සිල්ලාහි කිරුළු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හ්වංනම්දේචොංවලින් හමවූ රන් කිරුළක්; ජාතික වස්තුව අංක.

සිල්ලාහි කිරුළු නිර්මාණය වූයේ ව්‍යවහාර වර්ෂයෙන් 5වන-7වන සියවස් අවට කාලයේ කොරියානු රාජධානියක් වූ සිල්ලාවේ ය.

මෙම කිරුළු හමුවූයේ සිල්ලාවේ පැරණි අගනුවර වූ ග්යොංජුහි කැනීම් කටයුතුවලින් වන අතර, වර්තමානයේ ඒවා දකුණු කොරියාවේ ජාතික වස්තූන් ලෙස නම්කොට ඇත.

සිල්ලාවේ කිරුළු ඉතා බි‍ඳෙනසුලු ස්වභාවයකින් යුක්ත අතර, ඒවා කිලෝග්‍රෑම් එකකට වඩා වැඩි බරකින් යුක්ත ය. සිල්ලා රජවරුන් රන්වන් කිරුළු නිතර පැළඳ නැති බැව් පෙනේ. ඒවා බොහෝවිට චාරිත්‍රානුකූල සහ උත්සව කටයුතු සඳහා පමණක් භාවිතා වන්නට ඇත.

හැඳින්වීම[සංස්කරණය]

හයවන සියවසට අයත් සිල්ලා කිරුළක ඇතුළත රන් හිස්වැසුමක්.
සිල්ලාවේ කිරුළු ආභරණ

දකුණු කොරියාවේ ග්යොංජු ප්‍රදේශයේ සොහොන් ගොඩැලිවල කැනීම්වලින් හමුවූ වඩාත් චිත්තාකර්ෂණීය වස්තූන්ගෙන් එකක් ලෙස සිල්ලා කිරුළු සැලකේ. ග්යොංජු නගරය සිල්ලාවේ සහ එක්සත් සිල්ලාවේ අගනුවර ලෙස පැවතිණි. බෙක්ජේ සහ ගොගුර්යෝ සොහොන් ගොඩැලි මෙන්නොව සිල්ලා සොහොන් පිවිසීමට අපහසු අයුරින් තනා ඇත. ඒවායේ පැසේජ මාර්ග සහ බරාඳයන් දක්නට නොලැබේ. ඒ වෙනුවට ගැඹුරු වළවල් හාරා ඒවා දැවයෙන් ආවරණය කොට නිධාන සහ මිනීපෙට්ටි තැන්පත් කෙරිණි. මෙම භූමදාන වළවල් පස්වලින් ආවරණය කොට මැටියෙන් මුද්‍රා තබා, අනතුරුව මතුපිට ගංගාවල දැවැන්ත ගල්වලින් ආවරණය කොට යළි පස්වලින් ආවරණය කරන ලදී. මෙම බරැති පාෂාණ හේතුවෙන් සොහොන් පස තුළ තවත් ගැඹුරට තල්ලු කිරීම සිදුවූ හෙයින්, ඒ වෙන ප්‍රවේශ වීම තවත් අපහසු විය. සිල්ලාවේ අනුගමනය කළ භූමදාන යන්ත්‍රණය හේතුවෙන් සොහොන් බිඳින්නන් සහ විදේශ ආක්‍රමණිකයින්ට ඒවායේ ලෝහ සහ වටිනා භාණ්ඩ සොරකම් කළ නොහැකි විය. කිරුළුවලින් අගනාම ඒවා දඹ රනින් තනා ඇති අතර, ඒවා රජවරුන් විසින් භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක. කෙසේනමුත්, තුනී රන් ආලේපිත ලෝකඩ හෝ රන්-ආලේපිත ලෝකඩවලින් ද තැනූ තවත් කිරුළු හමුවී ඇති අතර, ඒවා කුමාරවරුන් හෝ සුළු රජවරුන් සඳහා භාවිතා වන්නට ඇත. මේ කිරුළු අතරින් අගනාම කිරුළු 5වන සියවසට අයත් රන් කිරුළු සොහොන සහ 6වන සියවසට අයත් රන් ඝණ්ටා සොහොන සහ දිව්‍යමය අශ්ව සොහොන යන සොහොන්වල කැනීම්වලින් හමුවී ඇත.[1] ක්‍රි.ව. 528දී සිල්ලා රජවරුන් විසින් බුදු දහම වැළඳ ගැනීමත් සමග, සොහොන් තුළ රන් ආභරණ භූමදානය කිරීමේ පිළිවෙත ක්‍රමයෙන් අභාවයට ගිය අතර, හයවන සියවසේ අවසානය වන විට එම පිළිවෙත අවසන් විය.[1]

කිරුළේ සංකේතවාදය[සංස්කරණය]

ක්‍රි.ව. පළමු හෝ දෙවන සියවසට අයත් යැයි ඇස්තමේන්තු කොට ඇති මෙම කිරුළ ඇෆ්ගනිස්ථානයේ ටිලියා ටෙපේහි සයවන සොහොනෙන් සොයාගන්නා ලද්දකි. මෙම කිරුළේ ශෛලිය අනුව කොරියාව හා සිතියො-සයිබීරියානු සබඳතා පිළිබඳ ප්‍රබල අදහසක් යෝජනා වී ඇත.

කිරුළුවල පිටත ‍කොටස්වල ශෛලිය අනුව සිතියෝ-සයිබීරියානුවන් (සක) සහ යුරේසියානු ස්ටෙප් ජනයා සමග පැවති කොරියානු සබඳතා පිළිබඳ අදහස් ඉදිරිපත් වී ඇත. මෙම කිරුළු අනන්‍ය කොරියානු නිමැවුමක් වන අතර, කිසිදු චීන ආභාසයක් දක්නට නොලැබේ. සිල්ලා කිරුළ විශේෂයෙන්ම බේකජේහි කිරුළෙන්, ගයා කිරුළෙන් සහ ගොගුර්යෝ රාජධානිවල කිරුළෙන් පැහැදිළිවම වෙනස් ය. කිරුළේ දක්නට ඇති වෘක්ෂ කැටයම මගින් සයිබීරියානු ෂමනවාදයේ වැදගත් සංකල්පයක් වූ ලෝක වෘක්ෂයේ අදහස නිරූපණය වේ යැයි පොදුවේ විශ්වාස කෙරේ.[1][2] කෙසේනමුත්, ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම ත්‍රිශූලාකාර නෙරුම් මගින් කන්දක් හෝ පක්ෂියකු සංකේතවත් වන බවයි. මීට අමතරව, මුව අං වැනි දැති හේතුවෙන් කොරියානු ෂමනවාදය සමග හෝ පිනිමුවාගේ වැදගත්කම සමග ප්‍රබල සම්බන්ධතාවක් ඇති බව පෙනේ. ඇෆ්ගනිස්ථා‍නයෙන් හමුවූ කිරුළක් (රූපය බලන්න) සෙසු කොරියානු කිරුළුවලට ප්‍රබල සමානත්වයක් දක්වන අතර, මේ නිසා සිතියෝ-සයිබීරියානු සම්බන්ධතාව පිළිබඳ සාක්ෂි ලැබේ. මීට අමතරව, කිරුළුවල දියුණු ලෝහ තාක්ෂණය අනුව පෙනෙන්නේ සිල්ලා රන්කරුවන් හට රන් පිළිබඳ සුවිශේෂී දැනුමක් තිබූ බවයි. ඇතැමුන් මතයන් නගන්නේ කණිකාකරණය සහ විසිතුරු රන් රිදී වැඩ වැනි දියුණු රන් තාක්ෂණික ක්‍රම ග්‍රීකවරුන්ගෙන් හෝ එට්‍රස්කන් ජනයාගෙන් ඉගෙන ගන්නට ඇති බවයි. විශේෂයෙන්ම සිල්ලා සොහොන් ගොඩැලි තුළ තිබී මධ්‍යධරණී මුහුද තරම් ඈත ප්‍රදේශවලින් ගෙන එන ලද පබළු සහ වීදරු භාණ්ඩ හමුවී ඇත.[3]

5-6වන සියවස්වලට අයත් සිල්ලාවේ කිරුළක්; පැරීසියේ ගුයිමෙට් කෞතුකාගාරය.

රන් කිරුළුවල සියුම් ස්වභාවයට හේතු වී ඇත්තේ ඒවා තුනී රන් තහඩු කපා සකස් කොට තිබීමයි. මෙම කිරුළ පැළඳීම ප්‍රායෝගික නොවන හෙයින්, ඇතැමුන් විශ්වාස කරන්නේ එම කිරුළ අවමංගල භාණ්ඩයක් ලෙස විශේෂයෙන් නිර්මාණය කරන ලද්දක් බවයි.[1] ගෝගොක් හෙවත් කොමා-හැඩැති වක්වූ ආභරණ භාවිතය ද සයිබීරියානු ආභාසය සහ වලස් වන්දනාව හා සම්බන්ධ යැයි සිතිය හැක. ගෝගොක් බහුලව සමාජයේ පාලන පන්තියේ වංශවතුන් විසින් භාවිතා කොට තිබීම හේතුවෙන් පුරාතන ජපානය සමග ද සම්බන්ධතා පවතින්නට ඇති බව සිතිය හැක. ජේඩ් සහ වීදුරුවලින් තැනූ මෙම කොමා-හැඩැති ආභරණ මගින් පලතුරු සහ වෘක්ෂයන්ගේ ත්‍යාගශීලීභාවය නිරූපණය වනවා වන්නට ද හැක. කිරුළේ සිට එල්ලා වැටෙන කුඩා රන් දර්පණ ගණනාවක් භාවිතා කොට ඇති හෙයින් ඇතැමුන් උපකල්පනය කරන්නේ හිරුඑළියේ මෙය පැළඳිවිට ඇති වන දිදුලන ස්වභාවය හේතුවෙන් සිල්ලා රජු පෘථිවියේ සූර්යයා ලෙස සංකේතවත් කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.

කිරුළක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය. ඉහළ කොටස රන්වන් හිස් වැස්මකි. එය ඇතැම්විට සේදවලින් ආවරණය කොට තිබෙන්නට ඇත. මෙම හිස්වැස්ම පිටත කිරුළේ පටිය තුළින් රඳවා තිබෙන්නට ඇත. කිරුළේ තුන්වන‍ කොටසක් ද ඇත. එනම් පිටත පටියට සම්බන්ධ කොට තිබෙන්නට ඇතැයි සිතිය හැකි ජේඩ් ඇල්ලූ රන් දම්වැලකි. කෙසේනමුත්, කිරුළ පැළඳි ආකාරය පිළිබඳව ද නොයෙකුත් මතභේදයන් පවතියි. ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම කොටස් තුනම එක් කිරුළක් ලෙස පළඳින්නට ඇති බවයි. කෙසේනමුත්, කිරුළේ සම්පූර්ණ කොටස් තුන දිව්‍යමය අශ්ව සොහොන වැනි සමහර සොහොන්වල එකම ස්ථානයක තිබී හමු නොවීම හේතුවෙන්, යෝජනා වී ඇත්තේ මෙම අංග ත්‍රිත්වය වෙනස් අවස්ථාවන් සඳහා පැළඳි වෙනස් කිරුළු තුනක් බවයි.

සිල්ලාවේ කිරුළු ලැයිස්තුව[සංස්කරණය]

දකුණු කොරියාව විසින් ඇතැම් සිල්ලා කිරුළු නිල වශයෙන් ජාතික වස්තූන් (හංගුල්: ; RR: ගුක්බෝ) ලෙසත්, සෙසු කිරුළු වස්තූන් (හංගුල්: ; RR: බෝමුල්) ලෙසත් නම්කොට ඇත.

කාණ්ඩය රූපය තොරතුරු
ජා

ති



-



ස්

තූ

න්
금관총금관.jpg
ජාතික වස්තුව අං. 87

ග්‍යුම්ග්වන්චොංවලින් හමුවූ රන් කිරුළ (හංගුල්: 금관총 금관; හන්ජා: ; RR: ග්‍යුම්ග්වන්චොං ග්‍යුම්ග්වන්; MR: Kŭmgwanch'ong kŭmgwan) යනු හමුවී ඇති විශාලතම රත්රන් කිරුළ වේ. රන් කිරුළු සොහොන (ග්‍යුම්ග්වන්චොං) නම්කෙරුණේ ද මෙම නිධානය නිසායි. මෙය ජාතික වස්තුවක් ලෙස නම්කෙරුණේ 1962 දෙසැම්බර් 12 දිනයි‍.

මෙම කිරුළ සෙන්ටිමීටර 44ක් උසැති අතර, විෂ්කම්භය සෙන්ටිමීටර 19කි. මෙතෙක් සිල්ලාවෙන් සොයාගැනුණු විශාලතම රත්රන් කිරුළ මෙයයි.[4]

මෙම කිරුළේ කොටස් දෙකක් දැකගත හැක. පිටත පටිය සොයාගැනුණේ සොහොන තුළින් වන අතර, ඇතුළු හිස්වැස්ම සොහොනෙන් පිටත තිබී හමු විය. පිටත පටිය වෘක්ෂ හැඩැති ශාඛාමය ව්‍යූහයන් තුනකින් යුක්ත වන අතර, ඒ සෑම ශාඛාවක්ම යළි ශාඛා තුනකට බෙදී ඇත. අත්පටියෙහි චීන අක්ෂරයක් වන චුල් යන්න තෙවරක් කැටයම් කොට ඇත. මීට අමතරව, පිටත ශීර්ෂ පටියෙහි වම්පස සහ දකුණු පස අං හැඩැති නෙරීම් දෙකක් දැකගත හැක. මේ සෑම නෙරුමක්ම ජේඩ් සහ වීදුරු පබළුවලින් යුක්ත අතර, ශාඛාවන්ගෙන් පැනනගින කුඩා රත්රන් දර්පණ එල්ලා වැටේ. ශීර්ෂ පටියේ පැතිවල රන් දම්වැල් දෙකක් ඇති අතර, ජේඩ් ආභරණවලින් අවසන් වන පත්‍රාකාර මෝස්තර එහි දක්නට ලැබේ. මෙම දාම දෙක ශීර්ෂ පටියට පහළින් ඒලලා තිබිණි.

ඇතුළු කිරුළ ත්‍රිකෝණාකාර හැඩැති ව්‍යූහයක් වන අතර, එය තුනී රන් තහඩුවලින් නිමවා ඇත. එහි පියාපත් වැනි අංග දෙකක් දැකගත හැක. මෙම පියාපත් කොරියානු ෂමනවාදී ඇදහීම් හා සම්බන්ධ යැයි සිතිය හැක.

මෙම කිරුළ වර්තමානයේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ තබා ඇති අතර, එය කොරියානු කලාවේ අග්‍ර කෘතියක් ලෙස සැලකේ.

천마총 금관.jpg
ජාතික වස්තුව අං. 188

චොන්මාචොංවලින් හමුවූ රත්රන් කිරුළ (හංගුල්: 천마총 금관; හන්ජා: ; RR: චොන්මාචොං ග්‍යුම්ග්වන්; MR: Ch'ŏnmach'ong kŭmgwan) වර්තමානයේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ තබා ඇත. 1978 දෙසැම්බර් 7වන දින මෙම කිරුළ කොරියාවේ 188වන ජාතික වස්තුව ලෙස නම්කොට ඇත. මෙම කිරුළ හමුවූයේ 1973 චොන්මාචොං (සොහොන් අං. 155, හෙවත් දිව්‍යමය අශ්ව සොහොන) හිදී ය. මෙම කිරුළ සෝජි හෝ ජිජ්‍යුං යන රජවරුන් දෙදෙනාගෙන් අයකුට අයත් යැයි විශ්වාස කෙරේ.

කිරුළ සේනටිමීටර 32.5ක් උසැති ය.

කිරුළේ ඉදිරිපස “කන්ද” යන චීන අක්ෂරය සටහන් කළ දැති තුනක් පවතියි. මුව අං හැඩැති තවත් නෙරුම් දෙකක් කිරුළේ පිටුපස ඇත. මෙම කිරුළේ ද ශීර්ෂ පටියේ කෙළවර සිට ඇරඹෙන පත්‍රාකාර හැඩැති එල්ලා වැටෙන රන් දම්වැල් දෙකක් දැකගත හැක. විශේෂයෙන්ම කිරුළේ ඇති වෘක්ෂාකාර නෙරුම්වල ශාඛා තුනක් වෙනුවට ශාඛා හතරක් බැගින් දැකගත හැක. මෙම කිරුළ පැළඳි ආකාරය පිළිබඳ නොයෙකුත් මතයන් ඉදිරිපත් වී ඇති අතර, එය සොහොන තුළ මිනී පෙට්ටිය ආශ්‍රිතව පැවති ස්ථානය මීට හේතුවී ඇත.

Korea-Seoul.National.Museum-Silla-Crown-01.jpg
ජාතික වස්තුව අං. 191


හ්වංනම්දේචොංවලින් හමුවූ රත්රන් කිරුළ(හංගුල්: 황남대총 북분 금관; හන්ජා: ; RR: හ්වංනම්දේචොං බුක්බුන් ග්‍යුම්ග්වන්) වර්තමානයේ කොරියාවේ ජාතික‍ කෞතුකාගාරයේ තබා ඇත. මෙම කිරුළ සහ බංගාසායුසං ප්‍රතිමා ද්විත්වය එම කෞතුකාගාරයේ ඇති ප්‍රේක්ෂකාකර්ෂණයන් වේ. 1978 දෙසැම්බර් මස මෙය කොරියාවේ ජාතික වස්තුවක් ලෙස නම්කෙරිණි. මෙම කිරුළ සෙන්ටිමීටර 27.5ක උසකින් යුක්ත වන අතර, සුහාසික් ලෙස හඳුන්වන කිරුළෙන් එල්ලා වැටෙන රන් දම්වැල් සහ කුණ්ඩලාභරණ සෙන්ටිමීටර 13 සිට 30.3 දක්වා දිගකින් යුක්ත ය. කිරු‍ළ සඳහා ජේඩ් බහුලව භාවිතා කොට ඇත. සුහාසික් තුන බැගින් සමන්විත දාම දෙකක් දක්නට ඇති අතර, පිටත අන්තයේ දිගම දාමයේ සිට කිරුළේ ඉදිරිපසට ආසන්නව කුඩාම දාමය පිහිටන පරිදි මෙය සකසා ඇත. සුහාසික් දාමවල අන්තයේ නිල් ජේඩ් සහ රන් පත්‍ර දක්නට ලැබේ. සුහාසික් අංගය සැබැවින්ම කිරුළක කොටසක් වූයේ ද යන්න මතභේදයට තුඩුදී ඇත. එයට හේතුව කැනීම් කටයුතුවල දී සුහාසික් හමුවූයේ කිරුළෙන් වෙන්ව තිබී ය. කිරුළ සතුව වෘක්ෂාකාර හැඩැති නෙරුම් තුනක් ඇති අතර, ඒවා යළි ශාඛා තුනකට බැගින් බෙදේ. ප්‍රධාන පටියේ වම් සහ දකුණු පස අං හැඩැති නෙරුම් දෙකක් ද දැකගත හැක. ඇතැම් විච්වතුන් විසින් කිරුළේ වෘක්ෂාකාර නෙරුම් අර්ථ දක්වන්නේ ‍ඒවා “කන්ද” යන අරුතැති චීන අක්ෂරයේ හැඩයෙන් යුතුව නිර්මාණය කොට ඇති බවයි. කිරුළේ මුව අං හැඩැති නෙරුම් කිරුළේ අන්තයට සම්බන්ධව පවතියි. කිරුළ සැරසීම සඳහා ජේඩ් කැබලි 77ක් භාවිතා කොට ඇත. චීන අක්ෂරවලට සවි කරන ලද කොමා-හැඩැති නිල් ජේඩ් කැබලි දහසයක් දැකගත හැකි අතර, මුව අං හැඩැති කොටසේ ජේඩ් කැබලි නවයක් සහ ශීර්ෂ මේඛලාවේ කැබලි එකො‍ළහක් දැකගත හැක. මෙම කිරුළ එහි අධිකව ජේඩ් භාවිතා කොට තිබීම හේතුවෙන් ප්‍රකට ය.

මෙම කිරුළ රැජිනක සඳහා නිමකළ එකක් විය හැක. මෙම සොහොනෙහි භූමදානය කළ තැනැත්තා පිළිබඳ ‍විශේෂිත මතවාද ඇත.



ස්

තූ

න්
Silla gold crown.jpg
වස්තුව අං. 338


ග්‍යුම්න්‍යොංචොං සොහොන් ගොඩැල්ලෙන් හමුවූ රත්රන් කිරුළක් (හංගුල්: 금령총 금관; හන්ජා: ; RR: ග්‍යුම්න්‍යොංචොං ග්‍යුම්ග්වන්; MR: Kŭmnyŏngch'ong kŭmgwan) ලෙස හඳුන්වා ඇති මෙය වර්තමානයේ කොරියාවේ ජාතික කෞතුකාගාරයේ තබා ඇත. සෙන්ටිමීටර 27ක් උසැති මෙහි විෂ්කම්භය සෙන්ටිමීටර 15කි. මෙය මෙතෙක් ‍සිල්ලාවෙන් සොයොගත් කුඩාම සහ සරලතම කිරුළ වේ. දර්ශීය සිල්ලා කිරුළක ආකාරයෙන්ම මෙයි ප්‍රධාන නෙරුම් පහක් ඇත. වෘක්ෂ හැඩැති නෙරුම් “පිටතට යාම” යන අරුතැති චීන අක්ෂරය වන චුල් අක්ෂරයේ හැඩය ගන්නා අතර, ශීර්ෂ පටියේ ඉදිරිපස සහ පැතිවල සවිකොට ඇත. මෙම සෑම වෘක්ෂාකාර නෙරුමකම ශාඛා හතර බැගින් වේ. වෘක්ෂාකාර නෙරුම් දෙකක පසෙකින් තවත් අං හැඩැති නෙරුම් දෙකක් පිහිටා ඇත. මීට අමතරව සෑම ශාඛාවකම මුදුනේ පක්ෂි රූපය බැගින් වේ. මතුපිට පෘෂ්ඨයේ ඉහළ සහ පහළ කොටස්වල මුද්‍රා ක්‍රමයක් සහිතව රේඛාමය තිත් ර‍ටා පේළි දෙකක් දැකගත හැක. එඒලා වැටෙන ආභරණ කිරුළේ රාමුවේ දකුණු සහ වම් පැතිවල සවිකොට ඇත.

කිසිදු ජේඩ් ආයිත්තමකින් තොරව රනින් පමණක් නිමවා ඇති එකම රත්රන් කිරුළ මෙයයි.

서봉총 금관 금제드리개.jpg
වස්තුව අං. 339


සෝබොංචොං ගොඩැල්ලෙන් හමුවූ රත්රන් කිරුළ (හංගුල්: 서봉총 금관; හන්ජා: ; RR: සෝබොංචොං ග්‍යුම්ග්වන්; MR: Sŏbongch'ong kŭmgwan) යනු වර්තමානයේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ දැකගත හැකි සිල්ලා රත්රන් කිරුළකි.

සෙන්ටිමීටර 30.7ක් උසැති මෙම කිරුළේ විෂ්කම්භය සෙන්ටිමීටර 18.4කි. ශීර්ෂ පටියෙන් ආභරණ ඒලලා වැටෙන විට උස සෙන්ටිමීටර 24.7කි. තරංගාකාර රටාවකින් සහ තිත් සහිත රේඛාවලින් හැඩකළ පුළුල් කිරුළේ රාමුවෙන් පැනනගින ශාඛා පහකි. ශීර්ෂ පටිය පත්‍රාකාර හැඩවලින් සහ නැමි ජේඩ්වලින් විසිතුරු කොට ඇත.

දකුණු සහ වම්පස අන්තවල වූ ශාඛා හා ශාඛා පහේ මැද ශාඛා නෙරුම් තුනක් සහිත හැඩයෙන් තනා ඇත. ශාඛාවල තුඩු මල් පොහොට්ටු හැඩැති ආභරණයකින් විසිතුරු කොට ඇත.

කිරුළේ රාමු‍වේ බෙදුම් ස්ථාන හතරේම අන්තයේ හරස් රන් පටි දෙකක් වේ. එමගින් ඇතුළත් රාමුව සැකසේ. ඔටුන්නේ රාමුයේ දෙපස ශීර්ෂ පටියෙන් එල්ලා වැටෙන විසිතුරු කර්ණාභරණ ද වේ.

Silver Crown from the South Mound of Hwangnamdaechong Tomb.jpg
වස්තුව අං. 631

මෙම රිදී කිරුළ (හංගුල්: 은관〈98호 남분〉; හන්ජා: 〈98號南墳〉; RR: eun(-)gwan (98[= gusippal]ho nambun); MR: ŭn'kwan (98[= kusippar]ho nambun)) හමුවූයේ ගොඩැලි අංක 98හි දකුණු ගොඩැල්ලේ තිබී ය. මෙම රිදී කිරුළ මිනී පෙට්ටිය තුළ වූ සිරුරේ හිසෙහි පළඳවා තිබිණි. මෙම කිරුළ වර්තමානයේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ තබා ඇත. කිරුළේ මිනුම් සැලකූ විට, එය සෙන්ටිමීටර 17.2ක උසින් යුක්ත අතර, විෂ්කම්භය සෙන්ටිමීටර 16.6කි. ශීර්ෂ පටියේ පළල සෙන්ටිමීටර 3.2කි. මෙම කිරුළේ ද නෙරුම් තුනක් දැකගත හැකි නමුත්, ඒවා සෙසු සිල්ලා කිරුළුවලට වඩා තරමක් වෙනස් ය. මැද නෙරුම ඝනකම් පලිහාකාර හැඩැති අතර, එය ඇතැම්විට උස් මැදි කොටසක් සහිත දුන්නක් මෙන් නැවුණු ව්‍යූහයක් වන්නට ඇත. මෙම නෙරුමට සම්බන්ධ කළ රිදී ඵලකයක් ද වේ. මෙම අඩසඳ හැඩැති නෙරුම්වල පිටත පැත්ත පිහාපත් වැනි ව්‍යූහයක් තැනීමට කපා අඹරා ඇත. මෙය සිල්ලා කලාවට ආවේණික ලක්ෂණයකි. කෙසේනමුත්, මෙවැනි පියාපත් ආකාර විසිතුරු අංගවලට සමාන ව්‍යූහයන් උයිසොංතම්නි සොහොන් ගොඩැලිවලින් හමුවූ ගයා කිරුළුවල දැකගත හැක. යුංවන් කිරුළ සොයාගැනුණේ ග්යොංජුහි මිචු රාජකීය සොහොනේ ගොඩැලි උද්‍යානයෙනි. ගොඩැල්ල උතුරේ සිට දකුණු තෙක් සම්බන්ධව පවතින හෙයින්, ලබු ගෙඩියක හැඩයක් දැකගත හැක. නැගෙනිහර සිට බටහිර දක්වා මීටර 80ක සහ උතුරේ සිට දකුණ දක්වා මීටර 120ක විෂ්කම්භයෙන් යුතු මෙය සිල්ලාවේ විශාලතම ගොඩැල්ලයි. දකුණු ගොඩැල්ල මීටර 23ක් උසැති අතර, උතුරු ගොඩැල්ල මීටර 22ක් උසැති ය. ජාතික උරුමය අංක 191 සොයාගැනුණේ උතුරු ගොඩැල්ලෙනි.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Crowns

"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලාහි_කිරුළු&oldid=410334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි