1987 දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුලදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
1987 දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුලදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය
Sri Lanka Parliament location.jpg
දියවන්නා ඔයෙහි දූපතක පිහිටි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි පිහිටීම
ස්ථානයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ඛණ්ඩාංක6°53′14″N 79°55′07″E / 6.887174°N 79.918646°E / 6.887174; 79.918646ඛණ්ඩාංක: 6°53′14″N 79°55′07″E / 6.887174°N 79.918646°E / 6.887174; 79.918646
දිනයඅගෝස්තු 18, 1987 (1987-08-18)
පෙ.ව. 9:00 (UTC+5.50)
ප්‍රහාර මාදිලියබෝම්බ ප්‍රහාරය
මරණ2
තුවාලකරුවන්16
අපරාධකරුවෝජනතා විමුක්ති පෙරමුණ

1987 දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුලදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිදු වූයේ 1987, අගෝස්තු 18 වන දිනදී ප්‍රහාරකයෙකු විසින් බෝම්බ දෙකක් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී සිටි කාමරයක් තුලට දමා ගැසීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස අසුන් ගෙන සිටි මේසය මත වැටී පොළා පැන්න බෝම්බ පෙරළි ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු පිපිරීම නිසා මිය ගියෝය.

පසුව සිදු කෙරුණු පොලිස් පරික්ෂණ වලදී සනාථවූයේ ඒ දිනවල රට තුල කැරැල්ලක් දියත් කරමින් සිටි තහනමට ලක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සංවිධානයේ සාමාජීකයෙක් විසින් බෝම්බ විසි කර තිබූ බවය. ජවිපෙ සාමාජිකයන් 5 දෙනෙකු අවසානයේදී ප්‍රහාරය සිදු කලැයි චෝදනා ලැබ නඩු විභාගයට ලක් කෙරුණද ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසාවෙන් නිදහස් කරන ලදි. සති කිහිපයකට පෙර ඔහු විසින් ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීම නිසාවෙන් ජනාධිපති ජයවර්ධන මෙම ප්‍රහාරයේදී ඉලක්ක කෙරුණු බව විශ්වාස කෙරෙයි.

පසුබිම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් වල ස්වාධීන දෙමළ දේශයක් පිහිටුවීමේ අභිප්‍රාය ඇතුව දෙමළ සටන්කාමීහූ 1983 දී ත්‍රස්තවාදී යුද්ධයක් ඇරඹූහ. 1987 වන විට මෙම ගැටුම නිසා ජනයා 6,000 මිය ගොස් තිබුණි.[1] 1987 මැයි වන විට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දෙමළ කැරලිකරුවන් පරාජය කිරීමට ප්‍රධාන ක්‍රියාන්විතයක් දියත් කර තිබුණි; මෙම මෙහෙයුම සාර්ථක එකක් වූ අතර, යාපනය අර්ධද්වීපයේ කුඩා කොටසකට කැරලිකරුවන් මුළු ගන්වා තිබුණි. ශ්‍රී ලාංකික හමුදා සේනාධිපතිවරුන් විශ්වාස කළේ සති කිහිපයක් ඇතුලත සටන්කාමීන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට ඔවුන්ට හැකි වනු ඇති බවයි [2]

කෙසේවෙතත්, ඉන්දියානු රජය මෙම ගැටුම වෙත මැදිහත්වීම වැඩි වශයෙන් සිදු කළේ, දකුණු ඉන්දියාව දෙමළුන් මිලියන 50 කට වාසභූමිය වූ නිසාත්, ඔවුන් ශ්‍රී ලංකාවේ දෙමළ සටන්කාමීන්ට අනුකම්පාවක් දැක්වූ නිසාත්ය. .[1] ත්‍රස්තවාදීන් කොටු වී ඇති ස්ථානය වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙමෙන් ලඟාවත්ම, ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි විසින් කොටුවී සිටි ත්‍රස්තවාදීන්ට අහසින් ද්‍රව්‍ය හෙලීම ක්‍රියාත්මක කරන මෙන් විධාන කළ, මෙය ශ්‍රී ලාංකික ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් නම් කරනු ලැබුයේ ඉන්දියාව විසින් සිදු කෙරුණු “විවෘත ආක්‍රමණකාරී ක්‍රියාවක් ” ලෙසිනි.[3]

සටන්කාමීන්ට සහය සලසනු වස් ඉන්දියානු හමුදාමය මැදිහත්වීමක් සිදුවීමට තිබූ මහත් ඉඩකඩ හමුවේ 1987 ජූලි 29 දිනදී, ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීම වෙත ශ්‍රී ලාංකික ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හට මහත් බලපෑම් එල්ලවී ඔහු පීඩනයකට ලක් කෙරිණි. මෙම ගිවිසුම අනුව, ශ්‍රී ලංකාවේ උතුරෙහි හා නැගෙනහිර සීමිත ස්වයං පාලනයක් ලබා දීමට හිලව් වශයෙන්, දෙමළ ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ආයුධ බිම තැබීම නියමිතව තිබුණි. ගිවිසුම ක්‍රියාත්මක වීම බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත හමුදාව එවීමට ඉන්දියාවට ඉඩ සැලසීමටද ජයවර්ධන මහතා එකඟ විය. [4]

එය විසින් ඉන්දියාවට රට විකිණීමක් සිදු කෙරුනු බවත්, ඉන්දියානු හමුදා ආක්‍රමණික හමුදාවක් බවත් සැලකූ රටෙහි දකුණෙහි සිංහල කණ්ඩායම් අතර මෙම ගිවිසුම අතිශයින් අප්‍රසාදයට ලක් විය. [1] ගිවිසුම අත්සන් තිරීමෙන් පසුව රජීව් ගාන්ධි ශ්‍රී ලංකාවෙන් පිටත් වන මොහොතේ, ආචාර පෙළපාලියේ සාමාජීකයෙක් විසින් රයිෆල් තුවක්කු හිසක් වෙතින් ඔහුට පහර දෙන ලදි. මෙම සිදුවීමෙන් ගාන්ධි හට තුවාල සිදු නොවීය. මෙම මුර භටයා, රටෙහි දකුණේ කැරැල්ලක් දියත් කිරීමට උත්සාහ දරමින් සිටි සිංහල ජාතිකවාදී සංවිධානයක්වූ තහනම් කෙරුණු වාමාංශික ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජිකයෙක් බව පසුව හෙළි විය.[1][4]

බෝම්බ ප්‍රහාරය[සංස්කරණය]

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ පළමු පාර්ලිමේන්තු සැසිය 1987 අගෝස්තු 18 දිනදී පැවැත්වීමට නියමිතව තිබුණි.[4] පාර්ලිමේන්තුව කැඳවීමට පෙරාතුව, පාර්ලිමේන්තු සංකීර්ණයෙහි කොමිටි කාමර A තුල සති දෙකකට වරක් පැවැත්වෙන රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. පෙ.ව. 8. 40ට ඇරඹුනු මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් 120 පමණ සහභාගී වී සිටියහ.[4] කණ්ඩායම මුලින්ම විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් ආරක්ෂා කළේ දින කිහිපයකට පෙර ජවිපෙ විසින් ඝාතනය කෙරුණු හා තංගල්ල සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාව සිටි ජිනදාස වීරසිංහ සිහි කරනු වස්ය. [5] පාම ඒ. ඩී. බී. ඒකනායක විසින් කණ්ඩායම අමතමින් සිටින විටදී යාබද කාමරයෙහි සිටි ඝාතකයෙක් විසින්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස වාඩිවී සිටි මූලාසන මේසය මතට බෝම්බ 2 දමා ගැසීය. මේසය වෙත වැටී පොළා පැන්න බෝම්බ, ජාතික ආරක්ෂක උපදේශක ලලිත් ඇතුලත්මුදලි සහ මාතර දිස්ත්‍රික්ක අමාත්‍ය කීර්ති අබේවික්‍රම අසුන් ගෙන සිටි මේසය අසලට ගොස්, ඔවුන් ඉදිරියේ පුපුරා ගියේය.[5]

එම රැස්වීමෙහි සිටි රජයේ ප්‍රවෘත්ති නිලධාරියා ප්‍රකාර, පිපිරීමෙන් අනතුරුව මහත් සංකූලතාවයක් රජයීය. ඔහු පැවසූ පරිදී සමහරක් මන්ත්‍රීවරුන් සිතුවේ පාර්ලිමේන්තුව ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.[5] කාමරයෙන් විගස පිටවීම සඳහා, ලී පුටු භාවිතයෙන්, කාමරය හා පාර්ලිමේන්තු තණ පිටිය හා අතරවූ තුනී වීදුරු ආවරණය බිඳ දැමූ ඔවුහූ වහාම මෝටර් රථ වලට නංවා පිටත් කර යවන ලදි.[5]

පිපිරීම අතරතුර මුහුණට දරුණු තුවාල ලැබූ මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම පිටතට රැගෙන ගොස් රෝහල වෙත විගසින් ගෙන ගිය මුත් අතරමගදී මිය ගියේය.[5] පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙහි නිලධාරියෙකු වූ නෝබර්ට් සේනාධීර පසුව මිය ගියේ හිසේ වූ උණ්ඩ කැබලි තුවාලයක් නිසාවෙනි.[5][6] ජාතික ආරක්ෂක උපදේශක ලලිත් ඇතුලත්මුදලි, අග්‍රාමාත්‍යය ප්‍රේමදාස සහ අමාත්‍යවරුන් වූ ගාමිණී ජයසූරිය, මොන්ටේගු ජයවික්‍රම සහ ඊ. එල්. බී. හුරුල්ලේ ඇතුළු තවත් දහසයදෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.[5][6] ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තුවාල නොලබා බේරුණි.[4]

ප්‍රහාරයෙන් පසුව වෙඩි තැබීම් සිදු වු බවට මුල් වාර්තා වලින් කියැවුනද,[4] සිදුවීමේදී වෙඩි තැබීම් සිදුවී නැත.[5]

ප්‍රතිචාරය[සංස්කරණය]

ප්‍රහාරය නිමවූ සැණෙකින්ම පාහේ ශ්‍රී ලාංකික ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් චෝදනා කළේ සිංහල ජනකාය තුල වූ "ත්‍රස්තවාදීන්" මෙම සිදුවීමට වග කිය යුතු බවයි. රට තුල සන්සුන්ව සිටින ලෙසද ආයාචනය කළ ඔහු, ප්‍රහාරය හැඳින්වූයේ "රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කිරීමට ගත් උත්සාහයක්" ලෙසිනි.[4]

ප්‍රහාරයෙන් දිනකට පසුව, බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය වාර්තා කළේ, පසුව ජනතා විමුක්ති පෙරමුණෙහි සන්නද්ධ අංශය බවට හඳුනාගනු ලැබුණු , දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එහි වගකීම භාර ගත් බවයි.[1] ඔවුන් විසින් තොළඹ නගරය තුල පත්‍රිකාද බෙදා හරිමින්, "හමුදාවන්හී සිටින සියළු දේශප්‍රේමී ජනයාගෙන්" "ඉන්දියානු ව්‍යාප්තවාදයට" එරෙහි වන ලෙස ඉල්ලා සිටි අතර, ජනාධිපති ජයවර්ධන "ද්‍රෝහියෙකු ලෙස නම් කරමින් ඔහුගේ මරණය අභිමත බැව්ද " කියා සිටියහ. ඔවුන් බීබීසී යට තවදුරටත් කියා සිටියේ ජයවර්ධන විසින් " මහත් දේශපාලන ස්වයංපාලනයක් ජනවාර්ගික දෙමළ ප්‍රදේශයන්ට ලබා දීම නිසා සිංහල අයිතිවාසිකම් පාවාදීම" වෙනුවෙන් ඔහුගෙන් පළිගැනීමට අපේක්ෂා කරන බවයි.[1]

කෙසේවෙතත් ප්‍රහාරයෙන් අනතුරුව සබැඳි ප්‍රචණ්ඩත්වය නොපැවතිණි.[1]

පරික්ෂණය[සංස්කරණය]

ප්‍රහාරයෙන් අනතුරුව පොලිසිය විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මුද්‍රා තැබූ නමුත්, මුල් වාර්තා දැක්වූයේ පිපිරුමට අනතුරව පැවැති ව්‍යාකූල තත්ත්වය මධ්‍යයේ ඝාතකයා පලා ගිය බවකි.[4] ප්‍රහාරයෙන් පසුව සැණෙකින් අත්අඩංගුවට ගැනීම් කිසිවක් සිදු නොවීය.[1]

පසුව සිදුකෙරුණු පරීක්ෂණ වලින් ඇඟවුනේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජීකයෙක්වූ හා පාර්ලිමේන්තුව තුල කෑමබීම සැපයුම් සිදු කෙරුණු පෞද්ගලික ආයතනයක සේවය කළ අජිත් කුමාර නමැත්තෙකු විසින් කොමිටි කාමරය තුලට බෝම්බ විසි කර ඇති බවයි. සංකීර්ණය තුල සේවය කළ බොහෝ දෙනා සමගින් මිත්‍ර ව සිටි ඔහු හට බෝම්බ විසි කිරීමේදී ඔහු සිටි කාමරය වෙත යෑම් ඒම් හැකියාව තිබුණි.[5] සිද්ධිය වූ සැණින් කුමාර අතුරුදහන් විය. ඔහු අත්අඩංගුවට ගැනීමට තොරතුරු දෙන්නෙකුට රුපියල් මිලියනයක ($35,000) තෑග්ගක් දෙන බවට ප්‍රකාශ වුවද මාස කිහිපයක කාලයක් තුල ඔහු අත් අඩංගුවට පත් වීම මග හැරීය.[7]

අත්‍යන්තයේදී, 1998, අප්‍රේල් 8 වන දිනදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ නාඋල්ලේදී නීතිවිරෝධි මත්පැන් පිළිබඳවූ හා සිද්ධියකට අසම්බන්ධිතවූ වැටලීමකදී පොලිස් දැලෙන් පැන යෑමට උත්සාහ ගැනීමක් නිසාය. වැඩිදුර පරීක්ෂණ සිදු කෙරන තෙක් මොහු කවුරුන්ද යන බව පොලීසිය තේරුම් ගත්තේ නැත.[6][7]

නඩු විභාගය[සංස්කරණය]

1989දී ඔවුන්ගේ කැරැල්ල දැඩි ලෙසින් මැඞීමෙන් පසුව, සාපාරාධි ක්‍රියා වලින් බැහැර වූ ජවිපෙ, 1990 ගණන් වලදී දේශපාලන ප්‍රධාන ප්‍රවාහයට එක් වූහ

තවත් සගයන් සතරදෙනෙකු හා සමග අජිත් කුමාර අත්අඩංගුවට පත්වීමෙන් පසුව බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව ඔවුනට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබිණි. කරුණු දහයක් මත ඔවුනට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබුණු අතර, ඒවාට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඝාතනය සිදු කිරීමට උපක්‍රම යෙදීම සහ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමද ඇතුලත් විය. [6][8] අධිකරණයේදී, රජයේ නීතිඥ පාලිත ප්‍රනාන්දු තර්ක කළේ, එකල තහනම් කළ සංවීධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණෙහි (ජවිපෙ) කුමාර සාමාජීකයෙක්වූ අතර, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල ඉන්දියානු හමුදාව යෙදවීම පිළිබඳ ජනාධිපති ජයවර්ධනගේ තීරණය හේතුවෙන් ජවිපෙ විසින් මෙම ප්‍රහාරය සිදු කරන මෙන් ඔහු හට නියෝග කෙරුණු බවයි. ඔහුගේ නඩු විභාගය පුරාවටම උපරිම ආරක්ෂිත වැලිකඩ බන්ධනාගාරයෙහි කුමාර රඳවා තබන ලදි.[6]

1990, ඔක්තොම්බර් 12 දිනදී කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් ඒකමතික තීන්දුව අනුව පළමු විත්තිකරු තුමාර සහ පස්වන විත්තිකරු එම්. ජයසිරි ගුණවර්ධන නිදහස් කෙරුණේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසාය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, මහාධිකරණ විනිසුරු ආනන්ද ග්‍රේරු කියා සිටියේ යුක්ති සහගත සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට පැමිණිලි පක්ෂය විසින් අසමත් වී ඇති බවයි. වෙනත් විත්තිකරුවන් තිදෙනෙක් ඔක්තොම්බර් 4 වෙනිදා නිදහස් කරන ලදි.[6][8] කෙසේවෙතත් සිරෙන් නිදහස් කළ සැණින්, කුමාර සහ ගුණවර්ධන යළි-අත්අඩංගුවට ගැණුනේ, නීතිපති විසින් නඩු තීන්දුවට විරුද්ධව අභියාචනය කරන බැවිනි.[8]

නඩු විභාගය තුලදී, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ අනාගත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ රාජ්‍යතාන්ත්‍රික මංගල මුණසිංහ යන අයවළුන්ය.[6]

අත්‍යන්තයේදී, 1993, අගෝස්තු 6 දිනදී අජිත් කුමාර නිදහස් කෙරිණි. එයින් පසු ඔහු දේශපාලනයට පිවිසුණු අතර, එවිට සාපරාධි ක්‍රියා වලින් බැහැරව සිටි ජවිපෙ හී ක්‍රියාකාරි සාමාජිකයෙක් විය. ඔහු පසුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජීකයෙක් වී, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වී, 1999 සබරගමුව පළාත් සභා මැතිවරණයේදී අසාර්ථක ලෙසින් ජවිපෙ මහ ඇමති අපේක්ෂකයා විය.[6]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "ස්ටන්ඩ් ශ්‍රී ලංකා ස්ටඩීස් පාර්ලිමන්ට් ඇටෑක්". ස්ටීවන් ආර්. වෙයිස්මාන් (ද නිව්යෝර්ක් ටයිම්ස්). 1987-08-20. http://www.nytimes.com/1987/08/20/world/stunned-sri-lanka-studies-parliament-attack.html?scp=15&sq=sri+lanka&st=nyt. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-04. 
  2. ශ්‍රී ලංකා කැප්චර්ස් 4 රෙබෙල් බේසස්. රොයිටර්ස්. මැයි 28, 1987
  3. "ඉන්ඩියාස් ඒඩ් ටු ටැමිල්ස් ඊස් 'ඇග්‍රෙෂන්' ටු ශ්‍රී ලංකා". ස්ටීවන් ආර්. වෙයිස්මාන් (ද නිව්යෝර්ක් ටයිම්ස්). 1987-06-07. http://www.nytimes.com/1987/06/07/weekinreview/india-s-aid-to-tamils-is-aggression-to-sri-lanka.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-04. 
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 "ශ්‍රී ලංකා ඇටෑක් මිසස් ප්‍රසිඩන්ට්; 1 කිල්ඩ්, 14 හර්ට්". දි ඇසෝසියෙටඩ් ප්‍රෙස්. 1987-08-19. http://www.nytimes.com/1987/08/19/world/sri-lanka-attack-misses-president-1-killed-14-hurt.html?scp=10&sq=sri+lanka&st=nyt. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-04. 
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 5.8 "ද ඩේ පාර්ලිමන්ට් වෝස් බොම්බ්ඩ්". දි අයිලන්ඩ්. 2006-09-24. http://www.island.lk/2006/09/24/features2.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-04. 
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 "පාර්ලිමන්ට් මොබ් ඇටෑක් සස්පෙක්ට් ජේවීපීස් සබ් සීඑම් නොමිනී". දි අයිලන්ඩ්. 1998-06-07. http://lakdiva.com/island/i980607/tue/islnews.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-04.  [dead link]
  7. 7.0 7.1 "ශ්‍රී ලංකන් පොලීස් සේ දේ කෝට් වුඩ් බී ජයවර්ධන කිලර්". රොයිටර්ස්. 1988-04-11. 
  8. 8.0 8.1 8.2 "ටූ ඇක්විටඩ් ඉන් ශ්‍රී ලංකන් බොම් කේස් ඩිටේන්ඩ්". කියෝඩෝ නිවුස්. 1990-10-12. 

බාහිර සබැඳි[සංස්කරණය]