රාණි පද්මිනී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රාණි පද්මිනී
මෙවාරයෙහි රාණි
18වන සියවසට අයත් පද්මිනීගේ සිතුවමක්.
පද්මිනී නිරූපිත 18වන සියවසට අයත් සිතුවමක්.
වල්ලභයාරතන් සේන්
ආගමහින්දු ආගම

පද්මිනී හවත් පද්මාවතී යුනවෙන් හැඳින්වෙන්නේ 13වන-14වන සියවස්වල විසූයේ යැයි පැවසෙන ජනප්‍රවාදගත ඉන්දියානු රැජිනකි (රාණි). ඇය පිළිබඳ සඳහන් පැරණිතම ප්‍රභවය වන්නේ ක්‍රි.ව. 1540දී මලික් මුහම්මද් ජායසී විසින් රචිත පද්මාවත් නම් වීර කාව්‍යයයි. ෆැන්ටසි ලක්ෂණවලින් යුත් මෙම ග්‍රන්ථයෙහි ඇගේ කථාව මෙසේ සඳහන් කරයි: පද්මාවතී යනු සිංහල රාජධානියේ (ශ්‍රී ලංකාවේ) විසූ අතිශයින් රූමත් කුමරියකි. චිතෝර්හි රාජ්පුත් පාලකයා වූ රතන් සේන්හට ඇගේ රූමත් බව දැන ගන්නට ලැබෙන්නේ හිරාමන් නම් කථා කරන ගිරවකුගෙනි. ත්‍රාසජනක ගවේෂණයකින් පසු, ඇය සමග විවාහ වන ඔහු ඇයව චිතෝර් වෙත කැඳවාගෙන එයි. දිල්ලියේ සුල්තාන්වරයා වන අලාඋද්දීන් ඛල්ජිහට ද ඇය පිළිබද දැනගන්නට ලැබෙන අතර, ඔහු චිතෝර් වෙත පහරදෙන්නේ ඇයව ලබාගැනීමේ අපේක්ෂාවෙනි. මේ අතර පද්මාවතීගේ රූමත් බව අසන කුම්භාල්නේර්හි දේව්පාල් රජු රතන් සේන්ට පහර දී ඔහුව මරාදමයි. අලාඋද්දීන් ඛල්ජි චිතෝරය අල්ලා ගැනීමට පෙර පද්මාවතී සහ ඇගේ සහායිකාවන් ජෞහාර් (ස්වයං-බිලි පූජා) චාරිත්‍රය අනුව සියදිවි හානි කරගන්නේ සිය ගෞරවය රැක ගැනීමටයි.

මෙම ජනප්‍රවාදයේ පසුකාලීන අනුවර්තන තුළ ඇය මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය ආරක්ෂා කරගත් හින්දු රාජ්පුත් රැජිනක ලෙසින් හුවා දක්වා ඇත. වසර ගණනාවක් පුරා, ඇය ඓතිහාසික චරිතයක් යැයි සලකන්නට පටන්ගෙන ඇති අතර, නවකථා, නාට්‍ය, රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට කිහිපයක ඇයව ිනරූපණය කොට ඇත. කෙසේනමුත්, ක්‍රි.ව. 1303 අලාඋද්දීන් ඛල්ජිගේ චිතෝර් වටලෑම සත්‍ය ඓතිහාසික සිදුවීමක් වුවත්, ඓතිහාසික සාක්ෂි ඉතා අල්ප හෙයින් පද්මිනීගේ පුරාවෘත්තයේ සත්‍යතාව නූතන ඉතිහාඥයන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

පුරාවෘත්තයේ ප්‍රභේද[සංස්කරණය]

පද්මිනී හෙවත් පද්මාවතී රැජින පිළිබඳ සඳහන් පැරණිතම මූලාශ්‍රය වනුයේ මලික් මුහම්මද් ජායසී විසින් රචිත අවාධි භාෂා පද්මාවත් (ක්‍රි.ව. 1540) නම් වීර කාව්‍යයයි.[1] අලාඋද්දීන් ඛල්ජිගේ චිතෝර්ගාර් ආක්‍රමණය විස්තර කෙරෙන ආදිතම වාර්තාවල මෙම රැජින පිළිබඳ කිසිදු සඳහනක් හමු නොවේ.[2] පසුකාලීනව, ඇගේ ඉතිහාසය සඳහන් සාහිත්‍යමය කෘති ගණනාවක් නිර්මාණය ‍විය; මේවා ප්‍රධාන ප්‍රවර්ග හතරක් යටතේ වර්ගීකරණය කළ හැක:[3]

පර්සියානු සහ උර්දු අනුවර්තන
16වන සහ 19වන සියවස් අවට, මලික් මුහම්මද් ජායසීගේ පද්මාවත් කෘතියෙහි පර්සියානු සහ උර්දු පරිවර්තන අවම වශයෙන් 12ක් වත් නිර්මාණය වන්නට ඇත.[4] 20වන සියවසේ දී තවත් උර්දු ප්‍රභේද දක්නට ලැබෙන අතර, ඒ සියල්ල ජායසීගේ ප්‍රේම කාව්‍ය සම්ප්‍රදායයෙන් යුතු ය.[5]
රාජ්පුත් කථා කාව්‍ය
ක්‍රි.ව. 1589දී හේම්රතන් විසින් මෙම පුරාවෘත්තයේ ප්‍රථම රාජ්පුත් අනුවර්තනය වූ ගෝරා බාදල් පද්මිනී චෞපේ නම් ග්‍රන්ථය රචනා කළේ එය "සත්‍ය කථා පුවතක්" බව සඳහන් කරමිනි.[6] 16වන සට 18වන සියවස් අතර, වර්තමාන රාජස්ථානයට අයත් භූමියෙහි පද්මාවතී පුරාවෘත්තයෙහි තවත් අනුවර්තන බිහිවූයේ රාජ්පුත් ප්‍රධානීන්ගේ අනුග්‍රහය යටතේ ය. ජායසීගේ ලාලනීය සහ විවාහ තේමාව මෙන් නොව, රාජ්පුත් අනුවර්තන මගින් අලාඋද්දීන් ඛල්ජිට එරෙහිව සිය රාජධානිය රැකගැනීමේ ගෞරවය අවධාරණය කෙරිණි.[4]
ජේම්ස් ටොඩ්ගේ ප්‍රභේදය
1829-32 අතර කාලයේ, ජේම්ස් ටොඩ් විසින් සිය Annals and Antiquities of Rajas'han කෘතියෙහි මෙම පුරාවෘත්තයේ යටත් විජිතමය ප්‍රති-වාචනයක් සඳහන් කොට ඇත. ඔහුගේ ප්‍රභේදය සඳහා පාදක කරගැනුණේ රාජ්පුත් ප්‍රධානීන් යටතේ සේවය කළ ලේඛකයන්ගේ කථන සහ පාඨ සම්ප්‍රදායයන් ය.[4]
බෙංගාලි අනුවර්තන
පසුකාලීන 19වන සියවසේ සිට, ජේම්ස් ටොඩ්ගේ කෘතියේ පැමිණීමත් සමග මෙම පුරාවෘත්තයේ බෙංගාලි ප්‍රභේද ගණනාවක් ද බිහි විය. මෙම බෙංගාලි කථා පුවත් මගින් කාමුක මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය රැකගැනීමට සිය දිවි හානි කරගත් හින්දු රැජිනක ලෙස ඇයව ිනරූපණය කෙරේ.[4]

ජනප්‍රවාදගත වාර්තා[සංස්කරණය]

මලික් මුහම්මද් ජායසීගේ පද්මාවත් (ක්‍රි.ව. 1540)[සංස්කරණය]

පද්මාවතී යනු සිංහල රාජධානියේ ගාන්ධර්ව් සේන් රජුගේ දියණියයි. ඇය හිරාමන් නම් කථාකරන ගිරවකු සමග මිතුරු වේ. සිය දියණියට ගිරවා සමීප වීම නොරිස්සූ ඇගේ පියා එම කුරුල්ලාව මරා දැමීමට අණකළේ ය. සිය පණ රැකගැනීමට ගිරවා පියඹා ගියේ ය. නමුත් කුරුල්ලන් අල්ලන්නකුට හසුවන ගිරවාව බ්‍රාහ්මණයකුට අලෙවි කෙරේ. බ්‍රාහ්මණයා එම ගිරවාව චිතෝර් වෙත රැගෙන යන අතර, එහි ප්‍රාදේශීය පාලකයා වූ රතන් සේන් රජු ගිරවාව මිලට ගන්නේ ගිරවාගේ කථන හැසියාව දැක සතුටට පත්වීමෙනි.[7]

රතන් සේන් ඉදිරියේ ගිරවා පද්මාවතීගේ රූසපුව බෙහෙවින් වර්ණනා කළේ ය. ඔහු පද්මාවතීව විවාහ කරගන්නට අදහස් කළේ ය. ගිරවාගේ උපදෙස් අනුව, සිය සහායකයින් 16,000ක් සමග රතන් සේන් සිංහල දේශය වෙත ළඟාවන්නේ මුහුදු හතක් තරණය කිරීමෙන් පසුවයි. එහිදී ඔහු ආශ්‍රමයක තපස් රකින්නට පටන්ගන්නේ පද්මාවතීව සොයා ගැනීමටයි. මේ අතර, පද්මාවතී ආශ්‍රමයට පැමිණෙන අතර, ගිරවා එය දැනුම් දුන්නේ ය. නමුත් ඇය ඉක්මණින් මාලිගාව වෙත යන්නේ රතන් සේන්ව හමු නොවී ය. මාලිගයට පැමිණි විගස ඇය රතන් සේන් පැමිණෙන ‍තෙක් මඟ බලා සිටියා ය.[7]

මේ අතර, පද්මාවතීව මුණගැසීමේ අවස්ථාව තමන්ට මඟහැරුණු බව රතන් සේන් වටහා ගත්තේ ය. දැඩි ශෝකයෙන් යුතුව ඔහු සියදිවි හානි කරගන්නට තැත් කළත්, ශිව සහ පාර්වතී දෙවිවරු එය වළකාලූහ.[8] ශිවගේ උපදෙස් අනුව, රතන් සේන් සහ ඔහුගේ අනුගාමිකයෝ සිංහල රාජධානියේ රාජ මාලිගයට පහර දුන්හ. එහි දී පරාජයට පත් ඔවුන්ව සිරකරන ලදී. ඒ වනවිටත් ඔවුන් සිටියේ තවුසන්ගේ වස්ත්‍රවලින් සැරසී ය. රතන් සේන්ට මරණ දඬවුම ලබා දෙන්නට සූදානම් වන විට, ඔහුගේ වන්දිභට්ටයා ඔවුනට හෙළිකරන්නේ මේ සිටින්නේ චිතෝරයේ රජු බවයි. අනතුරුව ගාන්ධර්ව් සේන් පද්මාවතීව රතන් සේන්ට විවාහ කර දුන්නේ ය. එසේම සිංහල පද්මිනී[lower-alpha 1] ස්ත්‍රීන් 16,000 දෙනකු රතන් සේන්ගේ සහායකයින් 16,000 දෙනාට විවාහ කර දෙන ලදී.[9]

නාග්මතී රැජින සිය සුරතල් ගිරවාට කථා කරමින් සිටින අයුරු; ක්‍රි.ව. 1750 පමණ අයත් පද්මාවත් පිටපතක සිතුවමකි.

මඳ කාලයකට පසු, රතන් සේන්ට පක්ෂියකුගෙන් සංදේශයක් ලැබෙන්නේ ඔහුගේ පළමු බිසව වූ නාග්මතී ඔහු නැවත චිතෝරයට පැමිණෙන තෙක් මඟබලා සිටින බවයි. රතන් සේන් සිය නව බිසව වූ පද්මාවතී, සිය අනුගාමිකයන් 16,000 දෙනා සහ ඔවුන්ගේ බිරියන් 16,000 දෙනා සමග චිතෝරය වෙත පැමිණීමට තීරණය කළේ ය. මෙ ගමනේ දී, සාගර දෙවියන් රතන් සේන්ට දඬුවම් දුන්නේ ලොව රූමත්ම ස්ත්‍රිය තමන් සතු කරගත් බවට රතන් සේන් උඩඟු බවින් යුක්ත වූ නිසායි. රතන් සේන් සහ පද්මාවතී හැර සෙසු සියලු දෙනාම කුණාටුවකින් මියයයි. පද්මාවතී සාගර දෙවියන්ගේ දියණිය වූ ලක්ච්මීගේ දිවයිනෙහි අතරමං වේ. රතන් සේන් තුළ පද්මාවතී කෙරෙහි ඇති ප්‍රේමය පරීක්ෂා කිරීමට ලක්ච්මී සිතුවා ය. පද්මාවතී ලෙස වෙස්වලාගත් ඇය රතන් සේන් ඉදිරියට ගියා ය. නමුත් රතන් සේන් ඉන් මුළා වූයේ නැත. අනුතරුව රතන් සේන් සහ පද්මාවතීව නැවත මුණගස්වන සාගර දෙවියන් සහ ලක්ච්මී ඔවුනට ත්‍යාග ද ලබා දෙයි. මෙම ත්‍යාග සමග පූරිහි දී නව පිරිවරක් සොයාගන්නා රතන් සේන් පද්මාවතී ද සමග චිතෝර් වෙත පැමිණෙයි.[9]

චිතෝර්හි රතන් සේන්ගේ බිසෝවරුන් දෙදෙනා වන නාග්මතී සහ පච්මාවතී අතර විරසකයක් ගොඩනැගිණි. මඳ කාලයකට පසු, රතන් සේන් සිය බ්‍රාහ්මණ රාජ සභා නිලධාරියකු වූ රාඝව් චේතන්ව පිටුවහල් කළේ වංචනික ක්‍රියාවන් නිසායි. රාඝව් චේතන් දිල්ලි සුල්තාන්වරයා වූ අලාඋද්දීන් ඛල්ජි මුණගැසී අතිශයින් රූමත් පද්මාවතී පිළිබඳ හෙළිකළේ ය.[9] පද්මාවතීව ලබාගැනීමට අලාඋද්දීන් තීරණය කළේ ය. ඔහු චිතෝර් වැටලී ය. රතන් සේන් ඔහුට කප්පම් ලබාදීමට එකඟ වුවද, පද්මාවතීව ලබාදීමට ඔහු කැමති වූයේ නැත. චිතෝර් බලකොටුව යටත් කරගැනීමට නොහැකි වීම නිසා අලාඋද්දීන් රතන් සේන් සමග සාම ගිවිසුමක් අත්සන් කළේ ය. කූට ලෙසින් රත්න සේන්ව හසු කරගත් ඔහු දිල්ලිය වෙත ඔහුව රැගෙන ගියේ ය. පද්මාවතී රතන් සේන්ගේ පක්ෂපාතී යටත්වැසියන් වූ ගෝරා සහ බාදල් වෙත ගියේ උපකාර ඉල්ලා ගැනීමටයි. පද්මාවතී සහ ඇගේ පරිවාර ස්ත්‍රීන් ලෙස වෙස්වලාගත් ඔවුහු දිල්ලිය වෙත පැමිණියහ. ඔවුහු රතන් සේන් මුදවා ගත්හ. දිල්ලි හමුදා සමග සටනේ දී ගෝරා මියගියේ ය. රතන් සේන් සහ බාදල් නැවත ආරක්ෂිතව චිතෝර් වෙත පැමිණියහ.[10]

මේ අතර, චිතෝරයේ අසල්වැසි කුම්භාල්නේර්හි රාජ්පුත් පාලකයා වූ දේව්පාල් ද පද්මාවතීට ඇලුම් කරයි. රතන් සේන් දිල්ලියේ සිරගත කොට සිටින අතරතුර, ඔහු පද්මාවතී විවාහ යෝජනාවක් එවී ය. චිතෝර් වෙත නැවත පැමිණි පසු, මෙම අපහාසයට දේව්පාල්හට දඬුවම් කිරීමට රතන් සේන් තීරණය කළේ ය. ද්වන්ධ සටනක දී දේව්පාල් සහ රතන් සේන් යන දෙදෙනාම මිය ගියහ. මේ අතර පද්මාවතීව ලබාගැනීමේ අරමුණින් අලාඋද්දීන් ඛල්ජි නැවත චිතෝර් ආක්‍රමණය කළේ ය. අලාඋද්දීන්ට කිහිප වරක්ම පරාජය වීමෙන් පසු, නාග්මතී සහ පද්මාවතී රතන් සේන්ගේ අවමංගල චිතකයට පැන සති පූජාව ඉටු කරති. චිතෝරයේ සෙසු කාන්තාවන් ද සමූහ ස්වයං-බිලිපූජා (ජෞහාර්) පිළිවෙත අනුව සියදිවි හානි කරගත්හ. චිතෝරයේ මිනිසුන් දිවිපුදා අලාඋද්දීන්ට එරෙහිව සටන් වැදුණහ. යුද්ධයෙන් ජයග්‍රහණය ලදුව ද අලාඋද්දීන්ට ඉන් හිමිවූයේ හිස් බලකොටුවක් පමණි.[10]

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

ඉන්දියාව තුළ පද්මිනීගේ පුරාවෘත්තය ඇසුරෙන් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී ඇත. මේ අතර‍ට දේබකී බෝස්ගේ නිහඬ චිත්‍රපටයක් වූ කාමොනාර් අගුන් හෙවත් Flames of Flesh (1930),[11] සහ හින්දි භාෂා චිත්‍රපටයක් වූ මහාරාණි පද්මිනී (1964) වැදගත් වේ.[12]

1963දී, ප්‍රථම වරට මෙම කථාවෙන් චිතෝර් රාණි පද්මිනී නම් දෙමළ චිත්‍රපටයක් නිර්මාණය කෙරිණි. සී. වී. ශ්‍රීධර් විසින් රචිත මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ චිත්‍රාපු නාරායණා රාඕ විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ සිවාජි ගනේසන් සහ වෛජයන්තිමාලා විසිනි.[13] 2017දී, බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි පද්මාවතී නම් හින්දි-භාෂා චිත්‍රපටයක් තැනීමට තීරණය කළේ ය. මෙම චිත්‍රපටයේ අලාඋද්දීන් සහ පද්මිනී අතර ඇතැම් ප්‍රේම ජවනිකා පිළිබඳ කටකථා පැතිරුණු අතර, එය රාජ්පුත් කුල සංවිධානයක් වූ ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා නම් සංවිධානයේ විරෝධතාවන්ට හේතු විය. ඔවුන් චෝදනා කළේ භන්සාලි ඉතිහාසය විකෘති කරන බවයි. විරෝධතාකරුවන් පිරිසක් භන්සාලිට පහර දී චිත්‍රපටයේ පසුතලය විනාශ කළහ.[14][15]

මේවාත් බලන්න[සංස්කරණය]

  • රාණි කර්ණාවතී, ජෞහාර් පිළිවෙත අනුගමනය කළ බැව් පැවසෙන තවත් තැනැත්තියකි.
  • දේවාලදේවී, ප්‍රාදේශීය පාලකයාව පරාජය කළ පසු අලාඋද්දීන් විසින් විවාහ කරගත් බව පැවසෙන ගුජරාටයේ කුමරියයි.
  • අනාර්කලී, නදීරා බෙගම් යනුවෙන් ද හැඳින්වේ. මූඝල් යුගයේ විසූ ජනප්‍රවාදගත වහල් යුවතියකි.
  • සුහාල්දේව්, උත්තර් ප්‍රදේශයේ ශ්‍රාවස්තියෙහි විසූ බව පැවසෙන අර්ධ-පුරාවෘත්තමය ඉන්දියානු රජෙකි.
  • ජෝධා බායි, හර්ඛා බායි ලෙස ද හැඳින්වේ. අක්බර් අධිරාජයාගේ බිසවකි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

සටහන්

  1. රතිරහස්‍ය වැනි ඉන්දියානු කාම මාර්ගෝපදේශ ග්‍රන්ථ තුළ පද්මිනී (සාහිත්‍යමය "නෙළුම් ස්ත්‍රිය") යන්න ප්‍රධාන කාන්තා ස්වරූප අතුරින් වඩාත් කමනීය ස්ත්‍රීනව හැඳින්වීමට යොදා ඇත. අනෙක් ස්ත්‍රීන් ප්‍රභේද තුන වන්නේ චිත්‍රිනී, ශංඛිනී, සහ හස්තිනී ය.[16][17]

උද්ධෘත

ග්‍රන්ථාවලිය

"https://si.wikipedia.org/w/index.php?title=රාණි_පද්මිනී&oldid=409894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි