සයිබර් විප්ලව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හැඳින්වීම[සංස්කරණය]

මානව ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී විද්‍යාමාන වන කරුණක් වන්නේ එකී ඉතිහාසය ගොඩනැගීමෙහි ලා මානවයා විසින් මානව සමාජය කේන්ද්‍රකර ගනිමින් සිදුකළ විප්ලව ගණනාවක් හේතු වී ඇති බවයි. එනම් පවතින සමාජයීය, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික සාධකයන්ට අභියෝග කරමින් එම තත්ව වෙනස් කරනු පිණිස මානවයා විසින් ක්‍රියා කර ඇති ආකාරය තුළ මානව ඉතිහාසය නිර්මිත වී තිබේ. විශේෂයෙන්ම ස්වයං තීරණ ගැනීමේ බුද්ධිමය අවිය මානවයා සතු වූ දා සිට හා විධිමත් භාෂාවක් භාවිතයෙන් සමූහයක් සංවිධානය කිරීමේ ශක්‍යතාව මානවයා සතු වූ දා සිට මෙම විප්ලව සංවිධානය කිරීමේ හා මෙහෙයවීමේ හැකියාව මානව සමාජය අත්පත් කරගන්නට ඇති බව සිතිය හැකිය. එතැන් පටන් මානවයා බාහිර ලෝකය පිළිබඳව සබුද්ධිකව සවිඥානික වීමේ ප්‍රතිඵලයක් ලෙස විප්ලව මානව සමාජයේ ආකෘතිය තීරණය කිරීමේ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

එලෙස මානව සමාජය තුළ සුවිශේෂී වැදගත්කමක් හිමි කර ගන්නා විප්ලව ගණනාවක් විවිධ හේතු මත පදනම්ව මානව ඉතිහාසය පුරා ක්‍රියාත්මක වී තිබේ. එම විප්ලව මූලික වශයෙන් පුරවැසි විප්ලව සහ තාක්ෂණික විප්ලව ලෙස වර්ග කළ හැකි අතර ඒවා පිළිබඳ වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම වැදගත්ය.

පුරවැසි විප්ලව[සංස්කරණය]

පුරවැසි විප්ලව ලෙස හඳුනාගත හැක්කේ යම් සමාජයීය, සංස්කෘතික, ආර්ථික හෝ දේශපාලනික අරමුණක් මත පදනම්ව එම සාධකවල පවතින ස්වභාවය බහුතරයකගේ සාපේක්ෂ කැමැත්ත මත වෙනස් කිරීම උදෙසා පුරවැසියන්ගේ සාමූහික සහභාගිත්වයෙන් සිදුකරනු ලබන සමාජ ක්‍රියාවලීන්ය. ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය මේ සඳහා නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.

තාක්ෂණික විප්ලව[සංස්කරණය]

තාක්ෂණික විප්ලව ලෙස හඳුනාගත හැක්කේ නව සොයාගැනීම් හා තාක්ෂණය මත පදනම්ව මානව සමාජය තුළ සිදු වූ සුවිශේෂී වෙනස්කම් සහිත තත්වයන්ය. මේ සඳහා එක් නිදසුනක් ලෙස පෙන්වා දිය හැක්කේ කාර්මික විප්ලවය ලෙස අප හඳුනාගන්නා 18 හා 19 වෙනි සියවස්වල එංගලන්තයෙන් ආරම්භ වී යුරෝපය පුරාත් ඉන් අනතුරුව මුළු ලෝකය පුරාමත් ව්‍යාප්ත වූ තාක්ෂණික විප්ලවයයි. එසේම නූතන යුගයේ දී ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයත් සමඟ සමාජගත වූ පුවත්පතේ ආගමනයත් සමඟ නිල නොවන වශයෙන් ආරම්භ වී පශ්චාත් නූතන යුගයේ දී අන්තර්ජාලය ප්‍රමුඛ කරගත් සන්නිවේදන ක්‍රමවේද තුළින් උත්කර්ෂයට නැංවුණු සමාජයීය, සංස්කෘතික හා ආර්ථික පෙරළිය ලෙස අප හඳුනාගනු ලබන තොරතුරු විප්ලවය ද මෙම තාක්ෂණික විප්ලව සඳහා නිදසුනක් වශයෙන් ගෙනහැර දැක්විය හැකිය. තව ද වර්තමානයේ දී මානව සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන නව තාක්ෂණික විප්ලව ක්‍රමවේදයක් ලෙස සයිබර් විප්ලව පිළිබඳව අවධානය යොමු කළ හැකිය.

සයිබර් විප්ලව[සංස්කරණය]

සයිබර් විප්ලවයක්‌ යනු තථ්‍ය සමාජය (Real Society) තුළ දැවැන්ත සමාජ වෙනසක් ඇති කිරීම සඳහා හෝ එසේ කිරීමට බලපෑම් කිරීම සඳහා තථ්‍යාසන්න සමාජය (Virtual Society) තුළ සිදුකරන පුද්ගලයින් සංවිධානය කිරීමකි. මෙය සිදුකරනු ලබන්නේ තථ්‍යාසන්න සමාජය තුළ අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගීම සඳහා භාවිත කරනු ලබන අන්තර්ජාල සමාජ ජාලකරණය භාවිතයෙනි. එනම් විද්‍යුත් තැපෑල, බ්ලොග් අඩවි, සංවාද සේවා හා මිතුරු ජාල සේවා යනාදී වූ අන්තර්ජාල සමාජ ජාලකරණයේ විවිධ ක්‍රමවේද ඒ සඳහා භාවිත කරනු ලබන අතර ඒවා අතරිනුත් සයිබර් විප්ලව සඳහා යොදාගනු ලබන වඩාත් ජනප්‍රියතම හා ඵලදායීම ක්‍රමවේදය වන්නේ ෆේස්බුක් වැනි මිතුරු ජාල සේවා භාවිතයයි.

ඒ අනුව සයිබර් විප්ලවයක්‌ සඳහා මිතුරු ජාල සේවා ඇතුළුව අන්තර්ජාලයේ අනෙකුත් සමාජ ජාල ක්‍රමවේද භාවිත කිරීමෙන් ඉටුකර ගත හැකි අරමුණු පහත ආකාරයට ලැයිස්තු ගත කළ හැකිය.

  1. පුද්ගලයින් සංවිධානය කිරීම.
  2. කිසිදු වාරණයකින් තොරව තොරතුරු සමාජගත කිරීම සඳහා ලැබෙන අසීමිත ඉඩකඩ භාවිත කිරීමට‍ හැකිවීම.
  3. එම තොරතුරු ඔස්සේ නව සමාජ මත නිර්මාණය කිරීමට, පවතින සමාජ මත වෙනස් කිරීමට‍ හා සමාජ මත ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ ලැබීම.
  4. විවිධ බහුමාධ්‍ය ක්‍රමවේද එකකට වඩා වැඩි ගණනක් එකවර භාවිත කිරීමෙන් පණිවිඩයක් වඩාත් සාර්ථක ලෙස ග්‍රාහකගත කළ හැකිවීම.
  5. පුද්ගලයින් වැඩි පිරිසකට ආමන්ත්‍රණය කිරීම සඳහා අවස්ථාව ලැබීම.

ඒ අනුව ඉහතින් සඳහන් කර ඇති භාවිතයන් ඔස්සේ සයිබර් විප්ලවයක් මෙහෙයවිය හැකි අතර එමඟින් තථ්‍ය සමාජය වෙත වඩාත් තීව්‍ර බලපෑමක් ඇති කළ හැකිය. එය සිදුවන ආකාරය ඉහත භාවිතයන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කිරීමෙන් පැහැදිලි කර ගත හැකිය.

සයිබර් විප්ලවයක මූලික අරමුණක් වන්නේ යම් නිශ්චිත අරමුණක් සඳහා පුද්ගලයින් සංවිධානය කිරීමයි. මේ සඳහා අන්තර්ජාල සමාජ ජාලකරණයේ (Internet Social Networking) ප්‍රසිද්ධම භාවිතය වන මිතුරු ජාල සේවාවන් මෙන්ම විද්‍යුත් තැපැල් ක්‍රමවේදය, බ්ලොග් අඩවි හා සංවාද සේවාවන් ඇතුළු ක්‍රමවේද ගණනාවක් භාවිත කළ හැකිය. මේවා අතරින් මිතුරු ජාල සේවාවක සිදුවන්නේ තම ගිණුම සමඟ සම්බන්ධ වී සිටින මිතුරන් හරහා සිදුවන සංවිධාන ගත වීමයි. එනම් මිතුරෙකු විසින් සිදු කරන දැනුවත් වීමක් මත ඊට සහය පළකිරීම සඳහා කටයුතු කිරීම මෙහි දී සිදු වේ. එමෙන්ම යම්කිසි අරමුණක් උදෙසා පුද්ගලයින් සංවිධානය කිරීම පිණිස මිතුරු ජාල සේවා වෙබ් අඩවියක් තුළ නිර්මාණය කළ ප්‍රවර්ධන පිටුවක් (Promotion Page) හෝ කණ්ඩායමක් (Group) මාර්ගයෙන් ද මෙම දැනුවත් වීම සිදු විය හැකිය. මෙම දැනුවත් වීම සිදු වන්නේ තමාගේ මිතුරෙක් එම පිටුවට කැමැත්ත පළකළ බව (Like) හෝ එම කණ්ඩායමේ සාමාජිකයෙක් වූ බව දන්වා සිදුකරනු ලබන ප්‍රවර්ධනය කිරීම ඔස්සේ මිතුරා අනුව යමින් තමා ද එම පිටුවේ හෝ කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්වීමයි.

මිතුරු ජාල සේවා වෙබ් අඩවි තුළ දැකිය හැකි මෙම ජාලගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ හුවමාරු වන විද්‍යුත් තැපැල් පණිවිඩ හරහාත් පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන බ්ලොග් අඩවි හරහා මෙන්ම පෞද්ගලිකව හෝ සංවිධානමය වශයෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි හරහාත් සයිබර් විප්ලවයක් උදෙසා පුද්ගලයින් සංවිධානය කිරීම සිදුකළ හැකිය. එසේම පුද්ගලයින් අතර අන්තර්ජාලය ඔස්සේ සිදුවන පුද්ගලික සංවාද (Private Chat) හෝ කණ්ඩායම් සංවාද (Group Chat) මඟින් ද සයිබර් විප්ලවයක් සඳහා පුද්ගලයින් සංවිධානය කිරීමට කටයුතු කළ හැකිය.

විශේෂයෙන්ම සයිබර් විප්ලව මඟින් සිදුකරනු ලබන සමාජ බලපෑම අද්‍යතනයේ සමාජ ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත්තේ තථ්‍ය සමාජයේ දී පුවත්පත්, ගුවන්විදුලි මෙන්ම රූපවාහිනී ආදී වූ සන්නිවේදන භාවිතයන් තුළ සීමාකම් පැනවෙන යම් යම් තොරතුරු සමාජගත කිරීම සඳහා තථ්‍යාසන්න සමාජය තුළ දී කිසිදු සීමාවක් හෝ බාධාවක් ඇති නොවීමයි. එනිසා තථ්‍ය සමාජය තුළ වාරණයට ලක්වන හා මතභේදයට ලක්වන බොහෝ තොරතුරු තථ්‍යාසන්න සමාජය තුළ සමාජගත කරමින් ඒ ඔස්සේ තථ්‍ය සමාජය තුළ වෙනසක් ඇතිකිරීම සඳහා සාධනීය බලපෑමක් ඉතා සාර්ථකව සිදු කළ හැකිය.

ඒ අනුව සයිබර් විප්ලව සඳහා මානව සමාජය යොමුවන ප්‍රධානතම සාධකයක් ලෙස තොරතුරු සිමා රහිතව සමාජගත කිරීමට තථ්‍යාසන්න සමාජයේදී හිමිවන නිදහස පෙන්වා දිය හැකිය.

සමාජයට බලපෑමක් කළ හැකි එහෙත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මඟින් සමාජගත කළ නොහැකි තථ්‍ය සමාජයේ තොරතුරු තථ්‍යාසන්න සමාජය සමාජය තුළ මිතුරු ජාල සේවා වෙබ් අඩවි හා බ්ලොග් අඩවි ඔස්සේ සමාජගත කිරීමෙන් තථ්‍ය සමාජය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට හැකිවේ. එනම් තථ්‍ය සමාජ තොරතුරක් සමාජයේ වැඩි පිරිසකට සන්නිවේදනය වන ලෙස තථ්‍යාසන්න සමාජය හරහා ප්‍රතිසමාජගත කිරීමෙන් සයිබර් විප්ලවයක් ඔස්සේ සමාජ වෙනසකට කටයුතු කළ හැකිය.

තව ද එම තොරතුරු මඟින් සමාජය තුළ නව සමාජ මත නිර්මාණය කිරීමට, පවතින සමාජ මතයන් වෙනස් කිරීමට හා සමාජ මත ප්‍රතිස්ථාපනය කිරීමට ද අවස්ථාව උදාවේ. එම සමාජ මත පළමුව තථ්‍යාසන්න සමාජය තුළත් ඉන් අනතුරුව ඒවා තථ්‍ය සමාජය වෙත විසරණය කිරීමත් සිදුකළ හැකිය.

ඒ අනුව සයිබර් විප්ලවයක් සඳහා සමාජ මත මඟින් ද ප්‍රබල දායකත්වයක් සපයනු ලැබේ. එම සමාජ මත හැසිරවීම පිණිස අන්තර්ජාල සමාජ ජාලකරණයේ ක්‍රමවේද භාවිත කිරීම තුළ සාර්ථක සයිබර් විප්ලවයකට අවශ්‍ය පදනම සකස් කරගත හැකිය.

එසේම විවිධ බහුමාධ්‍ය ක්‍රමවේද එනම් ඡායාරූප, වීඩියෝ දර්ශන, හඬපට ආදිය භාවිත කරමින් පණිවිඩයක් වඩාත් ප්‍රතිඵලදායී ලෙස පරිශිලකගත කිරීමට අන්තර්ජාල සමාජ ජාලකරණයේ ක්‍රමවේද භාවිතයට ගැනීමට හැකිවීම සයිබර් විප්ලවයක අරමුණු ඉටුකර ගැනීමට ඇති තවත් ආකාරයකි. මේ සඳහා ද මිතුරු සේවා වෙබ් අඩවි, බ්ලොග් හා වෙබ් අඩවි මෙන්ම විද්‍යුත් තැපෑල හා සංවාද ක්‍රමවේදයත් භාවිතයට ගත හැකිය. එතුළින් පළමුව තථ්‍යාසන්න සමාජයේ සාමාජිකයින්ට ආමන්ත්‍රණය කිරීම මඟින් එම පණිවිඩය ඉන් අනතුරුව තථ්‍ය සමාජය කරා රැගෙන යා හැකිය.

තථ්‍යාසන්න සමාජය හා ගනුදෙනු කරන පුද්ගලයින් වැඩි පිරිසකට අන්තර්ජාල සමාජ ජාලකරණ ක්‍රමවේද ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට හැකිවීමත් සයිබර් විප්ලවයක් සාර්ථක කරගැනීම සඳහා වැදගත් වන සාධකයකි. මන්ද යත් අනෙකුත් මාධ්‍යයන් මඟින් සීමිත පිරිසකට කරනු ලබන ආමන්ත්‍රණය මෙහි දී විශාල පිරිසක් ඉලක්ක කරගෙන කළ හැකි වීම මෙහි ඇති වඩාත් වාසිදායකම තත්වයයි. එනම් අන්තර්ජාලය තුළ දී තථ්‍ය සමාජයේ දී දැකිය හැකි කිසිදු භෞතික සීමාවක් වලංගු නොවන අතර එම තත්වය දැකිය ලොව පවතින ප්‍රමුඛතම සන්නිවේදන භාවිතය වන්නේ ද අන්තර්ජාලයයි. ඊට අමතරව චන්ද්‍රිකා තාක්ෂණය තුළ ද මෙම තත්වය දැකිය හැකි අතර එනිසාම මෙම සන්නිවේදන භාවිතයන් ද්විත්වය මඟින් ආවරණය කළහැකි පරිශීලකයින් ප්‍රමාණය ද අතිවිශාල වේ.

අරාබි වසන්තය[සංස්කරණය]

මේ ආකාරයට අන්තර්ජාල සමාජ ජාලකරණයේ ක්‍රමවේද ප්‍රයෝගිකව භාවිතයට ගනිමින් සිදුකළ ලොව පළමු හා සුවිශේෂතම සයිබර් විප්ලවය වන්නේ මුලින් අරාබි විප්ලවය ලෙස හැඳින්වූ හා පසුව එය අරාබි වසන්තය නමින් බටහිර රටවල් ආදරයෙන් වැළඳගත් අරාබි කලාපයේ රටවල් කේන්ද්‍රකර ගනිමින් සිදු වූ දැවැන්ත සමාජ හා දේශපාලනික පරිවර්තනයයි. කෙසේ වුවත් මෙය සැබවින්ම වසන්තයක් වූවා ද එසේත් නැතිනම් එම රටවල් අඳුරට ඇද දැමූ ඛේදවාචකයක් වූවා ද යන්න වෙනමම සිතා බැලිය යුතු කරුණකි.

මෙම මහජන නැගිටීම ආරම්භ වන්නේ 2010 වර්ෂයේ අගභාගයේ දී ටියුනීසියාව තුළිනි. ඒ එරට තුළ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර යාමත් සමඟ ය. එම උද්ඝෝෂණ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ දුෂණ ක්‍රියා හේතු වූ අතර මෙම මහජන නැගිටීම වූයේ එම දුෂණ ක්‍රියාවලට මහජනයා තුළින් ඇති වූ විරෝධයේ උච්ඡතම අවස්ථාවයි. එම උඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ එරට ජනාධිපතිවරයාට ද සිය ධූරයෙන් ඉවත් වීමට සිදු වූ අතර අරාබි කලාපයේ පමණක් නොව මුළු ලොවේම අවධානය යොමු වූ සමාජ සංසිද්ධියක් බවට මෙය පත්විය.

ටියුනිසියාවේ මෙම මහජන නැගිටීම සඳහා බලපෑ ආසන්නතම හේතුව වූයේ එරට 26 හැවිරිදි පළතුරු වෙළෙන්දෙක් විසින් තමාට එරට පොලිසියෙන් සාධාරණය ඉටු නොවීමට විරෝධය පෑමක් වශයෙන් ගිනිතබා ගැනීමයි. මෙම සිද්ධිය මිතුරු ජාල සේවා වෙබ් අඩවි තුළින් හා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන බ්ලොග් ඇතුළු අනෙකුත් සමාජ ජාල ක්‍රමවේද මඟින් මුළු රටේම හා මුළු ලෝකයේම අවධානයට ලක් කළේය. එසේ සිදු කිරීම තුළ සංවිධානය වූ මහජන මතය අවසානයේ දී අරාබි කලාපයම කැළඹූ සංසිද්ධියක් බවට පත්විය.

මෙලෙස ටියුනීසියාවෙන් ඇරඹෙන මෙම මහජන නැගිටීම ඉන් අනතුරුව ඊජිප්තුවට, ලිබියාවට හා යේමනයට ද පැතිරුණි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය මඟින් සිදුකරන සත්‍ය තොරතුරු වසන් කිරීම තුළ මහජනයාට මෙම අරගලය ඉදිරියට රැගෙන යාම සඳහා පිටුබලය සපයන්නේ අන්තර්ජාලයේ සමාජ ජාලකරණ වෙබ් අඩවි ප්‍රමුඛ කරගත් මාධ්‍යයන් විසිනි. එනිසා ලොව ප්‍රථම සයිබර් විප්ලවය මානව ඉතිහාසයේ දිශානතිය වෙනස් කරනු ලැබූ ඉතා සුවිශේෂී ක්‍රියාවලියක් ලෙස ද හඳුනාගැනීම වැදගත් වේ.

ඊජිප්තුව තුළ මෙය සිදුවන්නේ එරට සරසවි සිසුන්ගේ හා සෙසු ක්‍රියාකාරීන්ගේ නායකත්වය මඟිනි. එහි දී අන්තර්ජාල සමාජ ජාලකරණ ක්‍රමවේද මත පමණක් යැපීමට ඔවුන් උත්සහ නොගන්නේ පාලකයන්ගේ බල කිරීම මත අන්තර්ජාලයට ප්‍රවේශ වීමට ඇති තාක්ෂණික ක්‍රමවේද අදාළ සමාගම් විසින් අවහිර කිරීමට ඉඩ තිබූ බැවිනි. කෙසේ වුවත් ඊජිප්තුව තුළ ද මහජනයා දැනුවත් කිරීම පිණිස හා සංවිධානය කිරීම පිණිස අන්තර්ජාලය සාර්ථකව භාවිත වූ බවට දැක්විය හැකි හොඳම නිදසුන වන්නේ මහජන නැගිටීම් සඳහා අන්තර්ජාලය භාවිත කිරීම වළක්වනු පිණිස මුබාරක් රජය විසින් 2011 ජනවාරි 28 ඊජිප්තුව ගෝලීය අන්තර්ජාල සබඳතාවලින් කපා හැරීමයි. එසේ සිදුකළත් එම මහජන නැගිටීම්වල අඩුවීමක් දක්නට නොලැබුණු අතර මහජන මතය ඉතා ශක්තිමත්ව සංවිධානය වී තිබීම එයට හේතුව විය.

ලිබියාව තුළ මෙය සිදුවන්නේ ෆේස්බුක් හා ට්විටර් ප්‍රමුඛ කර ගත් අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ගඩාෆිගේ සැබෑ නිරුවත ලෝකය ඉදිරියේ හෙළිදරව් වීම නිසා එම වෙබ් අඩවි පිළිබඳ ගඩාෆි දැක්වූ බිය සහ වෛරය දැක්වෙන කාටුන් විවිධ වෙබ් අඩවි මඟින් ලොව පුරා ප්‍රචාරය වීම තුළිනි. ගඩාෆිට විරුද්ධව පැනනගින මහජන නැගිටීම් මර්දනය කිරීම පිණිස රාජ්‍ය බලය යොදා ගනිමින් සිය ගණනින් මහජනයා ඝාතනය කිරීමට ගඩාෆි කටයුතු කළ නිසා ජාත්‍යන්තර පොලීසිය මඟින් ද ගඩාෆිට එරෙහිව නිවේදනයක් නිකුත් කරන ලදි. එසේ ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ගත් ක්‍රියාමාර්ග නිසා ද ලිබියාවේ තත්වය වඩාත් සංකීර්ණ අතට හැරුණි.

පැවති සැබෑ තත්වය එරට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් ප්‍රචාරය නොකළ නිසා ලිබියාවේ සැබෑ තත්වය ලෝකය හමුවේ කියාපෑමට කටයුතු කළේ බ්ලොග් අඩවි රචකයින් හා මිතුරු ජාල සේවා වෙබ් අඩවි විසිනි. විශේෂයෙන්ම මෙහි දී සිය බ්ලොග් අඩවි තුළින් අතිදැවැන්ත කාර්යභාරයක් ඉටුකළ පුරවැසි මාධ්‍යකරුවන්ට ලිබියාව තුළ සිදුකළ සයිබර් විප්ලවයේ වැඩි ගෞරවය හිමි විය යුතුය.

මෙලෙස ටියුනීසියාවෙන් ආරම්භ වී පසු ව අරාබිකරයේ විවිධ රාජ්‍යයන් කරා පැතිර ගිය මහජන නැගිටීම් සමූහය සයිබර් විප්ලවයක ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳව මෑත කාලීන වැදගත් ම හා සුවිශේෂතම නිදසුනයි. එසේ වුවත් එම විප්ලවය තුළින් ඒකාධිපති පාලකයන් සිය තනතුරුවලින් පහකළ හැකි වුවත් සත්‍ය වශයෙන්ම අරාබිකරයට ඔවුන් පැතූ වසන්තය උදා වූවා ද යන්න සැක සහිතය. මන්ද යත් අරාබි වසන්තය නාමයෙන් බටහිර රටවල් විසින් අරාබිකරයේ රටවල් තුළ යුද්ධ මෙහෙය වීමට මැදිහත් වීම තුළ අද වන විට අරාබි වසන්තය අතිසෝචනීය ඛේදවාචකයක් බවට පත් වී තිබේ.

මෙම තත්වය සයිබර් විප්ලවයක් තුළ සංවිධානාත්මකව ජනතාව මෙහෙයවීමෙන් ඔබ්බට සිතා බැලිය යුතු කරුණකි. එනම් සංවිධානාත්මක ව විප්ලවයක් මෙහෙයවීමට සයිබර් අවකාශය භාවිතයට ගත හැකි අතරම එම විප්ලවය ඔස්සේ වඩාත් සාර්ථක අවසානයක් හා ස්ථාවර විසඳුමක් සඳහා මහජන අදහස් මෙන් ම මහජන සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කිරීමත් විප්ලවයේ නායකයින් විසින් සිදු කළ යුතුය. නමුත් අරාබි වසන්තය විසින් මඟහැර ඇති තත්වය වන්නේ මෙයයි. එනිසා අරාබි වසන්තය අනාගත සයිබර් විප්ලවයකට පූර්වාදර්ශයක් ලෙස භාවිත කරන අතර මෙම මඟහැර ඇති තත්වය පිළිබඳව ද අවධානය යොමු කිරීම තුළ සයිබර් විප්ලව නම් සංකල්පය වඩාත් අර්ථ පූර්ණ භාවිතයක් බවට පත් කිරීමට හැකිවනු ඇත.

දේදුනු විප්ලවය[සංස්කරණය]

ගෝලීය වශයෙන් සිදු වූ අරාබි වසන්තය හා සමාන සිදුවීමක් පසුගිය ජනාධිපතිවරණ සමය තුළ දී මෙරටේ ද සිදු විය. එනම් දේදුනු විප්ලවය (Rainbow Revolution) යන නමින් බොහෝ දෙනා නොහඳුනන නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වන වරට ජනාධිපති අසුනට පත්වීම වළක්වනු පිණිස ෆේස්බුක් ප්‍රමුඛ වෙබ් අඩවි මඟින් ගෙන ගිය අරගලයයි. මෙම විප්ලවය දේදුනු විප්ලවය ලෙස හැඳින්වීමට ද හේතුවක් තිබේ. මන්ද යත් දේදුන්නක් පායන්නේ වර්ෂාවකට පසුව එහෙත් හොඳින් සූර්යාලෝකය පතිත වීමට පෙර වන බැවිනි.

මෙම විප්ලවය සිදු කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වසර දහයක පාලන සමයකින් පසුව නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා එළඹුණු මැතිවරණ කාල සීමාවක් තුළ දී වීම සහ ගෙවුණු එම දශකය මෙරටට අඳුරු යුගයක් වූ බව සංකේතවත් කරමින් මෙන්ම නව ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගැනීමෙන් පසුව එළඹෙන යුගය මෙරටට ඉතා දීප්තිමත් යුගයක් වන බව ද දේදුනු විප්ලවය නම් සංකේතාත්මක භාවිතයේ අර්ථයයි.

මෙහි දී සිදු වූයේ අන්තර්ජාල සමාජ ජාලකරණ ක්‍රමවේද ඔස්සේ මහින්ද රාජපක්ෂ රජයේ දුෂණ රටට‍ හෙළිදරව් කිරීමයි. ඒවා අතර බලය අවභාවිත කිරීම්, සැකසහිත මිනීමැරුම් හා අතුරුදහන් කිරීම් මෙන්ම මුදල් භාවිතයන් පිළිබඳව ද රටට‍ හෙළිදරව් නොවුණ කරුණු ෆේස්බුක් හා බ්ලොග් අඩවි මඟින් හෙළිදරව් කෙරුණි. එසේම අලුත් පරපුර නමින් ක්‍රියාත්මක වූ කලාකරුවන්ගේ සංවිධානයකට සිදුකළ පහරදීමක් සඳහා ප්‍රමාණවත් සාධාරණයක් ඉටුනොවූ තැන එම සිද්ධිය ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ජනතා අධිකරණය ඉදිරියේ කලාකරුවන්ගේ සාධාරණ කරුණු දැක්වීම් සහිතව විභාග විය. එසේ විභාග වීමෙන් පසු ජනවාරි 8 වන දා රටේ මහජනයා තම තීන්දුව ප්‍රකාශ කළේ රට නව ජනාධිපතිවරයෙකුට භාර කරමිනි.

මහින්ද රාජපක්ෂ සමයේ රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරන බවට ද බොහෝ පාර්ශවයන් වෙතින් චෝදනා නැගුණි. එසේම මෙම ජනාධිපතිවරණ මැතිවරණය සමයේ දී මෙම තත්වය වඩාත් උග්‍ර තත්වයට පත් වූයේ සිය දේශපාලන රැස්වීම් පවා රාජ්‍ය මාධ්‍ය මඟින් සජීවීව විකාශය කිරීමත් සමඟය. රාජ්‍ය මාධ්‍යවල වගකීම විය යුත්තේ විපක්ෂයේ හඬටත් සාධාරණ අවස්ථාවක් ලබා දීම වුවත් විපක්ෂ දේශපාලඥයින්ට හා විකල්ප මතධාරීන්ට රාජ්‍ය මාධ්‍ය තහනම් කලාප විය. එනිසා එම හඬ සමාජගත කිරීමේ එකම ක්‍රමවේදය වූයේ අන්තර්ජාල සමාජ ජාලකරණයේ ක්‍රමවේද භාවිත කිරීමයි. එම ක්‍රමවේදය ඔස්සේ රටේ බුද්ධිමතුන් හා කලාකරුවන් ප්‍රමුඛ ජන මත සංවිධායකයින් ජනතාව වෙත සිය හඬ ගෙන ගිය අතර ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ රටේ පවතින මෙම තත්වය වෙනස් කිරීමට දායක වන බව පැවසීමයි.

සමාලෝචනය[සංස්කරණය]

අරාබි වසන්තය හා දේදුනු විප්ලවය මෙන් ප්‍රමුඛ ගණයේ සයිබර් විප්ලව නොවුණත් විවිධ රටවල්වල ආණ්ඩුවල තීරණවලට එරෙහිව ජනතාව සිය මතය ෆේස්බුක් හා ට්විටර් වැනි වෙබ් අඩවි හරහා පළකොට ආණ්ඩුවට සිය මතය ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් ද සයිබර් විප්ලව අද වන විට භාවිත වේ. මේ සඳහා ආසන්නතම නිදසුන වන්නේ ඉන්දියාවේ රජය මඟින් අසභ්‍ය චිත්‍රපටවලට එරෙහිව පැනවූ තහනම ඉවත් කිරීමට මෙවැනි වෙබ් අඩවි ඔස්සේ ඇති වූ විරෝධය බලපෑමයි. එසේ විරෝධය පෑ පුද්ගලයින් අතර සොෆියා හයට් නම් සරාගී නිළිය ප්‍රමුඛ වන අතර තහනමට එරෙහිව ඇය සිය විරෝධය පෑවේ තම ට්විටර් ගිණුමට තමාගේ නිරුවත් ඡායාරූපයක් එක් කරමිනි. මෙම සිදුවීම අන්තර්ජාලය ඔස්සේ ප්‍රබල ජනමතයක් නිර්මාණය වීමට හේතු වූ අතර එම ජනමතයේ ප්‍රතිඵලයක් ලෙස තහනම ඉවත් කර ගැනීමට ඉන්දියානු රජය කටයුතු කළේය.

මේ අනුව බලන කල සයිබර් විප්ලව අද්‍යතනය වන විට මානව සමාජය හැසිරවීමේ ප්‍රබලතම බලවේගයක් බවට පත්ව ඇති බව ප්‍රකාශ කළ හැකිය. එසේ ම මානව සමාජයේ අනාගතය තීරණය කිරීමේ සාධකයක් වශයෙන් සයිබර් විප්ලව වර්තමානය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ද ප්‍රකාශ කළ යුතුය.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සයිබර්_විප්ලව&oldid=372192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි