Jump to content

එස්පෙරාන්තො

විකිපීඩියා වෙතින්
(Esperanto වෙතින් යළි-යොමු කරන ලදි)
එස්පෙරාන්තො
නිර්මාණය කරන ලද්දේL. L. Zamenhof
Setting and usageInternational auxiliary language
භාවිත කරන්නන්(Native: 200 to 1000 (1996, est.); (# fluent: unknown) cited 1887)
අරමුණ
ප්‍රභවVocabulary from Romance and Germanic languages; phonology from Slavic languages
නිල තත්ත්වය
යාමනය කරනු ලබන්නේAkademio de Esperanto
භාෂා කේත
ISO 639-1eo
ISO 639-2epo
ISO 639-3epo


එස්පෙරාන්තො (Esperanto) යනු වඩාත්ම ප්‍රචලිත, මිනිසුන් විසින් නිර්මිත ජාත්‍යන්තර උපකාරක භාෂාවයි.එයට එම නම දෙන ලද්දේ එල්. එල්. සාමෙන්හොෆ් විසිනි. ඔහු 1887 දී උනූඅ ලිබ්රෝ නම් එස්පෙරාන්තො විස්තර කරන ප්‍රථම පොත දොක්තොරො එස්පෙරාන්තො යන අන්වර්ථ නාමයෙන් පළ කළේය.එම භාෂාවෙන්ම එස්පෙරාන්තො යන්නෙහි තේරුම "බලාපොරොත්තුවන්නා" යන්නයි. මෙම භාෂාවෙහි නිල නාමය "ලා ඉන්තෙර්නාත්සියා ලින්ග්වෝ" (La Internacia Lingvo) යන්නයි. ජාත්‍යන්තර අවබෝධයට සහ සාමයට ආධාර වන විශ්ව දෙවන භාෂාවක් ලෙස ක්‍රියාකරන දේශපාලනිකව මධ්‍යස්ථ සහ ඉගෙනීමට පහසු භාෂාවක් නිර්මාණය කිරීම සමෙන්හොෆ්ගේ ඉලක්කය විය. ස්වභාෂාව ලෙස එස්පෙරාන්තො භාවිතා කරන්නෝ දළ වශයෙන් දහසක් පමණ සිට්ති. එනම් තම දෙමව්පියන්ගෙන් එක් ස්වභාෂාවක් ලෙස එස්පෙරාන්තො උගත් අයයි. චතුර ලෙස එස්පෙරාන්තො භාවිතා කරන්නන් සංඛ්‍යාව කොතෙක්දැයි මතභේදයක් පවතී. ඇස්තමේන්තු කිරීම් 10,000 සිට මිලියන දෙකක් වැනි ඉහළ අගයක් දක්වා විහිදේ. එස්පෙරාන්තො භාවිතා කරන්නෝ රටවල් 115ක පමණ පැතිරී සිටිති.

ඉතිහාසය​

[සංස්කරණය]

ආරම්භය​

[සංස්කරණය]

සාමෙන්හොෆ් ගේ තරුණ විය​

[සංස්කරණය]

එස්පෙරාන්තො හි ආරම්භය පිටුපස සිටින්නේ ලුද්විග් ලාසර් සාමෙන්හොෆ් ය​. ඔහුගේ තරුණ විය ගෙවා දැමුණේ බහුභාෂික නගරයක් වූ, එවකට රුසියානු අධිරාජ්‍යයට අයත් වූ, වර්තමානයේ පෝලන්තයට අයත් වන බ්‍යොලෙස්තොක් හි දී ය​. විවිධ ජනවර්ග ජීවත් වූ එම නගරයේ රුසියානුවන්, පෝලන්තයන්, ජර්මානුවන් හා යුදෙව්වන් අතර අඬ දබර සුලභ දසුනක් විය​. මේ ගැටළුවලට මූලික හේතුව ඔවුන් අතර පොදු භාෂාවක් නො මැති වීම බව හඳුනා ගත් සාමෙන්හොෆ් එම අඩුව පිරවිය හැකි භාෂාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක නිරත වීමට තීරණය කළේ ය​. පහසුවෙන් ඉගෙන ගත හැකි වීම​, මධ්‍යස්ථ​, නො බැඳි, අපක්‍ෂපාතී භාෂාවක් වීම නව භාෂාව​ සතු විය යුතු මූලික ගුණාංග වශයෙන් ඔහු තීරණය කළේ ය​. කිසිදු ජාතියකට අයත් නො වන මධ්‍යස්ථ නො බැඳි භාෂාවක් වීමෙන් එය සියළු ජාතීන්ට අන්තර්ජාතිකව පිළිගතහැකි තත්ත්වයකට පත් වනු ඇතැයි හෙතෙම විශ්වාස කළේය.[1]

මුල් කාලීන අදහස්

[සංස්කරණය]

තමන් පාසලේ දී උගත් ලතින් භාෂාව​, පුනර්ජීවනය කොට​, පොදු භාෂා මාධ්‍ය බවට පත් කිරීමට ඔහු මුලින් සිතූ නමුත්, එහි අතිසංකීර්ණත්වය සරල සන්නිවේදනයකට මඟ අහුරන බව ඔහුට අවබෝධ විය​. ක්‍රියා පද​, සංඛ්‍යාව(ඒක වචන​/බහු වචන​) හා ලිංගය (ස්ත්‍රී/පුරුෂ/නපුංසක​​) අනුව වර නැඟීම ව්‍යාකරණයකට අත්‍යවශ්‍ය නොවන බව ඉංග්රිසි බස අධ්‍යයනය කළ කාලය තුළ දී ඔහු වටහා ගති. නමුත් කට පාඩමින් මතක තබා ගැනීමට ඇති වචන සමුහය ද (ක්‍රියා පද වල විවිධ රූප​, ලිංගය වශයෙන්, සංඛ්‍යාව වශයෙන් නාම පද වල විවිධ රූප​) භාෂාවක් ඉගෙන ගැනීමේ දී අභියෝගයකි. රුසියන් භාෂාව අධ්‍යයනය කිරීමේ දී ප්‍රත්‍ය හා උපසර්ග භාවිතයෙන් වචන මාලාව ඉතා කෙටි කර ගත හැකි බව ප්‍රත්‍යක්‍ෂ කර ගත් සාමෙන්හොෆ් වචන වල ධාතු රූප, ඒ වන විටත් ලෝකයේ බහුලව උගන්වමින් තිබූ ලතින් හා ජර්මන් භාෂා පවුල්වලට අයත් භාෂාවලින් ලබා ගැනීමට තීරණය කළේ ය​.[2]

අවසන් සංස්කරණය​

[සංස්කරණය]

1878 දී තරමක් දුරට නිමවා තිබූ ව්‍යාපෘතියේ ප්‍රථම කෙටුම්පත ලින්ග්වෙ උනිවෙර්සාලා (Lingwe Universala) නම් විය​. සාමෙන්හොෆ් මෙම අත්පිටපත භාෂා ගුරුවරයෙක් වූ තම පියා අතට පත් කළ අවස්ථාවේ දී, සිය පුතුගේ වෑයම උතෝපියාවක් හා නිෂ්ඵල ක්‍රියාවක් සේ සැලකූ ඔහු එම අත්පිටපත අස්ථාන ගත කරවී ය​.

1879-1885 අතර කාලය තුළ මොස්කව් හා වොර්සො හි දී සාමෙන්හොෆ් වෛද්‍ය විද්‍යාව හැදෑරී ය​. එම කාලය තුළ ඔහු නැවත තම භාෂා ව්‍යාපෘතියේ නිරත වීය​. 1879 වසරේ දී නවීකරණය කරන ලද සංස්කරණයක් ඔහු තම මිතුරන්ට උගැන්වීය​. එතැන් පටන් වසර කීපයක් කාව්‍ය නිර්මාණ පරිවර්තනය කරමින්  සිය පර්යේෂණ කාර්යයේ ඔහු නිරත වීය​. 1895 වසරේ දී ඔහු මෙසේ ලිවීය​. 1878 වසරේ දී භාෂාව මුළුමනින් ම පාහේ සූදානම් යයි මට හැඟී ගිය නමුත්, වසර හයක් පුරාවට මම භාෂාව සම්බන්ධ​යෙන් අභ්‍යාස කරමින්, එහි සර්ව සම්පූර්ණත්වය උදෙසා පර්යේෂණ කළෙමි.

ඒ වන විටත් ඔහුගේ නව භාෂාවේ එළි දැක්වීමේ කටයුතු සූදානම් කර තිබුණ ද, එය සාර් පාලනයේ වාරණයට ලක් විය​. එම වාරණ කාලය තුළ ඔහු ප්‍රායෝගිකත්වයට මුල් තැන දීමට පැරණි තෙස්තමේන්තුවත්, ශේක්ස්පියර් ගේ නාට්‍ය කීපයකුත් පරිවර්තනය කළේ ය​.1887 වසර අවසානයේ දී නව භාෂාවේ ප්‍රථම අධ්‍යන ග්‍රන්ථය Международный языкъ (අන්තර්ජාතික භාෂාව​), දොක්තෝරො එස්පෙරාන්තො යන අන්වර්ථ නාමය යටතේ එළි දැක්වීමට ඔහුට හැකි වීය​. වර්තමානයේ භාවිත එස්පෙරාන්තො භාෂා ව්‍යවහාරයමය එහි ද අන්තර්ගත වූයේ. දොක්තෝරො එස්පෙරාන්තො ගේ භාෂාව යනුවෙන් ප්‍රචලිත වූ නව භාෂාව සුළු කලක් ඇවෑමෙන් එස්පෙරාන්තො යන නමින් ජනප්‍රියත්වයට පත් විය​.

ප්‍රථම ප්‍රතිසංස්කරණ යෝජනා

[සංස්කරණය]

උනන්දුවක් දැක් වූ පාර්ශ්ව බහුතරයකගෙන් සාමෙන්හොෆ් වෙත ලිපි ලැබිණි. භාෂාවට ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් එවන ලද ලිපි බහුතරයක් ද ඒ අතර විය​. සියළුම යෝජනා සටහන් කර ගත් ඔහු, පසුව ඒව නියුරෙන්බර්ග් හි ප්‍රකාශයට පත් වූ ලා එස්පෙරන්තීස්තො (La Esperantisto) සඟරාවේ පළ කළේ ය​. එම කාලය තුළ ඔහු දෙවරක් එම වෙනස්කම් පිළිබඳව පාඨක ප්‍රජාවේ ඡන්දය විමසූ අතර, බහුතරය එම යෝජනාවලට විරුද්ධ විය​. එයින් පසු ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා කලකට යටපත් වූ අතර එම කාලය තුළ භාෂාව තවත් ව්‍යාප්ත විය​.

සඟරාවේ බහුතර පාඨක පිරිසක් එවකට රුසියානු දේශසීමාව තුළ ජීවත් විය​. ලියෝ තෝල්ස්තෝයිගේ ලිපියක් මුල් කරගනිමින් සාර් පාලනය සඟරාව වාරණයකට ලක් කළ අතර එය සඟරාවේ ඉදිරි පැවැත්මට මරු පහරක් විය​. නොබෝ කලකින් එම සඟරාව අභාවයට පත් විය​. සුළු කලකට පසු එම අඩුව පිරවීමට ලීන්ග්වො ඉන්තෙර්නාත්සීයා (Lingvo Internacia) සඟරාව ප්‍රකාශයට පත්වීම ආරම්භ විය​. පළමුව ස්වීඩනයේ උප්සාලාහීදිත්, පසුව හංගේරියාවේදීත්, අවසාන වශයෙන් පැරිස් නුවරත් ප්‍රකාශන කේන්ද්‍රස්ථානය කර ගත් එම සඟරාව පළමු ලෝක යුද සමයේ දී අභාවයට ගියේ ය​.

භාෂක ප්‍රජාවේ ව්‍යාප්තිය​

[සංස්කරණය]

නව අන්තර්ජාතික භාෂාවේ භාෂකයෝ ස්වකීය නව භාෂාව අන්තර්ජාතික තලයෙන් ශාස්ත්‍රීය කටයුතු සඳහාත් එදිනෙදා කටයුතු සඳහාත් භාවිතා කරන්නට වූහ​. පළමු දශකය තුළ එස්පෙරාන්තො තුළින් සන්නිවේදනය යතාර්ථයක් බවට පත් වූයේ ලේඛන අංශයෙන් පමණි. නමුත් අනපේක්‍ෂිත සාර්ථකත්වයක් ලද ප්‍රංශයේ බුලෝන්‍ය-ස්‍ය-මැ (Boulogne-sur-Mer) හිදී 1905 දී පවත්වන ලද ප්‍රථම අන්තර්ජාතික එස්පෙරාන්තො කොංග්‍රසයෙන් පසුව කතාබහ කිරීම සඳහාත් නව භාෂාව යොදා ගැනීමේ ශක්‍යතා තිබෙන බව තහවුරු විය​. අනතුරුව යුරෝපය පුරා එස්පෙරාන්තො භාෂකයන් අතර හමුවීම් සංවිධානය කෙරුණි.

බාර්සිලෝනා හි 1909 දී පැවැත් වූ අන්තර්ජාතික කොංග්‍රසයේ දී හමු වුණු කතෝලික භාෂකයෝ, 1910 දී කතෝලික එස්පෙරාන්තො භාෂකයන් ගේ සමුළුවක් සංවිධානය කිරීමට තීරණය කළහ​. එම සමුළුවේ දී එස්පෙරාන්තො භාෂකයන් ගේ අන්තර්ජාතික කතෝලික එකමුතුව (ඉන්තෙර්නාත්සීයා කතොලීකා උනුයීජො එස්පෙරන්තීස්තා Internacia Katolika Unuiĝo Esperantista-IKUE)  පිහිටුවන ලදි. මෙම සංවිධානයේ ප්‍රධාන වාර ප්‍රකාශනය එස්පේරො කතොලීකා (Espero Katolika) ය​. මෙම සඟරාව එස්පෙරාන්තො භාෂකයන් ගේ අන්තර්ජාතික කතෝලික එකමුතුව පිහිටුවීමට පෙර සිට ම​, එනම් 1903 පටන් නොකඩවා අද දක්වා ම ප්‍රකාශයට පත් වේ. අද දක්වා අඛණ්ඩව පළවන පැරණිත ම එස්පෙරාන්තො ප්‍රකාශනය වන්නේ එයයි.

1912 දී ක්‍රාකෝෆ්හිදී පැවති 8වැනි අන්තර්ජාතික එස්පෙරාන්තෝ කොංග්‍රසයේ දී සාමෙන්හොෆ්, එස්පෙරාන්‍තො බස ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයේ තමන් දැරූ සියළු තනතුරුවලින් ඉවත් විය​. 1914 වසරේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතව තිබූ දසවැනි අන්තර්ජාතික එස්පෙරාන්‍තො සමුළුවට 4000ක් දෙනා ලියාපදිංචි වී තිබුණි. නමුත් දෙවන ලෝක යුද්ධය ආරම් භ වූ නිසා කොංග්‍රසය අත හැර දැමූ අතර සාමෙන්හොෆ්ට සිය රට බලා යාමට සිදු වූයේ ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් හරහා ය​.

පළමු ලෝක යුද්ධයට පසුව සාමය සහජීවනය රැක ගැනීම ආදිය ගැන ලෝකය සිය අවධානය යොමු කිරීමත්, එස්පෙරාන්තො ව්‍යාපාරයේ අරමුණුත් එයම වීම තුළ ව්‍යාපාරය තුළ නව පිබිදීමක් දැක ගත හැකි විය​. පළමු ලෝක යුද්ධයට පසු ප්‍රථම අන්තර්ජාතික කොංග්‍රසය 1920 වසරේ දී හේග් නුවර දී පැවැත්විණි. 1927 දී වියානාවේ හෝෆ්බර්ග් බලකොටුවෙහි එස්පෙරාන්තො කෞතුකාගාරයක් හා නිර්මිත භාෂා පිළිබඳ ප්‍රදර්ශනාගාරයක් පිහිටුවන ලදි. ස්වාධීන ආයතනයක් වූ එය 1929 දී ඔස්ට්‍රියානු ජාතික පුස්තකාලය මඟින් අනුබද්ධ කරගන්නා ලදි. වර්තමානයේ දී මෙම කෞතුකාගාරය වෙනත් ගොඩනැගිල්ලක පිහිටා තිබේ.

දෙවැනි ලෝක යුද සමයේදීත්, පළමු ලෝක යුද සමය හා දෙවැනි ලෝක යුද සමය අතර කාලයේදීත් ජර්මනියේ නාසි පාලනයත්, සෝවියට් රුසියාවේ ස්ටාලින් පාලනයත් දරුණු ලෙස එස්පෙරාන්තො භාෂකයන් මර්දනය කිරීමක යෙදුණාහ​.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සමය​

[සංස්කරණය]

එස්පෙරාන්තො බස විශ්වීය බසක් මෙන් පිළිගන්නා ලෙස ඉල්ලා, චෙකොස්ලොවැකියාවේ මිලියන 80කට අධික ජනතාවක් අත්සන් කරන ලද පෙත්සමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කෙරිණි. එහි අත්සන් දායකයන් අතර නොබෙල් සම්මානලාභී මහාචාර්ය යරොස්ලාව් හේරුස්කි (Jaroslav Heyrovský) ද විය​.

එස්පෙරාන්තො බසෙහි උන්නතියට වැදගත් වන යෝජනාවලි දෙකක් යුනෙස්කෝ මහා සභාවේ දී 1954 දෙසැම්බර් 10 වැනි දින මොන්ටෙවීඩියෝ හිදීත්, 1985 නොවැම්බර් 8 වැනි දින සොෆියාහීදීත් සම්මත කර ගන්නා ලදි.

එස්පෙරාන්තො සංස්කෘතිය​

[සංස්කරණය]

සාහිත්‍යය​

[සංස්කරණය]

ආරම්භයේ පටන් ම විශ්ව සාහිත්‍ය කෘතීන් බොහෝ ගණනක් එස්පෙරාන්තො බසට පරිවර්ත්නය විණි. පරිවර්තන හා ස්වතන්ත්‍ර නිර්මාණයන් ගෙන් සැදුම්ලත් මිලියන 50ක පමණ කෘතීන් සමුදායක් එස්පෙරාන්තො සාහිත්‍ය සතුව පවතී. එස්පෙරාන්තො බසින් වෙනත් භාෂාවලට කෙරුණු පරිවර්තන ප්‍රමාණය අල්ප ය​. 1993 වසරේ පැවති PEN සාහිත්‍ය සමාජයේ 60වැනි කොංග්‍රසයේ දී එම සමාජය එස්පෙරාන්තො භාෂා අංශයක් පිහිටුවා ගන්නා ලදි. 2008 වසරේ දී පිහිටුවන ලද එස්පෙරාන්තො සාහිත්‍ය ඇකඩමිය එස්පෙරාන්තො බසින් කෙරෙන සාහිත්‍යමය කටයුතු සඳහා දිරි ගැන්වීම් දෙනු ලබයි. ඇස්ටරික්ස්, ටින් ටින්, පිප්පි දිගමේස් ආදි ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද එස්පෙරාන්තො බසට පරිවර්තනය වී ඇත​.

  • විලියම් ආල්ඩ්, ස්කොට්ලන්තය​
  • යූලියො බගි, හංගේරියාව​
  • කෂ්මීෂ්  බෙයින් (කබෙ), පෝලන්තය
  • මාජරි බෝල්ටන්, එංගලන්තය​
  • හොර්හේ කමචො, ස්පාඤ්ඤය
  • ෆර්නැන්දො දෙ දියෙගො, ස්පාඤ්ඤය
  • කාල්මාන් කොලෝචයි, හංගේරියාව​
  • ලාව්ලුම්, චීනය ​
  • Mijamoto_Masao, ජපානය
  • Abel_Montagut, කැටලෝනියාව​
  • Nemere István, හංගේරියාව​
  • Claude Piron, බෙල්ජියම, ස්විට්සර්ලන්තය

සංගීතය​

[සංස්කරණය]

ජනප්‍රිය සංගීතය​, ජන සංගීතය​, රොක් සංගීතය​, ඔපෙරා, ඒකල සහ සමූහ ගායනා ආදි විවිධ සම්ප්‍රදායන්ගෙන් හා ශෛලීන්ගෙන් එස්පෙරාන්තො බසින් සංගීත නිර්මාණ බිහි වී ඇත​. එල්විස් කස්ටෙලො (Elvis Costello) සහ මයිකල් ජැක්සන් වැනි ප්‍රකට සංගීතඥයන් එස්පෙරාන්තො බස හෝ එහි තේමාවන් සිය නිර්මාණවලට හෝ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන තිබේ. වෝනර් සහෝදරයන් 1996 දී ස්පාඤ්ඤයේ දී එළි දැක් වූ, මුළුමනින් ම එස්පෙරාන්තො බසින් ගීත අඩංගු, එස්පෙරාන්තො නම් ඇල්බමයේ ගීත කීපයක් ස්පාඤ්ඤයේ ගීත දර්ශකවල ඉහළ ම ස්ථානයට පැමිණියේ ය​. ඇමරිකානු සංගීතඥයන් වන ලු හැරිසන්ගේ (Lou Harrison) ලා කෝරො සූත්‍රො (La Koro Sutro) සහ ඩේවිඩ් ගෛන්ස්ගේ (David Gaines) සිම්ෆොනීයො නුමේරො ඌනු එස්පෙරාන්තො (Simfonio Numero Unu Esperanto), එස්පෙරාන්තො බසින් කළ සම්භාව්‍ය ඔපෙරා සහ සමූහ ගායනා සඳහා නිදර්ශන වේ. ප්‍රංශයේ විනිල්කෝස්මො, එස්පෙරාන්තො සංගීත නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ සංගීත ප්‍රකාශන ආයතනයකි.

එස්පෙරාන්තො භාෂාව පිළිබඳ සාවද්‍ය හා මිථ්‍යා මත​

[සංස්කරණය]

බොහෝ තැන්වල එස්පෙරාන්තො බස පිළිබඳව සාවද්‍ය තොරතුරු දැක ගත හැකි ය​.

  • එදිනෙදා භාවිතයට යොදා ගැනීම ගැන​

එස්පෙරාන්තො බස එදිනෙදා කතා බහට යොදා ගන්නා භාෂාවකි. එසේ නමුත් ඉංග්රිසි ගුරුවරයෙක් වන පීටර් ග්‍රීන් 2014 වසරේ දී හෆින්ග්ටන් පෝස්ට් (Huffington Post) වෙත මෙලෙස ප්‍රකාශයක් කළේ ය​: «එස්පෙරාන්තො සහ ලතින් යනු සැබවින්ම අල්මාරියක ලස්සණට තැබිය හැකි ඉන් එහා ඵලක් නැති විසිතුරු අරුමෝසම් භාණ්ඩ දෙකකි. »

  • එස්පෙරාන්තො බසෙහි සජීවි බව ගැන​

හංගේරියානු විද්‍යා ඇකඩමියේ භාෂා විද්‍යායතනය ආදී ආයතන නිල වශයෙන් පිළිගෙන ඇති පරිදි එස්පෙරාන්තො සජීවී බසකි. එසේ නමුත් 2012 වසරේ දී ස්ටර්න් (Stern) සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී ස්ලෝවැකියානු ආර්ථික විශේෂඥයෙක් සහ දේශපාලනඥයෙක් වන රිඛාර්ඩ් සුලීක් (Richard Sulík), «ඔය එස්පෙරාන්තො කියන කෘතීම භාෂාව මළ භාෂාවක්» යයි ප්‍රකාශ කර සිටියේ ය​.

එස්පෙරාන්තො යන වචනය රූපකයක් සේ භාවිතය​

[සංස්කරණය]

අන්තර්ජාතික​, මධ්‍යස්ථ සංසිද්ධියක් විස්තර කිරීම සඳහා එස්පෙරාන්තො යන වචන රූපකයක් සේ භාවිතා කරනු ලැබේ.

මෙවැනි භාවිතයක් ඇතැම් විට නොමඟ යවන සුළු අවබෝධයක් ලබා දිය හැකිය​. උදාහරණයක් වශයෙන් යුරෝ, එස්පෙරාන්තො මුදල් ඒකකය වශයෙන් හැඳින්වෙයි. නමුත් යුරෝ යනු ජාතික මුදල් ඒකකයන් භාවිතයෙන් ඉවත් කොට ඒ වෙනුවට ආදේශ වූ මුදල් ඒකකයකි. එස්පෙරාන්තො බස ජාතික​, වාර්ගික භාෂාවන් ඉවත් කොට එතනට එස්පෙරාන්තො ආදේශ කිරීම අදහස් නොකරයි. එහි අරමුණ සියළු දෙනා තම තමන් ගේ මව් භාෂාවන් රැක ගන්නා අතර ම මධ්‍යස්ථ විශ්වීය භාෂා මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමයි[4][5]. මෙහි දී යුරෝ මුදල් ඒකකයට එස්පෙරාන්තො රූපකය යොදා ඇත්තේ එහි මධ්‍යස්ථ බව සලකා ගෙන ය​.

තවද බලන්න​

[සංස්කරණය]

ආශ්‍රිත මූලාශ්‍ර​

[සංස්කරණය]
  1. ^ JACOBS, Joseph – HARRIS, Isidore. Zamenhof, Lazarus Ludwig. JewishEncyclopedia.com. ප්‍රවේශිත දිනය​ 2008-08-14 අන්තර්ජාලයෙන් පිවිසිය හැකි ය​. (ඉංග්‍රිසි බසිනි.)
  2. ^ ලුද්විග් ලාසර් සාමෙන්හොෆ්. නිකොලායි අෆ්‍රිකානොවිච් බොරොව්කොට සාමෙන්හොෆ් යැවූ ලියමන(1895) – О происхожении эсперанто. МИР ЭСПЕРАНТО. ප්‍රවේශිත දිනය 2008-08-14. අන්තර්ජාලයෙන් පිවිසිය හැකි ය​. (එස්පෙරාන්තො සහ රුසියන් භාෂාවලිනි.)
  3. ^ Jalinh. Lidé jsou počítače a Java je Esperanto. En AbcLinuxxu. Eldonita 2007-06-06, atingita 2007-09-16. (Cxehxe.) Atingebla je http://www.abclinuxxu.cz/blog/jalinh/2007/6/6/182356[permanent dead link].
  4. ^ Euro. Česká národní banka. Atingita 2008-09-17. Eldonita en Praha. (Cxehxe.) Atingebla je http://www.cnb.cz/cs/mezinarodni_vztahy/euro.
  5. ^ Pražský manifest. Eldonis Starto. Atingita 2008-09-17. (Multlingve.) Atingebla je http://members.chello.cz/malovec/manifest.htm සංරක්ෂණය කළ පිටපත 2008-06-26 at the Wayback Machine, http://www.uea.org/informado/pragm/index.html

ග්‍රන්ථාවලිය​

[සංස්කරණය]
  • වෙන්නෙග්‍රෙන්, බෙර්තීලො (2016-05-26). එස්පෙරාන්තො බස පිළිබඳ සවිස්තරාත්මක ව්‍යාකරණ අත් පොත​ (PMEG). {{cite book}}: zero width space character in |title= at position 52 (help)
  • වේල්ස්, ජේ.සී. (1989), Lingvistikaj aspektoj de Esperanto (එස්පෙරාන්තොහි වාග් විද්‍යාත්මක පැතිකඩ​) (2 ed.), , http://pdf-archive.com/2012/02/07/lingvistikaj-aspektoj-de-esperanto-john-c-wells/lingvistikaj-aspektoj-de-esperanto-john-c-wells.pdf, ප්‍රතිෂ්ඨාපනය 2016-07-24 
  • පයිරන්, ක්ලෝඩ් (2015) [1989], La Bona Lingvo (යහපත් භාෂාව​) (3 ed.), , https://eo.wikipedia.org/wiki/La_bona_lingvo  . මානව භාෂාග්‍රහණය යන පැතිකඩ ඔස්සේ අධ්‍යයනයක යෙදෙන මනෝ විද්‍යාඥවරයා, එස්පෙරාන්තො බසට නව යෙදුම් අනවශ්‍ය පරිදි අළුතෙන් එක් නොකර ගත යුතු බවට අදහස් කරයි.
  • ෆෝස්ටර්, පී.ජී. (1982), The Esperanto Movement, Contributions to the Sociology (එස්පෙරාන්තො ව්‍යාපාරය​, භාෂා සමාජ විද්‍යාවට දායකත්ව),  . එස්පෙරාන්තො බස ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරය ගැන ඉංග්රිසි භාෂාවෙන් ලියවුණු සමාජ විද්‍යාත්මක අධ්‍යයනයකි. (ප්‍රධාන වශයෙන් 1980 වසරේ පමණ​ බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරය​ මුල් කර ගනිමින්)
  • Lins, Ulrich (1990), La Danĝera Lingvo (ලා දන්ජේරා ලීන්ග්වො - භයානක භාෂාව) (2 ed.),  . එස්පෙරාන්තෝ බස ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයට එරෙහි රාජ්‍ය මර්ධනය​, විශේෂයෙන් ම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සහ ජෝශප් ස්ටාලින්ගේ, ගැන ඓතිහාසික වාර්තාකරණයක්.
  • වැහිංග්‍යා, ගැස්තුන් (Gaston Waringhien) (1989) [1958], Lingvo kaj Vivo: Esperantologiaj eseoj (2 ed.),  . 20 වන සිවසේ ජීවත් වූ එස්පෙරාන්තො ශබ්දකෝෂ කර්තෘ සහ ව්‍යාකරණවේදියා, එම භාෂාව ගැන ලියා ඇති රචනා මාලාවකි.

බාහිර වෙබ් අඩවි

[සංස්කරණය]

බාහිර සබැඳුම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=එස්පෙරාන්තො&oldid=591563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි