පත්තිනි (2016 චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
පත්තිනි
අධ්‍යක්‍ෂණයසුනිල් ආරියරත්න
රචනයසුනිල් ආරියරත්න
තිර රචනයසුනිල් ආරියරත්න
රංගන ශිල්පීන්පූජා උමාශංකර්
උද්ධික ප්‍රේමරත්න
රවින්ද්‍ර රන්දෙණිය
ලකී ඩයස්
අරුණි රාජපක්ෂ
සිනෙමාරූපණයචන්න දේශප්‍රිය
සංස්කරණයතිස්ස සුරේන්ද්‍ර
සංගීතයරෝහණ වීරසිංහ
Production
company
සුමති චිත්‍රපට
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • 5 මැයි 2016 (2016-05-05)
තිර කාලය
මිනිත්තු 120
භාෂාවසිංහල

පත්තිනි යනු සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපටයකි. සුනිල් ආරියරත්නයන්ගේ 20වන සිනමා අධ්‍යක්ෂණයයි. මෙහි නිෂ්පාදනය මිලීනා සුමතිපාල වන අතර තිලංග සුමතිපාල,ජගත් සුමතිපාල සම නිෂ්පාදකවරුන් වේ.මෙම් චිත්‍රපටිය පත්තිනි දේවියගේ පතිවත ගෙන ගිය ආකාරයත්, ඇගේ ශාපයත් මැනෙවින් දක්වා ඇත. පත්තිනි කතාමාලාවෙහි ඇතුලත් චරිතාංග වලට පණ පොවනු ලබන්නේ පූජා උමාශංකර්, උද්ධික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ, රවින්ද්‍ර රන්දෙණිය, සරත් අල්විස් යන නළු නිළියන් විසිනි.[1] මංගල ප්‍රදර්ශනය 2016 මැයි 05 දින රීගල් - කොළඹ හීදී කරූ ජයසූරිය මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මෙහි ප්‍රචාරණ කටයුතු ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාහීදී සිදුවේ. එහිදී ලංකාවේ මෙතෙක් චිත්‍රපට අතරින් දෛනික ආදායම් ඉපයීම අතරින් දෙවන ස්ථානයේ පත්තිනි රැඳුනා.

කතා වස්තුව[සංස්කරණය]

අදින් වසර 1500 කට පමණ ප‍්‍රථම දකුණු ඉන්දියාව සොලී, පාඬී, කේරල යනුවෙන් රාජ්‍ය තුනකට බෙදී තිබුණේ ය. අප කථා නායිකාව වන කණ්ණගි (පූජා උමාශංකර්)උපත ලැබුවේ සොලී රටෙහි කාවේරී පටුන නම් නුවර ය. ඇය කෝවලන් (උද්දික පේ‍්‍රමරත්න) නම් ධනවත් සිටුවරයකු සමඟ විවාහවිය. බොහෝ කාලයක් ඔවුහු සුන්දර විවාහ ජිවිතයක් ගෙවු හ.

සොලී රටේ නෘත්‍ය රාජිණිය ලෙස මාධවී සිටු කුමරිය (අරුණි රාජපක්‍ෂ) අභිෂේක කරන දිනය එළඹෙන්නේ මේ අතර ය. එම අභිෂේක මංගල්‍යයට සහභාගි වන ප‍්‍රභූන් අතර කෝවලන් ද වෙයි. නෘත්‍ය රාජිණිය බවට පත් වු මාධවීට රජු ගෙන් වරමක් ලැබේ. එනම්, එදින එහි සිටින ප‍්‍රභූන් අතුරින් කෙනෙකු සිය ස්වාමිපුරුෂයා වශයෙන් තෝරා ගැනීමේ වරම යි. සියලූ දෙනා පුදුමයටපත් කරමින් මාධවී සිය ස්වාමි පුරුෂයා වශයෙන් තෝරා ගන්නේ කෝවලන් ය. මාධවිගේ රූපයෙන් සහ නර්තනයෙන් මෝහනය වී සිටින කෝවලන් ද මාධවීට කැමති වෙයි. කණ්ණගී – කෝවලන් කැදැල්ල දෙදරා යයි.

කෝවලන් තමා සතු සියලූ ධනය මාධවී වෙනුවෙන් වැය කරයි. කණ්ණගී හඬමින් වැලපෙමින් සියල්ල විඳදරා ගනී. ස්වාමිපුරුෂයා අහිමි කණ්ණගී ට සොලී තරුණයෝ අයුතු යෝජනා ගෙන එති. කෝවලන්ගේ පියා ද කණ්ණගීට පවසනුයේ වෙනත් විවාහයක් කර ගන්නා ලෙස ය. එහෙත් නො කිළිටි පතිභක්තියෙන් ඇය කෝවලන් නාමයෙන් කැප වි සිටි.

වෘත්තීය නාටිකාංගනාවක වූ මාධවී ට තමා හමුවට එන ප‍්‍රභූන් පිනවීම සඳහා රංගනයෙහි යෙදෙන්නට සිදුවෙයි. කෝවලන් ඇයගේ ක‍්‍රියා කලාපය නො රුස්සයි. ඔවුන් අතර නිතර සිදු වන අඬදබර අවසන් වන්නේ කෝවලන් මාධවී හැර දමා කණ්ණගී වෙත පැමිණීමෙනි. කවදා හෝ එම දිනය එළඹෙතියි බලා සිටි කණ්ණගී සිය ස්වාමියා උණුසුම් සිතින් පිළිගනියි.

එහෙත් දැන් ඔවුහු දිළින්දෝ ය. සියලූ වස්තුව මාධවී ළඟ ය. වටිනා දෙයකට ඔවුන් සතුව ඇත්තේ කණ්ණගී ගේ දඹ රන් පා සළඹ පමණි. ඔවුහු කාවේරි පටුනේ ජනයාගේ ද වපරැස් බැල්මට ලක් ව සිටිති. පඬි රටට ගොස් පා සළඹ විකුණා අප‍්‍රකට ජිවිතයක් ගෙවීමේ අදහසින් ඔවුහු සොලී රටෙන් පලා යති.

කාටත් හොර රහසේ මේ පලා යෑම සිදු වු නමුත් ඒ බව දැන ගන්නා මාධවී සිය සේවිකාව සමඟ ඔවුන් යන මඟ රැක සිටී. මාධවී, කෝවලන් නිසා ගැබ්ගෙන සිටින බව කෝවලන් සහ කණ්ණගී දැන ගන්නේ එවිට ය. මෙහි දී මාධවීගේ දරුවාට පියකු අවශ්‍ය බැවින් ඇය වෙත යන ලෙස කණ්ණගී කෝවලන් ගෙන් ඉල්ලා සිටියත් ඔහු ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි. මාධවී සොලී රටටත් කෝවලන් සහ කණ්ණගී පඬි රටටත් පිටත් ව යති.

කාලයාගේ ඇවෑමෙන් මාධවීට දැරියක ලැබේ. ඇගේ නම මණිමේඛලා නම් වේ. වයසින් වැඩෙන ඇය (විනූ සිරිවර්ධන) සිය මාපියන්ගේ වෙන් වීම පිළිබඳ කතාව ඇසීමෙන් ජිවිතය පිළිබඳ කලකිරීමට පත්වෙයි. ඇය සොලී රජුගේ පුත‍්‍රයා වු උදය කුමරුගේ විවාහ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරයි. ඒ අතර සොලී රටේ ධර්ම ප‍්‍රචාරය කරමින් සැරිසරන බෞද්ධ භික්ෂුවකගෙන් බණ අසා බෞද්ධ උපාසිකාවක බවට පත්වෙයි. එහෙත් උදය කුමරු යළි යළිත් ඇය පසු පස එයි. එබඳු එක් අවාසනාවන්ත මොහොතක දී මණිමේඛලා අතින් ඔහු මරුමුවට පත්වෙයි ඇයට රටින් පිටුවහල් වන්ට සිදු වේ.

කෝවලන්ට මණිමේඛලා ගැන විවිධ ආරංචි ලැබේ. එහෙත් ඇය කෙදිනකවත් තමන්ට දැක ගන්ට නොලැබෙන බව සිහිවීමෙන් ඔහු පසුතැවිලි වෙයි. පා සළඹ නො විකුණා බොහෝ කාලයක් ජිවත් වු කෝවලන් – කණ්ණගී යුවළට එසේ නො කොට ජිවත් වන්ට බැරි බව වැටහේ. රත්රන්වල වටිනාකමට ඉන් එක් සළඔක් විකුණා දමන්ට තීරණය කරන කෝවලන්, කණ්ණගී අතර මඟ නතර කොට එයත් රැගෙන පඬි රටෙහි අගනුවර වන මදුරාපුරය වෙත යයි.

කෝවලන් මදුරා පුරයට යන විට එ රට රාජ දේවියගේ එක් පා සලඹක් නැති වී එය සොයා දෙන්නෙකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර පතුරවා තිබේ. රාජ දේවියගේ සලඹ සොරා ගත් රාජකීය රන්කරුවා මුණගැසෙන්ට දෛවෝපගත ලෙස කෝවලන්ට සිදුවේ...[2]

රංගනය[සංස්කරණය]

ගීත[සංස්කරණය]

ගීත රචනය කරනු ලැබූයේ මහචාර්ය සුනිල් ආරියරත්න සමඟ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසිනි. ගීත ගායනයනය විශාරද නන්දා මාලිනී, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දමයන්ති ජයසූරිය, සහ සමන් ලෙනින් දායකවන අතර මෙහි ඇතුලත් ගීත සංඛ්‍යාව හයකි.

Untitled

රෝහණ වීරසිංහයන් විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇත.[3]

අංකය. ගීතයගී පදවැලගායනය කාලය
1. "පත්තිනි දේවී"  ප්‍රණීත් අබේසුන්දරනන්දා මාලිනි 2:33
2. "සුදෝ සුදූ"  සුනිල් ආරියරත්නකසුන් කල්හාර, උරේෂා රවිහාරි 4:44
3. "රන් හසු ලොල්වනා"  ප්‍රණීත් අබේසුන්දරනිරෝෂා විරාජිනි 3:49
4. "පුංචි සමනලී"  සුනිල් ආරියරත්නනිරෝෂා විරාජිනි 4:42
5. "නමස්තු තෙ"  සුනිල් ආරියරත්නදමයන්ති ජයසූරිය, සමන් ලෙනින් 2:51
6. "සංසාරේ"  සුනිල් ආරියරත්නඅමරසිරි පීරිස් 4:37
සම්පූර්ණ දිග:
23:16

[3]

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර ලිපි[සංස්කරණය]

පත්තිනි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1501292, ප්‍රතිෂ්ඨාපනය 2016-07-23 
  2. "පත්තිනි කතා පුවත". Paththinimovie.lk.
  3. 3.0 3.1 "Songs". පත්තිනි. සම්ප්‍රවේශය 2016-07-04.
"https://si.wikipedia.org/w/index.php?title=පත්තිනි_(2016_චිත්‍රපටිය)&oldid=622933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි