Jump to content

මකර තොරණ

විකිපීඩියා වෙතින්
බුද්ධ ප්‍රතිමාවක් වටා වූ මකර තොරණක් (දඹුල්ල ලෙන් විහාරය)

මකර රුව සහිත මකර තොරණ ශ්‍රී ලංකාවේ බෞද්ධ කැටයම් කලාවේ වාස්තු ශිල්පීය කලා කෞශල්‍යය මොනවට විහිදා දක්වන සුවිශේෂී අංගයක් ලෙස සැළකේ. බොහෝ විට විහාරස්ථානයකට අැතුල් වන ස්ථානයේ හා බුද්ධ ප්‍රථිමා වහන්සේ නමක වටා මකර තොරණ ඉදිකර තිබෙනු දැකගත හැකිවේ.

දෙපසින් මකර රූප දෙකක් යෙදෙන සේ අලංකාර පේකඩ, මල්කම් හා ලියවැලින් සමන්විත වන සේ මකර තොරණ නිමවනු ලැබේ. ප්‍රවිෂ්ඨ ද්වාරවල නිමවෙන ආරුක්කුමය මකර තොරණ මගින් සෞභාග්‍යය, වාසනාව හා එතුලින් ගමන් කරන්නන්ගේ උපද්‍රව අාදිය නිවාරණය වන බව සංකේතවත් කරයි.

මහනුවර යුගය

[සංස්කරණය]
මකරෙකුගේ රූපයක්

මහනුවර යුගයේදී මකර තොරණ විවිධ වෙනස්කම් වලට භාජනය විය. එසේම ප්‍රවිශ්ඨ ද්වාර හැරුණු විට මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වලට පවා අනිවාර්ය අංගයක් ලෙසින් මකර තොරණ එක්කිරීම සිදුවිය. මෙම යුගයේදී මකර තොරණ මැටි බදාම වලින් පමණක් නොව ලී හා ශෛලමයෙන්ද නිර්මාණය කෙරුණි.

මහනුවර යුගයේ මකර තොරණ වල දෙපස මකරුන් දෙදෙනා කීර්ති මුඛ නම් වූ රෞද්‍ර මුහුණකින් (කිහිඹි මුහුණ) මුදුනදී එකිනෙක සම්බන්ධ වේ. මෙහිදී කීර්ති මුඛ ලෙස හඳුන්වන්නේ හින්දු දේව සංකල්පයේ ඊශ්වර දෙවි බව පැවසෙයි. නායක්කර් වංශික රජවරුන් විසින් ඇරඹුණු විහාරස්ථානවලට, ඊශ්වර දෙවිදුන්ගේ අාරක්ෂාව පතා මෙම කීර්ති මුඛ මුහුණ යොදා අැති බව විශ්වාස කෙරේ. නමුත් තවත් විශ්වාසයකට අනූව වරුණ දෙවියන්ගේ අාරක්ෂාව පතා මහනුවර යුගයේ මකර තොරණ කරවූ බව සඳහන් වේ. වරුණ දෙවිගේ (විෂ්ණු දෙවි) වාහනය මකරා වීමත්, මෙරට බුදු සසුන රැක බලා ගැනීම බුදුන් වහන්සේ විසින් උපුල්වන් දෙවියන්ට පවරනු ලැබුවේය යන විශ්වාසයත් ඊට හේතුවෙන්නට අැතැයි සැළකේ.[1]

තොරණේ දෙපස මකරුන්ගේ හිස වටා විවිධ මෝස්තර දැකගත හැකි අතර මකරුන්ගේ මුඛයෙන් පිටතට පැන නගින ලියවැල් හා සත්ව රූප අාදිය කිහිඹි මුහුණේ මුඛය තුළට යන ආකාරයට නිමවා අැත. මකර තොරණේ දෙපස, පේකඩ, දොරටුපාල රූප හා සිංහ රූප අාදියෙන් සමන්විත වේ. ඇතැම් මකර තොරණවල කිහිඹි මුහුණ දෙපස හිරු සඳු රූපද, දේව රූපද නිර්මාණය කර ඇත. මකර තොරණේ මකරා බොහෝ විට අැතුල් පස ඉහළට සිය මුව අයාගෙන සිටින අයුරින් තිබූවත්, දෙපසට මුව අයා සිටින මකර තොරණද සමහර ස්ථානයන්හී දැකගත හැකිවේ.

රූපාවලිය

[සංස්කරණය]
ප්‍රවිශ්ඨ ද්වාරයක වූ මකර තොරණක් (දළදා මාලිගාව)

රූපාවලිය නම් සංස්කෘත ග්‍රන්ථයට අනූව මකර තොරණේ වූ මකර රූපයේ අඟපසඟ තුළින් සත්ව කොට්ඨාස කිහිපයක අංග ලක්‍ෂණ නිරූපණය වේ. ඒ අනුව මකරාට ඇතකුගේ හොඬවැලක්, සිංහයකුගේ පාද, කිඹුලකුගේ දත්, වඳුරකුගේ ඇස්, ඌරකුගේ කණ්, මත්ස්‍යයකුගේ කඳක් හා ගුරුළෙකුගේ පියාපත්ද පවතී.[2]

ගම්මඩු හා දෙවොල්මඩු ආදී යාගයන් වලදී තොරණ විස්තර ගායනා කිරීමට පළමුව, මකර තොරණ පිළිබඳ ශ්ලෝක සන්න ගායනා කරන බව පැවසෙයි.

මකර තොරණ සම්බන්ධ විද්වත් මත

[සංස්කරණය]

අාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව මකර රූප ද්විත්වයෙන් හා කිඹිසි මුහුණෙන් කාලයත් ඉන් විනාශයත් අර්ථවත් කරයි. සත්ව රූ පේළිය, ලියවැල හා පද්මය මගින් සංසාර චක්‍රයත්, මකරාගේ අංගයන්ගෙන් රූප, ගන්ධ, ශබ්ද, රස, හා ස්පර්ශ යන පංච උපාදානස්කන්ධයනුත්, හිරු හා සඳුගෙන් දිවා රාත්‍රීයත්, දේව හා තාපස රූප මගින් පඨවි, ආපෝ, තේජෝ හා වායෝ යන සතර මහා භූතයනුත්, අර්ථවත් කෙරෙන බව පරණවිතානයන්ගේ අදහස වේ.

අානන්ද කුමාරස්වාමි මහතාගේ මතය අනූව මකරා යනු, ජලය සංඛේතවත් කරන්නක් වන අතර එමගින් එය ජීවයේ හරය සමග වූ සහසම්බන්ධතාවය නිරූපණය කරයි.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  • Yaksas-1931 - අානන්ද කුමාරස්වාමි

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "මකර රුව සහ මකර තොරණ". බුදුසරණ. 2009-02-02. සම්ප්‍රවේශය 2015-01-20.
  2. ^ "රූපාවලිය අනුව තැණූ මකර තොරණ". දිණමිණ. 2012-06-21. සම්ප්‍රවේශය 2015-01-20.
  3. ^ "මකර තොරණ". අමේසිං ලංකා. 2014. සම්ප්‍රවේශය 2015-01-20.
"https://si.wikipedia.org/w/index.php?title=මකර_තොරණ&oldid=327481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි