Jump to content

රූපා රත්නසීලි සිද්ධි දාමය

විකිපීඩියා වෙතින්
(රූපා රත්නසීලි වෙතින් යළි-යොමු කරන ලදි)
රූපා රත්නසීලී
උපත1953
මහඒදණ්ඩ, ඇල්පිටිය, ශ්‍රී ලංකාව
මියගිය දිනය1997[1]
මිය යාමට හේතුව1975දී නවක වදයෙන් බේරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි රාමනාදන් ශාලාවේ දෙවන තට්ටුවෙන් පැනීමේදී පාදයන්ට ආබාධ ඇතීවීම නිසා පසුව ඇතිවූ සිත් තැවුල
පුරවැසිබවශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය නවක වදය හේතුකොට සිදුවූ ප්‍රථම මරණය ලෙස

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක්ව සිටියදී නවක වදයෙන් බේරීමට ගත් උත්සාහයකදී ස්ථිර අබාධීත තත්‍වයකට පත්වූ රූපා රත්නසීලි ඉන් වසර 22කට පමණ පසුව සියදිවි නසාගන්නා ලදී. ඇයගේ මරණය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය නවක වදය හේතු කොට සිදුවූ ප්‍රථම මරණය[තහවුරු කර නොමැත] ලෙස සැලකේ.

මුල් අවධිය

[සංස්කරණය]

ඇල්පිටිය මහඒදන්ඩ නම් ග්‍රාමයේ දිළිදු පවුලක රූපා උපත ලැබුවාය. සිය පාසල් අධ්‍යාපන කටයුතු විවිධ බාධක හමුවේ වුවද කරන්දෙණිය විද්‍යාලයෙන් සාර්ථකව නිම කලාය.

විශ්වවිද්‍යාල දිවිය

[සංස්කරණය]

1975 මැයි 16 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට ඇතුලත් විය. විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ රූපා ඇයට නේවාසිකාගාරය ලෙස හිමිවූ රාමනාදන් ශාලාවෙහි තවත් යෙහෙළියක සමග සතියක පමණ කාලයක් ගත කල බව සඳහන්ය.

නවක වදයට ලක්වීම සහ අබාධිත වීම

[සංස්කරණය]

තවත් යෙහෙළියක සමග රූපා සිය නේවාසිකාගාරයේ විසූවත්, ඇයට නවක වදය හිමි වූ දින රුපාගේ යෙහෙළිය කාමරයේ නොවූ බව පැවසෙයි. දහවල් වරුවෙහි ඇද සිටි ගවුම ගලවන ලෙස ජ්‍යේෂ්ඨ සිසුන්ගෙන් නියෝග ලත් රූපා එය ප්‍රතික්ෂේප කිරීමත්, රාත්‍රියෙහි ඇගේ කාමරය වෙතට නැවතත් ජ්‍යේෂ්ඨ සිසුන් පැමිණීමත් නිසා ඇතිවූ බිය හේතුවෙන් කාමරයේ ජනෙල් පියනක් විවෘත කෙරූ රූපා ඉන් පිටතට පැන්නාය. රාමනාදන් ශාලාවේ දෙවන මාලයේ සිට පහතට වැටුණු ඇයගේ දෙපයට ඉන් බරපතල හානි සිදුවීම නිසා රූපා ආබාධිත තත්වයට පත් වූවාය.[2] සමහර වාර්ථාවන්ට අනූව ජ්‍යෙෂ්ඨ සිසුවියන්, නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට විවිධ දෑ ඇතුලත් කරමින් සිදුකෙරූ ලිංගික හිංසනය දැරීමට නොහැකි වීම හේතුවෙන් රූපා ගොඩනැගිල්ලෙන් පහතට පිනූ බව සඳහන්ය.[3]

දිවියේ ඉතිරි සමය

[සංස්කරණය]

ආබාධිත තත්වයට පත් වූ රූපාගේ ඉදිරි සරසවි ගමන මෙම සිදුවීමෙන් අනතුරුව නිමව ගිය අතර, එතැන් පටන් දුක් කම්කටොළු සහිතව ඇය වසර 20 කට අධික කාලයක් දිවි ගෙව්වාය. වරක් මානසික රෝගයකටද ඇය ගොදුරු වූ බව පැවසෙයි[තහවුරු කර නොමැත]. පසුව 1985 වසරේ සැප්තැම්බර් 30 වන දින එවක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට ඇයගේ තත්වය පහදා යැවූ ලිපියකට පිළිතුරු ලෙස රූපාට 1985 දෙසැම්බර් 19 වනදිනදී ජනාධිපති අරමුදලෙන් රු.25000 ක මුදල් ආධාරයක් හිමි විය. මීට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින්ද රූපාට රු.50000 ක මුදලක්, නිවසක් හා මාසික දීමනාවක් ලබා දෙන බව පැවසීම නිසා ඇයට සිය හිතවතුන්ගෙන් ලැබුණු ආධාරද නතර වූ අතර, රූපා ඉන් තවත් අසරණ වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන් එම පොරොන්දුව සැබෑවක් බවට පත් නොවීම නිසාය.[4]

පසුව නිවසේ සිට රෙදි මැසිමට යොමුවූ රූපාගේ එම උත්සාහයද අසාර්ථක වීම නිසා අසරණභාවයට පත්ව සිටි ඇය 1997 වර්ෂයේදී සිය රෝද පුටුවෙන්ම ගොස් ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි නසා ගත්තාය.

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]