අඟහරුගේ චන්ද්‍රයෝ
අඟහරු පෙරික්සුම් කක්ෂගතය විසින් on 2008, මාර්තු 23 වන දිනදී ලබා ගත් ෆෝබෝස් ගේ වර්ණ ඡායාරූපයක්.
|
අඟහරු පෙරික්සුම් කක්ෂගතය විසින් 2009, පෙබරවාරි 21 දිනදී ලබා ගත් ඩෙයිමෝස් ගේ වර්ණ ඡායාරූපයක්
|
අඟහරු හට ෆෝබෝස් සහ ඩෙයිමෝස් නමැති, කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු ඇති අතර, ඒවා අත්පත් කර ගත් ග්‍රහකයන් බවට විශ්වාස කෙරෙයි . 1877 දී අසාෆ් හෝල් විසින් සොයාගන්නා ලද චන්ද්‍රිකා දෙක, නම් කරන ලද්දේ, ග්‍රීක මිථ්‍යාකතා වලට අනුව, යුද්ධයට අධිපති සහ ඔවුන්ගේ පියා වන ඒරීස් සමග එක්ව, යුද්ධය සඳහා නික්මගිය, ෆෝබෝස් (සන්ත්‍රාසය/භීතිය) සහ ඩෙයිමෝස් (භීෂණය/ත්‍රාසය) අනුව යමිනි. රෝමන්වරුන් විසින් අඟහරු හැඳින්වුනු ලැබුයේ ඒරීස් යනුවෙනි.
ඉතිහාසය
[සංස්කරණය]1877 අගෝස්තු 12 වන දින ඩෙයිමෝස් සහ අගෝස්තු 18 වන දින ෆෝබෝස් වොෂිංටන් නුවර පිහිටි ඇමරිකානු නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී හෝල් විසින් සොයාගැනිණි. මේ කාලය වන විට හෝල් අඟහරු ගේ චන්ද්‍රයින් සෙවීම සදහා දැඩි වෑයමක නිරත වී සිටියේය. අගෝස්තු 10 වන දින අඟහරු චන්ද්‍රයකු වැනි යමක් ඔහුට දක්නට ලැබුණත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එදින ඔහුට එය නිශ්චිතවම හඳුනාගත නොහැකි විය. ෆෝබෝස් චන්ද්‍රයා සොයා ගැනීම පිළිබඳ ඔහු විසින් තම සටහන් පොතේ සඳහන් කර තිබුණේ මේ පරිද්දෙනි.
"අගෝස්තු 11 වන දින මම නැවතත් මගේ නිරීක්ෂණය දියත් කළමි. එ වර ද මට කිසිවක් දක්නට නොලැබුණත් පෑ කිහිපයකට පසු නැවතත් නිරික්සත අඟහරුට මදක් උතුරු දෙසට වන්නට යම් වස්තුවක් ඇති බව යන්තම් දැක ගන්නට ලැබිණි. කෙසේ නමුත් එහි නියමිත ස්ථානය සටහන් කර ගැනීමටත් පෙර මීදුම නිසා බාධා සිදු විය. මෙම ආයහපත් කාලගුණය දින කිහිපයක්ම පැවැතිණි."
"අගෝස්තු 15 වන දින කාලගුණය යහපත් අතට හැරුණු බැවින් මම නිරීක්ෂණයාගාරය තුළ ම නිඳාගතිමි. නමුත් වායුගෝලයේ තත්ත්වය එතරම් යහපත් නොවූ අතර අඟහරු ග්‍රහයා බැබැළෙමින් පැවතිණි. මේ නිසා වස්තුව කිසිලෙසකටවත් දැකගත නොහැකි විය."
"අගෝස්තු 16 වන දා අඟහරු ගේ පසෙකින් එම වස්තුව නැවතත් දකින්නට ලැබිණි. එය අඟහරු ග්‍රහයා සමග ගමන් කරන බවත්, එය චන්ද්‍රිකාවක් නම් අඟහරු ගේ නෙරීම් ආසන්නයේ දක්නට ලැබෙන බවත් පෙනී ගියේ ය. මේ වෙනතෙක් අඟහරුගේ චන්ද්‍රයින් නිරීක්ෂණයට ගත් උත්සාහය පිළිබඳව මම කිසිවකුටත් නොකීමි. නමුත් අගෝස්තු 16 වන දා පාන්දර මම මගේ සහායකයා වන ජේර්ජ් ඇන්ඩසන් හට මෙම රහස කීමි. චන්ද්‍රයකු ලෙස මා දුටු වස්තුව ජෝර්ජ්ට ද පෙන්වූ අතර මේ පිළිබදව සැක හැර තහවුරු කර ගන්නා තෙක් එය රහසක් ලෙස තබාගන්නා මෙන් මම ඔහු ගෙන් ඉල්ලීමි. ඔහු තම පොරොන්දුව ඒ අයුරින්ම රැකගත් නමුත් එය තවදුරටත් රහසක්ව තබා ගැනිමට මට නොහැකි විණි. අගෝස්තු 17 වන දින මහාචාර්ය නිවිකෝම්බ් තම දිවා ආහාරය ගැනීමට මගේ කාමරයට පැමිණිවිට මම ඔහුට මගේ සොයා ගැනීම පෙන්වීමි."
අගෝස්තු 17 වන දින අඟහරුගේ පිටත චන්ද්‍රයා නැවතත් දැකගැනීමට බලා සිටින විට සොයා ගන්නට හැකි වුයේ එහි අභ්‍යන්තර චන්ද්‍රයා යි. අගෝස්තු 17 සහ 18 දින වල මෙම වස්තුවල ලක්ෂණ පිළිබඳ නිශ්චිතවස දැනගත හැකි වූ අතර අද්මිරාල් ජොර්ජ් විසින් සොයා ගැනීම මහජනයාට හෙළි කැරිණි.
චන්ද්‍රයින් සොයාගැනීම
[සංස්කරණය]අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා මත ෆෝබෝස් හා ඩීමෝස්ගේ සොයාගැනීම ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක් වන අසාෆ් හෝල්ගේ දීර්ඝ ගවේෂණයකින් පසු 1877 දී සිදුවූ නමුත් ඊට පෙර සිටම චන්ද්‍රයින්ගේ පැවැත්ම අනුමාණ කොට තිබිණි. තාරකා විද්‍යාඥ ජොහැන්නස් කෙප්ලර් (1751 – 1630) එම චන්ද්‍රයින් සංඛ්‍යාව පිළිබඳ පවා නිවැරදි අනාවැකි පළකොට තිබුණ ද ඒ නිවැරදි තර්කයකින් නොවේ. ඔහුගේ ලේඛනවල වූයේ පෘථිවියට එක් සඳක් ද බ්‍රහස්පතිට ඒවන විට දැනගෙන තිබූ පරිදි චන්ද්‍රයින් 4ක් ද තිබූ නිසා අඟහරුට චන්ද්‍රයින් 2ක් තිබිය යුතු බවය.
ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ගේ චාරිකා කෘතියේ (1726) තුන්වන කොටසේ 3 පරිච්ඡේදයේ (ලපුටාට යාත්‍රා කිරීම) අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා ගැන සඳහන්වන අතර ඒ සමහර විට කෙප්ලර්ගේ සොයාගැනීම් වලින් ලද පෙළඹවීම අනුව විය හැක. එහිදී ලපුටා හි තාරකා විද්‍යාඥයෝ අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා අනාවරණය කොටගෙන සිටි බවත් ඔවුන්ගේ කක්ෂවලට දුර අගහරුගේ විෂ්කම්භය මෙන් 3 හා 5වාරයක් ක් බවත් කක්ෂ සම්පූර්ණ කිරීමට කාලය පැය 10 හා 21.5 බවත් සඳහන් වේ. මෙය ෆෝබෝස් හා ඩීමෝස්ගේ සත්‍ය කක්ෂ දුරවලට හා සත්‍ය පරිභ්‍රමණ කාලයන්ට පුදුම සහගත ලෙස සමානය. ඒ අඟහරු විෂ්කම්භය මෙන් 1.4 හා 3.5 ගුණයක් හා පැය 7.6 , 30.3 වශයෙනි. එම කාලය වන විට කිසිදු දුරේක්ෂයක් එම චන්ද්‍රයන් දැකීමට තරම් ප්‍රබල නොවූ නිසා ස්විෆ්ට්ගේ අනාවැකිය පුදුම සහගත එකක් ලෙස සැලකේ.
වොල්ටෙයාර් විසින් 1750දී රචිත මයික්‍රොමීගාස් නවකතාවේ පෘථිවියට පැමිණෙන පිටසක්වල ආගන්තුකයෙකු ගැන සඳහන් වන අතර එහි ද අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා ගැන සඳහන් කර ඇත. වෝල්ටෙයාර් ස්විෆ්ට්ගේ ආභාසය ලබන්නට ඇතැයි මෙහිදී අනුමාණ කළ හැක.
