Jump to content

බෝවන රෝග

විකිපීඩියා වෙතින්
මෙම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැලේරියා බීජානු බඩවැලෙහි අපිච්‍ඡද පටක හරහා සංක්‍රමණයවන ආකාරයයි.

බෝවන රෝග (ඉංග්‍රීසි:  Infectious disease) යනු ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් වන වෛරස ,බැක්ටීරියා , දිලීර , ප්‍රොට්‍රෝසෝමාවන් හා බහු සෛලික පරපෝෂිතයින් හා රෝග කාරක ප්‍රෝටීන අංශු මගින් ඇතිකරන රෝගී තත්වයන් වේ. මෙම ව්‍යාධිජනකයින් ශාක හා සතුන් යන දෙකොටස සදහාම රෝග ඇති කරයි.

මෙම රෝග කාරකයින් මගින් ඇති කරන රෝගී තත්වයන් බෝවන රෝග ලෙස හැදින්වෙන්නේ එමගින් එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගල‍ෙයකුට රෝගය ඇති කිරීමේ හැකියාව නිසාය. බෝවන රෝග ව්‍යාප්තිය ස්පර්ශ මගින් හා වෙනත් බොහෝ ක්‍රමෝපායන් මගින් සිදුවේ. ඒවා නම් ආසාදිත දේහ තරල , අපවිත්‍ර වූ ආහාර , ජලය , වාතය හා ආසාදිත රෝග වාහකයින් මගිනි.

ආසාදිතතාව යනු ව්‍යාධිජනක ජීවියකුට ධාරකයාගේ සිරුර තුළට ඇතුළු වී එහි ජීවත් වන අතරතුර ගුණනය වීමේ හැකියාවයි. බෝවන සුළු බව යන්නෙන් ප්‍රකාශ වන්නේ වෙනත් ධාරකයෙකු වෙතට රෝගය ඇති කිරීමේ සාපේක්ෂ පහසුවයි. කෙසේ වුවද ආසාදනය යනු ආසාදිත රෝගයකට සමාන අරුත් දෙන්නක් නොවේ. ආසාදනයක් මගින් වැදගත් රෝග ලක්ෂණ ඇති නොකරන අතර රෝගියාගේ දේහ ක්‍රියාකාරීත්වයන් ද බැරෑරුම් ලෙසට අඩපන නොකරයි.

වර්ගීකරණය

[සංස්කරණය]

අනන්ත වූ ක්ෂුද්‍ර ජීවී විශේෂයන් ප්‍රමාණයක් අතරින් නිරෝගි පුද්ගලයෙකු හට රෝග බිහිකිරීමට හැක්කේ ඉතා සුළු ප්‍රමාණයකට පමණි. ආසාදිත රෝගයක් ඇති වන්නේ එම සුළු තරයක් වූ ව්‍යාධි ජනකයින් සහ ඔවුන් ආසාදනයට ලක්කරන ධාරකයා‍ෙග් ආරක්ෂණ යාන්ත්‍රණය අතර ඇති වන අන්තර් ක්‍රියාවක් හේතු කොට ගෙනය. රෝගයක් ඇති වීම හෝ රෝගයෙහි බරපතල කම සදහා හේතු කාරක වන්නේ අදාල රෝග කාරක ජීවියා හට ධාරකයා කෙරෙහි කෙතරම් හානියක් සිදු කළ හැකිද සහ ධාරකයා හට එම රෝග කාරක ජීවියාට එරෙහිව කෙතරම් දුරට ප්‍රතිරෝධිතාවයක් දැක්විය හැකිද යන්න මත පදනම්වය. මේ නිසා ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණය මත පදනම්ව මෙම ක්ෂුද්‍ර ජීවින් ප්‍රථමික ව්‍යාදි ජනකයෙන් හෝ අවස්ථාවාදී ව්‍යාදි ජනකයින් ලෙසට හදුන්වති.

ප්‍රාථමික ව්‍යාදි ජනකයෙක් මගින් රෝගයක් ඇති වන්නේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ධාරකයකු තුළට ඔවුන් ඇතුළු වී ඒ තුළ ක්‍රියාකාරී වීමට ඔහු කෙරෙහි ඇති ආවේණික ප්‍රචණ්ඩකාරී බව මත පදනම් කර ගෙනය. මෙම ව්‍යාධි ජනකයින් සිරුර තුළට ඇතුළු වීමේ එක් හේතුවක් වනුයේ රෝග ව්‍යාප්තිය සහ ප්‍රජණනය කෙරෙහි ඔවුන් තුළ ඇති අවශ්‍යතාවයයි. වඩාත් බහුල ප්‍රාථමික ව්‍යාදි ජනකයින්ගෙන් බොහොමයක් මිනිසුන් පමණක් ආසාදනයට ලක්කරන අතර බොහොමයක් බරපතල රෝගි තත්වයන් ඇති කරනු ලබන්නේ බාහිර පරිසරයෙන් හෝ මානව නොවන ධාරකයන් ගෙනි.

ධාරකයෙකුගේ සිරුර තුළ රෝගයක් ඇති වීමට එරෙහිව ප්‍රතිශක්ති කරණය අඩු වූ අවස්ථාවන්හිදී ආසාදිත රෝග ඇති කරන ජීවින් හට අවස්ථාවාදීන් ව්‍යාදි ජනකයින් යැයි ව්‍යවහාර කෙරේ. මෙලෙස ඇති වන අවස්ථාවාදි රෝග හටගනුයේ ධාරකය ද සමග සාමාන්‍යයෙන් ජීවත් වන අන්ත්‍රයෙහි හෝ ශ්වසන පද්ධතියෙහි වාසය කරන හානිකර නොවන ක්ෂුද්‍ර ජීවින්ගෙනි. තවද වෙනත් ධාරකයෙකු මගින් හෝ (Clostridium difficile මගින් ඇති කරන රෝගී තත්වයන් වලදී) අස්ථි බිදිමක් හෝ සැත්කම් තුවාලයක් මගින් බාහිරව ක්ෂුද්‍ර ජීවින් සිරුර තුළට ඇතුල් වීමකදී අවස්ථාවාදී ලෙස රෝගී තත්වයන් ඇති විය හැකිය. මෙම රෝග ඇති වීම සදහා ධාරකයාගේ සිරුරෙහි ආරක්ෂණ යාන්ත්‍රණය අඩාල වීමක් අවශ්‍යවන අතර ජානවල දුර්වලතා, ප්‍රතිජීවක ඖෂධ වර්ග භාවිතා කිරීම ප්‍රතිශක්තිකරණය අඩාල කරන රසායනික ද්‍රව්‍යය පරිහරණය, අයණීකාරක විකිරණවලට නිරාවරණය වීම හෝ ප්‍රතිශක්තිකරණය අඩාල කරන සරම්ප, මැලේරියා හෝ ඒඩ්ස් වැනි රෝග මගින් මෙලෙස අවස්ථාවාදී රෝග ඇති විය හැකිය. ප්‍රාථමික ව්‍යාධි ජනකයින් මගින් මෙලෙස රෝගවලට ප්‍රතිශක්තිකරණය අඩු වූ පුද්ගලයින්ට වඩා වැඩි තීව්‍රතාවයකින් රෝගය ඇති කරන ලදී.

යම්කිසි රෝගයක් ආසාදිත රෝගයක් බවට විග්‍රහ කළ හැකි එක් ක්‍රියාමාර්ගයක් වනුයේ කො‍ච් විසින් සිදුකරන ලද උපකල්පනයන්ය. මෙය රොබට් කොච් නම් විද්‍යාඥයා විසින් කරන ලද උපකල්පනයකි. ඔහු ප්‍රකාශයට පත් කර ඇත්තේ රෝග කාරක ද්‍රව්‍යයන් රෝගීන් තුළ පමණක් හදුනා ගත හැකි අතර නිරෝගී පුද්ගලයන් තුළ ඒවා දක්නට නොමැති බවයි. තවද එම රෝග කා‍රක ද්‍රව්‍ය සිරුරතුළට ඇතුළු වන පුද්ගලයන්හට රෝගය ඇති වන බවද විග්‍රහ කරන ලදී. මෙම උපකල්පනයන් මගින් මයිකො බැක්ටීරියා නම් බැක්ටීරියා විශේෂය මගින් ක්ෂය රෝගය ඇති කරන බව සොයා ගන්නා ලදී. කොච් විසින් සිදුකරන ලද මෙම උපකල්පනය බොහොමයක් මිනිසුන් හට ඇති වන රෝග සදහා භාවිතා කළ නොහැක. එසේ වනුයේ නිරෝගී පුද්ගලයන් වර්ධක මාධ්‍යයක වග‍ා කරන ලද ව්‍යාධි ජනකයින් මගින් ආසාදනයට ලක්කිරීමක් අවශ්‍ය වන බැවිනි. ඇතැම් අවස්ථාවන්හිදී පැහැදිලිව ආසාදන රෝග බවට හදුනාගත හැකි රෝගී තත්වයන් ඉහත කී නිර්ණායකයන් හා සංසන්දනය නොවේ. උදාහරණයක් ලෙස උපදංශය රෝගය ඇති කරන Treponema pallidum නම් රෝග කාරක ද්‍රව්‍යය වර්ධක මාධ්‍යයක වගා කළ නොහැකි අතර එය වර්ධනය කළ හැක්කේ හාවුන්ගේ වෘෂණ කෝෂ තුළ පමණි. මෙහිදී සත්ව ධාරකයෙකු තුළ වර්ධනය වූ ක්ෂුද්‍ර ජීවින් පසුව වර්ධක මාධ්‍යයක් තුළ වර්ධනය කරනු ලබයි. ජනගහනයක් තුළ රෝගවල ව්‍යාප්තිය පිළිබද අධ්‍යයනය කිරීමක් වසංගත අධ්‍යයන විද්‍යාව මගින් සිදුකරනු ලබයි. මෙමගින් යම්කිසි රෝගයක පැතිරීම කඩින් කඩ ඇති වන්නක් ද, ඒක දේශීය වූවක්ද එක් ප්‍ර‍ෙද්ශයකට හෝ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ වසංගත රෝග තත්වයක් ද යන්න පිළිබදව අවබෝධ කරගැනීමට හැකිය.

රෝග ව්‍යාප්තිය

[සංස්කරණය]
වෙස්ට් නයිල් වෛරසය ව්‍යාප්ත කරන ජීව විද්‍යාත්මක වාහක වර්ගයට අයත් කියුලෙක්ස් මදුරුවෙක්

බෝවන රෝග ව්‍යාප්ත වනනේ යම්කිසි මාධ්‍යයක් හරහාය. රෝග බෝවන මාධ්‍ය පිළිබදව අවබෝධයක් ලබා ගැනීම අදාල රෝගය මර්ධනය කිරීම හා රෝගය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වේ. රෝග ව්‍යාප්තිය නොයෙකුත් ක්‍රමෝපායන් මගින් සිදුවේ. ස්වසන රෝග සහ මෙනින්ජි ප්‍රදාහය වැනි රෝග බහුලව ඇතිවන්නේ කැස්ස , කිවිසීම , සිපගැනීම , කථනය හා ඇතැම්විට ගීත ගායනා කිරීමේදී වාතය මගින් ව්‍යාප්ත වන බිදිති මගිනි. ආන්ත්‍රික රෝග ව්‍යාප්ත වනුයේ අපවිත්‍ර වු ආහාර හා ජලය මගිනි. ලිංගාශ්‍රිත ‍රෝග ව්‍යාප්ත වනනේ ලිංගික ක්‍රියාවලදී ස්‍රාවය වන තරලයක් මගිනි . ඇතැම් රෝග අපවිත්‍ර වු අජීවී ද්‍රව්‍යන් සමග ස්පර්ශයෙන් ඇතිවේ. උදාහරණයක් ලෙසට එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ගමන්ගන්නා අපවිත්‍රවු කාසියක් මගින් රෝග බෝකළ හැකිය. ඇතැම් රෝග කාරකයින් කෙලින්ම සම සිදුරු කරගෙන සිරුර තුළට ඇතුළු වේ.

බෝවන රෝග ව්‍යාප්තිය සදහා ඇතැම් විට රෝග වාහකයන් හවුල්වේ. මෙම රෝග වාහකයින් යාන්ත්‍රික රෝග වාහකයින් හා ජීව විද්‍යාත්මක වාහකයින් ලෙසට වර්ග දෙකකි. යාන්ත්‍රික රෝග වාහකයින් අක්‍රියව රෝග කාරක ද්‍රව්‍යයන් තම සිරුර මතින් තවත් ස්ථානයකට ප්‍රවාහනය කෙරේ. ගෙමැස්සා මේ සදහා කදිම උදාහරණයකි. විශබීජවලින් අපවිත්‍ර වු හරකුන්ගේ අපද්‍රව්‍ය වෙතට ආකර්ශනය වන ‍ගෙමැස්සන් අපවිත්‍රවු පාද සහිතව ආහාර මත වැසීම මගින් එම ආහාර අපවිත්‍ර වේ. මෙහිදී රෝග කාරක විශබීජ ගෙමැස්සන් සිරුර තුළට ඇතුළු නොවේ.

ජීව විද්‍යාත්මක වාහකයන්ගේ සිරුර තුලට රෝග කාරක පරපෝෂිතයා ඇතුළු වන අතර සක්‍රියව දෂ්ට කිරීමක් මගින් පරපෝෂිතයින් සිරුර තුළ ට ඇතුළු වේ. මෙම වාහකයින් බොහෝ විට මැලේරියාව , මොළේ උණ , චාගා රෝගය , ලයිම් රෝගය සහ අප්‍රිකානු නිද්‍රා උණ යන රුධිරය මගින් ව්‍යාප්ත වන රෝග දරුණු රෝග ඇති කරති. මෙම ජීව විද්‍යාත්මක වාහකයින් බොහෝ දුරට මදුරුවන් , මැක්කන් , කිනිතුල්ලන් හා උකුණන් වැනි ආත්‍රපෝඩාවන්ය. රෝග කාරක ‍පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පුර්ණ කිරීමට මෙම වාහකයින් අවශ්‍ය වේ. එබැවින් රෝග වාහකයින් මගින් ව්යාප්ත වන රෝග වැළැක්වීම සදහා එම ජීවන චක්‍රය විනාශ කරනු වස් අදාල වාහකයින් මරණයට පත් කිරීම සිදු කෙරේ.

ව්‍යාධිජනකයින්ගේ ප්‍රචණ්ඩත්වය හා රෝග සම්ප්‍රේශණය අතර ඇති සම්බන්ධතාව සංකීර්ණ වේ. මෙය ව්‍යාධිජනකයින‍්ගේ දීර්ඝ කාලීන පරිණාම‍නය සදහා ඉවහල් වේ. අළුතින් ක්ෂුද්ර ජීවියෙකුට හා ධාරක‍යකුට එකවර පරිණාමනය වීමට පරම්පරා ගණනක් ගතවන නිසා අළුතින් බිහිවන ව්‍යාධිජනකයින් ඔවුන්ට හමුවන මුල්ම ගොදුර වෙතට තදින් පහර දෙති. මෙලෙස මුලින්ම රෝගය ඇතිවන අවස්ථාවන්හිදී අනුපාතය ඉහල වේ. රෝගය බොහෝ මාරාන්තික නම් ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවියා තවත් ධාරක‍ෙයකු වෙතට සංක්‍රමණය වීමටත් පෙරම රෝගියා මරණයට පත්වේ. කෙසේ වුවද රෝග කාරකයාගේ ව්‍යාධිජනකතාවය ඉහල නම් රෝගයේ බෝවීමේ ඇති ප්‍රවනතාවය හා රෝගය ව්‍යාප්තවීමේ වේගය ඉහල වේ. උදාහරණයක් ලෙස අධික පාචන තත්වයක් ඇතිවන කොළරා රෝගී අවස්ථාවකදීද කැස්ස හා කිවිසීමේදී බිදිති මගින් සීඝ්‍රව ව්‍යාප්ත වන ශ්වසන රෝගද ගත හැකිය.

රෝග කිහිපයක්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බෝවන_රෝග&oldid=621652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි