ටී.බී. ජයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ටී.බී. ජයා
කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයා
In office
26 සැප්තැම්බර් 1947 – 1950
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
In office
1924–1931
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික
In office
1936–1947
ලංකාව සඳහා පකිස්තානයේ මහා කොමසාරිස්වරයා
In office
1950–1957
සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ සභාපති
In office
1924–1950
Personal details
උපත1 ජනවාරි 1890
ගලගෙදර, ලංකාව
මරණය1 June 1960(1960-06-01) (වයස 70)
මක්කම, සවුදි අරාබියාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයලන්ඩන් විශ්වවිද්‍යාලය
ශාන්ත තෝමස් විද්‍යාලය, මෝදර
ශාන්ත පාවුළු විද්‍යාලය, මෝදර
වෘත්තියඅධ්‍යාපනඥයා


ටී.බී. ජයා හෙවත් තුවාන් බුර්හානුදීන් ජයා, (1 ජනවාරි 1890 – 31 මැයි 1960) ලාංකික අධ්‍යාපනඥයෙක්, දේශපාලනඥයෙක්, රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ මුස්ලිම් ප්‍රජා නායකයෙක් විය. සිය වෘත්තිමය දිවිය පාසැල් ගුරුවරයෙක් ලෙසින් ඇරඹි කොළඹ සහිරා විද්‍යාලයෙහි විදුහල්පති ලෙසින් වසර 27 ක සේවයෙන් අනතුරුව ඔහු විශ්‍රාම ලැබුවේය. ඔහුගේ භාරකාරත්වය යටතේ, සහිරා විද්‍යාලය, රටෙහි ප්‍රමුඛ පාසැල් අතුරින් එකක් බවට පත් විය.

මැලේ ජාතික ටී.බී. ජයා රටෙහි මුස්ලිම් ප්‍රජාවෙහි නායකයෙක් ලෙසින් ජයා ඉස්මතු විය. දේශපාලනයට අවතීර්ණවූ හෙතෙම, ලංකාවේ පූර්ව-නිදහස දේශපාලනයෙහි කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. ව්‍යවස්ථාදායක සභාවට, රාජ්‍ය මන්ත්‍රණ සභාවට සහ පාර්ලිමේන්තුවට ඔහු තේරී පත් විය. ඔහු එක්සත් ජාතික පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් විය. ලකාවේ පළමු නිදහස් රජයෙහි, ඔහු කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයා විය. දේශපාලනයෙන් විශ්‍රාම ගිය පසු, ලංකාව වෙනුවෙන් පකිස්තානයෙහි පළමුවන මහා කොමසාරිස් ලෙසින් ජයා මහතා පත් කෙරිණි. මක්කම වෙත වන්දනා ගමනෙහි යෙදෙමින් සිටියදී අසනීපවූ ඔහු, 1960 වසරෙහිදී මිය ගියේය.

මුල් දිවිය[සංස්කරණය]

මැලේ ජාතික කසීම් ජයා සහ එම මහත්මිය බයා සෞජා යන දෙමව්පියන්ගේ දෙවන පුතු ලෙසින්, 1890 ජනවාරි 1 දිනදී, ගලගෙදර නගරයෙහිදී, ටී.බී. ජයා උපන්නේය. ජයා පවුල අයත් වූයේ, ශ්‍රී ලංකාවේ මැලේ වාර්ගික සුළුතර කණ්ඩායමටය. කසිම් ජයා, පොලිස් දෙපාර්තමේන්තුවෙහි සාජන්ට්වරයෙක් ලෙසින් රැකියාව කලේය.[1][2]

මුල් අධ්‍යාපනය[සංස්කරණය]

ජයා මහතා කුඩා දරුවෙකුව සිටි අවදියෙහි, ඔහුගේ පවුල කුරුණෑගල වෙත පදිංචිය වෙනස් කලේ පියාගේ ස්ථානමරුව නිසාය. ඔහු ප්‍රථම අධ්‍යාපනය ලැබුවේ, කුරුණෑගල ඉංග්‍රීසි-ස්වභාෂා පාසැල වෙතිනි. මෙම කාලසීමාව තුලදී, ඔහු විසින් ශුද්ධ කුරානය පිළිබඳ අධ්‍යාපනයද ලැබුවේ නූර්දීන් අලීම් සහ ඔමාර්ලෙබ්බේ ගේ භාරකාරිත්වය යටතේය. කසීම් යළිත් ස්ථාන මාරුවක් ලද අතර, එවර එය කොළඹට විය. ලාබාල ජයා, මහනුවර ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළුවූ අතර, එහිදී ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සමස්තයෙන්ම පාහේ ලැබීය. වයස අවුරුදු දහයේදී පළමුවන ශ්‍රේණියට ඇතුළුවීමට ඔහුට සිදුවූ බව සටහන් කර ගත යුතු සිත් දනවන කරුණකි. කෙසේවෙතත්, ලාබාල ශිෂ්‍යයා ඉතා දක්ෂ බව පැහැදිලිවූ අතර, ඔහු වෙත පළමු ශ්‍රේණියෙහි සිට සතරවන ශ්‍රේණිය දක්වා ත්‍රිත්ව උසස්කිරීම්ද, ඊළඟ වසරෙහිදී යළිත් සයවන ශ්‍රේණිය දක්වා ද්විත්ව උසස්කිරීම්ද ප්‍රදානය කෙරිණි. 1904 වසරෙහිදී, ද්විතීයික අධ්‍යාපනය සඳහා මෝදර ශාන්ත තෝමස් විද්‍යාලය වෙත ඔහු ශිෂ්‍යත්වයක් ලැබුවේය. උසස් ප්‍රතිඵල සහිතව ඔහු කේම්බ්‍රිජ් ජූනියර් සහ කේම්බ්‍රිජ් සීනියර් විභාග සමත්විය.[2]

පාසැල් ගුරුවරයා[සංස්කරණය]

ජයා විසින් ලන්ඩන් මැට්‍රිකියුලේෂන් සහ ඉන්ටර් ආර්ට්ස් විභාග සමත් වීම නිසා පාසැල් ගුරුවරයෙකු වීමට එය උපකාරී විය. 1910 වසරෙහි ජනවාරි මාසයේදී ඔහු වෙත ලැබුනු පළමු පත්වීම, මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙත විය. ඔහුගේ පළමු මාසික වේතනය රුපියල් 40 ක් විය. ධර්මරාජ විද්‍යාලයෙහි කෙටි කලක් සේවය කිරීමෙන් පසුව, 1910 වසරෙහි මැයි මාසයේදී ඔහු මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලය වෙත පත්වීම ලැබීය.[2][3]

එකල එහි විදුහල්පතිව සිටි පී.ඩී.එස්. කුලරත්න මහතා වෙතින් ලැබුනු ආරාධනාවක් පිළිගැනීමෙන් පසුව, වසර 1917දී, ඔහු ආනන්ද විද්‍යාලයට වෙත පත්වීම් ලදි. විදුහලෙහිදී, ජයා විසින් ප්‍රධාන වශයෙන් උගැන්වුනේ ඉහිහාසය සහ සම්භාව්‍ය අධ්‍යයනයයි. වසර කිහිපයකට පසුව රටෙහි ප්‍රමුඛ මාක්ස්වාදී දේශපාලනඥයන්වූ සමහරක් ශිෂ්‍යයන්ට ආනන්ද විද්‍යාලයේදී ඔහු උගැන්වීය: පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ආචාර්ය එස්. ඒ. වික්‍රමසිංහ සහ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඔවුන් වූහ.[3]

ගුරුවරයෙක් ලෙසින් සේවය කරමින් සිටියදී, ඔහුගේ ශාස්ත්‍රීය පරිශීලනය දිගටම පවත්වා ගෙන ගිය ඔහු, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සම්භාව්‍ය අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. ඉක්බිතිව ඔහු නීති විද්‍යාලයට ඇතුළු වූයේ නීතිඥයෙක් බවට සුදුසුකම් ලැබීම සඳහාය.[2]

සහිරා විද්‍යාලය[සංස්කරණය]

නීති විද්‍යාලයේ අවසන් වසරෙහි අධ්‍යාපනය ලබමින් සිටියදී, 1921 වසරෙහිදී, දේශීය මුස්ලිම් ප්‍රජාවගේ ආරාධනාව පිළිගත් ජයා, කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති ලෙසින් වැඩ භාර ගත්තේය. මරදාන මුස්ලිම් දේවස්ථාන කමිටුව වෙනුවෙන් සෑබෑ ආරාධනාව සිදු කරන ලද්දේ එන් එච් එම් අබ්දුල් කාදර් විසිනි. නීතිඥයෙක් ලෙසින් ඔහුගේ අනාගත අභිවෘත්තිය අත්හල ජයා, දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටීමට තීරණය කලේ, එම ක්ෂේත්‍රය තුලදී ඔහුගේ ප්‍රජාවට වටනා දායකත්වයක් ලබා දිය හැකි වනු ඇති බවට ඔහු විශ්වාස කල නිසා විය හැකිය.[2]

ජයා වැඩ භාර ගන්නා යිට, ස්වල්ප ශිෂ්‍ය සංඛ්‍යාවක් සහ ගුරුවරු සංඛ්‍යාවක් පැවතීම, පංති කාමර පැවැත්වීමට ගොඩනැගිලි හිඟ බව, පුටු මේස ආදි ගෘහභාණ්ඩ හිඟ බව සහ, විද්‍යාලයට නුසුදුසු පරිසරයක් සහිත වීම ආදිය නිසා, සහිරා විද්‍යාලය නිසරු තත්ත්වයක පැවතියේය. විදුහල්පති වශයෙන් ඔහුගේ සේවා කාලය තුලදී, ජයා විසින් සැලකිය යුතු මස්තකප්‍රාප්තීන් අත්කරගති. ඔහු විසින්, මැට්‍රිකියුලේෂන් මට්ටම දක්වා පංති ආරම්භ කරන ලදි; ගුරුවරුන් සංඛ්‍යාව, 6 සිට 30 දක්වා ඉහළ දමන ලදි; ක්‍රීඩා පහසුකම් දියුණු කරන ලදි; විද්‍යා පුස්තකාලයක්, භෝජනාගාරයක්, නේවාසිකාගාරයක්, දන්ත සෞඛ්‍ය චිකිත්සාගාරයක් සහ නිදහස් රාත්‍රි පාසැලක් ඇරඹීය. (ඔහු විසින් ඇරඹි රාත්‍රි පාසැල, රටෙහි එවන් පළමුවැන්න ලෙසින් සැලකෙයි.) ගොඩනැගිලි වැනි යටිතලපහසුකම් සංවර්ධනය කිරීමට, "විද්‍යාල ව්‍යාප්ති අරමුදල" වැනි අරමුදල්ද ඔහු ඇරඹීය. වසර සතරක් තුලදී, ශිෂ්‍යයන් සංඛ්‍යාව, 59 සිට 1000 පසුකරමින් ඉහළ නැංවිනි.[2]

1948 වසරෙහිදී ඔහු විශ්‍රාම යන තුරු සහිරා විද්‍යාලයේ විදුහල්පති ලෙසින් වසර 27 ක් ජයා සේවය කලේය. විදුහල්පති වශයෙන් ජයාගේ සේවා කාලය, සහිරා විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙසින් සැලකෙයි. මෙම යුගය තුලදී, විද්‍යාලය විසින් ජාතික මට්ටමෙහි කැපී පෙනෙන චරිත නිපැයීය.[2]

ශාඛා[සංස්කරණය]

සහිරා විද්‍යාලයේ ශාඛා කිහිපයක් ඇරඹීම විෂයයෙහි ජයා හේතුභූත විය. 1942 වසරෙහිදී, පළමුවන ශාඛාව අළුත්ගමදී ඇරඹුනු අතර, එයින් පසුව 1944 වසරෙහිදී ගම්පොල ශාඛාව ඇරඹිනි. 1945 වසරෙහිදී තවත් ශාඛා තුනක් ඇරඹුනේ මාතලේ, පුත්තලමෙහි සහ කොම්පඤ්ඤ වීදියෙහිය.[2]

මුස්ලිම් නායකත්වය[සංස්කරණය]

රටෙහි මුස්ලිම් ප්‍රජාවෙහි නායකයෙක් ලෙසින් ජයා ක්‍රමයෙන් නැගී ආයේය. එන් එච් එම් අබ්දුල් කාදර් මහතාගේ අභාවයෙන් පසුව, සමස්ත ලංකා මුස්ලිම් ලීගයෙහි සභාපති ලෙසින් ජයා පත් කෙරිණි. 1950 වසර දක්වා සභාපති ලෙසින් ඔහු කටයුතු කලේය.[2]

දේශපාලන අභිවෘත්තිය[සංස්කරණය]

ව්‍යවස්ථාදායක සභාව[සංස්කරණය]

1924 වසරෙහිදී, ඉතිහාසයේ පළමු වතාවට, ව්‍යවස්ථාදායක සභාව සඳහා මහමදීය (මුස්ලිම්) ඡන්ද කොට්ඨාශය වෙතින් සාමාජිකයන් කෝරා පත් කර ගැනීමට මැතිවරණයක් පැවැත්විණි . මහමදීය ඡන්ද කොට්ඨාශය යනු, සම්පූර්ණ රටෙහි මුස්ලිම් ප්‍රජාව නිරූපණය කෙරුණු දීප-ව්‍යාප්ත වර්ගවාදී ඡන්ද කොට්ඨාශයක් විය. කෙසේවෙතත්, මෙම කාලසීමාව තුලදී සීමිත පුරවැසියන් සංඛ්‍යාවක් පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලදහ. ව්‍යවස්ථාදායක සභාව සඳහා ජයා මෙම මැතිවරණ කොට්ඨාශයෙන් තේරී පත් වූයේ තවත් දෙදෙනෙක් හා සමගිනි.[3]

රාජ්‍ය මන්ත්‍රණ සභාව[සංස්කරණය]

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව, 1931 වසරෙහිදී, රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනුමට, රටෙහි සියළු පුරවැසියන්හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රදානය කෙරිණි. මැද කොළඹ කොට්ඨාශය සඳහා ජයා තරග කල අතර, කැපී පෙනුණු දේශපාලනඥයෙක් වූ, ලංකා කම්කරු පක්ෂයේ නායක, ඒ.ඊ. ගුණසිංහ වෙතින් පරාජයට පත්විය. 1936 වසරෙහි මැතිවරණයෙහිදී එම ප්‍රතිවාදියා විසින්ම ඔහු නැවතත් පරාජයට පත් කෙරිණි. කෙසේවෙතත්, ඔහුගේ පරාජය මධ්‍යයේ වුවද, 1936 වසරෙහිදී, ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට නම් කරන ලද අතර, 1947 වසර දක්වා මන්ත්‍රීවරයෙක් ලෙසින් සේවය කලේය.[3]

රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහිදී, අධ්‍යාපන පිළිබඳ විධායක කමිටුව සඳහා ජයා තෝරා ගන්නා ලදි. රටෙහි මුස්ලිම් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා මෙය විසින් ඔහු වෙත පුළුල් අවකාශයක් සැපයීය. ඔහුගේ සහෘද මුස්ලිම් රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ශ්‍රීමත් රසීක් ෆරීඩ් හා සමගින්, ඔහු විසින් දිවයින පුරා බොහෝ මුස්ලිම් පාසැල් පිහිටුවන ලදි. පාසැල් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් උදෙසාද ජයා සටන් කලේය. පාසැල් ගුරුවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා ඔහු විශාල දායකත්වයක් සැපයීය.[3]

රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහිදී, සිංහල නොවන වාර්ගිත කන්ඩායම් වලට අයත්වූ ජයා ඇතුළු අනෙකුත් රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරු විසින්, "සුළුතර කණ්ඩායමක්" තනන ලදි. රටෙහි දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඔවුහූ විශේෂ අවධානයක් යොමු කලහ. කෙසේවෙතත්, එක් දෙමළ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙකු ජී. ජී. පොන්නම්බලම් විසින් ගෙන ගිය "පනහට-පනහ" ව්‍යාපාරයට, සුළුතර කණ්ඩායමෙහි සියළු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබිණි.[3]

එක්සත් ජාතික පක්ෂය[සංස්කරණය]

එක්සත් ජාතික පක්ෂය බිහිකිරීමෙහිලා ජයා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. 1946 සැප්තැම්බර් 6 දිනදී, කොළඹ, ඇල්බට් චන්ද්‍රවංකයෙහි, පාම්කෝට්හී පැවැති සමාරම්භක රැස්වීමෙහිදී, දේශපාලන පෙරමුණු කිහිපයක්, තනි පක්ෂයක් ලෙසින් එක්සත් කල යුතු බවට එස්. නඩේසන් විසින් සිදුකෙරුණු යෝජනාව ජයා විසින් ස්ථීර කරන ලදි. පක්ෂය තැනුනේ, ජාතික කොංග්‍රසය, සිංහල මහා සභාව, ජයාගේ නායකත්වය යටතේ පැවැති සමස්ත ලංකා මුස්ලිම් ලීගය, ශ්‍රීමත් රසීක් ෆරීඩ්ගේ නායකත්වය යටතේ පැවති මරක්කල සම්මේලනය සහ, දෙමළ සහ බර්ගර් ප්‍රජාවන්ගේ සමහරක් පුද්ගලික සාමාජිකයන් එක්සත් කිරීමෙනි. මෙම සමාරම්භක රැස්වීමේදී, පක්ෂයේ උප-සභාපතිවරුන් පස්දෙනා අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු තෝරා පත් කර ගැනුණි.[4]

පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය[සංස්කරණය]

1947 වසරෙහිදී ලංකාවේ කැබිනට් මණ්ඩලය

1947 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී, මැද කොළඹ කොට්ඨාශය, බහු-මන්ත්‍රී කොට්ඨාශයක් බවට පත් කෙරුණේ එම කොට්ඨාශයෙහි ජීවත්වූ ප්‍රජාවන් කිහිපයක් සඳහා සමබර නියෝජනයක් ලබා දීමේ අරමුන ඇතිවය. ඡන්ද 23,470 ක් ලබා ගත් ඒ ඊ ගුණසිංහ, පළමු මන්ත්‍රීවරයා ලෙසින් තෙරී පත් විය. ඡන්ද 18,439 ක් ලබා ගත් ජයා, දෙවන මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත් විය.

සාමාජිකයන් 14 දෙනෙකුගෙන් පමණක් සමන්විතවූ නිදහස් ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයට ජයා තෝරාගන්නා ලදි. ඔහු පත් කෙරුණේ කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසිනි.

1950 වසරෙහිදී, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසින් ඔහුගේ තනතුරෙන්, ජයා ඉල්ලා අස්වූයේ, පකිස්තානය වෙත පත්කෙරුණු ප්‍රථම මහා කොමසාරිස් ලෙසින් වැඩ භාර ගැනීමටය. මෙම තනතුරෙහි ඔහු වසර සතක් සේවය කලේය. එහිදී ඔහු කළ සේවය අගය කරනු වස් 1952 දී පන්ජාබි විශ්වවිද්‍යාලය මඟින් ඔහුට සාහිත්‍ය ශූරී ගෞරව උපාධිය පිරිනැමිණි.

මරණය[සංස්කරණය]

මක්කම වෙත වන්දනා ගමනෙහි යෙදෙන අතරතුර , මදීනා නගරයේදී රෝගාතුර වූ ආචාර්ය ටී.බී. ජයා මහතා 1960 මැයි 31 වන දින මෙලොවින් සමුගත්තේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://www.sundayobserver.lk/2002/06/02/fea16.html
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=42713
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 http://tamilweek.com/news-features/archives/986
  4. http://unitednationalparty.tripod.com/unp.htm

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටී.බී._ජයා&oldid=366531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි