ඔලිම්පියාවේ සියුස් ප්‍රතිමාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඛණ්ඩාංක: 37°38′16.3″N 21°37′48″E / 37.637861°N 21.63000°E / 37.637861; 21.63000

ෆීඩියස්ගේ සියුස් ප්‍රතිමාවේ මනඃකල්පිත ප්‍රතිනිර්මාණයක්; මාර්ටෙන් වැන් හීම්ස්කර්ක්ගේ සිතුවමක් ඇසුරින් 1572දී ෆිලිප් ගෝල් නිර්මිත නිරේඛනයකි.

ඔලිම්පියාවේ සියුස් ප්‍රතිමාව යනු ක්‍රි.පූ. 435 අවට කාලයේ ග්‍රීසියේ ඔලිම්පියා සිද්ධස්ථානයේ ග්‍රීක ප්‍රතිමා ශිල්පී ෆීඩියස් විසින් නිර්මාණය කරන ලද 13 m (43 ft) පමණ උසැති[1] හිඳි ප්‍රතිමාවකි. මෙය එහි සියුස් දේවස්ථානයේ තැන්පත් කොට තිබිණි. දැවමය රාමුවක් මත ඇත්දත් ඵලක සහ රන් පනේල ආධාරයෙන් නිමවූ මෙම ප්‍රතිමාව මගින් කළුවර, ඇත්දත්, රක් සහ වටිනා පාෂාණ එබ්බවූ දේවදාර ආසනයක් මත හිඳගත් සියුස් දෙවියන්ගේ රුව නිරූපණය වේ. පුරාතන ‍ලෝකයේ පුදුම හතෙන් එකක් වන මෙය,[2] ක්‍රි.ව. 5වන සියවසේ දී අතුරුදන් සහ විනාශ වී ඇත. මෙහි කිසිදු අනුරුවක් මෙතෙක් හමුවී නැති අතර, එහි ස්වරූපය පිළිබඳ විස්තර ලැබෙන්නේ පුරාතන ග්‍රීක තොරතුරු සහ කාසි තුළින් පමණි.

දකුණු ග්‍රීසියේ එලිස්වලින් හමුවූ ඔලිම්පියානු සියුස් ප්‍රතිමාව නිරූපිත කාසියක් (Nordisk familjebok)

විස්තරය[සංස්කරණය]

ෆීඩියස් විසින් හැඩගැන්වූ මෙම දැවැන්ත හිඳි ප්‍රතිමාව එය තැන්පත් කොට තිබූ දේවස්ථානයෙහි අන්තරාලයේ පළලින් අඩක ප්‍රමාණයක් පුරා පැතිර පැවතිණි. "සියුස් දෙවියන් අසුනින් නැගී සිටියහොත්" ක්‍රි.පූ. 1වන සියවසේ දී භූගෝල විද්‍යාඥ ස්ට්‍රාබෝ විසින් සඳහන් කරන්නේ "ඔහුට නැගී සිටීමට දේවස්ථානයේ පියස්ස ඉවත් කරන්නට සිදු වන බවයි."[3] මෙම සියුස් ප්‍රතිමාව දැවමය යටිව්‍යූහයක් මත ඉදිකළ ඇත්දත් සහ රන් ඵලකවලින් නිර්මිත දැවැන්ත ප්‍රතිමාවකි. මෙහි කිසිදු කිරිගරුඬ හෝ ලෝකඩ අනුරුවක් හමු නොවේ. නමුත් මෙහි යැයි සිතිය හැකි ආසන්න ප්‍රභේද ඇතුළත් කාසි යාබද එලිස්වලින් සහ රෝමානු කාසිවලින් ද, කැටයම් කළ මැණික්වලින් ද හමුවේ.[4]

ක්‍රි.ව. 2වන සියවසේ දී, භූගෝල විද්‍යාඥයකු සහ දේශාටකයකු වන පෝසානියස් විසින් මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයයි. ප්‍රතිමාවේ හිසෙහි ඔලිව් අතු රිකිල්ලක හැඩයෙන් යුත් කිරුළක් කැටයස් කොට තිබිණි. මෙහි රන් පාවහන් යුගලක් පැවති අතර, රන් පැහැ සළුව සත්ත්ව රූ සහ ලිලී මල්වලින් අලංකාර කොට තිබිණි. එහි දකුණු හස්තයෙහි ජයග්‍රහණයේ දෙවඟන වන නයික් දෙවඟනගේ කුඩා ඇත්දළින් සහ රනින් කළ ප්‍රතිමාවක් විය. ප්‍රතිමාවේ වම් හස්තයෙහි විවිධ ලෝහ එබ්බවූ සෙංකෝලයක් වූ අතර, රාජාලියකු එයට ආධාර වී සිටියේ ය. සිංහාසනය රන්, වටිනා පාෂාණ, කළුවර සහ ඇත්දළින් විසිතුරු කරන ලදී.[5] රෝමානු ඉතිහාසඥ ලිවී අනුව, රෝම සෙන්පති ඇමිලියස් පෞලස් (මැසිඩෝනියාව පරාජය කළ අවස්ථාවේ) මෙම ප්‍රතිමාව දුටු අතර “එය ඔහුගේ ආත්මයට කිඳා බැස්සේ, ඔහු පෞද්ගලිකවම දෙවියන්ව දුටුවාක් මෙනි,”[6] ක්‍රි.ව. 1වන සියවසේ ග්‍රීක දේශක ඩියෝ ක්‍රිසොස්ටොම් පවසා ඇත්තේ ප්‍රතිමාවේ එක් ඡායා මාත්‍රයකින් පවා මිනිසුන්ට සිය දැවෙන ප්‍රශ්න සියල්ල අමතකව යන බවයි.[7]

ෆීඩියස් විසින් ස්ථාපිත ප්‍රභේදය අනුව යමින් නිමවූ රෝමානු හිඳගත් සියුස් කිරිගරුඬ සහ ලෝකඩ (ප්‍රතිෂ්ඨාපිත) ප්‍රතිමාව (හර්මිටේජ් කෞතුකාගාරය, ශාන්ත පීටර්ස්බර්ග්).

එක් පුරාවෘත්තයක් අනුව, මෙය නිර්මාණයට පෙළඹුණේ කෙසේදැයි, එනම් ඔහු සියුස් දැකගැනීමට ඔලිම්පස් කන්ද මුදුනට ගියේ ද නැතහොත් ෆීඩියස්ට තමන්ව දර්ශනය වන ලෙස සියුස් පහළට පැමිණියේදැයි ෆීඩියස්ගෙන් විමසූ අවස්ථාවේ ශිල්පියා පිළිතුරු දී ඇත්තේ තමන් සියුස්ව නිරූපණය කළේ හෝමර්ගේ ඉලියඩ් පළමු ග්‍රන්ථයේ පද්‍ය 528 – 530 අනුව බවයි : [8]

ἦ καὶ κυανέῃσιν ἐπ' ὀφρύσι νεῦσε Κρονίων
ἀμβρόσιαι δ' ἄρα χαῖται ἐπερρώσαντο ἄνακτος
κρατὸς ἀπ' ἀθανάτοιο μέγαν δ' ἐλέλιξεν Ὄλυμπον.
ඔහු පැවසූවා, ක්‍රෝනස්ගේ පුතු, ඔහු අඳුරු බැමකින් යුත් සිය මිස සෙලවූවා,
අමරණීය ලෙස මහා දෙවිඳුන්ගේ කේශ අභිෂේක කරවූවා
ඔහුගේ දිව්‍යමය හිසෙහි සෙලවීමෙන් සියලුම ඔලිම්පියානුවන් කම්පනයට ලක්වූවා.[9]

එමෙන්ම මෙම ප්‍රතිමා ශිල්පියා සිය ඉරෝමිනෝස් පැන්ටාර්කිස් අමරණීය කරවූයේ දෙවියන්ගේ සුළැඟිල්ලෙහි "Pantarkes kalos" යනුවෙන් කැටයම් කිරීමෙන් සහ, ප්‍රතිමාවේ දෙපාමුළ කිරුළ පැළඳගන්නා තරුණයකුගේ කැටයමක් තැන්පත් කිරීමෙනි.[10]

හානිය සහ විනාශය[සංස්කරණය]

සුවෙටෝනියස් අනුව, රෝම අධිරාජ කලිගියුලා "නියෝග කළේ පාරිශුද්ධත්වය හෝ කලාත්මක ගුණාංග හේතුවෙන් ප්‍රසිද්ධියට පත් එවැනි දේව ප්‍රතිමා ග්‍රීසියේ සිට රැගෙන විත් ඒවායේ හිස ඉවත් කොට එතැන තමන්ගේ හිස තැන්පත් කළ යුතු බවයි."[11] නමුත් මෙය සිදුවීමට ප්‍රථම අධිරාජයා ඝාතනය විය (ක්‍රි.ව. 41); ඔහුගේ "ඉදිරියේ සිදුවීමට නියමිත ඝාතනය බොහෝ නොයෙකුත් වක්තෘවරුන් විසින් පවසා තිබිණි. කැබලි කොට රෝමය වෙත ගෙනඒමට ඔහු නියෝග කොට තිබූ ඔලිම්පියාවේ ජුපිටර් ප්‍රතිමාව වෙතින් ක්ෂණිකව මහා සිනහ හඬක් නැගී පලංචිය ඇදවැටුණු අතර, එහි කම්කරු‍වෝ ඔවුන්ගේ දෙපා මුළ ඇදවැටුණහ."[12]

ප්‍රතිමාවේ ක්‍රමික පරිහානිය කෙරෙහි හේතු වූ සිදුවීම් නොදනී. බයිසැන්තියානු ඉතිහාසඥයකු වන ජෝර්ජියස් කෙඩ්‍රේනස් වාර්තා කරන්නේ එය කොන්ස්තන්තිනෝපලය වෙත ගෙනගිය බවත්, ක්‍රි.ව. 475 ලෝසස් මාලිගයේ මහා ගින්නෙන් එය විනාශ වූ බවට ජනශ්‍රැතියක් ඇති බවයි. විකල්ප මතයකින් කියැවෙන්නේ ක්‍රි.ව. 425දී මහා ගින්නකින් දේවස්ථානය සහ ප්‍රතිමාව විනාශ වූ බවයි.[13] 2වන සියවසේ පසු කාලයේ සාමෝසේටාහි ලුෂියන් විසින් මෙයට මුල් කාලයේ හානි වී තිබූ බවට ඉඟි කරයි;[14] "මාගේ අධිපති අකුණු බලධාරීනි, ඔලිම්පියාවේ ඔබගේ සිරුරට ඔවුන් අත තබා ඇත. ඔබට සුනඛයින් අවදි කිරීඹට හෝ අසල්වැසියන්ට ඇමතීමට හැකියාවක් නොවී ය; නිසැකවම ඔවුහු මුදා ගැනීමට පැමිණ කොල්ලකෑ දෑ අසුරා ගැනීමටත් ප්‍රථම හවුල්කරුවන් අල්ලා ගත්හ."[15]

ඔලිම්පියාවේ ෆීඩියස්ගේ ශිල්පායතනය පෙන්වන ඡායාරූපයක් (2005)

ෆීඩියස්ගේ ශිල්පායතනය[සංස්කරණය]

ප්‍රතිමාවේ ආසන්න දිනය (ක්‍රි.පූ. 5වන සියවසේ තෙවන කාර්තුවේ) ෆීඩියස්ගේ ශිල්පායතනය නැවත සොයාගැනීම (1954–58) තුළින් සනාථ විය. පෝසානියස් පවසා ඇත්තේ සියුස් ප්‍රතිමාව නිර්මාණය වූයේ මෙම ස්ථානයේ බව ය. මෙහි පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතරට රන් සහ ඇත්දළ නිර්මාණ සඳහා භාවිතා වූ උපකරණ, ඇත්දත් පතුරු, වටිනා පාෂාණ සහ ටෙරාකොටා අච්චු හමු විය. මින් ටෙරාකොටා අච්චු බහුතරයක් භාවිතා වී ඇත්තේ වීදුරු ඵලක නිර්මාණය කිරීමටයි. එසේම ප්‍රතිමාවේ සළුව වීදුරු තහඩු ආධාරයෙන් නිර්මාණය විය. අනතුරුව එහි රන් ආලේප කෙරිණි. "ΦΕΙΔΙΟΥ ΕΙΜΙ" හෙවත් "මා අයත් වන්නේ ෆීඩියස්ට ය" යනුවෙන් කැටයම් කළ සරාවක් මෙම භූමියෙන් හමු විය.[16]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Phidias from encyclopædiabritannica.com. Retrieved 3 September 2014
  2. Statue of Zeus from encyclopædiabritannica.com. Retrieved 22 November 2006
  3. Alaa K. Ashmawy. The Seven Wonders: The Statue of Zeus at Olympia]." Retrieved on 2 December 2001.
  4. Gisela M. A. Richter, "The Pheidian Zeus at Olympia" Hesperia 35 .2 (April–June 1966:166–170) pp. 166f, 170. Details of the sculpture in this article are corroborated in the Richter article.
  5. පෝසානියස්, ග්‍රීසියෙහි විස්තරය 5.11.1-.10). පෝසානියස්ට දැනගන්නට ලැබුණේ සිහසුනේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ෆීඩියස්ගේ සොහොයුරා වූ පැනේනස් විසින් බවයි.
  6. Livy, Ab Urbe Condita, XLV. 28, 5.: “Iovem velut praesentem intuens motus animo est.”
  7. Or. 12.51
  8. Zamarovský, Vojtěch. Za sedmi divy světa. පි. 186. 
  9. Iliad, I, 528–530
  10. John Grimes Younger, Sex in the Ancient World from A to Z, p. 95. Routledge; Abingdon and New York, 2005.
  11. සුවෙටෝනියස්, ගේයස් 22.2; සසඳන්න කැෂියස් ඩියෝ, 59.28.3.
  12. සුවෙටෝනියස්, ගේයස්, 57.1. රෝමානු ආගමෙහි ජුපිටර් යනු සියුස්ගේ පර්යාය ස්වරූපයක් විය.
  13. Richter, 1966, note 1, citing Georgius Cedrenus, Historiarum Compendium §322c, in Corpus Scriptorum Historiae Byzantinae 34, vol. I, p. 564.
  14. Lucian, Timon, 4.
  15. ලුෂියන්ගේ දෙබස ටිමොන් නම් විශ්ව‍ද්වේෂියා, පරිවර්තනය එච්. ඩබ්. ෆවුලර් සහ එෆ්. ජී. ෆවුලර්.
  16. James Grout, The Workshop of Pheidias, Encyclopaedia Romana (accessed 31 July 2013)

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Iliad navbox