ශ්‍රී ලංකාවේ නවක වදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි.[1][2]

ඉතිහාසය[සංස්කරණය]

කණ්ඩායම් එකමුතුභාවය හා එහිවූ ජීව ගුණය පවත්වා ගැනීම වෙනුවෙන් අතීත ග්‍රීක ක්‍රීඩා සමාජ තුල, නවකයන් පිළිගැනීමේදී විවිධ සරදම් හා සමච්චලයන් සිදුකල බව පැවසෙයි. මෙම ක්‍රියාවලිය පසුකාලීනව විවිධ සංශෝධන සහිතව හමුදා පුහුණු බලකායන් හීද භාවිතයට ගැනුනු අතර, ඒ හරහා අවසානයේ එය අධ්‍යාපන පද්ධති කරාද අනුක්‍රමණය විය.

පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් පසු නැවත පැමිණි සොල්දාදුවන් විශ්වවිද්‍යාල තුලට ඇතුළු වීමත් සමග ඔවුන් හරහා නවක වදය අධ්‍යාපන පද්ධති තුල ව්‍යාප්ත වූ අතර, ඊට විවිධාකාර වූ වෙනස්කම් එකතු වීම නිසා කල් ගතවත්ම මූලික අරමුණු වලින් බැහැර වූ නවක වද සංස්කෘතිය සමහරක් තැන්හී අමානුෂික සහ අවදානම් ස්වරූපයක් ගති.

ශ්‍රී ලංකාව[සංස්කරණය]

අතීත ශ්‍රී ලංකාවේ ප්‍රධාන අධ්‍යාපන ආයතනයන් වූ මහා විහාරය හෝ අභයගිරි විහාරය වැනි දැනුම් කේන්ද්‍රස්ථානයන් තුල නවක වදය වැනි ක්‍රියාවන් සිදුවූ බවට ඉතිහාසයේ සාධක දැකගත නොහැකි වේ. ඈත කාලයේ පටන් ආගන්තුක සත්කාරයෙහි ලා ප්‍රසිද්ධියක් ඉසිලූ ශ්‍රී ලංකාව තුල නවක වද සංස්කෘතිය ස්ථාපිත වීම මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ආගමනයත් සමග සිදුවිය. නිදහස ලැබීමට පෙර යුධ හමුදාව සහ ඉංග්‍රීසි පාසල් තුල නවක වදය පැවතියත්, එහි ඉස්මතු වීම නිදහස ලැබීමෙන් පසුකාලීනව සිදුවිය.

නවක වදයේ ස්වරූපය[සංස්කරණය]

නවක වදය ක්‍රියාවලිය වර්ථමානයේ බොහොමයක් රජයේ විශ්වවිද්‍යාල තුල සහ සමහර පුද්ගලික ආයතනයන් හී ක්‍රියාත්මක වේ.[3] මෙවැනි බහුතරයක් වූ සිද්ධීන් තුලදී, ජ්‍යේශ්ඨ සිසුන් විසින් නවක සිසුන් කෙරේ සිදුකරන සමච්චලයන් හා කවටකම් ප්‍රධාන තැනක් ගනියි. විශ්වවිද්‍යාලයක් තුල නවක වදය ක්‍රියාත්මක වන නිශ්චිත කාල පරාසයක් පවතින අතර, සාමාන්‍යයෙන් එය නවකයන් විශ්වවිද්‍යාලය වෙත පැමිණි මුල් මාස කිහිපය තුල ක්‍රියාත්මක වෙයි. මෙම කාල පරාසය නවක වදය සමය ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව තුල විවිධාකාර වූ නවක වද සම්ප්‍රදායන් නිරීක්ෂණය කල හැකිවේ.[4]

  • සුළු නවක වදය

සුළු නවක වදයට සාමාන්‍යයෙන් වාචික හිරිහැර අයත් වෙයි. අපහසුතාවයට ලක්වන ප්‍රශ්න ඇසීම, තැති ගැන්වීම, බලහත්කාරය මගින් ගරුබුහුමන් හිමිකර ගැනීම, කථා කිරීමේ අයිතිය සීමා කිරීම, කවට රංගනයන් ඉදිරිපත් කිරීමට පෙළඹවීම, විශේෂිත අයුරින් ඇඳුම් ඇඳීමට බල කිරීම වැනි ක්‍රියාවන් මීට අයත් වෙයි.

මීට ශාරීරික සහ ලිංගික හිංසනයන් ඇතුළත් නොවන අතර, බොහෝ විට සුළු නවක වදය සිදුවන්නේ විශ්වවිද්‍යාල භූමි පරිශ්‍රය තුල වේ.

  • උග්‍ර නවක වදය

උග්‍ර නවක වදය ශාරීරික සහ ලිංගික හිංසනය අන්තයටම රැගෙන යන ක්‍රියාකාරකම් වලින් යුක්ත වේ. නිරුවත් කිරීම, ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීම, කටුක තත්ව යටතේ ව්‍යායාම වල යෙදවීම, කායික හිංසන සිදු කිරීම වැනි දෑ මීට අයත් වේ.

උග්‍ර නවක වදය බොහෝ විට සිදුවන්නේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුල වෙයි.

සාමාන්‍ය ක්‍රියා දාමය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

නවක වදය ආරම්භක සමයේදී ප්‍රසන්නවත් ස්වරූපයක් ගනු ලබන අතර, එනිසා එම කාලය මල් සමය ලෙස හැඳින්වේ. මල් සමය ක්‍රියාත්මක වන සතියක හෝ ඊට වැඩි කාලයක් තුලදී, නවකයන් සියළුම දෙනා තම සමකාලිකයින්ගේ නම්, ගම් ආදිය මතකයේ තබා ගත යුතු වන අතර, කණ්ඩායමෙහි සමකාලිකයන් එකිනෙකා අතර අනෝන්‍ය මිත්‍රත්වය වැඩිකරවීම මෙම අභ්‍යාසයෙහි මූලික අරමුණ වෙයි. (සාමාන්‍ය වහරේදී බැජ් ෆිට් එක වැඩි කරවීමට).

විශේෂිත ඇඳුම් පැළඳුම් රටා[සංස්කරණය]

නිශ්චිත කාල සීමාවක් අවසන් වන තෙක් විශේෂ ඇඳුම් පැළඳුම් රටාවක් අනුගමනය කල යුතු බවට නවකයින් වෙත නීති පැනවෙනු ලැබෙයි. සාමාන්‍යයෙන් ඇඳීම සඳහා නියම වන පැළඳුම් රටා තරමක් අවලක්ෂණ ස්වරූපයක් ගනියි. උදාහරණ ලෙස, හිසකෙස් හී තෙල් ගල්වා විශේෂ අයුරින් කොණ්ඩය සකස් කිරීමත්, තනි පැහැ වර්ණ වලින් යුතු ඇඳුම් පැළඳීමත්, කමිසයන්හී තීරූ නොතිබීමත්, ගැහැණු ලමයි දිගු සායවල් පැළඳීමත් දැක්විය හැකි වෙයි. විශේෂිත ඇඳුම් පැළඳුම් රටාවක් නියම කිරීම මගින් නවකයන් තුල නුහුරක් සහ අපහසුතාවයක් ඇතිකරවීමත්, අන් අය අතර අනවශ්‍ය අවධානයක් ඇතිකරවීමත් මගින් එවැනි තත්වයන් සඳහා නවකයින් හුරු කරවීමත් මෙහි අරමුණු වෙයි.

මෝඩ දෑ සිදුකරවීම[සංස්කරණය]

විවිධ මෝඩ සහ හාස්‍ය ජනක දෑ සිදුකිරීමට නවකයින් පෙළඹවීමද නවක වදයෙහි කොටසක් වෙයි. ගසකට නැගීම, ගසකට හාදු දීම, විරුද්ධ ලිංගිකයෙකු වෙත විවාහ යෝජනා කිරීම හා එකිනෙකාගේ අත් අල්ලාගෙන සිටීමත්, ඇවිදීමත් මෙහි අංගයන් වෙයි.

වාචික අඩන්තේට්ටම් සිදුකිරීම[සංස්කරණය]

වාචික අඩන්තේට්ටම් සිදුකිරීමේදී දුරාචාර වදන් භාවිතා කිරීම සිදු කෙරේ. අසභ්‍ය ගීත වදන් ගායනා කිරීමට පෙළඹවීමත්, සමකාලිකයින් හැඳින්වීම සඳහා නොනිසි භාෂා රටාවක් භාවිතා කිරීමත් මෙහිදී සිදුවෙයි. මෙම සමය තුලදී, ජ්‍යේෂ්ඨ සිසුන් විසින් සමස්ථ විශ්වවිද්‍යාල සමය පුරාවට නවකයින් හැඳින්වීම සඳහා නොනිසි නාමයන් ආරූඩ කිරීමත් (කාඩ් එකක් දැමීම) සිදුවෙයි. සමහරක් විශ්වවිද්‍යාලයන් තුල නවක වදය කාල සීමාවෙන් අනතුරුව, මෙම නාමය කෙටි හා වෙනස් කොට භාවිතා කරනු ලබයි. නවක වදයට සහභාගී වන හා අනීතික ක්‍රියාවන් හී නිරත වූ සිසුන්ගේ අනන්‍යතාවය, විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් හඳුනාගැනීම වලකනු වස් මූලික වශයෙන් මෙවැන්නක් සිදුකිරීමෙහි අරමුණ වෙයි. වාචික අඩන්තේට්ටම් සිදුකිරීමෙහි රටාවන් එක් ආයතනයක සිට තවත් ආයතනයකට වෙනස් වන අතර, සමහරක් විශ්වවිද්‍යාල තුල, අසැබි වදන් යොදා තනන ලද කාව්‍යයන් මතකයේ තබා ගැනීමත්, ගායනා කිරීමත් සිදු කරවනු ලබයි.

ශාරීරික හිංසනය සිදු කිරීම[සංස්කරණය]

විශ්වවිද්‍යාලයක් තුල නවක වදයෙහි දැකගත හැකි දරුණුතම ආකෘතිය ලෙස ශාරීරික වද හිංසනය සැළකිය හැකි වෙයි. සමහර ජ්‍යේෂ්ඨ සිසුන් විසින් අයෙකුගේ දේහ අංගයන්, ඔහුගේ හෝ ඇයගේ ලිංගික රුචිකත්වයන් ආදිය පිළිබඳව විස්තර කිරීම් ආදිය සිදු කිරීමට මූලික රුචිකත්වයක් දක්වයි. බොහොමයක් අවස්ථාවන්හීදී, ජ්‍යේෂ්ඨ සිසුන් ඉදිරිපිට නවකයින් නිරුවත් කිරීම සිදුකරනු ලබයි. කෙසේ නමුදු ගැහැණු ළමුන් අතර මෙවැනි ලිංගික හිංසනයන් සිදු වීම විරලය. පිටස්තර දුරබැහැර ප්‍රදේශ වල සිට පැමිණ විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරයන්හී නවාතැන් ගන්නා සිසුන් නවක වදයට ලක්වීමේ අවදානම ඉතා ඉහල වේ.

දිනකට කිහිප අවස්ථාවක් නෑම, මධ්‍යම රාත්‍රී සමය තුල සීතල වතුරින් තෙමීම ආදී විවිධාකාර වූ නොයෝග්‍ය ක්‍රියාවන් කිරීමට නවකයන්ට මෙහිදී සිදුවේ. සමහර අන්ත ක්‍රියාවන් ලෙස යෝනියට ඉටිපන්දම් ආදිය ඇතුළු කිරීම (රූපා රත්නසීලිගේ සිද්ධිය), පිරිමි වෘෂණයන් ලාච්චුවක් තුලට දමා වැසීම, දිග හරින ලද කබා රඳවනයන් කණ් තුලට තෙරපීම, දිගු කාල සීමාවක් තිස්සේ ශිෂ්ණය ගැටැවීම (බෝංචි කැඩීම) ආදිය හැඳින්විය හැකිය.[5] මෙම ශාරීරික හිංසනය සිදුවන සමය විශ්වවිද්‍යාල වහරින් භීෂණ සමය ලෙස හැඳින්වෙයි.

සංඝ රැග[සංස්කරණය]

විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ භික්ෂු ශිෂ්‍යයන් විසින් නවක භික්ෂු ශිෂ්‍යයන් කෙරෙහි සිදුකරන නවක වදය මෙයයි. බොහෝ විට ඔවුන් වහන්සේලාට ඇට ගණන් කරමින් බත් වැලඳීමට සිදු වෙයි. මෙයට අමතරව සමලිංගික අභ්‍යාසයන් සිදුකිරීමටද වෙයි. අදාළ තුරු හාමුදුරුවන්ට තිත්ත කුණුහරුපයෙන් බනිමින් ධර්ම දේශනයක් පැවැත්වීමට සැලැස්වීම තවද වදයකි.

හානිකර පලවිපාක[සංස්කරණය]

නවක වදය, ඊට ලක්වූ වින්දිතයන් අතර නිරන්තරයෙන් පුළුල් පරාසමය ශාරීරික, චර්යාත්මක, සංවේදනාත්මක සහ සාමාජයීය ගැටළු ඇතිකිරීමෙහිලා සමත් වී තිබෙයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල ස්වාධීනව සියදිවි නසා ගැනීමේ අවදානම ඉහල නැංවීමටද එය හේතු වී ඇත. නවක වදය සිදුවන කාල පරාසය තුල එය දැරිය නොහැකිව සිය පාඨමාලා හැරයන සිසුන් පිළිබඳවද වාර්ථාවන් පවතියි. මීට අමතරව දැකිය හැකි නව ප්‍රවණතාවයක් වනුයේ උසස් පෙළ සමත් වන සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් තුලට පිවිසීම මගහැර, නවක වදය අවම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළු වීමයි.[6] නවක වදය යනු හුදෙක් සාමාජයීය-නෛතික ගැටළුවක් නොවන අතර එය සතුව නිශ්චිත මානසික පදනමක්ද පවතියි. බොහොමයක් ජ්‍යේෂ්ඨ සිසුන් සිය කණිෂ්ඨ සිසුන් වෙත නවක වදය සිදුකිරීමට අපේක්ෂා නොකරන නමුත් අවසානයේ සිය සමකාලිකයන්ගේ බලපෑම මත ඊට යටත් වීමට ඔවුන්ට සිදුවෙයි.

නවක වදයේ අහිතකර පැති[සංස්කරණය]

  • අතින් පයින් සිදුකරන පහර දීම්, විවිධ ද්‍රව්‍ය මගින් සිදුකරන පහරදීම් හෝ අන්තරාකාරී ක්‍රියාවන්ගෙන් සිදුවන ශාරීරික හානි.
  • නිරුවත් කිරීම, ස්වයං වින්දනයට බල කිරීම හා අස්වාභාවික ලිංගික ක්‍රියාවන් මගින් සිදුවන ලිංගික අතවර.
  • මානව හිමිකම් උල්ලංඝනය වීම.
  • පාඨමාලා හැරයාම.
  • භීතිය හා මානසික සංකූලතා ඇතිවීම.
  • මත් ද්‍රව්‍ය හා දුම්බීමට බලහත්කාරයෙන් පෙළඹවීම.
  • සැහැසි මානසිකත්වයන් ගොඩනැගීම.
  • සෞඛ්‍යමය ගැටළු ඇතිවීම.
    • ආතතිය (ක්ලමතය), මානසික අවපීඩනය (විශාධිය) සහ භීතිකා තත්වයන්.
    • පෞර්ෂ දුර්වලතාවන් සහ කම්පන තත්ව.
    • තුවාලයන්.
    • හෘදයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටළු.
    • රැබ්ඩොමයෝලයිසිස් (මාංශ පේෂීන් විනාශ වීම) හා ඒ සම්බන්ධ වකුගඩු අකර්මන්‍ය වීම්.
    • රැධිරජාරණය. (රක්තානු බිඳ වැටීම)
    • සිය දිවි නසා ගැනීම.
  • මරණයට පත්වීම.

නවක වදයෙහි වූ දේශපාලනය[සංස්කරණය]

විවිධ ශාස්ත්‍රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.[7] විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය ව්‍යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්‍ය නායකයන්, ප්‍රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9]

විශ්වවිද්‍යාල තුල නවක වදය පැවතියත්, විද්‍යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්‍යාල තුල නවක වදය ක්‍රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්‍යාල බළදාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ප්‍රධාන සිදුවීම්[සංස්කරණය]

  • 1974 වසරේදී එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (වර්ථමානයේ කැළණිය විශ්වවිද්‍යාලය) පුහුණු ගණිත ගුරුවරු කිහිපදෙනෙකු නවක වදයට ලක්වීමක් සම්බන්ධව විමර්ෂණයක් සිදුකිරීමට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී. ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයින් දොළොස්දෙනෙකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණු අතර, මේ සිදුවීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා එහි නිළදාරීන් හතර දෙනෙකුටද දඩුවම් නියම වන ලදී. ශ්‍රී ලංකා රජය විසින් විශ්වවිද්‍යාලයීය නවක වදය සිදුවීමකට එරෙහිව ගන්නා ලද ප්‍රථම ක්‍රියා මාර්ගය ලෙස මෙය හැඳින්වෙයි.[10][11]
  • 1975 වර්ෂයේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වදය සිදුවීමකට සම්බන්ධ මරණයක් 1997 වසරේදී සිදුවිය. එවක 22 හැවිරිදි වියේ පසුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලී ශිෂ්‍යාව, ඇයට ජ්‍යේෂ්ඨ සිසුවියන්ගෙන් හිමිවූ ශාරීරික නවක වදය දරා ගත නොහැකිව ඉන් ගැලවීම පිණිස "රාමනාදන් ශාලාවේ" නේවාසිකාගාර දෙවන මහලින් බිමට පැනීම නිසා අබාධිත තත්වයට පත්වූවාය. මහලෙන් පැනීමට මොහොතකට පෙර ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව වාර්ථාවන්හී සඳහන්ව වී තිබුණි.[5] 1997 වර්ෂයේදී, රූපා සිය පාදයන්ට ඇතීවූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර හේතුවෙන් සිය දිවි නසා ගත්තාය[12]
  • අඟුණුකොලපැලැස්ස කෘෂී පාසලෙහි සිදු කෙරුණු නවක වදය සිදුවීමක් හේතුවෙන් ප්‍රසංග නිරෝෂණ, නම් හක්මණ සිට පැමිණි සිසුවෙකු මරණයට පත්විය.[a]
  • 1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.[13]
  • 1997 වසරේදී, අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග, දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත්විය.[15]
  • රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රය සහ සමාජ විද්‍යාවට සම්බන්ධ සිසුවියකගේ ගාත්‍රයක් 2011 වර්ෂයේදී, විශ්වවිද්‍යාලයීය ආපන ශාලාවෙහි සිදුකල නවක වදය සිද්ධියක් අතරතුර අර්ධ-අඩපණ තත්වයකට පත්විය.[19][20]

නීතිමය රාමුව[සංස්කරණය]

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මගින් සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ. එය රටෙහි උත්තරීතර නීතිය වශයෙන් පිළිගැනේ. ව්‍යවස්ථාවට අනූව ඕනෑම මානව හිමිකම් උල්ලංගණය වන සිදුවීමකදී හෝ කඩකිරීමක් සිදුවීමට ආසන්න අවස්ථාවකදී, 126 වන වගන්තියේ නියමයන්ට අනූව රටෙහි පුරවැසියාට ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ගොනු කල හැකි වෙයි. යම් කිසි අයෙකු විසින් ඕනෑම පාර්ශවයකට සිදුකරනු ලබන කෘර, මිලේච්ච හෝ අවඥා සහගත සැලකීමක්, මානව හිමිකම් උල්ලංගනය වීමක් ලෙස ව්‍යවස්ථාව මගින් වැඩිදුරටත් හුවා දක්වා තිබේ.[21]

විශ්වවිද්‍යාල සිසුහූද රටෙහි ක්‍රියාත්මක පොදු නීතිය යටත් පුරවැසියන් සේ සැළකෙයි. එම නිසා ව්‍යවස්ථාමය බලාත්මක කිරීම්, විශ්වවිද්‍යාල සිසුන්ටද එක සේ සමාන ලෙස බලපායි. ඔවුන් විසින් සිදුකරන ඕනෑම ආකාරයක සිවිල් හෝ සාපරාධී ක්‍රියාවක්, දඬුවමකට හේතු වන අතර විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදුකරන එවැනි හිමිකම් කඩකිරීමකදී ඔවුන් අදාල අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයකින් අනතුරුව ලබා දෙන සුදුසු දඬුවමකට යටත් විය යුතු වෙයි.

1997 වසරේ සිදුවූ නවක වදයට අදාල සිද්ධීන් පෙළකින් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, අධ්‍යාපන ආයතනයන්හී නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ 1998 අංක. 20 පනත[22] සම්මත කර ගන්නා ලදී. නවක වදය, වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා සහ නොහොබිනා සැළකීම් ආදිය අධ්‍යාපන ආයතනයන් තුලින් තුරන් කර දැමීම පනතේ සවිස්තරාත්මකව නිරූපණය කොට තිබේ. 1978 අංක 16 යන විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති සියළුම උසස් අධ්‍යාපන ආයතනයන් සහ පනතට අදාල උසස් අධ්‍යාපන ආයතනයන් මේ යටතේ නිරූපිතය.

නවක වදයට එරෙහි ව්‍යාපාරයන්[සංස්කරණය]

ඉන්දියාවේ මෙන් නොව ශ්‍රී ලංකාව තුල නවක වදයට එරෙහි නිශ්චිත පෙළගැසීමක් දැකගත නොහැකි වේ. නමුත් නවක වදය ක්‍රියාත්මකව පවතින පීඨයන් වල, වාර්ෂිකව නවක වදය දරුණු වන අවස්ථාවන් වලදී නවක වදයට එරෙහි ව්‍යාපාරයන් ක්ෂණිකව ඉස්මතු වන අවස්ථා දැක ගත හැකි වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය සේ සැළකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල 1996 වසරේදී මෙවැනි නවක වදයට එරෙහි ව්‍යාපාරයක් ගොඩ නැගුණු අතර, ඊට පෙර එවැනි පෙළ ගැසීමක් දක්නට නොවිණි. මෙවැනි සිදුවීම් ගොඩනැගෙන අතරවාරයේ නවක වදයට එරෙහි ව්‍යාපාරයන් අනෙකුත් සියළුම විශ්වවිද්‍යාලයන්හීද ආරම්භ වීම දැකගත හැකි වූ අතර, මෙවැනි ව්‍යාපාර බිහිවීමත්, නීතිය දැඩි කිරීමත් සහ නවක වදය සිදුකිරීමට ප්‍රායෝගිකව අපහසුතා ඇතිකරවීමත් වැනි කරුණු හේතුවෙන් සමහර විශ්වවිද්‍යාලයන්හී සමහර පීඨ තුලින් නවක වදය ඉවත් කර දැමීමට අවස්ථාව හිමි වුණි.

කෙසේ වූවත් සමහර අවස්ථාවන් හීදී නවක වදයට සහය දක්වන හා එරෙහි වූ ව්‍යාපාරයන් අතර අභ්‍යන්තර ගැටුම් හටගත් අවස්ථාවන්ද සිදුවී තිබෙන අතර, නවක වදයට එරෙහි ව්‍යාපාරයක පුරෝගාමියෙකු ලෙස කටයුතු කල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි කළමණාකරණ සිසුවෙකු වූ සමන්ත විතානගේ සිසුවාගේ ඝාතනය මෙවැනි ගැටුමක් නිසා ඇතිවූ ප්‍රතිපලයක් ලෙසින් දැක්විය හැකි වේ. නවක වදය සම්බන්ධ සාකච්චාවක් අතරතුරදී ඔහු ඝාතනයට ලක්විය.

ශ්‍රී ලංකා රජය විසින් නවක වදය වැලකීමට ගත් පියවර[සංස්කරණය]

විටින් විට විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුල නවක වදය තහනම් කරමින් දැන්වීම් ඇලවීම, නවක වදය පැමිණවූ ජ්‍යෙෂ්ඨ සිදුන්ට දඞුවම් පැමිණවීම හැරුණු විට, ශ්‍රී ලංකා රජය විසින් මෑතදී ගත් ප්‍රධාන තීරණයක් වන්නේ නවක සිසුනට හමුදාව විසින් නායකත්ව පුහුණුවක් ලබා දීමයි. කිසියම් රාජ්‍ය විරෝධී දේශපාලන සංවිධාන වලට විශ්වවිද්‍යාලය තුලදී එරෙහිවීමට මානසික හා ශාරිරික පසුබිම සැලසීම ඊනියා හමුදා නායකත්ව පුහුණුවෙහි පැහැදිලි හා අපැහැදිලි අභිමතාර්ථයන් අතුරින් කිහිපයකි.

මෙම පියවර ඔස්සේ නුදුරු අනාගතයෙහිදීම නවකයන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන් වෙත අභියෝග එල්ල කොට නවක වදය මුලිනුපුටා දැමීම සිදුවීම පසකි.


වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • ^ රත්නසිරි බණ්ඩාර, එස්.එම්, නවක වදය සහ නවක සතුට, කොලිටි ප්‍රින්ටර්ස් - හෙට්ටිමුල්ල (2002), ISBN 955-96223-2-X
  • මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ, උසස් අධ්‍යාපන ආයතනයන්හී සිදුවන නවක වධය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ISBN 978-955-9025-01-6

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්
  2. ස්ටොප් මර්ඩර් බයි රැගිං!
  3. ඉන්ඩිසිප්ලින් ඉන් ශ්‍රී ලංකා යුනිවර්සිටීස්
  4. රැගිං ඇන්ඩ් ‘ටීචිං සෙෂන්ස්’
  5. 5.0 5.1 රැගිං – මයි එක්ස්පීරියන්ස්
  6. ඇන්ටි- රැගිං බිල් විල් බී ස්ට්‍රෙන්ග්තන් - විශ්ව වර්ණපාල
  7. වයලන්ස් අමන්ග් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්
  8. ද ෆන්ඩමෙන්ටල් ත්‍රෙට් ටු ශ්‍රී ලංකන් යුනිවර්සිටි එඩියුකේෂන්
  9. JVP ස්ටුඩන්ට් ලීඩර් ඇඩ්මිට්ස් වෝර් සයිලන්ස්
  10. ඩෙත් ඔෆ් වී. ඩබ්. කුලරත්න
  11. වී. ඩබ්. කුලරත්න - ජේ.පී. යූ.එම්.
  12. රැගිං ඉන් ද සික්ස්ටීස්, ෆන් නොට් හැරස්මන්ට්
  13. ඩෙත් ඔෆ් එස්. වරප්‍රකාශ්
  14. අ ස්ටුඩන්ට් ඩයිස් ආෆ්ටර් රැගිං
  15. කැලුම් තුෂාර විජේතුංග, අ ස්ටුඩන්ට් ඉන් අම්පාර ඩයිස් ෆ්‍රොම් රැගිං
  16. රැගිං ඉන් අවර් යුනිවර්සිටීස්: අ සිම්ප්ටොම් ඔර් අ ඩිසීස්?
  17. JVP-ඉන්ස්පයර්ඩ් වයලන්ස් ලෙඩ් ටු ක්‍රැක්ඩවුන් ඔන් ශ්‍රී ලංකා කැම්පසස්
  18. අ ඩිස්කශන් විත් ප්‍රොෆ්.චන්දිම විජේබණ්ඩාර
  19. "ෆීමේල් ස්ටුඩන්ට් සස්පෙන්ඩඩ්: රුහුණ රැග් වික්ටිම් සෙමි-පැරලයිස්ඩ් ඉන් හොස්පිටල්". සන්ඩේ ටයිම්ස්. දෙසැම්බර් 25, 2011. සම්ප්‍රවේශය ජනවාරි 2, 2012. 
  20. මජීඩ්, ඉමාද් (දෙසැම්බර් 25, 2011). "යුනි "මාෆියා" බිහයින්ඩ් රැගිං". ද සන්ඩේ ලීඩර්. සම්ප්‍රවේශය ජනවාරි 2, 2012. 
  21. ලීගල් ෆ්‍රේම්වර්ක් ඔන් යුනිවර්සිටි රැගිං
  22. ප්‍රොහිබිෂන් ඔෆ් රැගිං ඇන්ඩ් අදර් ෆෝර්ම්ස් ඔෆ් වයලන්ස් ඉන් එඩියුකේෂනල් ඉන්ස්ටිටියුෂන් ඇක්ට්, නම්බර් 20 ඔෆ් 1998

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_නවක_වදය&oldid=316905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි