Jump to content

ක්‍ෂුද්‍රජීව විද්‍යාව

විකිපීඩියා වෙතින්
(Microbiology වෙතින් යළි-යොමු කරන ලදි)
ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වූ ඒගාර් රෝපණ මාධ්‍යය සහිත දීසියක්

ක්‍ෂුද්‍රජීව විද්‍යාව යනු ඒකසෛලික හෝ බහුසෛලික අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවීන් පිලිබද අධ්‍යයනය වේ.මෙම ක්ෂුද්‍ර ජීවීන් යටතට යුකැරියොටාවන් වන දිලීර, ප්‍රොටිස්ටාවන් සහ ප්‍රොකැරියොටාවන් අයත් වේ. ඍජුවම ක්ෂුද්‍ර ජීවීන් ලෙස නොසැලකුවද ජීවී අංශූන් වන වයිරස සහ ප්‍රියොන්ස පිළිබඳවද ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී අධ්‍යනය කරනු ලැබේ. සංක්ෂිප්ත වශයෙන් දක්වතොත් ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු පියවි ඇසට නොපෙනෙන ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී සත්‍ය වශයෙන්ම සිදුකරනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෝ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ හැදෑරීමය.සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් සමග සමීප සබඳතාවක් පවතින බැවින් බොහෝ අධ්‍යාතන මෙම ක්ෂේත්‍ර දෙකම සලකා "ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශතිකරණ විද්‍යාව "ලෙස ද්විත්ව උපාධියක් පිරිනමනු ලබයි.

ක්‍ෂුද්‍රජීව විද්‍යාව පුළුල් අධ්‍යන ක්ෂේත්‍රයකි.මෙය වයිරස අධ්‍යන විද්‍යාව, දිලීර විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව යනාදී කොටස් රාශියකින් සමන්විතය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයෙකු යනු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ඉහත සඳහන් කරන ලද අනෙකුත් විද්‍යාවන් පිළිබඳ විශේෂඥයෙකි.

නිරතුරුවම සිදුකරනු ලබන පර්යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස දිනෙන් දින ක්ෂුද්‍ර ජීව විද්‍යාවට එකතු වන දැනුම් සම්භාරය ඉමහත්ය.මෙම පර්යේෂණ වලට අනුව දැනට පෘථිවිය මත ජීවත් වන සමස්ථ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය 1%ක් පමණ වන බව නිමානය කර ඇත.ක්ෂුද්‍ර ජීව විද්‍යාවට වර්ෂ තුන්සියයක පමණ ඉතිහායක් පැවතුනද සත්ව විද්‍යාව සහ උද්භිදවිද්‍යාව යන පැරණි ජීව විද්‍යාත්මක ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ක්ෂුද්‍ර ජීව විද්‍යාවට තවමත් ඇතුලත් වන්නේ අල්ප දනුමකි.


ඉතිහාසය

[සංස්කරණය]

අතීතය

[සංස්කරණය]

මීට ශත වර්ෂ ගනණාවකට පෙර එනම් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සත්‍ය වශයෙන්ම අනාවරණයට පෙර ඔවුන්ගේ පැවැත්ම උපකල්පන මත රඳා පැවතුනි.ක්‍රි.ව.6 වන ශතවර්ෂය මුල් භාගයේදී ඡෛන ආගමික මහාවීර විසින් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කරන ලදී.පෝල් ඩන්ඩස් විසින් විස්තර කරන පරිදි මහාවීර විසින් ස්ථිර වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ අදෘශ්‍යමාන ක්ෂුද්‍ර ජීවීන් පෘථිවියේත්, ජලයේත්, වායුගෝලයේ සහ ගින්දර තුලත් ජීවත් වන බවය.ජේන් ස්ක්‍රිප්චර්ස් විස්තර කරන පරිදි නිගොඩාස් යනු අණ්වීක්ෂයට හසු නොවන පොකුරු වශයෙන් ජීවත් වන කෙටි ආයු කාලයක් සහිත ප්‍රාණීන් වන අතර මොවුන් ශාක සහ සත්ව පටක ඇතුඵව විශ්වයේ සෑම තැනකම ජීවත් වේ.රෝමානු ජාතික මාර්කස් ටෙරෙන්ටියෙස් වැරෝ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අධ්‍යනය කොට පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්‍රාණීන් මඩවගුරු අශ්‍රිතව බෝවන බැවින් එවන් ස්ථාන මනුෂ්‍ය වාසයට නුසුදුසු බව පෙන්වා දී ඇත.

වසංගත රෝග ආසාධනයට සහ පැතිරීයාමට හේතුවන්නේ ගුණනය වන ජීවී ඒකක ඍජුවම හෝ වක්‍රව සිදුකරන බලපෑම් මඟින් හෝ ඔවුන්ගේ ඈතට පැතිර යෑමේ හැකියාව මඟින් බව 1546 දී ගිරොලැමෝ ෆැරැකැස්ටෝරෝ විසින් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වුවද මුල් අවදියේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම මනඃකල්පිතයක් පමණක් වු අතර එය දත්ත හෝ නිරික්ෂණ මත පදනම් නොවීය.ක්ෂුද්‍ර ජීවීන් පිලිබඳ සත්‍ය වශයෙන් නිරික්ෂණය කොට කරුණු අනාවරණය කල හැකිවුයේ 17වැනි ශත වර්ෂයේ අන්වීක්ෂය නිපදවීමෙන් පසුවය.

නුතනය

[සංස්කරණය]
ඇන්ටන් වෑන් ලියුවන් හූක් - ප්‍රථම වරට අණ්වීක්ෂයක් භාවිතයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.

1676 වර්ෂයේදී ඇන්ටන් වෑන් ලියුවන් හූක් ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද තනි කාචයකින් සමන්විත අන්වීක්ෂයකින් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය කරනු ලැබුවේ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ලෙස සඳහන් වුවද, ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අන්වීක්ෂීය නිරීක්ෂණය සිදුකර වාර්තා කරනු ලැබුවේ රොබට් හූක් විසින්1665 වර්ෂයේදීය.මෙහිදී ඔහු විසින් අංකුරනය වන දිලීර පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.

ප්‍රථම වරට අණ්වීක්ෂයක් තුලින් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම පිළිබඳව ගෞරවයට පාත්‍ර වන්නේ ඕලන්දයේ ඩෙල්ෆ්ට් හි විසූ ලන්දේසි ජාතික රෙදිපිළි වෙළෙන්දෙකු වූ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ය.කෙසේ වුවද ප්‍රථමයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරනු ලැබුවේ රෝමානු කතෝලික පූජකයෙකු වූ ඇතනාසියස් කර්වර් බවටද අදහසක් පවතී.ප්‍රක්ෂේපනයන් සඳහා වූ මැක් ලන්තෑරුම නිපදවීමේදී පුරෝගාමියෙකු ලෙස ක්‍රියා කල මොහුට කාච වල ගතිගුණ පිළිබඳ මනා දැනුමක් විය.ඔහු විසින් රචිත එක් ග්‍රන්ථයක ස්වභාවධර්මයේ වූ වස්තුන්ගේ ආශ්චර්යමත් ව්‍යුහයන් අන්වීක්ෂයෙන් විමර්ශනය කිරීම යනුවෙන් ලතින් භාෂාවෙන් වූ පරිච්ඡේදයක් අන්තර්ගත වේ.එම පරිච්ඡේදයේදී ඔහු විසින් සඳහන් කර ඇත්තේ "මෙපමණ විශාල ප්‍රමාණයක් පණුවන් විනාකිරි සහ කිරි වල අඩංගු වන බව කිසිවෙකු විශ්වාස කරයිද ?" යනුවෙනි.එසේම උණු වී යන ද්‍රව්‍ය තුල බඩගා යන ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමණයක් සිටින බව ඔහු විසින් සඳහන් කරන ලදී.

19වනි ශතවර්ෂයේදි ෆර්ඩිනන්ඩ් කෝන් නම් උද්භිද විද්‍යාඥයා විසින් බැක්ටීරියා විද්‍යාව(පසුව ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ කොටසක් බවට පත් විය) සොයගන්නා ලදී.ඔහු සතුව තිබු ඇල්ගි සහ ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා පිළිබඳ දැනුම තවත් බැක්ටීරියාවන් වන බැසිලස් සහ බෙගිඅටෝආ වන් පිළිබඳ විස්තර කිරීමට ඉවහල් විය.බැක්ටීරියා ක්‍රමවත් ලෙස වර්ගීකරණය කිරීම සහ බීජාණු සොයාගැනීම ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ කෝන් විසින්ය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ පියා වන ලුවී පාස්චර් සහ වෛද්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ පියා වූ රොබට් කොක් කෝන්ගේ සමකාලිනයෝ වන අතර පාස්චර් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහු විසින් ස්වංසිද්ධ ජනනය අසත්‍ය බව පෙන්වීමට සිදු කරන ලද පරීක්ෂණ මාලාව නිසාය.මෙම පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙස ක්ෂුද්‍ර ජීවි විද්‍යාවද ජීව විද්‍යාවක් ලෙස සැලකීමට සිදුවිය. පාස්චර් විසින් ආහාර කල් තබා ගැනීම(පැස්ටරීකරණය ) සඳහා ක්‍රම සැලසුම් කරනු ලැබූ අතර ඔහු විසින් ඇන්ත්‍රැක්ස්,කොලරාව සහ ජලභීතිකාව යන රෝග සඳහා එන්නත් සොයා ගන්නා ලදී.කොක් වඩාත් ප්‍රසිද්ධ වූයේ විශේෂිත රෝග වලට හේතු වන්නේ විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවීන් බව සොය ගැනීමෙනි.කෝක් විසින් "කෝක්ගේ උපකල්පන" ලෙස හැඳින්වෙන වර්ගීකරණ ශ්‍රේණියක්ද හඳුන්වාදෙන ලදී.නුමුහුම් රෝපණයකින් බැක්ටීරියාවන් වෙන්කරගන්නා ලද ප්‍රථම විද්‍යාඥයින් අතරට කෝක්ද ඇතුලත්ය.එමෙන්ම ඔහු විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාවක් වූ Mycobacterium tuberculosis බැක්ටීරියාව සොයා ගන්නා ලදී.

පාස්චර් සහ කෝක් ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ ප්‍රාරම්භකයන් ලෙස හැඳින්වුවද ඔවුන් අවදානය යොමු කරනු ලැබුවේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් පිළිබඳ පමණක් වූ හෙයින් ඔවුන්ට ක්ෂුද්‍ර ජීවි විවිධත්වය නියම ලෙස විග්‍රහ කිරීමට නොහැකි විය.සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් අනාවරණය කරන ලද්දේ 19වන ශත වර්ශයේ අගභාගයේදී මාර්ටිනස් බෙයිජෙරින්ක් සහ සර්පි විනෝග්‍රැඩ්ස්කි විසිනි.

ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේදී වයිරස් සොයා ගැනීම සහ රෝපණ මාධ්‍ය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන දායකත්වයෙන් බෙයිජෙරින්ක් විසින් ලබා දෙන ලදී.දුම්කොල විචිත්‍ර වෛරසය පිළිබඳ වූ ඔහුගේ පරීක්ෂණ මඟීන් වෛරස පිළිබඳ මූලික දැනුමක් ලබා ගත හැකි විය.ඔහු විසින් වැඩිදියුණු කරන ලද රෝපණ මාධ්‍යය යොදාගනිමින් පුළුල් පරාසයක වූ විවිධ කායික ලක්ෂණ වලින් යුත් ක්ෂුද්‍ර ජීවින් වගා කරන ලදී.විනෝග්‍රැඩ්ස්කි විසින් විසින් ප්‍රථම වරට රසායනාවර්තී ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු විසින් මෙම ජීවීන් ජෛව රසායනික ක්‍රියාවලීන් සඳහා වැදගත් වන අන්දම ද අනාවරණය කරන ලදී.එමෙන්ම නයිට්‍රිකාරි සහ නයිට්‍රිහාරි බැක්ටීරියාවන් ප්‍රථම වශයෙන් වෙන්කර හඳුනාගෙන විස්තර කරනු ලැබුවේද මොහු විසිනි.

තාක්ෂණවේදය

[සංස්කරණය]

පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR) තනි DNA අනුපිළිවලක් කිහිප සංඛ්‍යාවකින් වැඩි කර ගැනීමට ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ දී මෙය භාවිත වේ. අවශ්‍ය නම් කලින් තීරණය කර ගත් ආකාරයට මෙය වෙනස් කර ගත හැක. නියම වේලා PCR (Real-time) ක්ෂුද්‍ර ජීවීන් ඉතා වේගවත්ව හඳුනාගැනීමට යොදා ගැනුණු අතර දැනටත් ශාසනික ක්ෂුද්‍ර ජීව විද්‍යා රසායනාගාරවල රෝග විනිශ්චය සඳහා යොදා ගනී. එමෙන්ම පාරිසරික විශ්ලේෂණය, ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව හා අනෙකුත් බොහෝ ක්ෂේත්‍රවල ද යොදා ගනී. ඊට සමාන තාක්ෂණයක් වූ සංඛ්‍යාත්මක PCR (qPCR) DNA, RNA අණුවල සංඛ්‍යාත්මක මැනීම්වල යොදා ගැනේ. ජෙලි ඉලෙක්ට්‍රොෆොරෙසිස්, ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ එදිනෙදා, DNA, RNA , ප්‍රෝටීන අණු ඒවායේ ප්‍රමාණය, හැඩය හා විද්‍යුත් ආරෝපණය අනුව විද්‍යුත් ක්ෂේත්‍රයක් යොදා වෙන් කිරීමට යොදා ගනී. සොද්රග් බ්ලාටින්, නොදර්න් බ්ලොටින්, වෙස්ටන් බ්ලොටින් ක්ෂුද්‍ර ජීවීන්ගේ DNA (සෙදර්නි), RNA අනුපිළිවෙල (නොදර්න්) ප්‍රෝටීන (වෙස්ටන්) තිබේදැයි හඳුනාගැනීමට යොදා ගනු ලබන අණුක තාක්ෂණයකි. DNA ක්ෂුද්‍ර හැසිරීමේ (මයික්‍රොආරේස්) මෙම බ්ලෝටින් තාක්ෂණය වෙනුවට නවතම විකල්පයකි. මෙහි දී යම් කිසි දෙනු ලබන කාලයක් තුළ අනුපිළිවෙලවල් දහස් ගණනක් සොයා ගැනීමට / හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම ක්‍රමයෙන් සාම්පලයක (වාතය, ජලය, ඉන්ද්‍ර පටක, ආදී) ක්ෂුද්‍ර ජීවීන්/ ව්‍යාධිජනකයින් සිටි ද යන්න සොයා ගැනීමට යොදා ගනී.

DNA වෙන් කිරීම DNA අනුක්‍රමිකගත කිරීම. ගෙනෝම ප්‍රවේණික විද්‍යාව අණුක ජීව විද්‍යාව ප්‍රමාණය නිසා වෛරස හා බැක්ටීරියා ජිනෝම ප්‍රථමයෙන්ම DNA අනුපිළිවෙල අනුව විශ්ලේෂණය කළේය. දැන් විශාල අනුපිළිවෙල් රැසක් හා ජිනෝම දත්ත සංඛ්‍යාවක්, විශේෂ ක්ෂුද්‍ර ජීවී වර්ග රැසක් සඳහා ඇත.

ක්ෂේත්‍ර

[සංස්කරණය]

ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පහත සඳහන් ක්ෂේත්‍ර වලට බෙදා දැක්විය හැක.


  • ක්ෂුද්‍ර ජීවීන්ගේ භෞත වේදය :- ක්ෂුද්‍ර ජීවි සෛලයක ජීව රසායනික ක්‍රියාකාරිත්වය, වර්ධනය සහ පරිවෘත්තිය ක්‍රියා මෙන්ම ක්ෂුද්‍ර ජීවි සෛල ව්‍යුහය පිලිබඳ අධ්‍යනයයි.
  • ක්ෂුද්‍ර ජීවීන්ගේ ජාන ව්‍යුහය :-ක්ෂුද්‍ර ජීවීන්ගේ සෛල ක්‍රියාකාරිත්වය කෙරෙහි ජාන ව්‍යුහයේ සැකැස්ම සහ ජාන නියාමනය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.මෙම ක්ෂේත්‍රය අණුක ජීව විද්‍යාවටද සම්බන්ධ වේ.
  • සෛලීය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවී විද්‍යාව සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යන ක්ෂේත්‍රයකි.
  • වෛද්‍ය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මිනිසාට ඇතිවන රෝග පිළිබඳව මෙන්ම වසංගත රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.රෝග ව්‍යාධි විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව යන ක්ෂේත්‍ර සමග සම්බන්ධතාවයක් දක්වයි.
  • සත්ව ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-පශු වෛද්‍ය විද්‍යාව හෝ සත්ව රෝග සම්බන්ධව ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.
  • පාරිසරික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවීන්ගේ විව්ධත්වය සහ ස්වභාවික තත්ව යටතේදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.
  • පරිණාමවාදී ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවීන්ගේ පරිණාමය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.මෙයට බැක්ටීරියාවන්ගේ වර්ගීකරණයන් පිළිබඳව අධ්‍යනයන් ද ඇතුලත්ය.
  • කාර්මික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-කාර්මික ක්‍රියාව්ලීන් සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.උදාහරණ ලෙස පැසවීම සහ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීම දැක්විය හැක.කාර්මික ක්ෂුද්‍ර ජීවීන් ජෛව තාක්ෂණ කර්මාන්ත සඳහාද භාවිතා කරනු ලබන අතර මෙම ක්ෂේත්‍රය යටතට පැසවීමේ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යනයන් ද ඇතුලත්ය.
  • ස්වායු ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-වාතකාමී ක්ෂුද්‍ර ජීවින් පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.
  • ආහාර ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ආහාර නරක් වීම සහ විෂවීම පිළිබඳව ක්ෂුද්‍ර ජීවී බලපෑම පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.ක්ෂුද්‍ර ජීවීන් යොදාගනිමින් සිදු කරනු ලබන ආහාර නිපදවීම් ක්‍රම සඳහා උදාහරණයක් ලෙස පැසවීම දැක්විය හැකි අතර එම ක්ෂේත්‍ර පිළිබඳව් ද මෙහිදී අවධානය යොමු කෙරේ.
  • ඖෂධ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ඖෂධ දූෂණය සහ සම්බන්ධ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනු ලැබේ.
  • කෘෂිකාර්මික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-කෘෂිකාර්මික වශයෙන් වැදගත් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.

(රෝග පාලනය සහ වැලැක්වීම මත පදනම් වන රැකියා අවස්ථා බොහොමයක් සඳහා ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආශ්‍රිත උපාධියක් අවශ්‍ය වේ.)

  • පාංශු ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-පසේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.
  • ජලජ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ජලයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.
  • ප්‍රවේණීය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-මාතෲ ජීවීන්ට සමාන ගති ලක්ෂණ සහිත ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව මෙහිදී අධ්‍යනය සිදු කරනු ලබයි.
  • නැනෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-නැනෝ තත්වයේ ඇති ක්ෂුද්‍ර ජීවින් පිළිබඳව මෙහිදී අධ්‍යනය සිදු කරනු ලබයි.
  • අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව, ඉයු‍කැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්‍රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්‍රචණ්ඩත්වයේ අණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.

ප්‍රතිලාභ

[සංස්කරණය]
යීස්ට් භාවිතයෙන් බියර නිෂ්පාදනය.

බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර ජීවීන් යනු රෝග වාහකයන් පමණක් ලෙස සැලකුවද ඔවුන් අතැම් කර්මාන්ත වලදී ප්‍රයෝජනවත් කාර්යයන් රාශියක් සඳහා යොදාගනු ලැබේ.(උදහරණයක් ලෙස මධ්‍යසර නිපදවීම,විනකිරි නිපදවීම සහ කිරි ආහාර නිපදවීම සඳහා)එමෙන්ම ප්‍රතිජීවක ලෙස සහ උසස් ශාක ක්ලෝනීකරණයේදී වාහකයෙක් ලෙසද ක්ෂුද්‍ර ජීවීන් යොදාගනු ලැබේ.විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව ජෛව විද්‍යාත්මකව වැදගත් වන එන්සයිම නිපදවීම සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කල හැකි බව අනාවරණය වී ඇත.

ඇමයිනෝ අම්ල ආශ්‍රිත කර්මාන්ත වලදී Corynebacterium glutamicum නම් බැක්ටීරියා වැදගත් දායකත්වයක් දරනු ලබයි.එමඟින් වාර්ෂිකව ටොන් මිලියන 2ක් පමණ ඇමයිනෝ අම්ල නිපදවිය හැක.L-glutamate සහ L-lysine යනු එසේ නිපදවනු ලබන ඇමයිනෝ අම්ල වර්ග දෙකකි.

විවිධාකාර වූ බයෝපොලිමරේස් එනම් පොලිසැකරයිඩ, පොලීඑස්ටර් සහ පොලීඒමයිඩ ක්ෂුද්‍ර ජීවීන් විසින් නිපදවනු ලැබේ.අත්‍යවශ්‍ය ලක්ෂණ සහිත බයෝපොලිමරේස නිපදවීම සඳහා ද ජෛව ඉංජිනේරු විද්‍යාවේදී ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබයි. මෙම නිෂ්පාදන පටක ඉංජිනේරු විද්‍යාව සහ ඖෂධ නිෂ්පාදනය වැනි ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය විද්‍යාත්මක යෙදීම් වලදී භාවිතා වේ.තවද ක්ෂුද්‍ර ජීවීන් සැන්තන්, ඇල්ගිනේට්, සෙලියුලෝස්,සයනොෆයිසීන්, පොලි(ගැමා ග්ලුටමික් අම්ලය ),ලෙවන්,හයලුරොනික් අම්ල,කාබනික අම්ල,ඔලිගොසැකරයිඩ, පොලිසැකරයිඩ,පොලිහයිඩ්‍රොක්සි ඇල්කනොඒට්ස් ජෛව සංශ්ලේෂණයන්හිදී වැදගත් වේ.

ජෛව ප්‍රතිකර්මකරණය සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිත වේ.එනම් ගෘහාශ්‍රිත, කෘෂිකාර්මික,කාර්මික අපද්‍රව්‍ය සහ පස මතුපිට පවතින අපද්‍රව්‍ය දිරාපත් කිරීම ක්ෂුද්‍ර ජීවීන් විසින් සිදුකරනු ලබයි. විෂ සහිත අපද්‍රව්‍ය දිරාපත් කිරීම සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබන අතර ඔවුන් සතු දිරාපත් කිරීමේ හැකියාව අපවිත්‍රකාරකයේ ස්වභාවය මත රඳා පවතී.විවිධාකාර වූ දූෂකාරක පවතින නිසා ක්ෂුද්‍ර ජීවීන් ජෛව හායනය සඳහා යොදාගැනීමේදී බැක්ටීරියා විශේෂ කීපයක් යොදා ගත යුතුය.

නූතන පර්යේෂණ වලට අනුව ක්ෂුද්‍ර ජීවීන් පිළිකා සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත හැකි බව තහවුරු වී ඇත.ව්‍යාධිජනක නොවන Clostridium බැක්ටීරියා විශේෂ වලට සෛල අර්බුධ තුල වර්ධනය සහ ගුනණය වෙමින් පැතිරී යාමට හැකි බවත් මෙම බැක්ටීරියාවන්ගේ ප්ලාස්මිඩ අවශ්‍ය පරිදි සකස් කර ගැනීමෙන් රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගත හැකි බව සොයාගෙන ඇත

මේ අඩවිත් බලන්න

[සංස්කරණය]