සොක්ගුරාම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සොක්ගුරාම්
Seokguram Buddha.JPG
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පිහිටීමදකුණු කොරියාව විකිදත්ත සංස්කරණය කරන්න
ඛණ්ඩාංක35°47′42″N 129°20′57″E / 35.795°N 129.34916666667°E / 35.795; 129.34916666667
නිර්ණායකසංස්කෘතික: i, iv
සමුද්දේශ736
අභිලේඛනය1995 (19වන සැසිය)
කොරියානු නම
හංගුල්
හංජා
සංශෝධිත රොමානුකරණයSeokguram
මෙකන්–රයිෂවර්Sŏkkuram

සොක්ගුරාම් ගුහාව යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ ආරණ්‍යයක් වන අතර එය බුල්ගුක්සා විහාර සංකීර්ණයේ කොටසක් ද වේ. මෙය පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ ග්යොංජුහි තොහම්සන් කන්දේ විහාරයට කිලෝමීටර හතරක් නැගෙනහිරිනි. දකුණු කොරියානු රජය විසින් මෙය ජාතික වස්තුව අං. 24 ලෙස නම්කොට ඇත. මෙය 994, ජින්හ්යොන්-දොං, ග්යොංජු-සි, ග්යොංසන්බුක්-දෝ යන ස්ථානයේ පිහිටියේ ය. ගුහාවේ සිට නැගෙනහිර මුහුද (동해) දර්ශනය වන අතර, එය මුහුදු මට්ටමේ සිට මීටර 750ක් ඉහළින් පිහිටා ඇත. 1962දී එය 24වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.[1][2] 1995දී සොක්ගුරාම් ගුහාව, බුල්ගුක්සා විහාරය සමග යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි. මෙය ලෝකයේ විශිෂ්ට බුද්ධ ප්‍රතිමා කිහිපයක් සඳහා උදාහරණ සපයයි.[3]

මෙම ආරණ්‍යය ඉදිකරන ලද්දේ කිම් දේසොං විසින් යැයි පැවසෙන අතර එය මුලින් හඳන්වා ඇත්තේ සොක්බුල්සා (석불사, ශෛලමය බුද්ධ ප්‍රතිමා විහාරය) යනුවෙනි. මෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ 742දී කිම් දේසොං රාජමාලිගයේ සිය පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසුව හෝ 751දී, එනම් සිල්ලාහි ග්යොංදොක් රජුගේ 10වන වර්ෂයේ යැයි විශ්වාස කෙරේ. මෙම යුගය එක්සත් සිල්ලා යුගයේ සංස්කෘතිය උච්චතම අවස්ථාවට පත්ව තිබූ යුගයකි. ගිම්ගේ මරණින් මඳ කලකට පසු, 774දී ගුහාවේ නිර්මාණ කටයුතු අවසන් විය. පුරාණ ජනප්‍රවාදයක් අනුව කියැවෙන්නේ ගිම් ඔහුගේ පෙර ආත්මයේ ඔහු සිදුකළ දාරක කටයුතු හේතුවෙන් පුනරුත්පත්තිය ලැබූ බවයි. මෙම පුරාවෘත්තය පවසන්නේ බුල්ගුක්සා විහාරය වර්තමාන ආත්මයේ ඔහුගේ දෙමාපියන්ට පුදකළ එකක් බවත්, සොක්ගුරාම් ගුහාව ඔහු‍ගේ පෙර ආත්මයේ දෙමාපියන්ට පූජා කළ එකක් බවයි.

වර්තමානයේ මෙය දකුණු කොරියාවේ විශිෂ්ටතම සංස්කෘතික දායාද අතුරින් එකක් ලෙස සැලකේ. මෙහි හිඳි බුද්ධ ප්‍රතිමාව අසල සිට මුහුද දෙසින් හිරු නැගෙන දර්ශනය නැරඹීම අතිශයින් ජනප්‍රිය වී ඇත.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

ඉන්දියාව තුළ ගල් බිත්ති සහ ස්වාභාවික ලෙන් කැන බුද්ධ ප්‍රතිමා, පූජනීය රූ සහ ස්තූප ඉදිකිරීමේ සම්ප්‍රදායයක් ජනප්‍රිය විය‍ මෙම සම්ප්‍රදාය චීනය සහ අනතුරුව කොරියාව වෙත සම්ප්‍රේෂණය විය. කොරියානු අර්ධද්වීපයේ භූ විද්‍යාව සැලකූවිට තද ග්‍රැනයිට් පාෂාණවලින් බහුලව සමන්විත ය. මේ නිසා ලෙන් බිත්ති ඇතුළට කැන ප්‍රතිමා ඉදිකිරීම එතරම් ප්‍රා‍යෝගික‍ නොවී ය. සොක්ගුරාම් යනු ග්‍රැනයිට්වලින් තනන ලද කෘත්‍රිම ගුහාවකි. මෙහි එයටම ආවේණික වූ ලක්ෂණ දැකගත හැක. ගුහාවේ කුඩා ප්‍රමාණය අනුව පෙනෙන්නේ එය සිල්ලා රාජකීයයන් විසින් පමණක් භාවිතා කළ එකක් බවයි.

මෙම ගුහාව නිර්වාණය වෙත යන අධ්‍යාත්මක ගමන් මාර්ගයේ සංකේතාත්මක නිරූපණයකි. බැතිමතුන්හට බුල්ගුක්සා හෝ සිල්ලාවේ පූජනීය කන්දක් වන තොහම්සන් කන්ද පාමුලින් සිය ගමන ආරම්භ කිරීමට සිදු විය. විහාරයට පිවිසෙන ස්ථානයේ උල්පතක් ඇති අතර, බැතිමතුන්ට සිය විඩාව සංසිඳුවා ගැනීමට එය උපකාරී වන්නට ඇත. ගුහාව තුළ ප්‍රවේශ කුටිය සහ බරාඳය මගින් පෘථිවිය සංකේතවත් වන අතර, වක්‍රාකාර ගෘහය මගින් දෙව්ලොව සංකේතවත් වේ.

ගුහාවේ මූලික සැලැස්ම සැලකූ විට එහි ඍජුකෝණාස්‍රාකාර ප්‍රවේශ කුටියක් වෙත දිවෙන ආරුක්කු හැඩැති පිවිසුම් දොරටුවක් ඇත. අනතුරුව පටු බරාඳයට පිවිසේ. මෙය අල්පෝන්නත කැටයම්වලින් අලංකාර කොට ඇති අතර, අවසානයේ ප්‍රධාන වක්‍රාකාර ගෘහය දක්නට ලැබේ. මෙම ග්‍රැනයිට් සිද්ධස්ථානයේ මධ්‍යයේ ප්‍රධාන කුටිය තුළ හිඳි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ. මෙම බුද්ධ ප්‍රතිමාවෙන් කුමන බුදුන් වහන්සේ නිරූපණය වේ ද යන්න තවමත් මතභේදාත්මක ය. බුද්ධ ප්‍රතිමාව පද්මාසනයක් මත බද්ධ පර්යංකයයෙන් වැඩහිඳියි. බුද්ධ ප්‍රතිමාවේ භාවනානුයෝගී ආකාරයේ ශාන්ත ස්වභාවයක් දැකගත හැක. බුද්ධ ප්‍රතිමාව වටා වූ වක්‍රාකාර ගෘහයේ බෝධිසත්ත්ව, අරහත් සහ පුරාතන ඉන්දියානු දේව රූ ඇතුළත් පනේල පහළොවක් දැකගත හැක. එයට අමතරව ගෘහයේ බිත්තියේ කුටීර තුළ තැනූ ප්‍රතිමා දහයක් ද වේ. සොක්ගුරාම්හි ප්‍රධාන ශාලාව තුළ බෝජොන් ප්‍රතිමාවක් වන බෝධිසත්ත්ව රුවක් සහ අනුගාමිකයන්ගේ රූ දැකගත හැක. බෞද්ධ ශ්‍රාවකයින් සහ ඉගැන්වීම් නිරූපණය කෙරෙන එකිනෙකට වෙනස් රූප හතළිහක් පමණ ගුහාව තුළ දැකගත හැක. ගුහාව මෙම ප්‍රතිමා වටා ඉදිවූයේ ඒවා දේශගුණික තත්ත්වවලින් ආරක්ෂා කරගැනීමටයි. සොක්ගුරාම්හි සිවිලිම අඩ සඳ රූ වලින් අලංකාර කොට ඇති අතර, මුදුන නෙළුම් මලකින් විසිතුරු කොට ඇත. සිල්ලා ගෘහනිර්මාණ ශිල්පීන් විසින් සමමිතිය අනුගමනය කොට ඇති අතර, ස්වර්ණමය ඍජුකෝණාස්‍රය පිළිබඳ සංකල්පය ද භාවිතා කොට ඇති බැව් පෙනේ.

මෙම ගුහාව ඉදිකිරීමේ දී විවිධ ග්‍රැනයිට් පාෂාණ කුට්ටි සිය ගණනක් භාවිතා වී ඇත. බදාම භාවිතා නොවූ අතර, පාෂාණ එකිනෙක සම්බන්ධ කරන ලද්දේ පාෂාණමය ඇණ වලිනි. ගුහාව ඉදිකිරීමේ දී ස්වාභාවික වාතාශ්‍රය ප්‍රයෝජනයට ගෙන ඇත. වක්‍රාකාර ගෘහයේ ශිඛරය මීටර 6.84 සිට 6.58 දක්වා පරාසයක වූ විෂ්කම්භයකින් සමන්විත ය.

ගුහාව තුළ ඇති ප්‍රතිමාව[සංස්කරණය]

මෙහි මහා බුද්ධ ප්‍රතිමාව බෞද්ධ කලාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ. උසින් මීටර 3.5ක් වන මෙම ප්‍රතිමාය මීටර 1.34ක් උසැති පද්මාසනයක් මත වැඩහිඳියි. මෙම ප්‍රතිමාව යතාර්ථවාදී අයුරින් නෙළා ඇති අතර, එමගින් ඓතිහාසික සොක්ගාමොනි (ශාක්‍යමුණි) බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ අවස්ථාව නිරූපණය වේ යැයි විශ්වාස කෙරේ. බුද්ධ ප්‍රතිමාවේ දෑත් පිහිටුවා ඇති ආකාරය මගින් බුද්ධත්වයට පත්වූ බවට මහ පොළොව සාක්ෂි දරන බව නිරූපණය වේ. බුද්ධ ප්‍රතිමාවේ උෂ්ණීෂයක් දක්නට ලැබෙන අතර, එය බුදුන් වහන්සේගේ ප්‍රඥාවේ සංකේතයකි. බුදුන් වහන්සේගේ දෙපා අතුරින් චීවරයේ පොට අවානක හැඩයට රැළි ගැන්වී ඇත. මෙය ඉන්දියානු මූලාදර්ශ යොදා ගනිමින් සිදුකළ කොරියානු අර්ථ නිරූපණයක් බැව් විශ්වාස කෙරේ. වෙනත් බුද්ධ ප්‍රතිමාවල මෙන් ප්‍රතිමාවේ පසුපසට සවිකරන ලද රශ්මි මාලාවක් මෙහි දක්නට නොලැබෙන අතර, බුද්ධ ප්‍රතිමාවට පසුපසින් වූ බිත්තියේ නෙළුම් බෙති හැඩැති රශ්මි මාලාවක් කැටයම් කොට ඇත. ප්‍රතිමාවේ ආසනය කොටස් තුනකින් යුතුව නිමවා ඇත. ඉහළ සහ පහළ කොටස් නෙළුම් පෙතිවලින් කැටයම් කොට ඇති අතර, මධ්‍යයේ කුළුණු අටක් කැටයම් කොට ඇත.

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට අමතරව වක්‍රාකාර ගෘහයේ බිත්තිය මත බෝධි සත්ත්ව රූ තුනක්, ශ්‍රාවක රූ දහයක් සහ හින්දු දේව රූ දෙකක් කැටයම් කොට ඇත. උල්පෝන්නත කැටයම්වලට ඉහළින් වූ විමාන තුළ බෝධිසත්ත්වයින්ගේ සහ ශ්‍රාවකයින්ගේ ප්‍රතිමා දහයක් තැන්පත් කොට ඇත. ශාක්‍යමුණි බුදුන්ව වහන්සේගේ ශ්‍රාවකයින් දසදෙනකු අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව රුව දෙපස පස්දෙනා බැගින් පේළි දෙකකට දක්වා ඇත. මේවායේ ග්‍රීක ආභාසය පෙන්නුම් කරයි. බෝධිසත්ත්ව රූ දෙක මගින් මංජුශ්‍රී සහ සමන්තභද්‍ර රූ නිරූපණය වේ. බ්‍රහ්ම සහ ඉන්ද්‍ර හින්දු දේව රූප දෙක ද දැකගත හැක.

බරාඳය ආරක්ෂා කරමින් සිව් දිව්‍යමය රජවරුන්‍‍ගේ රූ දැකගත හැක. මීට අමතරව ආරක්ෂක රූපයක් වන වජ්‍රපාණි රූ බරාඳයට පිවිසෙන ප්‍රවේශයෙහි පමණක් දැකගත හැක. ප්‍රවේශ කුටිය තුළ ආරක්ෂක දේවතා රූ අටකක් දැකගත හැක.

මෙහි ඇති තවත් වැදගත් රූපයක් ලෙස මුහුණ එකොළහක් ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව රුව සැලකේ. මෙය දක්නට ලැබෙන්නේ වක්‍රාකාර ගෘහයේ පසුපස බිත්තියේ වන අතර, එහි උස මීටර 2.18කි. බිත්තියේ ඉදිරියට මුහුණලා පිහිටි එකම කැටයම මෙය වන අතර, සෙසු කැටයම් පසෙකට මුහුණලා ඇත. අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයින් කිරුළක් පැළඳ, ආභරණ සහ සළු හැඳ සිටින අතර, නෙළුම් පොහොට්ටුවක් සහිත බඳුනක් දරා සිටියි.

අවලෝකිතේශ්වර රුවට ඉදිරියෙන් පිහිටුවා තිබූයේ යැයි විශ්වාස කෙරෙන විමානවල ඇති ප්‍රතිමා ද්විත්වයක් සහ කිරිගරුඬ ස්තූපයක් වර්තමානයේ දක්නට නොලැබෙන අතර, එය ජපනුන් විසින් පැහැරගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

මෙම විහාරය දිගු කාලයක් අත්හැර දමා තිබීම සහ විවිධ අලුත්වැඩියා කිරීම් හේතුවෙන් මෙහි ලක්ෂණ විද්වතුන් අතර ම‍තභේදයට හේතු වී ඇත. මෙයට උදාහරණ වශයෙන් මුල් ගුහාවේ නිශ්චිත බිම් සැලැස්ම, බුල්ගුක්සාවේ ගොඩනැගිලි සහ විහාරය ඉදිරිපස පිහිටා තිබූ දිය පහරේ හැඩය වර්තමානයේ නොපැවතීම දැක්විය හැක.

1703 සහ 1758දී ජොසොන් රාජවංශ සමයේ මෙහි ප්‍රතිසංස්කරණ සහ අලුත්වැඩියාසිදු විය. කෙසේනමුත් කොන්ෆියුසියානුවාදී පාලකයින් බුදු දහම යටපත් කිරීමට කටයුතු කළ බැවින්, 20වන සියවස වන විට මෙම දුරබැහැර කඳුකර ගුහාව අතිශයින් හානියට පත්ව තිබිණි. චෝසන්හි රජ්‍ය-ජනරාල්වරයා විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු තෙවරක්ම සිදුකළ නමුත්, තෙතමනය ඇතුළු ගැටලු රාශියක්ම ඇති විය.

1913 සිට 1915 දක්වා කාලයේ ජපාන‍ය විසින් මෙහි පළමු ප්‍රතිසංස්කරණ වටය සිදුකරන ලදී. මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන ලද්දේ ගුහාවේ ව්‍යූහය පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරවයි. මෙය පිරිසිදු කිරීමට ජපනුන් ගත් උත්සාහයේ දී ගුහාවේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම කැබලි ගලවා යළි සම්බන්ධ කෙරිණි. ජපනුන් විසින් මෙම ව්‍යූහය ස්ථානගත කිරීමේ දී සිදුකළ ප්‍රධාන වරදක් නම් කොන්ක්‍රීට් ආවරණයක් භාවිතා කිරීමයි. මේ හේතුවෙන් ආර්ද්‍රතාව ඉහළ ගිය අතර, ජලය කාන්දු වීම ද සිදු විය. ගුහාව තුළ වාතාශ්‍රය ලැබීම දුර්වල මට්ටමක වූ බැවින් ප්‍රතිමා ඛාදනයට ලක් වන්නට විය. 1917දී, වැසි ජලය ගුහාවෙන් පිටතට රැගෙන යාමට ජලවහන නල ශිඛරයට ඉහළින් තැන්පත් කෙරිණි. කෙසේනමුත්, නල තිබියදීම කාන්දු වීම් සිදුවූ බැවින් 1920-1923 අතර කාලයේ තවදුරටත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු විය. කොන්ක්‍රීට් ස්තරයේ මතුපිටට ජල ප්‍රතිරෝධී ඇස්ෆෝල්ට් ස්තරයක් ආදේශ කෙරුණු නමුත්, ඉන් තත්ත්වය තවත් උග්‍ර විය. පාසි සහ දිය සෙවෙල සෑදෙන්නට වූ අතර, 1927වන විට ප්‍රතිමා පිරිසිදු කිරීමට උණුසුම් ජල වාෂ්ප භාවිතා විය.

IIවන ලෝක යුද්ධයෙන් පසුව 1960 දශකයේ දී, ජනාධිපති පාක් චුං-හී විසින් මහා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ඇරඹීමට නියෝග කරන ලදී. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කිරීමේ ගැටලුව තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් තරමක් දුරට අඩුකෙරිණි. ප්‍රවේශ කුටියට ඉහළින් තැනූ දැවමය උපරිව්‍යූහය බොහෝ ඉතිහාසඥයන්ගේ වාදවිවාද සඳහා මාතෘකාවක්ව ඇත. ඔවුන් විශ්වාස කරන්නේ මුලින් සොක්ගුරාම් සතුව සාගරය දෙසින් එන හිරුඑළිය ආවරණය කොට ගුහාව තුළට වාතය ගලා ඒමට බාධාවන ආකාරයේ මෙවැනි ගොඩනැගිල්ලක් නොතිබෙන්නට ඇති බවයි.

වර්තමානය වන විට ගුහාවේ අභ්‍යන්තරය නැරඹිය හැක්කේ වීදුරු බිත්තියක් තුළින් පමණි. මෙය ස්ථාපනය කරන ලද්දේ මෙය නැරඹීමට පැමිණෙන විශාල සංඛ්‍යාවක් වූ සංචාරකයින්ගෙන් සහ උෂ්ණත්වය ඉහළ යාමෙන් ගුහාව ආරක්ෂා කරගැනීමටයි.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. National Heritage: Seokguram
  2. "Heritage classification". Cultural Heritage Administration.
  3. https://books.google.com/books?vid=ISBN0822511746&id=ovWvhyLc6hAC&pg=PA2033&lpg=PA2033&dq=seokguram&sig=SnPMY9X44L7WvLBT2CKtnOQmzXU

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:World Heritage Sites in the Republic of Korea

ඛණ්ඩාංක: 35°47′42″N 129°20′57″E / 35.79500°N 129.34917°E / 35.79500; 129.34917

"https://si.wikipedia.org/w/index.php?title=සොක්ගුරාම්&oldid=411204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි