බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
19වන සියවසේ ඇසිරියානු අගනුවරවල්වල ප්‍රථම කැනීම්වලින් පසුව නිමවූයේ යැයි සිතිය හැකි මෙම අතින් වර්ණ ගැන්වූ නිරේඛනය මගින් උපමා කථාවන්හි සඳහන් එල්ලෙන උයන නිරූපණය වේ. මෙහි පසුබිමින් බාබෙල් කුළුණ දක්වා ඇත.

බැබිලෝනියාවේ එල්ලෙන උයන යනු පුරාතන ‍ලෝකයේ පුදුම හතෙන් එකක් වන අතර, එය පිහිටීම නිශ්චිතව සනාථ කරනොගත් එකම පුදුමය ද වේ.[1]

එල්ලෙන උද්‍යාන ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස ද සැලකේ: මෙය සියලුම ආකාරයේ ගස්, පඳුරු සහ වැල්වලින් සමන්විත වූ ක්‍රමයෙන් ආරෝහණය වන ස්තරමය උද්‍යානවලින් සමන්විත විය. මෙම උද්‍යාන මැටි ගඩොලෙන් තැනූ දැවැන්ත කොළ පැහැ කන්දක් සේ දිස්වූයේ යැයි කියනු ලැබේ.

සම්ප්‍රදායිකව, මේවා ඉදිවූයේ ඉරාකයේ වර්තමාන බාබිල් පළාතේ හිල්ලා අසල පුරාතන බැබිලන් නගරයේ යැයි විශ්වාස කෙරේ. ක්‍රි.පූ. 290ට අයත් බැබිලෝනියානු පූජකයකු වූ බෙරෝසස්ගේ ලේඛනයක සහ පසුව එය උද්ධෘත කොට දැක්වූ ජොසෆස් විසින් දක්වා ඇත්තේ මෙම උද්‍යාන ඉදිකළේ නව-බැබිලෝනියානු රජ IIවන නෙබුකැඩ්නෙසර් විසින් බවයි. ඔහුගේ රාජ්‍ය සමය ක්‍රි.පූ. 605 සහ 562 දක්වා කාලය යැයි විශ්වාස කෙරේ. මෙම උද්‍යාන පිළිබඳ සඳහන් බැබිලෝනියානු ලේඛන මෙතෙක් හමුවී නැත. එසේම බැබිලන්වලින් නිශ්චිත පුරාවිද්‍යාත්මක සාධක ද හමුවී නැත.[2][3]

එක් පුරාවෘත්තයක් අනුව, IIවන නෙබුකැඩ්නෙසර් මෙම එල්ලෙන උද්‍යාන තැනවූයේ සිය මීඩියානු බිසව වූ ඇමිටිස් රැජින වෙනුවෙන් බවයි. ඇයට සිය මව්බිමෙහි වූ කොළ පැහැ කඳු වැටි සහ නිම්න සිහිපත් වීම එයට හේතුවයි. ඔහු විසින් තවත් දැවැන්ත මාලිගයක් තැනවූ අතර, එය "මිනිස් වර්ගයාගේ ආශ්චර්යය" ලෙස ප්‍රකට විය.

බැබිලෝනියාවෙන් එල්ලෙන උද්‍යාන පිළිබඳ කිසිදු භෞතික සාක්ෂියක් හුමනොවීම නිසා, මෙය හුදු මිත්‍යාවක් යැයි යෝජනා වී ඇත. ස්ට්‍රාබෝ, ඩියඩෝරස් සිකියුලස් සහ ක්වින්ටස් කර්ටියස් රූෆස් වැනි පුරාතන ග්‍රීක සහ රෝම කතුවරුන්ගේ වාර්තා පෙරදිග උද්‍යානයක ප්‍රේමාන්විත පරමාදර්ශයක් පිළිබඳ නිරූපණය කරන්නේ යැයි විශ්වාස කෙරේ.[4] සැබැවින්ම, මෙය පැවතුණේ නම් ක්‍රි.ව. පළමු සියවසෙන් පසු එය විනාශ වන්නට ඇත.[5][6]

ස්ටෙෆනි ඩැලී යෝජනා කරන්නේ මෙහි ‍මුල් උද්‍යානය ඇසිරියානු රජකු වූ සෙන්නාචෙරිබ් (ක්‍රි.පූ. 704–681) විසින් සිය අගනුවර වූ නිනෙවේහි ටයිග්‍රිස් නදිය අසබඩ ඉදිකළ හොඳින් ලේඛනගත උද්‍යානය විය හැකි බවයි. මෙය නූතන මෝසුල් නගරයෙහි පිහිටා තිබිණි.[7]

පුරාතන පාඨ[සංස්කරණය]

බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන

බැබිලන් පිළිබඳ ලියූ වාර්තා යම් ආකාරයෙන් හෝ අදටත් විද්‍යාමාන ලේඛකයන් පස්දෙනකු වේ. මෙම ලේඛකයන් එල්ලෙන උද්‍යානවල ප්‍රමාණය, ඒවා ඉදිකළ අරමුණ ‍හා ආකාරය මෙන්ම එම උද්‍යානවලට ජලසම්පාදනය කළ අයුරුත් සඳහන් කොට ඇත.

ජොසෆස් (ආ. ක්‍රි.ව. 37–100) උපුටා දක්වා ඇත්තේ මාර්ඩුක් දෙවිය්නගේ බැබිලෝනියානු පූජකයකු වූ බෙරෝසස් (ක්‍රි.පූ. 280 පමණ) උද්‍යාන පිළිබඳ විස්තර කළ බවයි.[1] බෙරෝසස් මෙය IIවන නෙබුකැඩ්නෙසර් රාජ්‍ය සමයයට අයත් බැව් සඳහන් කොට ඇත. ‍එල්ලෙන උද්‍යාන මෙම රජු විසින් ඉදිකළ බව සඳහන් කරන එකම ලේඛකයා මොහුයි.[8]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Finkel (1988) p. 41.
  2. Finkel (1988) p. 58.
  3. Finkel, Irving; Seymour, Michael (2008). Babylon: City of Wonders. London: British Museum Press. පි. 52. ISBN 0-7141-1171-6. 
  4. Finkel 2008
  5. "The Hanging Gardens of Babylon". Retrieved 5 February 2014.
  6. "The Hanging Gardens of Babylon". Retrieved 5 February 2014.
  7. Dalley, Stephanie (2013). The Mystery of the Hanging Garden of Babylon: an elusive World Wonder traced. Oxford University Press. ISBN 978-0-19-966226-5. 
  8. Finkel (2008) p. 108.

ප්‍රභව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 32°32′08″N 44°25′39″E / 32.5355°N 44.4275°E / 32.5355; 44.4275