Jump to content

වැලිකඩ බන්ධනාගාරය

විකිපීඩියා වෙතින්
වැලිකඩ බන්ධනාගාරය
Welikada Prison
සාමාන්‍ය තොරතුරු
නගරයවැලිකඩ, කොළඹ
රටශ්‍රී ලංකාව
ඉදිකිරීම් ආරම්භ වූයේ1841
සමාප්තිය1841
අනුග්‍රාහකයාබ්‍රිතාන්‍ය රජය,
ශ්‍රී ලංකා රජය

වැලිකඩ බන්ධනාගාරය (මැගසින් බන්ධනාගාරය ලෙසද හැඳින්වෙයි) ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම සහ උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයකි. එය 1841 වසරේදී බ්‍රිතාන්‍ය රජයේ කැමරුන් (Cameron) ආණ්ඩුකාරවරයා යටතේ ඉදිකර තිබෙයි. අක්කර 48 පුරා පැතිරී තිබෙන බන්ධනාගාරයෙහි රැඳවියන් 1700 කට පමණ පහසුකම් සහිත බව පැවසෙයි. බන්ධනාගාරය සතුව එල්ලුම් ගහක් (1959 වසරේ සිට භාවිත නොවන) සහ රෝහලක් පවතී. බන්ධනාගාරයේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ.

බන්ධනාගාරයෙහි ක්‍රියාපටිපාටීන්

[සංස්කරණය]
  • පළමුවරට වරදකරුවන් බවට පත්වූවන් රඳවා ගැනීම.
  • වරදකරුවන් වූ රැඳවියන් ඇතුල්කර ගැනීම මත වර්ගීකරණය කිරීම සහ අදාල බන්ධනාගාර වෙත මාරු කිරීම.
  • මරණ දඬුවම නියම වූ වැරදිකරුවන් රඳවා ගැනීම.
  • කැස්බෑව සහ මොරටුව අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීම.
  • රැඳවියන්ට වෘත්තීයම පුහුණුවක් ලබාදීම.
  • රැඳවියන් වෙනුවෙන් පුනරුත්ථාපන සහ සුභසාධන ක්‍රියාවන් දියත් කිරීම.

සිදුවීම්

[සංස්කරණය]
  • 1962 වසරේ දියත් වූ ලංකා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට ගත් හමුදා සහ පොලිස් නිලදාරීන් පිරිසක්, පසුව නඩු විභාගයක් පවත්වන තෙක් මෙම බන්ධනාගාරයෙහි මැගසින් කණ්ඩය (Magazine Section) ලෙස හඳුන්වනු ලැබූ කොටසෙහි රඳවා තැබූ බව සඳහන් වෙයි.
  • 2012 නොවැම්බර් මසදී බන්ධනාගාරයේ නිළදාරීන් සහ රැඳවියන් අතර කෝළහාලයක් ඇතිවූ අතර, ඉන් හටගත් ගැටුම් හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.[1]

බන්ධනාගාරයෙහි රඳවා සිටි ප්‍රසිද්ධ පුද්ගලයින් සමහරක්

[සංස්කරණය]

බන්ධනාගාර බුද්ධි ඒකකය

2019.02.06 දින දීය

වර්තමානයේ සමාජයේ සාකච්ඡාවට බඳුන් වන සහ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල ඉතාමත් ප්‍රසිද්ධ මාතෘකාවක් ලෙසත් පුවත් මවන ස්ථානයක් ලෙසත් ශ්‍රී ලංකා බන්ධනාගාරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.විවිධ වූ වාර්තාකරුවන් විසින් බන්ධනාගාර පිළිබඳව විවිධ වූ දෑ පළකරනු ලබන්නේ බන්ධනාගාරයන් තුළ සිදුවන්නා වූ සත‍්‍යය සිදුවීම් ඔවුන් සියැසින් දුටු ලෙසටය‍. එවැනි සිද්ධීන් එලෙසම සත්‍ය යැයි පිළිගන්නා සමහර පාඨකයින්ද සිටින තාක් එම ලේඛකයින්ගේ ජනප්‍රියතාවය නම් කිසිඳු දිනක අප රට තුළ අඩු නොවනු ඇත‍.

තත්වය එසේ තිබියදී, වැලිකඩ , මහර සහ දුම්බර යන ප්‍රධාන බන්ධනාගාරයන් සහ රක්ෂිත බන්ධනාගාර , වැඩ කඳවුරු , එළිමහන් සිර කඳවුරු වැනි ආයතන 38 කින් පමණ සමන්විත ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන මෙලෙස සටහනක් තැබීම සුදුසු යැයි සිතන අතරම මෙය, බොරු කරුණු සහ සිද්ධීන් වලින් ඔලුගෙඩි පුරවාගෙන සිටින සමහර පාඨකයින්ටත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි තම ජනප්‍රියතාවය රැකගැනීමට පමණක්ම වෙහෙසෙන සමහර මාධ්‍යවේදීන්ටත් නියම පිළිතුරක් වනු ඇතැයි සිතමි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මීට වසර 10 කට පමණ පෙර පැවති තත්වය පිළිබඳව කෙටියෙන් කරුණු කිහිපයක් දැක්වීම මෙම සටහනට පූර්විකාවක් වනු ඇත. ගංජා , අබිං , හෙරොයින් , අයිස් වැනි එකී මෙකී නොකී සියළුම මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන , චාජර් සහ සිම්පත් යන මේවා එකල සිටම ලංකාවේ බන්ධවනාගාර තුළට ගෙන ඒමට නීතියෙන් තහනම් කල ද්‍රව්‍ය ලෙස විය.එසේම බන්ධනාගාරයක් පාලනය කරනු ලබන්නේ තුවක්කු හෝ ආයුධ වලින් නොවන අතර එවැනි ආයුධයක් බන්ධනාගාර තුළට රැගෙන යාමද තහනම් දෙයකි. එහි රඳවා සිටින මිනිසුන් පාලනය කරනු ලබන එකම අවිය වනුයේ බැටන් පොල්ල වේ. එයින් පාලනය කරනු ලබන බන්ධනාගාරයක් ගිණි අවි වලින් පාලනය කිරීමට ගොස් සිදුවූ සංහාරයක් පිළිබඳව මෙය කියවන විට ඔබට මතක වනු නිසැකය.

මතු දැක්වූ තහනම් ද්‍රව්‍ය වලට එදා සිටම බන්ධනාගාර තුළ ඇත්තේ විශාල ඉල්ලුමකි. වැඩි වශයෙන් බන්ධනාගාරගත වන්නේ මත්ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් වූ පිරිස් ය. තවද සිර සැකකරුවන් බන්ධනාගාරගත වූ විට ඔවුන් සිය මිතුරන්ගෙන් සහ සමීපතමයන්ගෙන් ඈත් වන නිසා මහත් වූ චිත්ත පීඩාවන්ට පත් වේ . ය සාමාන්‍ය දෙයකි. තමන් ආශ්‍රය කරන අයගෙන් ඈත් වී සිටින ඔනෑම කෙනෙක් ඉබේම කළකිරුණු ස්වභාවයකට සහ දුකකට පත් වීම සිදු වේ. එකී කරුණු මත සිරගෙදරදී ඔවුන් එම කළකිරුණු ස්වභාවයට සහ දුකට පිළියම ලෙස තෝරාගනු ලබන්නේ මත්ද්‍රව්‍යය යන විසඳුමයි. එය හෙරොයින් , ගංජා හෝ දුම්කොළ විය හැකිය. ඉන් අනතුරුව තම සමීපතමයන් සමඟ සම්බන්ධතාවය පවත්වාගැනීම සඳහා ඔවුන් කෙසේ හෝ ජංගම දුරකථයක් බන්ධනාගාරය තුළට රැඟෙන ඒමට තැත් කරනු ලබයි. කෙසේ නමුත් මෙම සියළු දේවල් සිර හෝ සැකකරුවෙකු සඳහා හිමි දේවල් නොවන අතර එය බන්ධනාගාර නීතිය අනුව බන්ධනාගාර තුළට රැගෙන ඒමට තහනම් කර ඇති දේවල්ය.එම නිසාම යම් කිසි ක්‍රමයකින් කෙසේ හෝ පාලනාධිකාරියට හසු නොවී බන්ධනාගාර තුළට එකී තහනම් ද්‍රව්‍ය රැගෙන ආ විට එම ද්‍රව්‍ය වලට බන්ධනාගාර ඇතුළතදී ඉතා ඉහළ ඉල්ලුමක් ලැබුණි. රජයේ සේවකයින් වෙත ලැබෙන පඩිය සිය පවුල් ජීවත් කරවීමට සහ ණය ගෙවීමට ප්‍රමාණවත් නොවීම නිසාත් සමහර නිළධාරීන් එකී තහනම් ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස බන්ධනාගාර තුළට රැගෙන එන්නට පුරුදු විය. එමඟින් ඔවුන්ට විශාල ලෙස මුදල් උපයා ගැනීමටත් හැකි වන අතර තමන්ට ඇති අනෙකුත් ප්‍රශ්ණද තරමක්ට හෝ විසඳෙනු ඇත. නමුත් මෙවන් දූෂිත ක්‍රියාවල දිගින් දිගටම යොමු වූ නිළධාරීන් පසුකාලීනව එය සිදුකරනු ලබන්නේ මුදල් අගහිග කම නිසාම නොව මුදලට ඇති ගිජුකම නිසාත් ලේසියෙන් එවැනි වූ ක්‍රමයකින් මුදල් හම්බකල හැකි නිසාත් ය. මෙවැනි වූ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළුවීම වැලැක්වීමට නිසි ක්‍රියා පිළිවෙතක් එකල නොවූ නිසා සිරගෙවල් වල තහනම් ද්‍රව්‍ය බහුල වූ බව කිව යුතුය. එලෙසම දූෂිත ක්‍රියාවල යෙදෙන නිළධාරීන්ද එකල බහුල විය. කොටින්ම කිවතොත් බන්ධනාගාර යනු දූෂිතම ආයතනයක් ලෙසත් බන්ධනාගාර නිළධාරීන් යනු අල්ලස් වලට යටත් , සල්ලි වලට ඕනෑම දෙයක් කරන නිළධාරීන් ලෙසත් එකල හංවඩු ගැසී තිබුණි. වර්තමානයේදීද බන්ධනාගාර දූෂිත ස්ථානයක් යැයි පැවසීම සහ සිතීම දක්වා පැමිණ ඇත්තේ එකල තිබූ එම අමිහිරි මතක , පිටත සමාජයේ මිනිසුන්ගේ චිත්ත සන්තානයන්හි රැඳුණු අතීත අඳුරු සෙවණැළි සහ අල්ප පමණින් ශේෂව ඇති දූෂිත නිළධාරීන් පිරිසක් යැයි සත්‍ය වශයෙන්ම කිවහැකිය. ඉඳින් සමස්ත දෙපාර්තමේන්තුවටම මඩ ගසනවා විනා නීතිගරුකව තම රාජකාරී ඉටු කරන බන්ධනාගාරවල රාජකාරී කරන වැඩිමනක් නිළධාරීන් පිරිස සමාජයේ පැසසුමට ලක්විය යුතුය. ඔවුන්ගේ විත්ත ‍ධෛර්යය නැංවීමට කටයුතු කල යුතු අතර ඔවුන්ගේ ප්‍රශණ සහ ගැටළු පිළිබඳව සොයාබලා කටයුතු කල යුතුය. එවිට ආයතන තුළ සිටින දූෂිත නිළධාරීන් සුළු පිරිසද ඉබේම යහපත් අතට හැරෙනු ඇත.

තත්වය එසේ තිබියදී 2009 වර්ෂය පමණ යවන විට රට පාලනය කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයයි. එකල පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍යවරයා වූයේ චන්ද්‍රසිරි ගජදීර මහතායි. අධිනීතීඥයෙකු වූ එතුමා හසල දැනුමකින් ද හෙබි පුද්ගලයෙකු විය. බන්ධනාගාර තුළ එකල පැවති දූෂිත ක්‍රියා පිටුදැකීමට පියවරක් ලෙස, එතුමාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකය නමින් ඒකකයක් පිහිටවනු ලැබීය. බන්ධනාගාර කොමසාරිස්වරයෙක් , බන්ධනාගාර අධිකාරීවරයෙක් , ප්‍රධාන ජේලර්වරයෙක් සහ බන්ධනාගාර තුළ සේවය කරන නිළධාරීන්ගෙන්ම සමන්විත වූ මෙම ඒකකය තුළ මතු දැක්වූ දූෂිත ක්‍රියා වලට සම්බන්ධ නොමැති "හොඳ නිළධාරීන්" යැයි සම්මත වූ පිරිසක් විය. බන්ධනාගාර තුළට ප්‍රවිෂ්ඨ වන නිළධාරීන් සහ සිර සැකකරුවන් පරීක්ෂා කිරීම මෙන්ම බන්ධනාගාර තුළ හදිසි වැටලීම් සිදුකිරීම සහ සිරසැකකරුවන් බැලීම සඳහා පිටතින් පැමිණෙන අමුත්තන් රැගෙන එන ආහාරපාන ආදී ද්‍රව්‍ය පරීක්ෂා කිරීමද මොවුන්ට පැවරුණු රාජකාරීන් විය. තවද බන්ධනාගාර තුළට රැගෙන එන තහනම් ද්‍රව්‍ය ආයතනය තුළට ඇතුල්වීමට පෙරම අත්අඩංගුවට ගැනීමට සහ දූෂිත ක්‍රියාවල යෙදෙන බන්ධනාගාර නිළධාරීන්ද අත්අඩංගුවට ගැනීම සඳහා යෙදවූ සිවිල් නිළධාරීන් පිරිසකගෙනුත් මෙම ඒකකය සමන්විත වූ අතර එහි පිරිස වශයෙන් වූයේ 100කටත් අඩු පිරිසකි.

ගැටළුවක් නිර්මාණය වන‍්නේ මෙම ඒකකය පිහිටුවීමත් සමඟය. ඒ කොළඹ බන්ධනාගාර ආශ්‍රිතව ය. සුළු නිළධාරීන් පිරිසකගෙන් සමන්විත වූ බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිළධාරීන් විසින් කොළඹ ආයතන තුළට ඇතුළු වන සිරසැකකරුවන් මෙන්ම නිළධාරීන්ද සෝදිසියට ලක් කරන්නට විය.කෙසේ නමුත් මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් උසස් නිළධාරීන් සෝදිසි කිරීමට ‍ නෛතික බලයක් මෙම ඒකකයට ලබාදී නොතිබුණි. එය බන්ධනාගාර තහනම් ද්‍රව්‍ය වලින් තොර කලාපයක් කිරීමේ අරමුණ සඵල කර ගැනීමේදී කෙතරම් දුරට බාධාවක්ද යන්න දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ඉහළ අධිකාරිය විසින් එකලම සිතන්නට තිබූ කරුණක් බව සටහන් කරමි. කෙසේ වෙතත් මෙම ඒකකය දූෂිත ක්‍රියාවල නිරත වූ නිළධාරීන්ට සහ රැඳවියන්ට මහත් හිසරදයක්ම විය. බන්ධනාගාර තුළ තිබූ තහනම් ද්‍රව්‍ය ඉතා සීඝ්‍රයෙන් පහළ ගිය අතර එම නිසාම එම ද්‍රව්‍ය වලට බන්ධනාගාර තුළ තිබූ ඉල්ලුම අධික විය. සැකෙවින් දැක්වුවහොත් ඒවා ඉතා ඉහළ මිලකට බන්ධනාගාර තුළ අලෙවි වන්නට විය. දූෂිත ක්‍රියාවල යෙදුණු සමහර නිළධාරීන් අත්අඩංගුවට පත් වූ අතරම එයිනුත් ගැලවී එම දූෂිත ක්‍රියාවල නිරත වූ නිළධාරීන් සහ සිරසැකකරුවන් අල්ප පිරිසකුත් විය. වර්තමානය වන විට තවමත් බන්ධනාගාර තුළ මත්කුඩු මත්ද්‍රව්‍ය තිබීමට එක් හේතුවක් ලෙස එම නිළධාරීන් ද සෘජුවම වගකීම භාර ගත යුතු බව තරයේම කිව යුතුය. එම කරුණ තුළ ගැබ්ව ඇති සත්‍යතාවය සඳහා හේතුපාදක වන කරුණු ඉදිරියට දක්වනු කැමැත්තෙමි.

අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නවක නියාමකවරුන් බඳවා ගැනීම සිදුවිය. 96 වෙනි කණ්ඩායම යනු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි හා ආරක්ෂක ඒකකය වෙත ඉඳුරාම බඳවා ගත් පළමු කණ්ඩායම විය. ඉන් අනතුරුව නවක නියාමක බඳවා ගැනීම් වලින් ස්ව කැමැත්තෙන්ම බුද්ධි හා ආරක්ෂක ඒකකය වෙත බැඳීමට කැමති නිළධාරීන් මෙම ඒකකය වෙත බඳවා ගන්නා ලදී. ඒ සමඟම මෙම ඒකකයේ ඝන පූර්ණය 170 කට ආසන්න නිළධාරීන් පිරිසකගෙන් යුක්ත විය. මානව හිමිකම් වලින් ආවරණය වූ සහ දෙපාර්තමේන්තුව මඟින් පැනවූ සීමා සහිත සෝදිසි කිරීම යටතේද මෙම ඒකකය විසින් බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය ඇතුළුවීම වැලැක්වීමෙහි ලා මහඟු කාර්යයක් සිදුකරනු ලැබූ බව කියමි. ඒ වන විට මෙම ඒකකය විසින් 2010 සිට 2018 දක්වා වසර 09 ක කාලයක් තුළ බන්ධනාගාරයන් හි සේවය කල විවිධ වූ දූෂිත ක්‍රියාවන්හි නිරත වූ නිළධාරීන් 50 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබූ අතර හදිසි වැටලීම් සහ සිරසැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 2030 ක ප්‍රමාණයක් , හෙරොයින් කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් , චරස් සහ ගංජා විශාල මෙන්ම කොකේන් සහ අයිස් යන මත්ද්‍රව්‍යයද තවත් විවිධ වූ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබුණි.මේ අතරම රටේ රජය වෙනස් වූ අතර නව රජය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශය යටතට පවරාගනු ලැබිණි. විවිධ වූ අමාත්‍යයවරුන් මේ කාලවකවානුව තුළ මෙම දෙපාර්තමේන්තුව පාලනය කල අතර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද 04 දෙනෙක් පමණ දෙපාර්තමේන්තුව පාලනය කර තිබුණි.

මෑතක් වන තුරුම බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිළධාරීන් ඉතා උසස් ලෙස රාජකාරී සිදුකල අතර ආයතන තුළ අතරින් පතර දූෂිත ක්‍රියා වාර්තා වන්නට විය. බුද්ධි හා ආරක්ෂක ඒකකයේ සේවය කරන සමහර නිළධාරීන්ද මෙම දූෂිත ක්‍රියා වලට සම්බන්ධ යැයි දෙපාර්තමේන්තුව තුළ සහ සමාජයේ රාවයක් යන්නට විය. එදා මෙදා තුර මෙම ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමස්ත තහනම් ද්‍රව්‍යය ප්‍රමාණය සහ අත්අඩංගුවට ගනු ලැබූ නිළධාරීන් ප්‍රමාණය ගත් කල එම කරුණ කටකතාවක්ම පමණක් යැයි තරයේම සටහන් කරමි. මන්ද යත් තවදුරටත් කරුණු දක්වනුයේ නම් රාත්‍රී සේවා රාකාරී වලින් අනතුරුව නැවතත් රාත්‍රී සේවා මුර සිදුකරන්නේ සේවා අවශ්‍යතාවය නිසාම මිස මෙම ඒකකයේ නිළධාරීන්ගේ කැමැත්තෙන්ම නොවන බව කියමි. නිවාඩු අවලංගු කිරීම් , නිළධාරීන්ගෙන් සිදුවන විවිධ වූ තර්ජන ගර්ජන හමුවේද පිටතින් පැමිණෙන පුද්ගලයින්ගේ ඇනුම් බැනුම් අතරම ඉතා කටුක වූ රාජකාරියක් සිදුකරන මෙම ඒකකයේ නිළධාරීන් වෙත දූෂණ චෝදනා එල්ල කරනු ලබන්නේ හුදෙක්ම ආයතන තුළට තහනම් ද්‍රව්‍ය රැඟෙන යන නිළධාරීන් බව කිව යුතුය. ඔවුන්ට එම කාර්යය රිසි සේ කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම නිසා ඔවුන් සිදුකරනුයේ බොරු චෝදනා එල්ල කිරීමය. කෙසේ වෙතත් කණගාටුවට කරුණ නම් එම බොරු චෝදනා පදනම් විරහිතව විශ්වාස කරන පාලන අධිකාරියක්ද අප දෙපාර්තමේන්තුව සතු වීමයි. කෙසේ වෙතත් ඔවුන්ටද කරුණු වටහා ගනු වස් මෙම ලිපිය ඉදිරිපත් කරන අතර කිසිදු පුද්ගලයෙකුට මෙයින් පහර ගැසීමක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.

බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත එල්ල වූ මෙම දූෂණ චෝදනා අමාත්‍යංශ ප්‍රධානීන් විසින් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ඉඳුරාම පිළිගත් නිසාදෝ 2018 වර්ෂයේ ................... දින විෂය භාර ඇමතිතුමිය විසින් හදිසියේම මෙම ඒකකය විසිරුවා දැමූ බව විකාශය විය. කුමන පදනමකින් කුමක් නිසා මෙය සිදුකලා දැයි මේවන තුරුත් එම නිළධාරීන් නොදන්නා අතර වර්තමානයේ පවතින නිළධාරීන්ගේ ඇති මන්දගාමී රාජකාරී ස්වභාවයට පළමු හේතුව ලෙස එම විසිරුවා හැරීම දැක්විය හැකිය. දෙපාර්තමේන්තුවේ දියුණුව සඳහා කටුක වූ රාජකාරියක් කරනු ලැබූ නිළධාරීන්ට පදනම් විරහිතව එසේ සැළකීම කෙතරම් යුක්ති සහගත දැයි හදවතින් ඇසිය යුතු පැණයක් ලෙස දකිමි. 2018 වර්ෂයේ ...දින නැවත මෙම ඒකකය බන්ධනාගාර පොලීසිය යන නමින් විෂය භාර ඇතිතුමිය විසින්ම නැවත පිහිටුවන ලැබුණි. නමුත් කණගාටුවට හේතුව නම් දක්ෂ ලෙස රැකියාව කල නිළධාරීන් .......... ක් පමණ මෙම ඒකකයෙන් සාමාන්‍යය සේවයට ස්ථාන මාරුකර යවා තිබුණි. මාධ්‍යය වල එකල එම ප්‍රවෘත්තය දැක්වුණේ බන්ධනාගාර බුද්ධි ඒකකයේ සේවය කල දූෂිත නිළධාරීන් ස්ථාන මාරුකර අළුතින් එම ඒකකය බන්ධනාගාර පොලීසිය ලෙස පිහිටුවන ලැබූ බවය. දූෂිත නිළධාරීන් යැයි ඔවුන් හංවඩු ගැසූ නිර්ණායක පිළිබඳව දෙපාර්තමේන්තුවේ සේවය කරන කිසිඳු නිළධාරියෙක් මේ වන තුරුත් නොදැනිම පුදුමයට කරුණකි.අවසානයේ බන්ධනාගාර පොලිසියේ නිළධාරීන් පිරිස 100 කට සීමා වූ බව කිව යුතුය.

බන්ධනාගාර පොලීසියක් තිබෙන විටත් බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය ඇතුළු වන්නේ මන්ද යන පැණයට පිළිතුරක් ලෙසත් බන්ධනාගාර පොලීසිය යනු වැඩකට නොමැති ඒකකයක් යැයි පවසන සුළුතරයක් සඳහාත් කරුණු කිහිපයක් සැකෙවින් දක්වනු කැමැත්තෙමි. ජනාධිපති කාර්යාලයට හෝ අගමැති කාර්යාලයට පිටතින් පුද්ගලයින් ඇතුළු වන විට ඉතා දැඩි ලෙස සෝදිසි කිරීමෙන් අනතුරුව එතුළට ඇතුල් කර ගැනීම සිදුකරනු ලබයි. ඇතුල් වන පුද්ගලයා කුමන වූ තනතුරක් දරන්නෙකු වුවද පරීක්ෂා කරනු ලබන්නේ පොලීසියේ සේවය කරන සාමාන්‍යය සේවයේ නිළධාරීන් වේ. පිටතින් පැමිණෙන පුද්ගලියින් තමා අසවල් තනතුර දරන නිසා සෝදිසි කිරීමට ඉඩදිය නොහැක යැයි තර්ක කරන්නේද නැත. නමුත් බන්ධනාගාර තුළ තත්වය ඊට වෙනස් ය. බන්ධනාගාර පොලීසියේ සේවය කරන සාමාන්‍ය නිළධාරීන්ට බන්ධනාගාර තුළට ඇතුළු වන ජෙලර් ශ්‍රේණියේ සිට ඉහළට සූක්ෂම ලෙස පරීක්ෂා කිරීම සිදුකල නොහැක. ඒ සඳහා කිසිඳු නීතිමය බලයක් ලබාදී ද නොමැත. බන්ධනාගාර තුළට ඇතුළු වන ජේලර්වරයෙකු හෝ සුභසාධන නිළධාරියෙකු සපත්තු 02 සහ බඳපටිය ගලවා පරීක්ෂා කිරීම් සිදුකල නොහැක. එසේ කිරීමට නම් බන්ධනාගාර පොලීසියේ සේවය කරන ජේලර් ශ්‍රේණියේම නිළධාරියෙකු ඉදිරිපිට එසේ කල යුතු බව ඔවුන් ප්‍රකාශ කරයි. එම නිසා ඔවුන්ව නිළඇඳුම අතගා පිටින් පරීක්ෂා කිරීම පමණක් සිදුකරනු ලබයි. කෙසේ වෙතත් බන්ධනාගාර පොලීසියේ ඇති ජේලර්වරුන්ගේ හිගතාවය නිසා ඔවුන් පවසන ලෙස සෝදිසි කිරීම් කිරීමද සිදු කල නොහැක. තත්වය කෙසේ වෙතත් එසේ පවසන නිළධාරීන්ම ඉහත කී ජනාධිපති/අගමැති කාර්යාලයට ඇතුළු වීමේදී සාමාන්‍යය පොලිස් නිළධාරීන් ලවා පරීක්ෂා කිරීම් කරවා ගන්නේ ඉතා අපූරුවටය. තමන් රාජකාරී කරන ආයතනය තුළට පිරිසිදු වී තහනම් ද්‍රව්‍ය නොමැති බව සනාථ කර ඇතුල් වීමට ඔවුන්ට නොහැක්කේ ඔවුන්ගේ ඇති අධික මාන්නය හෝ නැතහොත් ඔවුන් බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය රැ‍ගෙන යන නිසා බව දක්වා සිටිනු කැමැත්තෙමි. බන්ධනාගාර තුළට ඇතුළු වන සාමාන්‍ය නිළධාරීන් සපත්තු සහ බඳපටි ගලවා සෝදිසි කර බන්ධනාගාර තුළට ඇතුල් කිරීම සිදු කරන අතර, ඔවුන් සිය යට ඇඳුම් වල හෝ ශරීර අභ්‍යන්තරයේ තහනම් ද්‍රව්‍ය සඟවාගෙන පැමිණියහොත් ඒවා ගලවා පරීක්ෂා කිරීමට ක්‍රමයක් බන්ධනාගාර පොලීසිය සතුව නොමැත. යම් හෙයකින් නිළධාරියෙක් පිළිබඳව සැක සිතී ඔහුගේ යට ඇඳුම් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී තහනම් ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වුවහොත් එම සෝදිසියට ලක් වූ නිළධාරියා විසින් පරීක්ෂා කිරීම් කල බන්ධනාගාර පොලීසියේ නිළධාරීන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කරනු ලබයි. එම හේතුව නිසාම නිළධාරියෙක් අත්අඩංගුවට ගැනීමේදී, බන්ධනාගාර පොලීසිය විසින් යම්කිසි මාර්ගයකින් ලබාගත් විශ්වාසවන්ත තොරතුරක් මත එම සම්පූර්ණ සෝදිසි කිරීම සිදුකරනු ලබයි. මෙම තත්වය නිසාද බන්ධනාගාර තුළට යම් තරමින් හෝ තහනම් ද්‍රව්‍ය ඇතුළු වීමට ඉඩකඩ පවතින බවත් සටහන් කරමි.

බන්ධනාගාර බන්ධනාගාර තුළට ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම සුලබ දෙයක් වී ඇත. එම තත්වයද යම්තාක් දුරට පාලනය වී ඇත්තේ බන්ධනාගාර පොලීසියේ නිළධාරීන්ගේ ඇති දක්ෂතාවය නිසාමය. ඔවුන් විසින් සැක සහිත වූ සිරසැකකරුවන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත යොමුකරනු ලබයි. එසේ යොමුකර තහනම් ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේ ඇත්නම් පිටතට ගැනීම සිදුකරනු ලබයි.සැක නොසිතන ලෙස ගුද මාර්ගයේ සඟවාගෙන තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන ඒමට සමත් සිරසැකකරුවන්ද සිටින බව සටහන් කරන අතර සිර සැක කරුවන්ගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට බන්ධනාගාර තුළ දැනට ස්ථාපිත කර ඇති පුද්ගල ස්කෑන් යන්ත්‍රද මේ වන විට අක්‍රිය තත්වයේ පැවතීමද බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය ඇතුළු වීමට හේතුවක් ලෙස දැක්වීමට හැකිය. ඉහත දැක්වූ කරුණු පිළිබඳව ව්මසා බැලීමේදී බන්ධනාගාර තුළ තවමත් තහනම් ද්‍රව්‍ය පැවතීම පිළිබඳව බන්ධනාගාර පොලීසියට චෝදනා නොකර ඇතුළු වීමට ඇති හිඩැස් වලට තාවකාලික පැළැස්තර නොදමා ස්ථීර විසඳුම් ලබාදීම කල යුතු වේ. නිළධාරීන් 100 ක් පමණ ඇති බන්ධනාගාර පොලීසියේ කාර්යාල සේවයේ නිළධාරීන් , නිවාඩු ලබාදීම් , අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රාජකාරී , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ආරක්ෂක කටයුතු , විශේෂ උසාවි ආරක්ෂණ , කාන්තා නියාමක , ජේලර්වරුන් සහ සැරයන්වරුන් හැරුණු විට සාමාන්‍ය සේවයේ යෙදීමට නියාමක ශ්‍රේණියේ නිළධාරීන් ඇත්තේ 50 කටත් අඩු ප්‍රමාණයකි. එවැනි වූ සුළු ප්‍රමාණයකින් කොළඹ බන්ධනාගාර තුළ මේ වන විට රාජකාරී කරන නිළධාරීන් එක දිගට දවස් 04 , 05 රාත්‍රී රාජකාරීම කරනු ලබන්නේ නිළධාරී හිගතාවය නිසාමය. ඔවුන්ට දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු සමහර වරප්‍රසාද ද ලැබෙන්නේ නැත. නිළ ඇඳුම් ආයිත්තම් වේලාවට ලැබෙන්නේ නැත. අතිකාල දීමනා ලැබෙන්නේ ප්‍රමාද වී වන අතර නිළ නිවාස සඳහා අවශ‍්‍යතාද නිසි පරිදි නොලැබෙයි. නිළ නිවාස සහ ආපන ශාලාව ආශ්‍රිතව වැසිකිළි වළවල් නිරතුරුව පිටාර ගලන අතර අවට ප්‍රදේශය රාත්‍රී කාලයේදී මදුරුවන්ට රජදහනකි. එවැනි වූ තත්වයක් යටතේ රාජකාරී කරන මෙම ඒකකයේ නිළධාරීන්ව දිරි ගන්වා සුභසාධක කටයුතු සොයාබලා ඉටුකර එම නිළධාරීන්ගේ සිතිවිලි ධනාත්මක කිරීම සිදුකල යුතු අතරම ප්‍රමාණවත් පරිදි නිළධාරීන් බඳවා ගැනීම අත්‍යාවශ්‍යම දෙයකි. එසේ නොකර රාජකාරියෙන් 100% ක ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකිය. මෙම ඒකකය විසිරුවා දැමීමෙන් බන්ධනාගාර තුළ ඇති තහනම් ද්‍රව්‍ය හමාර වන්නේද නැත.යම් හෙයකින් මෙම ඒකකය විසිරුවා දැමුවහොත් සීඝ්‍ර ලෙස අඩු වී ඇති තහනම් ද්‍රව්‍ය නැවත වැඩි වී දූෂිත නිළධාරීන් නැවත එම දූෂිත ක්‍රියා නැවත රිසි සේ කරගෙනු යනු ඇත. අවුරුදු 06 ක පමණ පළපුරුද්දක් ඇති නිළධාරීන් තවමත් මෙම බන්ධනාගාර පොලීසියේ සේවය කරනු ලබන නිසා ඉහත කී විසඳුම් ලබාදුනහොත් බන්ධනාගාර තහනම් ද්‍රව්‍ය වලින් තොර වූ ස්ථානයන් කිරීමෙහි ලා ඔවුන්ගෙන් සක්‍රීය දායකත්වයක් ලබාගත හැකිවනු ඇත. කෙසේ වෙතත් ගල් ගසනු ලබන්නේ ඵල ඇති ගසට යන කතාව අප පැරැණ්නන් විසින් පවසන පිරුළකි. එසේම චෝදනා ගැරහුම් ලැබෙන්නේ නිසිපරිදි රාජකාරී කටයුතු කරන නිළධාරීන්ටම පමණි. බන්ධනාගා තුළ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා බළධාරීන්ට නිසි විසඳුම් ගැනීමට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමින්ම මෙම ලිපිය මෙසේ අවසන් කරමි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Sri Lanka's Welikada prison clash leaves 27 dead". BBC News. සම්ප්‍රවේශය 2012-10-10.

බාහිර සබැඳි

[සංස්කරණය]

ඛණ්ඩාංක: 6°55′19″N 79°52′49″E / 6.92194°N 79.88028°E / 6.92194; 79.88028

"https://si.wikipedia.org/w/index.php?title=වැලිකඩ_බන්ධනාගාරය&oldid=593330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි