දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
80PX


හැඳින්වීම[සංස්කරණය]

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාක්)


දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. එය ඉංග‍්‍රීසි භාෂාවෙන් සැකසුණු අන්වර්ථ නාමයකි.ර සංවිධානයේ කටුයතු සඳහා යොදාගත හැකිය. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. භාවිතය එසේ වුවද සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන්නේ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතාවය යන්නයි.

භූගෝලීය කලාපයක් මුල් කොටගන ජාත්‍යන්තර සංවිධාන බිහිවීම වූ කලී දෙවැනි ලෝක සංග‍්‍රාමය කෙළවර පටන් ඇති වූ දේශපාලන ප‍්‍රවණතාවයකි. මෙම දේශපාලන ප‍්‍රවණතායට මූලික හේතුව වූයේ ජාත්‍යන්තර ක‍්‍රමය තුළ තනි රටක් වශයෙන් පැවැත්ම දුෂ්කර බව, එක් එක් රාජ්‍යයන් විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් අවබෝධ කර ගැනීමයි. අන්‍යෝන්‍ය රඳා පැවැත්මක්(Inter-Dependence)සහිත ලෝකයේ රාජ්‍යයන්හි ආරක්‍ෂාව උදෙසාත්, ආර්ථික සහයෝගිතාවය උදෙසාත් අන්තර් රාජ්‍ය සහයෝගිතාවය වඩාත් ඵලදායී බව ලෝක ප‍්‍රජාව පසක් කර ගන්නට වූයේ දෙවන ලෝක යුද්ධය කෙළවරදී ඇති වූ අනාරක්‍ෂිතභාවය තුළිනි.

යුද්ධය නිමවීමේදී ඒතාක් ලෝකය හැසිර වූ අධීරාජ්‍යවාදී හා යටත්විජිතවාදී බලවේග බිඳවැටෙද්දී පහළ වූ නව සුපිරි බලවතුන් (Super Powers) නිසා හටගත් කඳවුරු වාදය නැතහොත් ‘කුෂ්ණි’ - යුද්ධය’(Cold -War) ලෝක දේශපාලනය තුළ අනාරක්‍ෂිත බවක්(Insecurity) ඇති කරනු ලැබීය. දේශපාලන වශයෙන් රාජ්‍යයන්හි ආරක්‍ෂාවටත්, ආර්ථික වශයෙන් රාජ්‍යයන්හි සංවර්ධනයටත් ඇති වූ මෙම අනාරක්‍ෂිත බව පිළිබඳ අභියෝගයට මුහුණ දීමට පළමුව යුරෝපා කලාපයේ රටවලූත්, දෙවනුව සෙසු කලාපයන්හි රටවලූත් යොදාගත් විකල්ප මාධ්‍යයක් වූයේ අන්තර් රාජ්‍ය මට්ටමින් කිසියම් භූගෝලීය කලාපයක් ආවරණය වන ආකාරයේ ජාත්‍යන්තර සංවිධාන නැතහොත් කලාපීය සංවිධාන බිහි කිරීමයි. ඒ අනුව දකුණු ආසියාව නම් වූ උප භූගෝලීය කලාපයට අයත් ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, ශ‍්‍රී ලංකාව, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල් හතෙහි සාමාජිකත්වයෙන් යුක්තව සාක් සංවිධානය පිහිටුවා ගනු ලැබීය.2007 අප්‍රේල් 03 වැනි දින ඇෆ්ගනිස්ථානය සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. මේ අනුව වත්මන් සාමාජිකයන් 8 දෙනෙකි.

සාර්ක් 4.jpeg

සාක් සංවිධානයේ ප‍්‍රභවය[සංස්කරණය]

සාක් සංවිධානය යනුවෙන් හඳුන්වනු ලබන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1985 දෙසැම්බර් 08 වැනි දින සාක් රටවල රාජ්‍ය නායකයින් විසින් අත්සන් කරනු ලැබූ සාක් ප්‍රඥප්තිය (අධිකාර පත‍්‍රය) ප‍්‍රකාශයට පත්කිරීමක් සමඟයි. එහෙත් එම සංවිධානයේ ප‍්‍රභවය ඊට වඩා පසු කාලය දක්වා දිවයයි. එනම් සාක් සංවිධානය එකවර පහළ වූවක් නොවේ. එය වසර කිහිපයක් තිස්සේ දකුණු ආසියාතික රාජ්‍යයන් විසින් අනුගමනය කරනු ලැබූ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වශයෙන් බිහිවූවකි.

සාක් සංවිධානයේ නියමුවා වශයෙන් පිළිගනු ලබන්නේ හිටපු බංගලාදේශ ජනාධිපතිවරයෙකු වූ සියා - උර් - රහමන් නමැත්තාය. කලාපීය සහයෝගිතාවය උදෙසා සංවිධානයක් බිහි කිරීමේ අවශ්‍යතාවය දකුණු ආසියාතික රාජ්‍ය නායකයන්ට වඩාත් ආකර්ශනීය අයුරින් පෙන්වා දුන්නේ මොහුයි. ඔහු ගත් ක‍්‍රියා මාර්ගයේ ඵලය දකින්නට පෙර ඔහු ඝාතනය කරනු ලැබුවද බංගලාදේශ රජය සියා- උර්- රහමන්ගේ අදහස අනුව දිගින් දිගටම කටයුතු කිරීම නිසා සහයෝගිතාවය උදෙසා ‘සාක් ’ නම් වූ සංවිධානය බිහිකර ගත හැකි විය. එම නිසා සියා - උර්- රහමන් සාක් සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනේ.

සියා - උර් - රහමන් කලාපීය සහයොගිතාවය උදෙසා ගත් පළමු ක‍්‍රියා මාර්ගය වූයේ දකුණු ආසියාතික රටවල් කිහිපයක රාජ්‍ය නිල චාරිකාවක යෙදෙමින් ඉන්දියාව, පාකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව යන රටවල රාජ්‍ය නායකයන් හමු වී සිය අදහස ඉදිරිපත් කිරීමය. පෞද්ගලික මට්ටමින් පැවැත් වූ මෙම ද්වීපාර්ශවික රාජ්‍ය තාන්ත‍්‍රික ක‍්‍රියා මාර්ගයේ දී සියා - උර් - රහමන්ට ඉතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා තිබුණි. එහෙයින් තවත් ඉදිරි පියවරක් තැබූ සියා - උර් - රහමන් තම යෝජනාව දකුණු ආසියාතික රාජ්‍ය නායකයන් වෙත දන්වමින් 1980 මැයි මාසයේ දී නිල ලේඛණයක් යවනු ලැබුණි. ඉන් යෝජනා කර තිබුණේ දකුණු ආසියාතික සහයෝගිතාවය සඳහා රාජ්‍ය නායක මට්ටමේ රැස්වීමක් කැඳවීම යෝග්‍ය බවයි.

නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය දැක් වූ ප‍්‍රතිචාරය එතරම් දිරි ගන්වන සුළු එකක් නූවුව ද, ශ‍්‍රී ලංකාව, භූතානය, නේපාලය හා මාලදිවයින දැක් වූ ප‍්‍රතිචාරය ඉතා යහපත් එකක් විය. ඉන්දිවයාව හා පාකිස්ථානය දැරූ අදහස වූයේ රාජ්‍ය නායක මට්ටමේ සමුළුවාරයක් කැඳවීමට පෙර ඊට වඩා ප‍්‍රාථමික මට්ටමින් කලාපීය සහයෝගීතාවය සඳහා පියවර ගතයුතු බවයි. මේ අදහස සියා - උර් - රහමන් විසින් ද පිළිගත් හෙයින් කලාපීය සහයෝගීතාවය උදෙසා තවත් ක‍්‍රියාමාර්ගයට අවතීර්නවීමට බංගලාදේශ රජය පියවර ගති. නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වූ දකුණු ආසියාතික රටවල තානාපතීන් සමඟ 1980 ජුනි සිට සැප්තැම්බර් දක්වා පැවැත්වූ සාකච්ඡා මාලාවක දී බංග්ලාදේශය ගත් තීරණය වූයේ කලාපීය සහයෝගීතාවය උදෙසා පළමු පියවර වශයෙන් විදේශ ලේකම්වරුන්ගේ මට්ටමින් සාකච්ඡා වාරයක් කොළඹ දී පැවැත්වීමට තීරණය කිරීමයි. එකී තීරණය ක‍්‍රියාත්මක කිරීමට පෙර බංග්ලාදේශ රජය විසින් 1980 නොවැම්බර් 25 දාතමින් යුතුව කාර්ය සාධක පත‍්‍රිකාවක්(Working Paper) මගින් තම මූලික යෝජනාව නැවත සංශෝධන සහිතව දකුණු ආසියාතික රටවල අවධානයට යොමු කරනු ලැබුණි. එම කාර්ය සාධක පත‍්‍රිකාව මගින් පෙන්වා දී තිබුණේ අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය මත ක්‍ෂේත‍්‍ර 09 ක් යටතේ කලාපීය සහයෝගීතාවය ආරම්භ කළ යුතු බවයි.

එම යෝජනාව අනුව 1981 අපේ‍්‍රල් 21-23 දකුණු ආසියාතික රටවල විදේශ ලේකම්වරුන් පළමු වටයේ සාකච්ඡා සඳහා කොළඹ දී රැස්වූහ. මෙම සමුළුව කලාපීය සහයෝගිතාවයට හොඳ පදනමක් සැකසීය. මන්ද කලාපයට අදාල පොදු ප‍්‍රශ්නයන් විසඳීමෙහිලා පොදු පරමාර්ථයකින් යුතුව කලාපීය පදනමක් යටතේ එකඟතාවය මත තීරණයන් ගැනීමට සමුළුවට සහභාගී වූ දකුණු ආසියාතික රටවල් සියල්ල විසින් තීරණය කිරීම නිසාය. තවද කොළඹ සාකච්ඡා වටයේදී ගත් තවත් තීරණයක් වූයේ යෝජිත සහයෝගීතා ක්‍ෂේත‍්‍ර 09 න් 05 ක් පිළිබඳව අධ්‍යයක් සිදු කිරීමට ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල පුරෝගාමිත්වයෙන් අධ්‍යයන කවයන්(Study Circles ) පහක් පත් කිරීමයි. සහයෝගීතාවය පල කළ යුතු එම ක්‍ෂේත‍්‍ර පහ ලෙස පිළිගැනුණේ කෘෂිකර්මය, ග‍්‍රාමීය සංවර්ධනය, විදුලි සංදේශ, කාලගුණ විද්‍යා, සෞඛ්‍ය හා ජනගහණ යන ක්‍ෂේත‍්‍රයන්ය.

1981 නොවැම්බර් මස 2- 4 දිනවලදී යලිත් වරක් විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා වටයක් කැඳවණු ලැබිණි. සහයෝගීතාවය පල කළ යුතු තවත් ක්‍ෂෙත‍්‍ර 03 ක්, එනම් ගමනාගමනය, තැපැල් සේවා, විද්‍යාත්මක හා තාක්‍ෂණික සේවා එහිදී හඳුනා ගනු ලැබුණි. 1982 අගෝස්තු 7 - 8 දෙදින තුළදී පකිස්ථානයේදී ඉස්ලාම්බාද් අගනුවරදී පැවැත් වූ විදේශ ලේකම්වරුන්ගේ සමුළුවාරයේ දී තවත් සහයෝගීතා ක්‍ෂේත‍්‍ර 03 ක් හඳුනා ගනු ලැබිණි. එනම් ක‍්‍රීඩා, කලා සහ සංස්කෘතික යන ක්‍ෂේත‍්‍රයන්ය. මෙම සමුළුවාරයේදී ගත් වැදගත් තීරණයක් වූයේ ඉන් පෙර ඇති කරන ලද අධ්‍යයන කවයන් (Study Circles) වැඩ කණ්ඩායම් (Working Groups) බවට පත්කිරීමත් ය.

1983 ජනවාරි 10-13 කොළඹට රැස් වූ සියලූ අධ්‍යයන කවයන් හා වැඩ කණ්ඩායම් විසින් කලාපීය සහයෝගීතාවය උදෙසා ඒකාබද්ධ ක‍්‍රියාත්මක වැඩ පිළිවෙලක් (Integrated Programme of Action) සඳහා සැලසුම් සකස් කරනු ලැබූහ. එම සැලසුම පිළිබඳව බංග්ලාදේශ අගනුවර වූ ඩකාහි රැස්වූ විදේශ ලේකම්වරු 1983 මාර්තු මාසයේදී පැවැත් වූ සාකච්ඡාවලට අනතුරුව ගත් වැදගත් තීරණයක් වූයේ දකුණු ආසියාතික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ මට්ටමේ රැස්වීම් වාරයක් එම වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්විය යුතු බවයි. එම රැස්වීමට පෙර යළිත් වරක් විදේශ ලේකම්වරුන් 1983 ජූලි මාසයේදී නව දිල්ලියට රැස්විය යුතු බවද තීරණය කෙරුණි.

ඒ අනුව 1983 ජූලි මාසයේ නව දිල්ලියට රැස් වූ විදේශ ලේකම්වරුන් විසින් සහයෝගීතාවය පළ කිරීමට එකඟ වූ ක්‍ෂේත‍්‍ර 09 ක් අලලා ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ සහයෝගීතා සැලැස්මක ප්‍රකාශයට පත්කරනු ලැබීය. ‘නවදිල්ලි ප‍්‍රකාශනය’ නම් වූ එම ප‍්‍රකාශනය දකුණු ආසියාතික රටවල සහයෝගීතාවයේ තවත් එක් වැදගත් අවස්ථාවක් සලකණු කරනු ලැබීය.

දකුණු ආසියාතික සහයෝගීතාවය පිළිබඳව විදේශ අමාත්‍ය මට්ටමින් පැවති පළමු රැස්වීම 1983 අගෝස්තු 1-2 දින වලදී නවදිල්ලියේදී පවත්වනු ලැබුණි. දකුණු ආසියාතික රටවල සහයෝගීතාවය පිළිබඳ පූර්ණ නුවූ නිල ප‍්‍රකාශයක් ඔවුහු නිකුත් කරනු ලැබූහ. එම ඒකාබද්ධ ප‍්‍රකාශනයෙන් අවධාරණය කළ එක් වැදගත් කරුණක් වූයේ කලාපීය සහයෝගීතාවය තුළින් බලාපොරොත්තු වන්නේ දැනට එම සබඳතාවලට ආශීංසනයක්( Complimentary)කිරීමට බවයි. එනම් දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයට සම්බන්ධ වීමේ හේතුවෙන් කිසිම රටක් වෙනත් ජාත්‍යන්තර සංවිධාන වලට හෝ කණ්ඩායම් වලට බැඳීමට බාධාවක් නොමැති බවයි. නවදිල්ලි නුවරදී විදේශ අමාත්‍යවරුන් ගත් තවත් තීරණයක් වූයේ කලාපීය සහයෝගීතාවය උදෙසා ආයතනික වැඩ පිළිවෙලක් (Institutional Machinery)ඇති කිරීමේ අවශ්‍යතාවයයි.

නවදිල්ලි සමුළුවට පසුව තවත් සමුළු වාර දෙකක් පැවැත්වීය. ඉන් පළමු වැන්න 1984 ජූලි මස 10-11 දිනවල දී මාලදිවයින් අගනුවර වූ මාලේහි දී පැවැත්විණි. එහිදී ගත් වැදගත්ම තීරණය වූයේ රාජ්‍ය නායක මට්ටමේ සමුළු වාරයක් 1985 අගභාගයේදී බංග්ලාදේශ අගනුවර වූ ඩකාහි දී පැවැත්විය යුතු බවයි. ඉන් අනතුරුව 1985 මැයි 13-14 දෙදින තුළ අනෙක් සමුළුව භූතානයේ තිම්පු අගනුවරදී පැවැත්විණි. මෙම සමුළු වාරයේදී රාජ්‍ය නායක මට්ටමේ සමුළුවට අදාල න්‍යාය පත‍්‍රය පිළිබඳව අවසන් තීරණයක් කරනු ලැබූ අතර පළමු සමුළුවාරයට අදාල ප‍්‍රාරම්භක කටයුතු ද අධීක්‍ෂණය කෙරුණි.

රාජ්‍ය නායක මට්ටමින් 1985 දෙසැම්බර් පැවැත්වීමට නියමිත වූ පළමු රැස්වීම් වාරයට පෙර නැවත වරක් විදේශ අමාත්‍යවරුන් ඩකා නුවරට රැස්වූහ. දෙසැම්බර් 5 වන දින පැවති එම රැස්විමේදී රාජ්‍ය නායක සමුළුවේදී පිළිගත් කරුණු 03 ක් පිළිබඳව නිර්දේශයන් කරනු ලැබූහ. එනම් කලාපීය සහයෝගීතාවය පිළිබඳ දකුණු ආසියාතික සංගමයේ ප‍්‍රඥප්තිය, ඩකා ප‍්‍රකාශනය හා සාක් සංඛේතයයි. (Emblem)

1985 දෙසැම්බර් 05 වන දින ඩකාහි පැවති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට අනතුරුව දෙසැම්බර් 7-8 දිනවල දකුණු ආසියාතික රටවල රාජ්‍ය නායකයින්ගේ ප‍්‍රථම රැස්වීම පැවැත්විණි.එම රැස්වීමට පහත සඳහන් රටවල රාජ්‍ය නායකයින් සහභාගී වූහ.

බංගලාදේශය - හුසේන් මොහොමඞ් එර්ෂාඞ් මාලදිවයින - මයුම් අබ්දුල් ගයුම් භූතානය - ජිග්වේ සින්ග් යේ වැන්චූන් නේපාලය - බිරේන්ද්‍ර බීර් බික්රම්ෂා ඉන්දියාව - රජීව් ගාන්ධි පාකිස්ථානය - මොහොමඞ් සියා උල්හක් ශ‍්‍රී ලංකාව - ජුනියස් රිචඞ් ජයවර්ධන

මෙම සමුළු වාරයේදී ගත් වැදගත්ම තීරණ වූයේ සාක් ප‍්‍රඥප්තිය පිළිගැනීමය. 1985 දෙසැම්බර් මස 08 වැනි දින ඉහත කී රාජ්‍ය නායකයන්ගේ අත්සනින් යුතුව කලාපීය සහයෝගීතාවය පිළිබඳ දකුණු ආසියාතික සංගමයේ (සාක්) ප‍්‍රඥප්තිය ප‍්‍රකාශයට පත් කෙරුණි. සාක් සංවිධානය නම් වූ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානය ප‍්‍රභව වූයේ ඒ අයුරිනි.

සාක් සංවිධානයේ මූල ධර්ම[සංස්කරණය]

සාක් සංවිධානයේ සාමාජික රටවල් විසින් පිළිපැදිය යුතු සාමාන්‍ය මූලධර්ම පිළිබඳව ප‍්‍රඥප්තියේ 2 වන වගන්තියේත් අතිරේක මූලධර්ම පිළිබඳව 10 වන වන්තියේත් සඳහන් වේ.

2 වන වගන්තියේ සඳහන් මූලධර්ම[සංස්කරණය]

1.සාමාජික රටවල ස්වාධිපත්‍යය, සමානතාව, රාෂ්ට‍්‍රමය (දේශීය) මධ්‍යස්ථතාවය ,දේශපාලන නිදහස ,සෙසු රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගැසීම හා අන්‍යෝන්‍ය යහපත උදෙසා ගරු කරමින් සංවිධාන ව්‍යුහය තුළ සහයෝගීතාවය ක‍්‍රියාත්මක කළ යුතුය.

2.එම සහයෝගීතාවය ඈතට පවත්නා ද්විපාර්ශවික හා බහුපාර්ශවික සබඳතාවන්ට ආශිංසනයක් (නැතහොත් ඌණ පූරකයක් -Complement) විනා ආදේශකයක් නොවිය යුතුය.

3. එවැනි සහයෝගීතාවයක් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික යුකුකම් වලට නොගැපෙන්නක්(Inconsistent) නොවිය යුතුය.

මෙම සාමාන්‍ය මූලධර්ම වලට (General Principles) අමතරව තවත් අතිරේක මූලධර්ම (Redundant or Additional Principles) දෙකක් 10 වන වගන්තියේ සඳහන්ය. එනම්

1. සියලූම මට්ටමෙ තීරණ ගැනීම් ඒකමතිකත්වය පදනම් කර සිදුවිය යුතුය.

2. ද්වීපාර්ශවික හා මතභේදයට තුඩුදෙන්නා වූ සියලූ ප‍්‍රශ්න සාකච්ඡාවලින් බැහැර කළ යුතුය.

මෙම අතිරේක මූලධර්ම හැරුන විට තවත් එක් මූලධර්මයක් 3 වන වගන්තියේ සඳහන්ය. ඒ අනුව රාජ්‍ය නායක සමුළුවලට සහභාගී විය යුත්තේ එක් එක් සාමාජික රටේ රාජ්‍ය නායකයා (Head of State or Government)පමණි.

සාක් සංවිධානයේ අරමුණු[සංස්කරණය]

සාක් සංවිධානයේ ප‍්‍රධාන අරමුණු (Main Objectives) පිළිබඳ සාක් ප‍්‍රඥාප්තිය 1 වන වගන්තියේ සඳහන් වන අතර සාමාන්‍ය අරමුණු එහි පූර්විකාවෙහි සඳහන්ය.

ප‍්‍රධාන අරමුණු[සංස්කරණය]

1. දකුණු ආසියාතික රටවල ජනතාවගේ ශුභසිද්ධිය හා ජීවන තත්වය නන්වාලීම.

2. කලාපය තුළ ආර්ථික. සාමාජීක සහ සංස්කෘතික සංවර්ධනය වේගවත් කිරීම හා පුද්ගලයන්ගේ ගරුත්වය රැකෙන අයුරින් ජීවත්වීමට අවස්ථාව සලසාදීම.

3. දකුණු ආසියාතික රටවල් අතර, සාමූහික ආත්ම විශ්වාසය( Self-reliance)ප‍්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම.

4. අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කිරීම, එකිනෙකාගේ ප‍්‍රශ්න නිවැරදිව අගය කිරීම හා තේරුම් ගැනීමට දායක වීම.

5. ආර්ථීක, සමාජ, සංස්කෘතික, තාක්‍ෂණික හා විද්‍යාත්මක ක්‍ෂේත‍්‍රයන්හි අන්‍යෝන්‍ය උපකාරය හා සහයෝගීතාවය වර්ධනය කිරීම.

6. සංවර්ධනය වෙමින් පවත්නා සෙසු රටවල් සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම.

7. පොදු ප‍්‍රශ්නයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වේදිකාවන්හි දී ඔවුනොවුන් අතර සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම.

8. සමාන අපේක්‍ෂා සහ අරමුණු(aims and purposes) සහිතව ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන සමඟ සහයෝගීව කටයුතු තිරීම.


සාමාන්‍ය අරමුණු[සංස්කරණය]

1. කලාපය තුළ සාමය, ස්ථාවරත්වය, මිත‍්‍රත්වය හා සංවර්ධනය වැඩිදියුණු කිරීම.

2. යහපත් අසල්වාසීන් වශයෙන් අර්ථවත් සහයෝගීතාවක් ගොඩනැන්වීම.

3. දේශපාලන හා ආර්ථික ක‍්‍රමයන් තුළ සහයෝගීතාවය වැඩිදියුණු කරන අන්දමේ ඒකාබද්ධ ක‍්‍රියාමාර්ග ගැනීම.

4. ආයතනික ව්‍යුහයක් තුළින් සහයෝගීතාවය වර්ධනය කිරීමේ අධිෂ්ඨානය තහවුරු කර ගැනීම.

සාක් සංවිධානයේ ආයතනික ව්‍යුහය[සංස්කරණය]

(අ) ප‍්‍රධාන ආයතන[සංස්කරණය]

ප‍්‍රඥප්තියට අනුව සංවිධාන ව්‍යුහය ප‍්‍රධාන ආයතන පහකින් සමන්විත වෙයි.

1. අමාත්‍ය මණ්ඩලය - මෙය සමන්විත වන්නේ එක් එක් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගෙනි. (IV වගන්තිය)

2. ස්ථාවර කමිටු (Standing Committees) - සාමාජික රටවල විදේශ ලේකම්වරුන්ගෙන් එය සමන්විතය. (V වගන්තිය)

3. තාක්‍ෂණික කමිටු (Technical Committees) - සාමාජික රටවල විවිධ තාක්‍ෂණික ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන නිලධාරීන්ගෙන් යුක්තය. (VI වගන්තිය)

4. ක‍්‍රියාකාරී කමිටු (Action Committees) - ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම ස්ථාවර කමිටුව විසින් පත්කරනු ලබන නිලධාරීන්ගෙන් යුක්තය. (VII වගන්තිය)

5. මහාලේකම් කාර්යාලය(Secretariat) - මහාලේකම්වරයෙකු යටතේ ක‍්‍රියාත්මක වේ. (VIIIවගන්තිය)

(ආ) ආයතනය සතු කාර්යභාරය හා බලතල[සංස්කරණය]

මේ එක් එක් ආයතන සතු කාර්ය හා බලතල ප‍්‍රඥප්තියේම සඳහන් වෙයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට අයත් කාර්ය වශයෙන් 4 (1) වගනිතිය දක්වන්නේ,

i ප‍්‍රතිපත්ති සම්පාදනය

ii සහයෝගීතාවයට අදාල නව ක්‍ෂේත‍්‍ර පිළිබඳව තීරණ ගැනීම

iii සහයෝගීතාවයේ ප‍්‍රගතිය අධීක්‍ෂණය කිරීම

iv වෙනත් කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීම

ස්ථාවර කමිටුවට අදාල කාර්ය හා බලතල පිළිබඳව V වන වගන්තිය සඳහන් කරයි. එනම්

i සහයෝගීතාවය පිළිබඳ පූර්ණ වශයෙන් නිරීක්‍ෂණය කිරීම.

ii ව්‍යාපෘති හා වැඩසටහන් වලට මූල්‍ය පහසුකම් සපයාදීමේ ස්වරූපය අනුමත කිරීම.

iii අන්තර් - ආංශික ප‍්‍රමුඛතාවන් සංචලනය කිරීම.

iv කලාපීය හා බාහිර සම්පත් සංචලනය කිරීම.

v සුදුසු අධ්‍යයනයන්ට පසුව සහයෝගීතාවයට සුදුසු නව ක්‍ෂේත‍්‍ර හඳුනාගැනීම.

තාක්‍ෂණික කමිටු පිහිටුවීමට අදාලව ඒවායේ කාර්ය හා බලතල සම්බන්ධයෙන් VI වගන්තිය සඳහන් කරයි. සාක් රටවල නියෝජිතයන්ගෙන් සමන්විතවන්නා වූ මෙවැනි එක් එක් කමිටු විසින් ඊට අදාල ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම මනා නිරීක්‍ෂණය කිරීම කළයුතු වෙයි. එකී කාර්ය ඉටුකිරීමට අදාල යොමු කිරීමෙහි සඳහන් කොන්දේසි අතර කලාපීය සහයෝගීතාවය උදෙසා ශක්‍යතාවය ඇති වැඩසටහන් තීරණය කිරීම අදාල ව්‍යාපෘති සකස් කිරීම, මූල්‍ය ප‍්‍රතිපාදන සම්පාදනය කිරීම, ඒවා ක‍්‍රියාත්මක කිරීම හා ඒවායේ ක‍්‍රියාත්මක භාවය නිරීක්‍ෂණය කිරීම ද වෙයි. තවද එවැනි කමිටු සිය වාර්තා කලින් කලට ස්ථාවර කමිටු වෙත යැවිය යුතු වෙයි. මෙවැනි තාක්‍ෂණික කමිටුවල සභාපතිත්වය සාමාජික රටවල අකාරාදී පිළිලෙට අනුව වසර දෙකකට වරක් වෙනස්විය යුතුය. අවශ්‍ය විටක තාක්‍ෂණික කමිටු විසින් ජාතික මට්ටමේ තාක්‍ෂණික ආයතනයන්හි ප‍්‍රධානීන්ගේ හා විශේෂ ක්‍ෂේත‍්‍රයන්හි විශේෂඥයන්ගේ රැස්වීම් කැඳවිය හැක. එමෙන්ම කලාපයේ පිළිගත් විධිමත් ආයතනයක් සමඟ සබඳතා පවත්වා ගැනීමටද එම කමිටුවලට බලය ඇත.

VII වන වගන්තියේ සඳහන් වන ක‍්‍රියාකාරී කමිටු පත්කරන ලබන්නේ ස්ථාවර කමිටුව විසිනි. මෙයට අයත් කාර්යය වන්නේ රාජ්‍යයන් දෙකකට වැඩි එහෙත් සියලූම සාමාජික රටවල් නොවන්නා වූ ඇතැම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි. මේ වගන්තියට අනුව තාක්‍ෂණික කමිටු මෙන්ම ක‍්‍රීයාකාරී කමිටු ද පත්කරනු ලබන්නේ විදේශ ලේකම්වරුන්ගෙන් සමන්විත වන්නා වූ ස්ථාවර කමිටුව මගිනි.

VIII වන වගන්තියේ සඳහන් කරන්නේ මහාලේකම් කාර්යාලයන් සම්බන්ධයෙනි. මහාලේකම්වරයා පත්කිරීම හෝ මහාලේකම් කාර්යාල පිළිබඳ කිසිදු ප‍්‍රතිපාදනයක් ප‍්‍රඥප්තියේ සඳහන් නුවූවද රාජ්‍ය නායක සමුළුවේදී ගන්නා ලද තීරණ මගින් මහලේකම් ධූරය හා මහාලේකම් කාර්යාලයක්ද ඇති කරනු ලැබිණි. ඒ අනුව 1987 ජනවාරි 16 දින නේපාලයේ කත්මන්ඩු නුවරදී සාක් මහාලේකම් කාර්යාලය ඇති කරනු ලැබුණි. ඒ පිළිබඳ ඇති කර ගත් එකඟතාවය සාක් රටවල විදේශ ඇමතිවරුන් විසින් දෙවන රාජ්‍ය නායක සමුළුවේදී අත්පත් කරනු ලැබුණි.

මූල්‍ය ප‍්‍රතිපාදන[සංස්කරණය]

සාක් සංවිධානයේ කටයුතු සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන සලසා ගත යුතු ආකාරය IX වන වගන්තියේ සඳහන් වෙයි. එයට අනුව මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ස්වේඡ්ඡාවෙන් සිදුකළ යුතු අතර එවැනි මූල්‍ය ප‍්‍රතිපාදන අප‍්‍රමාණවත් වන කල්හි ස්ථාවර කමිටුවේ අනුමැතියට යටත්ව බාහිරව ලබාගත හැකි මූල්‍ය ආධා

සාක් සංවිධානයේ ප‍්‍රගතිය[සංස්කරණය]

සමුළුවාර[සංස්කරණය]

සාක් සංවිධානයේ ප‍්‍රගතිය පෙන්වන හොඳම කැඩපත වන්නේ සාක් රාජ්‍ය නායක සමුළුවාරයි. 1985 සිට 2000 වසර වන විට රාජ්‍යනායක සමුළුවාර 10 ක් පවත්වා ඇත. වාර්ෂිකව රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වීම සමුප‍්‍රධායක් කරගෙන තිබුුණද කලාපය තුළ හටගත් විවිධ ප‍්‍රශ්න හේතුකොට ගෙන වාර්ෂිකව සමුළු පැවැත්වීමේ පුරුද්දට ඇතැම්විට බාධා සිදුවිය. සාක් සංවිධානය මුහුණ පෑ යම් යම් අභියෝග නිසා එසේ රාජ්‍ය නායක සමුළුවාර පැවැත්වීම වාර්ෂීකව සිදු නොකෙරුණද. සාක් සංවිධානය එහි ආයතනික ව්‍යුහය තුළින් අඛණ්ඩව පවත්වා ගැනිණ.

සාක් සංවිධානය මේ වනවිට පැවැත්වූ රාජ්‍ය නායක සමුළු 10 භූතානය හැරුනවිට සෙසු සෑම සාමාජික රටකම පවත්වා ඇත. රාජ්‍ය නායක සමුළුව පැවැත්විය යුතු රට තීරණය වන්නේ ඒ රටේ නාමය ඉංග‍්‍රීසි අකාරාදී පිළිවෙලට අනුව ගලපා ගත්කල්හි වුවද රාජ්‍යන්හි කැමැත්ත අනුව සමුළුවාර වෙනස්කර ගත් අවස්ථා වෙයි. උදාහරණ වශයෙන් ශ‍්‍රී ලංකාව පැවැත්විය යුතු සමුළුවාරය 1988 දී පකිස්ථානය විසින් පැවත්වීම යොදා ගැනීම දැක්විය හැක. එහිලා බලපෑ හේතුව වූයේ එම වකවානුව තුළ ශ‍්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදකාරී තත්ත්වයයි.

රාජ්‍ය නායක සමුළුවාර පවත්වා ඇති රටවල් හා ඒවා පැවත්වූ මූලස්ථානය. වර්ෂය හා දිනයන් මෙසේයි.

රට ස්ථානය වර්ෂය මාසය දිනය

1. බංග්ලාදේශය ඩකා 1985 දෙසැම්බර් 7 - 8

2. ඉන්දියාව බැංග්ලෝර් 1986 නොවැම්බර් 11 - 17

3. නේපාලය කත්මණ්ඩු 1987 නොවැම්බර් 2 - 4

4. පකිස්ථානය ඉස්ලාම්බාද් 1988 දෙසැම්බර් 29 - 31

5. මාලදිවයින මාලේ 1990 නොවැම්බර් 21 - 25

6. ශ‍්‍රී ලංකාව කොළඹ 1991 දෙසැම්බර් 21

7. බංගලාදේශය ඩකා 1993 අප‍්‍රියෙල් 10 - 11

8. ඉන්දියාව නවදිල්ලිය 1995 මැයි 2 - 4

9. මාලදිවයින මාලේ 1997 මැයි 12 - 14

10.ශ‍්‍රී ලංකාව කොළඹ 1998 ජූලි 29 - 31

මෙම එක් එක් සමුළුවාර අගදී නිකුත් කරනු ලැබූ ප‍්‍රකාශන තුළින් මෙන්ම අත්සන් කරනු ලැබූ ගිවිසුම් තුළින්ද පියවරෙන් පියවරට සාක් සංවිධානය ලබා ඇති ප‍්‍රගතිය වටහා ගත හැක. සාක් සංවිධානය ලත් ප‍්‍රගතිය වඩාත් හොඳින් පෙන්නුම් කරන ගිවිසුම් පිළිබඳව මෙහිලා සඳහන් කළ යුතුය.

සාක් කලාපීය ගිවිසුම්[සංස්කරණය]

කලාපයට බලපාන පොදු ප‍්‍රශ්න පහක් අලලා සහයෝගීතාවය පළකරනු වස් සාක් රටවල් අත්සන් කරනු ලැබූ ගිවිසුම් පහ මෙසේයි.

1. සාක් ආරක්‍ෂක ආහාර සංචිත ගිවිසුම.

2. ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම පිළිබඳව කලාපීය ගිවිසුම.

3. මත්ද්‍රව්‍ය හා මනෝවෛකල්‍යක ද්‍රව්‍ය පිළිබඳ සාක් ප‍්‍රඥප්තිය.

4. සාක් වරණාත්මක වෙළඳ ගිවිසුම.

සාක් සංවිධානය මුහුණපාන අභීයෝග[සංස්කරණය]

1. 1990 මාලේ සමුළුව පැවත්වීමට පෙරාතුව ශ‍්‍රී ලංකාව හා මාලේ අතර මතු වූ ගැටළුව සාක් සමුළුව පැවැත්විය යුතු ස්ථානය මුල්කොරගෙන දෙරට අතර මතුවූ ගැටළුව මාලේ රටට වාසිදායක අයුරින් තීරණයවීම නිසා එම ගැටළුව යටපත් විය.


2. 1991 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ සමුළුව කඩාකප්පල් වූ අවස්ථාව - ඉන්දියාව විසින් මතු කරනු ලැබූ රාජ්‍ය නායක සමුළුව නියෝජනය කළ යුත්තේ රාජ්‍ය නායකයකු විසින්ම පමණි යන මූලධර්මය නිසා සමුළුව කඩාකප්පල් වූ අවස්ථාව.


3. 1998 ජූලි මාසයේදී ශ‍්‍රී ලංකාව 10 වන සමුළුවාරය පැවත්වීමට පෙර ඉන්දියාව හා පකිස්ථානය අතර න්‍යෂ්ටික අවි අත්හදා බැලීම මුල්කොට ගෙන ඇති වූ විරසකභාවය නිසා හටගත් අවිනිශ්චිතතාවය.


මෙවැනි අභීයෝග රැසක් වරින් වර මතු වුවද ඒවා සාක් සංවිධානයේ ප‍්‍රගතියට එතරම් බාධාකාරී නොවීය. ආසියන්, යුරෝපා සංගමය වැනි සෙසු කලාපීය සංගම් විකාශනයේදීත් මෙබඳු ගැටළු මතුවීම හා ඒවා යටපත්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබේ. කලාපය තුළ සහයෝගීතාවයට එල්ලවී ඇති ප‍්‍රබලතම බාධකය වශයෙන් තේරුම් ගත යුත්තේ ඉන්දියාව හා පකිස්ථානය අතර පවත්නා කාශ්මීර ප‍්‍රශ්නය පිළිබඳ ගැටළුවයි.

සෙසු කලාපීය සංවිධාන සමඟ සසඳන විට සාක් සංවිධානය ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය යුත්තේ එය තවමත් ළදරු අවස්ථාවක පසුවන නිසාත් එය ලෝකයේ දුප්පත්ම කලාපයක් හෙයින් සංකීර්ණ ගැටළු රාශියකට මුහුණ දී ඇති නිසාත්ය. ගෝලීයකරණය ක‍්‍රියාවලිය තුළ සාක් සංවිධානය මීට වඩා ක‍්‍රීයාන්විත හා කාර්යක්‍ෂම ගමන් මගකට අවතීර්ණ විය යුතු කාලය එළැඹ ඇත.

පින්තූර[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

කරුණාදාස ඩබ්ලිව්.එම්.-ජාත්‍යන්තර සංවිධාන-ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ. දෙහිවල.

කරුණාදාස ඩබ්ලිව්.එම්.-සාක්.-ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ. දෙහිවල.

සබැඳි පිටු[සංස්කරණය]

සාර්ක් සංවිධානය

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය

භාරත් ජනරජය

ශ්‍රී ලංකා