උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව (LLRC, ඉංග්‍රීසි: Lessons Learnt and Reconciliation Commission, දෙමළ: கற்றுக்கொண்ட பாடங்கள் மற்றும் நல்லிணக்க ஆணைக்குழு) යනු වර්ෂ 2002ක්වූ පෙබරවාරි 21 දින ක්‍රියාත්මක කෙරුණු සටන් විරාම ගිවිසුම අසාර්ථකවීමට තුඩුදුන් කරුණු හා අවස්ථානුගත තත්ත්වයන් සහ ඉනික්බිතිව 2009ක්වූ මැයි මස 19 දින තෙක් අනුපිළිවෙලින්වූ සිද්ධීන්, කිසියම් තැනැත්තෙක්, කණ්ඩායමක් හෝ යම් ආයතනයක් සෘජුව හෝ අනියමින් මේ සම්බන්ධයෙන් වගකීම් දරනුයේද යන වග, මෙබඳු සිද්ධීන් යළි ඇති නොවනු බවට සහතික කරගනු පිණිස එකී සිද්ධීන්ගෙන් උගත යුතු පාඩම් සහ සැලකිල්ල යොමු විය යුතු තදාශ්‍රිත කරුණු, මෙකී සිද්ධීන්ගෙන් පීඩාවට පත් කිසියම් තැනැත්තෙකුට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට හෝ උරුමක්කාරයන්ට ප්‍රතිසංස්ථාපනයක් කරනු ලැබිය හැකි ක්‍රමවේදය, මෙබඳු සිද්ධීන් ඉදිරි කාලයේදී යළි ඇතිවීම වළක්වාලනු පිණිසත් සියලු ප්‍රජාවන් අතර තවදුරටත් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරලනු පිණිසත් ගනු ලැබිය යුතු ආයතනික, පරිපාලනමය සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සහ ජනාධිපතිවරයා නිකුත් කල අධිකාරී පත්‍රයේ නියමයන් යටතේ පරික්ෂණයට භාජනය කරනු ලැබූ කරුණු වලින් කිසියම් කරුණකට අදාළ එබඳු යම් වෙනත් නිර්දේශයන් කිරීම යන දේ සඳහා ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2010 මැයි මසදී පත් කරන ලද පරික්ෂණ කොමිෂන් සභාවකි.

කොමිෂන් සභාවේ සංයුතිය[සංස්කරණය]

කොමිෂන් සභාව පහත දැක්වෙන සාමාජීකයන්ගෙන් සමන්විත විය.

  • චිත්ත රන්ජන් ද සිල්වා, ජනාධිපති නීතිඥ, සභාපති
  • ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා, ජනාධිපති නීතිඥ
  • මහාචාර්ය කරුණාරත්න හඟවත්ත
  • චන්දිරපාල් චන්මුගම්
  • හේවා මාතර ගමගේ සිරිපාල පලිහක්කාර
  • මනෝහරි රාමනාදන් මහත්මිය
  • මැක්ස්වෙල් පරාක්‍රම පරණගම
  • මොහොමඩතව්ෆික් මොහොමඩ් බෆික් (2010 සැප්තැම්බර් 07 දින සිට)
  • මහාචාර්ය මොහොමඩ් තාහීර් මොහොමඩ් ජිෆ්රි (2010 අගෝස්තු 31 දින දක්වා)

  • එස්. එම්. සමරකෝන් - ලේකම් (2010 සැප්තැම්බර් 07 දින දක්වා)
  • එස්. බී. අටුගොඩ - ලේකම් (2010 සැප්තැම්බර් 14 දින සිට)

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කල චිත්ත රන්ජන් ද සිල්වා මහතා විශ්‍රාමලත් නීතිපතිවරයෙකු ද විය. එමෙන්ම ඔහු හිටපු සොලිසිටර්-ජනරාල් වරයෙක්ද විය.

කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය[සංස්කරණය]

නම තනතුර
එස්. බී. අටුගොඩ ලේකම්
එස්. එම්. සමරකෝන් හිටපු ලේකම්
එල්. අසේල දසනායක වැඩ බලන ලේකම්/සම්බන්ධීකරණ නිලධාරි
එච්. ඩබ්. කරුණාරත්න මිය වැඩසටහන් නිලධාරි
වී. එම්. ද සේරම් වැඩසටහන් නිලධාරි
ආචාර්ය ජෝන්. එච්. එන්. ගුණරත්න සංස්කාරක
ලක්ෂ්මන් වික්‍රමසිංහ මාධ්‍ය උපදේශක
මණික් ගුණසේකර මිය පර්යේෂණ උපදේශක
පී. සුමේධ ඒකනායක පර්යේෂණ උපදේශක
නෙරංජනා ගුණතිලක මිය පර්යේෂණ උපදේශක

කොමිෂන් සභාවේ රැස්වීම්[සංස්කරණය]

කොමිෂන් සභාවේ පළමු රැස්වීම පැවැත්වුනේ 2010 ජූනි 11 දිනදීය. එහි මහලේකම් කාර්යාලයය පිහිටුවන ලද්දේ කොළඹ 7, හෝර්ටන් පෙදෙසෙහි, අංක 24 ස්ථානයෙහි වූ ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රමෝපාය අධ්‍යයන මධ්‍යස්ථානයෙහිය.

කොමිෂන් සභාවේ විධි නියෝගය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව පිහිටුවීමේදී නිකුත් කල අධිකාරි පත්‍රය ප්‍රකාර කොමිෂන් සභාවේ විධි නියෝගය,
"2002 පෙබරවාරි 21 දින සිට 2009 මැයි 19 දින දක්වා කාල පරිච්ඡේදය තුලදී සිදුවිය හැකිව තිබූ මතු දැක්වෙන කරුණු පිළිබඳ පරික්ෂා කොට වාර්තා කිරීමයි:

  1. වර්ෂ 2002ක්වූ පෙබරවාරි 21 දින ක්‍රියාත්මක කෙරුණු සටන් විරාම ගිවිසුම අසාර්ථකවීමට තුඩුදුන් කරුණු හා අවස්ථානුගත තත්ත්වයන් සහ ඉනික්බිතිව 2009ක්වූ මැයි මස 19 දින තෙක් අනුපිළිවෙලින්වූ සිද්ධීන්
  2. කිසියම් තැනැත්තෙක්, කණ්ඩායමක් හෝ යම් ආයතනයක් සෘජුව හෝ අනියමින් මේ සම්බන්ධයෙන් වගකීම් දරනුයේද යන වග
  3. මෙබඳු සිද්ධීන් යළි ඇති නොවනු බවට සහතික කරගනු පිණිස එකී සිද්ධීන්ගෙන් අප උගත යුතු පාඩම් සහ අපගේ සැලකිල්ල යොමු විය යුතු තදාශ්‍රිත කරුණු
  4. මෙකී සිද්ධීන්ගෙන් පීඩාවට පත් කිසියම් තැනැත්තෙකුට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට හෝ උරුමක්කාරයන්ට ප්‍රතිසංස්ථාපනයක් කරනු ලැබිය හැකි ක්‍රමවේදය
  5. මෙබඳු සිද්ධීන් ඉදිරි කාලයේදී යළි ඇතිවීම වළක්වාලනු පිණිසත් සියලු ප්‍රජාවන් අතර තවදුරටත් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරලනු පිණිසත් ගනු ලැබිය යුතු ආයතනික, පරිපාලනමය සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සහ මේ අධිකාරි පත්‍රෙයහි නියමයයන් යටතේ පරික්ෂණයට භාජනය කරනු ලැබූ කරුණු වලින් කිසියම් කරුණකට අදාළ එබඳු යම් වෙනත් නිර්දේශයන් කිරීම"

යනුවෙන් දැක්වෙයි.

කොමිෂන් සභාව අනුගමනය කල ක්‍රමවේදය[සංස්කරණය]

කොමිෂන් සභාව වෙතට කරුණු ඉදිරිපත් කරන ලෙස, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ විසුරුවුනු දැන්වීම් ඔස්සේ, මහජනයාට ආරාධනා කරන ලදි. එම ප්‍රදේශ වල කොමිෂන් සභාව සැසි පැවැත්වීමට සෑහෙන කාල සීමාවකට පෙරාතුව බලපෑම් වලට ලක්වූ ප්‍රදේශ තුල මහජන දැන්වීම් ප්‍රදර්ශනය කෙරිණි. මෙවන් ලෙසින් කෙරුණු දැන්වීම් වලට ප්‍රතිචාර වශයෙන් මහජනයා වෙතින් අති විශාල සංඛ්‍යාවක් කරුණු ඉදිරිපත්කිරීම් කොමිෂන් සභාව වෙත ලැබිණි.

විධි නියෝගයට අදාල කරුණු පිළිබඳව කොමිෂන් සභාව ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තමන්ට ඉඩ ලබා දෙන මෙන් ඒ බොහෝ දෙනා ඉල්ලා සිටියහ. බොහෝ දෙනා කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිට කරුණු ඉදිරිපත් කලහ.

කරුණු ඉදිරිපත් කෙරුණේ ලිඛිත ඉදිරිපත් කිරීම් විසින්ද එය ඉදිරියේ පෙනී සිටිමින් වාචිකවද යන්න නොසලකමින් කොමිෂන් සභාව මෙම ක්‍රමවේදයන් දෙකටම එකම සැලකිලි දැක්වීය.