අතායල් ජනයා

විකිපීඩියා වෙතින්
අතායල්
泰雅
තයාන්/තයාල්
මුළු ජනගහනය
85,888 (2014)
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
අතායල්, මැන්ඩරින්, තායිවාන හොකකියෙන්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
සීඩික්, ටෘකු, කවාලන්, තායිවාන ආදිවාසීන්

අතායල් (චීන: 泰雅; පින්යින්: Tàiyǎ) හෙවත් තයාල් සහ තයාන්,[1] යන නම්වලින් හැඳින්වෙන්නේ ස්වදේශික තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. 2014දී, අතායල් ජනගහනය 85,888ක් විය. මෙය තායිවානයේ සමස්ත ස්වදේශික ජනගහනයෙන් 15.9% ක් පමණ වේ. ඒ අනුව ඔවුන් තායිවානයේ තෙවන විශාලතම ස්වදේශික ජන කොට්ඨාසය ලෙස සැලකේ.[2][3]

නිරුක්තිය[සංස්කරණය]

අතායල් යන්නෙහි අර්ථය "නිර්ව්‍යාජ මිනිසා" හෝ "නිර්භීත මිනිසා" යන්නයි.

සම්භවය[සංස්කරණය]

පරිණත බවේ සංකේතයක් ලෙස මුහුණේ පච්චයක් කොටන ලද අතායල් ස්ත්‍රියක්; මෙය පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන් අතර ද සම්ප්‍රදායයක් ලෙස පැවතිණි. ජපන් පාලන සමයේ දී මෙම චාරිත්‍රය අහෝසි කෙරිණි.

අතායල් ජනවාස පිළිබඳ පළමු වාර්තා ලැබෙන්නේ චුවුහු වෝෂුයි ගංගාවේ ඉහළ අතු ගංගා ප්‍රදේශය අවටිනි. කෙසේනමුත්, පසුකාලීන 17වන සියවසේ දී ඔවුන් මධ්‍ය කඳු ප්‍රදේශය තරණය කොට නැගෙනහිර වනාන්තර ප්‍රදේශය වෙත පැමිණ ඇත. අනතුරුව ඔවුහු ලිවූ ගංගා නිම්නයේ ජනාවාස පිහිටුවූහ. එහි අතායල් ගම්මාන හැත්තෑ නවයක් දැකගත හැක.

ප්‍රවේණි විද්‍යාව[සංස්කරණය]

ක්‍රි.පූ. 4,000ට පෙර කාලයේ සිටම තායිවානයේ ඔස්ට්‍රොනේසියානු ස්වදේශික ජන කොට්ඨාස ගණනාවක්ම ජීවත්ව තිබේ.[4] කෙසේනමුත්, ප්‍රවේණි විශ්ලේෂණ මගින් යෝජනා වී ඇත්තේ වෙනස් ජනයා ආසියානු මහාභූමියේ සම්භවයක් සහිත වෙනස් පූර්වජයන්ගෙන් සම්භවය වී ඇති බවයි. අතායල් ජනයා දකුණු චීනයේ අග්නිදිග ආසියාවේ සිට තායිවානය වෙත සංක්‍රමණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[5] ප්‍රවේණි අධ්‍යයනවල දී අතායල් ජනයා සමග පිලිපීනයේ සහ තායිලන්ත‍යේ වෙසෙන වෙනත් ජනයා අතර සමානතා හමුවී ඇත. දකුණු චීනයේ සහ වියට්නාමයේ ජනයා සමග ඇත්තේ මඳ සමානකමකි.[6] අතායල් ජනයා තායිවානයේ විශාලතම ස්ව‍දේශික ජන කොට්ඨාසය වන අමිස් ජනයාගෙන් මෙන්ම වෙනත් හන් ජනයාගෙන් ප්‍රවේණිකව වෙනස් වේ. ඒ අනුව මෙම ජන කොට්ඨාස අතර සම්මිශ්‍රණයක් සිදුව ඇත්තේ අල්ප වශයෙන් බැව් පෙනේ.[7] මයිටොකොන්ඩ්‍රීය DNA (mtDNA) බහුරූපීතාව පිළිබඳ අධ්‍යයනවලින් යෝජනා වී ඇත්තේ ආසන්න වශයෙන් වර්ෂ 11,000-26,000කට පමණ පෙර තායිවානය වෙත වෙනස් ජනයාගෙන් සමන්විත පෙළපත් දෙකක් සංක්‍රමණය වී ඇති බවයි.[8] එසේවුව ද, වර්තමාන ජනයා හන් චීන සංකමණිකයන් සමග අන්තර් මුහුම් වී ඇත.

මෑතකාලීන DNA අධ්‍යයන අනුව පෙනීගොස් ඇත්තේ ලපිටා ජනයා සහ නූතන පොලිනීසියානුවන් අතර පොදු පෙළපතක් ඇති බවත්, අතායල් සහ උතුරු පිලිපීනයේ කනකනේයි ජනයා ද එයට නෑකම් කියන බවත් ය.[9]

අතායල් ජනයා තායිවානයේ හන් චීන ජනයාගෙන් වෙන්ස බැව් මේ අනුව පෙනේ.[10] චීන ජාතිකයින් සමග අන්තර් විවාහ මගින් වැදගත් අතායල්-චීන මිශ්‍රිත ජනිතයන් රැසක් බිහිවී ඇත. මේ අතර විවියන් හ්සු, වික් චෞ, යුමිං ලායි, කාඕ චින් සු-මෙයි වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ද වේ.

ජනශ්‍රැති[සංස්කරණය]

අතායල් ජනශ්‍රැති අනුව, පළමු අතායල් මුතුන්මිත්තන් දර්හනය වූයේ පින්ස්ප්කන් නම් වූ පාෂාණය පැලී යාම්ත සමගයි. එහි දී පුද්ගලයන් තුනදෙනකු වූ අතර, ඉන් එක් තැනැත්තෙක් නැවත පාෂාණය තුළට ගියේ ය. එක් පුරුෂයකු සහ ස්ත්‍රියක එක්ව දිවිගෙවූ අතර, ආදරයෙන් දීර්ඝ කාලයක් ජීවත් වූහ. නමුත් එම පිරිමි ළමයා ඇය වෙත සමීප වීමට බිය විය. මේ නිසා යුවතියට අදහසක් පහළ විය. එහි දී ඇය නිවස හැරගිය අතර, ගල් අඟුරු සොයාගෙන ඉන් ඇගේ මුහුණ කළු පැහැ කරගත්තා ය. එවිට ඇයට වෙනස් තැනැත්තියක ලෙස පෙනීසිටිනු හැකි වනු ඇත.

දින කිහිපයකට පසු, ඇය සිය ‍නිවස වෙත ඇතුළු වූ අතර, තරුණයා ඇය වෙනත් ස්ත්‍රියක යැයි සිතා එක්ව සතුටින් දිවිගෙවූහ. මඳ කාලයකට පසුව, ඔවුනට දරුවන් ලැබුණු අතර, ඉන් නව පරම්පරාවක් බිහි කිරීමේ ඔවුන්ගේ අදහස සඵල විය. මුහුණේ පච්ච කෙටීම පිළිබඳ අතායල් චාරිත්‍රය ඇරඹුණේ මෙම කථාවේ එන තරුණිය සිය මුහුණ කළු පැහැ කරගත් පුවත ආශ්‍රයෙනි.

සංස්කෘතිය[සංස්කරණය]

ජීවන රටාව[සංස්කරණය]

සම්ප්‍රදායික ආදිවාසී මෝස්තර රටා තායිවානයේ ආදිවාසීන් සම්ප්‍රදායිකව දිවිගෙවූ ස්ථානවල වූ නූතන ගොඩනැගිලිවල ද දැකගත හැක. මෙහි දැක්වෙන්නේ ග්‍රාම්‍ය ඉලැන් ප්‍රාන්තයේ අතායල් ආභාසය ලද ප්‍රජා මධ්‍යස්ථානයකි.

අතායල් ජනයා සතුව මනාව සංවර්ධිත සංස්කෘතියක් ඇත. ඔවුන් මුලින් දිවිගෙවූයේ ධීවර කර්මාන්තය, දඩයම, එක්රැස් කිරීම සහ ගිනිබත් කරන ලද කඳුකර භූමිවල බෝග වගාවේ නියැළීමෙනි. අතායල් ජනයා සතුව විවීම, දැල් ගෙතීම සහ දැව කැටයම් වැනි ශිල්පයන් ද පැවතී ඇත. ඔවුන්ට අනන්‍ය සම්ප්‍රදායික සංගීථ භාණ්ඩ සහ නර්තන ක්‍රම ද ඇත.

අතායල්වරුන් ප්‍රබල රණකාමීන් ‍යැයි විස්තර වේ‍. සිය මුහුණේ පච්චය ලබාගැනීමට නම් පුරුෂයකුට අවම වශයෙන් එක් මිනිස් හිසක්වත් රැගෙන පැමිණීමේ චාරිත්‍රයක් පැවතිණි. මෙම චාරිත්‍රය ජපන් යටත්විජිත සමයේ (1895 –1945) තහනම් කෙරිණි. මෙම හිස් හෝ හිස්කබල් සඳහා ඉහළ ගෞරවයක් හිමිවූ අතර, ආහාර සහ පාන ද ලබාදිණි. එමගින් සිය වගාවන්හි අස්වැන්න සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. (බලන්න ශීර්ෂ දඩයම) අතායල්වරුන් බිහිසුණු සටන්කරුවන් වූ අතර ජපන්වරුන් සහ අතායල්වරුන් අතර සටන් ඇවිළුණු වුෂේ සිද්ධිය මෙයට නිදසුනකි.

වැදගත් අතායල් ජනයා[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Atayal සංරක්ෂණය කළ පිටපත 2012-08-13 at the Wayback Machine, Digital Museum of Taiwan Indigenous Peoples.
  2. Hsieh Chia-chen; Jeffrey Wu (February 15, 2014). "Amis remains Taiwan's biggest aboriginal tribe at 37.1% of total". Focus Taiwan. {{cite news}}: Unknown parameter |last-author-amp= ignored (help)
  3. Directorate General of Budget, Accounting and Statistics, Executive Yuan, R.O.C. (DGBAS). National Statistics, Republic of China (Taiwan). Preliminary statistical analysis report of 2000 Population and Housing Census සංරක්ෂණය කළ පිටපත 2007-03-12 at the Wayback Machine. Excerpted from Table 28:Indigenous population distribution in Taiwan-Fukien Area. Accessed PM 8/30/06
  4. Merritt Ruhlen (1994). The origin of language: tracing the origin of the mother tongue. Wiley, New York. pp. 177–180.
  5. Margo DeMello (30 May 2014). Inked: Tattoos and Body Art around the World. ABC-CLIO. pp. 34–36. ISBN 978-1610690751.
  6. Chen KH, Cann H, Chen TC, Van West B, Cavalli-Sforza L (1985). "Genetic markers of an aboriginal Taiwanese population". Am J Phys Anthropol. 66: 327–337. doi:10.1002/ajpa.1330660310. PMID 3857010.
  7. Rachel A. Chow; Jose L. Caeiro; Shu-Juo Chen; Ralph L. Garcia-Bertrand; Rene J. Herrera (2005). "Genetic characterization of four Austronesian-speaking populations" (PDF). Journal of Human Genetics. 50: 550–559. doi:10.1007/s10038-005-0294-0. PMID 16208426.
  8. Tajima A, Sun CS, Pan IH, Ishida T, Saitou N, Horai S (2003). "Mitochondrial DNA polymorphisms in nine aboriginal groups of Taiwan: implications for the population history of aboriginal Taiwanese". Human Genetics. 113 (1): 24–33. doi:10.1007/s00439-003-0945-1. PMID 12687351.
  9. http://www.sciencemag.org/news/2016/10/game-changing-study-suggests-first-polynesians-voyaged-all-way-east-asia
  10. http://www.stuff.co.nz/travel/destinations/asia/67390585/New-Zealands-long-lost-Taiwanese-cuzzies
"https://si.wikipedia.org/w/index.php?title=අතායල්_ජනයා&oldid=591211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි