ටියේ

විකිපීඩියා වෙතින්
ටියේ
අමර්ණ රාජවංශයේ මාතෘමූලිකාවිය, මහා රාජකීය භාර්යා ටියේ - වර්තමානයේ ජර්මනියේ නියුවස් කෞතුකාගාරය/බර්ලින්හි ඒජිප්ටිස්කස් මියුසියම් හි ප්‍රදර්ශනයට තබා ඇති උඩුකය රුවකි.
ඊජිප්තුවේ අගබිසව
භුක්තියක්‍රි.පූ. 1390 – 1353 පමණ
(වර්ෂ 37)
උපතක්‍රි.පූ. 1398 පමණ
අඛ්මිම්, ඉහළ ඊජිප්තුව
මරණයක්‍රි.පූ. 1338
භූමදානයKV35, රජුන්ගේ නිම්නය, තීබ්ස්
වල්ලභයාඅමෙන්හොටෙප් III
දරුවන්සිටාමුන්
ඉසෙට්
හෙනුට්ටනෙබ්
නෙබෙටාහ්
තුත්මෝස්
අක්නාටන්
ස්මෙන්ඛ්කරේ (විය හැකියි)
"ලාබාල යුවතිය"
බෙකෙටාටන්
ඊජිප්තු නාමය
U33iiZ4B7
පියායුයා
මවට්ජුයු
ආගමපුරාතන ඊජිප්තු ආගම

ටියේ (ක්‍රි.පූ. 1398 - 1338, හෙවත් ටේයා, ටිය් සහ ටියි) යනුවෙන් හැඳින්වෙන්නේ යුයා සහ ට්ජුයු (හෙවත් තුයු) ගේ දියණියයි. ඇය ඊජිප්තු පාරාවෝවරයකු වූ IIIවන අමෙන්හොටෙප්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. ඇය අක්නාටන්ගේ මෑණියන් වූ අතර, ටූටන්ඛාමූන්ගේ මිත්තණිය ද වූවා ය. ඇගේ මමිය 2010දී IIවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබේ (KV35) තිබී සොයාගත් අතර, එය "වැඩිමහල් යුවතිය" ගෙස නම්කෙරිණි.

පවුල සහ මුල්කාලීන දිවිය[සංස්කරණය]

ටියේගේ පියා වූ යුයා රාජකීයයකු නොවූ අතර උතුරු ඊජිප්තු නගරයක් වූ අඛ්මිම්[1] හි ධනවත් ඉඩම් හිමියකු විය. එසේම ඔහු එම නගරයේ පූජකයකු සහ යුධ රථ සෙන්පතියකු හෝ ගව පාලකයකු ලෙස කටයුතු කොට තිබේ.[2] ටියේගේ මව වූ තුයා බොහෝ ආගමික කටයුතු සඳහා දායක වී ඇති බව ඇගේ නොයෙකුත් පදවි මගින් පැහැදිළි වේ. (මේ අතර හාතොර්ගේ ගායිකාව, අමුන් සහ මින් (දෙවියා)මින් දෙවිවරුන්ගේ ප්‍රධාන විනෝදය ගෙනදෙන්නිය... වැනි පදවි පැවතිණි),[3]ඒ අනුව ඇය රාජකීය පවුලේ සාමාජිකාවක බව පෙනේ.

ඊජිප්තුවේදීන් යෝජනා කරන්නේ ටියේගේ පියා වූ යුයා විදේශීය සම්භවයක් ඇත්තකු බවයි. එයට සාක්ෂි ලෙස ඔවුහු එම මමියේ ඇති ලක්ෂණ සහ නාමයේ ඇති විවිධ උච්චාරණයන් හේතුවෙන් එම නාමයට ඊජිප්තු-නොවන සම්භවයක් ඇති බව පවසති.[4] ඇතැමුන් විශ්වාස කරන්නේ රැජිනගේ ශක්තිමත් දේශපාලන සහ ආගමික දැක්මට හේතුවන්නට ඇත්තේ ඇගේ ශක්තිමත් චරිතය නොව විදේශීය සම්භවය වන්නට ඇති බවයි.[3]

ටියේගේ සහෝදරයා වූ අනෙන්, අමුන්ගේ දෙවන වක්තෘවරයා ලෙස කටයුතු කළේ ය.[5] සෙසු ඊජිප්තුවේදීන් අනුමාන කරන්නේ ටූටන්ඛාමූන්ගේ අනුප්‍රාප්තික පාරාවෝවරයකු වූ ආයි ද ටියේගෙන් පැවත එන්නකු බවයි. නමුත් මේ දෙදෙනා අතර සම්පන්ධය සනාථ කෙරෙන කිසිදු පැහැදිළි දිනයක් හෝ ස්මාරකයක් හමුවී නැත. නමුත් මෙම ඊජිප්තුවේදීන් මෙම අනුමානයට පෙළඹී ඇත්තේ ආයිගේ සම්භවය ද අඛ්මිම්හි සිදු වී ඇති නිසායි. එසේම ඔහු විසින් IIIවන අමෙන්හොටෙප්ගේ රාජ සභාවේ ටියේගේ පියා වූ යුයාගේ බොහෝ පදවි උසුලා ඇති නිසාත් ය.[3][6]

IIIවන අමෙන්හොටෙප් රජු විසින් ටියේ සරණපාවා ගත්තේ සිය දෙවන රාජ්‍ය වර්ෂයේදී ය. ඔහු සිය පියාගේ දෙවන බිසවකට උපන් හෙයින්, රාජකීය පෙළපත පවත්වා ගැනීමට ශක්තිමත් බැඳීමක් අවශ්‍ය විය.[4] ඔහුගේ සිංහාසනාරූඪය ඇතැම්විට සය සහ දොළහ අතර වයසක ළමාවියේ දී සිදු වන්නට ඇති බව පෙනේ. ඔහුට සහ ටියේට අවම වශයෙන් දරුවන් සත්දෙනකුවත් (හෝ ඊට වැඩි ගණනක්) සිටින්නට ඇත:

1) සිටාමුන්- වැඩිමහල්ම දියණියයි. ඇගේ පියාගේ 30වන රාජ්‍ය වර්ෂය අවට දී ඇයව මහා රාජකීය භාර්යාව ධුරයට ඔසවා තබන ලදී.[7]

2) අයිසිස්- මැයව ද මහා රාජකීය භාර්යාව ධුරයට උසස් කෙරිණි.[7]

3) හෙනුට්ටනෙබ්- ඇගේ නාමය කාර්ටුෂයක අවම වශයෙන් එක් වරක්වත් සඳහන් වී තිබුණ ද, ඇය රැජිනක වූ බවට සාක්ෂි නොමැත.

4) නෙබෙටාහ්- ඇතැම්විට ඇගේ සොයුරාගේ රාජ්‍ය සමයේ ඇයව බෙකෙටාටන් ලෙස යළි නම්කෙරුණා විය හැකියි.

5) කිරුළහිමි තුත්මෝස් කුමරු- කිරුළහිමි කුමරු සහ ප්ටාහ්ගේ ප්‍රධාන පූජකවරයායි. සිය පියාණන්ට පෙර මියගියේ ය.

6) IVවන අමෙන්හොටෙප්/අක්නාටන්- දිය පියාගෙන් පසු පාරාවෝ බවට පත් විය. නෙෆර්ටිටි රැජිනගේ සැමියායි. ටූටන්ඛාමූන් සමග විවාහ වූ අන්ඛෙසෙනමුන්ගේ පියායි.

7) ස්මෙන්ඛ්කරේ- සම්ප්‍රදායිකව අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයකු ලෙස සැලකේ. වර්තමානයේ ඒඩන් ඩොඩ්සන් වැනි ඇතැම් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ ඔහු නෙෆර්නෙෆරුආටන් පාරාවෝවරිය‍ගේ පූර්වප්‍රාප්තිකයා බවත්, ඔහුට ස්වාධීන පාලන සමයක් නොපැවති බවත් සහ අක්නාටන්ගේ කනිෂ්ඨ සම-රාජ්‍යාධිකාරිවරයා වූ බවත් ය.[8] ඇතැම් අවස්ථාවල KV55 සොහොන්ගැබේ මමිය ඔහුගේ යැයි පැවසේ. එසේ වී නම්, ඔහු‍ ටූටන්ඛාමූන්ගේ පියා වනු ඇත.

8) KV35 සොහොන්ගැබෙන් හමුවූ ලාබාල යුවතිය – IIIවන අමෙන්හොටෙප් සහ ටියේගේ දියණියකි. ටූටන්ඛාමූන්ගේ මවයි. KV55 මමිය හිමි තැනැත්තාගේ සොයුරිය සහ භාර්යාවයි. ඇතැම්විට IIIවන අමෙන්හොටෙප් සහ ටියේගේ හඳුනාගත් දියණියකගේ වන්නට ද පුළුවන.

9) බෙකෙටාටන්- ඇතැම් අවස්ථාවල ටියේ රැජිනගේ දියණියක යැයි විශ්වාස කරන්නේ ශිලා ස්තම්භයක බෙකෙටාටන්ගේ රුව ටියේ රැජිනට යාබදව අක්නාටන් සහ නෙෆර්ටිටි සමග රාත්‍රී භෝජන සංග්‍රහයක නිරූපණය කොට ඇති නිසායි.[1]

ස්මාරක[සංස්කරණය]

ටියේ රැජිනගේ ප්‍රතිමාවක්; මෙම බිඳී ගිය ප්‍රතිමාවේ ඇගේ දකුණු පසින් ඇගේ සැමියා වූ IIIවන අමෙන්හොටෙප්ගේ රුව තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඇගේ සැමියා විසින් ඇය වෙනුවෙන් පූජාසන කිහිපයක්ම ඉදිකළ අතර, නූබියාවේ සෙඩෙඉන්ගාහි ඇය වෙනුවෙන් දෙවොලක් ඉදිකරන ලදී. එම දෙවොලේ ඇයව හාතොර්-ටෙෆ්නුට් දෙවඟනගේ ස්වරූපයක් ලෙස සලකා වන්දනාමාන කෙරිණි.[9] එසේම ඔහු විසින් සිය 12වන වර්ෂයේ ඇය වෙනුවෙන් කෘත්‍රිම විලක් තනවා ඇත.[10] ඇමරිකානු ඊජිප්තුවේදීන් වන ඩේවිඩ් ඕ'කොනර් සහ එරික් ක්ලයින් මෙසේ සඳහන් කරයි:

ටියි පිළිබඳ පෙර නොවූ විරූ සිදුවීම නම්. ... ඇය පැමිණියේ කොහිසිට ද යන්න නොව ඇය කවුරුන් බවට පත්වූයේ ද යන්නයි. පෙර විසූ කිසිදු රැජිනක සිය සැමියාගේ රාජ්‍ය සමයේ මෙසේ ප්‍රමුඛ අයුරින් නිරූපණය ‍කර නොතිබිණි. ප්‍රතිමා, සොහොන්ගැබ් හා දේවස්ථාන කැටයම්වල සහ ශිලා ස්තම්භවල ටියේ රැජින IIIවන අමේනහොටෙප්ට පසෙකින් දක්වා ඇත. එසේම භාජන, ආභරණ වැනි කුඩා භාණ්ඩවල ඇගේ නාමය ඔහුගේ නාමය සමග දක්වා ඇත. නමුත් විශාල අනුස්මරණ ස්කැරබ් රූපවල ඇගේ නාමය සාමාන්‍යයෙන් යෙදෙන්නේ ඔහුගේ දින තීරුවට පසු ය. ඇගේ උඩුකය රූපවල ඇගේ ශීර්ෂාවරණයට ගව අං සහ හිරු මඬලවල් (හාතොර් දෙවඟනගේ ලක්ෂණ වේ) වැනි නව අංග එකතු කොට තිබේ. ස්ෆින්ක්ස් රූප මුලින් රජවරුන් සඳහා නිමැවුණත්, ඇයව ද ස්ෆින්ක්සයක ස්වරූපයෙන් නිරූපණය කොට තිබේ. එමගින් ඇගේ තත්ත්වය රජුගේ දිව්‍යමය ස්වරූපයක් මෙන්ම භෞම සහායකයකු ලෙස ද නිරූපිත ය. උතුරු සුඩානයේ සෙඩෙඉන්ගා ප්‍රදේශයේ IIIවන අමෙන්හොටෙප් විසින් ඇය වෙනුවෙන් දෙවොලක් ඉදිකොට තිබේ. එහි ඇයව හාතොර් දෙවඟනගේ ස්වරූපයක් ලෙස සලකා වන්දනාමනායට පාත්‍ර වී තිබේ ... සෙඩෙන්ගාහි දෙවොල එයට කිලෝමීටර පහළොවක් දකුණින් වූ IIIවන අමෙන්හොටෙප්ගේ මහා සොලෙබ් දෙවොලට කළ ආභරණයක් වැනි ය. (සියවසකට පසුව IIවන රැම්සෙස් විසින් අබු සිම්බල්හි ද මෙවැනිම සැකසුමක් සිදු කර තිබේ. එහිද දෙවොල් දෙකක් දක්නට ඇත. ඉන් විශාල දකුණු දේවස්ථානය රජු වෙනුවෙන් ඉදිවූවකි. කුඩා උතුරු දෙවොල හාතොර් ලෙස නිරූපිත නෙෆර්ටිරි රැජින වෙනුවෙන් ඉදිකෙරුණකි)[11]

මාලිගයේ බලපෑම[සංස්කරණය]

ටියේ රැජිනගේ අසම්පූර්ණ අවමංගල වෙස්මුහුණ; බර්ලින්හි ඒජිප්ටිස්කස් කෞතුකාගාරයේ එකතුවෙහි තබා ඇත.

ටියේ රැජින සිය සැමියාගේ මෙන්ම සිය පුත්‍රයාගේ ද සමයේ විශාල බලයක් භුක්ති වින්දා ය. IIIවන අමෙන්හොටෙප් දක්ෂ ක්‍රීඩකයකු, ප්‍රේමවන්තයකු සහ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයකු ද විය. ඔහුට නිතරම මිටැනියෙහි ටුෂ්රට්ටා සහ බැබිලෝනියාවේ Iවන කඩාෂ්මන්-එන්ලිල් වැනි විදේශ රජවරුන්ගෙන් රන් සඳහා ඉල්ලීම් සහ සිය සියණියන්ට විවාහ යෝජනා ඉදිරිපත් විය. පුරාතන ඊජිප්තුවේ රාජකීය පෙළපත පවත්වා ගෙනගියේ කාන්තාවන් විසිනි. රාජකීය කාන්තාවක හා විවාහ වන්නකුගේ දරුමුණුපුරන් සිහසුනට සුදුසුකම් හිමි කරගනිති. ටියේ සිය සැමියාගේ විශ්වාසවන්ත උපදේශිකාව සහ හිතවතිය වූවා ය. බුද්ධිමත්, නැණවත්, ශක්තිමත් සහ රෞද්‍ර ඇයට විදේශයන්ගේ පවා බුහුමන් හිමි විය. විදේශ නායකයන් පවා ඇය සමග ඍජුව ගනුදෙනු කළහ. ක්‍රියාකාරීව විදේශ සබඳතා මෙහෙයවූ ඇය නීතිමය පණතක සිය නම වාර්තා කරගත් ප්‍රථම ඊජිප්තු රැජිනිය ද වේ.[12]

ටියේ ඇතැම්විට ඇගේ පුත්‍රයා වූ අක්නාටන් සිහසුනට පත්වූ පසු ඔහුට ද උපදෙස් සපයන්නට ඇත. ඇගේ පුත්‍රයා මිටැනියෙහි රජු වූ ටුෂ්රට්ටා සමග පැවැත්වූ ලිපි හුවමාරුවේ ඇය රාජසභාවේ දැරූ දේශපාලන බලය ඉහළින් වර්ණනා කර ඇත. EA 26 නැමැති අමර්ණ ලිපිය මගින් මිටැනියෙහි රජු වූ ටුෂ්රට්ටා ටියේ සමග ඍජුවම ලිපි හුවමාරු සිදු කරයි. එහි එකල ඔහු ඇය සහ ඇගේ මියගිය සැමියා සමග පැවැත්වූ යහපත් සබඳතා පිළිබඳ අතීතාවර්ජනය කර ඇත. එසේම ඇගේ පුත්‍රයා වූ අක්නාටන් සමග ද තවදුරටත් මිත්‍රත්වය පවත්වා ගැනීමට ඔහු තුළ වූ අපේක්ෂාව ද ඉන් හෙළි වේ.[13]

IIIවන අමෙන්හොටෙප් මියගියේ ඔහුගේ 38 හෝ 39 වන රාජ්‍ය වර්ෂයේ (ක්‍රි.පූ. 1353/1350) ය. ඔහුගේ දේහය රජුන්ගේ නිම්නයේ WV22 සොහොන්ගැබේ භූමදානය කෙරිණි. නමුත් ටියේ වසර දොළහක් පමණ ඉන් අනතුරුවත් ජීවත්ව ඇති බවට හඳුනාගෙන තිබේ. ටියේ තවදුරටත් අමර්ණ ලිපිවල සහ ශිලා ලේඛනවල සඳහන් කෙරුණේ රජුගේ ප්‍රියයා සහ රැජින ලෙසයි. ටියේ වෙත ලියා ඇති EA 26 නැමැති අමර්ණ ලිපිය අක්නාට්න රාජ්‍ය සමයට අයත් යැයි කාලනිර්ණය කර ඇත. අක්නාටන්ගේ නව අගනුවර වූ අක්ටාටන් (අමර්ණ) නගරයේ ඇයට නිවසක් පැවති බව හඳුනාගෙන තිබේ. එසේම ඇයව හුයාගේ සොහොන්ගැබේ බිත්තිවල නිරූපණය කොට ඇත. හුයා යනු "රජුගේ මෑණියන්, මහා රාජකීය භාර්යා ටිය්ගේ නිවසේ ආරක්ෂකයා" ය. එහි ඇය, අක්නාටන්, නෙෆර්ටිටි සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නිරූපිත අතර, අනතුරුව ඇයව රජු විසින් ඇගේ හිරුමුවාව වෙත ඇරලවන අයුරු නිරූපිත ය.[14] අක්නාටන්ගේ රාජ්‍ය සමයේ 12වන වර්ෂයේ නොවැම්බර් 21ට (ක්‍රි.පූ. 1338) නිර්ණිත ශිලාලේඛනයක ඇය සහ ඇගේ මිණිපිරිය වූ මෙකෙටාටන් අවසන් වරට සඳහන් කොට තිබේ. එම දිනයෙන් මඳ කලකට පසු ඔවුන් මියගියේ යැයි සිතිය හැක. මේ බව සනාථ කරමින් අක්නාටන් විසින් ඇය වෙනුවෙන් ඉදිකළ පූජාසනය හමු වී ඇත. මෙය පසුව තීබ්ස්හි KV55 අමර්ණ සොහොන්ගැබේ තිබී හමු විය. එම පූජාසනයේ පාරාවෝවරයාගේ 9වන වර්ෂයෙන් පසුව පමණක් භාවිතා වූ ආටන්ගේ නාමයේ පසුකාලීන ස්වරූපය සටහන් කොට තිබේ.[15]

ටියේ රැජින අක්නාටන්ගේ 12වන රාජ්‍ය වර්ෂයෙන් (ක්‍රි.පූ. 1338) පසුව මියගියේ නම්, ඇගේ උපත ක්‍රි.පූ. 1398 අවට සිදුවූ‍යේ යැයි සිතීමට සිදු වේ. එසේම IIIවන අමෙන්හොටෙප් සහ ඇගේ විවාහය එකොළොස් හෝ දොළසෝවන වියේ සිදු වන්නට ඇත. එවිට ඇය වැන්දඹුවක් බවට පත්වූයේ හතලිස්-අටේ සිට හතලිස්-නවය දක්වා වූ වයසක දී වන්නට ඇත. එවිට විවිධ මතයන් අනුව IIIවන අමෙන්හොටෙප් සහ ඔහුගේ පුත් අක්නාටන් අතර හවුල් පාලන සමය වසර දොළහකට වැඩි කාලයක් පවතින්නට ඇත. නමුත් වර්තමානයේ බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ වසරකට අඩු කාලයක් පැවති හවුල් පාලන සමයක් පැවති බව[16] හෝ කිසිසේත්ම හවුල් පාලන සමයක් නොපැවති බවයි.[14]

භූමදානය සහ මමිය[සංස්කරණය]

වර්තමානයේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇති ටියේ රැජිනගේ මමිය

ටියේගේ දේහය, ඇගේ මිණිපිරිය වූ මෙකෙටාටන් සහ ඇගේ පුත්‍රයාගේ දේහය සමග මුලින් අමර්ණහි අක්නාටන්ගේ රාජකීය සොහොන්ගැබේ භූමදානය කරන්නට ඇත. මේ බවට සාක්ෂි ලෙස මීට කෙටි කලකට පෙර සොහොන්ගැබෙන් හමුවූ ඇගේ මිනීපෙට්ටියේ යැයි සැලකිය හැකි පුරාවස්තු කොටසක් නිසායි. ඇගේ රන් ආලේපිත භූමදාන පූජාසනය (ඇය සහ අක්නාටන් නිරූපිත) KV55 සොහොන්ගැබෙන් හුමවූ අතර, ඇයට අයත් ෂැබ්ටි රූප IIIවන අමේනහොටෙප්ගේ WV22 සොහොන්ගැබෙන් හමු විය.[17]

ඇගේ මමීකෘත දේහය තවත් මමී දෙකක් සමග IIවන අමෙන්හොටෙප්ගේ KV35 සොහොන්ගැබේ ප්‍රතිවිරුද්ධ කුටියක තිබී සොයාගන්නා ලද්දේ 1898දී වික්ටර් ලොරෙට් විසිනි. සෙසු මමී දෙක නම් දසවන වියේ දී පමණ මියගිය වෙබෙන්සෙනු හෝ තුත්මෝස් කුමරුගේ යැයි සිතිය හැකි පිරිමි දරුවකුගේ මමියක් සහ තරුණ හඳුනා නොගත් කාන්තාවකගේ මමියකි. මෙම මමී තුන පෙළට නිර්වස්ත්‍රව තබා තිබූ අතර, එය සොහොන්ගැබෙහි වූ කුඩා පැති කුටීරයක තිබී හමු විය. මෙම මමී තුනට පුරාතන නිධන් සොරුන් අතින් බෙහෙවින් හානි සිදු වී තිබේ.[18] පළමුව, පර්යේෂකයින් හට මෙම කාන්තා මමී ද්විත්වය හඳුනාගත නොහැකි වූ අතර, ටියේ රැජිනගේ මමියට 'වැඩිමහල් ආර්යාව' යන නාමයත් ‍අනෙක් කාන්තාවට 'ලාබාල ආර්යාව' යන නාමයත් ලබා දෙන ලදී. ඇතැම් පර්යේෂකයන් යෝජනා කළේ වැඩිමහල් ආර්යාව යනු ටියේ රැජින බවයි. ඇතැමුන් පැවසූයේ ඇගේ මුණුපුරා වූ ටූටන්ඛාමූන්‍ගේ සොහාන්ගැබෙන් හමුවූ ඇගේ නාමය කැටයම් කළ කුඩා මිනී පෙට්ටි දයාබර මිත්තණියකගේ ත්‍යාගයන් බවයි.[17] මෙම මතයට එකඟ නොවූ බ්‍රිතාන්‍ය විද්වතුන් වූ ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්යන් වැනි ඇතැම් විද්වතුන් වරක් ප්‍රකාශ කළේ "IIවන අමෙන්හොටෙප්ගේ ‍සොහොන්ගැබේ තිබී හමුවූ 'වැඩිමහල් ආර්යාව' නැමැති මමිය ඇගේ විය නොහැකි බවයි".[17]

2010 වන විට, ශ්‍රේෂ්ඨ ඊජිප්තු පුරාවස්තු කවුන්සිලයේ ලේකම් ජනරාල්වරයා වූ සාහි හවාස්ගේ අනුග්‍රහය යටතේ පැවැත්වූ DNA විශ්ලේෂණයකින් පෙනීගියේ වැඩිමහල් ආර්යාව නැමැති මමිය ටියේ රැජිනගේ බවයි.එසේම ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබ ඇතුළත තිබී හමුවූ කෙස් ගස්, වැඩිමහල් ආර්යාවගේ DNA සමග ගැළපිණි.[19]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 ටිල්ඩෙස්ලි 2006, පිටු අංකය: 115.
  2. "බාට්, ඇනෙක්. "ඒන්ෂන්ට් ඊජිප්ට්." http://euler.slu.edu/~bart/egyptianhtml/kings%20and%20Queens/amenhotepiii.htm සංරක්ෂණය කළ පිටපත 2016-09-24 at the Wayback Machine
  3. 3.0 3.1 3.2 ටිල්ඩෙස්ලි 2006, පිටු අංකය: 116.
  4. 4.0 4.1 ඕ'කොනර් 1998, පිටු අංකය: 5.
  5. ඕ'කොනර් 1998, පිටු අංකය: 5-6.
  6. ෂෝව්, ඉයන්. ද ඔක්ස්ෆර්ඩ් හිස්ටි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ලන්ඩන්, 2003. පි. 253
  7. 7.0 7.1 ටිල්ඩෙස්ලි 2006, පිටු අංකය: 121.
  8. ඒඩන් ඩොඩ්සන්, "අමර්ණ සන්සෙට්: නෙෆර්ටිටි, ටූටන්ඛාමූන්, ආයි, හොරෙම්හෙබ් ඇන්ඩ් ද ඊජිප්ටියන් කවුන්ටර්-රිෆෝමේෂන්" (කයිරෝ: AUC මුද්‍රණාලය, 2010), පිටු. 27-29
  9. ඕ'කොනර් 1998, පිටු අංකය: 6.
  10. කොස්ලොෆ්, ඒරියල්; බ්‍රයන්, බෙට්සි (1992). "රෝය්ල් ඇන්ඩ් ඩිවයින් ස්ටැචුවරි". ඊජිප්ට්’ස් ඩැස්ලිං සන්: අමෙන්හොටෙප් III ඇන්ඩ් හිස් වර්ල්ඩ්. ක්ලෙව්ලන්ඩ්. ISBN 978-0-940717-16-9.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  11. ඕ'කොනර් 1998, පිටු අංකය: 6-7.
  12. ටිල්ඩෙස්ලි 2006, පිටු අංකය: 118.
  13. "EA 26 - අ ලෙටර් ෆ්‍රොම් ටුෂ්රට්ටා ටු ටියේ".
  14. 14.0 14.1 ඕ'කොනර් 1998, පිටු අංකය: 23.
  15. ජොයිස් ටිල්ඩෙස්ලි, නෙෆර්ටිටි: ඊජිප්ට්'ස් සන් ක්වීන්, පෙන්ගුයින් UK, 2005
  16. රීවස්, නිකොලස්. අක්නාටන්: ද ෆෝල්ස් ප්‍රොෆට්, පිටු. 75-78
  17. 17.0 17.1 17.2 ඩොඩ්සන් 2004, පිටු අංකය: 157.
  18. හවාස් ඉසෙඩ්; ගැඩ් වයි ඉසෙඩ්; ඉස්මයිල් එස්; ඛයිරාට් ආර්; ෆතල්ලා ඩී; හසන් එන්; අහමඩ් ඒ; එලයිති එච්; බෝල් එම්; ගැබල්ලා එෆ්; වාසෙෆ් එස්; ෆාතීන් එම්; අමර් එච්; ගොස්ට්නර් පී; සලිම් ඒ; සින්ක් ඒ; පුෂ් සී. එම්. (පෙබරවාරි 2010). "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමූන්'ස් ෆැමිලි". JAMA: ද ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝසියේෂන්. 303 (7): 638–47. doi:10.1001/jama.2010.121. PMID 20159872. {{cite journal}}: Vancouver style error: punctuation in name 1 (help)
  19. හවාස්, සාහි ඇතුළු පිරිස. "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමූන්'ස් ෆැමිලි" ද ජර්නල් ඔෆ් ද ඇමරිකන් ‍මෙඩිකල් ඇසෝසියේෂන් පිටු. 640-641
  • ඩොඩ්සන්, ඒඩන් (2004). The Complete Royal Families of Ancient Egypt. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 978-0-500-05128-3. {{cite book}}: Invalid |ref=harv (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • ඕ'කොනර්, ඩේවිඩ් (1998). Amenhotep III: Perspectives on His Reign. ඈන් ආබර්: මිචිගන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 978-0-472-08833-1. {{cite book}}: Invalid |ref=harv (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • ටිල්ඩෙස්ලි, ජොයිස් (2006). Chronicle of the Queens of Egypt. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 978-0-500-05145-0. {{cite book}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=ටියේ&oldid=627545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි