රන් ආල්පිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව (ජාතික වස්තුව අං. 83)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රන් ආල්පිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව (ජාතික වස්තුව අං. 83)
කොරියානු නම
හංගුල්금동 미륵보살 반가상
හංජා金銅彌勒菩薩半跏像
සංශෝධිත රොමානුකරණයGeumdong Mireuk Bosal ban-gasang
මෙකන්–රයිෂවර්Kŭmdong Mirŭk Posal pan'gasang

රන් ආලේපිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ අනාගත බුදුන් වහන්සේ වන මෛත්‍රෙය බෝධිසත්ත්වයින්ගේ යැයි සැලකෙන රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමාවකි. මෙහි බෝසතුන් අර්ධ-හිඳි ධ්‍යානශීලී ඉරියව්වකින් වැඩ හිඳියි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිමාව ධ්‍යානශීලී බෝධිසත්ත්ව ප්‍රතිමාව, චින්තාපර බෝධිසත්ත්ව ප්‍රතිමාව හෝ රන් ආලේපිත ලෝකඩ හිඳි මෛත්‍රෙය ප්‍රතිමාව වැනි නම්වලින් හඳුන්වනු ලබයි. කොරියානු බසින් මෙම ප්‍රතිමාව බොහෝවිට හැඳින්වෙන්නේ පන්ගසායුසං යන නාමයෙනි. මෙය 83වන කොරියානු ජාතික වස්තුව ලෙස නම් කොට ඇත‍.

මෙතෙක් නිර්මාණය කොට ඇති බෞද්ධ ප්‍රතිමා අතුරින් විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව කොරියානු කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ. වර්තමානයේ මෙම ප්‍රතිමාව කොරියාවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය එහි වඩාත්ම ජනප්‍රිය කෞතුක වස්තුවක් ද වේ.

කොරියානු ජාතික වස්තුව අං. 83 නම් වන මෙම ප්‍රතිමාව මිල කළ නොහැකි වුවත්, වොන් බිලියන 50ක මුදලකට රක්ෂණය කොට ඇත. මෙය කොරියාවේ වඩාත්ම මිලාධික ජාතික වස්තුව ලෙස සැලකේ.[1]

සම්භවය[සංස්කරණය]

මෛත්‍රෙය ප්‍රතිමාවේ වැදගත්කම[සංස්කරණය]

තුන් රාජධානි යුගයේ ප්‍රතිමා ශිල්පීන් මෙන්ම බැතිමතුන් අතර ද වඩාත් ජනප්‍රිය තේමාවක් ලෙස මෛත්‍රෙය ප්‍රතිමා සැලකිණි. පසුකාලීන 6වන සියවසේ සිට මුල්කාලීන එක්සත් සිල්ලා යුගය දක්වා වූ වසර සියයක කාලසීමාව තුළ මෙවැනි පන්ගසායුසං බෝධිසත්ත්ව ප්‍රතිමා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.[2] මෙම සංක්‍රාන්ති සමය දේශපාලන අරගලවලින් ගහන වූ අතර, බුදු දහම මෙන්ම මෛත්‍රෙය වන්දනාව ද අර්ධද්වීපය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළේ ය.

සෙය්‍යාවේ සම්භවය[සංස්කරණය]

මෙම බෝධිසත්ත්වයාණන් හිඳගෙන සිටින්නේ පීඨිකාවක වන අතර, නවාගත් දකුණු පාදය වම් දණහිස මතින් තබාගෙන සිටියි. එක් ඇඟිල්ලක් සියුම් ලෙසින් මුහු‍ණට හේත්තු කොටගෙන සිටින අතර, එමගින් චින්තාබර ස්වභාවයක් පෙනේ. මෙම ඉරියව්ව පළමුව සම්භවය වූයේ ඉන්දියාවේ වන අතර, අනතුරුව එය චීනය ඔස්සේ කොරියා‍ව වෙත සම්ප්‍රේෂණය විය. මෙම ඉරියව්ව ශාක්‍යමුණි බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර, කුමාර අවධියේ දී සිදුවූ සිදුවීමක් ඇසුරෙන් බිහිවූවකි. ගොවීන් සී සාන අතරතුර සිද්ධාර්ථ කුමරු මානව දුක්ඛයේ චක්‍රීය ස්වභාවය මෙනෙහි කරන්නට විය. මෙම මෛත්‍රෙය බෝධිසත්ත්ව රුව මගින් ද මෙම ඉරියව්ව නිරූපණය කොට ඇත.[3]


විස්තරය[සංස්කරණය]

ප්‍රතිමාවේ පැති පෙනුම

මෙම ප්‍රතිමාව මුල්කාලීන 7වන සියවසේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රතිමාවේ සළුවේ රැළි අනුව මෑතකාලීන විද්වත් සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ මෙම ප්‍රතිමාව සිල්ලාවට අයත් බවයි. නමුත් ඇතැම්හු මෙය බෙක්ජේ කලාකෘතියක් යැයි සලකති. මෙම ප්‍රතිමාව සෙන්ටිමීටර 93.5ක් (ආසන්නව අඩි 3 අඟල් 1) උසින් යුක්ත ය. මේ නිසා මෙම ප්‍රතිමාව අතිශය වැදගත්භාවයක් හිමිව ඇත්තේ එම යුගයට අයත් විශාල ලෝකඩ ප්‍රතිමා හමුවන්නේ ස්වල්පයක් බැවිනි. ලෝකඩවලින් තනා ඇති මෙම ප්‍රතිමාව මත අතීතයේ රන් ආලේප කොට තිබිණි.

ප්‍රතිමාව හිඳගෙන සිටින්නේ වෘත්තාකාර පාදමක් මත ය. ප්‍රතිමාවේ දකුණු පාදය හරස් අතට නවා වම් පාදය මත තබාගෙන සිටියි. දකුණු අතින් කම්මුල ස්පර්ශ කරමින් සිටින අතර, වම් අත හරස් පාදය මත තබා ඇත. මෙම විලාසය බෞද්ධ කලාවේ ජනප්‍රිය මාතෘකාවක් වන අතර, එය ඉන්දියාවේ සිට චීනයටත් අනතුරුව කොරියාව සහ ජපානය වෙතත් ව්‍යාප්ත විය. මෙම ශෛලියේ මෛත්‍රෙය ප්‍රතිමාවල දක්නට ලැබෙන තවත් පොදු ල්කෂණයක් නම් හිඳ සිටින අසුන මත සළු අතුරා තිබීමයි. මෛත්‍රෙය බෝසතුන් නිරූපිත චීන ප්‍රතිමාවල වස්ත්‍ර අතිශයින් විසිතුරු, රළු සහ විධිමත් ස්වභාවයක් ගනියි. කෙසේනමුත්, මෙම කොරියානු ප්‍රතිමාවේ සළුවල ඇති කඩාහැළෙන සහ ස්වාභාවික විලාසය හේතුවෙන් ප්‍රතිමාවට සජීවීභාවයක් ලැබී ඇත. ප්‍රතිමාවේ දේහයේ ඇති සිහින් සහ සුනම්‍ය ස්වභාවය බෙක්ජේ ආභාසය කියාපායි. කෙසේනමුත් ප්‍රතිමාවේ ඇති නාස් පොල්ල සහ තියුණු නාසය සිල්ලා සම්භවයට සාක්ෂි දේ. මෙම ප්‍රතිමාවේ සැබෑ සම්භවය තවමත් නොදන්නා නමුත්, වර්තමාන කලා ඉතිහාසඥයන්ගේ මතය වන්නේ මෙ සිල්ලා ලෝකරුවකුගේ කෘතියක් බවයි. එයට හේතුව පීඨිකාව මත සිල්ලා-ආරේ සළුව විහිදුවා තිබීමයි.

මෙම ප්‍රතිමාවේ ඇති සමානුපාතික ස්වභාවය සහ සළුවේ රැළිවල ඇති තාත්වික ස්වභාවය හේතුවෙන් ප්‍රතිමා ශිල්පියා මෙම ප්‍රතිමාව නෙළීමේ දී නිරූපණ ශිල්පියකුගේ සහාය ලබාගත් බවට යෝජනා වී ඇත. වෙනත් මෛත්‍රෙය ප්‍රතිමා, ශිල්පියාගේ කලා සම්ප්‍රදායට අනුගත කිරීමට උත්සාහ දරා තිබීම නිසා තරමක් විකෘත හෝ ශෛලිගත ස්වභාවයක් ගෙන ඇත. ප්‍රතිමාවේ ඉහළ අර්ධය සහ පහළ අර්ධය අතර ඇති සමබරතාවය හේතුවෙන් ශිල්පියා යතාර්ථවාදීව ප්‍රතිමාව නිර්මාණයට ගත් උත්සාහය වටහාගත හැක. ප්‍රතිමාවේ ශීර්ෂයේ නැමි තුනක් සහිත කිරුළක් වන අතර, වෙනත් ප්‍රතිමාවල මෙන් එය අතිශයින් විසිතුරු නැත. කිරුළ සරල චාම් ස්වභාවයක් ගනියි. ප්‍රතිමාවේ රශ්මි මාලාව ප්‍රතිමාව සොයාගන්නා විටත් දක්නට නොලැබුණු අතර, ප්‍රතිමාවට සම්බන්ධ කොට තිබූ රශ්මි මාලාවේ කොටසක් තවමත් දැකගත හැක. ප්‍රතිමාවේ ඇති නිරුවත් උඩුකය හේතුවෙන් ප්‍රතිමාව වඩා චාම් ස්වභාවයක් ගෙන ඇත. ප්‍රතිමාව තුළින් නිසල චින්තා පරවශ ස්වභාවයක් පිළිබඳ හැඟීමක් ජනිත වුව ද, මෙම ලෝකඩ ප්‍රතිමාවේ ඇති ඉරියව්ව සහ ශෛලිය හේතුවෙන් තරමක් ගතික ස්වභාවයක් ද දැකගත හැක.

සමාන වෙනත් කෘති[සංස්කරණය]

කියෝතෝවේ කොර්යු-ජි විහාරයේ මිරෝකු බෝසත්සු ප්‍රතිමාව
මේ හා සමාන ඉරියව්වකින් යුත් කොරියානු බෝධිසත්ත්ව ප්‍රතිමාවක්; 7වන සියවස, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

ජපානයේ ජාතික වස්තුවක් ලෙස නම් කොට ඇති කියෝතෝවේ කොර්යු-ජි විහාරයේ මිරෝකු බෝසත්සු ප්‍රතිමාව මෙම ප්‍රතිමාවේ නිවුන් ප්‍රතිමාවකි. මෙය ද කොරියානු සම්භවයක් සහිත ප්‍රතිමාවක් වීමට වැඩි සම්භාවිතාවක් ඇත.[4] මිරෝකු ප්‍රතිමාව කැටයම් කොට ඇත්තේ රතු පයින් දැවයෙනි. ඇතැම්විට නිහොන් ෂොකි මූලාශ්‍රයේ දැක්වෙන සිල්ලාවේ රජු යමාටෝ රාජ මාලිගය වෙත ලබා දුන් ප්‍රතිමාව මෙය වන්නට පුළුවන. මෙම ප්‍රතිමා ද්විත්වයේම අතිශය කල්පනාබරිත ස්වභාවය, තාත්වික වස්ත්‍ර, සිහින් දේහය සහ සරල නැමි තුනේ කිරුළු දක්නට ලැබේ.

මෙම ප්‍රතිමාවේ ඇති කල්පනාබරිත ස්වරූපය හේතුවෙන් එය ‍නිතරම ඔගස්ටි රෝඩින්ගේ කලාකෘතියක් වන චින්තකයා සමග සසඳනු ලැබේ.

පාදක සටහන්[සංස්කරණය]

  1. Huh, Mun-myung. "Korea's National Treasures Revealed." The Dong-A Ilbo. November 21, 2005. [1].
  2. Pak, Young-Sook and Roderick Whitfield. Handbook of Korean Art: Buddhist Sculpture. Seoul: Yekyong Publishing, 2002.
  3. Pak, Young-Sook and Roderick Whitfield. Handbook of Korean Art: Buddhist Sculpture. Seoul: Yekyong Publishing, 2002. 108-143.
  4. Holland Cotter. "Japanese Art and Its Korean Secret." The New York Times. April 6, 2003. [2]. <!—දකුණු කොරියානු මෙන්ම ජපන් ජාතික වස්තූන් ද අංකනය කොට ඇත්තේ ඒවායේ වැදගත්කම අනුව නොව, නිල වශයෙන් නම් කළ අනුපිළිවෙල අනුව ය. NO CITATION-->


මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]