mark Salter Asian Tribune

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (03) - ජනාධිපති රාජපක්ෂගේ ඉරාන සංචාරය

ඉක්මන් බලය බෙදීමේ යෝජනාවලියක් සඳහා වොෂින්ටනයෙන්ද, මානව හිමිකම් අරබයා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් කෙරෙන්ද දැඩි පීඩනයක් එල්ල වුවද ලංකාණ්ඩුවේ අවධානය මේ වන විට මුළුමනින්ම යොමු වී තිබුනේ අගනුවර හා පිට පලාත් තුල සිවිල් ජනයා ඉලක්ක කොටගනිමින් එල්ටීටීය උත්සන්න කල ත්‍රස්ත ප්‍රහාර මැඩලීම කෙරෙහිය. සංචාරයක යෙදුන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලේකන් ජෝන් හොල්ම්ස් ලංකාව ජීවත් වීම සඳහා අතිශය භයානක රටක් බව අගෝස්තුවේදී ප්‍රකාශ කොට තිබිණ. ලංකාණ්ඩුව මේ කරුන මත හොල්ම්ස් දැඩි ලෙස දෝෂදර්ෂණයට ලක් කලේය. බලය බෙදීමේ යෝජනාවලිය සඳහා අවංක උවමනාවක් ලංකාන්ඩුවට නොමැති බව එල්ටිටීය හා දෙමල ජාතික සන්ධානය මෙන්ම එජාපය හා මුස්ලිම් කොන්ග්‍රසය ද දිගින් දිගටම චෝදනා නැඟූ අතර යුද්ධය සඳහා ජනාධිපති රාජපක්ෂට සහාය ලබා දුන් ප්‍රබලතම හස්තය වූයේ තවමත් සිංහල ජාතික වාදී බලවේග නියෝජනය කල ජවිපෙ යයි. ඒ අනුව 2007 ඔක්තෝබර් 04 දා ඇමෙරිකානු තානාපති බ්ලේක් එම පක්ෂයේ ජනප්‍රියතම මන්ත්‍රී වරයා වූද, පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංස හමුවිය. දූෂණ අරබයා රජය අනුගමනය කරන පිළිවෙත මෙහිදී විවේච්නය කල වීරවංස දිගින් දිගටම බලය බෙදීඊමක් සඳහා කෙරෙන බලපෑම් ගැන අමෙරිකාවට චෝදනා කලේය. “ඇමෙරිකාවට සදාම් හුසේන් මරන්න පුළුවන් නම් ලංකාවට ඇයි බැරි ප්‍රභාකරන් මරන්න? ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍යනම් වොෂින්ටනය කල යුත්තේ ලංකාවට යුද ආධාර දීමයි.” “ඒක නිවැරදී අදහසක් නෙවෙයි” තානාපති තැන පෙරලා කීය. “සදාම් හුසේන් මැරුවෙ ඇමෙරිකාව නෙවෙයි. නිසි නඩු විඟාගයකට පසු ඉරාක අධිකරණයක් විසින්. ඉරාකයේ සුන්නු ෂියා හා කුර්දි ජන කොටස් අතර සාර්ථක බලය බෙදීමකට අපි මේ වන විට අඩිතාලමක් දාල තියනවා. අනික එල්ටීටීය හමුදාමය වශයෙන් පරාජය කරන්න බැහැ. කලයුත්තේ ගැටළුවට හේතු හොයා දේශපාලන විසඳුමක් දීමයි” (Embassy notes: E.O. 12958: DECL: 10/04/2017 MEETING WITH NATIONALIST JVP PARTY) මේ තර්කය වීරවංසට නොරිසි විය. ඔහු තරයෙම කියා සිටියේ සාකච්ඡා පැවැත්වීඊමට පෙර එල්ටීටීය අවි බිma තැබිය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවයි. කෙසේ වුවද ජවිපෙය තුල මේ වනවිට අර්බුදයක් මෝරායමින් පැවති බව ඇමරිකානුවන් දැන සිටි බව පෙනේ. තානාපති වරයා විසින් වොෂින්ටනයට යැවූ 07COLOMBO748_a කේබල් පණිවුඩයේ සඳහන් වූයේ වීරවංස ජනාධිපතිට දුන් අභ්‍යන්තර තොරතුරු හේතුවෙන් වෘත්ති සමිති නායකයා වූ සිරිපාල අමරසිංහට පක්ෂය හැර යාමට සිදුවූ බවත්, පොලිසිය විසින් ලුහු බැඳීම නිසා 89 අරගලයේ වැදගත් චරිතයක් වූ ප්‍රේමකුමාර් ගුනරත්නම් නොහොත් කුමාර් මහත්තයාට රට හැර ගොස් ඇති බවත්ය. කේබල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වූයේ මන්ත්‍රී අනුර දිසානායක තමාට හෙලිකල පරිදි විරවංස දැන් ජනාධිපතිගේ සහායෙන් පක්ෂ නායක සෝමවන්ස අමරසිංහ අපකීර්තියට පත් කිරීමට තැත් කරන බවකි. කලින් ලද බුද්ධි තොරතුරක් මත නොවැම්බර් 02 දා උදෑසන 6.15ට මහත් ආන්දොලනයට තුඩු දුන් MIG 27 හා Kfir ජෙට් යානා දෙකකින් එල්ල කල කිලිනොච්චියේ එල්ටීටීඊ පුහුණු කඳවුරකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් දේශපාලන අංශ ප්‍රධානී තමිල් සෙල්වල් ඇතුළු ඉහල පෙලේ නායකයෝ පස් දෙනෙක් මිය ගියහ. ඉතා අඩු ප්‍රසිද්ධියක් සහිතව යුක්‍රේනයෙන් මිලදී ගත් මෙම යානා පිලීබඳ අගෝස්තුවේදී පළමු වරට තොරතුරු හෙලි කලරන ලද්දේ මාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අත්තාස් විසිනි. සංවේදී තොරතුරු හෙලිදරවු කලෙ යයි චෝදනා කරමින් සිංහල ජාතිවදීහූ ඔහුගෙ නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අතර තම පරිවර්තකයාට මේ හේතුවෙන් ජීවිත තර්ජන එල්ලවී ඇති බව හේ ඇමෙරිකානු තානාපතිට පැමිණිලි කලද මේ පිළිබඳ කරුණු විමසීමේදී ආරක්ෂක ලේකම් ගෝටාහය රාජපක්ෂ එය හිතළුවක් ලෙස බැහැර කලේය. “ඔයිට වඩා වැදගත් ආරක්ෂක තොරතුරු එළිදරවු කරපු මිනිස්සුත් අද ජීවතුන් අතර ඉන්නවා,” හේ උපහාසාත්මකව කීය. පසුව පරිවර්තකයා ප්‍රකාශ කලේ තමාට මරණ තර්ජන එල්ල නුවූ බවත් තොරතුරු ලද මූලාශ්‍ර පිලිබඳ තමාගෙන් ප්‍රශ්න කල බවත්ය. කෙසේ වුවද ඔයින් මෙයින් ලංකාව සතුව නව MIG යානා ඇති බව නොවැම්බරය වන විට එල්ටීටීඊය ද දැන සිටිමුත් තමිල් සෙල්වම් ගේ ජීවිතය රැක ගැනීමට එම දැනුම ප්‍රමානවත් වූයේ නැත. ඇමෙරිකානුවන්ගේ හා නෝර්වීජියානුවන්ගේ මතය වූයේ මෙම ඝාතනය නිසා සාකච්ඡා තුලින් විසදුමක් සෙවීමට වූ ඉඩකඩ ඇහිරෙන බවය. විශේෂත්වය වූයේ පාර්ලිමේන්තුවේදී තැපැල් ඇමති රවුෆ් හකීම් ද මුස්ලිම් තමිල් සෙල්වම් වෙනුවෙන් ශෝකය පලකොට සිටීමයි. එහෙත් අය වැය සදහා රජයට සහාය දීමට එපමණකින් ජවිපෙය තීරණය කලේය. කෙසෙ වුවද මේ වනටවිට වොෂින්ටනයේ කණස්සල්ලට මූලික හෙතුව වූයේ තමිල් සෙල්වම්ගේ මරණය නොව ඉරානයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රාජපක්ෂ තුල වූ සූදානමයි. ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාවට (IRGC) අයත් කුඩ්ස් (Quds) බල ඇණිය නීති විරෝහී ස්අංවිධානයක් ලෙස නම් කොට හා එහි නායක ක්වාසිම් සොලෙයිමානි ඇතුළු ඉහල පෙලේ ඉරාන නිලධාරීන් රැසකට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බාධක පණවා තිබිණ. ( ඉන් දහතුන් වසරකට පසු 2020 ජනවාරියේ ඇමෙරිකාව විසින් සොලෙයිමානි ඝාතනය කරනු ලැබූයේද ලංකාව තමිල් චෙල්වම් ඝාතනය කල අන්දමටමය). ලහිලහියේ විදේශ ඇමති බෝගොල්ලගම හමුවූ තානාපති බ්ලේක් ත්‍රස්තවාදය සමඟ සටන් වදිමින් සිටින ලංකාවේ රාජ්‍ය නායකයා ත්‍රස්තවාදයට අනුබල දෙන රටක් ලෙස ඇමෙරිකාව සලකන ඉරානයට යාම සුදුසු නොවන බවත් එමඟින් ඉරානයට තමා හුදෙකලා වී නොමැති බවට ලොවට පෙන්වීමට අවස්ථාවක් ලැබෙන බවත් කියා සිටියේය. මෙය මානව හිමිකම් චෝදනා වලට මුහුණ දෙමින් ACSA ගිවිසුම හරහා ලංකාව විසින් අත්පත් කොටගත් වාසියට සමාන වනු ඇතැයි ඇමෙරිකාව බිය වූ බව පෙනේ. මෙම පණිවුඩය සන්නිවේදනය කිරිමටද, ඉරාන සංචාරය කල්දමන ලෙස උපදෙස් දීමටද බෝගොල්ලගම පොරොන්දු වූ මුත් ජනාධිපති රාජපක්ෂ ගේ තීරණය ගැන බ්ලේක්ට විශ්වාසයක් නොතිබිණ. (B COLOMBO 1429) සංචාරයේ අරමුන වෙළද අරමුණු වුවද තමාට නිරන්තර බලපෑම් එල්ලකරන බටහිර බලවතුන් දමනය කරගැනීමෙහිලා යටි අරමුණින් ක්‍රියා කරන රාජපක්ෂ හා ඉරානය අතර අනාගතයේ ආරක්ෂක ගිවිසුමක් ඇති වීමේ හැකියාව බැහැර කල නොහෙන බවද බ්ලේක්දැන සිටියේය. ලංකාණ්ඩුවට මාරක යුද උපකරණ උවමනාය. එසේ වුවව්හොත් ඉමහත් අපවාදයක් මෙද අත්සන් කෙරුන ACSA ගිවිසුම ඵල රහිත වනු ඇත. නොවැම්බර් 08 දා ඇමෙරිකාව විසින් ලංකා නාවුක හමුදාවට ඩොලර් මිලියන 10.8ක් වටිනා නවීන රේඩාර් ආරක්ෂක පද්ධතියක් හා මුර සංචාරක බොට්ටු 10ක් ප්‍රදානය කරන ලදී. මෙමඟින් ලංකාවේ මුහුදු සීමාව තුල කෙරෙන සියළු දෑ නිරීක්ෂණය කිරීමටද පෝක් සමුද්‍ර සන්ධිය අවට ජංගමශීලී මුරසංචාර සෙවයක් පවත්වාගෙන යාමටද නාවුක හමුදාවට හැකිවනු ඇතයි අපේක්ෂා කෙරිණ. මෙම සැපයුම් අනුමත කරන ලද්දේ ඇමෙරිකානු ජාතික ආරක්ෂක පනතේ 1206 වන වගන්තිය යතේ සහකාර රටවලට ත්‍රස්තවාදය වැලැක්වීමට ආධාර දීමේ ප්‍රතිපාදන යටතේය. 7-10 දක්වා ගම කල හැකි ඩීසල් එන්ජින් සහිත මෙම බෝට්ටු GPS හා රේඩියෝ පද්ධති වලින් සමන්විත වුවද අවි සම්බාධක හෙතුවෙන් ඒවායේ මැෂින් තුවක්කු සවි කොට තිබුනේ නැත. සිය අරමුණු කරා කුඩා රාජ්‍යයන් පොලඹවා ගැනීමේදී ඇමක් යොදා ගැනීම දවල සම්දිරයේ සම්ප්‍රදායික උපායයි. ලංකාව හා ACSA ගිවිසුම අත්සන් කෙරුනේ ද මාරක යුද උපකරණ වෙනුවට එල්ටීටීඊ අවි නැව් ගැන බුද්ධි තොරතුරු ලබා දීමට පොරොන්දු දෙමිනි. මෙම රේඩාර් පද්ධතිය හා බෝට්ටු ආරක්ෂක ලේකම් විසින් ඉල්ලා තිබුනේ කලින් වසරේය. එහෙත් රාජපක්ෂගේ ඉරාන සංචාරය වැලැක්වීමට මෙවර ඇමෙරිකානුවෝ අසමත් වූහ. ලංකාවේ තෙල්පිරිපහදු කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 750ක අයෝජනයකට ටෙහෙරානය එකඟ වීමයි. කලින් ලංකාණ්ඩුව සැලසුම් කොට තිබුනේ සෞදි අරාබියෙන් ඩොලර් මිලියන 500ක් ණයක් ලබාගෙන මෙම කටයුත්ත සඳහා කොන්ත්‍රාතු භාර දීමටය. විදේශ ණයක් වෙනුවට ලද ඉරාන ආයෝජනය මූල්‍ය වශයෙන් ලංකාවට ඉමහත් වාසියක් වුවද ඒ හේතුවෙන් ඉදිකිරීම් ටෙන්ඩරය අපෙක්ෂාවෙන් සිටි අමෙරිකානු Global Energy and ENGlobal යන සමාගම් වලට අහිමි වූයේ තවත් අගනා අවස්ථාවකි. වොෂින්ටනයට වඩාත් සිත් සසල කරවන සුළු පුවත වූයේ ලංකාවට යුද අවි හා හමුදා උපකරන ණය පහසුකම් සැපයීමටද ඉරානය එකඟ වීමයි. මෙනයින් බලන කල ප්‍රකාශිත හේතු කවරක් වුවද ඔවුන් රාජපක්ෂ හා අමනාපයක් ඇතිකොට ගැනීම පුදුමයට කරුනක්ද නොවේ.

Chamara Siriwardene Sources Wikileaks International Terrorism Monitor -South Asia Analysis Group Paper 303

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (04) – ජිනීවා මානව හිමිකම් වාර්තාව හා කොසෝවෝ අර්බුදය

2007 අවසන් වන විට ලංකාව වචනයේ පරිසමාප්ති අරුතින් පෙරමුණු දෙකක යුද්ධයකට මැදිව සිටියාය. උතුරේ එල්ටීටී‍ය සමඟ භූමිය සඳහා වූ අවි ගැටුමට අමතරව ජත්‍යන්තරයේදී ඇමෙරිකාව කැනඩාව හා නෝර්වේ ප්‍රමුඛ බටහිර කදවුර සමඟ මානව හිමිකම් හා බලය බෙදීම යන කරුණූ උදෙසා රාජ්‍යතාන්ත්‍රික අරගලයක යෙදීමටද ඈට සිදුව තිබින. අගෝස්තුවේ ලංකාවේ කල සංචාරය මත පදනම්ව ජිනීවාහිදී ඉදිරිපත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවද පැහැදිලිවම පක්ෂග්‍රාහී විය. සිවිල් අයිතිවාසිකම් හා අතුරුදන්වීම් යන මැයෙන් කෙරුන කෙරුන අර්ථකථනය තුල රජයේ හමුදා සිදුකල අත්ඩංගුවට ගැනීම් හා හමුදා මෙහෙයුන් නිසා උතුරේ සිවිල් ජීවිතයට සිදුවන බලපෑම් මිස එල්ටීටීය විසින් සිදුකල බලාත්කාරී ක්‍රියා, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම් හා දකුණේ සිවිල් වැසියන් ඉලක්ක කොටගත් ප්‍රහාර කෙරේ ලුයිස් ආර්බර් මහත්මිය ප්‍රමානවත් අවධානය යොමු කොට නොතිබිණ. බටහිර බලවතුන්ගේ තක්සේරුව වු‍යේ ලංකාවේ මුහුදු සීමාවෙන් තුනෙන් දෙකක් ආවරණය වූ උතුරු නැගෙනහිර දමිල පාලනයකට නතුවීම තම උපාය මාර්ගික අරමුණු සදහා වඩාත් හිතකර වනු ඇති බව පෙනේ. මෙ පිළිබඳ මනා අවබෝධයකින් පසුවූ එල්ටීටිඊය ද බටහිර රටවල සැලකිය යුතු දේශපලන නියෝජනයක් සහිත ඩයස්පෝරාවේ ආධාරයෙන් එහි ඵල නෙලීමට තැත් කලේය. මේ තත්වය යටතේ ලංකාව අසරණ වුවද හුදෙකලා නුවූවාය. ආර්ථික හේතූන් මත චීනයේද, රාජ්‍යතාන්ත්‍රික හේතූන් මත ඉරානයේද අඛණ්ඩ අනුග්‍රහය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමට තරම් ධෛර්යයක් හා ආත්ම විශ්වාසයක් කොළඹ රජයටද තිබිණ. දෙසැම්බර් 14 දා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙවැනියා (Deputy Chief of Mission) ජේම්ස් මූර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි අමාත්‍යාංශයට කැඳවූ විදේශ ලේකම් පාලිත කොහොන ජිනීවා වාර්තාව ගැන සිය දැඩි විරෝධය පල කොට සිටියේය. “ බලාත්කාරයෙන් අතුරුදන් කරවීම් වැඩි උනා ඔබතුමාල කියන්නෙ කොහොමද? රතු කුරුසෙ කියනවා දැන් අතුරුදන් වීම් අඩුයි කියල. මේව කරන්නෙ අපි නෙවෙයි. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ කටයුතු ව්‍යාප්ත කරන්න මමත් සෑහෙන උදවු කරා. දැන් මට ඒ ගැන කණගාටු වෙන්න සිදු වෙලා.” “අනිත් එක රටේ බහුතරයට බටහිර දූත කණ්ඩායම් ගැන විශ්වාසයක් නැත්තෙ යටත් විජිත කාලෙ ලබපු අත්දැකීම් නිසා. කරුණාකරල එක තේරුම් ගන්න…” යටත් විජිත යුගය අරබයා කල මෙම සදහන උරා ගේ මාළු ඌරාගේම පිටේ තබා කපීමට තැත් කිරීමකට සමාන කල හැක. “මානව හිමිකම් ගැන අපේ ස්ථාවරය එදත් අදත් එකයි. ලංකාවෙ ඇතැම් දේශපාලකයන් නිලධාරීන් හා මාධ්‍ය මේ විදියට එක්සත් ජාතීන්ගෙ නිළධාරීන් විබවේචනය කරන කිරිමෙන් වෙන්නෙ මානව හිමිකම් මෙහෙවර තව දුෂ්කර වීමයි. කරුණාකරල වඩාත් සමතුලිත වාතාවරණයක් ඇතිකරන්න” මේ ඇසූ දෙවැනි තානාපති මුළදෑනියා කීය. එහෙත් මානව හිමිකම් වාර්තාවේ කිසිදු අසමතුලිත බවක් ඔහු නුදුටුවේය. “මොනව කරත් අපිට රටේ බහුතර මතයට ගරු කරන්න වෙනවා” විදේශ ලේකම් පිළිතුරු ලෙස කීය. සාකච්ඡාව කෙලවර වුවද සිද්ධිය එතැනින් අවසන් වූයේ නැති. සටන් විරාම ගිවිසුම එකපාර්ශ්විකව අහොසි කිරීමට නව වසරේ ජනවාරි 02 දා ලක් රජය තීන්දු කලේය. ඉටුකිරීම සඳහා තව දුරටත් කාර්යභාරයක් නුවූයෙන් රටින් පිටව යාමට සටන් විරාම නිරීක්ෂක කණ්ඩායම් වලට සිදුවිය. මෙය පක්ෂග්‍රාහී මානව හිමිකම් වාර්තාවේ අතුරු පලයකි. ඊට සිවු දිනකට පෙර ආරක්ෂක ලෙකම් ගෝටාභය රාජපක්ෂ ඩේලිනිවුස් පුවත් පතට කියාසිටිය් සටන් විරාම ගිවිසුම විහිළුවක් බවට පත්ව ඇතිබවයි. සටන් විරාමය අහෝසි කිරීම යුද්ධය වෙනුවෙන් රජයේ ප්‍රධානතම සහාය බලවෙගය වූ ජේවීපීයේ මූලික ඉල්ලීමකි. ජේවීපිය ආර්බර්ට එරෙහිව උද්ඝෝෂනයක් පවා සංවිධානය කලේය. සටන්විරාමය අහෝසි කෙරුන දින සවස ඇමෙරිකානු තනාපති බ්ලේක් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් සිය නිවහනේ රාත්‍රී භෝජනයක් පැවැත්වීය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමතරව ලංකාවේ හදිසි සංචාරයක යෙදුන නම් සදහන් නොකල සෙනේට් සභිකයකුද මෙම අවස්ථාවට සහභාගී විය. සටන් විරාම ගිවිසුම අහෝසි කිරිම ජාත්‍යන්තර ප්‍රජාව විසින් බරපතල ලෙස තකනු ඇතැයි බ්ලේක් සැක පහල කරනු ඇසූ ජනාධිපතිවරයා කීවේ එය එල්ටීටීයේ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් දුන් පිළිතුරක් මිස සාම ක්‍රියාදාමයේ අවසානය නොවන බවයි. ජනවා රි 08 දා රජයේ ඇමතිවරයකු වු ද මු දසනායක එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් මරා දමන ලදී. තෙදිනකට පසු ආධාර කණ්ඩායමේ සම-සභාපති වරු ඇතුළු තානාපති නිලධාරීන් හමුවූ රනිල් වික්‍රමසිංහ සටන් විරාමය අහෝසිකිරීම දැඩි ලෙස විවේචනය කරමින් උතුරේ විශාල මෙහෙයුමක් සඳහා රජය සූදානම් වන බවත් මෙමගින් දස දහස් ගණනක් අතුරුදන්වීමට හා අවතැන් වීමට ඉඩ ඇති බවත් කියා සිටියේය. ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ මෙමඟින් ලංකාවේ බහු-වාර්ගික අනන්‍යතාව අවදානමට ලක් වනු ඇති බවයි. බටහිර සංස්කෘතිය උසස්කොට තැකූ නාගරික පදනමකින් යුත් ලිබරල් වාදී යූඇන්පිය බටහිර කඳවුරට පක්ෂපාතී ස්ථාවරයක් දැරීය. දෙමල ජාතික සන්ධානය එල්ටීටීඊය වෙනුවෙන් සෘජුවම පෙනී සිටීම හා රවුෆ් හකීම්ද තමිල් සෙල්වම් ගේ මරනය ගැන අයථා ලෙස ශෝක වීම තුලින් සිංහල ජාතිකවාදීන් ඇතිකොට ගත් හැඟීම නම් දේශපාලන විසඳුමක් ලෙස අදහස් කෙරෙන්නේ ගෞරවනීය සහයෝගිතාවයෙන් ජීවත් වීම නොව මහ ජාතිය යටපත් කොට තම ‘සීමාව ඉක්මවූ’ අරමුණු ඉටුකොට ගැනීමට සුළු ජාතීන් තුල වූ අභිප්‍රාය බවයි. මෙහි අතුරු ඵලය වූයේ අනාගතයේ සිංහල ජාතිකවාදය වඩාත් ශක්තිමත් වීමය. අනතුරක් හමුවේ එක්සත් වීම වර්ග වාදයක් නොව ඕනෑම නිරෝගී ශිෂ්ඨචාරයක ලක්ෂණයක් බව ඉතිහාසයේ එමට උදාහරණ ඇත. එසේ වුවද සාකච්ඡාව අවසානයේ ඇමෙරිකානු තානාපති ඇති කොටගත් හැඟීම නම් උපකල්පන මත රජය විවේචනය කරනු විනා සර්ව පාක්ෂික සමුළුව තුලින් දෙශපාලන විසඳුමකට එලැඹීමට යූඑන්පීය ද ප්‍රමානවත් දායකත්වයක් නොසපයන බවය. විසඳුමක් ඉදිරිපත් විය යුත්තේ තම රජයක් හරහා පමනක් බව වික්‍රමසිංහ සිතූ සැටියකි. පෙබරවාරි 01 දා ජිනීවාහි පැවත් මානව හිමිකම් සමුළුවේදී ලංකාණ්ඩුවේ නියෝජිත මහාචාර්ය රජීව් විජේසිංහ විසින් ලුයිස් ආර්බර්ගේ පක්ෂාග්‍රාහී මානව හිමිකම් වාර්තාව දැඩි විවේචනයට ලක් කරන ලදී. ලංකාවට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක කණ්ඩායමක් එවීමට විරෝධය පලකල හේ වොෂින්ටනය ආර්බර්ට අවවාද කලයුතු යයි කියා සිටියේය. විශේෂයෙන්ම ඔහු පෙන්වා දුන්නේ ලක් රජය හා එල්ටීටීය සමාන කොට සලකමින් දෙසතියකයට පෙර ඈ නිකුත් කල නිවේදනයෙන් ත්‍රස්තවාදී සංවිධානයට අනවශ්‍ය පිළිගැනිමක් ලබා දී ඇති බවය. ලංකාවේ මානව හිමිකම් කොමිසම සමඟ කටයුහු කිරීමට ඇගේ අකමැත්ත පිළිගත නොහැකි බවත් ඈ එල්ටීටීයට වාසි සහගත ලෙස කටයුතු කරන බවත් විජේසිංහ වැඩිදුරටත් චෝදනා කලේය. ඇමෙරිකානුවන්ගේ ප්‍රතිචාරය වූයේ මෙවැනි සතුරු ආකල්පය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිදායක වනු ඇති බවයි. මානව හිමිකම් වාර්තාව මත හටගත් ආරවුල ලංකාවේ ප්‍රතිරූපයට වඩා බටහිර න්‍යායපත්‍රයට නම් බොහෝ හානිදායක වූ බව ඇමෙරිකාවට පෙනී ගියේ සතියක් ගතවීමෙන් අනතුරුවයි. පැරණි යුගොස්ලාවියාවට අයත් කොසෝවෝ රාජ්‍යය බටහිර බලවතුන්ගේ පූර්න ආශීර්බවාදය මත සර්බියාවෙන් වෙන්ව ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට සූදානම් වෙමින් සිටි පෙබරවාරි 11 දා නැවත බෝගොල්ලාගම හමුවූ ඇමෙරිකානු තානාපති ඒවෙනුවෙන් කැදවීමට නියමිත එක්සත් ජාතීන්ගේ චන්ද විමසීමේදී ලංකාවේ සහාය ඉල්ලා සිටියේය. එක්සත් ජනපදය කොසෝවෝ ස්වාධීනත්වය උතුරේ ඊලාම් රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම හා සම තත්වයේ නොසලකන බවත් ලංකාවේ භෞමික අඛන්ඩතාවට වොෂිඉන්ටනය ගරුකරන බවත් බ්ලේක් පුන පුනා කීවද බෝගොල්ලාගම ඒ හැටි තැකීමක් කලේ නැත. ඔහු කියා සිටියේ මෙය ප්‍රතිපත්තිමය කරුණක් හෙයින් ඇමෙරිකාවේ ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. සර්බියාවේ දැඩි විරෝධය මත කොසෝවෝ රාජ්‍යය පෙබරවාරි 18 ද ස්වාධීනත්වය ප්‍රකාශ කලාය. අයුතු බටහිර මැදිහත් වීම හෙලා දකිමින් සර්බ්වරු රට පුරා දැඩි විරෝධතාවක් දියත් කලහ. වොෂින්ටනයේ බලවත් කණස්සල්ලට හේතුවෙමින් පෙබරවාරි 18 දා ලක් රජය කියා සිටියේ කොසෝවෝ ස්වාධීනත්වය එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය උල්ලංඝනයක් බවත්, කොසෝවෝවට සර්බියාවෙන් වෙන්ව යාමට ඉඩදීම වැරදි උදාහරනයක් බවත් ඒ හේතුවෙන් තමා නව රාජ්‍යය පිළි නොගන්නා බවත්ය. ඊලාම් රාජ්යයක් සඳහා සටන් වදින එල්ටීටීඊයට දේශපාලන වාසියක් අත්කර නොදීමේ අදිටනත්, ජනවාර්ගික ගැටළුවට මැදිහත් වෙමින් තමා අමනාපයට පත්කල බටහිර බටහිර කඳවුරට අභියෝගයක් එල්ල කිරීමේ ආකල්පයත් හැරුන විට ලංකාවේ මෙම තීරණයට පදනම් වූ තවත් වැදගත් හේතුවක් තිබිණ. ඒ සර්බියාවේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ ක්‍රෙම්ලිනය කුපිත නොකරවීමේ අවශ්‍යතාවයයි. ඉදිරියේ එලැබීමට නියමිත දුෂ්කර කාල සීමාවේදී ආරක්ෂක මණ්ඩලය තුල නිශේධ බලය හිමි රුසියාවේ හොඳ හිත තමාට ඉතා වැදගත් බව කොලඹ රජය මනාව දැන සිටියේය.

Chamara Siriwardene Photos: Ms Louise Arbour HR High Commissioner JVP protesting against Ms Arbour's intervention Situation Map early 2008 LTTE child soldiers which Ms Arbour largely overlooked in her report Serbs protesting against Kosovo independence

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (05) - සිංහල ජාතිකවාදී බලවේගය රාජපක්ෂ ග්‍රහණයට හසුවේ

යටත් විජිත ආකෘතිය යටතේ හික්මවනු ලැබූ කුඩා ආසියාතික රාජ්‍යයක් වන ලංකාව මෑතක පටන් තම අභිමත නොතකා කටයුතු කිරීම බලගතු ඇමරිකාවට මහ මදි කමකි. මානව හිමිකම් හා බලය බෙදීම යනාදී දේශීය කටයුතු අරබයා පමණක් නොව චින මිත්‍රත්වය, ඉරානය හා ඇයි හොදයිය වැනි නොමනා ජාත්‍යන්තර සබඳතා මඟින් මෙන්ම කොසෝවෝ අර්බුද වැනි තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික සන්ධිස්ථානයන්හිදීද ඈ වොෂින්ටනයේ අමනාපයට හේතු වන අන්දමින් කටයුතු කලාය. ජයවර්ධන, පේමදාස හා චන්ද්‍රිකා රජයන් බටහිර සම්බන්ධව අනුගමනය කල කීකරු පිළිවෙතට හුරුව සිටි ධවල මන්දිරය කිසිකලෙකත් මෙවන් තත්වයක් අපේක්ෂා කොට තිබුනේ නැත. අනිත් අතට තමා ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් ඇපකැප වන බව ලොවට හැඟවූ ලංකාණ්ඩුව බලය බෙදීම පසෙක ලා අටමසකට පෙර මුදාගත් නැගැනහිර පලාත තුල එලැඹෙන මාර්තුවේ පලාත් මැතිවරණයක් කැඳවීය. මේ අතර තමාට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා ගැන ජාත්‍යන්තර රාජ්ය නොවන සංවිධාන විසින් පෙබරවාරි 19 දා බටහිර තානාපති වරුනට නැඟූ මැසිවිලි හද කම්පාකරවන සුළුය. කිසි කලෙකට්ත් නුවූ පරිදි දැන් දැන් ශ්‍රීලංකාවට වීසා ලබා ගැනීම ඉතා අපහසු බවත්, බලධාරීන් ඉතා ගැඹුරින් පෞද්ගලික තොරතුරු හාරා අවුස්සන බවත්, මෑතකදී පිහිටවුන මැදවච්චිය හා ඕමන්තෙයි හි මුරපොල වලදී සියළු ම බඩුබාහිරාදිය බිමට බා දැඩි ලෙස පරීක්ෂා කිරිම නිසා විශාල ප්‍රමාදයක් ඇතිවන බවටත් ප්‍රාදේශීය අණදෙන නිලධාරීන් කොළඹ දී නිකුත් කරන ලද අවසර පත්‍ර කෙරේ තැකීමක් නොකරන බවටත්, රජය තම සංවිධාන රට තුලට ගෙන එන අරමුදල් වලින් විශාල බදු අයකරන බවටත් ඔවුහු මැසිවිලි නැඟූහ. ඔවුන්ගේ අනිත් චෝදනාව වූයේ එල්ටීටීඊ පලන ප්‍රදේශවල දකුණු දිග සීමාවේ සටන් ඇවිලී ඇති නිසා තම රජකාරි අසීරු වී ඇති බවයි. උත්සන්න වන ගුවන් ප්‍රහාර හේතුවෙන් තම කාර්යාල අනාරක්ෂිත වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පැවසූහ. එල්ටීටීඊ සටන් කරුවන්ගේ මනෝභාවය පිළිබඳ විමසන ලදුව ඔවුන් කියාසිටියේ ජයග්‍රහනය පිළිබඳ ඔවුන්ගේ ආකල්පය ඉතා සුභවාදී බවයි. මේ හේතුවෙන් අමෙරිකානු තානාපති පවා හමුදාමය තත්වය අරබයා යම්තාක් දුරට වැරදි තක්සෙරුවකට එලැඹුනාට නිසැකය. රාජ්‍ය නොවන සංවිධාන මුහුණ පා ඇති ගැටළු සාකච්ඡා කරනු වස් එදින සවස ඇමෙරිකානු තානාපතිද, යුරෝපීය දුත කණ්ඩායමේ ප්‍රධානියාද, නෝර්වීජියානු තානාපති කාර්යාලයේ දෙවැනියාද (DCM) ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ හමුවූහ. සුදු ජාටිකයන් පිරිසට සාවධානව සවන් දුන් ජනාධිපතිගේ සහෝදරයා කීවේ එදින උදෑසනඑක්සත් ජාතීන්ගේ නිත්ය නියෝජිතයා සමඟ ගැටළුව සාකච්ඡා කල බවත්, මින් මතුවට උතුරට යන එක්සත් ජාතීන්ගේ වාහන හා දූතයන්ගේ තොරතුරු කලින් දිනයේ ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දීමට ඔහු එකඟ වූ බවත්ය. එම වාහන සාමාන්‍යයෙන් කෙරෙන ‘දැඩි පරීක්ෂාවට’ භාජනය නොවනු ඇත. මැදවච්චියේ මුරපොල තාවකාලික විධිවිධානයක් බවද හේ කීය. ඇමෙරිකානු තනාපති පෞද්ගලකව ඇති කොටගත් හැඟීම නම් යුද කලාපයන්හි තොරතුරු හෙලිකිරීම නිසාත්, මාන හිමිකම් කඩකිරීම් විවේචනය කිරීම නිසාත්, ජාතිකවාදී ජේවීපීයේ බලපෑම නිසාත් ලංකාණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන වල කටයුතු වලට අවහිර කරන බවයි. ඉදිරියේදී මේ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි හේ 08COLOMBO177_a කේබල් පණිවුඩයෙන් වොෂින්ටනයට දැනුම් දුන්නේය. මාර්ත් 11 දා නැගෙනහිර පැවති මැතිවරනයේ ජය රජයෙ අනුග්‍රහය ලත් හිටපු කොටින්ට හිමිවිය. මෙය සාමාන්‍ය තත්වයක් යටතේ පැවති මැතිවරණයක් නොවන බව සැබෑ වුවද මධ්යස්ථව බැලූ කල දිගු කලක් යුද්දයෙන් බැට කෑ මෙම ප්‍රදේශ වල සිවිල් පාලනය ස්ථාපිත කිරීම සඳහා කිසියම් හෝ ප්‍රවේශයට යොමුවීම එල්ටී ටී ඊ අණසක යටතේ හෝ හමුදා අධිකාරිය යටතේ පැවතීමට වඩා යහපත් විය. එහෙත් විදේශ නිරීක්ෂකයන් මෙන්ම දේශීය පාර්ශ්වද චෝදනා කලේ මැතිවරණය සාදාරන නුවූ බවකි. එය සැබෑය. ගැටළුව නම් එල්ටීටීඊ පාලනය යටතේ නිහඬව සිටි සියළු දෙනා දැන් සියළු දෑ එක් රැයකින් අපේක්ෂා කිරීමයි. අනිත් අතට ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ වසර ගණනාවක් සටන් කිරීමෙන් අනතුරුවත් ත්‍රස්තවාදය පරාජය කල නොහැකි වූ ඇමෙරිකාවේ තානාපතිට කුඩා ලංකාව ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදාගත් පලාතක අට මසක් තුල මැතිවරණයක් පැවැත්වීම ප්‍රශංසා කටයුතු පියවරක් ලෙස නොපෙනීම පුදුම සහගත නැත. මන්ද යත් මැසිවිලි නැඟූ බොහෝ දෙනාගේ සැබෑ කණස්සල්ලට හේතුවූයේ වාතාවරණයට වඩා එල්ටීටීඊ විරෝධීන් අතට බලය ලැබීම බව රහසක් නුවූ බැවිනි. රතුකුරුසය විසින් වැඩිම අතුරුදන් වීම් ප්‍රමානයක් වාර්තා කරනු ලැබ තිබුනේ එස්.ටී.එෆ් බලඇණිය ක්‍රියාත්මක වූ ප්‍රදෙශ වලිනි. ඔවුනට එරෙහිව නැඟුන චෝදනා සාපේක්ෂ වශයෙන් ඉහල විය. බ්ලේක් විසින් මේ ගැන විමසනු ලදුව එහෙත් ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ පැවසුවේ ත්‍රස්ත මර්දන එකකයක් වන එස්ටීඑෆ් බලඇණිය මහජනයා සමඟ ඇති සබදතාව ඉතා අඩු බවය. දිගු දුර මෙහෙයුම් වල යෙදෙන ලංකාවේ විශේෂ බලකායන් කටයුතු කරන අන්දම ගැන වාර්තාවක් එවීමටද හේ එකඟ විය. මේ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් හමුදාවේ නීති අධ්‍යක්ෂ වරිය වන මේජර් ජනරාල් මොහන්ති පීරිස් වොෂින්ටනයට එවිය හැකිබවද හේ කීය. දෙමල ජාතික මොහන්ති පීරිස් එවකට ලංකා හමුදාවේ ඉහලම නිලය දැරූ කාන්තාවයි. ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ 2007 මානව හිමිකම් වාර්තාව නිකුත් වුනේ මේ අතර වාරයේදීය. විය යුතු පරිද්දෙන්ම එහි අන්තර්ගතය ලංකාවට ඉතා අහිත කරවිය. හදිසි කැදවීමක් මාර්තු 14 දා බාරොන් ජයතිලක මාවතේ විදේශ ආමාත්යාංශයට ගිය තානාපති බ්ලෙක් දුටුවේ බෝගොල්ලාගම කෝපයෙන් සිටි බවයි. වාර්තාව සමන්විත වන්නේ ලංකාණ්ඩුව සමඟ සන්නිවේදනයෙන් තොරව අන්තර්ගත කෙරුන ව්‍යාජ තොරතුරු වලිනැයි කියමින් හේ තානාපටි තැනට දෙහි කපන්නට විය. සියළු තොරතුරු ගැන සොයා බලා ඇති බවද, වාර්තාවක් ප්‍රසිද්ධ කිරිමට පෙර එහි අන්තර්ගතය සාකච්ඡා නොකිරීම වොෂින්ටනයේ පිළිවෙත බවද බ්ලේක්ද පෙරලා කියා සිටියේය. මානව හිමිකම් වාර්තාව අරබයා ලංකාණ්ඩුවේ පිළිතුර අඩංගු පිටු තුනක ප්‍රකාශනය එවෙලේම තානාපතිට භාර දෙන ලදී. එය මෙසේය. “ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමෙන්තුවේ ලංකාව ගැන වාර්තාව පදනම් විරහිතය 2007 වසරේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිකුත් කොට ඇති කරුණු විකෘති කරන ලද වාර්තාව ගැන ලංකාන්ඩුව දැඩි සැලකිල්ල හා නොසතුට පල කොට සිටී. අවාසනාවකට මෙන් එය ඔප්පු නොවූ චෝදනා, වක්‍රෝත්තීන් හා අතිශයෝක්තියෙන් නැගෙන අවලාද මාලාවක පුරුච්චාරනයකි” පසුවදා ඇමරිකානු තානාපති කාර්යාලයද සිය ස්ථාවරය සාධාරනීකරමින් ප්‍රකාශයක් නිකුත් කලද රජ්‍ය මාධ්‍ය එය වාර්තා කලේ නැත. සිද්ධියේ උණුසුම මදක් පහවූ පසු එක් නිහඩ හැන්දෑවක සංචාරක ඇමති මිලින්ද මොරගොඩ නිවිහැනහිල්ලේ තානාපති හමුවුයේ මානව හිමිකම් වාර්තාව නිසා ජනාධිපති හා ආරක්ෂක ලේකම් විමතියට පත්ව ඇති බව පැහැදිලි කිරීමටය. එහෙත් භෙදය නිරාකරනය කිරීමෙහිලා ඔහුගේ වෑයම නිරර්ථක වූයේ ආණ්ඩු දෙකම සිය ස්ථාවරයන් වෙනස් කිරිමට සූදානම් තත්වයක පසු නුවූ හෙයිනි. සිද්ධියෙන් අනතුරුව ඇමෙරිකාව ලංකාණ්ඩුව අරබයා වඩාත් දැඩි පිලිවෙතකට එලැඹි බව පැහැදිලි වූයේ ඔවුන් තම න්‍යාය පත්‍රයට ළමා සොල්දාදුවන් පිළිබඳ ගැටළුවද එක් කිරීම නිසාය. මාර්තු 18 දා අධිකරන ලේකම් සුහද ගම්ලත් හමුවූ බ්ලේක් රජයට පක්ෂපාතී දමිල අර්ධ මිලිටරි කණ්ඩායම් (පිල්ලෙයාන් කණ්ඩායම මින් අදහස් කෙරින) වල සිටින බාලවයස් කාරය සෙබළුන් අරබයා ගත් පියවර පිළිබද විමසා සිටියේය. මේ කරුන අරබයා එල්ටීටීය කෙරේ මේ දක්වාත් දැඩි පිළිවෙතක් ඔවුන් විසින් අනුගමනය කොට නොතිබීමද මෙහිදී කැපී පෙනේ. කෙසෙ වුවද ජේවීපිය මෙම කරුන අරබයා පසුවූයේ පිල්ලෙයාන් පාර්ශ්වයේ ළමා සොල්දාදුවන් විසුරුවා හැරිය යුතුය ස්ථාවරයේය. එමෙන්ම පිල්ලෙය්යන් පාර්ශ්වය මැයි මස පළාත්සභා මැතිවරනයට පෙර නිරායුද කල යුතු බවද ඔවුහු කියා සිටියහ. නැගෙනහිර පළාත්සභාවට තරඟ කිරීමට සූදානමින් පසුවූ සෙසු පක්ෂ මෙන්ම ජේවීපීය ද සාමකාමී මැතිවරණයක් අපේක්ෂා කලේය. ප්‍රචණ්ඩ කාරී වාතාවරනයක මැතිවරන පැවැත්වීමේ රඟ එය 88-89 දී අත්දැකීමෙන් දැන සිටියේය. මෙනයින් බලන කල පිල්ලෙයාන් සන්නද්ධව සිටීම තර්ජනයක් නුවූයේ ආන්ඩුවට පමණි. එහෙත් පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වූද ආකර්ෂණීයතම කථිකයාවූද විමල් වීරවංස මේ කරුණු අරබයා ජනාදිපතිවරයා හා සමාන්තර සථාවරයන් හි පසුවීම නිසා ඔහු හා සෙසු නායකයන් අතර භෙදයක් පැන නැඟින. පක්ෂයේ සම්ප්‍රදයන්ට නොගැලපෙන තරම් රාජපක්ෂ වරුනට සමීප වීම ගැනද ඇතුලත තොරතුරු රජයට දීම ගැන චෝදනා ඔහුට තිබිණ. ඔහු ජේවීපිය රජයේ අනුශාඛාවක් බවට පත් කරනු ඇතැයි ඇතැම්හු සැක කලහ. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට මධ්‍යම කාරක සභාව මාර්තු 21 දා රහස් තීරණයක් ගෙන තිබූ බවත් එය මැතිවරණයට පසු ප්‍රකාශ කිරිමට නියමිතව තිබූ බවත් කියති. කෙසේ වුවද අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුවෙදී හැඟුම් බර ප්‍රකාශයක් කරමින් පක්ෂය වියලි නිලධාරිවාදයකට හසුව ඇතැයි චෝදනා කල වීරවංස තවත් මන්ත්‍රී කණ්ඩායමක් සමඟ ජේවීපියෙන් වෙන් විය. පසුවදා තකහනියේ බ්ලේක් හමුවූ විපක්ෂ නායක වික්‍රමසිංහ කියා සිටියේ මේ සමඟ ජේවීපිය දුර්වල වුවද එහි ස්ථාවරය වෙනස් වනු ඇති බවයි. ජේවීපීය යුද්දය අරබයා නිරතුරුව ආණ්ඩුව සමඟ එක්වීමත් දැඩි ජාතිවාදී ස්ථාවරයක පසුවීමත් ඔහුට මහත් හිසරදයකි. මේ කරුණ පිළිබද බොහෝ ඇසූ පිරූ තැන් වික්‍රමසිංහ එදා ඇමෙරිකානු තානාපතිට කල ප්‍රකාශය සියයට සියයක් නිවැරදි බව කාලයා විසින් ඔප්පු කොට හමාරය. කෙසේවුවද භේදයේ අතුරු ඵලය වූයේ මේ තාක් ජේවීපියේ කොඳුනාරටිය වූ දැවැන්ත සිංහල බෞද්ධ පදනම ඔවුනට අහිමි වීමත් ජනාධිපති රාජපක්ෂ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයෙ එකම නියෝජිතයා බවට පත්වීමත්ය. වීරවංසට ඔවුන් ගොණුකොට ගැනීමේ ධාරිතාවක් නොවූ බැවින් මෙම බලවේගය ජනාධිපති රාජපක්ෂගේ පහසු ගොදුරක් වනු ඇතැයිද එය ඉදිරි මැතිවරණ වලදී තමාට බිහිසුනු තර්ජනයක් වනු ඇතැයිද පාර්ලිමේන්තුවේ බලය ගැන පමනක් තකා කටයුතු කල වික්‍රමසිංහ කිසිදා නොසිතන්නට ඇත. ජේවීපීයට මෙහිදී සිදුවූ විශාලතම වරද වූයේ වීරවංශ බැහැර කිරීම නොව නුසුදුසු මොහොතක කෙරුන පිළිවෙත් මාරුව හා ඊට සමගාමීව සියළු අනුගාමිකයන්ද කීකරු ලෙස තමා අනුගමනය කරනු ඇතැයි කෙරුන නුසුදුසු උපකල්පනයයි. සිය ඓතිහාසික උරුමය රඳාපවතින යුද්ධය වෙනුවෙන් ජීවන වියදම මෙන්ම රාජපක්ෂ පාලනයේ සෙසු සිත් පාරවන සුළු වැරදි හා අඩුලුහුඬු කම් සියල්ල සුහද සිතින් ඉවසා විඳදරාගත් සිංහල බෞද්ධ ජාතිකවාදය යනු සංස්කෘතිය හා ආගම සමඟ බැඳුන හැඟීමක් මිස හුදු දේශපාලන මතිමතාන්තරයක් නොවීය. ඇමෙරිකානු තානා පති තැනගේ අපේක්ෂාව වූයේ දැන් ලංකාණ්ඩුව කලමණාකරණය කිරීම වඩාත් පහසු වනු ඇති බවයි.

Chamara Siriwardene Photos

Foreign Minister with Ambassadors Opposition leader protesting to disarm paramilitary groups in Eastern province Eastern Province polls

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (6) - සිවිල් යුද්ධය අනපේක්ෂිත ලෙස නිමාවේ

කොළඹ ඇමෙරිකානු තනාපති බ්ලේක් වොෂින්ටනය සමඟ කල කේබල් පණිවුඩ තුලින් පෙනී යන්නේ එදා සිංහල ජාතිකවාදී බලවේග වල දැඩි බලපෑම නොවන්නට සුළු හමුදාමය නොවන වරදාන යටතේ රාජපක්ෂ පාලනය පාලනය ඉතා පහසුවෙන් තවත් සටන් විරාමයක් සදහා පොලඹවා ගැනීමට හැකිවනු ඇති බවට ඔවුන් සිතූ සෙයකි. එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබ සිටියද, කලාපීය දේශපාලනයේ දුරස්ථ පාලකයක් ලෙස යොදාගත හැකිව තිබූ එය සිය අභිමතය පරිදි පුනරුත්ථාපනය කලමණාකරනය කිරීමෙහිලා මිස එය මුළුමනින්ම විනාශ කිරීමේ අභිමතාර්ථයක් ඔවුන් තුල නොතිබිණ. මුජහිදීන් අල් කයිඩා හා තලෙබාන් කල්ලි වල නිර්මාපකයා CIA සංවිධානය බවත් ඔවුන් අදටද ISIS සංවිධානය අරබයා ඒ හා සමාන ආකල්පයක් දරන බවද අප අවබෝද කොටගත යුතුය. ප්රාචාරක හේතූන් මත ‘ගෝලීය ත්රස්තවාදයට එරෙහි යුද්ධය’ යන මැයෙන් ප්‍රකාශ කෙරුනද, ත්රස්තවාදීන් ලෙස සැබවින්ම සලකනු ලැබූයේ ඇමෙරිකානු අභිමතයට තර්ජනයක් විය හැකි සංවිධාන මිස ඒ ඒ රටවල වාර්ගික අරමුණු මත සටන් වැදුන කණ්ඩායම් නොවන බවත්, රාජ්යතාන්ත්රිතක හේතූන් මත ත්රස්තවාදී කණ්ඩායම් ලෙස ලයිස්තු ගත කෙරුන සියළු කණ්ඩායම් වලට එරෙහිව සටන් වැදී සතුරන් ඇතිකොටගැනීමේ උවමනාවක් වොෂින්ටනයට කිසිදා නුවූ බව නොරහසකි. එහෙත් රාජපක්ෂ පාලනය පිළිබඳ 2008 ඔවුන් තුල වූ තක්සේරුව නිවැරදි නොවන බව පෙනී ගියේ යුද තේමාව යටතේ පුළුල් ජාතිකවාදී බලවේගය ද රාජපක්ෂ විසින් නොපමාව තම ග්රහණයට නතු කොටගනු ලැබීම නිසාය. මේ හේතුවෙන් 2008 වසර අවසන් වන විට ඔහු පෙර නුවූ විරූ තරම් දේශපාලන වශයෙන් ශක්තිමත් වූ අතර සිය සහෝදරයාගේ මෙහෙයවීමෙන් උතුරේ හමුදාව අත්පත් කොටගත් සීග්ර ජයග්රහන මාලාව ඔහුගේ ජනප්රි යතාව විශාල ලෙස ඉහල නැංවීමට සැපයූවේ ඉමහත් රුකුලකි. යුද්ධය වෙනුවෙන් සියළු දුක් කම්කටොළු දරා ගැනීමට සිංහල ජන සමාජය තුල වූ සූදානම ගැන රොබර්ට් බ්ලේක් විශේෂයෙන් සඳහන් කොට ඇත. බටහිර බලවතුන් විස්මයට පත් කරවමින් මුලතිවු කරා දිශා කිහිපකින් හමුදාව ලඟා වෙමින් සිටි 2009 අපේල් මස 10 දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්-කී-මූන් ට එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති කොන්ඩලීසා රයිස් ගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබිණ. ඊට මාතෘකාව වූයේ ලංකාවේ යුදමය වාතාවරණයයි. එල්ටීටීය නියත වශයෙන්ම පරාජය වනු ඇති බවට ජාත්යින්තර බුද්ධි අංශ විසින් තහවුරු කොටගෙන තිබූ මේ මොහොතේ සිවිල් වැසියන්ගේ තත්වය බැරෑරුම් බවට පලවූ වාර්තා ගැන සිය අවධානය යොමුකල ආචාර්ය රයිස් වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාව සදහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමේ අවශ්ය තාව අවධාරණය කොට සිටියාය. ඈ වැඩිදුරටත් එහිදී පෙන්වා දුන්නේ කොටුවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීම සදහා සටන් විරාමයක් ද, තෙවන පාර්ශ්වයකට අවි භාරදීමෙන් අනතුරුව එල්ටීටීඊයට පොදු සමාවක් ද සඳහා සාකච්ඡා කිරීම නව තනතුරේ වගකීම විය යුතු බවත්, තනතුර සඳහා එක්සත් ජාතීන්ගේ මාණ්ඩලක ප්රීධානියා වූ විජේ නම්බියාර් වඩාත් සුදුසු බවත්ය. ඇගේ 09USUNNEWYORK393_a දරන කේබල් පණිවුඩයෙන් හැඟෙන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා මේ අරබයා වොෂින්ටනයේ උපදෙස් මත කටයුතු කල බවයි. අප්රේල් 21 දා මහ බැංකු අධිපති අජිත් කබ්රායල්ට කරුණු පැහැදිලි කල අමෙරිකානු තානාපති රොබර්ට් බ්ලේක් ලංකාව විසින් මූල්ය අරමුදලින් අපේක්ෂා කල හදිසි ණය ආධාරය සඳහා මෙම තත්වය බලපානු ඇති බවට අනතුරු අඟවා සිටියේය. ණය මුදල අරබයා වොෂින්ටනයේ ස්ථාවරය හා තමා මුළුමනින්ම එකඟ වන ඊලඟ සති‍යේ කැනඩාව හා ජර්මනියද කියා සිටියහ. එසේ වුවද මේ මොහොතේ ලංකාවට ණය ආධාර වෙනුවෙන් දේශපාලන කොන්දේසි පැනවීම අරබයා යුරෝපා සංගමය තුල එකඟත්වයක් නොතිබිණ. කෙසේ වුවද දැඩි බලපෑම් හමුවේ අපේල් 27 දා මධ්යා.හේනයේ සිට බර අවි භාවිතය හා ගුවන් ප්රහාර අත්හිටුවවන බවට ප්රකකාශ කිරීමට ජනාධිපති රාජපක්ෂට සිදුවිය. දෙදිනකට පසු හදිසි සාකච්ඡාවක් සඳහා බ්රිතාන්ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්රංශ විදේශ ඇමති කෝච්නර් ඇතුළු ඉහල පෙලේ යුරෝපීය දූත කණ්ඩායමක් මෙරටට සැපත් වූහ. එහෙත් ලංකා බලධාරීන් වෙතින් පළවූයේ සැකමුසු හා සතුරු ප්රතිචාරයකි. දූත පිරිසේ සාමාජිකයකු වූ ස්වීඩ්න විදේශ ඇමති ට රටට ඇතුළු වීම සඳහා වීසා ලබාදීම පවා කොලඹ රජය ප්රතික්ෂේප කලේය. මෙය මෑතකදී ඇමෙරිකාව විසින් ඉරාන විදෙශ ඇමතිට වීසා නිකුත්කිරීම ප්රතික්ෂෙප කිරීමට සමානය. ගැටුම් අත්හිටුවා වහා සටන් විරාමයක් ඇති කොටගන්නා මෙන් යුරෝපීයයන් කල ඉල්ලීම බැහැර කල ජනාධිපති රාජපක්ෂ එවැන්නක ප්රතිඵලය පරාජය හමුවේ සිටින එල්ටීටීය ශක්තිමත් වීම පමනක් බව තර්ක කල අතර මෙම ගැටළුවට GSP සහනය හා යෝජිත IMF ණය මුදල ඈඳා ගැනීම ගැන සිය කණස්සල්ල පල කොට සිටියේය. යුරෝපා සංගමයේ මීලඟ සභාපති ධූරයට පත්වීමට නියමිත ස්වීඩ්න් විදේශ ඇමතිට වීසා ලබා නොදීමෙන් තත්වය වඩාත් උග්ර අතට ඇරෙනු ඇතැයි මිලිබෑන්ඩ් කී කල රාජපක්ෂ ඊට උපහසාත්මකව සිනාසුනේය. රජයේ පොරොන්දුව නොතකා ලංකාවේ හමුදාව තව දුරටත් බර අවි භාවිතා කරන බවත්, විපතට පත්වන දමිල සිවිල් වැසියන්ගැන නොකඩවා වාර්තා ලැබෙමින් පවතින බවට යුරෝපීයයන් කල පැමිණිල්ල හිතළුවක් බැහැර කරන ලදී. සිංහලයන් එහිදී දැඩි ලෙස කියා සිටියේ එල්ටීටීඊ බලපෑම යටතේ නිකුත් වන සංඛ්යා ලේඛණ පිළිගැනීමට තමා කොහෙත්ම සූදානම් නැති බවයි. මෙවන් දැඩි ප්රතිචාරයකට යුරෝපීයයෝද සූදානමින් නොසිටියහ. ඇමෙරිකානුවන් වඩාත් උරණ වූයේ Lanka Logistics and Technologies Ltd නම් ආයතනය හරහා උතුරු කොරියාවේ KOMID ආයතනයෙන් රොකට් වෙඩි මිලදී ගැනීමට ලංකාව සූදානම් වන බවට ලද බුද්ධි තොරතුරක් නිසාය. ආචාර්ය අහමඩ්නෙජාඩ් හා රාජපක්ෂ අතර වූ සමීප සබඳතාව මත ඉරානයේ IRGC බලඇණියේ කාර්යාලයක් මෙකල කොලඹ ක්රිමයාත්මක වූ බවද, ටෙහෙරානයේ (MODLEX)ආයතය විසින් නාවුක රොකට් සැපයිම සඳහා ඩොලර් මිලියන 11.5ක මිල කියුමක් කොලඹට එවා තිබූ බවත් CIA සංව්ධානය දැන සිටියේය. බ්රිතාන්යයේ උවමනාව මත ලංකාවේ තත්වය අරබයා සාකච්ඡා කිරිමට මැයි 13 දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් විය. මෙහි විශේෂත්වය වූයේ එම සැසිය නියෝජනය එල්ටීටීඊයට හිතවත් ලෙස සැලකුන Caritas, Save the Children, Oxfam and Human Rights Watch යන උතුරේ රාජ්ය නොවන සංවිධාන නියෝජිතයන් වහා ක්රි යාමාර්ගයක් ගනා ලෙස ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටීමය. (කොන්ඩලීසා රයිස් වෙනුවෙන්) ලක් රජය දැඩි ලෙස විවෙචනය කල මිලිබෑන්ඩ් මැදිහත් වීමක් යෝජනා කල අතර ඇමෙරිකාව ප්රංශය මෙක්සිකෝව උගන්ඩාව හා ක්රෝඒෂියාව ඊට පක්ෂ වූහ. රයිස් කෝපගන්වමින් ලංකාවේ ප්ර ධාන අනුග්රා‍හකයා වූ චීනය මෙහිදී කියා සිටියේ උතුරේ තත්වය දැන් වඩාත් යහපත් බවයි. මෙය ලංකාවේ අභ්යකන්තර ගැටළුවක් බවත් පලස්තීනයේ හට ගත් වඩා බරපතල තත්වයන් ආරක්ෂක කවුන්සිලය විසින් නොතකා හැර ඇති බවින් මැදිහත්වීමේ කිසිදු උවමනාවක් නැතැයි රුසියාවේ සර්ගෙයි ලැව්රොිව් ද කියා සිටියේය. තීරණයකින් තොරව අවසන්වූ එම රැස්වීමෙන් පසු කොන්ඩලීසා රයිස් සමඟ සාකච්ඡාවක යෙදුන මිලිබෑන්ඩ් ගේ අදහස වූයේ ලංකා පාලකයන් ‘බොරු කාරයන්’ බවත්, ඉහල යමින් ඇති සිවිල් ජීවිත හානිය ගැන රජය වගකිව යුතු බවත්ය. IMF ණය මුදල ලංකාවට සැපයීම ගැන වැඩිදුරටත් සිතා බැලිය යුතු බව රාජපක්ෂ සමඟ දෙසතියකට පෙර කල සාකච්ඡාවෙන් පසු අමනාපයෙන් පසුවූ ඔහු වැඩිදුරටත් කීය. වරක් යටත් විජිතයක් වූ කුඩා ලංකාව විසින් මහා බලවත් බ්රිතාන්යය මෙසේ සුළුකොට තැකීම තෙදැති ඉංග්රීසීන්ට මහ මදිකමකි. දෙදිනකට පසු ආරක්ෂක මණ්ඩලය ලංකාව අරබයා විවාදයක් කැඳවීමට සූදානම් වූ අවස්ථාවේ චීනය හා වියට්නාමය ඊට එරෙහි වූහ. උතුරේ මානුෂීය කේදවාචකය පිළිබඳ නිළ නිවේදනයක් නිකුත් කිරීමට පමණක් අවසානයේ එකඟත්වයක් ඇති වුවද, කොන්ඩලීසා රයිස් පසුව ප්රකාශ කලේ එම නිවේදනය තුල එල්ටීටීඊයේ තස්තවාදී ක්රියා තරයේ හෙලාදැකිය යුතු බවත්, ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට කොලඹ රජයට ඇති සුජාත අයිතිය පිළිගත යුතුබවටත් රුසියානුවන් ඉදිරිපත් කල ‘විනාශකාරී’ කොන්දේසීය නිසා එහි අගය බෙහෙවින් හෑල්ලු වූ බවයි. මුලතිවු වෙරල තීරය ඔස්සේ උතුරින් හා දකුණින් එකිනෙක මුහුන ලා ගමන් කල බලසම්පන්න හමුදා කණ්ඩායම් දෙකක් මැයි 14 දා මධ්යාෑහේනයේ එකිනෙක හමු වීම නිසා මුහුදු මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර මුදා නොගත් පෙදෙස වටා සම්පූර්ණ වූ හමුදා වලල්ල හේතුවෙන් එල්ටීටීය මුළුමනින්ම කොටු විය. හමුදාවේ තක්සේරුව වූයේ ප්රභාකරන් මෙම ප්රීදේශය තුල සැඟවී සිටින බවයි. ප්ර්දේශයෙන් වාර්තාවූ මහා පරිමාණයේ පිපිරීම් රජය විසින් අර්ථ කථනය කරන ලද්දේ එල්ටීටීඊට පෙරමුණ බල ඇණි වෙත එල්ල කල මරාගෙන මැරෙන ප්රහාර ලෙසිනි. ප්රභාකරන් සිය දිවි නසා ගත් බව ඇතැම්හු අනුමාන කලහ. රතු කුරුසය මෙ අතර පුන පුනා කියා සිටියේ සිවිල් වැසියන්ගේ තත්වය ඇදහිය නොහෙන තරම් ඛේදජනක බවය. ආහාර ද්රව්ය හා බෙහෙත් වල දැඩි හිඟයක් පැවති අතර ප්රදේශය වටා සම්පූර්ණවූ හමුදා වලල්ල හේතුවෙන් පිටතින් සැපයුම් ගෙන ඒම අසීරු විය. එල්ටීටීඊ පාලන ප්රදේශය වර්ග කිලෝමීටරයකට සීමා වූ මැයි 16 දා ලහිලහියේ ලංකාවට පැමිණී එක්සත් ජාතීන්ගේ විෂේශ නියෝජිත විජේ නම්බියාර් ප්රදේශයේ කොටුවී සිටි බව කියැවුන තවත් සිවිල් වැසියන් දස දහස් ගණනක් මුදා ගැනීම සඳහා රතුකුරුසයට එම ප්රදේශයට මුහුදින් ඇතුළු වීමට ඉඩ දෙන කල ඉල්ලීම බැසිල් රාජපක්ෂ විසින් ප්රේතික්ෂෙප කරන ලදී. ඔහු නම්බියාර්ට පෙන්වා දුන්න් ගතවූ දින කිහිපයේ රතු කුරුසය විසින් සිවිල් වැසියන් නිදහස් කිරීමට එල්ටීටීඊය නම්මා ගැනීමට ක්රියා කොට නැති බැවින් දැන් ඔවුන්ගේ මැදිහත් වීමක් අනවශ්ය බවය. හමුදාව මෙන්ම දකුණෙ ජනයාද සැක කලේ මෙය කොටුවී සිටි එල්ටීටීඊ නායකයන් ගලවා ගැනීමේ අවසන් උප්පර වැට්ටියක් විය හැකිබවයි. එදින රැයේ සැටලයිට් දුරකථයකිනින් නෝර්වීජීයානු තානාපති අමතා තෙවන පාර්ශ්වයකට අවිභාරදී යටත් වීමට එල්ටීටීඊය සූදානම් බවට පණිවුඩයක් එවා ඇති බව ඇසූ ඇමෙරිකානු තානාපති බ්ලේක් වහා ආරක්ෂක ලේකම් වරයා හමුවී ශමථයක් ඇති කොටගැනීමට කටයුතු කරන මෙන් උදක්ම ඉල්ලා සිටියේය. එහෙත් සටන අවසන් වෙමින් පැවති බැවින් ‘දැන් ඊට පමා වූවා වැඩි’ යැයි පැවසූ ආරක්ෂක ලේකම් කියාසිටියේ එල්ටීටීඊ නායකයන් යටත්වීමට කැමති නම් තවම ඊට අවස්ථාව ඇති බවයි. යටත් වීමට සූදානම් නායකයන්ගේ ලයිස්තුවක් තමාට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ කටය්තු කල හැකි බව හේ වැඩිදුරටත් කීය. මැයි 17 හිමිදිරියේ නැවත සටන් ඇවිලින. පසුවදා වැටලීම බිද දමමින් කලපුවේ සිට මුලතිවු කැලය දෙසට පලා යාමට තැත් කල එල්ටීටීඊ සාමාජිකයන් 200ක් පමණ මරාදමනු ලැබ ඇති වගට වාර්තා පලවිය. ඔවුනතර ප්ර්භාකරන් ගේ වැඩිමහල් පුත්ර යා ද සිටියේය. යාපනයේ මන්ත්රී වරයකු වූ ගජේන්ද්ර්කුමාර් පොන්නම්බලම් කියා සිටියේ පැය විසි හතර තුල 3000ක් මිය ගොස් ඇති බවත්, තවත් එල්ටීටීඊ නායකයන් යටත් වීමට කැමැත්තෙන් සිටින බවත්ය. කෙසේ වුවද බ්රිතාන්ය මාධ්ය වේදිනියක වූ මාරී කොල්වින් පැවසුවේ 17 දා රැයේ සැටලයිට් දුරකථනයකින් තමා ඇමතූ නඩේසන් ආරක්ෂාව ගැන බ්රිතාන්ය හා ඇමරිකානු සහතිකයක් ලැබෙන්නේ නම් යටත් වීමට එල්ටීටීය සූදානම් බව කියා සිටි වගකි. තමා මෙම පණිවුඩය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නම්බියාර් දැනුවත් කල බවත්, ඔවුන්ට සුදු කොඩි රැගෙන පැමින යටත් විය හැකි බවට ජනාධිපති රාජපක්ෂ එකඟ වූ බවත්ය. එසේ පැමිණි නඩේසන් හා පුලිදේවන් ඇතුළු නායකයන් රැසක් ඝාතනය කල බවට චෝදනාවක් තැන තැන රැවු පිළිරැවු දුන්නේය. එහෙත් මාරි කොල්වින් එල්ටීටීඊ හිතවාදී මාධ්යස වේදිනියක් බවද, ඈ විසින් දුන්නේ යැයි කියැවෙන පණිවුඩය පිළිබඳ කිසිදු රාජ්ය තාන්ත්රික විදුලි පුවතක සටහන් ව නැති බවද සැලකිය යුතුය. ඇමෙරිකානු තානාපති කාර්යාල‍යේ ලේඛන වලට අනුව කලබලයට පත් තානාපති විසින් එකෙනෙහිම මේ පිලිබඳ විමසනු ලදුව විදේශ ලේකම් කොහොන ඒ චෝදනාව මුළුමනින්ම ප්ර තික්ෂෙප කලේය. කොටුවී තිබූ වර්ග මීටර් හාරසියයක පමණ බිම් කඩ තුල සිවිල් වැසියන් 60,000 ක් පමණ සිටින බවට උතුරේ තවත් බිෂොප් වරයකු සැක පහල කලද, එයද ප්ර තික්ෂෙප කල රජයේ පිළිතුර වූයේ ඉතිරිව සිටින සුළු පිරිස එල්ටීටීඊ පවුල්වල සාමාජිකයන් විය යුතු බවයි. මයි 19 වනදා ප්රරභාකරන්ගේ මල සිරුර හමුවීමත් සමඟ යුද්ධය නිල වශයෙන් අවසන් වීම එල්ටීටීඊය පුනරුත්ථාපනය කොට කලමණාකරණය කිරීමේ ඇමෙරිකානු පිළිවෙතට එල්ලවූ මරු පහරක් බව නොකිවමනාය. ලංකාවට සුභ පතා පණිවුඩයක් නිකුත් කිරීමේ අභාග්ය යට මුහුන පෑ රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන්, අවතැන් වූවන් හා දේශපාලන විසඳුමක් ගැන එහි ලා අවධාරණය කිරීමට අමතක නොකලාය. කොලඹ තානාපති රොබර්ට් බ්ලේක් මැයි 20 දා වොෂින්ටනය බලා ආපසු කැඳවන ලදී. ජනාධිපති රාජපක්ෂ හා පැවති ඔහුගේ නිල සමුගැනීමේ හමුව අප්‍රසන්න අත්දැකීමක් විය. තමා දේශපාලන විසඳුමක් සදහා කටයුතු කරන මුත් එය ජාත්යන්තර හා දේශීය ප්රජාවේ ඇතැම් කොටස් අපේක්ෂා කරන අන්දමේ එකක් නොවනු ඇතැයි ජනාධිපති අනතුරු ඇඟවූ අතර එක්සත් ජාතීන් හා රතුකුරුසය යුද්ධය තුල කටයුතු කල ආකාරය දැඩිව විවේචනය කල ඔහුගේ සහෝදරයා වූ ආරක්ෂක ලේකම් කියා සිටියේ මින් මත්තට එම නියෝජිතයන් රටේ සැබෑ තත්වය පිළිබද වැටහීමක් ඇති දේශීය පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බවයි. මලසිරරු ඉවත් කිරීමට උතුරට ඇතුළුවීමට ඉඩ දීමට රතුකුරුසය කල ඉල්ලීම ප්රතික්ෂෙප කෙරිණ. නිදහසින් පසු පළමු වතාවට යුරෝපීයයන්ට අභියෝග කල සිංහලයෝ කිසිවකු නොසිතූ ජයක් අත්පත් කොටගෙන සිටියහ. තමා මෙහෙයවීමට තැත් කල බලගතු බටහිර කඳවුරට කුඩා ලංකාව එදා කල අභියෝගය මෙන්ම අනේක රාජ්යතාන්ත්රි ක කුඩුකේඩුකම් මැද අත්පත් කොට ගත් සාර්ථකත්වය බටහිර බලවතුන්ගේ අමනාපයට බඳුන්වීමද ස්වභාවිකය. අනිත් අතට ඒකධ්රැ‍වීය ලෝකයේ එදා ඈ කල හුදෙකලා අරගලය ආසියාවේ, අප්රි කාවේ හා ලතින් ඇමෙරිකාවේ බටහිර පීඩනයට ලක්ව සිටි සෙසු කුඩා ජාතීන්ට ඉමහත් ආශ්වාදයක් වූ බවද නොරහසකි. චීනය ලංකාවේ සමීපතම මිතුරා බවට පත්වීම ඇමෙරිකානුවන්ට ඉවසුම් නොදීමද පුදුමයක් නොවේ. මැයි 20 දා රොබර්ට් බ්ලේක් ආපසු සියරට බලා කැඳවීම තුලින් ගම්යය වූයේ පශ්චාත් යුද ලංකාව අරබයා වොෂින්ටනය අනුගමනය කිරීමට අපේක්ෂා කල නව ප්රතිපත්තියයි. කලින් යුද කලාපය සොහොන් බිමක් මෙන් ප්රානීන්ගෙන් තොර බවත්, විශාල වශයෙන් ජාත්යන්තර නීතිය කඩවී ඇතිබවට සාක්ෂි ඇති බවටත් වොෂින්ටනයේ රෙකමදාරුවෙන් පත් කෙරුන නම්බියාර් විසින් ‘පමනට කලින්’ කල ප්රකාශය ඔවුන්ගේ ආකල්ප හා ඉදිරි සැලැස්ම පිළිබඳ කෙරුන ඉඟියකි. මානව හිමිකම් කවුන්සිලය හරහා උඩඟු සිංහලයන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ඇමෙරිකාවේ මීලඟ අභිප්රාය බවට සැකයක් නොතිබිණ.

Chamara Siriwardene

Sources: Wikileaks Marie Colvin and Sri Lanka War Crimes

ලංකාවේ ඇමෙරිකානු මැදිහත්වීම (7) රාජපක්ෂගේ සීතල යුද්ධය

මෑතකදී නිදහස ලද කුඩා ආසියාතික දූපතක පසුගාමී යැයි කියැවුන ජාතියක් මෑතක් වනතුරු අපරාජිත යයි සැලකුන ගරිල්ලා සංවිධානයක් මුළුමනින් විනාශ කිරීම ඇමෙරිකාවට මෙන්ම බටහිර යුරෝපයටද ගෙන දුන්නේ කෝපය මුසු මවිතයකි. මෙහිදී තම අභිමථාර්ථයන් හා උපදෙස් ලංකාවේ පාලකයන් විසින් නොසලකා හැරීම නිසා ඒ ඒ රටවල දමිල ප්‍රජාව හා ජාත්‍යන්තරය හමුවේද ඔවුනට සිදුවූ අවමානය සුළුපටු නැත. විජයග්‍රහන උලෙල ඇමතූ ජනාධිපති රාජපක්ෂ තුෂ්නිම්භූතව අසරනව සිටි දෙමල ප්‍රජාව සැනසීමට තැත් කලද, එල්ටීටීයේ බලපෑමට නතුවීම ගැන බටහිර රටවලට සෘජුවම ඇඟිල්ල දිගු කලේය. ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකය ඩයස්පෝරාව සැනසීමට තැත් කලේ ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම තුලිනි. තමාට කල අවමානයට පාඩමක් ඉගැන්වීමට ලැබෙන අවස්තාව එමඟින් ඔවුන් ලද ඵලදායී අතුරු ඵලයක් විය. සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වෙදියෙකු වූ රුවන් පෙතියාගොඩ තමාට ජීවිත තර්ජන ඇති බව පවසමින් මැයි 26 දා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් රැකවරන ඉල්ලා සිටියේය. ඔහු ජනවාරියේදී අභිරහස් ලෙස මරා දැමුන පුවත් පතේ කතෘ ලසන්ත වික්‍රමතුංගගේ සමීපතමයෙකි. ඔස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකු වූ ඔහු පසුවදා ඔස්ට්‍රේලියාව බලා පිටත් කර හරින ලදී.. එදිනම හමුදාපති සරත් ෆොන්සෙකා හා පොලිස්පති ජයන්ත වික්‍රමරත්න කියාසිටියේ සිරභාරයට පත් ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එල්ල්ටීටීය හා රහසේ සබඳතා පැවැත්වූ දකුණේ පුද්ගලයන්ගේ නම් ලයිස්තුව හෙලිවී ඇති බවයි. පසුවදා රොසෑන් ඇන්ඩර්සන්, හා පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීහූ ද ඇමෙරිකානු තානාපති නිලධාරීන් හමුවී විදෙස් දේශපාලන රැකවරණ පැතූ බව දේශපාලන නිලධාරී මූර් වොෂින්ටනයට යැවූ කේබල් පණිවුඩයේ සදහන් වේ. තෙදිනකට පසු පෝද්දල ජයන්ත මැර ප්‍රහාරයකට ලක්විය. ඒ පිළිබඳ කරුණු විමසූ ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට බැසිල් රාජපක්ෂ පැවසුවේ තම පක්ෂයේ මාධ්‍ය එකකයේ කලින් සෙවය කල ජයන්තට සිදුවූ විපත ගැන තමාද කණගාටු වන බවයි. එහෙත් යුද්ධය අතරතුර පෙන්නුම් කල හැසිරීම මඟින් ඔහු මහජනයාගේ සැකයට පාත්‍ර වී ඇති බවත් රජයට මහජන හැඟීම් පලනය කල නොහැකි බවත් හේ වැඩිදුරටත් කීය. උතුරේ අවතැන් වූවන් ගැන පෞද්ගලිකව සොයා බැලීම පිණිස ජුනි 10 දා ලංකාවට පැමිණී කැනඩාවේ ටොරොන්ටෝ පලාත නියෝජනය කල ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකු වූ බොබ් රායි කටුනායක ගුවන් තොටුපලින් රටට ඇතුල්වීමට අවසර ලැබුනේ නැත. දමිල චන්ද වෙනුවෙන් විශාල උනන්දුවක් දැක්වූ ඔහු ලංකාවේ ගැටළුවට ප්‍රමාණවත් මැදිඟත් වීමක් නොකිරීම ගැන නිරතුරුව කැනඩා රජය විවේචනය කල අයෙකි. එල්ටීටීඊ මුදල් රැස්කිරීමේ ව්‍යාපාරවලට ඔහු සහභාගීවූ බවට චෝදනා තිබිණ. මේ පිළිබඳ විමසීමට කැනේඩියානු මහකොමසාරිස් ඇන්ජෙලා බොඩ්ගන් ආරක්ෂක ලේකම්ට දුන් ඇමතුමට ඔහු පිළිතුරු නුදුන්නේය. අනතුරුව ඈ යැවූ කෙටි පණිවිඩයට ලද ප්‍රතිචාරය සිත් රිදවන සුළු විය. “අපි ඔහුගේ පසුබිම ගැන දන්නවා. එල්ටීටීඊ හිතෙෂියෙකුට රටට ඇතුල්වෙන්න දෙන්න බැහැ” අනතුරුව විදේශ ලේකම් කොහොන කැනෙඩියානු මහ කොමසාරිස් කාර්යාලයට දෙනුම් දුන්නේ කැනඩා පාර්ලිමෙන්තුවේ බොබ් රායි ව්සින් ලංකාවට එරෙහිව කල ප්‍රකාශ ඉල්ලා අස්කොට ගැනීමේ ප්‍රකාශයකට අත්සන් තැබීමට සූදානම් නම් පමනක් ඔහුට රටට ඇතුළු වීමට අවසර දිය හැකි බවයි. එහෙත් උතුරේ අවතැන් කලාප වලට යාමට ඔහුට අවසර දීම ආරක්ෂක අමාත්‍යාංශය දුෂ්ඨ ලෙස ප්‍රතික්ෂෙපකලේය. ඩයස්පෝරා නියෝජිතයකු ලෙස පැමිණි බව පැහැදිලිවම පෙනුන බොබ් රායි පෙරලා යන්නට ගියේය. ඊලඟ සතියේ එක්සත් ජාතින්ගේ මෙහෙවරේ ද්‍රවිඩ ජාතික රියැදුරන් දෙදෙනෙකුද සිරභාරයට ගන්න්නා ලදී. යුද සමයේ කොළඹට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනයට සහාය වීම ගැන ඔවුන් බලධාරින්එ සැකයට ලක්ව තිබිණ. උතුරේ ජන සංහාරයක් සිදුවීයැයි දමිල ඩයස්පෝරාව හා ඇතැම් කණ්ඩායම් ද මැසිවිලි නැඟුවද, රතු කුරුසියේ මතය වූයේ බොහෝ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වුවද ජනසංහාරයක් (Genocide) සිදු නුවූ බවය. එපමණක් නොව ජුලි 14 දා ජිනීවාහි මානව හිමිකම් නියෝජිතයන්ගේ රැස්වීමේදී එය ලංකාවේ හමුදාව විටෙක පැසසුමට ලක් කලේ, සිවිල් වැසියන් ගැන මුළුමනින්ම නොතකා කටයුතු කලේ නම් ඔවුන්ට වඩාත් අඩු හානියකින් වඩාත් ඉක්මන් ජයක් ලබා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව පෙන්වා දෙමිනි. සිවිල් වැසියන්ට හානි වන බවට තමන් කල දැනුම් දීම් වලින් පසුව හමුදාව ෂෙල්වෙඩි හා රොකට් ප්‍රහාර අත්හිටවූ අවස්ථා කොතෙකුත් ඇති බව රුතුකුරුසිය කීය. එහෙත් සහන සැලසීමේ වැඩ පිළිවෙලට බාධා කිරිම ගැන ලංකා රජය එහිදී දැඩි දෝෂ දර්ෂනයට ලක්විය. කෙසේ වුවද එහිදී මානව හිමිකම් නියෝජිතයන් අනතුරු අඟවා සිටියේ කොලඹ පාලනය තවදුරටත් කුපිත කරවීම තුලින් ලද හැකි එකම ප්‍රතිඵලය තම සහන සේවා කටයුතු වඩාත් බාධා එල්ල වීම පමණක් බවයි. නැගෙනහිර පලාතේ කටයුතු අත්හිටුවන මෙන් රතු කුරුසියට ආරක්ෂක අමාත්‍යාශයෙන් ආඥාවක් ලැබී තිබූ අතර පැවති තත්වය අනුව සියළු විදෙස් සහන සේවා සංවීධාන ඕනෑම මොහොතක රටින් පිටමන් කිරීමට බෙහෙවින් ඉඩ තිබිණ. මෙම තත්වය යටතේ අතීතයේ ක්‍රිස්තියානි මිෂනාරින් හා බාලදක්ෂ ව්‍යාපාරය හරහාද, වර්තමානයේ රාජ්‍ය නොවන සංවිධාන හරහාද විදෙස් රට වල් තුල කටයුතු නිරීක්ෂනය කරන එක්සත් ජනපදය හා ඇගේ ඇතැම් යුරෝපීය සහකරුවන් තුල හීලා කොට නොහෙන ලංකාවේ දරදඬු පාලනය වෙනස් කරලීමෙහි ලා ආශාවක් පහලවීම ස්වභාවිකය. ගැටළුව වූයේ දකුණේ අතිශය ජනප්‍රිය රාජපක්ෂට අභියෝග කල හැකි චරිතයක් එකල ලංකා දේශපාලනය තුල නොසිටීමය. රනිල් වික්‍රමසිංහගේ සමීප මිතුරෙකු වූ ලලින් ප්‍රනාන්දු හා ජෝන් අමරතුංග ගේ බෑනා වූ දිනේෂ් වීරක්කොඩි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන මුළාදෑනියා හමුවූයේ මේ තත්වය යටතේය. රාජපක්ෂ රජය තවමත් යුද්ධාවසානයේ මධුසමය ගෙවමින් සිටියද එය ඉක්මනින්ම අවසන් වනු ඇතැයි එහිදී ඔවුහු අපේක්ෂාව පලකලහ. “ලංකාවෙ මිනිස්සුන්ට දේවල් අමතක වෙන්න වැඩි කලක් යන්නෙ නෑ” වීරක්කොඩි කීය. එහෙත් ගැටළුව වූයේ සුදුසු විපක්ෂ අපේක්ෂකයා කවුරුන්ද යන්නයි. රාජපක්ෂ සමඟ තරඟ කොට රනිල්ට ජය ගත නොහෙන බව සියල්ලෝ පිළි ගත්හ. වීරක්කොඩි එහිදී විශ්වාසය පල කලේ රනිල්ට වඩා එස් බී දිසානායක අපේක්ෂකත්වයට සුදුසු බවයි. ඇමෙරිකානුවන් දුටු අන්දමට එස්. බී දිසානායක සැහැල්ලු පැවතුම් ඇති ක්‍රියාශීලී පුද්ගලයෙකි. ජුලි 24 දා සැහල්ලු කමිසයකින් හා සරමකින් සැරසී පාවහන් රහිතව උඩ පනිමින් පඩිපේලි බැස විත් තානාපති නිලධාරීන් හමුවූ ඔහු කතා බහ අතර තුර විටෙක අවානක් අතට ගෙන මැස්සන් හඹා ගියේය. රනිල් හා කරු යන දෙදෙනාම මහජනයා අතර ජනප්‍රිය නැති බව කී හේ එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම පල කොට සිටියේය. ජුලි අගදී චීන සංවර්ධන බැංකුව (Chinese Development Bank) ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් මිලියන 25ක තැන්පතුවක් විවෘත කරමින් ලංකාව හා සමීප ආර්ථික සබඳාවකට මුල පිරීය. ආයෝජන මණ්ඩලය (BOI) අමෙරිකාවෙන් ද ඒ හා සමාන වටිනාකමක ආයෝජන අපේක්ෂා කලද එය ඵල නොදැරුනේ රාජ්‍ය අනුග්‍රහය ලත් දැවැන්ත චීන සමාගම් සමඟ කරට කර සිටීමෙහිලා අපොහොසත් ඇමෙරිකානු පුද්ගලික ආයෝජකයන් බේ වන විට අධෛර්යයට පත්ව සිටටීම හේතුවෙනි. යුද්ධයට අනලස්ව සහාය පල කල චීනය කෙමෙන් කෙමෙන් ලංකාවේ ආර්ථ්ක එකාධිකාරය අත්පත් කොට ගනිමින් සිටියාය. (මෙය රුසියාව අද සිරියාවේ අනුගමනය කරමින් සිටින පිළිවෙතට සමානය) යුද්ධයෙන් පසු බොහෝ ඉදිකිරීම් කොන්ත්‍රාතු හිමිවූයේ චීන සමාගම් වලටයි. ලතින් ඇමෙරිකාවේ දී සාර්ථක ලෙස අත්හදා බැළුන ආර්ථික පීඩනය යොදා දෙශපාලන අරමුණු ඉටු කොට ගැනීමේ සම්ප්‍රදායික වොෂින්ටන් පිළිවෙත ලංකාවේදී ඒ හැටි සාර්ථක නොවීමට මෙම චීන මැදිහත් වීම බොහෝ දුරට බලපෑ බව පෙනේ. මෙම තත්වය පාලනයේ ඉක්මන් වෙනසක් දැකීමේ ස්වභාවික අමෙරිකානු ආශාව තීව්‍ර අභිලාෂයක් බවට පත් කලාට නිසැකය. එහෙත් එය එතරම් පහසු නොවන බව පෙනී ගියේ අගෝස්තු 8 දා පැවති පලමු පශ්චාත්-යුද මැතිවරනයේ ප්‍රතිඵලයයි. රාජපක්ෂ සෙසු විපක්ෂ කණ්ඩායම් අභිභවමින් ඌවේ දැවැන්ත ජයග්‍රගනයක් ලබා ගත් අතර උතුරේ පැවැති සීමිත නාගරික මැතිවරණ වලදී පමණක් එල්ටීටීඊයේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස ඉදිරිපත් වූ දෙමල ජාතික සන්ධානය ඉදිරියෙන් සිටියේය. වඩාත් විශේෂිත කරුණ වූයේ පුරා හතලිස් වසරක් තමාට ආවේණික ජාතිකවාද් දේශපාලනය අතහැර උතුර යලි ගොඩනැඟීම හා ජනවාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාදීම යන වඩාත් ලිබරල් වාදී මැයෙන් මැතිවරනයට තරඟ කල ජවිපෙට ඒ තාක් තම දැවැන්ත බලකණුවක් වූ මොනරාගල දිස්ත්‍රික්කයෙන් එවර ඉතා අඩු ඡන්ද ප්‍රමානයක් වාර්තා කිරීමයි. ඡන්ද විමසීමට පැය කිහිපයකට පොරොතුව එල්ටීටීඊයේ අවසන් ඉහල නායකයා මෙන්ම සැපයුම් ප්‍රධානියා වූ කුමාරන් පත්මනාදන් හෙවත් කේපී මැලේසියාවේදී ශ්‍රීලංකා බුද්ධි අංශ විසින් විස්මය ජනක ලෙස පැහැර ගනු ලැබ ජීවග්‍රහයෙන් කොලඹට රැගෙන ගෙන ඒමේ පුවතද මෙම මැතිවරණ ප්‍රථිඵලයට කල බලපෑමද බැහැර කල නොහේ. පුදුමයකට මෙන් අග්නිදිග ආසියාතික පාතාලයේ පුළුල් ඒජන්ත ජාලයක් මෙහෙයවූ සීඅයිඒ සංවිධානය පවා මෙම ජාත්‍යන්තර මෙහෙයුම ගැන කලින් දැන නොසිටීයේය.

Chamara Siriwardene Sources: Wikileaks AFP - May 24, 2011 UN tried 'to help Tamil Tigers flee': report Chinese investments in Asia

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (08) - යුද අපරාධ වාර්තාව

ලොව පුරා ඇමෙරිකානු උවමනා එපාකම් වලට අකුල් හෙලන්නන් පිළිබඳ දැඩි ස්ථාවරයක් දැරූ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සැප්තැම්බරයේදී කොළඹ තානාපති කාර්යාලයට විශේෂ ඊ මේල් පණිවුඩයක් එව්වාය. එමඟින් කියැවුනේ සුපරීක්ෂා කාරී කඳවුරු තුලට ගාල් කොට සිටින දමිල සිරකරුවන්ට හැකි ඉක්මනින් නිදහස ලබා දෙන මෙන් ලක් රජයට බලපෑම් කලයුතු බවයි. එළිමනහ් කඳවුරු තුල සිටින ඔවුන් එළෙඹෙන ඊසාන දිග මෝසම නිසා දැඩි අපහසුවට පත්වනු අතැයි ඩයස්පෝරාව විසින් ඈ දැනුවත් කරනු ලැබ තිබිණ. සැම්තම්බර් 17 දා අක්තපත්‍ර භාර දීම සඳහා පැමිණි නව ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීෂියා බියුටනිස්ට අසන්නට ලැබුනේ ඈ හා පෞද්ගලික කතාබහක නිරත වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවයි. නිල කටයුතු හා චාරිත්‍ර වාරිත්‍ර වලින් අනතුරුව ඇරඹුන මෙම සංවාදයට බෝගොල්ලාගම හා ජනාධිපති ලේකම් වීරතුංගද සහභාගී වූහ. නොසන්සුන්ව සිටි රාජපක්ෂ අමනාපයට පත්ව සිටි සෙයකි. “බුෂ් ජනාධිපති තුමා අපිව පෞද්ගලිකව උනන්දු කරා ත්‍රස්තවාදය පරාජය කරන්න කියල, නමුත් දැන් ඔය ගොල්ල ලංකාව යුද්ධ කරපු විදියෙ වැරදි හොයනව. බලන්න මේ රාජ්‍ය දෙපාර්තමේන්තු යුද අපරාධ වර්තාවෙ ලියල තියෙන්නෙ මොනවද කියල..” “වාර්තාව ඉල්ල තියෙන්නෙ කොන්ග්‍රස් එකෙන් ජනාධිපතිතුමනි. ඒකෙ අඩංගු සියළු කරුණු ගැන අතිරේක ලේකම් බ්ලේක් විදේශ ඇමති තුමා සමඟ කලින් සාකච්ඦා කරලයි තියෙන්නෙ. අනික ඒක සභාගත කිරීමත් අපි මාසයකින් කල් දැම්මා. මේ වෙලාවෙ වඩාත් වැදගත් වෙන්නෙ අවතැන් කඳවුරු වල සිටින අය වහා සිවිල් සමාජයට මුදා හැරීමයි.” තානාපතිනිය කීවාය. “ඔය කියන තරම් ඉක්මන්ට එයාල පදිංචි කරවන්න බැහැ. බිම්බෝම්බ ඉවත් කරන්න ඕන. යටිතල පහසුකම් හදන්න ඕන. (2010) ජනවාරිය වෙනකොට නම් සීයට හැත්තෑවක් විතර අවතැන් කඳවුරු වලින් ඉවත් කරන්න පුළුවන් වේවි.” “ඉවත් කරන අය යවන්නෙ ගෙවල් වලටද නැත්නම් නැත්නම් ආසන්න ප්‍රදෙශ වල හදන කඳවුරු වලටද?” සහන සේවා කණ්ඩායම් වලට නිරීක්ෂන සීමාවන් ගෙන් එපිටට ඔවුන් රදවනු ඇත්දැයි සැකය එක්සත් ජාතීන් තුල ඇත්තේ කලක පටන්ය. “තම තමන්ගෙ ගෙවල් වලට,” බෝගොල්ලාගම කීය. එහෙත් රාජපක්ෂගේ එතනින් දෝස්මුරය අවසන් වූයේ නැත. “සුනාමිය වෙලාවෙ NGO 3000ක් ලංකාවට ආව. සමහරු LTTE යට එකතුවෙලා වැඩකරා. එහෙම වෙලත් අපි තවමත් NGO 50 කට එක්සත් ජාතීන් යටතෙ රටේ ක්‍රියාත්මක වෙන්න අවසර දීල තියනව. මෝසම ගැන දන්න නිසා තමයි අපි කලින්ම කිව්වෙ රැදවියන්ට ස්ථිර ගොඩ නැගිලි හදන්න ඕන කියල. ඒත් UN එක දුන්නෙ තාවකාලික කූඩාරම්. දැන් කියනව මෝසමෙන් රැදවියොන්ට පීඩා වෙනව කියල…” මැණික් ෆාම් කදවුරේ ස්ථිර ගොඩ නැගිලි තනන ලෙසට රජය කලින් කල යෝජනාව එක්සත් ජාතීන් ප්‍රතික්ෂෙප කලේ ස්ථිර සිරකඳවුරක් ගොඩනැඟීම සඳහා දායක වීමට නොහැකිය යන පදනම මතය. අවතැන් වූවන් අරබයා නෙගෙන ඕනෑම ගැටළුවකදී නිදහසට කරුණක් ලෙස මෙය උළුප්පා දැක්වීමට මෑතක සිට ලංකාව අමතක නොකල බව තානාපතිනිය දැන සිටියාය. “අනිත් කාරණය ත්‍රස්තවාදය විරුද්ධ අපේ යුද්දය තාම ඉවර වෙලා නැහැ. අදත් ඔවුන් පිටරවල අරමුදල් එකතුකරනවා කිසිම බාධාවක් නැතුව. ඇමෙරිකාව ඉන්න රුද්‍රකුමාරන් එයින් එක්කෙනෙක්. බටහිර ඉඳන් අපිව විවෙචනය කරන ඔය ඩයස්පෝරාකරයො කවුරුවත් අවුරුදු ගානකින් ලංකාවට පය ගහලවත් නැහැ.” තානාපතිනිය සාකච්ඡාව තුලින් ඇතිකොටගත් හැඟීම නම් කතාබහ ඉතා සුහද වාතාවරණයක් යටතේ සිදුවුවද සිය ස්ථාවරය වෙනස් කිරීමෙහිලා සූදානමක් රාජපක්ෂ තුල නැති බවය. කෙසේ වුවද සත් දිනකට පසු අතිරේක ලේකම් බ්ලේක් ලංකාවේ ආරක්ෂක ලේකම් සමඟ කල සංවාදය වඩාත් යහපත් විය. “අපිට පොඩි කාලයක් දෙන්න. මටත් ඕන ඉක්මනට මේ මිනිස්සු ගම් බිම් වල පදිංචි කරවන්න තමයි. කඳවුරු ඇතුලෙ හැමෝම ගැන ඇහැ ගහගෙන ඉන්න අමාරුයි. හිටපු එල්ටීටීඊ කාර්යො මිනිස්සුන්ගෙ ඔලුවලට විෂබීජ දානව. යලි පදිංචි කරාම මේ ප්‍රශ්න අඩුයි…” තෙමේද ඇමෙරිකානු පුරවැසියෙකු වූ ගෝටාහය රාජපක්ෂ කීය. එදිනම විදේශ ඇමති බෝගොල්ලාගම හමුවූ රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ අතිරේක ලේකම් බෲන්ස්, දිවිපාර්ශ්වික සහයෝගිතාව දියුණු කොට ගැනීම සදහා ඇමෙරිකාව සූදානම් මුත් පළමුව අවතැන්වූවන් වටා එතී ඇති ‘කටු කම්බි බාධක’ ඉවත් කල යුතු බව පෙන්වා දුන්නේය. මින් අදහස් කෙරුනේ අවතැන් වූවන්ගේ ගමන් කිරීමේ නිදහසයි. “ මගේ ගෙදර තාප්පෙ වටෙත් කටුකම්බි තියනවා” බෝගොල්ලාගම පැවසුවේ උපහාසයෙනි. “අපිත් ඒ මිනිස්සු තියාගෙන ඉන්නෙ කැමැත්තෙන් නෙවෙයි, යවන්න තැනක් නැති කමට. හැමතැනම බිම්බෝම්බ. තියන නිෂ්ක්‍රිය කරන යන්ත්‍ර ගණන මදි. කරුණාකරල මේව තෙරුම් ගන්න ” “අමෙරිකානු රජය ඩොලර් මිලියන 6ක් දීල තියනව NGO හතරකට මේව ඉවරයක් කරන්න” බෲන්ස් මෙහිදී සිහිපහ් කලේය. “එයාලගෙ වැඩ කමකට නෑ” ලංකාවේ විදේශ ඇමති NGO හතරට දෙහි කපන්නට විය. කොළඹ රජයට මේ දිනවල රාජ්‍ය නොවන සංවිධාන අරහං බව බෲන්ස් දනී. අනතුරුව බෝහොල්ලාගම යුද අපරාද වාර්තාව ගැන කරුණු විමසන්නට විය. තවදුරටත් පඳුරට ගල් නොගැසූ ඔහු මෙවර කෙලින්ම හාවා ඉලක්ක කලේය. “මේව ලියල තියන විදියට පේන්නෙ ඇමෙරිකාව ලංකාව එක්ක ලොකු තරහකින් ඉන්නව වගේනෙ. මේ තරං වෙනස් කම් කරන්න මොකද්ද අපි ඔහෙලට කරපු වැරැද්ද? අනිත් අතට අමෙරිකාවෙ දෙමල කණ්ඩායම් නම් එල්ටීටීඊ එක එක්ක සෘජු සම්බන්ධකම් පවත්වනවා.” ” වාර්තාව පිලියල කෙරෙන්නේ කොන්ග්‍රසය ඉල්ලා සිටි ආකෘතියට බව පැවසූ බෲන්ස් එහි දෙපාර්ශවය විසින්ම කල අපරාධ අන්තර්ගත වන බව කීය. එහි අරමුණ අදාල කාලසීමාව තුල ඇමෙරිකාවට එකී කලාප වලට ප්‍රවේශ නොතිබූ බව පැහැදිලි කිරීමයි. අවසානාවකට මෙන් වාර්තාවේ දල පිටපතක් බෲනින් අත තිබුනෙද නැත. මෙම වාර්තාව මත පදනම් නොවී ලංකාව තමා විසින්ම මෙම චෝදනා විමර්ශනය නොකරන්නේ මන්දැයි හේ බෝගොල්ලාගම ගෙන්විමසා සිටියේය. බෝගොල්ලාගමගේ පිළිතුර වූයේ ලංකාව හැකි සියළු දේ කරන බවයි. එහෙත් යුද අපරාධ වාර්තාව නිසා රට යථා තත්වයට පත් කිරීමේ වැඩපිලිවෙලට බාධා වනු අඑතැයි ඔහු බෲන්ස්ට අනතුරු ඇඟවීය. සැප්තැම්බර් 30 දා නව තානාපතිනිය මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා බැහැදුටුවාය. අවතැන් වූවන් වෙනුවෙන් පෙනී සිටි කතෝලික සභාව යුද්දය අතර තුරදී සාම සකච්ඡා වෙනුවෙන් පෙනීසිටීම නිසා මෙකල බෞද්ධ ජාතිකවාදීන්ගේ අමනාපයට ලක්ව තිබිණ. කෙසේ වුවද අගරදගුරු තුමා තානාපතිනියට අනතුරුඅඟවා සිටියේ යුද අපරාධ වාර්තාව මඟින් රාජපක්ෂ පාලනය දුර්වල කිරීමට තැත් කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක වනු ඇති බවය. මධ්‍යස්ථ පුද්ගලයකු වන රාජපක්ෂ සීමාන්තික ජාතිකවාදී කොටස් වල බලපෑමට ලක්ව සිටින බව සැබෑ වුවද මේ මොහොතේ රාජපක්ෂ නොමැති ලංකාව එකම අවුල් ජාලයක් වනු ඇති බවත් පැට්‍රීෂියා බියුටනිස්ට පැහැදිලි කොට දෙන ලදී. මේ මොහොතේ යුද අපරාද පසුපස එලැවීම බූමරංගයක් වනු ඇතැයි තමාටද පෙනීයන බවත්, පවතින තත්වය අනුව රටේ පාලනය වඩාත් අන්තගාමී ජාතිකවාදී කොටස් අතට පත්වුවහොත් එහි ප්‍රතිඵලය වඩාත් භයානක විය හැකි බවත් පසුවදාම ඈ වොෂින්ටනයට ලියා යැව්වාය. එදින සවස්වරුවේ සිට රෑබෝ වනතුරුම තම වැඩභාරගැනීම වෙනුවෙන් මහා සාදයක් පැවැත්වූ තානාපතිනියට පසුවදා උදේ අසන්නට ලැබුනේ රජයේ පාර්ශ්ව කරුවකු වූ ජාතික හෙල උරුමය කොලඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරි පිට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපරාධ වාර්තාවට එරෙහිව උද්ඝෝෂණයක් පැවත්වන බවයි. විශේෂත්වය වූයේ පෙරදින සවස සාදයට සහභාගී වූවන්ද එහි අමෙරිකානු විරෝධී සටන්පාඨ කියනු දක්නට ලැබීමය. යුද අපරාධ වාර්තා නිකුත් කිරීමට පෙරදින, එනම් ඔක්තෝබර් 02 දා සවස ලද හදිසියේම විදේශ අමාත්‍යාංශයට කැඳවනු ලැබූ ඇමෙරිකානු තානාපතිනියට පෙනුනේ විදේශ ඇමති බෝගොල්ලාගම කෝපයෙන් රතුවී සිටි බවයි. ලිංගික හිංසනය ලංකාවේ සිවිල් යුද්දයේදී අවියක් ලෙස භාවිත කොට ඇතැයි පෙරදින රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එක්සත් ජාතීන් අමතා කල කථාව දැඩි ලෙස හෙලා දුටු බෝගොල්ලාගම තම මිත්‍ර ජාතියක් ලෙස සලකනු ලබන ඇමෙරිකාව මීට වඩා කරුණු කාරණා සොයා බලා කතා කලයුතු බව කීය. හිලරි ක්ලින්ටන්ගේ ගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් හා චෝදනා වලට පදනම් වූ සාක්ෂි ඉල්ලා බෝගොල්ලගම ඇමෙරිකානු රජයට නොනිල රාජ්‍යතාන්ත්‍රික තුණ්ඩුවක්ද (Aide Memoire) භාර දුන්නේය. තානාපතිනියට පවා හැඟී ගියේ යුද අපරාද වාර්තාව මත ලංකාව තුල දුර්වල ව තිබූ ඇමෙරිකාවේ විශ්වාසනීත්වය මේ සිද්ධිය නිසා වඩාත් බොඳ වී ගිය බවකි. මේ තත්වය මත ලංකාවේ සිවිල් යුද්ධයේදී එවන් අපරාධ සිදුව ඇති බවට සාක්ෂි තමා සතුව නැති බව පිලිගැනීමට ඔක්තෝබර් 05 දා රාජ්‍ය දෙපාර්තමේන්තුවට සිදුවිය. ඔක්තෝබර් 09 කොලඹ රජය භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 33.8 ක අතිරේක ආරක්ෂක අයවැයක් ඉල්ලා සිටියේ දේශපාලන විසඳුමක් කෙරේ කොළඹ රජය තුල වූ කැපවීම ගැන බටහිර තුල වූ සැක සංකාඋත්සන්න කරමිනි. අවතැන් වූවන් 250,000 සිටියදී, හමුදා ප්‍රතිසංවිධානය කිරීමට විරෝධය පලකල ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් තීරණය යලි සලකා බලන මෙන් ලංකාවෙන් ඉල්ලා සිටියාය තම අරමුණ වූයේ 210,000ක් වූ සක්‍රිය බල ඇණිය සියයට දහයකින් වැඩි කිරීමත්, යුද්ධයෙන් ක්ෂය වී ගිය යුද වත්කම් ප්‍රතිෂ්ඨාපනය කිරීමත්, අනාගත ආරක්ෂක උපාය මාර්ගික වැඩසහනට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සපයා ගැනීම බව රජය කියා සිටියද, මෙම හදිසි අතිරේක ආරක්ෂක අයවැය තුල ගැබ්වූ වැදගත් දේශපාලන අරමුණක් තිබූ බවද පෙනී ගියේ පසුවදා තම බලකොටුව වූ ජාතික වාදී දකුණේ පැවති පලාත් මැතිවරණයෙන් සියයට හැට හතක බහුතරයක් ලබා ගැනීමට රාජපක්ෂ සමත්වීම හේතුවෙනි. අනිත් අතට ඔහු විසින් අපේක්ෂිත සියයට හැත්තෑ පහකට වැඩි බහුතරය මැතිවරණ ප්‍රතිඵලය මඟින් පිළිබිඹු නොවීම මඟින් පෙන්නුම් කල යථාර්ථය නම් යුද ජයග්‍රහනයේ මධු සමය දැන් දැන් පහවෙමින් පැවති බවයි. ජනාධිපති රාජපක්ෂ හා හිටපු හමුදාපති ෆොන්සේකා අතර යම් මතබේදයක් පැන නැඟී තිබූ බව ප්‍රකට කරුණක් වූ අතර මේ තමා හමුදාව අමතන අවසන් අවස්තාව විය හැකි බව ජනරාල් ෆොන්සෙකා විසින් ඒ සතිඅන්තයේ කල කතාවකින් ඉඟි කොට තිබිණ. ඔක්තෝබර් 14 දා මුල් වරට නව ඇමෙරිකානු තානාපතිනිය හමුවූ රනිල් වික්‍රමසිංහ අවතැන් වූවන් අරබයා සහ වන්නියේ සිංහල ජනපද ඇතිකිරීමට රජය අනුගමනය කරන ක්‍රියාකලාපය දැඩිව හෙලා දුටු අතර යෝජිත යුද අපරාධ වාර්තාවේ අඩංගු කරුණු පිළිබද කොන්ග්‍රසය විසින් රජයෙන් කරුණු විමසා විභාග කල යුතු බවට යෝජනා කලේය. රජය දකුණේදී දැවැන්ත මැතිවරණ ජයක් ලබනු ඇතැයි බියෙන් පසුවූ හේ ප්‍රථිඵලය ගැන තෘප්තිමත්ව සිටියේය. ඔක්තෝබර් 19 දා තානාපතිනය හමුවී බැරැක් ඔබාමාට යැවීම පිණිස ලිපියක් භාර දුන් TNA නායක සම්පන්තන් ද රාජපක්ෂ පාලන දැඩි ලෙස විවේචනය කලේය. යුද අපරාද පිලිබඳ බොහෝ මැසිවිලි නැඟුවද හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා පිළිබඳ ඔහු දැන් මධ්ය්ස්ථ ආකල්පයක් දැරූ බව එහිදී කැපී පෙණින. ෆොන්සේකා විපක්ෂය සමඟ සබදතා පවත්වන බවත්, ඉදිරි චන්දයකදී ඔහු රාජපක්ෂට විශාල අභියෝගයක් වනු ඇති බවත් හේ ඉතා පරෙස්සම් සහගත ලෙස පිළිගත්තේය. ඔබාමාට යැවුන ඔහුගේ ලිපියෙන් ඉල්ලා තිබුනේ අවතැන් වූවන් යලි පදිචි කරවීමට යුද අපරාධ විමර්ශනය කිරීමට හා සම්ප්‍රදායික දමිල නිජ බිම් වල සිංහලයන් පදිචි කිරිම වැලැක්වීමට මැදිහත් වන ලෙසයි. දෙදිනකට පසු යුද අපරාද වාර්තාව වොෂින්ටනයේ ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට භාර දෙන ලදී. එහෙත් ලංකාවේ විදේශ ඇමතිට එහි පිටපතක් භාරදීමට කොළඹ තානපතිනිය දැරූ සෑම උත්සාහයක්ම ව්‍යවර්ථ විය. කිසිවෙකු වාර්තාව භාරගැනීමට ඉදිරිපත් නොවීම ඊට හේතුවයි. යුද අපරාධ වාර්තාව දැඩි ලෙස විවේචනය කල සති අන්ත පුවත් පත් එවන් නිගමන වලට එලැඹීමට ඇමෙරිකාවට ඇති අයිතිය ගැන ප්‍රශ්න කලහ. රජයෙන් පලවූයේ අලස නිහඬතාවකි. වාර්තාව ගැන තවදුරත් අප්‍රසාදය පලකල බෝගොල්ලාගම කෙසේවුවද එහි කරුණු අධ්‍යයනය කිරිමට කමිටුවක් පත් කරනු ඇතැයි කියා සිටියේය. මේ වනවිට ඉක්මන් ජනාධිපතිවරනයක් අපේක්ෂාවෙන් සිටි ලංකාවේ දල ජාතික නීෂ්පාදිතය සියයට පහකි. එහි මූලික ගැටළුව වූයේ බෙදීයාමේ විෂමතාවයයි. ඒකපුද්ගල ආදායම අතින් දකුණු ආසියාවේ දෙවන තැන දැරුවද ආර්ථිකයට වැඩිම දායකත්වයක් සැපයුනේ කොලඹ ඇතුළු බටහිර ප්‍රදේශ වලිනි. දකුන හා ඌව සාපේක්ෂව පසුපසින් වූ අතර උතුරු නැගෙනහිර තත්වය දුක්බර විය. තම නිර්යාත වලින් සියයට හතලිස් තුනක් සැපයූ ඇඟළුම් නිෂ්පාදන සදහා වූ ප්‍රධාන වෙළඳ පොල වූ බටහිර ලෝකය සමඟ මානව හිමිකම් ගැටළුව මත මතබේද ඇතිකොටගෙන සිටි ලංකාව GSP බදු සහනය අහිමි වීමේ අවදානමටද මුහුන පා සිටියාය. ඈ මෙම තත්වයට මුහුන දිමට අදහස් කලේ චීනය, ඉරානය හා ලිබියාව වැනි බටහිර විරෝධී රටවල් හා සහජීවනයෙනි. නොවැම්බර් 06 දා ඇමෙරිකානු තානාපතිනිය මුල්වරට හමුවූ ජවිපෙ මන්ත්‍රී විජිත හෙරත් කියා සිටියේ නව දැක්මක් තුලින් රාජපක්ෂ පාලනය මැතිවරනයකින් පැරදවීම තම පක්ෂයේ ඉලක්කය බවයි. එහෙත් ඔවුන් මෑතක් වනතුරුම නියෝජනය කල සිංහල ජාතික වාදී චන්ද පදනම රාජපක්ෂ ව්සින් ඩැහැගෙන සිටි තත්වයක් තුල මේ තක්සේරුව ගැන සාකයෙන් පසුවූ ඇමෙරිකානුවෝ ජනපතිවරණය වෙනුවෙන් ජවිපෙය එජාපය හා සන්ධානයකට එලැඹෙන්නේදැයි විමසා සිටියහ. හේරත්ගේ පිළිතුර වූයේ එක පතේ කෑම අසීරු මුත් හවුලේ කෑම පිසීමට තමා සූදානම් බවයි (march separately and fight together). උතුරේ ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් හා ආර්ථික සහන යන මැයෙන් තමා දියත් කරන ජනාපතිවරණ සටනේ , බොහෝ දුරට තම අපේක්ෂකයා ජනරාල් ෆොන්සේකා විය හැකි බව පැවසූ ජවිපෙ සභිකයා එමඟින් විශාල සිංහල චන්ද ප්‍රමාණයක් ආකර්ශනය කරගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පල කලද, දමිල හා මුස්ලිම් චන්දදායකන්ට ෆොන්සෙකා ආකර්ශනීය අපේක්ශකයකු නොවන බවද පිළිගත්තේය. ජවිපෙය එ දිනවල ෆොන්සේකා දිනා ගැනීමට වලි කන බව සම්පන්තන් විසින් තානාපති කාර්යාලයට කලින් හෙලි කොට තිබිණ. මේ හේතුව නිසා අවතැන් වූවවන්ගේ ගැටළුවේ සිට උතුරට දේශපාලන විසඳුමක් දක්වා ඇමෙරිකානු ස්ථාවරය හා සමාන අදහස් දැරූ ජවිපෙය යුද අපරාධ පරීක්ෂනයක් සදහා තවදුරටත් විරුද්ධ විය. විභාග කොට තහවුරු නොකරගන්නා තාක් සියළු චෝදනා ආරක්ෂක ලේකම් මත පවරා ෆොන්සෙකා නිදොස් කොට දැක්වීම දේශපාලන වශයෙන් කල නොහැකි දෙයක් නොවීය. අනාගතය විසින් පෙන්නුම් කලේ ෆොන්සෙකා මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් බවයි. තෙමේද එක්සත් ජනපද පුරවැසියකු වූ ෆොන්සෙකාගෙන් යුද අපරාද සම්බන්ධව ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇමෙරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) තුල ඇතැයි පැතිර යන ආර්ංචිය පිළිබඳව විජිත හේරත් විෂේශයෙන් විමසා සිටියේ, එමඟින් තම මැතිවරණ සැලසුම් වියවුල් වනු ඇති බවට මැසිවිලි නඟමිනි. තානාපතිනිය ඇති කොටගත් පෞද්ගල්ක හැඟීම නම් ඒ වන විට ඇමෙරිකාවේ සංචාරයක යෙදි සිටි ෆොන්සෙකා යම් හෙයකින් රඳවාගනු ලැබුවහොත් තානාපති කාර්යාල ඉදිරිපිට තවත් උද්ඝෝෂනයක් බලාපොරොත්තු වීය හැකි බවයි. එමෙන්ම මෙමඟින් සිද්ධිය මැතිවරණය සඳහා සූදානම් වන පාර්ෂ්වයන් තම දේශපාලන ප්‍රතිලාභ යොදා ගැනීමට තැත් කරන්නේය යන සැකයද ඇමෙරිකානුවන් තුල තිබිණ. මන්ද යත් දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවට (DHS) දෙන ප්‍රකාශය ඉතා රහසිගතව ලබා දිමේ අවස්ථාව තිබියදීත් එම තොරතුර ලංකාවේ මාධ්‍ය වෙත ලබා දී මහා කලබගෑනියකට මුල පුරන ලද්දේ ජනරාල්වරයා විසින්ම බවට කිසිදු සැකයක් නුවූ නිසාය.

Chamara Siriwardene Sources Wikileaks- Diplomatic Cables (Library of US Diplomacy) Tamil Guardian "IMF 'objected' to Hillary Clinton intervention on Sri Lanka in 2009". 6 July 2015. Sangam.org